ගම්වැසියෝ හිමි සහායට පෙළ ගැසෙති | සිළුමිණ

ගම්වැසියෝ හිමි සහායට පෙළ ගැසෙති

දිඹු­ලා­ගල හිමියෝ හිටපු ජනා­ධි­පති රණ­සිංහ ‍ප්‍රේමදාස සමඟ

නම්පිටියෙන් එහා නැ‍ඟෙනහිර පළාතේ ජීවත්වන එකම සිංහල බෞද්ධ භික්ෂුව වූ සීලාලංකාර හිමි ගැන ප්‍රදේශවාසී බෞද්ධ ජනතාව සිහි කළේ තමන්ට කුමන ප්‍රාතිහාර්යකින් හෝ විශ්වකර්ම පුද්ගලයකු සමීප වී ඇති බවකි. තමන් ජීවත්වන පියස සතු ඉතිහාසගත තොරතුරු අසන්නට වටපිට බලමින් කථාකර ගත නොහැකිව රූරා වැටෙන කඳුළු බිඳු පිස දමා ගම්වැසියෝ හිමි සහායට පෙළ ගැසෙන්නට වූහ. 

දිය බෙදුම, හිඟුරක්ගොඩ, මින්නේරිය, පොළොන්නරුව 305, 313, 314, 400 ගිරිතලේ, තඹාල, කවුඩුල්ල, බුද්ධ යාය, ඕනෑගම, සෝමාවතිය, පුදුර්, පළුගස්දමන, සේවාගම, තඹලවැව, අළුත්වැව, සත්ව ගොවිපළ, පී.ඇස්. කොලනිය නමින් අද ව්‍යවහාර කරන ප්‍රදේශවල ජනතාව සීලාලංකාර හිමි සමඟ එක්වන්නට වූහ. ඔවුන්ට සිය පෙදෙස්වල වසන ජනතාවගේ ඉරියව් ගැන කරුණු පහදා දෙන්නට මිල්ලාන, දළුකාන, ගිනි දමන, ඇල්ලේවැව, අරලගන්විල, අලව කුඹුර, වැලිකන්ද වැනි වැදි ගම්මානවල හිමි හඬ අවදි විය.

“බලාපල්ල යක්කුනේ, අර මහගෑනි මේ මිනිහ එක්ක එකතුවෙලා තලගොයි හම ගහනව. මේ කිරි සප්පයො මරපු හා පැටවු එක්ක සෙල්ලම් කරනව. අමුඩ කොට ගහල ගස් නැගල, හූවට, කෑගැහිල්ලට බය වෙච්ච වදුරු නාම්බො මරාගෙන ඇවිත් දරුවන්ට ගිල්ලවනව. මුන් දන්නෙ නැහැ හෙටක් කියල දවසක් එන විත්තිය. අපි මුන්ට පිහිට වෙමු. උඹල එනව නේද මාත් එක්ක.”

“එහෙමයි අපේ හාමුදුරුවනේ.”

සීලාලංකාර හිමියන්ට තමන්ගේ ශක්තියට උරදෙන්නට ශක්තිවන්ත කණ්ඩායමක් ද එක්වූහ. හිමි පෙරටු කොට දුෂ්කර ගම්වලට ගිය පිරිසට අමුතු අත්දැකීමක් ලැබිණි. සන්සුන් වී නිවෙස් වෙත ගිය හිමියන්ට පිණ්ඩපාත දානය සකසන්නට කලබල නොකළ හිමිගේ ඉල්ලීම වූයේ, රෙදි කෑල්ලක්, හාල් මිටක්, සබන් කෑල්ලක්, ගල් කූරක්, ගල්ලෑල්ලක් වැනි ඉල්ලීම්ය.

අමුතුම ආකාරයක පිණ්ඩපාතයේ වැඩම වන සීලාලංකාර හිමි දුටු අසල්වාසී ජනතාව උද්දාමයට පත්වූහ. ගෙදර නිතර පැහෙන බත් එළවළු සොයාගෙන පිණ්ඩපාතයට නොගිය හිමියෝ තමන්ගේ දානවේල අදන කඩයේ පුරවාගෙන සිටි අයුරු ප්‍රදර්ශනය කළේය. එහි වූයේ පලතුරු ගෙඩි කීපයකි.

