
වර්තමානයේ ඇතැම් පාර්ශ්වයෝ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අරගලවල නිරත වෙති. එහිදී ප්‍රමුඛව මතු කරන කරුණ නම් පවතින පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් ඉවත් විය යුතු බවයි. විශේෂයෙන් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති මේ වෙනුවෙන් උද්ඝෝෂණවල නිරත වෙයි. දේශපාලනඥයන්ගෙන් අපි අපේක්ෂා කරන සේවාවන් එම පුද්ගලයන් විසින් ඉටු කිරීමට අසමත් වී ඇත. ඔවුන් ජනතාව වෙනුවෙන් තම සේවාවන් නිවැරදි අයුරින් ඉටු කළ යුතු බව අවිවාදිතය. ඒ සඳහා වන දේශපාලනික ප්‍රතිසංස්කරණ කළ යුතුය. එහෙත් රාජ්‍ය අංශයේ වෘත්තිකයන් මේ අරගලවලට පෙර සිතිය යුතු කරුණක් වෙයි. ඔවුන් තමන්ට පැවැරී ඇති වෘත්තීමය සේවය නිසි ලෙස ඉටු කර තිබේද යන ප්‍රශ්නය මෙහිදී මතු වෙයි.
දේශපාලඥයන්ට ඇඟිල්ල දිගු කළද ඇතැම් රාජ්‍ය අංශයේ වෘත්තිකයන් තමන්ගේ ආයතනය වෙනුවෙන් ඵලදායි සේවාවක් ලබාදීමට කටයුතු කරනවාද යන කරුණ ගැටලු සහගතය. රාජ්‍ය යාන්ත්‍රණයට ආණ්ඩුව විසින් ස්ථීර රැකියාවන්ට බඳවා ගැනීම සහ විශ්‍රාම වැටුපක් ලබාදීම නිසාම ඇතැම් විට රාජ්‍ය සේවාව අකාර්යක්ෂම වී ඇත. අද රටේ සුඛෝපභෝගි රාජ්‍ය සේවාවක් වෙයි. එය වැඩ නොකර ඉහළ වැටුප් ලබන සේවාවක් බවට පත්ව ඇත. රාජ්‍ය අංශය වැඩ කරන සේවාවක් බවට පත් කළහොත් ආර්ථිකයේ තරගකාරීත්වය, ඵලදායීතාවය සහ අපනයන ක්ෂේත්‍රය පුළුල් කිරීමෙන් ආර්ථීකමය වශයෙන් ගොඩනැඟීමට හැකිවෙයි. අකාර්යක්ෂම රාජ්‍ය සේවය සහ ඒ සඳහා කරන වියදම් අදූරදර්ශි වියදම් බවට පත්වීම මේ ආර්ථික අර්බුදයට යම් බලපෑමක් වූ බව රහසක් නොවෙයි.
කුමන රජයක් බලයට පත්වුවත් රාජ්‍ය සේවාවේ ඵලදායිතාව ඉහළ නැංවීමට ඉදිරි පියවරයන් නොගෙන ආර්ථීක අර්බුදය ජයගත නොහැකිය. රාජ්‍ය සේවකයෙක් කාර්යක්ෂම කිරීමට නම් රාජ්‍ය සේවකයාගේ සේවය ස්ථිර නොවන තාවකාලික සේවාවක් බවට පත් කළ යුතුයි. රැකියාව අහිමි වෙතැයි යන තෙරපුම නිසා පුද්ගලයන් කාර්යක්ෂම සේවාවක යෙදෙයි. රාජ්‍ය සේවාව ස්ථිර නොවන විට, කාර්ය සාධනය කාර්යක්ෂම නොමැති වුවහොත් එම සේවකයා රැකියාවෙන් ඉවත් කළ හැකිය. විශේෂයෙන්ම රැකියා ස්ථිර නැතිවීම පුද්ගලයාගේ කුසලතා හැකියාව දියුණුවීමට සහ කාර්යක්ෂමතා දියුණු විමට හේතු වෙයි.
