මහ වැස්සක් කළ හදි­යක් | සිළුමිණ

මහ වැස්සක් කළ හදි­යක්

පැලවත්ත හමුදා කඳවුරේ සෙබළෙක්   සා. පෙළ සිසුවකු ගංවතුරේ ඔසවාගෙන යමින්
පැලවත්ත හමුදා කඳවුරේ සෙබළෙක් සා. පෙළ සිසුවකු ගංවතුරේ ඔසවාගෙන යමින්

 

වුරුද්දකට ආසන්න කාලයක් මෙරටට බලපෑ තද බල නියං තත්ත්වය උග්‍ර වූයේ ජලවිදුලි උත්පාදනයටද වරෙක බලපෑමක් ඇති කරමිනි. රට මැද බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩු වෙද්දී පුරෝකතනය වූයේ ජලවිදුලියට ජලය නිකුත් කිරීම සීමා නොකොළොත් අදාළ ප්‍රදේශවලට බීමට වතුර පොදක් වත් නොමැතිවනු බවටය.

 

මේ 'නියං සාය' උග්‍රවෙද්දි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මේ වසරේ මුල් භාගයේදී සඳහන් කළේ අප්‍රේල් මාසයේ 15 වැනිදායින් පසු වර්ෂාව බලාපොරොත්තු විය හැකි බවයි.

අප්‍රේල් මාසයේ යම් වර්ෂාවක් ලැබුණත් මැයි මාසයේ තුන්වැනි සතිය දක්වා ලොකු වර්ෂාපතනයක් මෙරටට නොලැබිණි. මැයි මාසයේ අවසන් සතියේ ක්‍රමයෙන් සක්‍රීය වන වර්ෂාපතන මහා වර්ෂාවක් බවට පත්වන්නේ මැයි අවසන් සතියේ අවසන් දින කීපයේදීය. මැයි මාසයේ 26,27,28,29 දින වල රටේ තැන තැනම ලැබුණු යම් ප්‍රමාණයක වර්ෂාව හරියටම සක්‍රිය වන්නේ මැයි මාසයේ 30 වැනිදාය. ඒ නිරත දිග මෝසමේ ආරම්භයත් සමඟමය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ට වැඩි වර්ෂාව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මැයි මාසයේ 30 වැනිදා ය.

මේ පළාත් සහ ප්‍රදේශ හැරෙන්නට ඌව පළාත නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට 30 දා සිට රාත්‍රී කාලයේ වැසි ලැබීමට නියමිත බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මේ අතරය.

පුත්තලම සිට මන්නාරම සහ ගාල්ල සිට මාතර ඔස්සේ පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 - 60 දක්වා අතර පවතින බවද කාලගුණ වාර්තාවේ දැක්වූයේ ධීවරයන්ගේ විශේෂ අවධානය පිණිසය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවූම් ප්‍රදේශවල ද, උතුරු මැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 50 වැනි තද සුළං සමඟ වර්ෂාව ඇති වීමට ඉඩ ඇති අතර අකුණු අනතුරු ගැන අවධානමද කාලගුණ නිවේදනයෙන් මහජන අවධානය යොමු කර තිබිණි.

මීට අමතරව නාය යෑම් අවධානම ගැන ද අනතුරු හඟවා තිබිණි. නායයාම් අවධානම් කලාපවල ජනතාවගේ අවධානය යොමු කර තිබුණේ අවශ්‍ය මොහොතක එම ප්‍රදේශවලින් ඉවත් වීමට හැකි ලෙසය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වාරිමාර්ග දෙපාර්තමේන්තුව 30 වැනිදා සවස් වන විට මේ වෙනස්වන කාලගුණ තත්ත්වය ගැන දැඩි අවධානය යොමු කර තිබුණු අතර වර්ෂාව තදින් ලැබෙතැයි පුරෝකතනය කර තිබුණු ප්‍රදේශවල පොලිසිය, යුද හමුදාව සහ නාවික හමුදාව, ප්‍රාදේශීය ලේකම්වරු සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් දැනුවත්කර තිබිණි.

