
මෙරට සරසවිවල පවත්නා නින්දා සහගත නවක වධයෙන් නවක සිසුන් බේරා ගැනීමට ගත් උත්සාහයේදී, ජපුර සරසවි ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් සටහන් කරමින් ඕවිටිගල විතානගේ සමන්ත දිවි පිදූයේ 2002 වසරේ නොවැම්බර් 7 වැනිදාය. ඒ මීට වසර 20 කට පෙරය. වසර කිහිපයක් මුළුල්ලේ ඇඳී සමන්ත ඝාතන නඩුව වසර 20 ක් ගෙවී ගිය පසු, පසුගියදා කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් නවක වධ දීමට එරෙහි වූ නීතිමය තත්ත්වය කියාපාන ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඒ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක වධ දීමේ සම්ප්‍රදායට එරෙහිව කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඕවිටිගල විතානගේ සමන්ත සිසුවාට පහරදී මරණයට පත් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබු නඩුවට වරද පිළිගත් විත්තිකරුවන් 7 දෙනෙකුට බරපතළ සිර දඬුවම් හා දඩ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කරමිනි.
![]() |
නවක වධයෙන් ඝාතනයට ලක්වූ ජයවර්ධනපුර සරසවියේ සමන්ත විතානගේ |
උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයන්ට පිවිසෙන නවක සිසු සිසුවියන්ට නවකවද ලබාදීමේ සම්ප්‍රදාය සමන්තගේ අවාසනාවන්ත මරණයකට හේතු පාදක වී ඇති බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය. 2002 නොවැම්බර් 7 වැනිදා නීති විරෝධී ජනරාශියක නිරතවීම ඇතුළු අධිචෝදනා 11 කට වරද පිළිගත් 17 වන විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 8 යි මාස 11 ක සිරදඬුවම් ද, අධිචෝදනා 10 කට වරදකරු කරනු ලැබූ 6 වන විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 3 යි මාස 02 ක සිරදඬුවම් ද ලබාදීමට විනිසුරුවරයා නියෝග කළේය.
එයට අමතරව අධිචෝදනා 10 කට වරදකරුවන් කළ එම නඩුවේ පළමු, දෙවැනි, දහසයවැනි සහ විසි දෙවැනි විත්තිකරුවෝ හතර දෙනාට වසර 05 කට අත්හිටු වූ මාස 06 බැගින්වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 38,000 බැගින් වූ දඩ ගෙවීමටත්, අධි චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ 11 වන චූදිතට වසර 05 කට අත්හිටු වූ වසරක සිරදඬුවම් හා රුපියල් 6000 ක දඩයක් ගෙවීමටත් විනිසුරුවරයා නියෝග කළේය. එසේම අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්‍ෂ 05 බැගින් වූ වන්දි ගෙවීමටත් එම විත්තිකරුවන් 04 දෙනාට නියම කළ විනිසුරුවරයා සියලු විත්තිකරුවන්ට තම අධිකරණය විසින් එක් එක් චෝදනාවලට වෙන් වෙන්ව නියම කරනු ලැබූ සිරදඬුවම් එකවර ගෙවී යන ලෙසට ලබාදීමට ද නියම කළේය. එම නඩුවේ සෙසු විත්තිකරුවන් හතර දෙනා සියලු අධි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය. විත්තිකරුවන් විසිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබූ නමුත්, ඉන් 11 දෙනකු මුල් අවස්ථාවේදීම නිදහස් කිරීමට පූර්වගාමී මහාධිකරණ විනිසුරු කුමුදුණී වික්‍රමසිංහ 2013 දෙසැම්බර් 02 දා නියෝග කර තිබිණි.