
ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ චරිත
රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කළ ‘රාජකීය’ නායකයා වෙනුර එදිරිසිංහයි
සරසවි සිසු විරෝධතා හඬ නඟති. ‘අපි යන්නේ මොන පාරේ - නිස්මි, වෙනුර ගිය පාරේ‘ ඒ එක් සටන් පාඨයකි. මෙයට 35 වසරකට පෙර රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිවද මෙවැනි අරගලයක් දියත් විය. අවසානයේ වෛද්‍ය සිසුන් 33 දෙනකු ජීවිත වලින් වන්දි ගෙවමින් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු විය. පසුව එය කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත්විය. වාර්ෂිකව දැයේ දූ දරුවෝ 200කට අධික පිරිසක් දැන් එහි නිදහස් අධ්‍යාපනය ලබති. වෙනුර එදිරිසිංහ යනු එම අරගලයට නායකත්වය දුන් නියමුවාය.
වෛද්‍ය පීඨයේ සිසුන් ශිෂ්‍ය සටන්වලට අවතීරණ කරගැනීමට මුල් කාලයේ ඉතා අසීරු කරුණක් විය. ඒ සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මැදිහත්වූ අතර සමස්ත අරගලයේම නායකයා වූයේ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවකු වූ වෙනුර එදිරිසිංහය. ඔහු විමල් ලෙසද හැඳින්විණි.
වෙනුරගේ සීයා වූ එදිරිසිංහ ආරච්චිගේ කරෝලිස් අප්පුහාමි උපන්නේ නාත්තණ්ඩිය නාරාවිලය. ඔහුගේ බිරිය උඩවෙල පෙත්ම පෙරුම ආරච්චිගේ එලියාහාමිය. ගොවිතැන ජීවිකාව කරගත් ඒ දෙපළගේ දරුවන් 8 දෙනාගෙන් 7 වැනියා වූයේ 1936 අගෝස්තු 6 උපන් එදිරිසිංහ ආරච්චිගේ තිලකරත්නය. පසුකලෙක වෘත්තියෙන් පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ එදිරිසිංහ 1965 ජනවාරි 6 අවාහ වූයේ ආණමඩුව සුරක්කුලමේදී 1946 ජනවාරි 26 උපන් රාජකරුණා හේරත් මුදියන්සේලාගේ ඥානවතී සමඟය. ඥානවතී සොයුරු සොයුරියන් 14 දෙනෙකු සිටි පවුලේ 6 වැනියාය.
තිලකරත්න එදිරිසිංහ සහ ඥානවතී රාජකරුණාට දරුවන් තිදෙනෙකි. ඒ 1966 සැප්තැම්බර් 8 උපන් වෙනුර වර්ධිත, 1969 ජනවාරි 23 උපන් වසන්ත කුමාර සහ 1972 මාර්තු 3 උපන් තුෂාරි ප්‍රියදර්ශනීය. වෛද්‍යාචාර්ය තිලකරත්න එදිරිසිංහ මාරවිල පහළ හත්තිනියේ කැඩුම් බිඳුම් ප්‍රතිකාර සඳහා ප්‍රකට විශේෂඥයෙකි. නාත්තණ්ඩිය, මහවැව පිහිටි ගොඩවල ඛෙහෙත් ශාලාවේ හිමිකරු ය.
ඔහුගේ වැඩිමහල් දරුවා වූ වෙනුර වර්ධිත එදිරිසිංහ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මුදරන්කුලිය විදුහලේය. පළමු ශ්‍රේණිය සමත්වීමෙන් පසු ඉහළ අධ්‍යාපන සුදුසුකම් මත තෙවන ශ්‍රේණියට ඇතුළත් කරන ලදී. තෙවන ශ්‍රේණියද මාස 2ක් සිටීමෙන් පසු 4වන ශ්‍රේණියට සමත් කරන ලදී. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය විභාග අංක ඉසෙඩ් 366 යටතේ 1976දී සමත්ව මිනුවන්ගොඩ ශාන්ත ජෝශප් කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් කළේය. අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තෙක් ත්‍රෛයිමාසිකව රුපියල් 225ක ශිෂ්‍යාධාරයක්ද හිමිවිය. මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි වෙනුර වර්ධිත විශිෂ්ට සම්මාන 8ක් ලබාගනිමින් වයඹ පළාතේම ප්‍රථමයා වූ අතර ශ්‍රී ලංකාවේම සිව්වැනියා බවට පත්විය. අපොස උසස් පෙළ සඳහා කොළඹ රාජකීය විදුහලට පැමිණියේය.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ කණ්ඩායමේ ඉහළම ලකුණු ලබාගත්තේද උසස් පෙළ විද්‍යා අංශයේ දිවයිනේ පළමුවැනියා වූයේද වෙනුරය. රාජකීය විද්‍යාලයේ 1984 තැගි ප්‍රදානෝත්සවයේ විශිෂ්ටතම ශිෂ්‍යයකු ලෙසින් අනුස්මරණ ත්‍යාගයන් 5ක්ද දිනාගත්තේ ඔහුය. වෙනුර සිටි 11 බී එස් 1 පන්තියේ පන්තිභාර ගුරුවරිය වූයේ දේවිකා රණසිංහය. පන්තියේ සෙසු සගයන් අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම් වූ අජිත් පතිරණ සහ සන්ඩේ ඔබ්සවර් කර්තෘ දිනේෂ් විරවංශ ඇතුළු කිහිප දෙනෙක්ම විය. පන්තියේ මිතුරන් වෙනුර හැඳින්වූයේ ‘මවුලා බිල්ලා‘ යන දක්ෂයන් අගයන සුරතල් නාමයෙනි.
