
මෙම වසරේ මුල් මාස පහ (5) තුළ විදේශ රැකියා සඳහා පිටත් වී ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මෙය පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව 286%කින් ඉහළ යෑමකි. 2021 වසරේ මුල් මාස පහ තුළ රැකියා සඳහා විදෙස්ගත වූ සංඛ්‍යාව 27,360කි. එහෙත් 2022 වසරේ මුල් මාස පහ තුළ 1,05,821දෙනකු රැකියා සඳහා විදේශගත වී තිබේ. මෙම ඉහළ යෑම 78,461 ක් ලෙස දැක්විය හැකිය.
රැකියා සඳහා විදේශගත වීම, ස්වයං මාර්ගයෙන් හා බලපත්‍රලාභි විදේශ රැකියා නියෝජිත ආයතන මාර්ගයෙන් යනුවෙන් දෙයාකාරයකට සිදුවේ. මෙම වසරේ මුල් මාස පහ ඇතුළත ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශගත වී ඇති සංඛ්‍යාව 67,156කි. ඊට පුරුෂ පක්ෂය 30,040 ක් සහ ස්ත්‍රි පක්ෂය 17,121 ක් අයත් වේ. එසේම මෙම වසරේ මුල් මාස පහ තුළ බලපත්‍රලාභි විදේශ රැකියා නියෝජිත ආයතන මාර්ගයෙන් කාන්තාවෝ 17,121 දෙනෙක් සහ පිරිමි 13,441 දෙනෙක් රැකියා සඳහා විදේශගත වී තිබේ. විදේශ රැකියා නියෝජිත ආයතන මඟින් පමණක් මේ වසරේ මුල් මාස 5 තුළ විදේශගත වූ මුළු සංඛ්‍යාව 38,665කි.
“මේ රටේ ඉඳලා වැඩක් නැහැ, රට ඉස්සරහට යන්නේ නැහැ කියලා තේරුණ ගමන් පිටරට රැකියාවකට යෑමට පෙලඹීම සාමාන්‍ය දෙයක්. මනුස්සයකුට ජීවිතයේ රැකවරණයක් නැති වීම, අනාරක්ෂිත බව ඇති වීම සහ අනාගතය ගැන අවිනිශ්චිතභාවයක් ඇති වීම අන්තිම නරකයි. මිනිසුන් ඒ තත්ත්වයට පත් වුණාම වඩා පහසුවෙන් ජීවත් විය හැකි රටක් තෝරා ගන්නවා. රටක ජනතාව ඒ තත්ත්වයට පත් වෙන්නේ රටේ ප්‍රතිපත්ති නිසා. රටේ සංවර්ධන ප්‍රතිපත්ති සඳහා උගතුන්ගේ උපදෙස් අනුව තීන්දු තීරණ ගන්නෙ නැතිවාම රටේ උගත් පිරිස කලකිරීමට පත්වෙනවා. ඒ අය රට හැර යනවා. ඒ වගේම තමයි සුදුසුකම් අනුව රැකියා හිමි නොවීම සහ ලැබෙන වැටුපෙන් ජීවත් වීමට නොහැකි වීම නිසා ජීවත් වීමේ අරගලය ජය ගැනීමට රැකියා සඳහා විදේශගත වෙනවා. අද අපේ රටේ තිබෙන්නේ ආර්ථිකයට අවශෝෂණය කර ගත හැකි රැකියා නොවෙයි. උදාහරණයක් විදිහට අපි ජංගම දුරකතන පරිගණක පාවිච්චි කරනවා. ඒත් ඒ ගැන ඉගෙන ගත්ත අයගේ දැනුම භාවිත කරලා නිෂ්පාදනයක් කිරීමට අපේ රටේ ඉඩ ප්‍රස්ථාවක් නැහැ. ඖෂධ ගැන මොන තරම් පර්යේෂණ කරනවාද, ඒත් නිෂ්පාදනයකට අවකාශයක් නැහැ. ඒත් අපේ අසල්වැසි ඉන්දියාව ඊට වඩා වෙනස්. ඒ රටේ නව නිෂ්පාදන සඳහා ඉඩකඩ හදලා දෙනවා. ඉන්දියාවේ දියුණු කර්මාන්ත තිබෙන්නේ, ආර්ථිකය ශක්තිමත් වී තිබෙන්නේ ඒ නිසා.” යනුවෙන් පැවසුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය සිරි හෙට්ටිගේය.