රජයේ වෘත්තීය සමිති, පෞද්ගලික වෘත්තීය සමිති පාලකයන් ඉවත් කිරීමේ අරගලය සම්බන්ධයෙන් විශාල පෙරමුණක් ගෙන ඇත. එහෙත් මේ වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ සේවා ආයතන ගතහොත් ඒ ආයතන කෙසේ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය. බොහෝ ආයතනවල පරිපාලන ඵලදායිතාව පහළ මට්ටමින් පවතින බව නිසැකය. මේ අවස්ථාවේදී වෘත්තීය සමිති හා ආර්ථික ප්‍රතිසංස්කරණ ඉල්ලන තරුණ ප්‍රජාව රට වෙනුවෙන් යම් වගකීමක් ඉටුකිරීම වඩා වැදගත් වෙයි. රාජ්‍ය යාන්ත්‍රණය නියමාකාරයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වෙයි. රාජ්‍ය යාන්ත්‍රණය ඵලදායිතාව නැංවීම සඳහා ප්‍රතිසංස්කරණවලට ලක් කළ යුතුමය. එසේම ඵලදායිතාව මත පදනම්ව දීමනා, උසස් වීම් මෙන්ම ජනතාවට වග කියන ආකාරයේ රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීම අත්‍යවශ්‍ය වෙයි.ප්‍රධානම වශයෙන්ම රාජ්‍ය අංශයේ කිසිදු සේවකයකු ස්ථිර පත්වීමක් විශ්‍රාම වැටුපක් නොලැබිය යුතුය යන ප්‍රතිසංස්කරණය සිදු කිරීම කාලීන වෙයි. මෙය රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම හා ඵලදායී කිරීමේ ප්‍රධාන දිශානතිය කරා හැරවුම් ලක්ෂ්‍යයි. මූලික වශයෙන්ම ඕනෑම පුද්ගලයකුගේ හැසිරීම හා ඒ හැසිරීමේ තරම තීරණය කරනු ලබන ප්‍රධානම සාධකය නම් ඒ පුද්ගලයට ලැබෙන දඬුවම් හෝ වරප්‍රසාදයන්ය. එහිදී ආයතනය මඟින් යම් වැටුපක් වරප්‍රසාදයක් ලබා ගැනීමට නම්, ඒ පුද්ගලයා යම් කාර්ය සාධන වැඩ කටයුතුවල නිවැරදි ආකාරයට නිරත විය යුතුයි. එහෙත් ඕනෑම ආයතනයක පුද්ගලයන් වැඩ කිරීමට අදාළව වැටුපක් ලබයි. ඇතැම් අවස්ථාවලදී පැමිණෙන දින ගණන අනුව යම් ලාභාංශ බෙදාදීම් සහ දීමනා ලබාදීම් සිදුවිය හැකියි. විශේෂයෙන්ම පෞද්ගලික අංශය පිළිබඳව සලකා බැලුවොත් පුද්ගලයකු වැඩ කිරීමේදී උපරිම ඵලදායිතාවෙන් වැඩ කිරීම සහතික කිරීම සඳහා යම් දිරිදීම් ලබා දෙයි. දිරිදීම් ලෙස වැටුප් හා උසස් වීම්, යාන වාහන ආදිය ලබාදීම සිදු කරයි.
දඩුවම් ලබාදීමේදී පුද්ගලයාගේ රැකියාව අහිමි කිරීම, වැටුප් අඩු කිරීම්, උසස් වීම් ප්‍රමාද කිරීම් වැනි ආකාරයේ වැඩපිළිවෙළක් වෙයි. ඒ නිසා විශේෂයෙන් පෞද්ගලික අංශය තුළ ඒ ක්ෂේත්‍රයට ගැළපෙන ආකාරයට වැටුප් ගෙවීම හා රැකියාවට අදාළ තත්ත්වයන් සකස් කර ඇත. රාජ්‍ය අංශය සලකා බැලීමේදී පුද්ගලයාගේ වැටුපට වාර්ෂිකව වැඩි වන වැටුප් වර්ධක වෙයි. එහිදී එය ලබා දීමට අදාළ දෙපාර්ථමේන්තු අමාත්‍යංශයේ අදාළ අංශ ප්‍රධානියා සහතික කළ යුතුයි.
