රතු දත්ත ලැයිස්තුවේ හිටියත් තවමත් කෙනෙහිලිකම් විඳින කැස්බෑවෝ | සිළුමිණ

රතු දත්ත ලැයිස්තුවේ හිටියත් තවමත් කෙනෙහිලිකම් විඳින කැස්බෑවෝ

කැස්බෑ සම්පතේ ඉතිහාසය අවුරුදු මිලියන සියයකටත් අධික කාලයක් පුරා දිව යන්නකි. මොවුන් ජුරාසික් යුගයේ ඩයිනෝසරයන්ගේ ඇතිවීම නැතිවීම ද දුටු සාර්ථක සත්ව කොට්ඨාසයක් ලෙස කැස්බෑවෝ නම් දරා ඇත්තෝය. ලෝක කැස්බෑ දිනය මැයි 23 වැනි සඳුදා දින යෙදී තිබෙන්නේ අනාගතයේ මොවුන්ගේ ආරක්ෂාව තව තවත් වර්ධනය කිරිමේ අරමුණිනි. කැස්බෑවන් මිනිස් මැදිහත්වීමකින් තොරව ස්වාභාවික පරිසරය තුළ නොනැසී ජීවත් වීමටත්, ඔවුන්ගේ පරිසරය තුළ ස්ථායී වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රමාණවත් දැනුවම්ත්භාවයක් ලෝකයාට ලබාදීමත් මේ කැස්බෑ දිනයේ ප්‍රධාන අරමුණය. IUCN රතු දත්ත වාර්තාවට අනුව කැස්බෑවුන් වඳවී යෑමේ තර්ජනයට ලක්වූ හා උග්‍ර ලෙස අවදානමට ලක්වූ සත්ත්ව කාණ්ඩ විශේෂයන්ට ඇතුළත්ය. 

වසර මිලියන 100 කට වැඩි කාලයක් තිස්සේ ලෝකයේ සාගරවල සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා මුහුදු කැස්බෑවන් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. මෙම භූමිකාව ඵලදායී කොරල් පර පරිසර පද්ධති නඩත්තු කිරීමේ සිට සාගරයේ සිට වෙරළ තීරයන් සහ වෙරළබඩ කඳුකරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ප්‍රවාහනය කිරීම දක්වා විහිදේ. වර්තමානයේ මුහුදු කැස්බෑවන් ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් මුළුමනින්ම පාහේ තුරන් වී ඇත. වාණිජමය මසුන් ඇල්ලීම, කැදැලි වාසස්ථාන අහිමි වීම සහ දේශගුණික විපර්යාස නිසා මුහුදු කැස්බෑවන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇත. මුහුදු කැස්බෑ ගහනය අඩු වන විට සාගර පරිසර පද්ධතිවල වැදගත් කාර්යයන් ඉටු කිරීමේ හැකියාව ද අඩුවන බව සොයා සොයාගෙන ඇත.

ලොව කැස්බෑ වර්ග 7 ක් ජීවත් වුවද ලංකාවේ මුහුදු තීරයේදි දකින්නට හා බිත්තර දැමීමට පැමිණෙන්නේ කැස්බෑ වර්ග 5 ක් පමණක් බව සත්ත්ව විද්‍යාඥයන්ගේ මතයයි. Green Sea Turtile හෙවත් කොළ මුහුදු කැස්බෑවා, Hawksbill Turtile හෙවත් පොතු කැස්බෑවා, Loggerhead Turtile හෙවත් ඔළුගෙඩි කැස්බෑවා , Olive Ridles Turtile හෙවත් බටු කැස්බෑවා හා Leatherback Turtile හෙවත් දාර කැස්බැවා එම වර්ග පහය. ඔස්ට්‍රේලියාවේ උතුරු වෙරළ තීරයට සීමා වූ Flatback හෙවත් ප්ලැට් බැක් කැස්බැවා හා ලංකාවට නොපැමිණෙන මෙක්සිකෝ හා උතුරු ඇමරිකා වෙරළ තීරයට සීමා වූ Kemp's Ridly හෙවත් කෙම්ප්ස් රිඩ්ලි කැස්බෑවා අපට දකින්නට නොලැබෙන කැස්බෑ විශේෂයන් අතර වෙයි. සමහරක් සත්ත්ව විද්‍යාඥයන් පවසන්නේ අටවැනි කැස්බැ විශේෂයක්ද ලොව ඇති බවකි. ඒ කොළ කැස්බෑවට හා ප්ලැට් බැක් නම් කැස්බෑවට ඥාතිත්වයක් ඇති Black Sea Turtile නම් 8 වැනි කැස්බෑ විශේෂයක්ද ඇති බවකි. ඒ කොළ කැස්බෑවගේ වැඩි වර්ණ කළු ලප වශයෙන් පිහිටි මේ විශේෂය ලංකාවේදි දක්නට ලැබෙන්නේ නැත.

