
ඉන්ධන මිල අධික ලෙසින් ඉහළ යාම හමුවේ තව දුරටත් පැරැණි ගාස්තුව යටතේ දුම්රිය සේවාව පවත්වාගෙන යාමට නොහැකි බව පවසමින් දුම්රිය දෙපාර්තමේන්තු විසින් මේ මස 1 වෙනිදා සිට පෙර පරිදිම දුර සේවා ආසන වෙන් කළ දුම්රිය ගාස්තු හා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ගාස්තු වැඩි කරන ලදී. දෙපාර්තමේන්තුව විසින් පවසන ලද්දේ 30%ක පමණ ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ නංවන ලද බවයි.
මඟියා තම පොකැට්ටුව දෙස බලා 30%ක ගාස්තු වැඩිවීමක් කෙසේ දරන්නේදැයි හූල්ලමින් සිටියි. එනම් දැනට මාසික වාර ප්‍රවේශ පත්‍රයට රුපියල් 500ක් වැය කරන්නේ නම් එයට 30%ක් එකතු වීම යනු මාසික වාර ප්‍රවේශ පත්‍රය තවත් රුපියල් 150කින් ඉහළ යාමයි. එමෙන්ම රුපියල් 20ක් වන ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 6කින් පමණ හෙවත් රුපියල් 26ක් දක්වා පමණ ඉහළ යන බවයි. ඒ මඟියාගේ ගණනය කිරීමය.
එහෙත් සැබැවින්ම ගාස්තු වැඩි වන්නේ ඒ අයුරින්ද? බස් රථ ගාස්තු 15%කින් වැඩි වන බව කී විට එය ආසන්න රුපියලට 15%ක වැඩිවීම සිදු වේ. උදාහරණයක් ලෙස රුපියල් 30 ප්‍රවේශ පත්‍රයක් රුපියල් 34.50ක් හෙවත් ආසන්න ලෙසින් රුපියල් 35.00ක් දක්වා වැඩි කිරීම සිදු කෙරේ.
එහෙත් පසුගියදා වැඩි කළ වෙන් කළ ආසන දුම්රිය ගාස්තු අනුව එම ගාස්තු වැඩි කර ඇත්තේ 30%කින් නොව 100%ට ආසන්න ප්‍රතිශතයකින් බව පැහැදිලිය. උදාහරණයක් ලෙස කොළඹ කොටුව සිට මහනුවර දක්වා වන රුපියල් 300ක් වූ 3 පංතියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් 500ක් දක්වා වැඩි කර ඇත්තේ 67% ප්‍රතිශතයකිනි.
දුම්රිය ගාස්තුව වැඩි කරන්නේ බස් ගාස්තු ලෙසින් නොව දුම්රියටම ආවේණික වූ යන්ත්‍රණයක් ඔස්සේය. එනම් දුර අනුව ගාස්තු වැඩි කිරීම. ඒ අනුව වත්මන් ගාස්තුව අනුව නොව ප්‍රතිශතය තීරණය කරන්නේ මඟී කිලෝමීටරයකට අය කරනු ලබන ගාස්තුව අදාළ ප්‍රතිශතයෙන් වැඩි කිරීමෙනි.
අද වන විට දුම්රියේ ක්‍රියාත්මක වන්නේ 2018 ඔක්තෝබර් 1 වැනිදා වැඩි කළ ගාස්තුවයි. ඒ අනුව අද වන විට මඟී කිලෝමීටරයක් එනම් සාමාන්‍යයෙන් කිලෝමීටරයක් යාම සඳහා මඟියකුගෙන් අය කරනු ලබන්නේ රුපියල් 1.30ක මුදලකි.
සාමාන්‍ය වශයෙන් දුම්රිය ගාස්තු වැඩි කරන්නේ ප්‍රධාන කාණ්ඩ 5ක් ඔස්සේය.
ඒ අනුව පළමු කිලෝමීටරයේ සිට කිලෝමීටර් 10 දක්වා එක් කාණ්ඩයක්ද කිලෝමීටර 11 සිට කිලෝමීටර 50 දක්වා දෙවන කාණ්ඩය යටතේද කිලෝමීටර 51 සිට 100 දක්වා 3 කාණ්ඩය යටතේද කිලෝමීටර 101 සිට 200 දක්වා 4 කාණ්ඩය යටතේද කිලෝමීටර 200 සිට ඉහළට 5 කාණ්ඩය යටතේද ගාස්තු වැඩි කිරීම් සිදු කෙරේ. එය ඇතැම් විට කාණ්ඩ 7ක් දක්වා වැඩි වන අවස්ථාද ඇත.