ඊට අමතරව විවිධ දිරිගැන්වීම් ලබාදීම් හා අනෙක් පැත්තෙන් දඬුවම් ද ක්‍රියාත්මක වෙයි. එසේම කාර්යක්ෂමතා පරීක්ෂණ ද වෙයි. එහෙත් රාජ්‍ය අංශයේ ඇති මූලික ලක්ෂණයක් නම් පුද්ගලික අංශයට සාපේක්ෂව ඵලදායිතාව ඉතා පහළ මට්ටමකින් පැවතීමයි. එහෙත් එය රැකියාවේ සුරක්ෂිතතාවට බාධාවක් නොවේ. මේ අනුව රාජ්‍ය අංශයේ සේවාවන් සඳහා අවශ්‍ය පිරිසට වඩා වැඩි පිරිසක් සේවා ගතවීම, අදාළ සේවකයන් පහළ ඵලදායිතාවකින් යුතුව කටයුතු කිරීම වශයෙන් රාජ්‍ය අංශය තුළ ගැටලු දෙකක් නිර්මාණය වී තිබේ. සේවා ස්ථානයේ ප්‍රධානීන් ඇතැම් අවස්ථාවලදී කරනු ලබන චෝදනාවක් වන්නේ අදාළ කාර්යයේ අදාළ නිලධාරීන් විසින් නියමාකාරයෙන් නිරත නොවන බවයි. සමාජයේ පොදු මතය වී ඇත්තේද රාජ්‍ය අංශයේ අති බහුතර සේවක ප්‍රමාණයක් තමන්ගේ රාජකාරිය නිසියාකාරව නියම ඵලදායිතාවකින් නිරත නොවන බවයි. බොහෝ පුද්ගලයන් තමන්ගේ සේවාවන් ලබාගැනීමේදී එවැනි අකාර්යක්ෂමතා නිසා සිදුවූ අපහසුතාවන් අත්විඳ ඇති බව නිසැකය. සෞඛ්‍ය, පාසල්, විශ්වවිද්‍යාල, අමාත්‍යාංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ ආදී වශයෙන් සෑම ස්ථානවල මෙවැනි තත්ත්වයන් පවතී.
එසේ නම් ප්‍රධාන අභියෝගය අද පවතින තත්ත්වය තුළ රාජ්‍ය සේවකයා කාර්යක්ෂම කළ යුත්තේ කෙසේද? යන්නයි. මේ ආර්ථික අර්බුදයට එක් ප්‍රධානම හේතුවක් වන්නේද වෙහෙසවී වැඩ නොකිරීමයි. ජාත්‍යන්තරව තරගකාරී නොවීමට, ඵලදායීතාව කාර්යක්ෂම නොවීම නිසා අපේ අපනයන ඉහළ මට්ටමකට ගෙන ඒම අසාර්ථක වී ඇත. දේශීය නිෂ්පාදන පුළුල් කිරීම අසාර්ථක වීමට නැඟෙන ප්‍රධාන බරපතළ චෝදනාව රාජ්‍ය අංශය ඉහළ ඵලදායිතාවකින් යුතුව ක්‍රියාත්මක නොවීම නිසා තරගකාරීත්වය වර්ධනය කරගත නොහැකි වීමයි.
එබැවින් රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතී. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සමස්ත භාණ්ඩ හා සේවා සැපැයුම් ජාලයේම වැඩ කිරීම් පද්ධතියම කාර්යක්ෂම කළ යුතුයි. ආර්ථික හා මූල්‍ය අර්බුදයට ප්‍රධාන තැනක් ලබාදෙමින් කටයුතු කළ යුතුයි.
