එදා මෙදා තුර කාමාතුරයන් අතින් මිලින වූ මල් කැකුළු | සිළුමිණ

එදා මෙදා තුර කාමාතුරයන් අතින් මිලින වූ මල් කැකුළු

 

ණ්ඩාරගම පොලිස් වසමේ අටුළුගම ග්‍රාමය මුස්ලිම් වැසියන්ගෙන් ගහණ ප්‍රදේශයකි. අටුළුගම ග්‍රාමයෙන් මෑත කාලයේ බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක්ම ඇසෙන්නට වූයේය. ඒ අතර 2020 වසරේ කොවිඩ් වසංගතය උත්සන්නව පැවැති සමයේ අටුළුගම කොවිඩ් ආසාදිතයකු විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවාවෙන් ඉවත්වීම සමඟ මහත් සේ අටුළුගම පිළිබඳව සමාජයේ කතාබහක් ඇතිවිණි.

ඊට පෙර 2019 වසරේ ජුලි මාසයේදීද බේරුවල ප්‍රදේශයෙන් අටුළුගමට වාසයට ගිය මුස්ලිම් ජාතික කාන්තාවක වන අබ්දුල් හසන් ෆාතිමා හයිෆා නමැත්තිය සිංහල ජාතික තරුණයකු හා විවාහ වීම නිසාත් ආන්දෝලනාත්මක සිදුවීමක් සැල වූයේය.

ගෙවුණු සතියේ නැවතත් අටුළුගමින් ඛේදනීය පුවතක් ළැව්ගින්නක් සේ පැතිර ගියේ 1984 වසරේදී සිදුවූ මතුගම සමන් කුමාර ඝාතනය, 1999 වසරේදී වූ අලුත්ගම සදීප ලක්ෂාන්, 2015 වසරේදී කොටදෙනියාව සේයා සදෙව්මි මෙන්ම එම වසරේදීම සිදුවූ යාපනයේ ශිවයෝගන­ාදන් විද්‍යා දැරිය වැනි රටම කම්පාවට පත්කළ ඝාතනවල බිහිසුණු මතකාවර්ජනය නැවත සිහිපත් කරවමිනි.

අටුළුගම ගලගේ බණ්ඩිය කොලනිය මහ පල්ලිය ආසන්න නිවෙසක විසූ 9 හැවිරිදි මොහොමඩ් ෆාතිමා අයිෂා අක්‍රම් නමැති හුරුබුහුටි දැරිවිය කාමාතුර අමනුස්සයකු විසින් ඉතා කුරිරු ලෙස ඝාතනය කර තිබුණේ ඉකුත් 27 වැනි සිකුරාදා දින පෙරවරුවේයි.

හරිහැටි හයක් හතරක් නොතේරුණ මල් කැකුළක් වන් අයිෂා දැරියගේ ඝාතක සැකකරු ඝාතනයෙන් පැය 48ක් යන්නටත් මත්තෙන් කොටුකර ගැනීමට පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්ශංක ප්‍රමුඛ කණ්ඩායම සමත් වූයේ අපරාධයක් කළහොත් නීතියෙන් ගැලවීමක් නොමැති වග නැවතත් සපථ කරමිනි.

අයිෂාගේ නිවෙසට ආසන්න නිවෙසක වෙසෙන 29 හැවිරිදි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නමැති කොත්තු බාස් රැකියාවේ නියුතු ඝාතකයා අයිෂාගේ මවගේ පාර්ශ්වයෙන් ඥාතියෙක්ද වේ. ඒ අයිෂාගේ මවගේ නැඟණිය විවාහ වී සිටින්නේ ෆාරුක්ගේ මාමා කෙනෙකු සමඟින් වීම නිසාවෙනි. අයිෂාගේ පියාගේද හිතවතෙක් වන එකී ඝාතකයාටද වයස අවුරුදු 8, 5 සහ 3 හැවිරිදි වියේ පසුවන ගැහැනු දරුවන්ම තිදෙනෙක්ද වේ. එසේම එකී අමනුස්සයාගේ බිරිය මේ වන විට තවත් දරු ප්‍රසූතියකට ද සූදානම් වන්නීය. දමිළ ජාතිකයකු වන ෆාරුක් මුස්ලිම් කාන්තාවක හා විවාහ වීම සඳහා මොහොමඩ් ෆාරුක් නාමය යොදාගෙන ඇත.

අටුළුගම අල් ගස්සාලි විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලත් අයිෂා දැරිය පවුලේ එකම ගැහැනු දරුවා වූවාය. ඇයගේ සුරතල් බවත් හුරුබුහුටි පෙනුමත් නිසා ප්‍රදේශයේ කා අතරත් ඈ ජනප්‍රිය වූවා ය. ඇයට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සොහොයුරකු සමඟ තවත් වැඩිමහල් සොහොයුරෙක්ද සිටී. ඊට අමතරව තෙමස් වියැති බාල සහෝදරයෙක්ද ඇයට වූවාය. ඇගේ පියා කුලී රැකියාවේ නියුතු වූවෙකි. ඔහු ද දැඩි සේ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙක් ලෙස ප්‍රදේශයේ ප්‍රකටව සිටින්නෙකි.

ඉකුත් 27 වැනිදා සිකුරාදා දිනයකි.

අටුළුගම ගම්වැසියන් එදින දහවලේ පල්ලි යාමට කඩිමුඩියේ සූදානම් වෙමින් සිටියහ. එදින පෙරවරුවේ දහයට පමණ අයිෂා කුකුළු මස් රැගෙන ඒමට නිවෙසට මීටර් 250ක් පමණ දුරින් වූ වෙළෙඳසලට යවා තිබුණේ ඇයගේ මව විසිනි. ඒ පියා මත්ද්‍රව්‍ය පානයට නිවෙසින් බැහැරට ගොස් සිටි හෙයිනි.

