ආහාර අර්බු­ද­යෙන් ගොඩ එන්න කොළොම්තොට වගා සංග්‍රාමය | සිළුමිණ

ආහාර අර්බු­ද­යෙන් ගොඩ එන්න කොළොම්තොට වගා සංග්‍රාමය

කොළඹ දිස්ත්‍රි­ක්කයේ  දිස්ත්‍රික් ලේකම්/දිසා­පති  ප්‍රදීප් යස­රත්න තම නිළ නිවාස පරිශ්‍රය  වගා සංග්‍රාමයට එක්කළ අයුරු
කොළඹ දිස්ත්‍රි­ක්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසා­පති ප්‍රදීප් යස­රත්න තම නිළ නිවාස පරිශ්‍රය වගා සංග්‍රාමයට එක්කළ අයුරු

 

ර්තමානයේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඇති විය හැකි ආහාර හිඟය කළමනාකරණය කර රට තුළ ආහාර සුරක්ෂිතතාව ඇති කරගැනීමට පියවර රාශියක් ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියාවට නැඟෙමින් තිබේ. ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සැකසීම, වගා නොකළ රජයේ ඉඩම් තරුණ වගාකරුවන්ට ලබාදීම, සියලු පළාත් ඒකාබද්ධව වගා ප්‍රවර්ධන සතියක් දියත් කිරීම, කන්දකාඩු ගොවිපොළ, බඩඉරිගු ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගාවට යොමු කිරීම, කෘෂි, පශු සහ මිරිඳිය කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය ලබාදීම සහ පොහොර අවශ්‍යතාව සඳහා පොස්පේට් නිධිය ප්‍රශස්ත ලෙස යොදාගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමුව ඇත.

මේ වනවිට ඒ සඳහා විවිධ පාර්ශ්ව ඉදිරියට පැමිණ තිබීම ප්‍රශස්තදායකය. පසුගිය 05 වැනිදා ශ්‍රී ලංකා කෘෂිකර්මාන්තයේ පුනර්ජීවනය සඳහා වූ නිර්දේශ ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව විසින් අස්ගිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත පිළිගැන්වීමට කටයුතු කර තිබුණි. එහිදී ඔවුන් විසින් ප්‍රධාන කාරණා තුනක් කෙරෙහි අවධානය යොමු කර ඇත.

ඒ කෘෂි රසායන ද්‍රව්‍ය හිඟය නිසා 2022 යල කන්නය අසාර්ථක වීමේ තර්ජනයක් එල්ල වී තිබීම, යල කන්නය අසාර්ථක වීමෙන් මහ කන්නය (2022/23) සඳහා බිත්තර වී හිඟයක් ඇති විම හා ඉදිරි යල සහ මහ කන්න අසාර්ථක වුණොත් 2023 දී අප රටේ සැලකිය යුතු තරම් ආහාර හිඟයක් ඇති වීමේ අවදානම සහ දැනට පවතින ඩොලර් ප්‍රශ්නය නිසා නිසා විදෙස් රටවලින් ආහාර ආනයනය සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වීම යන කාරණා කෙරෙහිය. මේ සඳහා කෙටිකාලීන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන යොජනා රාශියක් මෙම යෝජනාවලිය මඟින් පෙන්වා දී තිබිණ.

එම අවස්ථාවේ මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ ප්‍රකාශ කළේ රටේ ඇතිවන බව කියන ආහාර අර්බුදයට විසඳුමක් ලෙස දිවයිනේ සියලු වගා කළ හැකි භූමි වගා කිරීමට කටයුතු කළ යුතු බවයි. මේ වනවිටත් විහාරස්ථාන බොහෝමයක් විවිධාකාරයේ වගා වැඩසටහන් අරඹා ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ, විහාරාධිපති හිමිවරුන්ගේ මූලිකත්වයෙන් ග්‍රාමීය වශයෙන් ද මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව තුළ උනන්දුවක් ඇති කළ යුතු බව පෙන්වා දුන්නේය. ඉදිරියේදී ඇතිවන ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා සියලු ජනතාව හැකි පමණින් වගා කටයුතුවලට යොමුවිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙම යෝජනාවලිය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ පාංශු විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වර්ෂි දන්දෙණියගෙන් සිළුමිණ කළ විමසීමේදී ඇය පැවසුවේ, ඇති වී තිබෙන ආහාර අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිකාලීන පියවර රැසක් මෙමඟින් ඉදිරිපත් කර ඇති බවයි. මෙම ක්ෂේත්‍රයේ සිටින විද්වතුන් ලෙස තමන් ඇතුළු පිරිසට කළ හැක්කේ මේ පිළිබඳව අදාළ පාර්ශ්ව දැනුම්වත් කිරීම පමණක් බවත් ඒවා යථාර්ථවත් කිරීම සඳහා අදාළ රේඛීය ආයතන සහ බලධාරීන් පියවර ගතයුතු බවයි. එහිදී කෘෂිකර්ම දේපාර්තමේන්තුව හා කෘෂිකර්ම අමාත්‍යාංශය මූලික කරගෙන මේ වැඩසටහන ක්‍රියාවට නැංවිය යුතු බව ඇය පෙන්වා දුන්නාය.

