සිංහරාජ රක්ෂිත මායිමේ තැනූ හෝටලය ගිනිබත් | Page 2 | සිළුමිණ

සිංහරාජ රක්ෂිත මායිමේ තැනූ හෝටලය ගිනිබත්

කබානා පෙළ ගිනිගන්නා අයුරු සහ කබානා පෙළ ගිනිගැනීමට පෙර

සුගිය නව වැනිදා අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ඊට විරෝධය පළ කරමින් රට පුරා විවිධ ප්‍රදේශවලින් දේපළ හානි කිරීම් හා ගිනි තැබීම් වාර්තා විය. ඒ අතර ආණ්ඩුවේ ප්‍රභලයකුට අයත් බව කියන කොලොන්නේ පිහිටි හෝටලයකට ද කිසියම් පිරිසක් විසින් පසුගිය 10 වැනිදා ගිනි තබා තිබූ බව කොලොන්න පොලිසිය‍ වාර්තා කළේය. රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහරාජ රක්ෂිතයට මායිම්ව ගොන්ගල කන්ද පාමුල මෙම හෝටල් සංකීර්ණය පිහිටා තිබුණි. ගිනි තැබීමෙන් හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි. අක්කර විස්සකින් සමන්විත භූමිභාගයක ඉදිකර තිබූ කබානාස් පහකට සහ තවත් ගොඩනැගිලි හයක් ගින්නෙන් විනාශ වී තිබූ අතර, එහි තිබූ දැව භාණ්ඩ මෙන්ම ව්‍යායාම උපකරණ රැසක්ද දැවී තිබුණි.

සිය නම හෙළි කිරීමට අකමැති එහි සේවයේ නියුතු අයකු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිළුමිණට පවසා සිටියේ මෙම කටයුත්ත සඳහා සියයකට ආසන්න පිරිසක් පැමිණ සිටි බවයි. ඔවුන් පහරදී පෙට්‍රල් වැනි යමක් කබානා දෙසට විසිකර ගිනි තැබූ බවත් මෙම ගින්නෙන් මෙහි තිබූ සියලු දේපළ ගිනිබත්ව ඇති බවයි.

කොලොන්න පොලීසියෙන් සිළුමිණ මේ ගැන කළ විමසීමේදී පවසා සිටියේ “මේ වනවිට ඒ සම්බන්ධයෙන් තිදෙනකු අත් අත්අඬංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට පත් අය පවසා ඇත්තේ සමාජ මාධ්‍ය තුළින් අරගල කරුවන්ට පහරදීම්වලට එරෙහිව ජනතාව දැක් වූ ප්‍රතිචාර දැකීමෙන් ඇති වූ පිබිදීමෙන් මෙම ක්‍රියාව සිදු කළ බවයි. එසේ නොමැතිව කිසිදු අරමුණක් හෝ කිසියම් අයකුගේ හෝ කණ්ඩායමක පෙලඹවීමක් මේ සඳහා නොලැබුණු බවයි. අත් අඩංගුවට ගෙන ඇති තරුණයන් අවු 25 - 35 අතර වයස් කාණ්ඩවල පසුවන්නන් වීමද විශේෂය. පොලීසිය විසින් මෙමඟින් සිදු වූ හානිය පිළිබඳව තක්සේරු වාර්තාවක් අදාළ දෙපාර්තමේන්තුව මඟින් ඉල්ලා ඇති අතර තවම එම වාර්තාව ලැබී නැත. මීට අමතරව මෙම හොටෙල් සංකීර්ණයේ ප්‍රධාන කළමනාකාරවරයාගෙන් ද සිදුව ඇති පාඩුව පිළිබඳව තක්සේරු වාර්තාවක් ඉල්ලා ඇති බවත් නුදුරේදීම එය පොලිස්ථානය වෙත ගෙනැවිත් බාරදෙන බව හෙතෙම දන්වා ඇති බවයි. මේ වන විට සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සෙවීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බවද පොලීසිය සිළුමිණට අනාවරණය කළේය.

මෙම හොටෙල් සංකීර්ණය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දිගින් දිගටම විරෝධය පළ කළ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර පවසා සිටියේ “ 2019 වසරේ දී සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කිරීම සඳහා ඉතා ම වැදගත් තීරණයක් ක්‍රියාත්මක කළ බවත්, ඒ අනුව 1988 වසරේ ජාතික උරුම වන භූමි පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 11,187 ක් සිංහරාජ ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ලබා දී තිබූ නීතිමය ආරක්ෂාව තව දුරටත් වර්ධනය කරමින් 2019 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 36,475 ක්, වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි. මින් සිංහරාජ අඩවියේ පෙර පැවති රක්ෂිත වනාන්තර ප්‍රමාණයට තවත් දෙගුණයකට වඩා වැඩි වනාන්තර ප්‍රමාණයක් එක් වූ බවයි. නමුත් ඉන් පසු ව ගෙවී ගිය වසර දෙකකට වැඩි කාල පරාසය තුළ වත්මන් ආණ්ඩුව විසින් ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස රක්ෂිත නොවන සුවිශේෂී වනාන්තර බිම් විශාල ප්‍රමාණයක් සිංහරාජ අඩවියට අහිමි වීමට පටන් ගත් බවයි.

