
පෙට්‍රල් නැතිව පමාවී හල්දුම්මුල්ලෙන් දියතලාවට ගෙන ආ බිලිඳිය හදිසි ප්‍රතිකාර ඒකකයේදී ජීවිතය හැර යයි
මාස නවයක් බඩේ තියාගෙන දවස් දෙකක් තුරුලේ තියාගෙන ඉස්පිරිතාලෙට ගෙනියන්න පැයක් තිස්සේ පෙට්‍රල් ලිටරයක් නැතුව දරුවෙක් නැතිවුණා කියන දුක ජිවිත කාලෙටම වද දෙයි...”
දියතලාව මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ශානක රොෂාන් පතිරණ විසින් ඉකුත් දා ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ දරුවකුගේ ජායාරූපයක් ද සහිතව එවැනි සටහනක් පළ කර තිබුණා. මුහුණු පොතේ පළකර තිබු එම සටහන පැය කිහිපයක් ඇතුළත වේගයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පැතිරෙන්න පටන් ගත් අතර, විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍යයන් ද එකී සිදුවීම ගැන කතා කරන්නට පටන් ගත්තා. රටේ තැනින් තැන උද්ගත වී ඇති ඉන්ධන අර්බුදය මේ තරම් සාහසික වි ඇත්දැයි තේරුම් ගන්නට තවත් අටුවාටිකා කුමකටදැයි ඇතැම් අය විමසන්නට ද වුණා.
විශේෂයෙන් එම දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ දියතලාව මුලික රෝහලේ වෛද්‍යවරයා විසින්ම එම සංවේදී සටහන පළකර තිබු නිසාවෙන් එය බොහෝ දෙෙනකුගේ නෙතට කඳුළක් එක් කළ සටහනක් බවට පත් කළා. වෛද්‍යවරයා ඒ සටහනේ තවදුරටත් මෙසේ ද ලියා තිබුණා.
“දියතලාව රෝහලේ මාගේ 86 වැනි මරණ පරීක්ෂණය හා වේදනාත්මක මරණය. දින දෙකක් වයසැති මේ පොඩි දුව මවුකිරි බිම අඩුවී කහපැහැගැන්වීම හේතුවෙන් ලේවල සීනි අඩුවීම නිසා ගෙදරදි ගැහෙන්න අරගෙන. හල්දුම්මුල්ල රෝහලට ගෙන්න තාත්තට ත්‍රිවිල් එකට පෙට්ට්‍රල් හොයාගන්න පැයක් විතර ගිහින්. හල්දුම්මුල්ල රෝහලට එනවිට සීනි මට්ටම ඉතාමත් අඩුවෙලා දියතලාව රෝහලට ගෙනාපු දරුවා හුස්ම අදිනවා. දියතලාව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදි දරුවා නැතිවුණා. අර පැය පරක්කු වුණේ නැත්නම් දරුවා බේරගන්න තිබුණා. තමන්ට දෙයක් වෙන්න ඕනේ තමන්ට ඒ දුක තේරෙන්න.
මාස නවයක් බඩේ තියාගෙන දවස් දෙකක් තුරුලේ තියාගෙන හිටපු දරුවා ව ඉස්පිරිතාලෙට ගෙනියන්න පැයක් තිස්සේ පෙට්‍රල් ලීටරයක් නැතුව නැතිවුණා කියන දුක ජිවිත කාලෙටම වද දෙයි. මිනිය කපන්නත් දුකයි. සියලු අවයව හොඳට හැදුණු දරුවෙක්. හෙණ ගහනවා මේ කාලකණ්ණි දේශපාලුවන්ට. පස්සේ හිතුනා මේ කාලකණ්ණි රටේ ජීවත්වෙන්නේ නැතුව ඒ ළමයා මියගිය එක හොඳයි කියලා.” යනුවෙන් වෛද්‍යවරයා සිය සටහන අවසන් කර තිබුණා.