වෛද්‍ය, ඉංජිනේරු වැනි සුදු කරපටි වෘත්තීන් සඳහා විදේශගත වීම අතීතයේ පටන් සිදු වුවක් ගෘහසේවිකා, රියදුරු, වඩු කාර්මික, පෙදරේරු වැනි නිල් කරපටි වෘත්තීන් සඳහා විදේශගත වීම ආරම්භ වූයේ 1977 න් පසුවය. 1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති මත විදෙස් රැකියා සඳහා ලෝකයේ දොරටු විවෘත වීමත් සමඟ ඔවුන් උපයන මුදල් ඩොලර්වලින් මෙරටට ගලා ආවේය. රටට විදේශ විනිමය ගලා ඒමත් සමඟ ශ්‍රී ලාංකිකයන් එතෙර රැකියා සඳහා වැඩි වැඩියෙන් උනන්දු කරනු ලැබුවේ එය රටේ ආදායමට විශාල ශක්තියක් වන නිසාය.
“ඉස්සර නම් විදේශ රැකියා සඳහා පිටත් වුණේ නුපුහුණු ශ්‍රමය. එත් දැන් පුහුණු නුපුහුණු හැමෝම යන්න පටන් අරං තිබෙනවා. රටේ ශ්‍රමය රට හැර යෑම කියන්නේ හොඳ ලක්ෂණයක් නෙමෙයි. එය රටක දුප්පත්කමේ ලක්ෂණයක් හැටියටයි අපි හඳුන්වන්නේ. ඒ අයගේ පුහුණු ශ්‍රමය රටේ ආර්ථිකයට ඵලදායි විදිහට යොදා ගන්නේ නැති නිසයි ගොඩාක් දෙනා රට හැර යන්නේ. අනික් කාරණය තමයි. ප්‍රමාණවත් වැටුප් නොලැබීම. මෙයින් පැහැදිලි වෙන්නේ දුප්පත්කම. දුප්පත්කම වැඩිවෙන්න වැඩි වෙන්න රට හැර යන පිරිස වැඩි වෙනවා. ඒ වගේම තමයි දුප්පත්කම වැඩි වීමත් සමඟ ඉඩ ප්‍රස්ථා සීමා වෙනවා. ඉඩ ප්‍රස්ථා සීමා වන විට දේශපාලන බලය, ධන බලය, මැර බලය වැනි වෙනත් සාධක ඉස්මතු වෙනවා. එවැනි හේතූන් මත විදේශ රැකියා සඳහා පිටත් වීමේ ප්‍රමාණය ඉහළ යනවා. මේක හරියට චක්‍රයක්,” යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න පැහැදිලි කළේය.
දුප්පත්කම ඉහළ යෑමත් සමග ඉඩ ප්‍රස්ථා සඳහා ඇතිවන සීමා නිසා මෙරට තරුණ අරගල පවා ඇති වූ බව සඳහන් කළ මහාචාර්ය සිරිමල් අබේරත්න 71 කැරැල්ල, 88-89 කැරැල්ල සහ උතුරේ තරුණයන් අවි අතට ගැනීම සඳහා එය හේතු වූ බව පැහැදිලි කළේය. එහෙත් අද වන විට එය වෙනස් වී ඇති බව පැවසූ ඔහු අවි ආයුධ අතට ගැනීම වෙනුවට රට හැර යෑම විකල්පයක් ලෙස තෝරාගෙන ඇති බව සඳහන් කළේය.
සෑම වසරකම දස දහස් ගණනින් එතෙර රැකියා සඳහා පිටත් වී යන්නේ අපේ රටේ ශ්‍රම බළකාය බව අමුතුවෙන් කිව යුතු නැත. රටේ ශ්‍රම බළකායෙන් මිලියන 2ක් පමණ විදේශගත වී සිටින විට අපේ රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය ශ්‍රම බළකාය අහිමි වන බව ද අප අමතක කළ යුතු නැත.
“පිටරටට ඇදී යන ශ්‍රම බළකාය අපේ රටට ඵලදායි විදිහට යොදා ගන්නවා නම් අපේ රට සංවර්ධනය කරන්න තිබුණා. ඒත් දැන් අපේ රටේ ඒ සඳහා අවශ්‍ය පසුබිමක් සැකසිලා නැහැ. අනික අපේ රටේ “ආපස්සට පැමිණිමේ” ක්‍රමයකුත් (Reverse flow) නැහැ. හොංකොං, තායිවානය කොරියාව වගේ ආසියානු රටවල් දියුණු වුණේ මෙම “ආපස්සට පැමිණිමේ” ක්‍රමය නිසයි. ඒ රටවල්වල පිටරටට ඇදී ගිය ශ්‍රම බළකාය ආපසු ගෙන්වා ගෙන තමයි රටට ඵලදායි විදිහට යොදවාගෙන දියුණු කළේ. ඉන්දියාවෙත් පිටරටට ගිය අයට “අනේවාසික ඉන්දියානුවා” කියලා විශේෂ අවසර පත්‍රයක් දීලා තිබෙනවා. ඒවගේ ක්‍රමෝපායක් යොදාගෙන රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ඔවුන්ගේ දැනුම කුසලතා සහ ශ්‍රමය යොදා ගන්නවා. ඒත් අපි කරන්නේ අපේ ශ්‍රමිකයන් පිටරටට යවලා ඩොලර් ගෙන්වා ගැනීම. අවුරුදු 40 කට වැඩි කාලයක් තිස්සේ ඒ අය එවපු ඩොලර්වලින් තමයි අපේ රටේ ආර්ථිකය ගෙන ගියේ. අද වන විට අපිට ඩොලරුත් නැහැ. අපේ රටට අවශ්‍ය ශ්‍රම බළකායත් නැහැ. අපේ රටේ පිරිස විදේශ රැකියා සඳහා යෑම සමඟ රට තුළ ශ්‍රමිකයන්ගේ හිඟයක් එනවා.
