
අරගලයට දැන් දින 50කි. අතුරු සිදුරු නැතිව පිරීගිය මේ ගෝල්ෆේස් අරගල භූමියේ වූ තදබදය හෙමිහෙමින් මැකී යමින් තිබේ. හවස් වෙද්දී පවුල් පිටින් අරගල භූමිය වෙත ඇදී එමින් සිටි ජනතාව ක්‍රමක්‍රමයෙන් අඩු වී තිබීම නරක ලෙස බලපා ඇත්තේ අරගල භූමියේ වෙළෙන්දන්ට ය. එදා වේල සොයාගත් බිස්නස් එක පල්ලම් බැසීමෙන් ඔවුන් ගේ ආර්ථිකය බිඳ වැටෙමින් තිබේ. එවැනි පසුබිමක දැන් ඔවුන් හෙම්බත් ය. මේ විමසීම ඒ පිළිබඳව ය.
පේදුරුතුඩුවේ පදිංචිකරුවකු වූ ආර්. රඝුනාදන්, අරගල භූමියේ බීම බෝතල් සහ වතුර බෝතල් විකුණන්නෙකි.
" මම මේ කරත්තෙට කුලිය විතරක් දවසට රුපියල් 200ක් දෙන්න ඕනේ. සති දෙකකට කලින් දවසකට රුපියල් 3,000-6,000ත් අතරේ වතුර බෝතල්, බීම බෝතල් විකිණුවා. ඒත් දැන් දවසකට රුපියල් 500ක් හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්. ඒ හින්දා මං දැන් බීඩි සහ සිගරට් විකුණනවා. මේ බීම බෝතල් පිටකොටුවෙන් ණයට අරගෙන එන්නේ, පස්සේ සල්ලි බේරන්න. විකිණුනේ නැති වුණාම අව්වට ප්ලාස්ටික් බෝතල් උණු වෙනවා. ඉතින් අයිස් කැට පෙට්ටියක් වෙනම තියාගෙන ඉන්නේ බීම ගන්න අයට දාලා දෙන්න. දැන් අයිසුත් ගණන්.
මගේ තාත්තා පේදුරුතුඩුවේ ගෙදර ඉන්නේ ඔත්පල වෙලා. හැම මාසෙම තාත්තට රුපියල් දහදාහක් බෙහෙත් ගන්න යවන්න ඕනේ. ඉතින් මං සල්ලි හොයන්න ම ඕනේ.
පේදුරුතුඩුවේ ඉඳන් මං ගෝල්ෆේස් ආවේ අරගලය බලන්න. ඒ ඇවිත් තමයි හිතවතකු ගේ මාර්ගයෙන් මේ බිස්නස් එක කරන්න ගත්තේ. කොළඹ ආවායින් මට ගමේ රස්සාවත් නැති වුණා. දැන් හරි හමන් රස්සාවක් නෑ. කසාද බඳින්නත් විදියක් නෑ. දැන් මගේ වයස 32ක්. රටේ සිද්ධ වෙන මේ දේවල් නිසා අපේ තරුණ ජීවිතෙත් නිකම් ම ගෙවිලා යනවා. මං පට්ටිය හන්දියේ ඉන්නේ. බෝඩිං කාමරේටත් 6,000ක් ගෙවන්න ඕනේ. දැන් හුඟාක් වෙලාවට එහෙ යන්නේ නැහැ. මෙහෙම බිම නිදා ගන්නවා. බිස්නස් ටිකෙන් ටික නැති වෙලා යන නිසා දැන් වෙන දෙයක් වත් කරන්න වෙනවා..."
ජීවිත්වීමේ අරගලය උදෙසා අරගල බිමේ වෙෙළඳාම් කළත්, ගමේ අය දකින නිසා ඡායාරූප ගන්නට එපා යැයි ඉල්ලා සිටි ලලිතා රාණි 58 හැවිරිදි ය. ඇය දෙහි සහ දොඩම් කරත්තයක තබාගෙන බීම හදා විකුණයි.