ඒ ශෝකාන්තය දිගහැරෙන්නේ මෙහෙමයි. එම්. ආර්. ප්‍රියන්ත ඉඳුනිල් රත්නසිරි වෘත්තියෙන් වඩු වැඩ කළේ. රටේ පවතින අර්බුද මැද එදාවේල හොයාගෙන ජිවත් වෙන්නත් සෑහෙන්න වෙහෙස වෙන්න ඔහුට සිද්ධ වුණා. ඒ අතර ඔවුන්ගේ පවුලට අලුත් ජිවයක් අරගෙන ආවේ පුංචි දු කුමාරියක්...ඇය ඉපදුණේ පහුගිය මැයි මාසේ 19 වෙනිදා. සාමාන්‍ය දරු උපතක් නිසාම දොස්තර මහත්වරු ප්‍රියන්තගේ බිරියත් දරුවාවත් රෝහලින් 20 වැනිදා දා ගෙදර එවන්න කටයුතු කළා. ගෙදර ඇවිල්ලා දෙවැනි දවසේ රෑ, ඒ කියන්නේ 21 වැනිදා රෑ අටට විතර දරුවා ගැහෙන්න පටන් ගත්තා. දරුවගේ අම්මා ඒ කියන්නේ කාංචනා දරුවට කිරි දෙන්න පටන්ගත්තා . දරුවා කිරි බොන්නේ නෑ, අඬන්නෙත් නැති නිසා කාංචනාට ඉබ්ටම කෑ ගැහුණා, “ අනේ දරුවා කහ පාට වෙනවා, ඉක්මනට ඉස්පිරිතාලෙට අරන් යමු” කියලා විලාප තිව්වා. ප්‍රියන්තට මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරිවුණා. තමන්ගේ හිත මිතුරන්ට කතාකළා, හදිසියට වාහනයක් හොයාගන්න. ඒත් කාටවත් එන්න විදිහක් තිබුණේ නැහැ, රට පුරාම තියෙන ඉන්ධන අර්බුදය නිසා. කතාකරපු හැම වාහනයකටම ඉන්ධන නොමැතිවිම බරපතළ ගැටලුවක් වෙලා තිබුණා. ප්‍රියන්ත දවස් ගානක් බිරියව බලන්න රෝහලට ගිය නිසා ඒ වෙද්දි ගෙනාව තිබුණු තෙල් ටිකත් ඉවරවෙලා තිබුණේ. කරකියාගන්න දෙයක් නැතුව ප්‍රියන්ත ගම පුරාම තෙල් හොයමින් ඇවිද්දා.
අන්තිමට හැමතැනම ගිහින් පෙට්‍රල් බෝතලයක් හොයාගත්ත ප්‍රියන්ත විල් එකක් කතා කරගෙනම ගෙදරට එද්දි, ඒ එනකොටත් කාංචනා දරුවා ඔතාගෙන ඉස්පිරිතාලෙට යන්න දුවගෙන එනවා . පුළුවන් තරම් වේගයෙන් දරුවා අරගෙන හල්දුම්මුල්ල රෝහලට තුන්දෙනා ආවා. දොස්තර මහත්වරු ඉක්මනට දරුවා පරීක්ෂාවට ලක්කළා. දරුවා සිටින අසාධ්‍ය තත්ත්වය වහාම අවබෝධ කරගතත් හල්දුම්මුල්ල රෝහලේ වෛද්‍යවරු ඉක්මනින් දරුවත් මවත් දියතලාව රෝහලට ගිලන් රථයෙන් පිටත්කර යැව්වේ මුලික ප්‍රතිකාර ලබාදිමෙන් පසුවයි.
හල්දුම්මුල්ල රෝහලෙන් එවූ දරුවා හැකි ඉක්මනින් දියතලාව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණත් ඒවෙනකොටත් ප්‍රමාද වැඩියි. හදිසි ප්‍රතිකාර ඒකකයේදීම ඒ පුංචි මල්කැකුළ සදහටම දෑස්පියාගන්නේ ඒ මවුපියන් පමණක් නොව එකී සිදුවීම ඇසූ දුටුවන් ද කම්පාවට පත්කරමින්. තෙල් හොයාගන්න ගතවුන පැයක කාලය දරුවාගේ ජිවිතය උදුරගන්න හොඳටෝම ප්‍රමාණවත් වෙලා තිබුණා. දස මසක් කුසේ දරාගෙන ඉඳලා මේ ලෝකෙට බිහි කරලා තමන්ගේ උණුසුම අතරේ රෝහලට අරගෙන ආව දරුවා නැතුව හිස් අතින්ම කාංචනාට ආපහු ගෙදර යන්න සිද්ධ වුණා.
