රට පුරා තෙල් පෝලිම් ඇවිළුණේ මෙහෙමයි | සිළුමිණ

රට පුරා තෙල් පෝලිම් ඇවිළුණේ මෙහෙමයි

- ඉපලෝගම රණජයපුර ඉන්ධන හල් හිමියාගේ ගෙට ගිනි තියන්න කලින් පෙට්‍රල් බෝම්බත් ගහලා 
- ඉන්ධන හල් 41 ක් තර්ජන නිසා වහලා 
- පෝලිම පැන්න බසයට විරුද්ධ වුණාට‍ බදුල්ලේ  ප්‍රයිවට් බස් රියැදුරුගේ ගෙල කැපූ  කොන්දොස්තර

වම හරිහැටි අවසානයක් නොමැති ඉන්ධන ප්‍රශ්නය නිසා මහජනතාව ගෙවන්නේ අපා දුකකි. ජනතාව දවසට පැය දහය පහළොව ඉන්ධන පෝලිමේ ගත කරන්නේ අව්වට වේළෙමිනි; වැස්සට තෙමෙමිනි. මේ මිනිසුන්ගේ දුක අහන්නට කිසිවකු නැතිවීම ද අභාග්‍යයකි. ඒ නිසා ම තෙල් පෝලිම්වලින් ගිනි ජාලා මතුවූ අවස්ථා ද අඩු නැත. රඹුක්කන සිද්ධිය එහි මූලාරම්භයයි. රඹුක්කන තෙල් පෝලිම ගිනි ගත්තේ පුද්ගලයකු අකාලයේ මරු මුවට පත් කරමිනි; තවත් බොහෝ පිරිසකට බරපතළ තුවාල සිදු කරමිනි.

ඉන්ධන පිරවුම්හල්වලට පහරදී අලාභ හානි සිදුකිරීම්, ඉන්ධන බවුසර් ටැංකි රථවලට මඟ අවහිර කිරීම් ඉන්ධන ඉල්ලා ටයර් පුළුස්සා කොට හරස් කර මාර්ග වසාගෙන කරන උද්ඝෝෂණ, පහරදීම් ගිනි තැබීමට තැත් කිරීම්, පොලිස් නිලධාරීන්ට සිදුකරන ලද පහරදීම්, ඉන්ධන කොල්ලකෑම්, දේපළ අලාභ හානි යාන වාහනවලට සිදුකරන ලද පහරදීම් රටේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පොලිසියට දිගින් දිගටම වාර්තා වෙන්නේ මේ අතරතුර ය. එවැනි සිදුවීම් එකසිය අනූතුනකට වැඩි සංඛ්‍යාවක් පොලිස් ස්ථානවලට පසුගිය දිනවල වාර්තා වී තිබීම සුවිශේෂීය.

මේ ඉන්ධන පිරවුම් හල් අසල පවතින දිගු පෝලිම්වල පැය ගණන්, වරු ගණන් දිගින් දිගටම රැඳී සිටින මහජනතාව කෝපයට පත්වීම එක් අතෙකින් සාධාරණ බව බැලූ බැල්මට පෙනුණත් මේ අතර සිටින ඇතැමුන් නීතිය අතට ගෙන ක්‍රියා කිරීම නම් අනුමත කළ නොහැක්කේ එම ප්‍රචණ්ඩත්වයේ අවසානය ඉතා බිහිසුණු බැවිනි. මෙසේ ඉන්ධන පිරවුම් හල් අසල යකා නටන ඇතැම් පුද්ගලයන් ඇතැම් අවස්ථාවල ඉතා සංවිධානාත්මකව කටයුතු කරන බවක් පෙනෙන්නට ද ඇත. එය නම් ඉතාම නරක තත්ත්වයකි.

රඹුක්කන තෙල් පෝලිම ගිනි ගනිද්දී පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී එහි උණුසුම මැකී යන්නටත් ප්‍රථම ඊට ආසන්න සාහසික එමෙන් ම ප්‍රචණ්ඩකාරී ක්‍රියා රටේ නොයෙක් දෙස තෙල් පෝලිම් ආශ්‍රිතව වාර්තා විය. අනුරාධපුර දිසාවේ කැකිරාව ඉපලෝගම අයි.ඕ.සී පිරවුම්හලේ අයිතිකරුට ද පසුගියදා මුහුණපාන්නට සිදුවූයේ ද එවැනි බිහිසුණු සිද්ධියකට යි. 