ක්‍රම ක්‍රමයෙන් සක්‍රිය වූ අන්තර් මෝසම 30 වැනිදා රාත්‍රියේ සිට නොකඩවා විසිහතර පැයක් එක දිගට ඇදහැළුණු 'අනෝරාවක්' බවට පත්වන්නේ ඔය අතරතුරය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව පළාත්වලත්, ගාල්ල මාතර රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් විශාල වර්ෂා පතනයක් ලැබෙන්නේ 31වැනිදාට පහන් වෙද්දීය.

31 වැනිදා පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය ඇතුළත වැඩිම වර්ෂාපතනය වාර්තාවූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල ප්‍රදේශයෙනි. එය මිලිමීටර් 192 කි. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න ප්‍රදේශයෙන් මිලි මීටර 132 ක වර්ෂාපතනයක් ද ගම්පහ දිස්ත්‍රිකයේ කිරිඳිවැල ප්‍රදේශයේ මිලිමීටර 130 ක් අවිස්සාවේල්ලෙන් මිලිමීටර 121ක් ද වාර්තා විය.

අධික වර්ෂාව සමඟ අදාළ පළාත් සහ දිස්ත්‍රික්ක සහ ප්‍රදේශවල ප්‍රධාන ගංගා සහ අතු ගංගා උතුරා මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා පැමිණුන අතර ඉන් විශාල දුෂ්කරතාවකට මුහුණ පෑවේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන්ය. මේ සිසුන් සිය විභාග මධ්‍යස්ථානයට යා ගත නොහැකි නම් ආසන්නම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටිය හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරන්නේ ඔය අතරය.

ගංවතුර නිසා විභාග මධ්‍යස්ථානවලට යා ගත නොහැකිව සිටි සිසු සිසුවියන් වෙනුවෙන් යුද හමුදාව පුත්තලමේදී පෙරට එන්නේ ඔය අතරය ජලයෙන් යටව තිබුණු විදුහල් භූමිය ඔස්සේ හමුදා බසයකින් සා පෙළ සිසුන් අදාළ විදුහල් ගොඩනැගිල්ලට ගෙන යාමට හමුදා සෙබළු කටයුතු කළහ. කොළඹ බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ සාපෙළ විභාග ශාලාවල පිරි තිබුණු ජලය ඉවත් කිරීමට කොළඹ ගිනි නිවන හමුදා කණ්ඩායමක් කටයුතු කරන්නේ ඔය අතරය. විදුහලේ ගේට්ටුව අසල සිට සිසු සිසුවියන් විභාග ශාලාව වෙත ප්‍රවාහනය කරන ලද්දේ ගිනි නිවන හමුදා වාහනයකිනි.

මේ අතර අන්තර්මෝසම සක්‍රීය වූ ප්‍රදේශවල අයත් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 54ක් ආපදා ප්‍රදේශ ලෙස නම් කෙරිණි.

වර්ෂාව ක්‍රමයෙන් වැඩිවත්ම කළු, ගිං, නිල්වලා යන ගංගා සහ අත්තනගලු ඔය පිටාර ගැලීමේ අවධානමක්ද මතු වී තිබුණු අතර එම ගංගා අවට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය.

කාසල්රි, මාවුස්සාකැලේ, ලක්ෂපාන, නෝටන්බ්‍රිජ් ජලාශවල ජලමට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යන්නේ 31 වැනිදා සවස් වන විටය. නෝටන් බ්‍රිජ් ජලාශයේ වාන් දොරටුද මේ නිසා විවෘත කිරීමට සිදු විය. කළු ගඟ පිටාර ගැලීම නිසා ඇලපාත, රත්නපුර, කිරිඇල්ල ඇතුළු ප්‍රදේශ ගණනක් ජලයෙන් යටවිය. ඇහැලියගොඩ ප්‍රදේශයේද මාර්ග සහ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට විය.