“දායක මහත්වරුන්ට බොහොම ගුණ කරුණාවයි. මට දානමාන වුවමනා නැහැ. මට පුංචි උදවුවක් කරන්න. මම හාමුදුරු කෙනෙක් වුණාට පුංචි පැටවු ගොඩක් ඉන්නවනේ. ඒ කොල්ලන්ට කෙල්ලන්ට අඳින්න පලඳින්න ඔහේලගෙ ගෙවල්වල ළමයි ඇඳල අහක දාපු ගවුම් කෑලි, කලිසම් කෑලි තියනව නම් ගෙනත් දෙන්නකෝ.”

නිවෙස් හිමියන් මේ කියන කථාව ඇසුවේ අතිශය පුදුමයට පත්වෙමිනි. පිණ්ඩපාතේ වැඩම කරන හිමි නමක් තමන්‍ට පුංචි කෙල්ලො කොල්ලො ඉන්න වගත් කීම ඔවුන්ගේ මවිතයට හේතු විය.

“අවසරයි හාමුදුරුවනේ. ඔබ වහන්සේට පුංචි කෙල්ලො කොල්ලො ඉන්නව කිව්වනේ. මොකක්ද ඒ කතාවෙ තේරුම?”

“අහගනිල්ල මම පිරිමියෙක් තමයි. ඒත් භාවනා කරන කෙනෙක්. මම මේ පළාතට ගෑටුවෙ බණ භාවනා කරල මගේ සිත සනසගන්න. ඒත් මෙතෙන්ට ආවට පස්සෙ, ඒ අදහස පැත්තකට දාල මට උරුම වෙච්ච රාජකාරියක් තියනව කියල, මම එක ඉස්කෝලයක් හැදුවා. තව ඉස්කෝල ගොඩක් හදන්න හිතා ඉන්නවා. මම මගේ දරු මල්ලො කීවෙ උඹලගෙ දූල පුතාලට. උන්ට කන්න දෙයක් අඳින්න දෙයක් නෑ. පුළුවන් නම් තියන සබ්බ සකලමනාවක් දීපල්ල. මම හිඟන්නෙක් කියල හිතන්න එපා.”

“සමාවෙන්න අපේ හාමුදුරුවනේ ඉස්සරවෙලා ගෙට ඇතුළුවෙලා හිඳගන්නකො. තාම කුස්සියෙ බත් මුට්ටිය ඉදෙනවා. දානෙ පොඩ්ඩක් පිළිගන්නලා මොනව හරි උදවුවක් කරන්නම්.”

“යක්කුනේ, අපි හාමුදුරුවරු, දානෙ වෙලාව ඉවරයි. මම දානෙ වලඳන්නෙ වෙලාවට. මේ ආවෙ පේර ගෙඩි හතක්, පහක් වලඳලා. මට ඕන දානයක් නැහැ. අර පුංචි එවුන්ට මොනව හරි තියනව නම් දීපල්ල.”

වටපිට සිටි මිනිස්සු හිමියන්ගේ ගැඹුරු කටහඬින් එතනට රැස්වූහ. තම දරුවන් කුඩා වියේ සිට හැඳපැලඳි ඇඳුම් ආයිත්තම් හැම නිවෙසකම මිදුල්වල ගොඩ ගැසිණි. වංගෙඩිවල කොටමින් සිටි වී සහල්ව නොවුවත් එයට එක් රැස් කෙරිණි.

හිමි සමඟ පැමිණියෝ සිදුවන්නේ කුමක්දැයි විස්මිතව බලා සිටියහ. කුසට අහරක් ලබාගන්නට හිඟමනේ වඩින පිණ්ඩපාතික භික්ෂුවකට වඩා සිලාලංකාර හිමි මේ යන ගමන කුමක්දැයි කිසිවෙක් නොදැන සිටියහ. හැම නිවෙසකින්ම ලැබුණු පිණ්ඩපාතයට බුදුගුණ කියමින් ජාතියක් ගොඩ නඟන්නට තමා යන මේ ගමනට පින් දෙමින් අතිශය සන්තුෂ්ටියට පත්වූහ.