කුකුළු මස් රැගෙන ඒමට වෙළෙඳසලට ගිය දැරිය බොහෝ වේලාවක් නිවෙසට නොපැමිණීම පිළිබඳව අයිෂාගේ මව බොහෝ සේ කලබල වූවාය. ඇය අසල්වාසීන්ද දැනුවත් කොට දැරිය පිළිබඳව සොයා බලන්නට වූහ. ඒ අනුව වෙළෙඳසලට ගොස් විමසද්දී දැරිය කුකුළු මස් රැගෙන ගිය බවත් සැලවිණි. ඒ අතරේ වෙළෙඳසලට ගොස් කුකුළු මස් රැගෙන නැවත ඇය නිවෙස කරා යන ආකාරයක් වෙළෙඳසල අසල සීසීටීවී කැමරාවකද මනා සේ සටහන් වී තිබිණි.

අනතුරුව ගම්වාසීහු සියලු රාජකාරි පසෙක දමා දැරිය පිළිබඳව සොයා බලන්නට වූහ. ඒ අතරේ 27 වැනිදා සවස් යාමයේ බණ්ඩාරගම, අටුළුගම පදිංචිව සිටි 9 හැවිරිදි මොහොමඩ් ෆාතිමා අයිෂා අක්‍රම් නමැති දැරියකගේ අතුරුදන් වීම පිළිබඳව බණ්ඩාරගම පොලිසියට ද පැමිණිලි කෙරුණේ දැරියගේ මව ෆාතිමා මුන්ටාස් සහ පියා මොහොමඩ් අක්‍රම් යන දෙමාපියන් විසිනි. ඒ අතරේ දැරිය සොයා සමාජ මාධ්‍යයන්හිදී පුවත් පළ කෙරෙන්නට වූයේ දුරකථන අංක ද සඳහන් කරමිනි.

දැරියගේ අතුරුදන් වීම පිළිබඳව බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී. රාජපක්ෂගේ මෙහෙයවීමෙන් මූලික විමර්ශන ඇරැඹෙද්දී ස්ථානාධිපතිවරයා විසින් කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර සහ පාණදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ ඇතුළු උසස් පොලිස් නිලධාරින්ද දැරියගේ අතුරුදන් වීම පිළිබඳව දැනුවත් කෙරිණි. ඒ අනුව පාණදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේද උපදෙස් මත එකී විමර්ශන සඳහා පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕළුගලගේ ප්‍රධානත්වයෙන් යුත් කළුතර අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් පහක් යොදවන්නට වූයේය. ඒ අතරේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ විශේෂ නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්තගේ මෙහෙයවීමෙන්ද පොලිස් කණ්ඩායමක් මෙකී විමර්ශන සඳහා එක්කෙරිණි.

විමර්ශන සඳහා එක්වූ පොලිස් කණ්ඩායම් විසින් පැය කිහිපයක් ඇතුළතදී දැරියගේ අතුරුදන් වීම පිළිබඳව පුද්ගලයන් 30කගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගැනිණි. ඒ අතර දැරියගේ පියාගෙන්ද පැය පහකට අධික කාලයක් ප්‍රශ්න කෙරුණේ ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතයන් ඇතුළු කල්ක්‍රියාවන් පිළිබඳ එතරම් ‘හොඳ‘ චිත්‍රයක් නොවූ නිසාවෙනි.

එලෙස විමර්ශන සිදුවෙද්දී දැරිය පිටකොටුව ප්‍රදේශයේ සැරිසැරු බවටත් පුවතක් ප්‍රචාරය වීමත් සමඟ ඒ පිළිබඳවද පොලිස් විමර්ශන සිදු කෙරුණ අතර එය අසත්‍යයක් බවටද පොලිසිය අනාවරණය කරගත්තේය.

ඒ අතරේ දැරිය වෙළෙඳසලට යන ආකාරය දිස්වූ සීසීටීවී කැමරාවන්හි සටහන් වූ වෑන් රථයක් පිළිබඳවත් පොලිසියේ අවධානය යොමු වූයේ එහි අංකය ඔස්සේ විමර්ශනයක් අරඹමිනි. එම රථය පිළියන්දල පුද්ගලයකුගේ බවටත් එම පුද්ගලයා ඒ මොහොතේ වෙළෙඳසලට භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටි බවත් දැරියගේ අතුරුදන් වීමට කිසිදු සබඳතාවක් නොමැති බවටත් පොලිසිය තහවුරු කරගත්තේය.

පොලිස් නිලධාරින් විසින් දැරිය සෙවීම සඳහා හොරණ පොලිස් නිල සුනඛ “ඩෘනෝ“ද රැගෙන ආවේ කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමේ අටියෙනි. ඩෘනෝ සුනඛයාට අතුරුදන් වීමට පෙර දින රාත්‍රියේ අයිෂා හැඳ සිටි රාත්‍රි ඇඳුම් ද ඉව කිරීමට සැලසීමෙන් අනතුරුව පොලිස් නිල සුනඛයා දැරිය කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගිය බව කියන වෙළඳසැල අසලට ගොස් නැවතුණේ නිශ්චිත හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වෙමිනි.