ජ්‍යෙෂ්ඨ අංශයේ කලා තරගයේදී කෙටිකතා සහ ගීත රචනා අංශයෙන් ප්‍රථමයාද, කාව්‍ය රචනා තරගයෙන් දෙවැනියාද වූයේ වෙනුරය. ඔහු ලියන ලද කළු වලාකුළේ කාව්‍ය රචනාව මෙසේය. ලාපිපාසයෙන් පීඩිත වී - මුව පොව්වන් මිරිඟු සොයා, දිව යනු දකිනා ඔබ ඉන් - සතුට සොයනවාදෝ..., පරවෙන මල් කැකුළු බලා - මැලැවුණු තුරුවැල් ගයනා, දුක් ගීතය කෙළෙසකවත් - ඔබට ඇසෙනවාදෝ, කළු වලාකුළේ, වෙනුර වර්ධිත ගායනයටද දක්ෂය. සිය මව ඉදිරියේ ඔහු ළයාන්විතව ගායනා කළ ‘දණගාද්දි ඇවිදින්නට මට අත දුන්නා‘ ගීතය තවමත් ඇයගේ මතකයෙන් බැහැරවී නැත. රාජකීය විද්‍යාලයේ සිසුවකුව සිටියදී වෙනුර වසර දෙකකට ආසන්න කාලයක් නැවතී සිටියේ සර් ඔලිවර් ගුණතිලකගේ ඥාතියකුට අයත් හෝර්ටන් පෙදෙසේ නිවසකය. එදිරිසිංහ පවුලේ හිතවතකුගේ ඉල්ලීම අනුව නිවෙස් හිමියෝ ඒ සඳහා නොමිලේ නවාතැන් ලබා දුන්නේය.
වෛද්‍යාචාර්ය තිලකරත්න එදිරිසිංහ වෙනුර ඇතුළු සිය දරු පවුල සමඟ ප්‍රථමයෙන් වාසය කළේ ආණමඩුව මුදලක්කුලියේය. එහි විහාරස්ථානයක් වූ ථූපාරාමයේ අධිපති රඹෑවේ පියරත්න නාහිමියන් වෙතින් දහම් පාසලේ නිවේදකයකු වූ වෙනුර වර්ධිත කුඩා කලදීම කථික විද්‍යාව ප්‍රායෝගිකව ඉගෙන ගත්තේය. පසුව මාරවිල ගොඩවෙල හන්දියේ පදිංචියට පැමිණි එදිරිසිංහ පවුල, 1985දී මාරවිල පහළ හත්තිනියට පැමිණියහ.
කොළඹ වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබූ වෙනුර වර්ධිතට රුපියල් 300ක් හිමිවන මහපොල ශිෂ්‍යත්වයක්ද ලැබිණි. එය පන්නල වික්‍රමසිංහ විදුහලේ උත්සවයකදී ප්‍රධානය කරන ලද්දේ ඇමති ලලිත් ඇතුළත්මුදලි විසිනි. නීති-වෛද්‍ය ශිෂ්‍ය සංවිධාන කමිටුවේ සම සභාපතිවරයා වශයෙන් ප්‍රථම වසරේදීම පත්වූ වෙනුර වෛද්‍ය පීඨයේ වොලිබෝල් කණ්ඩායම ඇතුළු ක්‍රීඩා කිහිපයක්ම නියෝජනය කළේය. වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ නායකයාය.
වෙනුර එදිරිසිංහ පසුව අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1988 මැයි සිට 1989 මැයි දක්වා කටයුතු කරන ලදී. එයට පෙර අන්තරේ කැඳවුම්කරු වශයෙන් කටයුුතු කළ මොරටු සරසවියේ නිමල් බාලසූරිය බෝම්බයක් පිපිරිමෙන් 1988 මැයි 8 ජීවිතක්ෂයට පත්විය. වෙනුර 1989 මැයි සිට මියයන තෙක්ම ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කළේය. වෙනුරට පසුව 1989 ජුනි අන්තරේ කැඳවුම්කරු වූයේ පේරාදෙණිය සිසු උදේනි බන්දුල බස්නායකය.
වෙනුර වර්ධිත අවසාන වශයෙන් නිවසට පැමිණියේ 1989 ඔක්තෝබර් 20ය. මව පියා ඇතුළු නිවසේ සියලුදෙනා ආරක්ෂාව සඳහා යැයි කියමින් වෑන් රථයක නංවාගෙන හලාවත නිවසක නතර කළ වෙනුර පසුදා අලුයම සිය මිතුරෙකු සමඟ හලාවත දුම්රිය ස්ථානයට ගොස් කොළඹට පැමිණියේය. කීර්තිධර මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ගේ කොල්ලුපිටියේ පිහිටි නිවසට ගොස් පිටතට පැමිණෙමින් සිටියදී බම්බලපිටියේදී පැහැරගෙන ගියේ 1989 ඔක්තෝබර් 22ය. පසුව රේස්කෝස්හි පිහිටි වධකාගාරයට සහ හෙන්ද්‍රි ප්‍රේදිරිස් පිටියේ පිහිටි වධකාගාරයට ගෙන ගොස් තිරස්චීන වද බන්ධනවලට මුහුණ දුන්න ද ඔහු කිසිදු තොරතුරක් අනාවරණය නොකළේය. ඝාතනයට පෙර අවසන් වශයෙන් ආරක්ෂක අංශවලට වෙනුර වර්ධිත කියා ඇත්තේ මතු පරපුරේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි සටන් වැදුණෙමු. නිදහස් අධ්‍යාපනය දිනේවා යන්නය.