ඒ අනුව රක්ෂිත නොවන රජයට අයත් වනාන්තර ඉඩම් වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියේ පාලනයට යටත් කළ 5/2001 අංක දරන චක්‍ර ලේඛය ඉවත් කර එම ඉඩම් ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් යටතට පත් කිරීමේ 1/2020 අංක දරන චක්‍ර ලේඛය හා එම ඉඩම් මැනීම් කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට බලය පැවරූ 2/2021 අංක දරන චක්‍ර ලේඛය පදනම් කර ගෙන දේශපාලන බලය හා ව්‍යාපාරික බලය හිමි පුද්ගලයන් විසින් මහ පරිමාණයෙන් සිංහරාජ අඩවියේ පිහිටි රක්ෂිත නොවන වනාන්තර එළි කිරීම ආරම්භ කළ බවයි.

මෙහිදී සිංහරාජ අඩවියේ පිහිටි සුවිශේෂී මාර්ග දෙකක් පුළුල් කිරීම ද සිදු කළ අතර, ඒ අතුරෙන් ලංකාගම මාර්ගය පුළුල් කිරීම මඟින් බොහෝ ජනතාවකට මාර්ග පහසුකම් සැලසීමෙන් යහපත් කාර්යයක් ඉටු විය.

අනතුරුව දෙවන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය දෙනියාය - රක්වාන මාර්ගයේ හේයස් වත්ත හන්දියේ සිට ගොංගල කඳු මුඳුන දක්වා ආරම්භ කළේය. මෙම මාර්ගය සංවර්ධනය කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ ආණ්ඩුවේ ප්‍රභලයකුට අයත් නමුත් ඔහු ගේ නමට නොමැති හෝටලයට පිවිසුම් මාර්ගයක් තැනීමය. කාපට් අතුරා සකස් කරන කිලෝමීටර හතක් පමණ දිග මෙම මාර්ගයෙන් ගමන් කිරීමට ඇත්තේ ගොංගල කඳු මුඳුනේ පිහිටි විවිධ මාධ්‍ය ආයතනවලට අයත් රූපවාහිනී හා ගුවන්විදුලි විකාශන කුලුනුවලට හා ආරක්ෂක අංශවල සංඥා කුලුනුවලට පමණි. ඊට අමතර ව මෙම මාර්ගයෙන් පිවිසිය හැකි වන්නේ මෙම හෝටලයට පමණි. මෙම මාර්ගය සංවර්ධනය කරන බොහෝ ප්‍රදේශ සිංහරාජ වන රක්ෂිතයට අයත් වන අතර කිසිදු සංරක්ෂණ ක්‍රමවේදයක් හෝ පාරිසරික අනුමැතිය ලබා ගැනීමක් හෝ සිදු නොකර මෙම මාර්ගය ඉදි කර ඇති බව හෙතෙම පවසයි.

මෙම මාර්ගය ඉදි වූ භූමිය හා දේශපාලන ප්‍රභලයාට අයත් හෝටලය පිහිටි සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපය මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික සත්ත්ව විශේෂ අතුරෙන් වැඩි ම ප්‍රමාණයක් වාර්තා වන කලාපයකි. එම කලාපය හඳපාන් ඇල්ල, මෝර්නින් සයිඩ්, ගොංගල හා එන්සල්වත්ත යන ප්‍රදේශවලින් සමන්විත වේ. මෙම කලාපයේ ජීවීන් වසර මිලියන ගණනක් හුදෙකලාව පරිණාමය වී ඇති බව ඔහු පෙන්වාදෙයි.

ගොංගල වනාන්තර කලාපයේ පමණක් ජීවත් වන උරග හා උභයජීවී විශේෂ ගණනාවක් වාර්තා වේ. බෙවර්ලි වත්තේ සිට සූරියකන්ද දක්වා පැතිරුණු මෙම කඳුවැටිය මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්දිල්පාන හා විහාරහේන යන ග්‍රාම නිලධාරී වසම් දෙකට හා රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උල්ලිදුවාව හා බොරළුවාගේ අයින යන ග්‍රාම නිලධාරී වසම් දෙකට අයත් වේ. පනිල්කන්ඳ හා සම්බන්ධ ව ඇති මෙම කඳුවැටි පද්ධතියෙන් ගිං, නිල්වලා, වලවේ හා කළු ගංගා පෝෂණය වෙයි. මේ නිසා මෙම ප්‍රදේශයේ සමස්ත ආර්ථිකය රැඳී ඇති තේ වගාව සුරක්ෂිත වී ඇත්තෝ මෙම ජල පෝෂක වනාන්තර පද්ධතිය මත ය.

නමුත් මේ සියල්ල දේශපාලන බලය මත සොබාදහමේ සියලු ජීවී ප්‍රජාවන්ට අහිමි කරමින් දේශපාලන බලය හිමි පුද්ගලයන් අතට පත් කර ගනිමින් තිබේ. වත්මන් හා අනාගත පරපුරේ පැවැත්ම වෙනුවෙන් මේ කඳුවැටිය, ජල පෝෂක වනාන්තර පද්ධතිය හා එහි ජෛව ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට කිසිදු රාජ්‍ය ආයතනයක් මැදිහත් වී නොමැත.

තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් කටයුතු කරන අප, ජල පෝෂක බිම්, වනාන්තර පද්ධති, එහි ජෛව විවිධත්වය හෝටලයකට පිවිසීමට හා එහි සංචාරක ව්‍යාපෘතිය සඳහා මාර්ග සකස් කිරීමට විනාශ කළ හැකි මට්ටමට පත් ව සිටීම කනගාටුවට කරුණකි.

මේ පිළිබඳව සිළුමිණ කළ විමසීමේදී කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සරත් කොටගම පෙන්වා දෙන්නේ, “කිසියම් ස්ථානයක මෙවැනි ඉදිකිරීමක් කරනව නම් ඒ පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගන්න ඕන. එවැනි අවසරයකින් කිසියම් ඉදිකිරීමක් කවරෙකු හෝ කර ඇත්නම් එහි ගැටලුවක් ඇති බව මා දකින්නේ නැහැ. මා දන්නා ආකාරයට මෙම ස්ථානය අයත් වන්නේ සිංහරාජයට නෙමෙයි. ඒ ආශ්‍රිතවනාන්තර ප්‍රදේශයකට. ආශ්‍රිතව තිබුණු පලියට එය සිංහරාජය කීම වැරදියි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමයේ එම ආශ්‍රිත කැලෑ සිංහරාජයට පැවරීමක් කළා. එය ඉතා හොඳ දෙයක්. නමුත් ඒ මුවාවෙන් මෙය සිංහරාජයට අයිති බව පැවසීම වැරදියි. අවිස්සාවේල්ල කොළඹ දිස්ත්‍රික්කයට අයිති වුණාට අපට ඒකට කොළඹ කියන්න බැහැනේ. එවැනි තර්කවලට මම එකඟ නැහැ. ගොංගල කියන ස්ථානයේ රූපවාහිනී සහ දුරකථන සමාගම්වලට අයත් කුලුනු පිහිටා තිබෙනවා. එ වැනි ඉදිකිරීම් කර ඇති පරිසරයක වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ ප්‍රාදේශීය කාර්යාලයෙන් අවසර ගෙන කිසියම් ඉදිකිරීමක් සිදුකරනව නම් එය පරිසරහිතකාමීව පවත්වාගෙන යනව නම් එහි ගැටලුවක් ඇති බව මා දකින්නේ නැහැ. මොකද මා දන්නා තරමින් එය ඉහළ තලයේ විදේශ සංචාරකයින් පවා ආකර්ෂණය කරගත් හෝටලයක්. එය පරිසරහිතකාමී නොවේ නම් එවැනි සංචාරකයින් මෙහි නවාතැන් ගන්නේ නැහැ. මොකද ඒ අය ඒ පිළිබඳව හොඳට හොයල බලල තමයි මේව වෙන් කරන්නේ. එවැනි දේපළක් දුප්පතකුගෙ හෝ වේවා පොහොසතකුගේ හෝ වේවා කවුරු හරි විනාශ කරනව නම් එය කිසිම විදියකින් අනුමත කරන්න බැහැ. එය සදාචාර විරෝධී මෙන්ම මනුස්සත්වයට ද නිගා දෙන ක්‍රියාවක්. මෙය සංචාරක කර්මාන්තය අතින් බැලුවත්, එහි සේවය කරන සේවකයින්ගේ පැත්තෙන් බැලුවත් මෙය විනාශකාරී ක්‍රියාවක්. මේවයෙන් යැපෙන මිනිස්සු ඉන්නවනේ මේ දේවල් විනාශ වුණාම කොහොමද ඒ අය ජීවත් වෙන්නේ. ඒ නිසා මෙය සමාජ ද්‍රෝහී ක්‍රියාවක් බව”යි.

මේ පිළිබඳව සිළුමිණ වන ජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාරගෙන් වීමසීමක් කළ අතර එහිදී හෙතෙම ප්‍රකාශ කර සිටියේ “ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ වනජීවී රක්ෂිත ලෙස ගැසට් කළ කිසිදු රක්ෂිත ප්‍රදේශයක් සිංහරාජය ආශ්‍රිතව නොමැති බවයි.”

ජ්‍යේෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙන්නේ “නීතිවිරෝධීව ආරම්භ කළ කිසිවකට අපර අනුමැතියකින් වලංගුතාවයක් ලබා නොදිය යුතු බවයි. එනම් කෙසේ හෝ මෙම හෝටල් සංකීර්ණය සාදා නිම කළ පමණින් එයට වලංගුතාවක් ලබා දිය නොහැකි බවයි. මුල වැරදියි නම් එය වැරදියි. ඒ නිසා නීති විරෝධීව ආරම්භ කළ ව්‍යාපෘතියකට පසුකාලීන්ව අත් වූ ඉරණම ගැන සිතමින් හොඳයි කීමට තමන්ට නොහැකි බවයි.

Comments