27 වැනිදා අතුරුදන් දැරිය පිළිබඳ 28 වැනිදා පෙරවරුව වෙද්දිත් කිසිදු හෝඩුවාවක් නොවූ හෙයින් පාණදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් කොට්ඨාස බුද්ධි අංශ නිලධාරින් 20 දෙනෙකු පමණ දැරිය සෙවීමේ කටයුතු සඳහා යෙදවිණි. එම නිලධාරිහු ගම්වාසීන් සමඟ එකව දැරියගේ නිවෙසට ආසන්න අටුළුගම මහ පල්ලිය ඉදිරිපිට මඩ වගුරේ සෝදිසි කිරීම්හි නිරත විණි. එහිදී මුලින්ම දැරියගේ බවට අනාවරණය වූ පාවහන් යුගලක් හමුවිණි. අනතුරුව වැඩිදුර සෝදිසියේදී පාවහන් යුගල හමුවූ ස්ථානයට මඳ දුරකින් මඩ වගුරේ මඩ අතර සැඟවී තිබූ දැරිය හැඳ සිටි කොළ පැහැති දිග කලිසමක් අයෙක් දුටුවේය. 28 වැනිදා සවස හතරට පමණ අතුරුදන් අයිෂාගේ මළසිරුර මඩ වගුරේ තිබී සොයා ගැනීමත් සමඟ ගම්වාසීන්ද එම ස්ථානයට එක්රොක් වෙමින් ආවේගයෙන් හැසිරෙන්නට වූයේ අපරාධකාරයාට නිසි දඬුවම් ලබා දිය යුතු බවට දැඩි ස්වරයෙන් පවසමිනි.

පොලිස් විමර්ශන කණ්ඩායම් හට දැරියගේ මළසිරුර දුටු සැණින් ඒත්තු ගියේ දැරියගේ මරණය ඝාතන අපරාධයක් බවටයි. මළසිරුර සොයා ගත් ස්ථානයට එදින රාත්‍රියේම පැමිණි පාණදුර වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි උඩවත්ත මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකොට මළසිරුර පාණදුර මූලික රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියෝග කළාය.

මේ අතරේ දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරියද විශේෂ විමර්ශනයක් පොලිස් විමර්ශනවලට අමතරව සිදුකරන බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ ද සඳහන් කරද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ද සිය නිල ට්විටර් ගිණුමේ සටහන් තබමින් සඳහන් කළේ දැරිය ඝාතන අපරාධයට සම්බන්ධ අපරාධකරුවන් වහා නීතිය හමුවට ගෙනවිත් දැඩි දඬුවම් ලබාදීමට තමන්ද පොරොන්දු වන බව සඳහන් කරමිනි.

ඒ අතරේ සිරුර හමුවූ දිනට පසු දින එනම් 29 වැනිදා පෙරවරුවේ පාණදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ ඇතුළු පොලිස් කණ්ඩායම් වැඩිදුර විමර්ශන සඳහා අටුළුගම ප්‍රදේශයේ සැරිසරන්නට විය. පොලිස් නිලධාරීන්ට දැකගන්නට හැකි වූයේ තැන තැන කණ්ඩායම් කල්ලි ගැසී දැරියගේ මරණය පිළිබඳ කතාබහේ යෙදී සිටින ආකාරයයි.

දැරියගේ ඛේදනීය සිදුවූ ස්ථානය පෙනෙන මානයේ මොහොමඩ් ෆාරුක් නමැත්තාගේ නිවෙස ද පිහිටියේය. පොලිස් කණ්ඩායම් විමර්ශන සිදු කරද්දී ෆාරුක්ද හයහත්දෙනෙකුගේ කණ්ඩායමක්ද සමඟ දැරියගේ ඛේදවාචකය පිළිබඳව කතාබහේ යෙදී සිටින ආකාරය පොලිස් විමර්ශන කණ්ඩායම්හි නෙත ගැටිණි. එම පිරිස අතරේ සිටින ෆාරුක්ගේ හැසිරීම් රටාවේ වෙනසක් විමර්ශන කණ්ඩායම් හට හඳුනා ගැනීමට හැකිවිණි.

ඒ වන විට ඒ ආසන්නයේ පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක ඇතුළු කණ්ඩායමක්ද සැරිසරන්නට විය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක මෙකී පුද්ගලයාගේ හැසිරීම් වෙනස දුටු හෙයින් ඔහු පිළිබඳ දැඩි සෝදිසියෙන් පසුවෙද්දී එකී තැනැත්තා පිළිබඳ නොයෙක් හෝඩුවාවන්ද පොලිස් නිලධාරීන්ට ලැබුණේ ඔහු දැඩි මත්ලෝලියකු බවත් පසුගිය දින කීපයේම මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බවටද සඳහන් කරමිනි. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක ඇතුළු කණ්ඩායම විසින් ෆාරුක්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නට විය. එලෙස පස්දෙනෙකු පමණ දැරියගේ මරණය පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගැනිණි. ඒ අතර දැරියගේ මළසිරුර හමුවූ යාබද භූමියක කීර කොටුවක් පවත්වාගෙන යන්නෙක්ද විය.

අත්අඩංගුවට පත් ෆාරුක් දැරිය සොයන මෙහෙයුම් සඳහා ද එක්ව සිටි ආකාරය වීඩියෝ දසුන්වලින්ද දැකගත හැකි විය. කෙසේ හෝ 29 දා පෙරවරු 11.30ට පමණ අත්අඩංගුවට පත් ෆාරුක් නොයෙක් බොරු පවසමින් පොලිසියෙන් ගැලවීමට තැත් කළහ. එහෙත් ෆාරුක් විසින් දැරිය ඝාතනයේ සුලමුල සියල්ල 29 වැනිදා රාත්‍රිය වෙද්දී වමාරන්නට වූයේ තවදුරටත් පොලිස් නිලධාරින්ට බොරු කීමෙන් පළක් නොවන බව දත් හෙයිනි. ඒ අනුව ඔහු විමර්ශන නිලධාරීන් ඉදිරියේ පාපෝච්චාරණය කරන්නට වූයේ,