අනුරාධපුර දිසාවේ කැකිරාව ඉපලෝගම රණජයපුර පිහිටි ඉන්දියන් ඔයිල් පිරවුම්හලේ හිමිකරු ගයාන් තිලකවර්ධන ය. අයි.ඕ.සී. පිරවුම්හලේ ඉන්ධන අවසන්වීම නිසා කෝපාවිෂ්ටව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසක් ඉන්ධන ඉල්ලා ලොකු කලබලයක් ඇති කිරීමෙන් අනතුරුව ගයාන් තිලකවර්ධන පදිංචි කැකිරාව කලාකරඹ වැව බෝගහ අක්කරය ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවෙසට කඩා වැදී ඊට ගිනි තබා විනාශ කරදමා තිබුණේ පසුගිය 21 වැනිදා රාත්‍රියේ ය.

මේ සිද්ධිය වන අවස්ථාවේ ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුවන ගයාන් තිලකවර්ධනගේ බිරිය, පුතු සහ දියණිය නිවෙසේ සිට ඇති අතර ඔවුන් තිදෙනා නිවෙසින් එළියට පැන ජීවිත බේරාගෙන තිබුණේ ආයාසයෙනි.

මේ සිද්ධිය වාර්තා වූ මොහොතේම එම ස්ථානයට පැමිණි ඉපලෝගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් ගින්නෙන් එම නිවෙසට බරපතළ හානි සිදුවී තිබිණ. ඊට පෙර දින අදාළ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් එහි පැමිණ සිටියත් ඉන්ධන අවසන්වීම මේ සිද්ධියට මුලයි. ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණි අය කෝපාවිෂ්ටව හැසිරී ඇත්තේ ඉන් අනතුරුවයි. ඉන්ධන හල් හිමියාගේ නිවෙසට ගිනි තබා ඇත්තේ එම සිද්ධියෙන් පසුව ය.

ඉන්ධන හලේ හිමිකරු ගයාන් තිලකවර්ධනගේ නිවෙසට ගිනි තබන්නට පෙර පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ද එල්ල වී ඇති බව පොලිසියේ සැකයයි.

තිලකවර්ධනගේ නිවෙසට කලහකාරීන් ගිනි තබා ඇත්තේ එදින රාත්‍රි 9.45 ට පමණ ය. ඒ වනවිට ප්‍රදේශයේ විදුලිය විසන්ධි කර තිබී ඇත.

නිවෙසේ ඉදිරිපසින් සහ පිටුපසින් එක්වරම ගිනි ජාලා මතු වෙද්දී පිරවුම්හල් හිමිකරු ගයාන් තිලකවර්ධනගේ බිරිය, දියණිය සහ පුතු නිවෙසින් එළියට පැන ඇත්තේ මහත් පරිශ්‍රමයක් දරමිනි.

තිලකවර්ධනගේ දියණිය මෙවර අපොස සා.පෙළ විභාගයට මුහුණදීමට නියමිතව සිටියා ය. බාල පුතු ද ලබන වසරේ අපොස සා.පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් පසුවෙයි.

බදුල්ල නගරයේ සමුපකාර ඉන්ධන පිරවුම්හලේ තෙල් පෝලිම ද ගිනි ගන්නේ පසුගිය 23 වැනිදා යි.

සමුපකාර ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ සිටි බදුල්ල - වැලිමඩ පෞද්ගලික බස් රියදුරකුගේ ගෙලට තියුණු පිහි පහරක් එල්ල වන්නේ එහිදී ඇතිවූ ආරවුලකදී ය. සිය බසයට ඉන්ධන ලබා ගැනීම සඳහා තෙල් පෝලිමේ රැඳී සිටි මේ බස් රියැදුරා හාලිඇල දික්වැල්ලවත්තේ පදිංචිකරුවෙකි. ඔහු 43 හැවිරිදි ය. ඔහුගේ ගෙල තියුණු ආයුධයකින් කපා බරපතළ තුවාල සිදු කළේ යැයි චෝදනා එල්ලවූයේ බදුල්ල - කොළඹ පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුට ය.

මේ අතර නාවලපිටිය නගරයේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක අයිතිකරු ඔහුගේ පුත්‍රයා සහ එහි සේවකයන් එක්ව ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථ රියැදුරකුට අමානුෂික ලෙස පහරදී තුවාල කර මහ මඟට ඇද දමා තිබුණේ ද පසුගිය 23 වැනිදා ය. ඒ විශාල පිරිසක් බලා සිටියදී ය.

ත්‍රිරෝද රථ රියැදුරා තම රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු වේලාවක් පෝලිමේ රැඳී සිටියදී ඉන්ධන හල් අයිතිකරුගේ මිත්‍රයකු පෝලිමට පිටින් පැමිණ ඉන්ධන ලබා ගැනීමට තැත් කර ඇති අතර; ත්‍රිරෝද රථ රියැදුරා ඒ පිළිබඳව ඉන්ධන හලේ අයිතිකරුගෙන් ප්‍රශ්න කරද්දී මේ පහරදීම සිදුවී තිබිණි.

