
විශ්වවිද්‍යාල ඇතුළු මෙරට උසස් අධ්‍යාපන ආයතන තුළ මුල් බැසගත් නවක වදය පිළිබඳව පොදු සමාජ මතය වී ඇත්තේ එය මිනිසත්කමට නිගාදෙන, පරපීඩක ක්‍රියාවක් බවය. නවක වදය මුල්කරගනිමින් පසුගිය සමයේ දී ඇති වූ සමාජ ගැටලු සහ ඛේදවාචක හේතුවෙන් ඊට එරෙහිව නීති අණ පනත් ද සකස් විය. කුමන වැටකඩොලු බැඳුණු නමුත් මෙරට උසස් අධ්‍යාපන පද්ධතිය තුළ නවක වදය තවමත් යහතින් ක්‍රියාත්මක වන බව නොරහසකි. එහි ආසන්නතම සිදුවීම පසුගිය 23 වැනිදා වාර්තාවූයේ කුලියාපිටිය කාර්මික විද්‍යාලයට අනුබද්ධ විශ්වවිද්‍යාල විද්‍යායතනයෙනි.
නවක වද සිදුවීමක් මුල් කරගනිමින් එම විද්‍යායතනයේ පළමු වසර සිසුවකුට සහ නේවාසිකාගාර බාරකරුවකුට පහර දුන් බව කියන එම විද්‍යායතනයෙහිම අධ්‍යාපනය ලබන සිසුහු 35 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ පුවත මුළු රටම උණුසුම් කරන්නට සමත් විය. මෙලෙස නවක වදයේ කුරිරු ගොදුරක් බවට පත්ව තිබුණේ එම විශ්වවිද්‍යාල විද්‍යායතනයේ මාස හයක පමණ කාලයක පමණ සිට ඉගනුම ලබමින් සිටින පළමු වසරේ සිසුවෙකි. හිංසනයට ලක්වූ සිසුවා මෙන්ම ඔහුට වධහිංසා පැමිණ වූ සිසුන් ද ජාතික වෘත්තීය සුදුසුකම් හෙවත් එන්වීකිව් පාඨමාලාවන් හදාරමින්, රටේ අනාගතය බාරගැනීමට සැරසෙන්නන් අතිශය කනගාටුවට කරුණකි.
ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසගේ ග්‍රහණයට ලක් වූ අදාළ නවක සිසුවා විවිධ අවස්ථාවන්වලදී හිංසනයට ලක්කර ඇති අතර, එක් අවස්ථාවකදී මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිත කරන ලෙස ඔහුට බලකර ඇති බව ද කියැවෙයි. ඊට බලවත් විරෝධය පෑ නවක සිසුවා තමන් මෙහි පැමිණියේ ඉගෙන ගැනීමට මිස එවැනි ක්‍රියාවන්වන්හි යෙදීමට නොවන බව ප්‍රකාශ කර තිබේ. නවක සිසුවකු විසින් කළ එම ප්‍රකාශය තමන්ට කළ මදිපුංචිකමක් සහ නොසලකාහැරීමක් ලෙස සැලකූ ජ්‍යෙෂ්ඨ සිසුහු එම සිසුවාගෙන් පළිගැනීම ආරම්භ කළහ. ඒ අනුව විටින්විට සිය ග්‍රහණයට හසුකරගත් නවක සිසුවාට අමානුෂික හිංසා පීඩා පමුණුවමින් ඔහුව හිංසනයට ලක්කිරීමට ජ්‍යෙෂ්ඨ සිසුහු කටයුතු කළ අතර එක් අවස්ථාවකදී තණකොළ කවමින් නවක සිසුවාට පහරදීමට ද එම කණ්ඩායම කටයුතු කළහ. තමන් වෙත එල්ල වෙමින් ඇති හිංසාවන් තවදුරටත් ඉවසා ගත නොහැකි වූ තැන නවක සිසුවා ඒ පිළිබඳව කුලියාපිටිය පොලිසියට පැමිණිලි කළේය. පොලිසිය විසින් දෙපාර්ශ්වය කැඳවා පැමිණිල්ල විභාග කළ අතර, ජ්‍යෙෂ්ඨ සිසු පිරිසගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙතැයි සිතූ පැමිණිලිකාර සිසුවා, අදාළ සිදුවීම සමථයකට පත්කර ගැනීමට පොලිසිය ඉදිරියේ එකඟ වී තිබුණි.