“27 වැනිදා අයිෂා කුකුළු මස් වෙළෙඳසලට යද්දි මං එතැන හිටියා. අයිෂා මගේ නිවෙසටත් එනවා මගේ ළමයි සමඟ සෙල්ලම් කරන්න. මට ඇය පිළිබඳ ආසාවක් ඇතිවෙලයි තිබුණේ. කෙල්ල කඩේට එද්දි මං අයිස් පානය කරලා හිටියේ. අයිෂාට පෙර මම කඩෙන් පිටත් වුණා. ඇවිත් මඟ තියෙන ලඳු කැලැවක් අසලට වෙලා හිටියා. අයිෂා කුකුළු මස් අරන් එනකොට මම ඇයට කතා කළා. ඇය මම කතා කළාම මගේ ළඟට ආවා. මං ඇයව අල්ලන්න ගත්තම ඇය අකැමැති වුණා. ඊට පස්සේ මං ඇයව අසල පිහිටි ලඳු කැලෑවට අරගෙන ගිහින් ඇගේ ශරීරය ස්පර්ශ කළා. ඒ වෙලාවේ කෙල්ල මගෙන් බේරෙන්න විලාප දෙන්න ගත්තා. ඒත් එක්කම මං රෙදි කැබැල්ලක් අරන් ඇගේ මුව තුළට දාලා මඩ වගුරේම මීටර් කීපයක් දුරට ඇයව අරන් ගියා.“

අනතුරුව දැරියව ඝාතනය කරමින් සිදුකළ අහස පොළොව නුහුළන අපරාධයද පොලිස් නිලධාරින් ඉදිරියේ පාපෝච්චාරණය කර තිබිණි.

“ඇයි මිනිහෝ උඹ ඒ පුංචි කෙලි පැටියා මරලා දැම්මේ...“ විමර්ශන නිලධාරියෙක් විමසන්නට වූයේ දැඩි ස්වරයෙනි.

“සර් මං බයවුණා... කෙල්ල ඒ සිදුවීම ගිහින් ගෙදර කියයි කියලා... ඉතින් ඇය ගෙදර ගිහින් කීවොත් මට ප්‍රශ්නයක් වෙන නිසයි මම එහෙම කළේ...එකී පාපෝච්චාරණයෙන් පසු 30 වැනිදා පෙරවරුවේ සැකකාර ෆාරුක් පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින දෙකක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලැබිණි.

ඒ අතරේ 30 වැනිදා පාණදුර මූලික රෝහලේදී අයිෂා දැරියගේ මළසිරුර පිළිබඳ පාණදුර අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. කේ. ජේ. විජේවීර, උත්පලා ආටිගල ඇතුළු ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරි කණ්ඩායමක් පැය තුනකට අධික කාලයක් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළහ. අනතුරුව නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාව අනුව අයිෂා දැරිය ලිංගිකව අපයෝජනය වී නොමැති බව තහවුරු වෙද්දී ඇයගේ නාසයෙන් සහ මුඛයෙන් ජලය සමඟ මඩ ශරීරයට ඇතුළුවීමෙන් පෙනහළුවලටද ජලය සහ මඩ ඇතුළුවීම නිසා ඇයගේ මරණය සිදුවී ඇති බවට හෙළිදරව් විණි.

ඉකුත් 31 වැනිදා සැකකාර ෆාරුක් පොලිසිය විසින් පාණදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක හමුවට ඉදිරිපත් කළ විටදී සැකකරු විසින් පෞද්ගලික ප්‍රකාශයක් ලබාදීමට මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා සිටියේය. 01 වැනිදා මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ එම රහස් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව සැකකරු ජුනි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර මීට මාස තුනකට පෙරදී ද අයිෂාගේ ඝාතක සැකකාර ෆාරුක් විසින් අටුළුගම ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියකගේ නිවෙසට පැන ඇයව ලිංගිකව අපයෝජනය කිරීමට තැත් කිරීමක් වාර්තා වේ. සැකකාර ෆාරුක් අත්අඩංගුවට ගත් සැණින් ඔහුගේ බිරිය සහ දරුවන් තිදෙනා පොලිසිය විසින් දින කිහිපයක්ම අළුබෝමුල්ල පොලිසියේ රඳවා තැබීමට කටයුතු කළේ ප්‍රදේශයේ ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය නිසාවෙන් ඔවුනගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරමිනි.

පැය 48ක් යන්නටත් මත්තෙන් අයිෂාගේ ඝාතකයා ෆාරුක් කොටුකරගත් පොලිසියට සැමගෙන් පැසසුම් ලැබිය යුතුමය. ඒ අතර ෆාරුක් හට දිය හැකි උපරීම දඬුවම් හැකි ඉක්මනින් ලබා දිය යුත්තේ ඉදිරියේදී කිසිවකු හට හෝ මෙවන් අපරාධයක් ගැන සිහිනෙන්වත් නොසිතන්නට සලස්වමිනි. එසේම මත්ද්‍රව්‍යයන්හි ආදීන නිසා රටට වන විනාශය කෙතරම්ද යන්නට මෙකී අපරාධයත් හොඳම උදාහරණයකි.

 

ඡායාරූප - හල්තොට සමූහ

විනිතා මානෙල්

 

රට පුරා රැව් පිළිරැව් දුන් මතුගම සමන් කුමාර ඝාතනය  

 

වසර තිහ හතළිහක ඉතිහාසය පිරික්සීමේදී රටම කම්පාවට පත්කළ ඝාතනයක් වූයේ 1984 අප්‍රේල් 05 වැනිදා සිදුවූ බාල වයස්කාර දරුවකු වූ මතුගම සමන් කුමාර ඝාතනයයි. එසමයේ වර්තමානයේ මෙන් මාධ්‍ය නොදියුණු යුගයකදී සමන් කුමාර ඝාතනයේ ශෝකාලාපය කියැවුණු කවි කොළය රටපුරා ප්‍රචලිත එකී ඛේදවාචකය පිළිබඳව රටේම කතාබහට ලක්වෙමිනි. සමන් කුමාර මතුගම නගර මධ්‍යයේ පිහිටා තිබූ කා අතරත් ප්‍රචලිත තිලකරත්න ස්ටෝර්ස් තොග සහ සිල්ලර වෙළෙඳසල හිමි ධනවත් ව්‍යාපාරික තිලකරත්න මුදලාලිගේ බාල පුත්‍රයායි.