කැස්බෑවන් පිළිබඳ අධ්‍යයනය කරන විශේෂඥයෝ පවසන්නේ අපේ රැකව, තංගල්ල, කොස්ගොඩ, කිරින්ද, උත්සන්ගොඩ, අම්බලන්ගොඩ ඇතුළු වෙරළ තීරයන්ට වැඩියෙන්ම සිය ප්‍රජනන කටයුතුත්ත සඳහා පැමිණෙන්නේ බටු හා කොළ කැස්බෑවුන් බවකි. ලංකාවේ දැකිය හැකි ඔළු ගෙඩි, දාර හා පොතු කැස්බෑවුන් පමණක් නොව බහුල කොළ හා බටු කැස්බැවුන්ද IUCN රතු දත්ත ලැයිස්තුවට අනුව තර්ජිත සත්ත්ව විශේෂයන්ට අයත් වන්නෝ වෙති. 2012 රතු දත්ත ලැයිස්තුවට අනුව විශේෂයෙන්ම දාර කැස්බෑවුන් දුර්ලභ සත්ත්ව විශේෂයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම කැස්බෑවුන්ගේ ගහනය කොතෙක් දුර්වලද කියතහොත් පසුගිය වසර දෙක තුන තුළ මොවුන් බිත්තර දැමීම සඳහා අපේ වෙරළ තීරයට පැමිණ ඇත්තේ වසරකට අවස්ථා දෙකකදි පමණි.

කැස්බෑ සංරක්ෂණය සම්බන්ධ හසළ දැනුමක් ඇති හික්කඩුව ජාතික උද්‍යාන භාරකරු උත්පල අදාරංග ලොව කැස්බෑ විහේෂ 7 අතරින් බිත්තර දැමීම සඳහා ලංකාවට පැමිණෙන්නේ එයින් විශේෂයන් 5 ක් පමණක් බවත්, මේ අය අතරින් ලංකාව නිජබිම කරගත් කැස්බෑවුන්ද සිටින බවත් අවධාරණය කරයි. 