“කොල්ලනේ මෙහෙ වරෙල්ල. මම තමයි මෙතැන ලොක්කා. මම හින්දයි මේව අපට ලැබුණේ. උඹල මට උපදෙස් දෙන්න එන්න එපා. ඔය ලොකුම බර හාල් ගෝනිය මගේ ඔළුව උඩ තියාපන්. මම මාතර ඉඳල මෙහාට ගෑටුවෙ මගේ නෑයන්ට උදවු කරන්න. උන් අද කවදාවත් නොකාපු බත් අහුරක් හරි කාවි. 

කොල්ලො ඇඳුමක් පැලඳුමක් දාගෙන විලිලැජ්ජාව වහගනීවි. සබන් ගාල ඇඟ සෝදාගෙන පිරිසිදු වේවි. මුන්ගෙ ඇස් පාදන්න මම ඉස්කෝල හදනවා. ලජ්ජා බය නැතිව ජීවත්වෙන්න කියා දෙනවා.’

ශක්තිවන්ත දේහ ධාරියකු වූ සීලාලංකාර හිමියෝ එතැනට එක්කර තිබූ හාල් ගෝනියක් තම හිස මතට ගත්හ. “වරෙල්ල මගෙ පස්සෙන්. ඔය අඩුම කුඩුම පරිස්සම් කරපල්ල. ඔය පුංචි දරු පැටවුන්ට දීපු පිණ්ඩපාතෙ.”

අතිශය දුෂ්කරවූ කටු පඳුරින් පිරී ගිය කැලය මැද්දෙන් ඉක්මනින් ගමන් ගන්නා හිමි දෙස පැමිණ සිටි පිරිස විස්මයෙන් බලා සිටියහ. වැදි ගම්මානවල දරුවන්ට සහ වැඩිහිටියන්ට තමා ඇතුළු පිරිස රැගෙන ආ සියලු දේම පිළිගැන්වූයේ දැඩි සතුටකිනි.

“මෙහෙ වරෙල්ලා. ඔය පොළව කොටපල්ල. වී ඇට හිටව පල්ල. බඩඉරිඟු, මුං ඇට, කුරක්කන් වපුරපල්ල. මම ඒව ගෙනත් දෙන්නම්. තලගොයි හරක්, ඌරො, ගෝන්නු, මුවෝ අහිංසක සත්තු, උන්ට තමන්ගෙ පාඩුවෙ ඉන්න දීපල්ල. උන්ගෙ මස් කන්න එපා. මම කියන විදියට අද ඉඳන් ඉඳපල්ල.”

ඔවුහු හිමි පාමුල වැඳ වැටුණහ. “අපේ හාමුදුරුවෝ අපට අපට ගොඩක් වටිනවා. හාමුදුරුවෝ කියන දෙයින් එහාට අපි යන්නෙ නෑ.“

ඔවුන්ට කියන්නට තවත් කරුණු කාරණා කොතෙක් තිබුණ ද තම හඬ අවදි නොවී තෙරපෙමින් තිබිණි. එහෙත් හැම එකකුගේම දෙනෙත්වලින් කඳුළු කැට සූරා වැටුණි.

මිල්ලානාගේ නිවෙස පැහැර ගත්තා යැයි සීලාලංකාර හිමිගේ හෘද සාක්ෂිය යළි යළිත් සසල කෙරිණි. ඒ ගමට පාසලක් ගේදොර කිහිපයක් ඇති කොට ගම්මානයක් බවට පත් කරන්නට හිමියෝ වෙහෙසුණහ. එහි ප්‍රතිඵලය අතිවිශිෂ්ටය. දිඹුලාගල මහා පර්වතය තම අණසකට යටත් කොට ගත්තද එහි වන්හුන් ගැන හිමියෝ නොදත්හ.

“මිල්ලානා මෙහෙ වරෙන්. තව දෙතුන් දෙනෙක් එක් කරගෙන වරෙන්. මට මේ කැලෑව මොකක්ද මොනවගේද කියල බලන්න ඕන” හැමදාම උදහැනැක්කේ සිට කොයි වෙලාවෙත් හිමියන් අසල මුරකරුවකු ලෙසින් සිටි හිත හොඳ මිනිසකු වූ වැදිනායක මිල්ලානාට හිමියෝ පැවසූහ.

“අර මොන එහෙකටද නායක හාමුදුරුවනේ මේ හදිසියේම.” 