" මං මෙතන බිස්නස් කරන්නේ මගේ මහත්තයා එක්ක. අපි දැන් මෙතනට ඇවිල්ලා දවස් 40ක් විතර වෙනවා. මුල් කාලේ කොඩි 50ක් විතර දවසකට වික්කා. දැන් එක කොඩියක් වත් කවුරුවත් ගන්නේ නැහැ. ඒ නිසා කොඩි බිස්නස් එක අතෑරියා. මිනිස්සු ළඟ දැන් සල්ලි නැහැ. අද දවසටම විකිණුවේ දොඩම් වීදුරු දෙකයි. අපි රෑ දෙක තුන වෙනකම් බිස්නස් කරනවා. ඊට පස්සේ මේ කරත්තෙම පොඩ්ඩක් නිදා ගන්නවා. ඒත් එක දවසක් අපේ සල්ලියි, කොඩි බෑග් එකකුයි නැති වුණා. මහත්තයා ගේ බයිසිකලේ නැති වුණා.
ගමේ ඉන්න කාලේ මං ළමයි උස් මහත් කළේ, හදාගත්තේ දලු කඩන රස්සාවෙන්. කොළඹ ආවට පස්සේ ජීවත් වෙන්න මොනවා හරි කරන්න ඕනේ. දැන් දවස් හතළිස් ගාණක් ම අපි මෙතන වෙළෙඳාම් කරනවා. ඒත් පොලීසිය හැම වෙලාවෙම අපිව එළවනවා. එක අතකට, මේ විදියට බිස්නස් නැතුව මෙතන අව්වෙ පිච්චි පිච්චි ඉඳලා තේරුමකුත් නෑ. අපිත් ජීවත් වෙන්න මොනව හරි කරන්න ඕනේ නේ. ඒ නිසා තවම දුක් විඳගෙන ඉන්නවා..."
පලතුරු කෑලි කපා විකුණන චමින්ද අරුමප්පොළ, 39 හැවිරිදි ය. ඔහු සිය දෛනික වෙළෙඳාම ගැන කීවේ මෙවැන්නකි.
" මං මෙතනට එන්න කලින් කරත්තේ තියාගෙන පිටකොටුවේත් පලතුරු විකිණුවා. සුමාන දෙකකට විතර කලින් දවසකට 30,000ක් හෙව්වා. දැන් රුපියල් තුන් හාරදහක් ඒ වගේ තමයි දවසේ වෙළඳාම තියෙන්නේ. පලතුරු මිලයි. ත්‍රීවිල් එකේ හයර් එකට පලතුරු ටික අරගෙන මෙතන කරත්තෙට ගේනවා. අන්නාසි,අඹ කෑලි කපලා තමයි විකුණන්නේ. සෙනසුරාදා ඉරිදාට නම් බිස්නස් එක ටිකක් හොඳයි. මං එන්නේ නාගලං වීදියේ ඉඳලා. හැමදාම අඹ, අන්නාසි විකුණන්න බැහැ. ඒවා නැති වෙච්ච දවසට වතුර බෝතල් හරි විකුණනවා. ගෝල්ෆේස් එකට සෙනඟ එනවා නම් අපිට හොඳයි. සෙනඟ නෑ කියන්නේ බිස්නස් නැහැ කියන එක. අපි රෑ දෙක තුන වෙනකල් වෙළෙඳාම් කරනවා. නැත්තං කියක් හරි හොයා ගන්න අමාරුයි..."
කොඩි සහ නළා විකුණන, ඒ.ආර්. කුමුදුනී සෙනෙවිරත්න මෙහි වෙළෙඳාම් කරන්නේ සිය වයෝවෘද්ධ මෑණියන් සහ එකම පුතු ද සමඟ ය.