කළු, නිල්වලා, ගිං යන ගංගාවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ජුනි 01 වැනිදා වන විට කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන්ද නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන්ද සුළු ගංවතුරක් දක්වා වර්ධනයක් විය. කැලණි ගං ද්‍රෝණියේ පිහිටි රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව , කොළඹ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල පදිංචිකරුවන්ට අනතුරු හඟවන්නේ ඔය අතරය.

අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවල සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා විය. අත්තනගලු ඔය අවට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවන්නේ ඒ නිසාය. අත්තනගලු ඔය සහ ඌරුවල් ද්‍රෝණිය අවට මීරිගම, දිවුලපිටිය, වත්තල, ජාඇල ප්‍රදේශිය ලේකම්කොට්ඨාසවල පහත්බිම්වල පදිංචිකරුවන්ට අනතුරු හැඟවීමේ නිවේදන නිකුත් කැරිණ. අත්තනගලු ඔය අවට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීම නිසා ගම්පහ දිසාවේ ප්‍රදේශ රැසක්ද ජලයෙන් යටවුණු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමු වූයේ ගම්පහ නරගරය සහ අවට ප්‍රදේශවල තත්ත්වය සොයා බැලීම සඳහාය.

කළු ගඟ ආශ්‍රිත පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත පාලින්ද නුවර, බුලත්සිංහල ප්‍රදේශවල පහත් බිම් ද ජලයෙන් යටවිය.

නිල්වලා ගඟේ ජලමට්ටම ඉහළ යෑම නිසා අවදානම් තත්ත්වයක් ඇති වූණේ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල පහත් බිම්වල පදිංචිකරුවන්ටය. ගිං ගඟ ද්‍රෝණියේ පිහිටි නෙලුව, තවලම, නාගොඩ, ඇල්පිටිය, නියා ගම, බද්දේගම, වැලිපිටිය දිමිතුර බෝපේ, පෝද්දල සහ ගාල්ල අඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල පදිංචිකරුවන්ටද ගංවතුර අවධානම ගැන දැනුම්වත් කෙරිණි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ද කෑගල්ල රත්නපුර, කොළඹ, ගාල්ල, මාතර, කළුතර, මහනුවර දිස්ත්‍රිකවල නාය යාමේ අවදානම් ස්ථාන ගැන රතු නිවේදන නිකුත්කර තිබිණි.

යුධ හමුදා සෙබළු වලල්ලාවිට පැලවත්ත මාර්ගයේදී අ.පො.ස. සාපෙළ විභාගයට යන සිසුන්ට
ප්‍රවාහන පහසුකම් සැලසූ අයුරු

ජුනි 01 වැනිදා වන විට ගංවතුර සහ අයහපත් කාලගුණ තත්වය නිසා රත්නපුර, මාතර, මහනුවර, ගම්පහ, කොළඹ, කළුතර දිස්ත්‍රික්කවල පවුල් 5367 කට අයත් පුද්ගලයන් 22338ක් පීඩාවට පත්ව සිටියහ. ඉන් පවුල් රැසකට අයත් 236 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 5ක රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කීය. අදාළ දිස්ත්‍රික්කවල නිවාස 174කට අර්ධ හානි වී ඇත. වැඩිම පීඩාව සිදුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට ය. එම දිස්ත්‍රික්කයේ පවුල් 2,448 කට අයත් 11,425 දෙනෙකු පීඩාවට පත්ව සිටිති. වැස්සෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා කණ්ඩායම් 06 ක් සබරගමුව සහ දකුණු පළාත්වලට යවා තිබිණි. අපොස සා.පෙළ විභාගයට මුහුණ දෙන සිසුනට අදාළ පළාත්වල නාවික හමුදාව ඒ සඳහා අවශ්‍ය බෝට්ටු ලබා දී තිබිණි. ගම්පහ දිසාවේ දෙකටන, බියගම සමුපකාරය අසලින් මාර්ගය යටවන්නේ ධාරාණිපාත වර්ෂාව නිසාය. ගම්පහ දිසාවේ තවත් පහත්බිම් ගණනාවක් සහ මාර්ග නිවාස ජලයෙන් යට විය. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පාලින්ද නුවර, වලල්ලාවිට සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක් ඇති වුණු අතර මෝල්කාව, හැඩිගල්ල, සහ පාලින්ද නුවර සා. පෙළ විභාග මධ්‍යස්ථාන 3කට ඇතුළු වන මාර්ග ජලයෙන් යට වී තිබූ නිසා යුද හමුදා වාහන මඟින් සිසුන් අදාළ විභාග මධ්‍යස්ථානවලට ගෙන යාමට කටයුතු යොදා තිබිණි.