“උඹට කිව්වට බං කාටවත්ම කියනව නෙවෙයි. මට රෑට නින්ද යන්නෙ නෑ බොල. ඇස් පිහාටු පහතට වැටෙන කොටම මහසද්ද ඇහෙනව.”

“අපේ හාමුදුරුවනේ මුළු වනාන්තරේම ඉන්නෙ කැලෑ සත්තුමයි. උන් රෑ කාලෙට විතරයි බයක් හැකක් නැතිව එළියට පහළියට එන්නෙ. ඒ යන ගමන් සද්ද බද්ද කරනව ඇති හේමයි. බයක් ගන්න කාරි නෑ.”

“යකෝ මේ අහපන්. මම වල් සත්තු දැක්කෙ අද ඊයෙද? උන් නෙමෙයි මට දැනෙන්නෙ. මනුස්ස කට හඬවල්. කෑ කෝ ගහන්න අලින්ට කොටින්ට වලසුන්ට පුළුවන්ද?’

වසර දහසකට එපිටින් අප රට බැබළවූ මහ රහතුන් වහන්සේලා වැඩ සිටි දිඹුලාගල මහ වන පියස යළි එකලු කර දකුණේ මාතර සිට පා ගමනින් වැඩම කළ කිතලගම සීලාලංකාර හිමියෝ හත් දිනක පරිත්‍රාණ දේශනයක් මෙහෙයවූහ.

පිරිත් දේශනය හමාර විය. දොරකඩ අස්නට දේවදූතයා සූදානමින් සිටියේය. බෙරපද වාදනය පටන් ගති. දෙමළ ජාතික ආරච්චි කෙනෙකුගේ හඬින් හිමියෝ ත්‍රස්ත වූහ.

“සාමි, සාමි, සාමි වාංගලෙයි.”

කඳු මුඳුන ඉහත්තාවේ පැන නැඟුණ ගිනි බෝලයකින් මුළු පළාතම ඒකාලෝක විය. එය උස් වෙමින් පහත් වෙමින් පැය කාලක් පමණ වෙලාව පුරා දිඹුලාගල කඳු පර්වතය එළිය කරන්නට විය. පැමිණ සිටියෝ සාදුකාර හඬ දුන්හ. පුණ්‍ය භූමියේ ශක්තිය හිමිහට හොඳින්ම වැටහුණි.

මෙහි පවත්නා ශක්ති විශේෂය ඉදිරි මතු පරම්පරාවේද යහපත වෙනුවෙන්ම යොදා ගත යුතු බව හිමියන්ට වැටහුණි. එයට ගත හැකි හොඳම මඟ වනුයේ දිඹුලාගල මුල් කොටගෙන නව භික්ෂු පරපුරක් හැදීම බව පසක් විය. එහිදී ද හිමියනට උදවුපදවු කළේ තමාට ඉන්න හිටින්ට මෙතෙක් තම අඹුව හා දරුවන් සමඟ විසූ ගල්ගෙය පූජා කළ වැදි නායක මිල්ලානා ය.

“මම උඹලට ගෙවල් දොරවල් හදල දුන්න. ඉස්කෝල හදල දුන්න. වගාවක් කරල බඩ කට පුරව ගන්න වැඩ ඇති කළා. මට තව උදවුවක් කරපන් මිල්ලානා.” “කියන්න හාමුදුරුවනේ. මම මගේ පණ වුණත් දෙන්නම්.”

“එහෙනම් මේ කොලු පැටිය මට දීපන්. මම මූ මහණ කරනව. උඹලට බණ අහන්න පුළුවන්. හොඳ නරක තමන් දරුවෙක් විසින්ම කියල දෙනකොට වැඩිය හොඳයි නෙ.”

මිල්ලානාගේ දෙඇස් කඳුළින් පිරිණ. එහෙත් හිමියන්ගේ ඉල්ලීම පිටුපා නොහැකි විය. මිල්ලානාගේ වැඩිමහල් දරුවා උත්තරීතර බුදු සසුනේ පැවිදි වියට පත් ආදි වාසිකයකුගේ පළමු දරුවාය.