රාජ්‍ය අංශයේ පාඩු ලබන ආයතන ලාබ ලබන මට්ටමට පත් කිරීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම, රාජ්‍ය අංශයේ වංචා දුෂණ වැළැක්වීම, දේශපාලනීකරණය නැවත්වීම වැනි ක්‍රියාවන් හරහා ඵලදයිතාව ඉහළ නැංවීමට අදාළව කටයුතු කළ යුතුය. ඵලදායිතාව තීරණය කරනුයේ මුලින් සඳහන් කළ ආකාරයටය. එසේම ලබාදෙනු ලබන දඬුවම්, දිරිදීම් මතය. ස්ථිර පත්වීම නිසාම රාජ්‍ය සේවකයා වරදකදී පවා සේවයෙන් ඉවත් කිරීමට ඇත්තේ ඉතා සීමිත නීතිමය ප්‍රතිපාදනය.
ඔවුන් සේවයෙන් ඉවත් කිරීම සංකීර්ණ ක්‍රියාවලියකි. සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයේ ක්‍රමවේදය නම්, හැකියාවන්ට අදාළ සේව්‍යයා බලාපොරොත්තු වන කාර්යක්ෂම මට්ටමෙන් වැඩ නොකරන්නේ සේවකයා ඉවත් කිරීමේ හැකියාවක් තිබීමයි. රාජ්‍ය අංශයේ පවතින රැකියා තුළ ස්ථිර බව තහවුරු කිරීම තුළින් අපේක්ෂා කරන්නේ මානසික ඒකාග්‍රතාවකින් යුතුව පුද්ගලයාට තමන්ගේ රැකියාව නියමාකාරව කිරීමට වටපිටාවක් සැකසිමටය. එයට අදාළව යහපත් චේතනාවකින් මේ ස්ථිරභාවය ඇති කර තිබේ. ඒ අනුව ඔහුට ඔහුගේ ඉදිරි ජීවිතය සාර්ථක ආකාරයට සැලසුම් කර පවත්වාගෙන යාමේ හැකියාවක් ඇත. ඒ තුළ ඇතිවන අභිමානයත් සමඟ අභිමානවත් රාජ්‍ය සේවාවක් ලබාදීම ප්‍රධාන අපේක්ෂාව වී ඇත. ඒ අභිමානවත් බව ඇති කරනු ලැබූයේ ඉහළ ඵලදායිතාවකින් යුතුව අභිමානවත් සේවාවක් ලබා ගැනීමේ අරමුණිනි. නමුත් අද වන විට රාජ්‍ය සේවය තුළ මේ අභිමානවත් බවක් ලබා දීම ස්ථිර රැකියාවක් ලබාදීම මත තමන්ගේ රාජකාරිය පැහැර හැරීම, අවංකව කැපවීමෙන් රාජකාරිය නොකරන තත්ත්වයට පත්වී ඇත. මුළු රාජ්‍ය සේවාවම කාර්යක්ෂමවතාවයෙන් විශාල පසුබැසීමකට ලක් වී ඇත්තේ මෙවැනි ආකල්පයන් නිසාවෙනි. මේ සන්දර්භය තුළ සිට අද දවසේ ආර්ථිකය ගොඩනැඟීම හමුවේ ඇති මේ විශාල අභියෝගය ජයගන්නේ කෙසේද යන්න ගැටලුවකි. මේ සඳහා රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කළ යුතුය. ඒඅනුව වඩා අවධානය යොමු කළ යුත්තේ අලුතෙන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම්වලදී ස්ථිර රැකියා යන කාරණාව ඉවත් කිරීමයි. ඒ සඳහා සුදුසු කාලය දැන් එළඹ ඇත. පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් එක හා සමාන රැකියා බවට සලකමින් කම්කරු නීති, කම්කරු වරප්‍රසාද යටතේ ක්‍රියාත්මක වීමට ඉඩ ප්‍රස්ථාව ලබා දිය යුතුය. පෞද්ගලික අංශයේ රැකියා කරන්නන් සහ රාජ්‍ය අංශයේ රැකියා කරන්නන් අතර නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු වෙනසක් ඇති නොකළ යුතුයි. එකම ආකාරයේ නීති රීති දෙඅංශයටම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා එය බරපතළ හේතුවක් වෙයි. ආයතන ප්‍රධානීන් කෙතරම් උත්සහා කළද සේවකයන් අදාළ කාර්ය ඉටු නොකරයි