
රටේ පවතින ආර්ථික සහ දේශපාලනික තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මතු වී ඇත. මූලික වශයෙන් සලකා බැලීමේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇත්තේ 19 වෙනි සංශෝධනය යටතේ ඉදිරිපත් කර එනම් එහි ස්ථාපිත කර තිබූ ව්‍යවස්ථාපිත සභාව අහෝසි කර තිබීමයිි.
එම ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම; මෙන්ම පවතින කොමිෂන් සභාවල බලය දුර්වල කර තිබීම; සහ ඒවායේ අපක්ෂපාතිත්වය නැති කිරීමක් සිදුවී ඇති බවක් දක්නට ලැබේ. ඒ අනුව මේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන්; අපි නැවතත් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීමට ප්‍රතිපාදන යොදා ඇත. ඒ අනුව නව සංශෝධනයන් සිදුකිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයාට බලය හිමි වන්නේ ඉහළ අධිකරණවල සහ රජයේ ඉහළ තනතුරුවල ධූර දරන නිලධාරීන් පත් කිරීම, එමෙන්ම කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සිදුකිරීමට හැකියාව ඇත්තේ ව්‍යවස්ථාදායකයේ අනුමැතියට යටත්වයි.
එහිදී ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී අමාත්‍යවරු පත් කිරීම ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස්වලට අනුව සිදුවෙයි. ජාතික පොලිස් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අල්ලස් කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂන් සභා දේශපාලනික වශයෙන් පාලනය කළ හැකි ආකාරයට එහි බලය විශාල ලෙස දුර්වල කර තිබිණි. එවැනි ආයතනයන්වලට ස්වාධීනව කටයුතු කිරීමට ප්‍රමාණවත් බලතල ලබාදීමක් නව ව්‍යවස්ථා සංශෝධනයකින් සිදුකර ඇත. එමෙන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ස්ථාපිත කරන ලද ප්‍රසම්පාදන කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව වැනි කොමිෂන් සභා 20වැනි සංශෝධනය මඟින් අහෝසි කර ඇති අතර ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව යළි පිහිටුවීමට කටයුතු කර ඇත. මෙමඟින් රාජ්‍ය මුදල් දුෂණය, අවභාවිතවලට යොමු වීමට වඩාත් ප්‍රබල හේතුවක් බවට පත්ව ඇත්තේ මෙවැනි ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ටෙන්ඩර් ලබාදීම වැනි ක්‍රියාවලින් සිදුවන වංචා දුෂණ නිසාවෙනි. එමෙන්ම ඒවා විගණනය කිරීම සඳහා පිහිටුවා තිබුණ විගණන කොමිෂන් සභාව වැනි සභාවන් අහෝසි කළ නිසාත් රාජ්‍ය සේවයේ වංචා දුෂණ ඉහළ ගොස් ඇත. ඒ නිසා ඒ කොමිෂන් සභා දෙක නැවත ස්ථාපිත කිරීමද මේ සංශෝධනයන්ට ඇතුළත් කර ඇත. දේශපාලන හස්තයෙන් තොර රටට හිතකර දුෂණ වංචාවලින් තොර පාලනයක් මින් අපේක්ෂා කෙරෙයි.
ඊට අමතරව මේ වන විට පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් හෝ වෙනත් කුමන ආකාරයකින් හෝ පත්ව ඇති ද්විත්ව පුරවැසියන්ගේ මන්ත්‍රීධුර අහෝසි කිරීම 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එක් ප්‍රධාන අරමුණකි. ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර දැරීමට තිබෙන අයිතිය අහෝසි කෙරෙයි.
මෙරට ඉතිහාසයේ සිට ව්‍යවස්ථාව විකාශනය වූ ආකාරය පිළිබඳව යම් සිහිපත් කිරීමක් කිරීමේදී 1948 සෝල්බරි ව්‍යවස්ථාව යටතේ මේ රටේ යම්කිසි දේශපාලන ස්ථාවරභාවයක් එනම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ස්ථාපිත වී තිබුණි. නමුත් ඒ තත්ත්වය පූර්ණ නිදහසක් නොවුණි. එය ඩොමිනියන් තත්ත්වයක් ලෙසද හැඳින්විය හැකිය.