මේ මොහොතේ කඩිනමින් ඉටු කළ යුතු කාර්ය වන්නේ ඉදිරි කන්න දෙක තුළදී ප්‍රධාන බෝග සඳහා අවශ්‍ය පෝෂක අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් තරම් කෘත්‍රිම සහ කාබනික පොහොර ලැබීමට පවතින ඉඩකඩ මෙන්ම කෘත්‍රිම සහ ජීව විද්‍යාත්මක පළිබෝධනාශක ලැබීමට ඇති ඉඩකඩ සීමිත බැවින් ඉදිරි කන්න දෙකේදී බෝග කළමනාකරණ පිළිවෙත් මඟින් ආහාර සුරක්ෂිතතාවට ඇති තර්ජනය අවම කර ගැනීම බවයි. ඒ සඳහා සීමිතව ඇති පොහොර සහ පළිබෝධනාශක යොදාගෙන හැකි උපරිම අස්වැන්නක් ලබා ගැනීම ඉලක්ක විය යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙහිදී සීමිත යෙදවුම් සහ පළිබෝධනාශක තෝරාගත් බෝග සඳහා ප්‍රමුඛතා වශයෙන් වෙන් කළ යුතු බව පෙන්වාදුන් මහාචාර්ය වර්ෂි දන්දෙණිය, ඉහළ ප්‍රමුඛතාව බවට පත්ව තිබෙන වී (ප්‍රධාන ආහාරය), තේ (ප්‍රධාන විදේශ විනිමය උපයන බෝගය), බඩ ඉරිඟු (සත්ත්ව ආහාර) සඳාහා අවදානය යොමු කරන අතරම, වී වගාව සඳහා පොහොර ලබාදීමේදී බිත්තර වී සඳහා ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බව ද පැවසුවාය. ඉදිරි කන්න දෙක සඳහා (2022/23 මහ සහ 2023 යල) බුසල් මිලියන 6.4ක බිත්තර වී අවශ්‍යතාවක් පවතින බව ද පෙන්වා දෙන ඇය, මධ්‍යම ප්‍රමුඛතාව ලෙස එළවළු, මිරිස් සහ ලූනු, ධාන්‍ය වර්ග සහ අනෙකුත් අපනයන බෝග වෙත අවධානය යොමු කළ යුතු බව පෙන්වාදෙයි. අනතුරුව ඉතිරි සියලු බෝග කෙරෙහිද අවදානය යොමු කළ යුතු බව ඈ මෙහිදී අවධාරණය කළාය.

මෙලෙස ආහාර අර්බුදයට විසඳුම් යොජනා වන මොහොතක ප්‍රායෝගික වැඩපිළිවෙළක් ලෙස “කොළොම්තොට වගා සංග්‍රාමය” පෙරට පැමිණ තිබිම පුරවැසි අප කාගෙත් සතුටට හේතු වන්නකි. එහි ආදර්ශ පාඨය වන්නේ “අහරින් සපිරි කොළොම්තොටක්” යන්නය. මෙම වගා සංග්‍රාමයට කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල දායකත්වය ලැබී ඇති අතර, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශයේ පූර්ණ මඟපෙන්වීම සහ උපදේශකත්වය ද මේ සඳහා හිමිව තිබේ. මෙහි මූලික අදිරය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ වූ අතර එහිදී, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශාසනාරක්ෂක බලමණ්ඩලවල පූර්ණ සහභාගීත්වයෙන් යුතුව විහාරස්ථාන සහ සීල මාතා ආරාම කෙරෙහි අවධානය යොමු කර තිබේ. මේ සඳහා හෝමාගම ශෛලපර්වතාරාම විහාරස්ථානයේ (හත්ලහගොඩ විහාරස්ථානයේ) ගරු විහාරාධිපති මහාචාර්යය මාගම්මන පඥ්ඥානන්ද හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වය ලැබී ඇත. මේ පිළිබඳව සිළුමිණ සමඟ අදහස් පළ කළ හෝමාගම ප්‍රාදේශීය ලේකම් දමින්ද චින්තක ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී රට හමුවේ ඇති ආහාර අර්බුදය මඟහරවා ගැනීම සඳහා නිවාස ආශ්‍රිතව ඇති කුඩා බිම් ප්‍රමාණයන් පාවා වගා කළ යුතු කාලය උදා වී ඇති බවයි. ඒ අනුව ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාල, විහාරස්ථාන, පාසල්, ළමා නිවාස ආදිය කෙරෙහි විශේෂ අවදානය යොමු කර ඇති බවයි.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහතුනම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණ වන පරිදි මෙම වගා සංග්‍රාමය ක්‍රියාත්මක කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 699ක් ඇති අතර, එහි ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 7333ක් පමණ වේ.