වෙනුරගේ මව වන ඥානවතී එදිරිසිංහ සිසු විරුවන් සිහිකිරීමේ කොළඹ, කැලණිය (රාගම වෛද්‍ය පීඨය), ශ්‍රී ජයවර්ධනපුර සරසවියන්හි ද මහජන පුස්තකාලය ඇතුළු බොහෝ ස්ථානයන්හිද ලේඛකයාට හමුවිය. ශේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යයේ එන කියමනක් වෙනුරගේ සමකාලීන වෛද්‍ය මිතුරෝ අද ද ආවර්ජනය කරති. එනම් ඔහු මිනිස් ගුණයෙන් පිරි මිනිසෙකි. එවැන්නකු කිසිදිනෙක නොදිටිමි. වෙනුර වර්ධිත ඇතුළු දිවිදුන් වෛද්‍ය සිසුන් 33 දෙනා තබාගිය පරමාදර්ශී සටහන් වෛද්‍ය පීඨ සිසුන්ගේ හදවත් තුළ ගැඹුරු ම තැනක අදට ද ජීවමානය.
රක්වානේ මැණික් ව්‍යාපාරිකයකු වූ පානදුර බණ්ඩාරගම පදිංචි අහමඩ් ලෙබ්බේට සහ ඔහුගේ බිරිය යුසූප් හව්වා උම්මාට දරුවන් 6 දෙනෙකි. ඉන් පිරිමි දරුවන් 4 දෙනාම ගුරුවරුන්ය. දෙවන දරුවා වූ සෙයින් සිරාජුඩීන් උපන්නේ 1934 අගෝස්තු 23 වැනිදාය. ගුරුවරයකු ලෙස රක්වාන අස්වලාම් විදුහලට 1957 මැයි 6 පත්වීමක් ලැබූ සෙයින් සිරාජුඩීන් මඩකලපුව අඩ්ඩාලච්චේන ගුරු විදුහලේදී ගුරු පුහුණුව ලබා ගත්තේ 1960/61 වසරයන්හිදීය. ඉතිහාසය සහ ව්‍යවහාරික ගණිතය පිළිබඳව උප ගුරුවරයකු වූ සෙයින් සිරාජුඩීන් අවාහ වූයේ 1962 දෙසැම්බර් 11ය. ඒ පානදුරේ එළුවිල මුස්ලීම් මහ විද්‍යාලයේ උසස් පෙළ ගුරුවරියක වූ සහීඩ් ආතිකා උම්මා සමඟ ය.
සෙයින් සිරාජුඩීන්ට දරුවන් සිවු දෙනෙකි. වැඩිමලා වූයේ සිරාජුඩීන් මොහොමඩ් නිස්මිය. ඔහු උපන්නේ 1964 නොවැම්බර් 14 මරදානේ ද සොයිසා රෝහලේදීය. අරාබි බසින් නිස්මි යන නමේ තේරුම ‘සනීපදායක මඳ පවන’ යන්නය. සෙසු දරුවන් වූයේ 1966දී උපන් නලීරා, 1971දී උපන් නෆ්ලි සහ 1974 උපන් ඩිල්ෂාද්ය. සෙයින් සිරාජුඩීන් ගුරුතුමා, මතුගම ශාන්ත මේරි, පානදුර හොරේතුඩුව මුස්ලිම් විදුහල, රත්නපුර අල් මතියා සහ රක්වාන ශාන්ත ජෝන් ඇතුළු පාසැල් 8ක ගුරුවරයකු සහ විදුහල්පතිවරයකු වශයෙන් 1957 සිට 1991 විශ්‍රාම යන තෙක් සේවය කළේය. එබැවින් ඔහුගේ ස්ථීර පදිංචිය ලෙස තෝරාගත්තේ රත්නපුරේ ඇතුල්රවුම් පාරේ කජුගස්වත්තය.
පසු කලෙක ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය සහ ජවිපෙ 2වැනි කැරැල්ලේ පරමාදර්ශී චරිතයක් බවට පත්වූයේ සෙයින් ගුරුතුමාගේ වැඩිමහල් දරුවාවූ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේ සිසුවෙකුවූ එස්. එම් නිස්මිය. පානදුරේ ශාන්ත ජෝන් ප්‍රාථමික විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ නිස්මි පසුව රක්වාන ශාන්ත අන්තෝනි විදුහලේ 5 වසර දක්වා අධ්‍යාපනය ලැබීය. සයවන වසර සඳහා ඇහැලියගොඩ මධ්‍ය මහ විද්‍යාලයට ඇතුළත් වූ ඔහු 7 සිට 12 වසර දක්වා සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලෙනි. ගණිත අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලත් ඔහු ඇලෝසියස් විදුහලේ ශිෂ්‍ය නායකයකු වූ ඔහු වොලිබෝල් සහ මැරතන් ශූරයෙකි. දක්ෂ කථිකයෙකි. සිය මව මියයෑමෙන් පසු පරිසරයේ චලනයන් මත නිස්මිගේ නවාතැන බවටද කෙටිකලක් පාසැල පත්විය. ඇලෝසියස් විදුහල්පති කුලරත්න විසින් පාසැලේම නැවතී පාඩම් කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබිණි.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් 1980දී සමත්වූ ඔහු 1982 උසස් පෙළ විභාගයෙන් ඒ තුනක් සහ සී එකක් ගනිමින් ලකුණු 196 රත්නපුර දිස්ත්‍රික්කයෙන් ලබා පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයට 1984දී ඇතුළු විය. ඇලෝසියස් විදුහලෙන්ම එම වසරේ පේරාදෙණියට තේරුණු අය අතර මුවඟ ම නක්කාවිට සහ රත්නපුරේ සුසිල්ද විය. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉංජිනේරු පීඨයට ඇතුළු වූ ප්‍රථම මුස්ලීම් ජාතිකයා නිස්මිය. ඔහුගේ සරසවි ලියාපදිංචි අංකය ඊ.එන්/84/140 වේ. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය 1985 සිට හිමි වූ අතර මාසිකව රුපියල් 500ක ශිෂ්‍යත්වයක් එමගින් ලැබිණි. එක්සත් අරාබියේ අයි. ඩී. බී බැංකුව මඟින් පිරිනමන ශිෂ්‍යත්වයක් යටතේ නිස්මිට තෙමසකට වරක් රුපියල් 12,000ක් ලැබුණු අතර එම මුදලින් නිස්මි දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කළේය.