එමඟින් මෙරට අභිලාශයන් නිවැරදිව නිරූපණය නොවුණේ එවකටත් එංගලන්තයේ (ප්‍රිවි කවුසිලය) අධිකරණ බලය වැනි දේ රඳවා ගෙන තිබූ නිසාවෙනි. එනම් අවසානාත්මක අධිකරණය ලෙස තවදුරටත් බ්‍රිතාන්‍ය ප්‍රිවිකවුසිලය හා සාමි මණ්ඩලය පිළිගැනීමයි. ඒ අනුව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට එරෙහිව එංගලන්තයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබිණි.
එමෙන්ම මේ තත්ත්වය පිළිබඳව ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය තුළ යම් මතවාද විය. විශේෂයෙන් බණ්ඩාරනායක ඝාතන නඩුව වැනි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ අවස්ථාවලදී ප්‍රිවිකවුසිලය ලංකාවේ තීන්දු අබිබවා යමින් නොයෙකුත් නියෝග දීම නිසා වැනි හේතු නිසා; මෙරටට ස්වාධිපත්‍ය ඇති පූර්ණ නිදහසක් ඇති රටක් බවට පත් කරගැනීමේ අවශ්‍යතාව මතුවිය.
ඒ හේතුවෙන් බණ්ඩාරනායක මැතිනිය විසින් 1970 මහා මැතිවරණයේදී ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබිණි. එනම් 2/3 ආණ්ඩු බලයක් ආණ්ඩුවට හිමි වුවහොත් එවිට අපේ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට හැකිවන ජනරජ ව්‍යවස්ථාවක් සකස් කරගැනීමට හැකි බව සඳහන් කරන ලදී. ඒ අනුව 1972දී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අවකාශය ලැබිණි. මේ අනුව 1972 පළවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත විය. නමුත් ඒ ව්‍යවස්ථාවේ යම්කිසි අඩුපාඩුකම් සහ රටට හානි කර වෙනස්කම් කිහිපයක් සිදුවිය. ඒ අතර සෙනට් මණ්ඩලය අහෝසි කිරීම සිදු විය.
සෙනට් මණ්ඩලය අහෝසි වීම ඉන්දියාවේ බල කිරීම මත හෝ සිදුවුව ද, 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම වැනි ප්‍රතිසංස්කරණ සිදුවූයේ එහෙයිනි. සුළු ජාතීන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා පළාත් සභා ක්‍රමයක් ඔවුන් යෝජනා කරනු ලැබිණි. නමුත් එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉහළින් සෙනට් සභාව තිබුණේ නම්; එසේ වී නම්; එහිදී නියෝජනය වීම සිදුවන්නේ; ලංකාවේ සිටින සෑම ජන කොට්ඨාසයකම උසස් අධ්‍යාපනයක් ඇති පිරිසයි. ඒ ක්‍රමය අහෝසි කළ නිසාවෙන් පාර්ලිමේන්තුවට පහළින් පළාත් සභාවක් වැනි අතර මැද යම් පාලන ක්‍රමවේදයක් ඇතුළත් කිරීමට සිදුවිය.
ඊළඟට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අහෝසි කර අමාත්‍ය මණ්ඩලයට ඒ බලතල ලබා ගැනීමෙන් උසස් තනතුරුවලට පත් කිරීම වැනි දේ ඒ හරහා සිදුවීම නිසා එවැනි කාර්යයන් සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වීම සිදුවිය. ඒ නිසා රාජ්‍ය සේවය පිරිහීමට ලක්විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුවට විශාල පරාජයක් අත්වීමට එයත් එක් හේතුවත් විය. ඒ සමඟම අධිකරණයට අනිසි බලපෑම් තිබුණු බවට විශාල චෝදනා තිබුණි.
එමෙන්ම සුළු ජාතීන්ට ආරක්ෂාවට තිබුණු සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තියට ගැළපෙන පරිදි ප්‍රතිපාදන 1972 ව්‍යවස්ථාවේ ගෙන ඒමක් සිදු නොවිණි. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් හඳුන්වා දුන්න ද ඒ පිළිබඳව සාධාරණයක් ඉටු කිරීමට කිසිදු අධිකරණයකට අධිකරණ බලයක් ලබා දී නැත. ඒ අනුව සුළු ජන වර්ගීකයන්ගේ අභිලාෂයන් නිවැරදිව නිරූපණය නොවීම ගැටලුවකි. එවැනි ගැටලු තිබුණ නිසා 1972වැනි ව්‍යවස්ථාව යහපත් නොවන බවට මතයක් ඇති විය.