නම්, අපේක්ෂා කරන මට්ටමින් ආයතනය ඉදිරියට ගෙන යාමට හැකියාවක් නැත. බොහෝ රාජ්‍ය සේවකයන් විසින් සමස්ත පාලකයන් සියලු දෙනා ඉවත් විය යුතුයැයි හඬ නඟයි. ආණ්ඩුව රාජ්‍ය යන්ත්‍රණය මඟින් ඔවුන්ගේ කාර්ය භාරය ක්‍රියාවට නංවයි. ජනතාවට එය නිසි ලෙස එම සේවාවන් සපයන්නේද යන්න රාජ්‍ය සේවාවන්ගෙන් ප්‍රශ්න නැඟිය යුතුයි. විශේෂයෙන් රාජ්‍ය සේවය විසින් අපේක්ෂා කරන කාර්යය ඔවුන් විසින් ඉටුකරන්නේද යන්න ගැටලුවකි. රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන අංශය දුර්වල නම් සහ ඔවුන් ඔවුන්ගේ රැකියාවේ ඉලක්කගත කාර්යභාරය නිසි ලෙස ඉටු නොකරන්නේ නම් එය බරපතළ ප්‍රශ්නයකි.
ස්ථිර රැකියා යන කාරණාව ආර්ථිකයට අංශයට විශාල බලපෑමක් කර ඇති බව මෙතෙක් ඉතිහාසය පිරික්සීමෙන් පෙනෙයි. ඒ නිසා රාජ්‍ය අංශය අනිවාර්යෙන්ම ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුය. එසේ නම් ඉදිරියට කරනු ලබන බඳවා ගැනීම් රාජ්‍ය අංශයට තාවකාලික පදනම මත බඳවා ගැනීම් විය යුතු බවට තර්කයක් නැත. තාවකාලික පදනම යනුවෙන් අදහස් කරන්නේ කොන්ත්‍රාත් පදනමයි. පළවෙනි කාල සීමාවේදී අවුරුදු තුනක කාල සීමාවකට යටත්ව රැකියාව ස්ථිර විය යුතුයි. ඉන් අනතුරුව අවුරුදු පහකට අදාළව රැකියාව ස්ථිර විය යුතුයි. මේ ආකාරයට කාර්යක්ෂමතාවය මත රැකියාව දිර්ඝ කිරීමේ ක්‍රමවේදයක් ගොඩනැඟිය යුතුයි. ලෝකයේ අනිත් රටවල්වල මේ ආකාරයට සේවාවන් පවත්වාගෙන යයි.
සේවකයන් දක්ෂතා දක්වන්නේ නැත්නම්, ඔහුගේ සේවාව එතනින් අවසන් කර කාර්යක්ෂම සේවකයෙක් බඳවා ගැනීම වැදගත් වෙයි. ඒ ආකාරයට ක්‍රියාත්මක කිරීමේදී අනිවාර්යෙන්ම කාර්ය භාරයේ කාර්යක්ෂම වීමට පෙලඹීමක් ඇතිවෙයි. රාජ්‍ය සේවකයා නිසි ලෙස කටයුතු නොකළේ නම්, තමාට සේවය අහිමි වෙතැයි යන තෙරපුමක් අවශ්‍ය වන්නේ ඒ නිසයි. දියුණු වෙමින් පවතින රටවල සේවකයන්ගෙන් සේවය ලබාගැනීම සඳහා තිබෙන හොඳම උපක්‍රමය එයයි. ස්ථිර රැකියාවක් කරන පුද්ගලයා ඔහු ලබන ආත්ම තෘප්තිය, වරප්‍රසාද හා සමාජ පිළිගැනීම මත ඉහළ ඵලදායීතාවකින් යුතුව කටයුතු කිරීමට නොපෙළඹෙයි. රැකියාව නිසි ලෙස ඉටු නොකරන්නේ නම්, අදාළ ගුණාත්මක භාවයෙන් යුතුව සේවය ඉටු නොකරන්නේ නම් සේවාව ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට අදාළ සේවාව ලබා නොදෙන්නේ නම් ඒ පුද්ගලයාගේ රැකියාව අහිමි වීමට හැකියාවක් ඇතැයි යන අවදානම රාජ්‍ය සේවකයාට අද නැත. එහෙත් පෞද්ගලික අංශයේ සේවකයන් තමන්ගේ සේවාව ලබාගන්නා පුද්ගලයන් ඉතා වැදගත් කොට සලකනු ලබයි. වෘත්තීය සමිතිවලට බැඳීම නිසා ඒ හරහා රාජ්‍ය සේවාව විශාල අඩාළ කිරීමකට ලක් කර ඇත. 2023 වසරට රාජ්‍ය සේවයට බඳවා ගැනීම් කරන්නේ නම්, බැංකු, සංස්ථා, විශ්වවිද්‍යාලවලට අයත් සියලුදෙනාටම තාවකාලික පත්වීම් ලබාදිය යුතුය.