2018 වසරේ ගාස්තු වැඩි කරන ලද්දේ 15%කිනි. එවකට රුපියල් 25කට තිබූ ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ ගියේය. බැලූ බැල්මට එය 60%ක වැඩිවීමකි. අප පෙර පැවසූ පරිදි දුම්රිය 2018 ඔක්තෝබර් 1 වැනිදා වන විට මඟී කිලෝමීටරයකට අය කරන ලද ගාස්තුව රුපියල් 1.10කි. ඒ අනුව එකල වැඩි කළ 15% ගාස්තු වැඩි කිරීම අනුව පළමු කිලෝමීටර් 10ක් වන දුරක ඇති දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් ගන්නා මඟියකුගෙන් කිලෝමීටරයකින් අය කළ මුදල වූයේ 1.10 X 15% ක් එනම් ශත 16ක වැඩි වීමකි. එය ශත දහයට වටයනු ලැබේ. එවිට ශත 20කි. ඒ අනුව කිලෝමීටරයකට වැඩි වූ මුදල වූයේ රුපියල් 1.10 + ශත 20 = රුපියල් 1.30කි. කිලෝමීටර් 10ක් දක්වා ගමන් ගන්නා මඟියකු විසින් රුපියල් 1.30 X 10ක් හෙවත් රුපියල් 13ක් දක්වා ගාස්තුව වැඩි කෙරේ. එහෙත් දුම්රිය ගාස්තු ක්‍රමය අනුව රුපියල් 13ක ගාස්තුවද රුපියල් 15ක් දක්වා ආසන්න රුපියල් 5 හෝ 10ට වටයනු ලැබේ. එහිදී පෙර අය කළ ගාස්තුව ගැන තැකීමක් සිදු කර නැත.
උදාහරණයක් ලෙස කොළඹ කොටුවේ සිට රාගම දක්වා 3 වන පන්තියේ මඟියකුගෙන් එකල අය කරනු ලැබුවේ රුපියල් 20කි. රාගම දක්වා කිලෝමීටර් 16ක දුරක් ඇති අතර එහිදී ගාස්තුව අය කිරීම සකස් කරන ලද්දේ පළමු කිලෝමීටර් 10ට පෙර පරිදි 1.30 X 10 – 13.00ක් ලෙසින් හා ඉතිරි කිලෝමීටර් 6ට කිලෝමීටරයට රුපියල් 1.20ක් බැගින් අඩු අය කිරීමක් යටතේය. ඒ අනුව කිලෝමීටර් 6ට ගෙවිය යුතු මුදල වන්නේ 1.20 X 6 එනම් රුපියල් 7.20කි. ඒ අනුව පළමු කිලෝමීටර් 10ට රුපියල් 13ක් හා දෙවන කිලෝමීටර් 6ට 7.20ක් ලෙසින් රුපියල් 20.20ක් දක්වා වන ගාස්තුවක් පෙන්නුම් කළද ඉහළ රුපියල් 10ට හෝ 5ට වැටයීමේ රුපියල් 25ක් දක්වා ගාස්තුව වැඩි කරන ලදී.
ගම්පහ දක්වා ගාස්තු වැඩි කළ ආකාරයද ඒ අනුව අපට වටහා ගත හැකිය. ඒ අනුව ගම්පහ දක්වා පෙර සේම පළමු කිලෝමිටර් 10ට රුපියල් 13.00ක්ද ඉතිරි කිලෝමිටර් 19ට රුපියල් 1.20ක් බැගින්ද අය කරන ලදී. ඒ අනුව රුපියල් 13.00 +22.80 = 35.80ක් වන අතර ආසන්න වැටයීමේදී රුපියල් 40.00ක් දක්වා වැඩි කරන ලදී.