ලංකාව අවට මුහුදු තීරයේ කැස්බෑ වර්ග 5 ක් දක්නට ලැබෙනවා. එයින් කෙම්ප්ස් රිඩ්ලි කැස්බෑවා හා ප්ලැට් බැක් කැස්බෑවා පමණයි, ලංකාවට පැමිණෙන්නේ නැත්තේ. බටු කැස්බෑවා මුහුදු රළ බිඳි අවසන් වන තැනයි, බිත්තර දාන්නේ. කොළ කැස්බෑවා, ඔළුගෙඩි කැස්බෑවා බිත්තර දාන්නේ වෙරලේ තුරුලතා අතරයි. මුහුදු වෙරළට බිත්තර දැමීමට පැමිණෙන මෙම කැස්බෑවුන් වැල්ලේ වළක් හාරන්නේ තමන්ගේ සිරුර ගිලිවිය හැකි ප්‍රමාණයටයි. අනතුරුව තවත් පොඩි වළක් ඔවුන් හාරනවා, බිත්තර තැන්පත් කරන්න. එක්වර කැස්බෑවකු බිත්තර 80- 160 ක් අතර ප්‍රමාණයක් දමනවා. එක් ගැහැනු ස‍ෙතකු දින 10-14 ත් අතර විවේකි කාලයක් ගනිමින් අවස්ථා 1-8 ත් අතර බිත්තර දැමීමට වෙරළට එනවා. ඔවුන් බිත්තර දමා ඒ බිත්තර ආරක්ෂා කරන්න තවත් බොරු වළවල් 2-3 ක් හාරනවා, එසේම අරක්ෂාව වෙනුවෙන් බිත්තර දමන්නේ රාත්‍රී කාලයේදී. බිත්තර දැමූ පසු මේ සත්වයන් නැවතත් මුහුදේ දියවැල් ඔස්සේ ගැඹුරු මුහුද දක්වා පිහිනා ගොස් යළිත් අවුරුදු 2-5 අතර කාලයකට පසු එම වෙරළටම යළිත් බිත්තර දැමීමට පැමිණෙනවා. කැස්බෑ බිත්තර රැකෙන්නේත් ඔවුන්ගේ ලිංගය නීර්ණය වන්නේත් වැල්ලේ පවතින උෂ්ණත්වය අනුවයි. විශේෂයෙන් පිරිමි සතුන් බිහිවන්නේ අඩු උෂ්ණත්වයකින් යුත් බිත්තරවලිනුයි. ගැහැනු සතුන් බිහිවන්නේ වැඩි උෂ්ණත්වයෙන් යුතු එනම් වළේ උඩින් පිහිටි බිත්තර වලිනුයි. වැල්ලේ රස්නය අවබෝධ කරගිනිමින්, වෙරළේ ඈත සිතිජයේ ආලෝකය ඔවුන්ට උත්තේජනයක් සපයමින් පැටවු මුහුද හඳුනාගෙන ඒ ඔස්සේ ඔවුන් වෙරළින් මුහුද කරා ඇඳී යනවා. මුහුදු රළට ලම්භකව ගමන් කර ගැඹුරු මුහුදේදී චුම්බකත්වය උපයෝගි කර ගනිමින් පැය 72 ක් එක දිගට ගැඹුරු මුහුදේ පිහිනා යාමට මේ පැටවුන් තුළ පවත්නා ආහාර සංචිත ප්‍රමාණය ඉවහල් වෙනවා. ඉන් අනතුරුව ඔවුන් නතර වෙන්නේ ගැඹුරු මුහුදේ ශාක හා ඇල්ගි ප්‍රදේශවලයි. ආහාර ගනිමින් ඒ මත යැපෙන ඔවුන් වසර 3-5 ත් අතර කාලයක් මේ කලාපයේ ගත කරන අතර, තවත් වසර 10 ක් පමණ කාලයක් ගුප්ත අවදියක් ගත කරනවා. ඉන් අනතුරුව ලිංගික පරිණත අවදියට පැමිණි මේ සතුන් නැවතත් බිත්තර දැමීමට තමන්ට හුරු පුරුදු පරිසරයටම අවුරුදු 20 ගියද සොයාගෙන ඒමට පෙලඹෙනවා. ගැහැනු හා පිරිමි සතුන් දෙපිරිසම එකවර වෙරළට පැමිණියද බිත්තර දැමීමට ගොඩබිමට පැමිණෙන්නේ ගැහැනු සතුන්. .....“ ඒ කැස්බැවුන් පිළිබඳ නිරන්තර අධික්ෂණයේ නියැළෙන හික්කඩුව ජාතික උද්‍යාන භාරකරු උත්පල අදාරංගය. 

අප කැස්බෑවුන් පිළිබඳව කොතෙකුත් කතා කළද ඔවුන් මේ වන විට සංරක්ෂණය කළ යුතු රතු දත්ත ලැයිස්තුවේ ඇතුළත් සත්ත්ව විශේෂයක් බව අමතක නොකළ යුතුය. මිනිසුන්ගේ විවිධාකර ක්‍රියාකාරම්වලින් අනාගතයේ නොදැනුවත්වම මෙම සත්ත්ව කෝට්ඨාසය වඳ වී යාමේ තර්ජනයට නතුව ඇති බව බොහෝ දෙනාගේ අදහසය. මුහුදු රළ ආරක්ෂාවට වෙරළ තීරය වටා ඉඳිකරන ගල් වැටි හේතුවෙන් කැස්බෑවුන් මුහුදු වෙරළේ බිත්තර දැමිම අඩු වී ඇත. මේ නිසා ගැබ් වේදනාවෙන් පෙළෙන ගැහැනු කැස්බෑවුන් ඒ අවශ්‍යතාව වතුරේදී ඉටු කිරීමට යාම නිසා බිත්තර වඳ වී යාමේ ප්‍රවණතාවක් ඇත්තේය. පරිසරවේදීන්ට අනුව පරිණත කැස්බෑවකු එකවර බිත්තර 1000 ක් දැමූවද එයින් නැවතත් වැඩිවියට පත්ව බිත්තර දමන තත්ත්වයට කැස්බෑවකු පත් වන්නේ ඔවුන්ගෙන් එක් කෙනකු පමණි.

කැස්බෑවුන්ට නොගැඹුරු මුහුදේදි තර්ජන අඩු වුවත්, එයද යම් පමණකටය. නැව් හැප්පීමෙන් මෙන්ම පතුලෙන් ඇදගෙන යන මඩු දැල් වලට හසුවීම, ඒවායෙන් දැල් බේරා ගැනීමේ අරමුණින් කැස්බෑවුන්ගේ පියාපත් කපා මුහුදට දැමීම මේ වන විට ඔවුන් හමුවේ නොනැසෙන තර්ජන බවට පත්ව ඇත්තේය. එක්ස්ප්‍රස් පර්ල් නැව හරහා පසුගිය කාලයේ මොවුන් අත්වින්දේ තවත් භයානක ඉරණමකටය.