බරපතළ ලෙස පහරකෑමට ලක්වුණු ත්‍රිරෝද රථ රියැදුරා 1990 සුව සැරිය ගිලන් රථයෙන් නාවලපිටිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව ඔහුගේ තත්ත්වය බරපතළ වීම නිසා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇත. ඉන්ධන හලේ අයිතිකරු ද නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කරමින් පවසා ඇත්තේ අදාළ ත්‍රිරෝද රථ රියැදුරු තමන්ට පහර දුන් බවකි.

මේ අතර පුත්තලම සිරම්බිඅඩිය ඉන්ධන හල අසලදී ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ සිටි පිරිසකට තියුණු අවිවලින් සහ ලී මුගුරුවලින් කිසියම් පිරිසක් පහරදී තිබුණේ පසුගිය 23 වැනිදා ය.

එම පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පුත්තලම අනුරාධපුර මාර්ගයේ අවහිර කළ පිරිසක් විරෝධතාවක නිරත වූයේ 22 වැනිදා ය.

22 දා රාත්‍රියේ සිරම්බිඅඩිය ඉන්ධන පිරවුම්හලට මෝටර් බයිසිකලයකින් කඩා වැදුණු තරුණයකුට තෙල් පෝලිමේ සිටි පිරිසක් පහරදී පලවා හැර තිබුණු අතර එලෙස පිටව ගිය තරුණයා තවත් පිරිසක් සමඟ නැවත පැමිණ තෙල් පෝලිමේ සිටි පිරිසට අමානුෂිකව පහරදී තිබුණු අතර එහිදී බරපතළ තුවාල ලැබූ අයකු පුත්තලම රෝහලට ඇතුළුකර තිබිණි. 

සිය ධීවර යාත්‍රා සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කුපිත වූ පිරිසක් තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ ආරක්ෂක කුටියට පහරදී එහි වීදුරු බිඳ දමා තිබුණේ පසුගිය 22 වැනිදා ය.

මහව දළදාගම ඉන්ධන පිරවුම්හලකදී පොලිස් නිලධාරීන්ට ‘පාට්‘ දැමූ පස් දෙනෙකු ද මහව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනෙන්නේ ඔය අතර ය.

බදුල්ලේ ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන නිකුත් නොකිරීම නිසා උරණවූ පිරිසක් බදුල්ල මයිලගස්තැන්න ඉන්ධන ගබඩාවේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් 23 වැනිදා දහවල් විරෝධතාවක නිරත වූහ. වැල්ලවායේ ඉන්ධන පිරවුම්හලක් අසල ටයර් පුළුස්සමින් මඟ අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත පිරිසකට තවත් පිරිසක් පහරදීම නිසා කීප දෙනෙකුට තුවාල සිදුවිය.

ත්‍රිකුණාමලය කෙළින්වීදිය විහාර පාර හන්දියේ පිරවුම්හල අසල ඉන්ධන ලබා ගැනීමට පැමිණි දෙපිරිසක් ඉකුත් 20 වැනිදා රාත්‍රියේ ගැටුමක් ඇති කර ගැනීම නිසා ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව නතර කර පිරිස විසුරුවා හැරීමට පොලිසිය සහ යුද හමුදාව කටයුතු කරන්නේ ඔය අතර ය. පානදුර වෑකඩ ඉන්ධන පිරවුම්හලක හිමිකරු සිරකර තබාගත් පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. හලාවත නගරයේදී ඉන්ධන බවුසර දෙකකට මඟ අවහිර කළ මහ පිරිසක් විසුරුවා හැරීමට ආගමික නායකයන්ට මැදිහත්වීමට සිදුවූයේ 23 වැනිදා රාත්‍රියේ ය.

කුලියාපිටිය පොළ අසල ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පිරිස අතරින් පුද්ගලයන් දෙදෙනෙකු පෝලිමට පිටින් ඉන්ධන ලබා ගැනීමට සූදානම් වෙද්දී ඇතිවූ මහජන විරෝධතාව නිසා ඒ පිළිබඳ විමර්ශනයට ගිය පොලිස් උප පරීක්ෂකවරයකුගේ රාජකාරියට බාධා කළ එම පුද්ගලයන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.

දෙහිඅත්තකණ්ඩියේ ඉන්ධන පිරවුම්හලක ආරක්ෂාව සඳහා යොදා සිටි හමුදා සෙබළා ද සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගෙන ජීවිතක්ෂයට පත්වන්නේ ද මේ අතර ය.