පහර කෑ සිසුවා විසින් එවැනි මෙත් සිතක් දැක්වූ නමුත් ජ්‍යෙෂ්ඨ සිසු පිරිස මෙම සිදුවීමෙන් පසුවත් නවක සිසුවා පිළිබඳව පැවති වෛරය තවත් තීව්‍ර කරගත්හ. ජ්‍යෙෂ්ඨයන් වෙතින් නිරන්තරයෙන් එල්ල වූ රැවුම් ගෙරවුම් ඇණුම් බැණුම් සහ තර්ජන ඉවසා ගනිමින් සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට නවක සිසුවාට සිදුවිය. මෙහිදී ඔහුගේ පිහිටට පැමිණියේ ඔහු රැඳී සිටි පුද්ගලික නේවාසිකාගාරයේ භාරකරු වන උපාලිය. අදාළ සිසුවාට ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් තිබූ තර්ජන පිළිබඳව දැනගත් භාරකරු එම සිසුවා නිවෙසට යන අවස්ථාවන්වලදී බස්නැවතුම්පොළ දක්වා පැමිණ ඔහුට ආරක්ෂාව ලබාදීමට පවා හුරු වී සිටියේය.
එලෙස දවසින් දවස ඔඩු දුවමින් තිබූ මේ කෝන්තරය යළි අලුත් වූයේ ඉකුත් 23 වැනිදාය. එදින පස්වරුවේ විද්‍යායතන භූමියේ දී මුණගැසුණු නවක සිසුවා සමඟ ජ්‍යෙෂ්ඨ සිසුහු යළිත් ගැටුමකට මුලපිරූහ. ජ්‍යෙෂ්ඨයන් සමඟ ඇවිළීමට නොගිය නවක සිසුවා ඔවුන් මඟහැර සිය නේවාසිකාගාරය වෙත ගියේය. නේවාසිකාගාර භාරකරු උපාලිට සිද්ධිය දැනුම් දුන් ඔහුට වැඩි වේලාවක් සැනසිල්ලේ ඉන්නට ඉඩ ලැබුණේ නැත. නේවාසිකාගාරය වෙත හදිසියේ කඩාවැදුණු ජ්‍යෙෂ්ඨ සිසු පිරිස කෑකෝ ගසමින් කලහකාරීව හැසිරෙන්නට වූහ. එහිදී සිසුන් විශාල පිරිසක් සිය නේවාසිකාගාරයට කඩාවැදීමත් සමඟ ඊට මැදිහත්වීමට ගිය නිවස්නයේ භාරකරු වූ උපාලි ට ද සිසුන්ගෙන් පහර කෑමට සිදුවිය. සිය පියවරුන්ගේ වයසේ පසුවන වැඩිහිටියකුට රංචු ගැසී තැලීමට තරම් මේ සිසුන් සාරධර්ම අතරින් පිරිහුණේ කෙසේදැයි සැබැවින්ම ඇත්තේ ගැටලුවකි. පහර කෑමට ලක් වූ භාරකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත මාරු කර යැවිණි.