රට තුළ ඇති වන හිඟය සමඟ ඔවුන්ගේ වැටුප් ඉහළ යනවා. ශ්‍රමයේ මිල ඉහළ යන විට නිෂ්පාදන මිල වැඩිවෙනවා. ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවල්වල ඒ තත්ත්වය දකින්න නැහැ. ඒ රටවල්වල ශ්‍රමයේ මිල අඩුයි. ඒ නිසා ආයෝජකයන් වුණත් ඒ රටවල්වලට ඇදී යන්න පුළුවන්.” යනුවෙන් තවදුරටත් විස්තර කළේ මහාචාර්ය සිරි හෙට්ටිගේ ය.
එහෙත් පවතින ආර්ථික පසුබෑම හමුවේ විදේශ විනිමය හා විදේශ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා මේ වන විට රජය විසින් විශේෂ අවධානය යොමු කර ඇත. පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීමෙන් ඉහළ වැටුප් සහිත රැකියා සඳහා වැඩි වශයෙන් අවස්ථාව උදා කර ගත හැකි බැවින් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය හා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශ දායක කර ගනිමින් භාෂා දැනුම ලබාදීමේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් උපදෙස් දී තිබේ. ඊට අමතරව දැනට රාජ්‍ය සේවයේ නියුතු ඕනෑම අයකුට හෝ බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවාගෙන ඇති සේවකයකුට විදේශ රැකියා සඳහා පිටත් වී යෑමට ඇති බාධා ඉවත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ. එහිදි ජ්‍යෙෂ්ඨත්වයට බලපෑමක් නොවන අයුරින් විදේශ රැකියා සඳහා යොමු වීමට අවස්ථාව සලසා දිය යුතු බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කර ඇත.
“ජපානය, පෝලන්තය, රුමේනියාව ඇතුළු රටවල් කීපයක රැකියා පුරප්පාඩු රැසක් මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබී තිබෙනවා. ඒ අවස්ථා ඉලක්ක කර ගනිමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ගැන ජනාධිපතිතුමා විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
ශ්‍රමිකයන් විදෙස් රැකියා වෙළෙඳපොළ වෙත යොමු කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වුණා. මේ වන විට හෙද සේවය සඳහා යුරෝපය ඇතුළු රටවල් රැසක ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ජපානයේ පමණක් වැඩිහිටි සත්කාරක සහ ආහාර සැපයුම් ආශ්‍රිත ක්ෂේත්‍රවල රැකියා පුරප්පාඩු රාශියක් ලැබී තිබෙනවා. හැබැයි ඒ සඳහා ජපන් භාෂා දැනුම අනිවාර්යයි. රැකියා සඳහා අවශ්‍ය පුහුණුව සහ භාෂා දැනුම තිබෙනවා නම් කඩිනමින් පිටත් වෙන්න පුළුවන්. ඔවුන්ගේ රැකියා සුරක්ෂිත බව සහ ආරක්ෂාව අපි තහවුරු කරනවා. මෙම වසරේ මුල් මාස පහ තුළ රැකියා සඳහා විදේශගත වීම 286% කින් ඉහළ යෑම ඉතාමත් සුබවාදි ආකල්පයක්. අපේ ඉලක්කය වී තිබෙන්නේ මෙම වසර අවසාන වන විට විදේශගත වන ප්‍රමාණය ලක්ෂ 3 දක්වා වර්ධනය කිරීම”. යනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය සඳහන් කළේය.
රැකියා සඳහා විදේශගත වන අය මෙරටට එවන මුදල් රටේ ආර්ථිකයට දැඩි පිටිවහලක් වන බැවින් විදේශ ප්‍රේෂණ වෙනුවෙන් වාහන බලපත්‍ර, නිවාස ණය හා පාසල් දරුවන් සඳහා පහසුකම් ලබාදීම වැනි අභිප්‍රේරණ කටයුතු සඳහා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය පැවසීය.