ආචාර්ය, සේවක, සිසුන් ආදී කවරකුගේ වුවද සිත දිනාගැනීමට නිස්මිට ගතවූයේ සුළු කලෙකි. අරමුණු සහගතව සෘජුව සිටියේය. නිස්මි අධ්‍යාපනය හා සුබසාධන ගැටලු හමුවේ ඔහු දැක්වූ ක්‍රියාකාරීත්වය හා කැපවීම ඉහළින්ම විය. විශිෂ්ට සංවිධාන ශක්තියෙන් හෙබිය. සරසවි සිසුන්ගේ හදගැස්‌ම පමණක් නොව සියලු ජාතීන්ගේ සංස්‌කෘතිය, ජන විඥනය පිළිබඳව ද ඔහු සතුව තිබූ දැනුම සහ අවබෝධය පුළුල්ය. ඔහු මෙහෙයවූ සෑම සිසු අරගලයක්ම නිමා වූයේ ජයග්‍රහණයකිනි. මනා පෞරුෂයකින් හෙබි නිස්මිගේ එක කතාවකින් සගයන්ගේ ඕනෑම ක්‍රියාදාමයක් වෙනස් කළ හැකි විය. රබර් සෙරප්පු දෙකක් පැලඳ අළු පැහැති කලිසමත් කොටු කමිසයත් ඔහුටම ආවේණිකවී තිබිණි.
නිස්මිගේ බාප්පා කෙනකු වූ පානදුරේ පදිංචි අම්බලන්දූව මුස්ලිම් විද්‍යාලයේ ගණිත ගුරුවරයකු වූ අබ්දුල් ජබ්බාර් ජවිපෙට සම්බන්ධවී සිටි අතර එමඟින් 1982දී ජවිපෙ නිස්මිට කොක්ක ගසා තිබිණි. ජවිපෙ 2වැනි කැකැරැල්ල පැවති 1987දී අගෝස්තු මස ශාන්ත බණ්ඩාරගේ සැලසුමක් අනුව වාද්දුව හමුදා කඳවුරට ජවිපෙ විසින් එල්ල කළ ප්‍රහාරය සඳහා සහභාගි වූ අයට ඇඳුම් මසන ලද්දේද ජබ්බාර්ගේ පානදුර නිවසේදීය. ජවිපෙ නායකයකු වූ ඩී. එම්. ආනන්දගේ මඟ පෙන්වීම යටතේ ගුරුවරයකු වූ වජිර හරහා ජවිපෙ පන්තිවලට නිස්මි සම්බන්ධ විය. ජවිපෙ පන්ති කුරුවිටදී නිස්මිට පවත්වන ලද්දේ රත්නපුර ගුඩ්ෂෙඩ් අසල ප්‍රචාරක දැන්වීම් ආයතනයක පුද්ගලයකු විසිනි.
අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව 1982 පැවති උද්ඝෝෂණයේදී රත්නපුර ඇලෝසියස් විදුහලේ ශිෂ්‍ය සටන්වලට නායකත්වය දුන් නිස්මි විසින් ඩී. එම් ආනන්ද සමඟ එක්ව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කලවාන අධ්‍යාපාන කොට්ඨාසවල සිසුන් විරෝධතාවලට ගොනු කිරීමටද සමත් වූහ. ජවිපෙ 1983 මැයි පෙළපාලියටද නිස්මි එක්විය. ජවිපෙ තහනමින් පසු පක්ෂය සමඟ රත්නපුරයේදී නිස්මිව සම්බන්ධීකරණය කළේ ජයවර්ධනපුර සරසවියේ සිසුවකු වූ ජයවර්ණ විසිනි. නිස්මිගේ පසුකාලීන දේශපාලන ගුරුවරයකු වූයේ රංජිතම් ගුණරත්නම්ය. පේරාදෙණිය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවකු වූ නුවරඑළියේ ගිනිගත්හේනේ ජයශ්‍රී ගුණසේකරගෙන්ද නිස්මි බොහෝ දේ උගත්තේය.