මේ ලෙසින් කිලෝමීටර් 100ක් ගමන් කරන්නේ නම් පළමු කිලෝමිටර් 10ට 13ක්ද 11 සිට 50 දක්වා වන කිලෝමීටර් 40ට 1.20 බැගින් රුපියල් 48ක්ද අය කෙරේ. ඉතිරි කිලෝමීටර් 50ට රුපියලක් බැගින් රුපියල් 50කි. ඒ අනුව ගාස්තුව වූයේ 13.00+ 48.00 +50.00 = 111කි. එය ඉහළ රුපියල් 5ට හෝ 10ට වැටයීමේදී රුපියල් 115කි.
මේ ලෙසින් දෙවන පංතියේ කිලෝමීටරයක් සඳහා රුපියල් 2.30ක් හා පළමු පන්තියේ කිලෝමිටරයක් සඳහා රුපියල් 4.20ක අය කරන ලදී.
වර්තමානයේ වෙන් කළ ආසන හා නගරාන්තර දුම්රිය ගාස්තු වැඩි කිරීම මෙන්ම සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර ගාස්තුව 30%කින් වැඩි කළහොත් මේ ලෙසින්ම ගාස්තු වැඩි වනු ඇත. ඒ අනුව පළමු කිලෝමීටරයට අය කරනු ලබන රුපියල් 1.30 X 30% ක් ලෙසින් 0 .39ක් හෙවත් ආසන්න ලෙස වැටයීමේදී 1.30ට ශත 40ක් එකතු වනු ඇත. ඒ අනුව එක් කිලෝමීටරයක් වෙනුවෙන් රුපියල් 1.30 + 40ක් ලෙස රුපියල් 1.70ක් ලෙසින් රාගම දක්වා නම් පළමු කිලෝමිටර් 10ට 1.70ක් හා දෙවන 6ට කිලෝමීටරයකට රුපියල් 1.60ක් බැගින් 1.60 X 6 ලෙස රුපියල් 9.60ක් ලෙසින් එකතු වේ. එවිට සම්පූර්ණ ගාස්තුව වන්නේ රුපියල් 17.00 + 9.60 ලෙසින් 26.60ක් වන අතර එය ආසන්න ලෙස වැටයීමේදී රුපියල් 30ක් ලෙසින් ඉහළ යනු ඇත.
එසේම ගම්පහ දක්වා පළමු කිලෝමීටර් 10ට එලෙසින්ම රුපියල් 17.00ක් ද දෙවන කිලෝමීටර් 19ට රුපියල් 1.60ක් ලෙසින් රුපියල් 30.40ක් ද එකතුව ලෙස 30.40+ 17.00 = රුපියල් 47ක් ලෙස, එනම් ආසන්න ලෙස රුපියල් 50ක් දක්වා වැඩිවිය හැකිය.
එහෙත් මඟියා දැනට ගම්පහ දක්වා ප්‍රවේශ පත්‍රයක මිල වන රුපියල් 40ට 30%ක් එකතු කර තම ප්‍රවේශ පත්‍රය 40 X 30/100 ලෙස සලකා බැලුවහොත් ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 52.20ක් (රුපියල් 55ක්) විය යුතුය. එහෙත් සැබැවින්ම සිදු කෙරෙන්නේ එය නොවේ.
එහිදී පළමු හා දෙවන හා අනෙකුත් කාණ්ඩ සඳහා කිලෝමීටරයට අය කිරීමේ චක්‍රය වෙනස් විය හැකිය. ඒ අනුව රුපියල් 1.30ක් හෝ 1.70ක් වැනි මේ ගණනය කිරීම් ආසන්න රුපියලට හෝ ශත 50ට වෙනස් විය හැකිය.
එසේ වුවහොත් කොළඹ සිට රාගම දක්වා වන මඟියාට පළමු කිලෝමීටර් 10ට රුපියල් 2ක් බැගින් රුපියල් 20ක් හා දෙවන කිලෝමීටර් 6ට රුපියල් 2ක් හෝ එහි ඉහළ වැටයීමට හෝ ගෙවීමට ඉඩ තිබේ. එවිට මඟියාගේ ප්‍රවේශ පත්‍රයේ මිල වන්නේ රුපියල් 20.00 + 14.00කි. ප්‍රවේශ පත්‍රය රුපියල් 34ක් හෙවත් රුපියල් 35.00ක් දක්වා ඉහළ යා හැකිය. එහිදීද රුපියල් 5ට නොව ඉහළ රුපියල් 10ට වටයා 40ක් වීමටද ඉඩ තිබේ. ගම්පහ දක්වා වන මඟියකුගෙන් ඒ අනුව අය කළහොත් පළමු කාණ්ඩයට රුපියල් 20ක් ද දෙවන කාණ්ඩයේ කිලෝමීටර් 19ට රුපියල් 38ක්ද වශයෙන් එකතුව රුපියල් 58ක් ලෙසින් රුපියල් 60ක් දක්වා මිල ඉහළ යා හැකිය. එවිට මඟියාගේ ගණනය අනුව රුපියල් 40 ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 60ක් දක්වා ඉහළ යාම 50%ක ප්‍රතිශතයකි.