ඒක දෛවයේ සරදමක්? පාලකයන්ගේ වරදක්ද? නැත්නම් තමන්ගෙන් සිද්ධ වුණු වැරැද්දක්ද කියන එක හිතාගන්න තරම් හයයික් කාංචනාටත් ප්‍රියන්තටත් තිබුණේ නැහැ. දරාගන්න බැරි දුකකින් හිටපු ප්‍රියන්තත් ඇඬූ කඳුළින් පසුවුන කාංචනාත් වාවාගත නොහැකි දරු දුක තුරුලු කරගෙන ආපහු ආවේ විනාඩි ගානක් ඇතුළත සිද්ධ වුණු දේ ගැන හිතාගන්නත් බැරුවයි.
ඒ පිළිබඳ සොරගුණේ රජමහා විහාරාස්ථානයේ විහාරාධිපති හා සොරගුණේ මහා විද්‍යාලයේ විදුහල්පති සොරගුණේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ පැවසුවේ මෙවැන්නක්.
“හල්දුම්මුල්ල කොට්ඨාසයේ මැදගොඩවෙළ ග්‍රාම නිලධාරි වසමේ රදාකඳුර කියන ගම්කොටසේ තමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නේ. ඒ සිද්ධියට මුහුණ දුන් දෙමවුපියෝ මේ පන්සලේ දායකයෝ. ඒ පාරේ ලොකු ගැටලුවක් තියෙනවා. හරන්කහව රදාකඳුර මෑලිය පාරේ ගමනගමනයට ගැටලු මතුවෙලා තියෙනවා.
ඔය කියන දවසේ දරුවා අසනීපවෙලා කහගැන්විලා තියෙනවා රෝහලට ගෙනියන්න ප්‍රමාද වෙලා තියෙනවා. කලබලවෙලා යම් වෙලාවක් තෙල් හොයාගන්න මහන්සිවෙලා තියෙනවා. පස්සේ කාගේ හරි යතුරුපැදියකින් තෙල් ටිකක් හොයාගෙන තියෙනවා. ඉස්සරවගේ දැන් හැමෝම ගාව තෙල් ටික්ක නෑ .තිබුනත් හදිස්සියකට දෙන්නේ නෑ. මේක අතිශය ඛේදවාචකයක්.රටේ කළමණානාරිත්වයක් පැහැදිලිව නැතිවුනාම උඩ ඉඳන් පහළට යනකම්ම ඒකේ බලපෑම යනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඒකේ එක පැත්තක් තමයි මේ සිද්ධියත් හැබැයි එහෙම නොවුනානම් මේ දරු පැටියා බේරගන්නත් තිබුණා.
ඒ දරුවා ලැබෙන්න දියතලාව රෝහලේ නතරවෙලා ඉන්න දවස් ටිකේම ඔය තාත්තා ඉස්පිරිතාලෙට ගිහින් තියෙනවා ගෙදර තෙල් ගෙනල්ලා තියාගෙන තමයි ගිහින් තියෙන්නේ. කොහෙම හරි දරුවා ලැබුනට පස්සේ ගෙදර එක්කගෙන ආවම ආයේ තෙල් ගෙන්න ගිහින් නෑ. ඒ අතරතුර තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ . රෝහළට කිලෝමිටර් අටක් දහයක් විතර තියෙනවා යන්න. රට හරි තැනකට ගියේ නැත්නම් හරි කළමනාකරණයක් නොවුණොත් මහත්තයෝ අපි කාටත් වෙන්නෙ ඔය ටික තමයි.
”තෙල් තිබුණේ නැත්නම් 1990 සුවසැරියට කතා නොකළේ ඇයි? ළඟපාත වෙනත් වාහනයක් තිබුනේ නැද්ද? කියන්න කවුරුවත්ම හිටියේ නැද්ද? අඩුම තරමේ යතුරුපැදියක්වත් ඉල්ලගන්න කෙනෙක් හිටියේ නැද්ද? කිලෝමීටර් අට පයින් ආවත් එන්න තිබුණනේ....“සමහරු එසේ කියන්නේ අකාලයේ මිලි වු මල් කැකුළ ගැන ඇතිවු වේදනාවෙනි.
