
රඹුටන් දැක බස් රථයේ ජනේලයෙන් හිස එළියට දැමූ තෙහැවිරිදි සදින්ත පුතුගේ හිස මහමඟ නවතා තිබූ ලොරියේ වැදෙයි
වෙසක් සඳ බැස ගියේ කාටත් හොර රහසේමය. දූ දරුවන් සමඟ රැය පහන්වන තුරා වෙසක් තොරණ බලන්නට මෙවර තොරණ නොතිබිණි. වෙනදා මෙන් හන්දියක් හන්දියක් ගානේ දන්සැල් ද දක්නට නොමැත. මලක්, පහනක් පුදා වන්දනා ගමනක යෙදීමට ඇඳිරි නීතියත් ඉන්ධන ගැටලුවත් බොහෝ දෙනෙකුට බාධවක්ම විය. වෙසක් කූඩුවක් නිවසේ එල්ලා එහි හැඩවැඩ බලන්නට ද සවු කඩදාසියේ මිල පවා සැමට එකසේ ඉඩකඩ ලබාදුන්නේ නැත.
තම වැඩිමහල් පුතු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වන බැවින් රඹුක්කන බෝධියට භාරයක් වීමට ධම්මිකා ඉන්දුමතී තම සැමියාට යෝජනා කළේ දරුවන් සමඟ වෙසක් සිරි නැරඹීමට ද අවස්ථාවක් නොලැබූ බැවිනි. ඇගේ සැමියා ද එය එකහෙලාම අනුමත කළේය. ඒ අනුව මෙම මවුපියෝ තම දරුවන් දෙදෙනා ද සමඟින් පසුගිය 21 වැනිදා උදෑසන රඹුක්කනට පැමිණියහ.
රඹුක්කන නගරයේ සිට බෝධියට ඇත්තේ පා ගමනින් යා හැකි දුරකි. බෝධිය සෙවණේ ඇති කුටියකින් පොල්තෙල් ටිකක්, හඳුන්කූරු කීපයක් මිලදීගත් ඔවුන් බුදුන් වැඳ තම වැඩිමහල් පුතුට විභාගයෙන් උසස් ප්‍රතිළුලයක් පතා බෝධියට භාරවූහ. බෝ සෙවනේ සිසිලසේ මඳ වේලාවක් රැදී සිටි මෙම පිරිස ආපසු ගමන ඇරැඹුවේ සිත් පහන් වූ හැඟීමෙනි.
බාරහාර නිමාකර රඹුක්කනින් මාවනැල්ල බලා යන ලංගම බසයට ඔවුන් ගොඩවන විට පස්වරු දෙක පමණ වි තිබිණි. සෙනසුරාදා දිනයක් බැවින් බසයේ වැඩි පිරිසක් නොසිටියෙන් තමන් රිසි තැනක අසුන් ගැනීමට ඔවුන්ට හැකි විය. බසයේ ජනේලයක් අසල වාඩිවී මඟ දෙපස බලමින් යාමට අවශ්‍ය වූවෙන් වැඩිමහල් පුතු පසුපස අසුනේ දකුණු කෙළවර ඉඳගත්තේය. මවත් පියාත් වාඩි වූවේ ඊට ඉදිරිපස අසුනෙහිය. ජනේලය අසල ධම්මිකා අසුන් ගත් අතර සිඟිති පුතු සදින්ත පැතුම් කුමාර ඇයගේ උකුලෙහි විය. බසය සුපුරුදු පරිදි කෙමෙන් මාවනැල්ලට ළඟාවෙමින් තිබිණි.
මාවනැල්ල ආසන්නයේ පිහිටි කීරගලට බසය ළඟා විය. මවගේ උකුලේ සිටි සිඟිති පුතු තම මවට පැවසුවේ පිටුපස අසුනේ සිටි තම සොයුරාට කතා කිරීමට අවශ්‍ය බවකි. මව ඊට ඉඩකඩ ලබාදුන්නේ ඒ වනවිටත් මෙම සිඟිති පුතුගේ ජීවිතය බිලි ගන්නට මාරයා සැරසෙන බව නොදැනය.
අසුන මත සිටගනිමින් අයියා දෙසට හැරෙන මෙම සිඟිත්තා දුටුවේ මාර්ගය පසෙක අලෙවිය සඳහා තිබූ රඹුටන්ය. රතු පැහැයෙන් දිදුලන රඹුටන් රතු විදුලි බුබුළු මෙන් ඔහුගේ නෙත් පැහැර ගත්තේය. “අන්න අම්මේ රඹුටන් තියෙනවා” කියත්ම හිස බස්රථයේ ජනේලයෙන් එළියට යොමුවූවේ ඔහුටත් නොදැනීමය. උදෑසන සිට තොරතෝංචියක් නැතිව නොයෙක් දේ පවසමින් සිටි සිඟිති පුතුට පවසන්නට හැකිවූවේ එපමණකි. මාර්ගයේ නවතා තිබූ ලොරියක මෙම දරුවාගේ හිස වැදුණේ ක්ෂණයකිනි. සිඟිති හිස් කබල පුපුරා උණුසුම් ලේ දහරා ගලා හැලෙන්නට විය. බරපතළ තුවාල ලැබූ සිඟිත්තා මාවනැල්ල මහ රෝහල වෙත ඇතුළත් කළත් ඒ වනවිටත් ඔහු මෙලොව හැරගොස් තිබිණි.