මෙම කුඹුරු ඉඩම්වලින් හෙක්ටයාර 4593ක් පමණ වගා කරන අතර, හෙක්ටයාර 2679ක් පමණ පුරන් කුඹුරු වශයෙන් පවතී. මෙම පුරන් කුඹුරුවලින් හෙක්ටයාර 734 ක් පමණ නැවත වගා කිරීමට සැලසුම් කර ඇති අතර, එම පුරන් කුඹුරු අතරින් හෙක්ටයාර 939ක් පමණ වෙනත් වගාවන් සඳහා යෙදවීමට ද සැලසුම් කර තිබේ.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඌණ භාවිතයක් සහිත ඉඩම් හෙක්ටයාර 1045ක් පමණ කෙළොම්තොට වගා සංග්‍රාමය යටතේ වගා කිරීමට සැලසුම් කර ඇති අතර,

කොළඹ දිස්ත්‍රික්යේ පිහිටි විහාරස්ථාන 168 ක් පාසල් 321 ක් වැඩිහිටි නිවාස 30 ක් සහ ළමා නිවාස 14ක භූමි පරිශ්‍රයන්හි මෙන්ම සීල මාතා ආරාම, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, යෞවන සමාජ, ග්‍රාම සංවර්ධන සමිති, ප්‍රජා සමිති, රාජ්‍ය නොවන සංවිධාන, කාන්තා සමිති, ක්‍රීඩා සමාජ සහ අනෙකුත් සියලුම ක්ෂේත්‍රයන්හී භූමි පරිශ්‍ර ආවරණය වන පරිදි වගා කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් පිළියෙල කර ඇති බව සිළුමිණ කළ විමසීමේදී කොළඹ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්, දිසාපති ප්‍රදීප් යසරත්න පෙන්වා දුන්නේය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්යේ පිහිටි රාජ්‍ය ආයතනවල සහ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින කොළඹ දිස්ත්‍රික්යේ භූමි පරිශ්‍රවල ද එම ආයතනය සමඟ සාකච්ජා කර තාවකාලික වගා කටයුතු සඳහා ගොවි සංවිධාන යොදා ගනිමින් වගා කිරීමට ද නියමිතය. අනෙක් අතට කොළඹ දිස්ත්‍රික්යේ පිහිටි නිවාස ඒකක අතරින් ඒකක එක්ලක්ෂ නවසිය දොළහක පමණ ගෙවතු ඇති කිරීම සඳහා ද මේවන විටත් සැලසුම් සකස් කර ඇත.

මෙම වගා සංග්‍රාමයට අවශ්‍ය වන රෝපණ ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ඒ ඒ ප්‍රදේශවලින් සපයා ගැනීමට ද සැලසුම් සකස් කර ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන සමෘද්ධිලාභී ගෘහ ඒකක 52,700 යොදාගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වගා සංග්‍රාමය යටතේ කැපකරු දායකත්ව වැඩසටහනක් ද ක්‍රියාත්මක වන අතර, ඒ අනුව යම්කිසි ගොවි සමිතියකට හෝ අඩු ආදායම්ලාභී ගොවීන්ට ගොවිතැනට අවශ්‍යවන පහසුකම් මෙම කැපකරු දායකත්ව වැඩසටහන යටතේ ලබා දීමට නියමිතය. එමෙන්ම කෘෂිකාර්මික සහ අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම කෘෂිකාර්මික අංශයේ නිපුණතාව සහිත නිලධාරීන්ගෙන් සමන්විත ක්ෂණිකව ක්‍රියාත්මක වන කමිටුවක් පත්කර ඇත. මින් ලැබෙන අතිරික්ත අස්වනු සුරක්ෂිත කිරීමට ආහාර විජලන වැඩසටහන් විද්‍යා හා තාක්ෂණ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට කටයුතු කරයි. මෙමඟින් කෙටිකාලීන බෝගවලට ප්‍රමුඛතාව දෙනු ලබන අතර මඤ්ඤොක්කා, බතල වැනි වගාවන් මෙන්ම දේශීය වැල් අල වගාවට ද ප්‍රමුඛතාව ලබා දීම කෙරෙහි ද අවධානය යොමුකර ඇත.