" මම ඉස්සර පුද්ගලික රෝහලක හෙදියක්. පුතා පොඩි කාලේ අසනීප වුණා. මගේ රස්සාව නැති වුණා. මහත්තයා ගුවන් හමුදාවේ. එයා අපිව දාලා වෙනතක ගියා; අපි පාරට වැටුණා. ජීවත් වෙන්න මොනවා හරි කළ යුතු නිසා කොඩි වෙළෙඳාමට බැස්සා.
පුතා තුන වසරේ. එයා ඉස්කෝලේ ගිහිල්ලා ආවම තමයි, එයාවත් අරගෙන අපි තුන්දෙනාම මෙතනට එන්නේ. පිටකොටුවට ගිහින් බඩු ගේන්නෙත් අපි තුන්දෙනා. ගෙදර හිටියට වැඩක් නැහැ. උයාගෙන කන්න ගෑස් නැහැ. දරත් නැහැ. ගෑස් මිල අපිට දරාගන්නත් බැහැ. මෙතැනට ආවොත් කියක් හරි හොයා ගන්න පුළුවන්. මුළු හවස් වරුවම අපි ගත කරන්නෙ මෙතැන කොඩි විකුණමින්. සුමාන දෙක තුනකට කලින් නම් හොඳ වෙළෙඳාමක් තිබුණා. දැන් නම් කොඩි දෙක තුනක් විකුණා ගන්නෙත් බොහොම අමාරුවෙන්. ඊයේ දවසටම විකිණුවේ කොඩි තුනයි. මිනිස්සු අතේ සල්ලි නැහැ. දැන් මිනිස්සු කොඩියක් සල්ලිවලට ගන්නෙත් දෙපාරක් හිතලා. කීයක් හරි හොයා ගත්තොත් විතරයි, අපි තුන්දෙනා ගේ දවසේ වියදම හොයාගන්න පුළුවන් වෙන්නේ. දරුවගේ ඉස්කෝලෙට අවශ්‍ය දේවල් ගන්න පුළුවන් වෙන්නේ..."
අරගල භූමියේ කූඩාරමක් යට බුලත්විට විකුණන සහියා උම්මා, 68 හැවිරිදි ය.
" ඉස්සර නම් මම රුපියල් 1,500 ක විතර බුලත් විකිණුවා. අද දවසට ම බුලත්විට හතයි විකුණ ගන්න පුළුවන් වුණේ. බුලත් විටක් රුපියල් 60 යි. ඒත් රුපියල් 50ට ඉල්ලනවා. වෙළෙඳාම ඕන නිසා නොදීත් බැහැ. සමහරු පස්සේ දෙන්නම් කියලා සල්ලි අඩුවෙන් දීලා අරගෙන යනවා. මං අසනීපෙන් ඉන්න කෙනෙක්. ඒ වුණාට ජීවත් වෙන්න මොනව හරි කරන්න ඕනේ. මට පුතෙක් ඉන්නවා. එයා මාව බලන්නේ නැහැ. මං මගේ වියදම හොයා ගන්න ඕනේ. මගේ මල්ලි තමයි මට උදව් කරන්නේ. ටෙක්නිකල් හන්දියේ ලොකට් ලේන් එකේ ඉදලා මං අරගල භූමියට එන්නේ ඒ හින්දා. වයස නිසා හිටගෙන ඉන්න අමාරුයි. බංකුවක වාඩි වෙලාම මේ බුලත් වෙළඳාම කරන්නේ ඒකයි. සෙනඟ නෑ කියන්නේ අපිට බිස්නස් නැහැ කියන එක. අපි වගේ අයට තැනින් තැන ඇවිදලා වෙළෙඳාම් කරන්න අමාරු නිසා, අරගල භූමියට සෙනග එනවා නම් හොඳයි. අපිට පොඩි හරි වෙළඳාමක් තියෙන්නේ එතකොටයි..."
ඡායාරූප - හිරන්ත ගුණගිලක, මාලන් කරුණාරත්න