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඕවිටිගල විතානගේ සමන්ත මරාදැමීම සම්බන්ධයෙන් එවකට එම විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයන් කිහිපදෙනකු අත්අඩංගුවට පත් වූ අතර මෙම නඩුවේ විත්තිකරුවන් පිළිවෙළින් රත්නායක මුදියාන්සේලාගේ නිශ්ශංක ජයරත්න, අප්පුරාළලාගේ චමින්ද දිල්රුක්ෂ, නාලක ලියනගේ, රාජගුරු මුදියාන්සේලාගේ ඉන්දික රොෂාන්, චන්ද්‍රසෝම දේශප්‍රිය, ඒ. සමන්, වසන්ත චන්ද්‍රකුමාර, ඉන්දික කුමාර ගුණරත්න, චමින්ද කුලසේකර, සුමින්ද, දිනේෂ් සුසන්ත ධර්මප්‍රිය, ලංකා ප්‍රියදර්ෂණ, ලසන්ත දේශප්‍රිය, බණ්ඩාර සෙනෙවිරත්න, නලින් දිල්රුක්ෂ, බණ්ඩාර විජේරත්න, ගාමිණි සෙනෙවිරත්න, විජිත කුමාර, රසික නිලංක හා ඉන්දික ප්‍රසාද් ලියනගේය. මෙයින් 3,5,7,8,9,10,12,14,15,19 හා 20 යන විත්තිකරුවන් 11 දෙනා මුල් අවස්ථාවේදිම නිදහස් කළ අය වෙති. ඉතිරි සියලු දෙනා අධිකරණයේදි තමන් අතින් වරදක් සිදුවූ බව පිළිගත් අතර තමන් ඒ සම්බන්ධව පශ්චාත්තාප වන බවද පිළිගෙන ඇත.
ජපුර සරසවි ඉතිහාසයේ කළු පැල්ලමක් එක්කළ මීට වසර 20 කට පෙර සිදුවූ ඒ අමානුෂික ඝාතනය වැඩිහිටියන්ට තවමත් මතකය. එදා උසස් පෙළට A, B සහ C සාමාර්ථයක් ලබා ගත් සමන්ත ජපුර කළමනාකරණ අධ්‍යයනය පීඨයට සුදුසුකම් ලබන්නේය. ඔහුගේ පදිංචියද ඒ ආසන්නයේමය. ඒ අවධියේ ජපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය හෙබවූයේ මහාචාර්ය සෙනෙවි එපිටවත්තය. සමන්තගේ සහෝදරිය මෙන්ම වැඩිමහල් සහෝදරයාද උපාධිධාරීහුය. ඒ වන විට සමන්ත ජපුර විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවෙකි. මේ කාලයේ නවකවධය දරුණුවට විශ්වවිද්‍යාල පරිසරය පුරා වෙළාගත් වසංගතයක් වී තිබුණි. නවකවධ දෙන්නෝ මෙන්ම ඊට විරුද්ධ පිරිස දෙකෙට බෙදි පැවැතුන අතර, ඔවුනතර නිරන්තරයෙන්ම මතවාදි අරගල විය. සමන්ත සිටියේ නවකවධ නොතිබිය යුතුය යන දැඩි මතයේය. ඔහු සිය නවකවධ විරෝධි ව්‍යාපාරය ආරම්භ කළේ මතවාදී දේශපාලනය හරහා භිෂණය යොදා ගනිමින් සිදු කරන නවක සිසුන්ව බිලි බා ගැනීමට එරෙහිවය. නමුත් ඊට ජපුර සරසවියේ වූ අන්තවාදී දේශපාලන කණ්ඩායම්වලට වැදුණේ මරු පහරකි. මේ නිසා නවක වධයට විරුද්ධ වන්නන් ශිෂ්‍ය කණ්ඩායමෙන් කොන් කිරීම මෙන්ම “අලයන්” හෝ “අපතයන්” ලෙසට හංවඩු කාඩ් ගැසූණි. නවක වධ දෙන්නෝ තම අන්තවාදී ව්‍යාපාරයන් බලහත්කාරයෙන් සරසවිය තුළ ප්‍රචාරණය කිරීමට කටයුතු කළහ. මේ නිසා මේ සිසු දෙපිරිස අතර නිරන්තරයෙන් හට ගත්තේ මතවාදි අරගලයටත් වඩා ගැටුමකි. එවැනි පසුබිමක වුව නොනැවතුණු සමන්ත ඇතුළු නවකවධ විරෝධිහූ විශ්වවිද්‍යාල තුළ සිදුවන නවක වධයන්ට විරුද්ධව සිසුන් හා බලධාරින්ද පෙළගැස්සවීමට කටයුතු කළහ.