වත්මන් භික්ෂු ශාසනයේ පළමු වරට කුලය, ගෝත්‍රය නොබලා පැවිදි දිවියට ඇතුළු කිරීමේ කාරිය ඇරඹුවේ දිඹුලාගල හිමිපාණන් අතිනි. සිංහල, දෙමළ, මුස්ලිම් ජාති භේදයකින් තොරව මෙන් ම උඩරටින් හා පහත රටින් පැමිණි පිරිස් හිමි සරණ ලැබ පැවිදි බිමට පත්වූහ.

රදලයත් නිලමෙලා අන්ත අසරණ පවුල්වල ශක්තිවන්තයෝ දිඹුලාගල නාහිමිගෙන් ලද වරප්‍රසාදය අදත් එම සෙනසුන ජාතික අභිමානයට පත් කර ඇත්තේය.

දලුකාණ, මිල්ලාන, ගිරිදමන, ඇල්ලේවැව, අරලගංවිල, අලවකුඹුර ආශ්‍රිත ගම්මානවල නව වෙහෙර විහාර ඇරඹෙන්නට විය. සීලාලංකාර හිමිගේ ගමන් මගේ පළමු පිළිවෙත වූයේ සසුන රැකීමත් සමඟ පැන නැඟෙන ජාතික ආගමික මෙහෙවර පණ ගැන්වී‍මය. 

දිඹුලාගල ස්වාමීන් වහන්සේත් පෙර ආත්ම භව කීපයක පූරණය කළ පුණ්‍ය බලයක් නොවී නම් මාතර කිතලගම සිට වසර දහසකටත් වැඩි කාලයක් මුළුල්ලේ වනගත වූ දිඹුලාගල පින් බිමේ හිමිකරුවා වීමට වරම් ලැබීම මෙලක්දිව් හි නැඟෙනහිර පළාත් ‍බද ජනතාවට ඒ හිමිගේ මහඟු සමාජ ජාතික මෙහෙවර නොලැබ යාමට ඉඩ තිබුණි.

කිසි දිනක බුද්ධ චීවරයක් නොදැක සිටි පිරිවර මහ සෙනඟක් හිමි දැක පහන් සිත් ඇති අය වූහ. දාන මාන පිළිගන්වන්නට පටන් ගත්හ. ලඳු කැලය මහා වනාන්තර හැර වෙන බිම් කඩක් නොදුටු පෞරාණික ආදි සිංහලයෝ ප්‍රාණයක් ලැබූහ.

උදලු කෙටි පණ ගැන්විණ. සරු පස උදුරා පැන නැඟුණු වී සහලින් අටු කොටු පිරිණි. එළවළු, පලතුරු පල බර වීය. අමු මිරිස් ලේ පෙරා කමින් දිවි ගෙවූ පාප කර්මය කළ පිරිස දැහැමි සමාජයකට අවතීර්ණ වූහ. පෙනෙන නොපෙනෙන තෙක් මානයේ අස්වැද්දූ කෙත් බිම්වල දවස පුරා කල් ගෙවූ පිරිසට දකින්නට ලැබුණේ මෙතෙක් කල් කෙළ සොටු පෙරාගෙන කපුටු හඬින් අවදි වන දරු පැටවුන් පිරිසිදු ඇඳුම් ඇඳ මවුපියන් වැඳ පාසල් යන ගමන් විලාසයයි. තමනට නොතේරුණත් හඬගා කියන කතන්දර ගල්ලෑලිවල පොත් පත්වල ලියන අකුරු දෙස බලා වැඩිමහල්ලෝ අධික තෘප්තියකට පත්වූහ. යෝධ පුරුෂයකු තම ගම්මානයට පැමිණ කළ මහ විස්කම් ගම් වැසි ජනතාව මහා ආශ්චර්යයක් ලෙස සිතූහ. පිරිවර අධික වූහ. උදේ අලුයම අවට ගම් වැසියෝ දිඹුලාගල කන්දට වැඳ නමස්කාර කරන්නට පුරුදු වූ වර්ගයාට යහ දිවියක් උදෙසා මේ මහා පුරුෂයාට කරන වන්දනාවක් ලෙස හැර දිඹුලාගල පුණ්‍ය භූමිය ගැන පැවති ඓතිහාසික හේතු කිසිවක් නොදැන ය. දිවා කාලය වෙහෙස වී සිටින අසල්වැසි ජනතාව හුළු අතු දල්වාගෙන හිමි දකින්නට එන්නේ බණ දහම ගැන අසා දැන ගැනීම සමඟ ඔවුන් සිත් සතන් තුළ පැන නැඟෙන භක්තිය ද යටි සිත්හි තබාගෙනය.