අනතුරුව හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක්‍රමයක් හා අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. ඒ ජනාධිපති ක්‍රමය විශේෂයෙන්ම හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනයන්ගෙන් අනතුරුව මේ තනතුරු හොබවන ලද අනෙක් අයට ඒ තනතුර ඔරොත්තු නොදෙන තත්ත්වයක් මතු විය. වර්තමානයේ පවා ඒ අර්බුදය මතු වී ඇත.
මේ අවස්ථාවේදී රටට යම්කිසි තුලනයක් සංවරණයක් ඇතිව බලතල භාවිත කරමින්; රට අස්ථාවර නොවී ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකිවන පාලන ක්‍රමයක අවශ්‍යතාව මතු වී ඇත. ඒ සඳහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සුළුතර ආණ්ඩුවක් ලෙස 2015 ගෙන එන ලදී. නමුත් 2/3 බලය හිමි කරගත් වත්මන් ආණ්ඩුව 20 වැනි සංශෝධනය ඉදිරිපත් කර එම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමෙන් රට නැවතත් අරාජික තත්ත්වයකට පත්වී ඇති බව තහවුරු කර පෙන්වා දී ඇත. එය පාලක පක්ෂයත් අද පිළිගෙන ඇත.
වත්මන් රටේ අවශ්‍යතාව බවට පත්වී ඇත්තේ ද විශේෂයෙන් ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට හැකියාව ඇති ප්‍රශස්ථ පාලන ක්‍රමයකි. එසේම ජනතාවගේ අවශ්‍යතා සපුරාලන දේශපාලන ස්ථාවරත්වයක් ඇති ආණ්ඩුවක් ගොඩනඟා ගැනීමේ ක්‍රමවේදයකි.
පවතින දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. ඒ සඳහා මේ වනවිට රට වැටී ඇති ආර්ථික අගාධයත් සමඟ සලකා බැලීමේදී විශාල ප්‍රතිසංස්කරණවලට මේ අවස්ථාවේදී යෑමට නොහැකිය.
21වැනි ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව රට දේශපාලනිකවත් ආර්ථිකවත් ස්ථාවරභාවයට පත් කරගෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යා යුතුයි. ඒ අනුව තරුණ කණ්ඩායම්වලට වැඩිපුර නියෝජනයක් ලබාදීමත් කාන්තා පක්ෂයට වැඩිපුර නියෝජනයක් ලබාදීමටත් උගතුන් බුද්ධිමතුන්ට වැඩි පාර්ලිමේන්තුවට අවකාශ විවර කරදීමටත්; ඒ සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරන බව කිව යුතුයි. උගතුන්ට බුද්ධිමතුන්ට පාර්ලිමේන්තුවට යෑමට නොහැකි මේ පවතින ඡන්ද ක්‍රමය නිසයි. ඒ නිසා මේ ඡන්ද ක්‍රමවේද වෙනස් කළ යුතුයි. ආසන මට්ටම හඳුන්වාදිය යුතුයි. එය මිශ්‍ර ක්‍රමයක් විය හැකියි. ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතුයි. සුළු ප්‍රතිලාභවලට ඡන්දය ලබාදෙන ක්‍රමවේද අපි වෙනස් කළ යුතුයි. හොරුන්ට පාර්ලිමේන්තු බලය ලබාගැනීමේ අවකාශය වැඩි වීම වැළැක්විය යුතුයි.
ආණ්ඩුවෙන් හොරකම් කර ජනතාවට යළිත් එ් භාණ්ඩ බෙදා දීම නිසා නැවත ඡන්දය ලබාගෙන යළිත් බලය ලබා ගන්නා ක්‍රමවේදයන් වෙනස් කළ යුතුයි. ජාතික දේශපාලනය මීට වඩා වෙනස් බව ජනතාවට පහදා දිය යුතුයි. උගතුන්ට බුද්ධිමතුන්ට පාර්ලිමේන්තුවේ අවකාශය ලබාදී ජාතික දේශපාලනයට උගතුන්ගේ නියෝජනයක් ඇති කළ යුතුයි. දේශපාලනික කාරණාවලින් ඔබ්බට ගොස් රටක් පාලනය කිරීමට නොහැකිය. නමුත් දේශපාලඥයකගේ ආර්ථික කටයුතු මෙහෙයවීම පරිපාලකයන්ට එම පරිපාලනය කිරීම ආදීය ස්වාධීනව කරගෙන යාමට ඉඩ ප්‍රස්ථා ලබාදීම කළ යුතුයි.