තිලකරත්න මුදලාලිට පිරිමි දරුවන් තිදෙනෙකු සහ දියණියන් දෙදෙනෙකි. සමන් කුමාර කුඩා පුතු තිලකරත්න මුදලාලිගේ ‘පණ‘ මෙන් විය. ඔහු සතු ලොරි රථ හතරකම නාමය වූයේ සමන් කුමාර නමයි.

තිලකරත්න මුදලාලිගෙන් කප්පම් මුදලක් ලබා ගැනීමට සමන් පැහැර ගැනුණේ 1984 අප්‍රේල් 05 වැනිදායි. ඒ සමන් මතුගම සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර විදුහලේ 9 ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටියදියි.

එදින අවුරුදු නිවාඩුව සඳහා පාසල් නිවාඩුව ලබා දීමට නියමිත දිනය විය. පා ගමනින් පාසල් යමින් සිටි සමන් බොරු බේගලයක් ඇදබා පාපැදියට නංවාගෙන පාළු පෙදෙසක් වූ බෝපිටිය කන්ද දෙසට රැගෙන ගොස් තිබුණේ සමන්ගේ පවුලේ අයවලුන්ට හිතැති සමන්ගේ සහෝදරයා වන සරත්ගේ හොඳම මිතුරෙක් වූ ධර්මසිරි නමැත්තා විසිනි. සරත්ගේම පාපැදිය ඉල්ලාගෙන සමන් රැගෙන ගිය බෝපිටිය කන්දේ ඒ වන විට ධර්මසිරිගේ ඥාතියෙක් වන පේමරත්නද විය.

බෝපිටිය කන්දට රැගෙන ගිය සමන්ට ඒත්තු ගියේ ඔහු කිසියම් උගුලකට හසුව ඇති බවයි. දෙදෙනා සමඟ අඩදබරයකට පැටළුණ සමන් හට පහර දී ඔහුගේ මුවට සපත්තු මේස්ද ඇතුළු කිරීමට තරම් ධර්මසිරි සාහසිකයකු වූයේය. දෙදෙනා විසින් පහර දීමත් සමඟ සිහිසුන් වූ කුඩා සමන් ධර්මසිරි සහ පේමරත්න විසින් එදිනම ඝාතනය කර රබර් ගස් ගැලවූ වළකට දැමීය. අනතුරුව ධර්මසිරි විසින් තිලකරත්න මුදලාලිට ලියුම් කවරයක බහාලු ලියමන් දෙකක් ලැබෙන්නට සැලැස්වූයේය.

එහි එක් ලිපියක වූයේ සමන් කුමාරගේ අත්අකුරෙන් ලියැවුණු ‘ඉල්ලන අය හට මුදල් දී මා බේරාගන්නා‘ ලෙසිනි. සෙසු ලියමනේ සමන් නිදහස් කරගැනීමටනම් ලක්ෂ එකහමාරක කප්පමක් අවැසි බවයි. එසේම එම මුදල නොගෙවන්නේ නම් සමන් මරා දමන බවටත් එම මුදල කලවාන නාවලකන්ද විදුහලේ 2 ශ්‍රේණිය පන්ති කාමරයේ තබන ලෙස ද ලියා තිබිණි.

එසේ ලියුම් ගනුදෙනු සිදුවෙද්දී එවකට මතුගම පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක පියල් බරණගේ ඇතුළු කණ්ඩායම විසින් ධර්මසිරි කොටුකරගැනීමට සමත් වූයේ ධර්මසිරි කප්පම් මුදල් ලබා ගැනීමට තිලකරත්න මුදලාලි හට ලිපියක් තැපැල් කිරීමට මතුගම නගරයේ තැපැල් කන්තෝරුවට පැමිණි බවට ලැබුණු හෝඩුවාවත් සමඟිනි. එදා ඔහු රැගෙන ආ ලිපිය සොයා ගත් පොලිසිය ඒ ඔස්සේ නිශ්චිත ලෙසටම තහවුරු කරගත්තෙ කප්පම් මුදල් ඉල්ලන්නේ ධර්මසිරි බවටයි.

සමන්ගේ අතුරුදන් වීමෙන් දින තුනකට පසු එනම් 1984 අප්‍රේල් 8 වැනිදා එවකට 24 හැවිරිදි වියේ පසු වූ ධර්මසිරි සහ ඔහුගේ ඥාතියා වූ 23 හැවිරිදි පේමරත්නද පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ සමන් ඝාතනයේ සියලු සුලමුල හෙළි කරගැනීමට සමත් වූයේය.

සමන් කුමාර ඝාතනය පිළිබඳව ගායක ඇන්ටන් ජෝන්ස් ගැයූ

පන්තියෙ පළවෙනියා වුණේ සමන් කුමාර

මොනිටර්කම දැරුවෙත් පොඩි සමන් කුමාර

මුළු පාසල බැබළුව සිසු සමන් කුමාර

අද පාසල් නාවෙ ඇයි ද සමන් කුමාර ගීතය පසු කලෙකදී බොහෝ සේ ජනප්‍රිය වූයේය. සමන් කුමාර ඝාතකයන් දෙදෙනාට 1987 වසරේදී මරණ දණ්ඩනය හිමි වූ අතර පසු කාලයකදී දෙදෙනා බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණීමට සමත් වූයේ බන්ධනාගාර දිවියේ ගත කළ යහපත් දිවිය හේතුවෙනි.