රංජිතම් ගුණරත්නම් විසින් මාතලේදී 1986 මාර්තු 11 පවත්වන ලද ජවිපෙ අධ්‍යාපන කඳවුරටද නිස්මි සහභාගී විය. පේරාදෙණිය සරසවියේ අභ්‍යන්තර ජවිපෙ පක්ෂ කමිටුවක් නුවර දිසා ලේකම් විල්සන් විසින් 1987 පිහිටවූ අතර කෙහෙල්පන්විල පන්සලේ පැවති සමාරම්භක කමිටුවට නිස්මිද ඇතුළත් විය. ජවිපෙ මෙහෙයවීමෙන් ජාතික විමුක්ති අරගලය සඳහා කාර්යධරයන් බිහිකිරීම සඳහා අධ්‍යාපන කඳවුරක් 1988 මාර්තු මස ජයවර්ධනපුර සරසවියේ පැවති අතර එයට සහභාගී වූ සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් අතර නිස්මිද විය. මෙම අධ්‍යාපනික කඳවුරේ අරමුණ වුයේ 1988 ජුනි 14 ආරම්භ කළ ජාතික ශිෂ්‍ය සහ කම්කරු සටන් මධ්‍යස්ථානයන් බලකඳවුරු ගොඩනැගීමය. විවිධ ක්ෂේත්‍රයන් සදහා පූර්ණකාලීනව ඔවුහු විසිර ගියෝය. නිස්මි අනුරාධපුර, පොළොන්නරුව ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්කයන්හි එම අංශයන් බාරව කටයුතු කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ තලයේ ක්‍රියාකාරිකයන් අතර මුස්ලීම් ජාතිකයන් සිටියේ කිහිපදෙනෙකි. ඒ මඩකලපුව කාත්තන්කුඩියේ ගුරුවරයකු වූ මඩකලපුවේ ජවිපෙ හිටපු සංවිධායක එම්. ටී.එම් ඊබ්‍රා ලෙබ්බේ, මඩකලපුවේ විදුහල්පතිවරයෙකු වූ අබ්දුල් මුබාරක්, නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රචාරක ලේකම් වූ ඒ.එස්.එම් අයුබ්, මැදිරිගිරියේ එස්.එම්. ආදම් ලෙබ්බේ, මහමුද් නාවුර් පිච්චේ ඇතුළු පිරිසකි. ලේඛකයාට නිස්මි ප්‍රථමයෙන් 1985 කැලණි සරසවියේදී හමුවූ අතර අවසාන වරට හමුවූයේ 1989 සැප්තැම්බර් මුල අනුරාධපුර දෙවන පියවරේ ප්‍රකට ව්‍යාපාරික උදය වලිසිංහට අයත් පීමන් පාරේ නිවසේදීය. ඒ අතර හමුවූ වාර ගණන දුසිම් දෙකකට වැඩිය.
ගුණපාල ගජනායකගෙන් පසු පේරාදෙණිය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු වශයෙන් 1986 සැප්තැම්බර් නිස්මි පත්වීමෙන් පසු මුල්වරට කථාකළේ 1986 ගලහ හන්දියේ කැලණි සරසවි ශිෂ්‍ය භික්ෂූන්ගේ නේවාසිකාගාර අරගලයට සහායදීමේ උද්ඝෝෂණයේදීය. ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ දෙවැනි නායකයා වශයෙන් දන්ත පීඨයේ දික්වැල්ලේ එදිරිසිංහ, නිස්මි මන් මතුකර තිබිණි.
ඉංජිනේරු පීඨයේ නායකයා ලෙස නිස්මි ඉස්මතු වූයේ පේරාදෙණිය සරසවියේ ඉලෙක් ලැබ් 1986 සිසු ප්‍රශ්නයේදී නිවැරදි නායකත්වයක් ලබාදීමෙනි. සටනින් තොර ජයක් නැති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. දඬුවමට ලක්වූ සිසුන් 6 දෙනෙකුගේ තහනම ඉවත් විය. වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුන් 9ක් දෙවන වසරේ විභාගයට 5වරක් පෙනී සිටීමෙන් ශිෂ්‍යභාවය අහෝසිවීමේ තර්ජනයක්ද මතුවිය. දෙවන වසරේ විභාගය ඔවුන්ට 5වැනි වරට පවත්වන ලද්දේ වැරදි ක්‍රමයට දින 45ක් හෝ නොදීමෙන් බව නිස්මි කළ තර්කානුකූල මැදිහත්වීමෙන් යළිත් අවසාන වාරයක් වශයෙන් ඔවුන්ට විභාගය කිරීමට පරිපාලනය ඉඩදෙන ලදී. එහිදි වෛද්‍ය සිසුන් 9දෙනාම සමත්වීමෙන් නිස්මිගේ පරිණතභාවය වෛද්‍ය සිසුන්ටද පිළිගැනීමට සිදුවිය. එමෙන්ම 1978 සිට දෙකඩ කොට තිබූ පේරාදෙණිය ශ්‍රාස්ත්‍ර පීඨය යළි ඒකාබද්ධ කිරීම සඳහා 1986දී පැවති දුම්බර සටනටද නිස්මි නායකත්වය දුන් අතර එය ජයග්‍රහණයෙන් කෙළවර විය. කලා සිසුන්ද නායකයකු වශයෙන් ඔහු වැලඳ ගත්තේය. නිස්මිගේ හඬ පේරාදෙණිය සරසවියේ හඬ බවට පත්විය. පසුව එය අන්තරේ හඬ බවට පත්විය. ඉනික්බිතිව සිසු පරපුරේ හඬවූයේද එයයි. ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රථම කැඳවුම්කරු බවට පත්වූයේ ඔහුය.