මෙම කලබලය සිදුවූ නේවාසිකාගාරය පිහිටා ඇත්තේ මීගහකොටුව, අශෝක මාවත ප්‍රදේශයේය. වයඹ විශ්වවිද්‍යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් පිහිටි අශෝක මාවත ඉතා සන්සුන් සහ සාමකාමී ප්‍රදේශයක් බවට නම් දරා තිබිණි. ප්‍රදේශයේ එම සාමකාමී බව බිඳහෙළමින් ඇති වූ සිසු කෝලාහලය ප්‍රදේශවාසී ජනතාව ද නොසන්සුන් කරවීමට සමත් වී තිබිණි. කඩිනමින් එතැනට රැස්වූ ප්‍රදේශවාසීහු අදාළ පහරදීම පිළිබඳව පොලිසිය දැනුම්වත් කර තත්ත්වය පාලනය කරගත් අතර, ඒ අවසරයෙන් කලහකාරී සිසුහු විද්‍යායතනයට දිවගොස් සැඟවෙන්නට උත්සහ කළහ. එහිදී සැකකාර සිසුන්ට පලායෑමට ඉඩ නොතැබූ ප්‍රදේශවාසීහු ඔවුන් අල්ලාගෙන පොලිසිය එනතෙක් රැකවල්ලාගෙන සිටි බව වාර්තා වෙයි. ප්‍රහාරය සඳහා පැමිණි ජ්‍යෙෂ්ඨ සිසුන් 35 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු එම සහාය ද නොමඳව ප්‍රයෝජනයට ගනිමිනි.
අයුතු ජනරාශියක සාමාජිකයන්ව, නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී පුද්ගලයන් දෙදෙනෙකුට පහර දුන් බවට චෝදනා කරමින් සැකකාර සිසුන් 35 දෙනා බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය. ඒ අනුව චෝදනා ලැබූ සිසුන් 35 දෙනෙකි.
පහරකෑමට ලක් වූ සිසුවා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥයන් ප්‍රකාශ කළේ, සැකකාර සිසුන් අහිංසක දෙමාපියන්ට දාව උපන් දරුවන් විය හැකි වුවත් ඔවුන් එදින හැසිරී ඇත්තේ ත්‍රස්තවාදීන් ලෙස මිස සිසුන් ලෙසට නොවන බවය. මෙම සිදුවීමට අදාළව පොලිසිය විසින් නවක වද පනත යොදාගනිමින් නඩු පවරා නැත්තේ සිසුන්ගේ අනාගතය පිළිබඳව සැලකිල්ලට ගෙන විය හැකි බව ද, එම පනතට අනුව නඩු පැවරුණේ නම් ඔවුන්ගේ ශිෂ්‍ය ජීවිත පමණක් නොව පෞද්ගලික ජීවිත ද කඩාකප්පල්වීමට බොහෝදුරට ඉඩ තිබූ බව ද නීතිඥවරු කීහ.
අධිකරණය ඉදිරියේ දිගහැරුණු කරුණු සැලකිල්ලට ගත් කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් විත්තිකාර සිසු පිරිස එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසට නියෝග කළේය. නැවතත් මීට සමාන සුළු සිදුවීමක් හෝ වාර්තා වුවහොත් ප්‍රදානය කළ ඇප අවලංගු කර නඩු කටයුතු අවසන් වනතෙක් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන බවට ද ජ්‍යෙෂ්ඨ සිසු පිරිස වෙත තරයේ අවවාද කිරීමටද මහේස්ත්‍රාත්වරයා අමතක නොකළේය. විවෘත අධිකරණයේදී සිසුන් පිරිස තවදුරටත් ඇමතූ මහේස්ත්‍රාත්වරයා තරුණයන් තම අනාගතය පිළිබඳව සිතා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් සිසුන් තරුණකමින් පමණක් නොව බුද්ධියෙන් ද පිරිපුන් විය යුතු බව ද කීවේය. සැකකරුවන් තරුණ වයයේ පසුවන්නන් බැවින් ඉතාම වගකීමෙන් සහ බුද්ධිමත්ව හැසිරිය යුතු බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා තමන් පැමිණ ඇත්තේ අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් බව තරයේ සිහි තබාගන්නා ලෙසට ද කීවේය. එමෙන්ම පැමිණිලිකරුට විත්තිකාර සිසුන් වෙතින් යම් බලපෑමක් සිදුවුවහොත් වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතු බවට පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එසේ වුවහොත් ඇප ලබාගැනීමට අභියාචනාධිකරණයේ පිහිට පැතීමට සිදුවන ඇති බවට ද සිසු පිරිස වෙත අවධාරණය කළේය.
බණ්ඩාර රත්නායක
කුරුණෑගල අතිරේක