වැලිපැන්නේ ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන ලබා ගැනීමට පැමිණි ත්‍රීරෝද රථයක් ගිනි ගෙන විනාශ වන්නේ ඔය අතරතුරදී ය.

පිරවුම්හල් ආශ්‍රිතව දිගින් දිගටම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත්වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා සඳහන් කළේ ය. ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන ටැංකි රථ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඔහු අවධාරනය කළේ ය. එහෙත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නැත. එහෙත් ඉන්ධන පිරවුම්හල්වලට උපරිම ධාරිතාවෙන් පෙට්‍රල් බෙදා හරින බව ද ඔහු සඳහන් කෙළේ ය. මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන් සඳහන් කෙළේ ඉන්ධන පිරවුම් හල් හිමියන්ට සහ එහි සේවකයන්ට එල්ලවන තර්ජන ගර්ජන නිසා තමන් මහත් අපහසුතාවකට පත්ව ඇති බවයි. මේ හේතුව නිසා ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස ද ඉන්ධන හල් හිමියෝ පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත. ඇතැම් ඉන්ධනහල් අසල ප්‍රචණ්ඩකාරීව හැසිරෙන කණ්ඩායම් අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් නොවන බවත් ඔවුන් පිටතින් පැමිණි අය බව පෙනෙන්නට ඇතැයි ද ඔවුහු සඳහන් කළහ.

ඉන්ධන පෝලිම්වල කෝපාවිෂ්ටව සිටින පුද්ගලයන්ගෙන් බරපතළම අවදානම එල්ල වී ඇත්තේ ඉන්ධන පොම්පකරුවන්ට සහ ඉන්ධන හල්වල කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ටයි. මේ අයට තාඩන පීඩන ගුටි බැට වලට ලක්වන්නට සිදුවූ අවස්ථා අනන්තය; අප්‍රමාණය. රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 40 ක් මේ වනවිට වසා දමන්නට සිදුවී ඇත්තේ ද ඒවායේ හිමිකරුවන්ට එල්ලවී ඇති තර්ජන ගර්ජන නිසා ය.

අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී පවතින ගැටලු කීපයක් නිසා අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමේ රාජකාරියෙන් පසුගිය 23 වැනිදා සිට ඉවත්වූ බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය නිවේදනය කළේ 23 වැනිදා ය.

ඉන්ධන ලැබීම සීමාසහිත වීම, උග්‍ර ඉන්ධන හිඟයක් පැවතීම නිසා සිය කාර්ය සිදුකර ගෙන යෑමට ඇතිවී තිබෙන බාධක හේතුවෙන් මේ පියවර ගත් බව ද එම සංගමය සඳහන් කළේ ය.

ඉන්ධන නීති විරෝධී ලෙස ගබඩා කරගෙන වැඩි මිලට විකුණූ පුද්ගලයන් 137 දෙනෙක් ද ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් විශාල තොගයක් සමඟ අත්අඩංගුවට ගැනිණි.

රටපුරා ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස ද ජංගම මුර සංචාර, පා මුර සංචාර යොදවා ඉන්ධන පිරවුම්හල් අසල ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පතිවරයා රටේ සියලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් දැනුම්වත් කරන්නේ මේ අතර ය.

ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාවේ නිරත පොලිස් නිලධරයන්ගේ රාජකාරියට බාධාකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබේ.

ඉන්ධන හල්වලට පැමිණෙන බවුසර්වලට ද ආරක්ෂාව සැපයීමට පොලිසිය මේ වනවිට කටයුතු යොදා ඇත.

පසුගිය සති කීපයේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සිදුවීම් 186 ක් පමණ පොලිස්ථානවලට වාර්තා වී තිබිණි. මේ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් 54 දෙනෙක් පමණ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

තෙල් පෝලිම්වල සිටින ඇතැම් පුද්ගලයන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් ගහ මරා ගනිද්දී තවත් විශාල පිරිසක් ඉතා සංයමයෙන් කටයුතු කිරීම ද සුවිශේෂී ය. කාඩ් ක්‍රීඩා කරමින් විටෙක ගීත ගයමින් විනෝද වී තෙල් පෝලිමේ විඩාව සංසිදුවා ගන්නා මේ අයට බත බුලතින් කහට කෝප්පෙන් සලකන අය ද විරල නැතිවීම නම් සතුටට කරුණකි.

ඡායාරූප

• අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ, මාරවිල සමූහ මිහිර විජේසේකර සහ සොරණාතොට සමූහ ප්‍රසාද් රුක්මල්

Comments