නිස්මි තමාගේ අධ්‍යාපන කටයුතුවලින් බැහැරව පූර්ණකාලීනව ශිෂ්‍ය ව්‍යාපාරයට යොමුවූයේ දෙවන වසරේ සිටය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සහ පළාත් සභා පනතට එරෙහිව විරෝධතා විරෝධතා රටපුරා සරසවිවල 1987දි ඇරඹීමත් සමඟම කොළඹ ජපුර මොරටුව කැලණිය සහ රුහුණ සරසවිවල විරෝධතා දෙදිනකින් මර්දනය කිරීමට රජය සමත්වූවද පේරාදෙණියේ විරෝධතා කලින් එකඟ වූ පරිදි දැඩි මර්දනය හමුවේ සතියක් පුරා පවත්වාගෙන යෑමට නායකත්වය දුන්නේ නිස්මිය.
සරසවි අන්‍යයන සේවක කාර්ය මණ්ඩලය මඟින් වැඩි වැටුප් ඉල්ලා කල අරගලයට පේරාදෙණිය ඇතුළු සරසවි කිහිපයකදී එය ජයග්‍රහණය කරා මෙහෙයවීමට නිස්මි මුල්විය. ජයග්‍රහණයෙන් පසු ඔහුගේ සේවය ඇගයීමට අන්‍යයන සේවකයන් විසින් රුපියල් 100 බැගින් එකතු කොට සී 90 යතුරු පැදියක් තෑගි කරන ලදි. මේ යතුරු පැදිය රුපියල් 6,500කට 1988 මිලදී ගනු ලැබුවේ සරසවි මාෂල්වරයා වන පෙරේරාගෙනි. වර්තමානයේද එය සුරැකිව ඇත. ජවිපෙ මගින් 200ආර් ට්‍රේල් වර්ගයේ යතුරු පැදියක් 1989දී රුපියල් 23,000ක් වැයකර කුරුණෑගලින් මිලදී ගන්නා තෙක් එම සේවකයින් දුන් චැලිය නිස්මිගේ වාහනය විය. ආරක්ෂාව වෙනුවෙන් අලුතින්ම තවත් බයිසිකලයක් ගැනීමට නිස්මිට රුපියල් 25,000ක මුදලක් රත්නපුරේ ව්‍යාපාරිකයෙකුවූ එම්. වයි. එම්. ඉර්හාම් ලබාදීමට එකඟවූවද එය ලබාගැනීමට පෙර නිස්මි අත්අඩංගුවට පත්වී තිබිණි.
පේරාදෙණිය සරසවිය 1988 පෙබරවාරි මස දින නියමයකින් තොරව වසා දමන ලදී. මෙහිදී දිස්ත්‍රික් පුරවැසි කමිටු, ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානය, සමස්ත ලංකා සරසවි සිසු දෙමාපිය සම්මේලනය, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන රැසක් ඇති කිරීමට අන්තරේ මැදිහත් වූ අතර නිස්මි එයට ක්‍රියාකාරී නායකත්වයක් ලබාදුනි. දේශප්‍රේමී ජාතික පෙරමුණක් බිහිකිරීම සඳහා 1988 ජුලි මස සිට නිස්මි සුවිශේෂ කාර්යභාරයක් කළේය. නිස්මි වසර 2ක කාලය තුළ අත්පත් කරගත් දේශපාලන වර්ධනය වෙනත් සමකාලින කිසිදු නායකයෙකුගෙන් පවා දැකගත නොහැකි වර්ධනයකි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් නුගේගොඩදී 1988 ජුනි 09 පවත්වනු ලැබූ 40,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති රැලියේදී කථිකයකු වුයේද නිස්මිය. ආනන්ද සමරකෝන් එළිමහන් රඟ පීඨයේ දේශප්‍රේමී එක්සත් පෙරමුණක් ගොඩනඟමු මැයින් පැවති එම රැස්වීමේදී මුලසුන හෙබවූයේ ආයුර්වේද පීඨයේ නිමල් කරුණාසිරිය. පේරාදෙණිය සරසවිය 1989 ජුලි 12 1,000කට ආසන්න හමුදා භට පිරිසක් වැටලූ අතර එහිදී වෙනත් මගකින් ආරක්ෂිතව පලා යෑමට නිස්මි සමත්විය.
ගලහ හන්දියේදී පේරාදෙණිය සරසවි සිසුන් විසින් අංක තහඩු රහිත මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී විජේරත්න බණ්ඩාට අයත් ජිප් රථයක් ගිනිතබා විනාශ කිරිමෙන් පසු උද්ගතවූ තත්ත්වය පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කොට විසඳුමක් ලබාදෙන ලද්දේද නිස්මි විසිනි.