 

කප්පමකට ගොදුරක් වූ අලුත්ගම සදීප ලක්ෂාන්

මතුගම සමන් කුමාරගේ ඝාතනයෙන් පසු රටම කතා කළ තවත් ඛේදනීය අපරාධයක් වූයේ 1999 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා සිදුවූ අලුත්ගම සදීප ලක්ෂාන් දරුවාගේ ඝාතනයයි.

අට හැවිරිදි සදීප ලක්ෂාන් අලුත්ගම, කළුවාමෝදර ගාලු පාරට මුහුණලා සුවිසල් නිවෙසක පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික මුතුමිණි නිහාල් ජයන්ත ද සිල්වාගේ බාල පුත්‍රයා විය.

ඔහු ඝාතනය කර තිබුණේ මුතුමිණි නිහාල්ගෙන් මිලියන 2.5ක කප්පම් මුදලක් ලබා ගැනීමේ අටියෙනි. ඒ නිහාල්ගේ නිවෙසට ආසන්න නිවෙසක විසූ මවුපියන් නොමැතිව ආච්චි සහ සීයා විසින් හදාවඩා ගත් 17 හැවිරිදි තරුණයකු වූ අමිල නුවන් සිල්වා නමැත්තා විසිනි. ඔහු කප්පම් මුදලක් ලබාගෙන ඉක්මනින් ධනවතෙක් වීමට සිහින මැවූ අමනුස්සයෙකි.

සදීප ලක්ෂාන්ට වැඩිමහල් සහෝදරයන් තිදෙනෙක් විය. ඔවුන් කොළඹ පාසල්හි නේවාසික ජීවිත ගතකරමින් අධ්‍යාපනය ලැබූහ. සදීප කළුතර සිරි කුරුස විදුහලේ 3 ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටියේය. සදීප පැහැර ගත් සිකුරාදා දින ඔහුගේ මව කොළඹ විසූ සහෝදරයන් නිවෙසට රැගෙන ඒමට කොළඹ ගොස් සිටියාය. සදීප පාසල් වෑන් රථයෙන් ගාලු පාරෙන් බැස නිවෙසට යා යුතු මීටර් සියයක පමණ දුර පා ගමනින් යමින් සිටියේය. ඒ අතර ඔහු එනතුරු පාපැදියක නැඟි මඟ බලා සිටියේ නුවන්ය. පා ගමනින් යන සදීප අසලට පාපැදියෙන් පැමිණි නුවන් විසින් සදීපට පවසන්නට වූයේ ඔහු දැඩිව ආශා කරන කුරුලු පිහාටු ලබාදීමට නිවෙසට ගොස් ඉක්මනින්ම පැමිණෙන ලෙසටයි.

එසේ පැහැරගත් සදීපව විනාඩි කිහිපයක් ඇතුළතදී මරා දමන නුවන් සදීපගේ මළසිරුර ආච්චිගේ නිවෙසේ වැසිකිළි වළකට දමා සදීපගේ පියාගෙන් මිලියන 2.5ක කප්පම් මුදලක් ඉල්ලන්නේ ඒ පිළිබඳ පොලිසියටද නොපවසන ලෙස තර්ජනය කරමිනි.

කෙසේ හෝ පොලිසියටද නොකියා සදීපගේ පියා කප්පම් මුදල් ලබා දීමට තැත් කරද්දී ඒ පිළිබඳ අලුත්ගම පොලිසියට සැලවිණි. සදීප පැහැරගෙන ගොස් දින තුනකට පසු එනම් ඔක්තෝබර් 11 වැනිදා අලුත්ගම නගරයේ දුරකථන කුටියක තිබූ කප්පම් මුදල ලබාගත් නුවන් මුදල් රැගෙන පාපැදියකින් යමින් සිටියදී අලුත්ගම පොලිස් නිලධාරින් විසින් අලුත්ගම නගරයේදී ඔහුව කොටුකරගත්තේ සූක්ෂ්ම මෙහෙයුමකිනි.

අනතුරුව ඔහු සදීප ජීවතුන් අතර සිටින බවට පොලිසියට බොරු කීවත් පසුව සදීප ඝාතනය කළ ආකාරය වමාරන්නට වූයේ තවත් අහස පොළොව නුහුළන අපරාධයක් ඉතිහාසයට එක්කරමිනි.

එකී අපරාධයේ නඩු විභාගය විනිශ්චය කළ විනිසුරු මඩුල්ල විත්තිකරු වරදකරු බවට තීන්දු කරමින් 2000 සැප්තැම්බර් 21 දා සදීප ලක්ෂාන් ඝාතක අමිල නුවන් ද සිල්වාට මරණය දණ්ඩනය නියම කෙරිණි. ඒ අතර විත්තිකරු ළඟ තිබී පොලිසිය විසින් සොයාගත් කප්පම් මුදලද අධිකරණය විසින් සදීපගේ දෙමාපියන්ට බාර දෙනු ලැබුවේ සියල්ලගේම නෙතඟට කඳුළක් එක්කරමිනි.

 

 

DNA මඟින් ඝාතකයා කොටුකරගත් කොටදෙනියාවේ  සේයා  ඝාතනය

මුළුමහත් ශ්‍රී ලාංකේය සමාජයම ජාති-ආගම් භේදයකින් තොරව කම්පනයට පත්කළ යාපනයේ විද්‍යා ඝාතනයෙන් හරියටම මාස 5ක් ගතවූවා පමණි. 2015 සැප්තැම්බර් 12 වැනිදාට හිරු උදා වූයේ තවත් රටම කම්පාවට පත් කළ ශෝචනීය පුවතකට තටු ලැබෙමිනි.

