
මේ පිරිසටත් අවස්ථාවක් ලබා දී බලමු
- බිමල්ක සනුර මාතරආරච්චි (28) දණ්ඩගමුව, කුලියාපිටිය
කළමනාකරු
රට මේ වනවිට මුහුණපාලා තියන තත්ත්වය අද ඊයේ ඇති වූවක් නොවෙයි. කාලාන්තරයක් තිස්සේ විවිධ රජයන් යටතේ ඇතිවූ ආර්ථික පසුබෑම තමයි මේ වෙලාවෙ පුපුරා ගියේ. බලයේ සිටි පිරිස එපා කියලා ජනතා ඉල්ලීම් තිබුණ නිසා ඔවුන් ඉවත්කර නව ඇමැති මඬුල්ල පත් කළා. ඒ පිරිසත් එපා කියා කීවට මේ වෙලාවෙ සියල්ලන්ම ඉවත් කළොත් රට අරාජික වෙනවා. දේශපාලන දැනුමක් තියන දේශපාලනයට මනාප අයනේ බලයට එන්නේ. මේ අයත් එපා නම් කාටද ඊළඟට බලය දෙන්නේ. හැමෝගෙම යම් යම් අඩුපාඩුකම් තියනවා තමයි.
මැති - ඇමැතිලාගෙන් අපිටත් රටටත් වැඩක් නෑ
- ලංකා අකුරටියගේ (48) වැල්ලම්පිටිය,
ගෘහණියක්
හිටපු ඇමැති මඬුල්ල වැඩක් නෑ අලුතෙන් පත් කළ අය වැඩකුත් නෑ. රට අගාධයක වැටෙමින් තියන යුගයේ හැමෝටම තනතුරු ගන්න සහාය දෙන්න ආරාධනා කළත් J.V.P හා U.N.P කවුරුවත් සහාය දෙන්න ආවෙ නැහැ. අනිත් අයට දුන්නාමත් බණිනවා. තව අතකින් සමහර මන්ත්‍රීවරු වාසි පැත්තට හෝයියා කියා එහාට මෙහාට පනිනවා. ඒ රට ගැන හිතලා නෙමෙයි තමන් ගැන හිතලා. රටේ ජනතාව මොන තරම් පීඩාවකට පත්වුණත් මැති ඇමැතිවරුන්ට ඒවා දැනෙන්නෙ නෑ. මොන ඇමැතිලා පත් කළත් අපට වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ.
ඔළුගෙඩි මාරු කිරීමක් පමණයි
- චම්පිකා ජයකොඩි (52) - කැලණිය
ස්වයං රැකියා
නව ඇමැති මණ්ඩලය කීවට සිදුවුණේ ඔළුගෙඩි මාරු කිරීමක් විතරයි. මිනිස්සු හැම අතින් ම විඳින පීඩා කෙළවරක් නෑ. කන්න නෑ. බොන්න නෑ. ගෑස්, පෙට්‍රල් ඇතුළු අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වුණා පමණක් නෙවෙයි. වැඩි ගාණකටවත් ගන්න නෑ. බහුතරයකට ජීවන ගැටලු උග්‍ර වෙලා. මිනිස්සුන්ගේ ප්‍රශ්න කෙළවරක් නැති නිසයි වෙනසක් ඉල්ලන්නේ. ඒත් ඉවත් කළ අයට නැවත වෙන තනතුරු දෙනවා. ඒ හැමෝම බලන්නේ කොහොම හරි බලයේ රැඳෙන්න. දිගින් දිගටම යන මේ ක්‍රමය හරිම අවාසනාවන්ත තත්ත්වයක්. රට තවත් අරාජික වේවි.
ඇමැති මණ්ඩලේට ලංකාවෙන් නැතුව රටින් ගේන්න බැහැ
- සෙනරත් බණ්ඩාර (43) ගම්පොළ, ආරක්ෂක නිලධාරි
හිටපු ඇමැතිවරු බහුතරයක් වැරදි කළා තමයි. ජාතික සම්පත් විනාශ කළා තමයි. ඒ හින්දනේ මේ තරම් රට ප්‍රපාතයකට වැටුණේ. පාර්ලිමේන්තුවේ දැනට සිටින අයම වුණත් විෂය පථයන් වෙනස් කරලනේ තියෙන්නේ. අපි ටික කාලයක් ඉවසලා බලමු. මේ අයටත් අවස්ථාවක් දීලා. ඇමැති මණ්ඩලේට ලංකාවෙන් නැතුව පිටරටෙන් ගෙන්වන්න බෑනේ. අනික උද්ගත වෙලා තියන ආර්ථික සමාජීය ව්‍යසනය මුළු ලොවටම පොදු වූවක් මිසක් අපිට පමණක් ආවේණික දෙයක් නොවේ. එක පාරටම ගොඩ යන්න කවුරු පත් කරත් අමාරුනේ. ටික ටික තමයි අපිට ගොඩ යන්න වෙන්නේ.
කවුරු ආවත් එකම සෙතේ තමයි
- තිළිණි නිසංසලා (33) - මාලිගාවත්ත
පිළිගැනීමේ නිලධාරිනී
මැති - ඇමැතිවරුන්ගෙ බල පොරය නිසා පක්ෂ ඇතුළෙත් ගැටුම්. හැබැයි මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී වැටුප හා දීමනා පමණක් දෙන බව කියනවා. ඒ දේවලුත් එයාලට වාසි විදිහට සකසා ගනීවි. මේ බලයට එන්න පොරකන විදිහට වැඩ කළා නම් ලංකාව දිව්‍ය ලෝකයක් වේවි. අගමැති වෙනස් වුණාට පරණ ඇමති මඬුල්ලම ඉන්න නිසා ජාත්‍යන්තර ආධාර ලැබෙන්නෙ නෑ. අතීතයේ හිටි මැති ඇමතිවරු රටට වැඩ කළේ තම සුබ සිද්ධියට වඩා ඇත්තටම රට ගැන හිතලයි. ඒත් දැන් එහෙම අය නැත්තටම නැති තරම්. කවුරු ආවත් එකම සෙතේ තමයි. ජනතාව හැමදාම දුකේ.
නව ඇමැතිවරුත් ජනතාවට සුරංගනා කතා කියනවා
- ෂන්මුගනාදන් විජේ (28) හපුතලේ, පෙදරේරු
ඇමැති මණ්ඩලය අඩු කරනවා කීවට එහෙම වෙන්නෙ නෑ. එකවර නොවුවත් කොටස් වශයෙන් සේරටම යළිත් තනතුරු දෙනවා. සහන අයවැයක් ගේනවා කියා අගමැතිවරයා කියනවා. අනිත් ඇමතිවරුන් පත්වීම් බාරගෙන ජනතාවට සුරංගනා කතා කියනවා. කතාවට නම් මේ කවුරුත් හරි දක්ෂයෝ බව පේනවා. ඒත් කොයි ඇමතිත් කටින් බතල හිටවනවා. රටට සේවය කරන්න මේ අයට පුදුම කැක්කුමක්නේ තියෙන්නේ. මේ විදිහට ගියොත් මේ රට කොතනද නතර වෙන්නේ. රට ගැන හිතන එක්කෙනෙක් දෙන්නෙක්වත් නැති එක හරිම ශෝචනීයයි.