2002 වසරේ නොවැම්බර් 7 සරසවි ඉතිහාසයේ කළු පැල්ලමකින් සටහන් වන දිනයක් වෙතැයි කිසිවෙකුත් සිතුවේ නැත. ඒ වන විට අමානුෂික සරසවි නවකවධ මරණ සමාජයට අලුත් දෙයක් වූයේද නැත. 1975 වර්ෂයේදී මහ ඒදණ්ඩ, ඇල්පිටිය සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයට පැමිණෙන රූපා රත්නශීලී, එහි රාමනදන් ශාලාවෙන් දෙවැනි තට්ටුවෙන් බිමට පනින්නේ ඇයගේ යෝනි මාර්ගයට ඉටිපන්දමක් ඇතුළු කොට ලබාදුන් අමානුෂික ක්‍රෑර ලිංගික නවකවදය ඉවසා දරාගත නොහැකිවය. එම සිදුවීමෙන් පසු පූර්ණ අබ්බගාත තත්ත්වයට පත්වන ඇයත් 2002 වර්ෂයේදීම සිය දිවි නසාගන්නේ ලෝකයාට රහස් රැසක් සඟවමිනි. මේ හේතුවෙන් 2002 වර්ෂය නවකවධ කළු පැල්ලම් වසරක්ම වූවාට සැකයක් නැත. නවක වධය හේතුවෙන් ඍජුවම සිදුවූ මරණය වාර්තා වූයේ අඟුණකොපැලැස්ස කෘෂි විද්‍යා පීඨයෙනි. ඒ හක්මන ප්‍රසංග නිරෝෂණ සිසුවාගේ මරණයයි. 1997 දී නවක වධයට සම්බන්ධ මරණ දෙකක් වාර්තා විය. එකක් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයෙනි. අනෙක අම්පාර හාඩි තාක්ෂණික ආයතනයෙනි. දරුණු නවක වදයන් නිසා වකුගඩු අක්‍රීයවීමෙන් මෙම මරණ දෙක සිදුවිය. නවක වධය හේතුවෙන් ඍජුවම සිදුවූ මරණය වාර්තා වූයේ අඟුණකොළපෑලැස්ස කෘෂි විද්‍යා පීඨයෙනි. ඒ හක්මන ප්‍රසංග නිරෝෂණ සිසුවාගේ මරණයයි.
![]() |
සමන්ත විතානගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේ මව, පියා හා සහෝදරයා හා සහෝදරියන් |
නවක වධයට එරෙහි මතයක් ගොඩනැගීමට උත්සාහ කළ සමන්ත විතානගේ ඝාතනය කෙරුණේ 2002 දීය.
2002 වසරේ නොවැම්බර් 7 දින වන විට නවක වදයට එරෙහි ව්‍යාපාරයෙහි යෙදෙන සමන්ත ඇතුළු පිරිස හා නවක වධයට හිතවාදී ජේ.වී.පී ය විසින් මෙහෙයවනු ලැබූ ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගමයට අයත් පිරිසක් අතර සාකච්ඡාවක් පැවැතියේ අලෙවි කළමනාකරණ පීඨ අංශ භූමි පරිශ්‍රයේදීය. රැස්වීම පැවැත්වෙන අතරවාරයේ සංවිධානාත්මකව ජනතා විමුක්ති පෙරමුණට හිතවාදීයැයි හඳුන්වන 200 ක පමණ කලහකාරීන් පිරිසක් ගල්, මුගුරු සහිතව පැමිණ සාකච්ඡාවේ යෙදී සිටි සමන්ත ඇතුළු නවකවධ එරෙහි පිරිස වෙත පහර දුන්හ. එය කොතෙක් දරුණුවට සිදුවීද යත් ප්‍රහාරකයෝ ගොඩනැගිල්ලේ බිඳුණු වීදුරු කොටස්වලින්ද වින්දිතයන්ට පහර දුන් බව එදා වාර්තා විය. මේ ගැටුම දුරදිග යන අතරතුර විතානගේ ගේ හිස මතට පරිගණකයක මොනිටරයක් අතහැරි බව වාර්තා වෙයි. ගැටුම හේතුවෙන් තුවාල ලත් පිරිස රෝහල වෙත රැගෙන යාමට උත්සහ කිරීමේදී නවක වධ හිතවාදීන් ඊටද අමානුෂික අයුරින් බාධා සිදුකර තිබූණි.