ඒ බව මැනවින් පෙනෙන්නේ මේ වන විට දුරසේවා හා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශ පත්‍ර මිල වැඩි කර ඇති ආකාරය අනුවය. ඒ අනුව වාර ප්‍රවේශ පත්‍ර මිල ගණන්ද ඉහළ යනු ඇත. මාසික වාර ප්‍රවේශ පත්‍ර මිල ගණන් අය කරන්නේ මසකට දින 20ක් පමණක් ගමන් කිරීම සලකාය.
ඒ අනුව අප පෙර උදාහරණයම ගෙන බැලුවහොත් කොළඹ කොටුව සිට රාගම දක්වා රුපියල් 35.00ක් දක්වා ගාස්තුව වැඩි කළහොත් මඟියා ගමන් කරනු ලබන දිනකට දිනකට ගමන් වාර දෙකක් සඳහා රුපියල් 70කි. එය දින 20ක් සඳහා රුපියල් 1400ක් වන අතර මාසික වාර පත්‍රයට අය කිරීම වන්නේ එයින් 60%ක් පමණි එනම් රුපියල් 600ක වාර ප්‍රවේශ පත්‍රයක් රුපියල් 940ක් දක්වා ඉහළ යා හැකිය.
එසේම ගම්පහ දක්වා රුපියල් 60ක් වුවහොත් එලෙසින්ම වාර ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 120 X 20 ලෙසින් හා එයින් 60ක් ලෙසින් රුපියල් 1440ක් දක්වා ඉහළ යා හැකිය.
දුම්රිය ගාස්තු මේ ලෙසින් ඉහළ යාමේ ලකුණු ඇතත් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ ගාස්තු වැඩි නොකර කෙසේ හෝ මහජන සේවාවක් ලෙසින් දුම්රිය සේවාව පවත්වාගෙන යාම බවද පෙනේ. එහෙත් මේ තත්ත්වය හමුවේ දුම්රිය සේවාව පවත්වාගෙන යාමේ විශාල ගැටලු මතුව ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) වී.එස්. පොල්වත්තගේ සිළුමිණට පැවසුවේය.
‘‘ බස් එකේ රුපියල් 120ක් යන දුරට දුම්රියේ අය කරන්නේ රුපියල් 40ක් වගේ අවම මිලක් මේ නිසා අධික මඟී ජනතාවක් මේ වන විට දුම්රියට පැමිණ තියෙනවා.
ඒ මඟී ජනතාවට සපයන්න දුම්රියට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම කාර්යාල දුම්රිය මේ වන විට උපරිම ධාරිතාවට ළංවෙලා ඉවරයි. ඒ වගේම කාලසටහනේ උපරිම දුම්රිය තත්ත්වයක් තියෙන්නෙ.
අවම වශයෙන් බස් ගාස්තුවෙන් අඩක් දක්වාවත් දුම්රිය ගාස්තුව ඉහළ නැංවිය යුතුයි.
අපි රජයට ගාස්තු සංශෝධන කළ යුතු ආකාර කිහිපයක්ම ඉදිරිපත් කර තියෙන්නෙ. තීරණය ගැනීම රජය සතු කාර්යයක්.
ගාස්තු වැඩි කිරීමට දුම්රිය විසින් ඉල්ල තිබේ. තිරණය රජය සතුය. කෙසේ වෙතත් මෙවර ගාස්තු වැඩි කිරීම නම් අප ඉහත පෙන්වා දුන් ක්‍රමවේදයට අනුව නොව ඊටත් වඩා ඉහළ යා හැකි බවට දුම්රිය දෙපාර්තමේන්තුවෙන්ම රතු එළි දැල් වී තිබේ.