සරසවි වසා දැමීමෙන් පසු අනුරාධපුර-පොළොන්නරුව කලාපයේද මධ්‍යම කලාපයේද ශිෂ්‍ය අංශයේ නායකයා ලෙස ඔහු කටයුතු කළේය. ඔහුගේ සමීපතම සටන් සඟයා වූයේ වෛද්‍ය සිසුවකු වූ අකුරැස්සේ ධම්මික පතිරණය. පසුව ජවිපෙ වෙනුවෙන් කෑගල්ල, රත්නපුර, නුවර, නුවරඑළිය සහ උතුරු මැද දිස්ත්‍රික්කයන්හිද බර නිස්මි කරට ගත්තේය. ඒ වන විටද ඔහු දුම්පානය අත්හැර තිබුණේ නැත. ඔහු ඒ වන විට නැවතී සිටි අනුරාධපුරයේදී සියලු රැකවරණ ලබා දුන්නේ මිනින්දෝරු උදය වලිසිංහය. වලිසිංහ එකල සාගිනි නිවීමේ ව්‍යාපෘතිය යටතේ වැව් 60ක් සිතියම්ගත කිරීමේ වැඩසටහනක් මිනින්දෝරුවකු ලෙස ආරම්භකර තිබු අතර එහි මිනුම් කටයුතු සඳහා යොදාගන්නා කණ්ඩායමේ සාමාජිකයකු ලෙස නිස්මිට හැඳුනුම්පතක් සමඟ ලැබුණු ලිපිය ඉහළ රැකවරණයක් විය. දන්ත පීඨයේ රංජිත්ගේ නම සහ වලිසිංහගේ නිවසේ ලිපිනය යොදා හැඳුනුම්පතක්ද සකස්කර එමඟින් යතුරුපැදි බලපත්‍රයක්ද ලබාගෙන තිබිණි. වලිසිංහ වෙත නිස්මි හඳුන්වා දුන්නේ ඉංජිනේරු සිසු රංජිත් විමලවීරය. කහ බළල්ලු, ප්‍රා, කොළ කොටි, බිල්ලන් ගෙන් බේරී නිස්මි රජරට ප්‍රදේශයේ වැඩ කළේය.
නිස්මි අත්අඩංගුවට ගැනීම සදහා 1988 වසරේ අග භාගයේ සිටම රත්නපුරේ නිවසට පොලිසිය, ආරක්ෂක හමුදා, ක්ෂණික විහිදුම් බළකාය නිරතුරුව පැමිණියහ. වරක් පැමිණි කණ්ඩායමක් නිස්මිගේ පියාගේ පපුවට තුවක්කුවෙන් ඇනීමෙන් තුවාල සිදුවිය. එමෙන්ම සොහොයුරන් වන නෆ්ලි සහ ඩිල්ෂාද්ටද මරණීය තර්ජන එල්ල කළහ. පවුලේ සියලු දෙනාට 1990 අප්‍රේල් තෙක් රත්නපුරේ නිවස අතහැර රක්වානේ තාත්තාගේ මහගෙදර, පානදුර බාප්පාගේ නිවස, මාතර කොටුවේ පුංචි අම්මාගේ නිවස, බලංගොඩ මහප්පාගේ නිවස්වල තාවකාලික පදිංචි වීමට සිදුවිය. සොයුරිය සහ සොයුරන්ගේ අධ්‍යාපනයට මෙමගින් බරපතළ බාධා සිදුවිය.
ඝාතනය වන විට නිස්මි ජවිපෙ මධ්‍යම කාරක සභිකයකු විය. ඒ පත්කිරීම සිදුවූයේ රෝහණ විජේවීර ඝාතනයෙන් පසු 1989 නොවැම්බර් 28වැනි දින රත්නපුරයේ කුරුවිටදී ජවිපෙ නව නායකයා වශයෙන් පත්වූ සමන් පියසිරි ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදීය. එම සාකච්ඡාවේදී මධ්‍යම කාරක සභිකයන්වූ උපාලි ජයවීර, ආනන්ද ඉඩමෙගම, රංජිතම් ගුණරත්නම් සහ ගාමිණී විජේගුණසේකර ජවිපෙ දේශපාලන බල මණ්ඩලයට පත්කරන ලදී. එහිදී නිස්මි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු ලෙස පත්කළ අතර ඔහුට වගකීම් සමුදායක්ද පැවරිණි. ඒ අනුව මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක ඇතුළත් මධ්‍යම කලාපය අලුතෙන් භාරවූ දේශපාලන මණ්ඩල සභික උපාලි ජයවීරගේ නායකත්වය යටතේ කෑගල්ල දිසා ලේකම් වශයෙන් යළි ජවිපෙ ප්‍රතිසංවිධාන කටයුතු කිරීමටද මධ්‍යම කලාපයේ ශිෂ්‍ය අංශය යළි පණ ගැන්වීමටද නිස්මි කටයුතු කළේය.
අන්තරේ අවසාන රැස්වීම පැවැත්වූයේ 1989 දෙසැම්බර් 9 නුගේගොඩ පාගොඩ ආරිය බුලේගොඩගේ නිවසේදීය. අන්තරය තාවකාලිකව විසුරුවා පසුබසින ලෙසට නිස්මි එහිදී සරසවි සිසු නියෝජිතයන්ට දැනුම් දුන්නේය. ඒ අතරතුර නිස්මි සිය පියා සහ සොයුරු සොයුරියන් බැලීමට 1989 දෙසැම්බර් 31 පානදුර තොටවත්තේ නිවසටද පෙරවරුවේ පැමිණියේය.