ඉකුත්දා අටුළුගමින් ඇසුණු අයිෂා ඝාතනයට බොහෝ සේ සමාන ඛේදවාචකයක් ලෙස කොටදෙනියාවේ සේයා සදෙව්මි බක්මීදෙණිය දැරිය ඝාතන අපරාධය හැඳින්විය හැකිය. අයිෂා 9 හැවිරිදි දැරියක් වෙද්දී සේයා ඒ වන විට හරිහැටි මුවෙහි කිරි සුවඳවත් නොගිය පස් හැවිරිදි දැරිවියකි. කොටදෙනියාව පොලිස් වසමේ අකරන්ගහ ගමේ විසූ සේයා 2015 සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරා දිනට හිරු උදාවෙද්දී නිවෙසේ නොවීය. මව, ආච්චි, සීයා සමඟ නිවෙසේ නිදා සිටි දැරිය හැඳ සිටි ඇඳුමෙහි කොටසක් ඇඳේ තිබියදී ජනේලයක්ද විවෘතව තිබූ අතර ඇඳ මත පා සලකුණක්ද තිබූ බව විමර්ශන සිදුකළ පොලිස් නිලධාරින් අනාවරණය කරගත්තේය.

මුලින්ම සේයා දැරිය අතුරුදන් බවට 119 පොලිස් හදිසි ඇමැතුම ඔස්සේ කොටදෙනියාව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ 12 වැනිදා උදේ 7.30ට පමණය. අනතුරුව ඒ මොහොතේම නිවෙසේ සිටි දැරියගේ සීයා වන බලදරගේ දයාරත්න විසින් සිය පුත්‍රයා වන උපුල් නිශාන්තගේ දෙවැනි දියණිය වන සේයා සදෙව්මි බක්මීදෙණිය අතුරුදන් බවට පොලිසියට පැමිණිලි කෙරිණි.

දැරිය විසූ නිවෙසේ දැරියගේ මව්පියන් සමඟ ආච්චි සහ සීයා ද විය. දැරිය අතුරුදන් වන විට පියා නිවෙසේ නොවූයේ ව්‍යාපාර කටයුතු සඳහා ගොස් සිටි හෙයිනි. අතුරුදන් සේයාගේ නිරුවත් මළසිරුර 13 වැනිදා නිවෙසට ආසන්න අරවින්ද වත්ත ඇළ මාර්ගයක තිබී හමු වූයේ රටම කම්පාවට පත් කරවමිනි. ඒ වන විට එකී මල් කැකුළ පාපතරයකු විසන් ලිංගිකවද විනාශකර තිබිණි.

මුලින්ම සේයාට එම අපරාධය කළ බවට සැකපිට 16 වැනිදා අලුයම දැරියගේ නිවෙස ආසන්න එක්දරු පියෙක් පොලිස් බාරයට ගැනිණි. අනතුරුව එදිනම පෙරවරුවේ අකරන්ගහ ගමේම විසූ පාසල් සිසුවෙක් ද අත්අඩංගුවට ගැනීමට කොටදෙනියාව පොලිසිය කටයුතු කළේය.

කෙසේ හෝ එකී දෙදෙනාම සේයාට සිදුකළ අපරාධයෙන් නිදොස් වූයේ සේයාගේ සිරුරේ වූ ආගන්තුක ඩීඑන්ඒ සෛල හා දෙදෙනාගේ ඩීඑන්ඒ නොගැළපීම නිසායි. පසුව ඔවුන් දෙපළ මුදා හැරුණේ දෙදෙනාගේ ජීවිතවලට නිරපරාද අවමානයක්ද එක්කරමිනි.

අනතුරුව සේයා ඝාතන විමර්ශනවලට එක්ව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සේයා ඝාතනයෙන් දින දහයකට පසු එනම් සැප්තැම්බර් 23 වැනිදා වේයන්ගොඩ, බදුවතුගොඩදී දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අත්අඩංගුවට ගත්තේය. කොණ්ඩයා ඒ වන විට තාවකාලිකව පදිංචිව සිටියේ බඩල්ගම, ඉංගම්මාරුව ඔහුගේ නැඟණියගේ නිවෙසේයි. ඔහුට පෙර වැරැදි බොහොමයක් තිබුණේය. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කොණ්ඩයා, සේයා පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමූ බව පිළිගැනිණි.

එහෙත් පසුව කොණ්ඩයාද මුදා හැරුණේ ඩීඑන්ඒ නොගැළපීම නිසාවෙනි. ඒ අතරේ 2015 ඔක්තෝබර් 3 වැනිදා කොණ්ඩයාගේ සොහොයුරු 36 හැවිරිදි විවාහකයකු වන පේඩිගේ සමන් ජයලත් අතඅඩංගුවට ගැනිණි. ඔහුගේ ඩීඑන්ඒ හා දැරියගේ ආගන්තුක ජෛව කොටස්ද සැසඳීමත් සමඟ සේයා දැරියට ඔහු කළ අපරාධයේ සියලු තතු හෙළි වන්නට වූයේ තවත් අධමයකුගේ පාපී ක්‍රියාවක් හෙළිදරව් වෙමිනි.

සේයාගේ මවට ලිංගික අතවරයක් කිරීමට එදින මධ්‍යම රාත්‍රියේ ජනේලයෙන් නිවෙසට ඇතුළුවූ ඔහු පසුව සේයා පැහැරගෙන ගොස් දූෂණය කොට ගෙළ සිඳ මරා දැමු බව පිළිගැනිණි.