ඇස් දෙකවන් දරු දෙදෙනාගෙන් එක් දරුවකු තම උකුළ මතදීම අනතුරකට ලක්වීම මවක කෙසේ නම් ඉවසන්නද?නෙත් කෙවෙනි ඔස්සේ රූරා හැලෙන කඳුළු අතරින් ඇය එම සිදුවීම මෙලෙස විස්තර කළාය.
“කීරගල හන්දියේදී මගේ අතේ සිටි චූටි පුතා පිටිපස්සේ සීට් එකේ සිටි අයියාට කතාකරන්න ඕනෑ කියලා නැඟිට්ටා. එහෙම නැඟිටිනකොට එයා දැක්කා පාර අයිනේ රඹුටන් විකුණන්න තියෙනවා. අන්න අම්මේ රඹුටන් තියෙනවා කියලා රඹුටන් බලන්න එයා බස්එකෙන් එළියට ඔළුව දැම්මා. එතකොටම රඹුක්කන පැත්තට වෙන්න පාර අයිනේ නතර කරලා තිබුණු ලොරියක පුතාගේ ඔළුව වැදුණා. අපි පදිංචි උස්සාපිටිය තම්මිට. විවාහ වෙලා දැනට අවුරුදු දහ අටක් විතර වෙනවා.මගේ සැමියා සරත් කුමාර.එයා වඩු වැඩ කරනවා. අපි දෙන්නට පිරිමි දරුවන්ම දෙන්නයි. ලොකු පුතා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. පොඩි පුතාට අවුරුදු තුන හමාරයි. ලොකු පුතාට ආශිර්වාද පතා රඹුක්කන බෝධියට බාරයක් වෙන්නයි අපි ගියේ. ඒ ගිහින් එන අතරතුර තමයි මේ විපත සිදුවුණේ.”
නවතා තිබූ ලොරියක බස් රථයේ ඉදිරි කන්නාඩිය ගැටීමෙන් පසු බස් රථයේ රියැදුරු බස් රථය වම්පසට ගෙන ධාවනය කිරීමට යාමේදී නැවතත් බසය ලොරියේ ගැටීමෙන් බස් රථයේ හදිසි දොරටුව ආසන්නයේ සිටි දරුවා තම හිස එළියට දැමීමේදී මෙම අනතුර සිදුව ඇති බව මාවනැල්ල පොලිසිය සඳහන් කරයි. ඒ අනුව අපරික්ෂාකාරීව රිය පැදවීමෙන් මාරාන්තික අනතුරක් සිදුකිරීම සම්බන්ධව මාවනැල්ල ඩිපෝවට අයත් ලංගම බස්රථයේ හා ලොරියේ රියැදුරන් දෙදෙනාම අත්අඩංගුවට ගැනිණි. ඔවුන් රියදුරන් මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත මුදා හැරීමට මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චිගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් රත්නායක, පොලිස් සැරයන් ජයසූරිය (32493),ජයලත් (30451),විමලසේන (45305) නිලධාරීහු මෙහි විමර්ශන සිදුකළහ.
අකල් මරණයට මුහුණ දුන් තම දරුවාට පින් පිණිස කිසිම වන්දියක් නොඉල්ලන බවත් අනතුරට සම්බන්ධ රියැදුරන්ට සමාව දෙන බවත් දරුවාගේ මව වන ධම්මිකා ඉන්දුමතී මෙම සිදුවීමෙන් අනතුරුව මාධ්‍යයට පවසා තිබිණි. දස මාසයක් කුසෙහි හොවා බිහිකළ දරුවාට යන්තමින් වසර තුන හමාරක් ගතවූවා පමණි. තම උකුලෙහි හොවා ඇති දැඩි කළ සුරතල් පුතු තම උකුල මතම අවසන් හුස්මපොද වාතලයට මුසුකරනු දකිමින් මෙවන් ප්‍රාර්ථනාවක් සිදුකිරීම සැබෑ මාතෘත්වයම ප්‍රකට කරන්නකි. මෙම සිඟිති පුතුට සසර මඟ යළිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවන්නට ඒ පින් මහිමයම සෑහෙනු නිසැකය.