අරගලකරුවන් මේ රටේ පාලකයන්ට ආණ්ඩුවට ඇඟිල්ල දිගු කළද ආණ්ඩු හරහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයාට කිසිවකු චෝදනා එල්ල නොකරයි. කෘෂිකර්ම උපදේශකයන්, සමෘද්ධි නිලධාරින්, සංවර්ධන නිලධාරින්, විදෙස් සේවයේ සිටින නිලධාරින් ලෙස විශාල පිරිසක් වෙයි. අරගලකරුවෝ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින අතර, අල්ලස් සහ දුෂණය වැළැක්විය යුතු බව පවසයි. රාජ්‍ය සේවාව ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිව්‍යුහගත කිරීම ඉල්ලා සිටිය යුතු බව ඔවුන් වටහා ගත යුතුයි. ඒ ප්‍රතිසංස්කරණ තුළ මූලික පියවර ලෙස කිසිදු රැකියාවක් ස්ථිර නොවන කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලෙස ඉල්ලීම් කළ යුතුය. සේවකයන් ඕනෑම අවස්ථාවකදි රැකියාවෙන් ඉවත් කළහැකි ආකාරයට නීති රීති සම්පාදනය කළ යුතුය. ඕනෑම අවස්ථාවකදී ඕනෑම රජයේ රැකියාවක් කරන පුද්ගලයකුට, උදාහරණයක් ලෙස තරාතිරමෙන් ඔහු ලේකම්, ආචාර්ය හෝ මහාචාර්ය වුවද සියලු දෙනාටම එක හා සමාන තත්ත්වයක සලකා නීති රීති ක්‍රියාත්මක කළ යුතුයි. කාර්ය සාධනය අනුව කරනු ලබන කටයුතුවල ඵලදයිතාව මත ඊළඟ වසරේ රැකියාව තීරණය කළ යුතුය. එවැනි ආකාරයේ ප්‍රතිසංස්කරණ ඇති කළ යුතු කාලය අද එළැඹ ඇත. එවැන්නක් සිදු නොකර තවදුරටත් රාජ්‍ය සේවය මේ ආකාරයට පත්වාගෙන යෑමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලබාගත නොහැකිය. එසේ ම ප්‍රධාන වශයෙන්ම ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණින් රැකියා ස්ථිර භාවය ඉවත් කළ යුතු බව මෙහිදී අවධාරණය කළ යුතුය.
රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශය හා සමානවම සේවා කොන්දේසි මත පිහිටුවීමේ අවශ්‍යතාව බරපතළ ලෙස අද මතුවී ඇත. එසේ නොවෙනතාක් රටක් ලෙස දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ කොතෙක් කළද මේ ආර්ථික අර්බුදයෙන් එළියට ඒමට රටක් ලෙස අපට හැකියාව නොලැබේ. රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රතිසංස්කරණයන් කළ යුතු වන්නේ එහෙයිනි.