 

හත්දෙනෙක් පෝරකයට යැවූ යාපනයේ විද්‍යා දැරිය

යාපනය, කයිට්ස් පොලිස් වසමෙන් ඇසුණු ශිවලෝගනාදන් විද්‍යා ඝාතනය ඉතිහාසයට එක්වූ තවත් ශෝචනීයම ඝාතනයකි. 2015 මැයි මස 13 වැනිදා සමූහ දූෂණයකට ලක්ව විද්‍යා ඝාතනය වෙද්දී 18 හැවිරිදි පාසල් සිසුවියකි. කයිට්ස්හි පුන්කුඩතිව් 10 වැනි කොටසේ පදිංචිව සිටි විද්‍යා පුන්කුඩතිව් මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියාය.

2015 මැයි 13 වැනිදා රාත්‍රියේ කයිට්ස් පොලිසියට පැමිණිල්ලක් කළේ ශිවලෝගනාදන් සරස්වතී නමැති 48 හැවිරිදි කතකි. විද්‍යාගේ මව වන ඇයගේ පැමිණිල්ලෙන් කියැවුණේ පාසල් ගිය දියණිය සවස් වනතුරුත් නිවෙසට නොපැමිණි බවත් ඇය ගැන සෑම තැනෙකම සොයා බැලුවත් කිසිදු තොරතුරක් නැති බවයි.

පසුදා එනම් 2015 මැයි මස 14 දා 119 පොලිස් හදිසි ඇමැතුම් අංකයෙන් කයිට්ස් පොලිසියට ඇමැතුමක් ලැබුණේ පුන්කුඩතිව් ආලව වල්ලව පාරේ තල් රුප්පාවක තරුණියක් මරා දමා ඇති බව කියමිනි. විමර්ශනයට ගිය නිලධාරින් දුටුවේ නිරුවත් පාසල් සිසුවියකගේ මළසිරුර මත ඇය හැඳ සිටි පාසල් නිල ඇඳුමත් මුවෙහි ඇයගේ යට ඇඳුමත් ඔබා ඝාතනය කර ඇති ආකාරයයි. ඒ විද්‍යාගේ මළසිරුර තිබූ අයුරුයි.

අමනුස්සයන් පිරිසක් විසින් ඇයව ඝාතනය කර තිබුණේ සමූහ දූෂණයකට ලක්කරමින් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදීද හෙළි විණි. ඇයගේ ඝාතනයට මුලින්ම කයිට්ස් පොලිසිය විසින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තේ විද්‍යාගේ මව ලබාදුන් හෝඩුවාවක් ඔස්සේයි. ඒ පුද්ගලයකු දේපළ කොල්ල කෑමක නඩුවකට ඇය සාක්කි දෙන බවත් එකී පුද්ගලයා දියණියගේ ඝාතනයට සැක බවට ඇය පැවසීමත් සමඟිනි.

අනතුරුව පොලිසිය එකී පුද්ගලයා සමඟ ඔහුගේ සහෝදරයන් දෙදෙනාද අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට පත් තිදෙනාගෙන් හෙළි වූයේ දේපළ කොල්ලකෑම් නඩුවට සාක්කි දෙන විද්‍යාගේ මවට හොඳ පාඩමක් ඉගැන්වීමට විද්‍යා ඝාතනය කිරීමට පුද්ගලයකු වෙත කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බවයි.

එකී පුද්ගලයා තවත් සිවුදෙනෙකු සමඟ එක්ව විද්‍යා ඝාතනයේ අහස පොළොව නුහුළන අපරාධය සිදුකළ බවටද පොලිසිය හෙළි කරගත්තේය. පුළුල් විමර්ශනයකින් පසු පොලිසිය එම පස්දෙනාත් අත්අඩංගුවට ගැනීමට සමත් වූයේය. ඊට අමතරව ස්විට්සර්ලන්තයේ හෝටලයක සේවය කළ ස්විස් කුමාර් නමැත්තෙක්ද වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ විද්‍යා ඝාතනයට අදාළව සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගනිමිනි. ඔහු ඇය දූෂණය කළ අවස්ථා වීඩියෝගතකොට විදේශ ජාතිකයකුට විකුණා ඇති බවත් පසුව හෙළිදරව් විණි.

එකී සැකකරුවන් විසින් පාසල් යමින් සිටි විද්‍යා පැහැරගෙන ගොස් පැය ගණනාවක් වරින්වර ඇයව දූෂණය කර තිබිණි. විද්‍යා මරා දැමු පිරිස අනතුරුව විද්‍යා සෙවීමටත් ඇගේ මරණ කටයුතුවලටත් බොහෝ සේ සහාය වී තිබුණේ කිසිත් නොදත්තවුන් විලසින් හැසිරෙමිනි.

වැඩිමහල් සොහොයුරියක සහ සොහොයුරකු සිටින පවුලේ බඩපිස්සිය වූ විද්‍යා ඝාතනයට අත්අඩංගුවට පත් සැකකරුවන් නවදෙනාම විද්‍යාගේ ගමේම පදිංචිකරුවන් වූහ. ඒ අතර විවාහකයන්ද විය. මහත් ආන්දෝලනයක් ගෙන දුන් විද්‍යා ඝාතන සිදුවීමට විරෝධය පාමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බල කරමින් එකල යාපනයේ හර්තාල්ද පැවැතිණි. විද්‍යා ඝාතනයෙන් වසර දෙකයි මාස හතරක් ඉක්ම යද්දී ප්‍රථම වරට කොළඹින් පිට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පැවැති නඩු විභාගයෙන් සැකකරුවන් හත්දෙනෙකුටම මරණ දණ්ඩනය නියම කෙරුණේ අපරාධයේ දිග-පළල මොනවට ඔප්පු කරමිනි.

 

 

 

 

 

 

 

Comments