දැදුරු ඔයේ වාන් දොරටු 03 ක් විවෘත කැරිණි. ඒ එහි ජලමට්ටම ඉහළ යාම නිසාය. ගිංතොට ඔයේ ජලමට්ටම ඉහළ යාම නිසා දුම්මලසූරිය දුව බැම්ම යෝජනා ක්‍රමයේ ජලමට්ටම ඉහළ යාම නිසා පහත් බිම්වල පදිංචි පවුල් 39ක් ඉවත් කැරිණි. ගිං ගඟ පිටාර ගැලීම නිසා ගිං ගඟ ඉහළ පිහිටි දෙල්ලව ලංකාගම ප්‍රදේශත් ගිං ගඟ පහතින් පිහිටි නාගොඩ බද්දේගම ප්‍රදේශයේ මාර්ග රැසක් ද ජලයෙන් යට විය. නෙළුව ප්‍රදේශයේ කුඹුරු හෙක්ටයාර් දහයකට පමණ ගංවතුරෙන් හානි විය. කිරි ඇල්ල ඉඩම්ගොඩ මාර්ගයේ නාය යෑමක් නිසා මාර්ගය අවහිර වන්නේ ද 31 වැනිදාය.

කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් ද මේ අතර විවෘත කෙරෙන්නේ අධික වර්ෂාව නිසාය. ඉන් තප්පරයට ඝන මීටර 190 ක පමණ ජල ධාරිතාවක් මුදා හැරීම නිසා බුලත් සිංහල මාර්ග කීපයක් ජලයෙන් යට විය.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත, පාලින්ද නුවර පහත් බිම් රැසක් ජලයෙන් යටවුණ අතර ගමනාගමන කටයුතුවලට බාධා ඇති විය. පැලවත්ත, මීගහතැන්න, බදුරලිය, කලවාන ප්‍රධාන මාර්ග ජලයෙන් යටවී ගමනාගමනයට බාධා පැමිණියේය. පාලින්ද නුවර පැලෑඳ මීගහතැන්න පොල්ගම්පොල, කුරුවිට පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබිණි.

බුලත්සිංහල මෝල්කාව මාර්ගය පරගොඩ සහ දඔල ප්‍රදේශ ජලයෙන් යටවී තිබුණු අතර පැලවත්ත, වලල්ලාවිට මාර්ග ජලයෙන් යටවීම නිසා පැලවත්ත හමුදා කඳවුරේ 12වන ඉන්ජිනේරු රෙජිමේන්තුවේ සෙබළු බෝට්ටු සහ හමුදා වාහන යොදවා ප්‍රදේශවාසින් සහ සා. පෙළ සිසුන්ට ප්‍රවාහනය පහසුකම් සැපයුහ.

නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය පානදුගම ප්‍රදේශයෙන් මුලටියන කඹුරුපිටිය මාර්ගය මාකඳුරෙන් ද ජලයෙන් යටවී ගමනා ගමනයට බාධා එල්ල විය. රංසෑගොඩ, කඹුරුපිටිය, මාපලාන හා මාලිම්බඩ ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවූ අතර කඹුරුපිටිය ගෝදාව ප්‍රදේශයේ නිවෙසක් මතට ගසක් කඩා වැටී අලාභ හානි සිදු විය.