රූස්ස ගහ කොළ නිරන්තර නඟන රැහැයි හඬ දිඹුලාගල පින් බිම දෙවනත් කරද්දී සීලාලංකාර හිමිගේ උච්චස්වරයට සවන් දෙන්නෝ බොහෝ වූහ.

“ජාතියක් නැත්නම් ආගමක් නැහැ. අපට අපේ ආගම බේරගන්න මහන්සි වෙන්න ඕන නෑ. ඒක බේරගන්න වරම් ගත්ත දෙවි දේවතාවරු ඉන්නව. ඉස්සර වෙලාම බේර ගන්න ඕන මේ මහපොළොව. මේ මහ පොළොව බේරා නොගතහොත් අපි මොනවද කරල තියෙන්නෙ. උදේට බඩ පිරෙන්න කනව. දවල්ටත් කාල ඉස්මුරුත්තාව දාගෙන නිදාගන්නව. රෑටත් බඩකට පුරව ගෙන ගොරව ගොරව නිදාගන්නව. ඒකද යක්කුනේ අපිට කරන්න තියෙන්න. පොළොව සරුයි නම් ඒ මිනිහට කෑම බීම තියනව නම් සල්ලි තියනව නම් ඉබේටම ආගම අදහනව. කෙවිටි ගහන්න ඕන නෑ ආගම කරනව කියල දන් දීපන්, පන්සල හදපන් කිව්වට කිසිම දෙයක් දෙන්නෙ නෑ. දැන් යාපනේට ගිහින් කිව්වම දෙනවද? මඩකළපුවට ගිහින් කිව්වම දෙනවද? වවුනියාවට ගිහින් කිව්වම දෙනවද? කවුද දෙන්නෙ? ඒකට සිංහල බෞද්ධයෝම ඕන. මම කරන්නෙ ඒකයි. හැම තැනම සිංහල බෞද්ධයො පදිංචි කරන්න ඕන.

හත්තිලව්වේ, මම උඹලට හැමදාම කියන්නෙ මේක. ඉස්සෙල්ලම අපට රාජකාරියක් තියෙනව උඹල පැත්තකට වෙයල්ල. මම ඉස්සරහට යනවා.” 

හිමියෝ තමා වටකොට ගෙන සිටි පිරිස සමඟ මනම්පිටියට ගමන් ගත්හ. එහි පන්සලක් ඉදිකොට අවට ගම්වල සිංහල ජනතාව පදිංචි කරවීම හිමියන්ගේ අරමුණ විය. අවට ජනතාවගෙන් වැඩිම කොටසක් ද්‍රවිඩ ජනයා වූයෙන් හිමිගේ අදහසට බාධා එල්ල විණි. දිනක් තුළදී කුඩා ආවාස ගෙයක් ඉදිවිය. පළාතේ බලය තහවුරු කරගෙන සිටියේ හරක් මස් ගාත් පිටින් ලේ වගුරවමින් එල්ලා ගෙන සිටි මස් කඩ කාරයෙකි.

“වහපන් මස් කඩේ. මෙතන පන්සලක් හදල තියෙනව.” කිසිදාක මෙවැන්නක් අසා නොතිබුණු මස් කඩ මුදලාලි රියනක් දිග ඇති පිහියක් රැගෙන හැඳ සිටි සරම ඔසවාගෙන ඉස්සරහට ආයේය.

“මමයි මෙතන ලොක්කා. තමුසෙ කවුද මට කෑ ගහන්න?”

උත්පත්ති ගත ජීව ශක්තිය මතුව ආවේය. පර දෙමලකු තමන් ඉදිරියේ පිහියක් අමෝරා සිටී. තමා හට තිබුණු එකම ආයුධය වූ කුඩය අතට ගත් හිමියෝ දෙපා, විළුඹ ඔසවා සවිගෙන දිගට හරහට මුදලාලිගේ තට්ට ගෙඩියෙන් ටාං - ටාංගා හඬ නංවා පහර දෙන්නට විය.

බියපත් වූ මස්කඩ වෙළෙන්දා කැලයට පැන දිවීය.

ලබන සතියේ තවත් කොටසක්...

Comments