“කැස්බෑවුන් බිත්තර දාන්න වැල්ලට එන්නේත්, බිත්තරවලින් පැටවුන් බිහිවන්නේත් රාත්‍රී කාලයේදි. ඒ ඔවුන්ට රාත්‍රිය අනතුරුදායක නොවන නිසා. නමුත් මේ බිත්තර ආහාරයට ගන්නා විලෝපිකයන් වැඩියි. කුමන ජාතික උද්‍යානවල වල් ඌරෝ, නරි වැනි සතුන් මෙන්ම කකුළුවන් ආඝ්‍රාණය හරහා බිත්තර තිබෙන තැන් සොයා ගන්නවා. ඒ වගේම මිනිසුන් මේ බිත්තර ආහාරයට ගන්නවා. කැස්බෑවුන් මරා මස් ආහාරයට ගන්නවා. කැස්බෑ කටු ලබා ගන්නට සතුන් මරනවා. ඒ වගේම මේ කුඩා කැස්බෑ පැටවු විශාල මාළු ආහාරයට ගන්නවා. මේ නිසා සමහර ස්ථානවල කැස්බෑ බිත්තර සංරක්ෂණය කර පැටවු ආ පසු ඔවුන් මුහුදට නිදහස් කර යැවීමට පවා සංරක්ෂණ මධ්‍යස්ථාන හරහා පියවර ගෙන තියෙනවා. කුමන, රැකව එවැනි ආරක්ෂිත ස්ථාන ක්‍රියාත්මක කර තියෙන්නේ මේ සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්මයි....“ ඒ කුමන වන සත්ත්ව අඩවි ආරක්ෂක යූ. ඒ. ආර්. ආර්. උඩගෙදරය. 

වන ජීවි හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ මේ සතුන් ආරක්ෂා කිරීමේ නීති අණ පනත් සකසා ඇත. මෙම නීති කඩ කිරීමෙන් රුපියල් 30,000 සිට රුපියල් ලක්ෂය දක්වා වූ දඩයක් නියම කිරීමට හෝ සිර දඬුවම් විඳීමට සිදු වේ.

කෙසේ වෙතත් පසුගිය කාලයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදු බත්වීම නිසා විශාල වශයෙන් මුහුදු ජිවීන් හානියට පත් වූ බව නොරහසකි. එයින් වැඩිම හානියක් සිදුවූයේ ලංකාව වටා මුහුදු තීරයේ වූ කැස්බෑ විශේෂයන්ටය. වන ජීවි දෙපාර්තමේන්තුව පවසන පරිදි මේ වන විට එක්ස්ප්‍රස් පර්ල් හේතුවෙන් කැස්බෑ මරණ 387 ක් සිදු වී ඇත්තේය.

“මේ වන විට කැස්බෑ මරණ 387 ක් සිදුවී තියෙන බව අපිට වාර්තා වුණා. වන ජීවි රක්ෂිත කලාප තුළ හා පිටත මේ සතුන්ට ආරක්ෂාව හිමි වෙනවා. ලංකාවේ මුහුදට පැමිණෙන මෙම කැස්බෑ වර්ග 5 දැඩි ආරක්ෂිත සතුන්. ලංකා මුහුදු ප්‍රදේශයේ දේශීය ජල තීරයේ මෙම සතුන් ඇල්ලීම, ළඟ තබා ගැනීම, මැරීම, ප්‍රදර්ශනය සඳහා විකිණීම, ඇල්ලීම, උගුල් ඇටවීම, මෙම සත්ත්ව කොටස් ළඟ තබා ගැනීම, මස් පිණිස විකිණීම හෝ වෙනත් වාණිජ අරමුණක් වෙනුවෙන් භාවිත කිරීම ලංකාවේ නීතිය අඩුව දැඩි දඬුවම් විඳිය හැකි කරුණක්. එසේම වන ජිවි දෙපාර්තමේන්තුව යටතේ ඇති සමුද්‍ර සංරක්ෂණ ඒකකය හරහා මේ සියල්ල අධික්ෂණය වෙනවා. අපි ලංකාව වටේම සතුන්ට ඇති මර්මස්ථාන හඳුනාගෙන ඒ ස්ථානවල විශේෂ ඒකක පිහිටුවීමට කටයුතු යොදා තියෙනවා. ඒ වගේම දෙපාර්තමේන්තුව හරහා කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන අධීක්ෂණය කරනවා. .............“ ඒ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍ර එ්කක ප්‍රධානී අසංක ගුණවර්ධනය.


Comments