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල හිඳුරංගල හරහා ඇහැලියගොඩ මාර්ගයේ නරිකන්ද ප්‍රදේශයේ නාය ගොස් තිබිණි. ඒ නිසා එම මාර්ගයේ වාහන ධාවනය ඇණ හිටියේය.

ඉබ්බාගමුව බතලෙගොඩ ජලාශයට වතුර ලබාගන්නා සොරොව්ව
ගංවතුරෙන් කැඩීගොස් තිබුණේ මෙසේය

මේ අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්නගේ උපදෙස් මත නාවික හමුදා බටහිර විධානය මගින් සහන සේවා කණ්ඩායම් 04ක් රත්නපුර ප්‍රදේශයට යවා තිබුණු අතර දකුණු නාවික විධානය මගින් කණ්ඩායම් 02ක් ගාල්ල තවලම ප්‍රදේශයට යවා තිබිණි. හිනිදුම ප්‍රදේශයටද ගංවතුරින් බලපෑම් එල්ල වන්නේ මේ අතරය. එම ප්‍රදේශයේ බොහෝ ස්ථාන ජලයෙන් යට විය.

විපතට පත් ජනතාවට සහන සැලසීමේ බලාපොරොත්තුවෙන් බටහිර නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් 03ක් දකුණු නාවික විධානයේ කණ්ඩායම් 08ක් සහ වයඹ විධානයේ කණ්ඩායම් 18ක් සූදානමින් තබා ඇත.

මේ අතර අන්තර්මෝසම නිසා ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වූයේ රත්නපුර ප්‍රදේශයෙනි. රත්නපුර ප්‍රදේශයේ ආපදා තත්ත්වය නිරීක්ෂණයට ගොස් සිටි කිරිඇල්ල ආපදා සහන සේවා නිලධාරියා සැඩ පහරකට හසු වී ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත් වූයේ ජුනි 01 දාය. මෙසේ මරුමුවට පත් වූයේ 41 හැවිරිදි පුන්සිරි කරුණාසේනයි.

පසුගිය 02 දා උතුරු කළුතර ගලපාත කක්කඩුව ඇලේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකුද දියේ ගිලී මරු මුවට පත්විය. මෙසේ මියගොස් ඇත්තේ ගලපාත,ජය මාවතේ පදිංචි රණවක ආරච්චිලාගේ රවීන්ද්‍ර යසස් සහ රණවක ආරච්චිලාගේ චමිල් විශ්මිත යන 14 හැවිරිදි ළමුන් දෙදෙනෙකි.

කළු, ගිං, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ජුනි 02 දා වන විට පහත බැස තිබිණි. මේ අතර ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලැසීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබිණි. දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් අදාළ පුද්ගලයන්ට සහන මුදල් ලබා දෙන ලෙස අගමැතිවරයා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබිණි. සහන මුදල් ලබාදීම ගැන සාකච්ඡා අග්‍රාමත්‍ය ලේකම් සමන් ඒකනායක සහ දිස්ත්‍රික් ලේකම්වරු අතර මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

කළුතර, ගම්පහ, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරු සමඟ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ගංවතුරින් ආපදාවට පත් ජනතාවට සහන දීමට මහාභාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මුදල් වෙන්කර ඇති බවයි. ඒ ඒ ප්‍රදේශවලට සිදු වී ඇති හානි තක්සේරු කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික්කවලට වෙන් කරන මුදල් ප්‍රමාණය තීරණය කෙරේ.

ගංවතුරෙන් පීඩාවට පත් වූ බුලත්සිංහල මෝල්කාව ප්‍රදේශවාසීන් අඟුලකින් එතෙර වෙමින්

 

ඡායාරූප - මතුගම සමූහ බන්දු තඹවිට, ඉබ්බාගමුව සමූහ කුමාරි දිසානායක, මාරවිල සමූහ මිහිර විජේසේකර, දෙල්ගොඩ සමූහ සුදත් පුබුදු කීර්ති සහ ගන්දර සමූහ ජයසිරි පේදුරුආරච්චි.

 

Comments