![]() |
මියගිය සමන්ත විතානගේ දේහය අසල ශෝකයෙන් පසුවන ඔහුගේ සරසවි මිතුරන් |
මේ සිදුවීම එදා සමන්තගේ පවුලේ අය මාධ්‍යට පැවැසූයේ මෙසේය. ඔවුන් පවසන පරිදි සමන්ත ප්‍රචණ්ඩකාරී චරිතයක් නොවූ බව වාර්තා වෙයි. එදා සමන්තගේ මව පවසා ඇත්තේ
"කලමැදිරියක් මකුළු දැලකට අසු වූ විටත් සමන්ත ඇල්පෙනෙත්තියක් ගෙන එම සත්වයා නිදහස් කර ගැනීමට එම කෙඳි වෙන් කරන්නකු බවය. ඔහු ඒ තරමටම මානුෂිකය; අවිහිංසාවාදීය. නොවැම්බර් 7 වැනිදා සිදුවූ අමානුෂික ඝාතන දින මතකය අවධි කරමින් ඔහුගේ මව මාධ්‍යට පවසා තිබුණේ "කලින් දවසේ පුතා අවමංගල්‍යයකට සහභාගී වී වෙහෙසට පත්වෙලා ගෙදරට පැමිණ නිදා ගෙනයි හිටියේ.
ඒ නිසා මම ඔහුට එදා විශ්වවිද්‍යාලයට යන්නට කීවේ නැහැ. රැග් කරන්නන් සහ රැග් නොකරන්නන් අතර අවබෝධයක් ඇති කිරීම සඳහා සාකච්ඡාවක් පැවැත්වෙන බව කියන්න හවස මිතුරන් තුන් දෙනෙක් ගෙදර ආවා. ඔවුන් එනකොට මම හිටියේ ඉස්කෝලේ. එයාගේ නංගි එයාට යන්න එපා කියලා තිබුණා. ඒත් එයා කොහොම හරි ගියා" ඒ මව පැවැසූ කතාවය. හවස 4.30 ට පමණ සමන්තගේ මිතුරන්ට පණිවිඩයක් ලැබුණේ ඔවුන් ප්‍රහාරයට ලක්ව සිටින බවකි. යහළුවෝ උපකාරයට පැමිණෙන විටත් සමන්ත ඇතුළු පිරිස රෝහලට රැගෙන යමින් සිටියහ.
නවකවධ ප්‍රචණ්ඩත්වයට තම පුතා ගොදුරු වූ බව දැනගත් පසු සමන්තගේ පියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගොස් ඇති බව සැලය. පියා එහි යන විටත් ඔහු සිටියේ ජීවිත ආධාරක යන්ත්‍රයකය. මුළු හිසම වෙළුම් පටි දමා තිබූ අතර සිරුරේ එක් පැත්තක් බරපතළ ලෙස තුවාල වී තැළීම්වලට ලක්ව තිබුණි.එහෙත් අවසානයේ ඔහු සමාජයට විසඳුමක් ඉතිරි කරමින් ජීවිතයෙන් සමු ගත්තේය.
ඝාතනයට ලක්වූ සමන්ත සිහිවීම පිණිස, සමන්ත විතානගේ නමින් අරමුදලක්ද පිහිටුවන ලදී.