මෙම මරණයට අදාළ හදිසි මරණ පරීක්ෂණය දියතලාව හදිසි මරණ පරීක්ෂක ඩී. එම්. දිසානායක ගේ ප්‍රධානත්වයෙන් දියතලාව රෝහලේදි සිදුවු අතර එහිදි සාක්ෂි දෙමින් මියගිය බිලිඳියගේ පියා වන මුහන්දිරම් රාලලාගේ ප්‍රියන්ත ඉඳුනිල් රත්නසිරි (28) මෙසේ කීවේය.
”මම වඩු වැඩ කරන්නේ. දරුවා ලැබිලා 20දා අපි රෝහලින් දරුවා ගෙදර එක්කගෙන ආවා. ඒ ආවට පස්සේ දරුවා හොඳින් හිටියා 21දා රාත්‍රි අටට විතර දරුවා ගැහෙන්න පටන් ගත්තා. බිරිඳ දරුවට කිරි දුන්නා. දරුවා කිරි බිව්වේ නෑ, ටිකෙන් ටික කහපාට වෙන්න ආවා. අපි බයවුණා. ඉක්මනට දරුවා රෝහලට ගෙන යමු කියලා බිරිඳ කිව්වා. මම කරුවලේ දුවගෙන ගිහින් යාළුවන් කිහිප දෙනෙකුටම කතාකළා. එයාලාගේ ත්‍රිවිල්වල පෙට්ට්‍රල් තිබුණේ නෑ. පැයකට අධික කාලයක් මහන්සිවෙලා දුවලා ත්‍රිරෝද රථයක් හොයාගෙන ඇවිල්ලා හල්දුම්මුල්ල රෝහලට රැගෙන ආවා. එහිදි අසාධ්‍යවලා හිටපු නිසා මුලික ප්‍රතිකාර කරලා දියතලාව රෝහලට ගෙනාවා. එහිදි හදිසි ප්‍රතිකාර ඒකකයේදි දුව නැතිවුනා තව ටික වෙලාවකට කලින් ගෙනාව නම් බේරගන්න තිබුනා කියලා දොස්තර මහත්වරු කියද්දි අපිට හරියට දුක හිතුණා. පෙට්ට්‍රල් හිඟය නිසා ඉක්මනින් වාහනයක් හොයාගන්න නොහැකිවිම නිසා තමයි මගේ දුවට මෙහෙම වුණේ “ ඔහු පැවසුවේ කම්පාවෙනි.
බිලිඳියගේ මරණය සම්බන්ධයෙන් පැවති මරණ පරීක්ෂණයෙන් පසු හදිසි මරණ පරීක්ෂක ඩී.එම්. දිසානායක මෙසේ පැවසීය.
”මම ළදරු මරණ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. ඒ අතර මා විසින් සිදුකළ ඛේදජනකම හා අවාසනාවන්නම මරණයක් විදිහට මෙම මරණය හඳුන්වන්න පුළුවන්. මොකද රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වාහනයක් සොයා ගැනිමට නොහැතිවිම හේතුවෙන් නිසි වේලාවට දරුවා රෝහලකට ඇතුළත් කර ගැනීමට නොහැකිවීම නිසා මෙම මරණය සිදුවී තිබෙනවා. තෙල් ගැටලුව ඇති නොවුනා නම් මේ ජීවිතය බේරාගන්න තිබුනා. මෙවැනි දේවල් රටේ නොවිය යුතුයි.”
මේ වන විට සියල්ල සිදුවි හමාරය. දින දෙකක් වයසැති කිරිකැටියකු මෙලොව හැරදා ගොසිනි. පවුලක සතුට සදාකාලික දුකක් බවට පත්ව ඇත. වැරදිකරුවා කවුරුන්ද යන්න විමසිය යුත්තේ අප අප විසිනි. රටක් මෙවැනි අර්බුදයකට ඇද දැමු පාලකයන්ද? පාලකයන් ඒ පුටුවල වාඩි කරවු අපිම දැයි යන්න අප අපෙන් ප්‍රශ්න කර ගතයුතු කාලය එලැඹ ඇත.
සටහන සහ ඡායාරූප- වැල්ලවාය විශේෂ - ජී. අයි. ආර් ගරුසිංහ