රටේ දේශපාලන ස්ථාවරත්වයක් සෑදීම මෙන්ම රටේ ආර්ථිකය ගොඩනැඟීමට විශාල පරිශ්‍රමයක් දැරීමට අවශ්‍යයි. එය කෙටිකලකින් කළ නොහැකියි. විදෙස් විනිමය ප්‍රශ්නය දරුණුතම ගැටලුවක් බවට පත්ව ඇත. ඒ නිසා විදෙස් විනිමය යම් මට්ටමකට සොයා ගැනීමට තිබූ එක් ක්‍රමයක් නම් සංචාරක කර්මාන්තයයි. නමුත් අද රටේ පවතින උද්ඝෝෂණ වාතාවරණය නිසා සංචාරකයන්ට සුදුසු වාතාවරණයක් රට තුළ නැති බව පැහැදිලි කරුණකි.
මේ සියලු කරුණු කාරණා නිසා රට තවත් දිළිඳුු භාවයට ගමන් කිරීම වළකාලන්නට නොහැකියි. ඒ නිසා පරිසරය වෙනස් කරගෙන මේ සංචාරක කර්මාන්තය ආරම්භ කිරීම මෙන්ම අකමැත්තෙන් වුවත් ආනයනයන් අඩුකර අපනයනයන් වැඩි කරන ක්‍රමවේදයන්ට යා යුතුයි. අනෙක් කරුණ නම් පාලකයන් දූෂිතය යන මතය නිසාත් අපේ පාලකයන් දූෂිත නිසාත් අපේ රටට ලැබෙන විදෙස් ප්‍රේෂණ විශාල ලෙස අඩු වී ඇත. ඒ තත්ත්වයන් වෙනස් කළ යුතුයි.
රටේ පවතින මේ තත්ත්වය යම් සමනයකින් පසුව නව ව්‍යවස්ථාවක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. ඒ සඳහා විශේෂඥයන් විසින් සකස් කරන ලද ව්‍යවස්ථාවක් වෙයි. පාර්ලිමේන්තුවේ සකස් කරන ලද යෝජනා ද වෙයි. තේරීම් කමිටුවක් මඟින් ඒ පිළිබඳ යම් තීරණයන් ගත යුතුයි. මේ පවතින ක්‍රමවේදය සමස්ත දේශපාලනික ක්‍රමවේදයන්ම වෙනස් වියයුතුයි.
තරුණ පරපුර මෙන්ම සමස්ත ජනතාව වෙනුවෙන් කළ යුතු වන්නේ රටේ ආර්ථිකය හුස්ම ගන්න හැකි වන මට්ටමකට ගෙන ඒමයි. ඉදිරි කාලය අසීරු කාලයක් විය හැකියි. පසුගිය වසර ගණනාවක් කරන ලද අඥානකම්වල ප්‍රතිඵල සහ ප්‍රතිවිපාක අපි අද භුක්ති විඳිමින් සිටිමු. එම යථාර්ථය තේරුම් ගෙන ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩනඟා ගත යුතුසේම; වංචා දුෂණ වලින් තොර දේශපාලන සංස්කෘතියක් රට තුළ ඇති බවට ජනතාව තුළ විශ්වාසයක්ද ගොඩනැඟීම අත්‍යවශ්‍ය සාධකයකි.
( අධිකරණ ඇමැති ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පෞද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලද 21වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඔහු විසින් ම ඉවත් කරගෙන ඇත. අධිකරණ ඇමැතිවරයා ලෙස ආණ්ඩුවේ යෝජනාවලිය තමන් විසින් ඉදිරිපත් කරන නිසා අදාළ කෙටුම්පත ඉල්ලා අස්කර ගත් බව ඇමැතිවරයා සඳහන් කරයි.)