අවසාන කාලයේ නිස්මි නැවතී සිටියේ අතුරුගිරිය, නාරහේන්පිට සහ දෙහිවල හිතවතුන්ගේ නිවෙස්වලය. නිස්මි 1990 ජනවාරි 18 දෙහිවල කැළුම්ගේ සොහොයුරා පදිංචි ඇනෙක්සියක සිටියදී අත්අඩංගුවට ගෙන කොළඹ 7 රේස්කෝස් වධකාගාරය යටතේ පාලනය වූ බෞද්ධාලෝක මාවතේ පැරණි නිවසක පිහිටි වධකාගාරයක රඳවා ගන්නා ලදී. පැහැර ගැනීම සිදුකරන ලද්දේ ලාන්සර් මෝටර් රථයකින් සහ හයිඑස් වෑන් රථයකින් පැමිණි සිවිල් ඇඳුමෙන් සැරසුණු අවිගත් පිරිසක් විසිනි. මෙම වධකාගාරයේ රඳවාගෙන සිටි පේරාදෙණිය සරසවි සිසුන් වූයේ උදේනි බන්දුල දිසානායක, ධම්මික ගුණවර්ධන, ධම්මික පතිරණ, ආර්. පී. උපාලි ජි. බාලසූරිය, අයි. පී. ෂෙල්ටන්, දායාසිරි විදානගමගේ ඇතුළු 10දෙනෙකි. නිස්මි සහ උදේනි හැර අන් සියලු දෙනා පසුව නිදහස් කර තිබිණි. නිස්මි අත්අඩංගුවට ගැනීමේ ඔත්තුව ලබාදීමේ චෝදනාව යොමු වූයේ සරසවි සිසුවකුගේ වරකාපොල නිවසේ 1990 ජනවාරියේදී පැවති මඟුල් උත්සවයකදි අත්අඩංගුවට ගත් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ සිසුවකුටය.
කොළඹ ගෙග්‍රරි පාරේ සහ බෞද්ධාලෝක මාවතේ වර්තමාන අල්ලස් කොමිසම පිහිටි නිවසේ තිබූ වධ කඳවුරුවලදී සති තුනක් පමණ සිටියදී නිස්මි බොහෝ වද වේදනාවන්ට ලක්විය. ඔහුගේ කකුල්වලට පොලුවලින් බරපතළ ලෙස පහරදීමෙන් ඒවා ඉදිමී තිබිණි. ඇඟට විදුලි සැර අල්ලා තිබිණි. දෙඅතට සහ දෙපයට මාංචු දමා දෑස් බැඳ තිබිණි. එහෙත් මානසිකව ඇද වැටී සිටියේ නැත. කිසිදු තොරතුරක් අනාවරණය නොකළේය. කිසිවකුත් පාවාදුන්නේද නැත. ඔහුගේ විකෘති වූ සිරුර 1990 පෙබරවාරි 17 ජයවර්ධනපුර රෝහල අසල තවත් සිරුරක් සමඟ තිබුණ බව වාර්තා විය.
පේරාදෙණිය සරසවියේ උපකුලපති වශයෙන් සිටි මහාචාර්ය අර්ජුන අළුවිහාරේ සහ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු වූ නිස්මි අතර ගෞරවනීය සම්බන්ධයක් ගොඩනැඟී තිබිණි. පේරාදෙණිය සරසවියේ අත්අඩංගුවට ගත් සිසුන් 50කට ආසන්න සංඛ්‍යාවක් දිවි ගලවා ගැනීමට හැකිවුයේ උපකුලපති මහාචාර්ය අළුවිහාරේගේ මැදිහත්වීමෙනි. ඔහු සරසවි උපකුලපතිකමෙන් ඉවත්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති බවට පත්වයෑමේදී සමුගැනීමේ සහ උපහාර පිදීමේ සාදයක්ද ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ මෙහෙයවීමෙන් පැවැත්විණි. වසර 1970න් පසු වසර සරසවි ඉතිහාසය තුළ එවැනි පිළිගැනීමක් උපකුලපතිවරයකුට හිමිවී නැත. නිස්මි අත්අඩංගුවට ගත් කාලයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වූ මහාචාර්ය අළුවිහාරේ ඔහුගේ මහනුවර නිවසේදී 2015 අගභාගයේදී ලේඛකයාට හමුවූ අතර වසර 25කට එපිට අතීතය ආවර්ජනය කරමින් ඔහු කියා සිටියේ තමා සහ ආරක්ෂක ලේකම් ජනරාල් සිරිල් රණතුංග දුෂ්කර ප්‍රයත්නයකින් පසු නිස්මි බැලීමට ගියද ඒ වන විට ඔහු ජීවතුන් අතර නොසිටි බවය.
නිස්මිගේ සොහොයුරා වන 1971 නොවැම්බර් 17 උපන් නෆ්ලි ජවිපෙට එක්වීම සඳහා කොක්ක ගැසුවේ පානදුරේදී 1994දී හමුවූ වස්කඩුවේ වෛද්‍ය හේමන්ත ද සිල්වාය. අධ්‍යාපන පන්ති පැවැත්වූයේ සේනාධීර ගුණතිලකය. පසුව කුණ්ඩසාලයේ කෘෂිකර්ම විදුහලේ ඩිප්ලෝමා පාඨමාලා සදහා ඔහු තෝරාගනු ලැබූවද එයට සහභාගීවීමට නොහැකි විය. ජවිපෙ පූර්ණකාලීනයකු ලෙස 2000දී එක්වූ නෆ්ලි 2001 සිට 2010 දක්වා බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරයෙක්ද විය. තිදරු පියකු වූ ඔහු දේශපාලනයෙන් සමුගැනීමෙන් පසු දැන් ප්‍රකට මැණික් ව්‍යාපාරිකයෙකි. එකම සොහොයුරිය වූ තිදරු මවක් වන නලීරා කල්මුණේ ගුරුවරියකි. කනිටු සොහොයුරා වන ඩිල්ෂාද් අහමද් ව්‍යාපාරිකයකු වන අතර තිදරු පියෙකි. රත්නපුර කජුගස්වත්තේ මහගෙදර වර්තමානයේ පදිංචිව සිටින්නේ ඩිල්ෂාද්ය.