ගෙවතු වගාව සඳහා යොමු වීමේදී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව සිළුමිණ කළ විමසීමේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය තිළිණි ඒ. පෙරේරා පැහැදිලි කර සිටියේ “ වගාව සඳහා පොහොර යොදා ගැනීමේ ප්‍රධාන අරමුණ වන්නේ කුඩා ඉඩ ප්‍රමාණයකින් විශාල අස්වැන්නක් ලබා ගැනීමයි. එහිදී මුහුණපාන ලොකුම ගැටලුව වන්නේ පොහොර හා කෘෂි රසායනික නොමැති තත්ත්වයක් තුළ බීජ නිසියාකාරව රෝපණ කරගැනීම සහ පළිබෝධකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමයි. අනෙක් අතට ඒ ආකාරයට වගාවන් සිදු කරනවා නම් දිනපතාම ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි. නිවෙසක නම් එය අසීරු කාර්යයක් නොවේ. මෙහිදී ප්‍රබල ලෙසම බලපාන්නේ කෘමි උවදුරයි.

එම උපද්‍රවය පැමිණෙන විටම ඊට පිළියම් කළ යුතුයි. කුරුඳු, සබන්, කොහොඹවලින් සැකසූ කෘමි නාශක මේ සඳහා සාර්ථකව යොදා ගත හැකියි. මේ පළිබෝධක ස්වභාවිකව පැමිණෙනවා වගේම අප යොදන පොහොර නිසා ද ඇති විය හැකියි. ප්‍රමිතියෙන් යුතු පොහොර යෙදීමේදී එවැනි උපද්‍රවයක් ඇති නොවුණත් අප විසින් සකසා ගත් පොහොර යොදා ගැනීමේදී මෙවැනි තත්ත්වයන් ඇති විය හැකියි. එනිසා කාබනික පොහොර සකස් කර ගැනීමේදී කොළරොඩු සමඟ මුළුතැන්ගෙයින් ඉවත් කරන එළවළු කොටස් පොතු ලෙලි වැනි දෑ යොදා ගැනීම සුදුසුයි. ඒවා සති දෙකකට සැරයක් පෙරළීම කළ යුතුය. එලෙස සකස් කරගන්නා කාබනික පොහොරවල අහිතකර ක්ෂුද්‍ර ජීවින් ඇතිවීම විරලයි. ඒ වගේම කෘමි උවදුරු වළක්වා ගැනීම සඳහා කුඩා සිදුරු සහත දැලක් උපයෝගී කරගනිමින් අදාළ භූමිය ආවරණය කිරීම කළ හැකිය.

අවධානය යොමු කළ යුතු අනෙක් කරුණ වන්නේ බීජ සිටු වීමයි. සාමාන්‍යයෙන් බීජයක් රෝපණය කිරීමේදී හතර ගුණයක් පොළවට යට කළ යුතුය. ඊට වඩා යට කළොත් සමහර බීජ පැළවන්නේ නැහැ. බීජ තවාන් දාන්න කලින් පස ජීවානුහරණය කිරීමෙන් පැළයට පළිබෝධ පැමිණීම වළක්වා ගත හැකිය. එමඟින් හොඳින් පැළ වැඩීම සිදුවෙනවා. මේ සඳහා උපදෙස් සහිත යූටියුබ් වීඩියෝ හා ඇග්‍රිකල්චර් ඇප්ස් නැරඹීම මඟින් හොඳ අවබෝධයක් ලබා ගත හැකියි. එමෙන්ම අවධානය යොමු කළ යුතු අනෙක් කාරණය වන්නේ වගාව සඳහා හිරු එළිය ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීමයි.මීට අමතරව ජලරෝපිත වගාව ද අපට පහසුවෙන් කුඩා ඉඩ ප්‍රමාණයක පවත්වාගෙන යා හැකියි” යනුවෙන් ඇය පැහැදිලි කළාය.

 

Comments