ඉබි ගම­නින් ඉහළ යන සිග­රට් මිල | Page 2 | සිළුමිණ

ඉබි ගම­නින් ඉහළ යන සිග­රට් මිල

 

ඩු මිල දිනෙන් දින අහස උසට නඟිද්දී ජුනි 01 දා සිට සිගරට් සහ මද්‍යසාර මිල ද ඉහළ දැමිණි. සිගරට් සහ මද්‍යසාර මිල ඉහළ දැමීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ 8% ක් ලෙස තිබූ වැට් බද්ද 12% දක්වා ඉහළ යෑමයි. මේ අනුව සිගරට්ටුවක මිල රුපියල් 5 කින් ඉහළ ගිය අතර ඇතැම් සමාගම්වල මත්පැන් බෝතලයක් රුපියල් 520 කින් ද බියර් කෑන් 1ක් රුපියල් 30කින් ද වැඩි විය. සහල්, සීනි, පරිප්පු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යන අතරේ සිගරට් සහ මද්‍යසාර මිල ඉහළ දැමීම ගැන බොහෝදෙනකුගේ අවධානය ඊට යොමු නොවූයේ ඒවා අත්‍යවශ්‍ය භාණ්ඩ නොවන නිසාය. සිගරට් සහ මද්‍යසාර මිල ඉහළ දැමු විට එහි පරිභෝජන මට්ටම අඩු විය හැකි බව ඇතැම් අය පෙන්වා දෙති. තවත් සමහරුන්ගේ අදහස වන්නේ සිගරට් සහ මද්‍යසාර මිල ඉහළ දැමීමෙන් රජයට ආදායම් උපයාගත හැකි බවයි. මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව විමසීමක් කරනු ලැබුවේ එම නිසාය.

 

"සිගරට් හා මද්‍යසාර මිල ඉහළ දැමීමට කාරණා 2ක් බලපානවා. එකක් රජය විසින් බදු ඉහළ දැමීම. අනික් කාරණාව නිෂ්පාදකයාගේ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම. නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම, ප්‍රවාහන වියදම් ඉහළ යෑම, දැවිතෙල් හිඟතාව වගේ හේතුන් නිෂ්පාදන වියදම් සඳහා බලපානවා. පසුගිය ජුනි 01 දා මිල වැඩි වීමට බලපෑවේ රජය බදු වැඩි කිරීම. වැට් බද්දට අමතරව සිගරට් සහ මද්‍යසාර සඳහා නිෂ්පාදන බද්දකුත් අය කරනවා. එය භාණ්ඩ විකිණුවත් විකුණුවේ නැතත් නිෂ්පාදනයෙන් දවස් 15ක් ඇතුළත ගෙවිය යුතුයි. බදු අය කර ගැනීමෙන් රජය බලාපොරොත්තු වෙන්නේ රජයේ ආදායම වැඩි කර ගැනීමයි." යනුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ සඳහන් කළේය.

බදු ඉහළ දැමීමෙන් රජයට ආදායම් වැඩි කර ගත හැකි බව සැබෑවකි. එහෙත් සිගරට් අලෙවියෙන් අධික ලාභයක් උපයා ගන්නේ දුම්කොළ නිෂ්පාදන සමාගම් බව පෙන්වා දුන්නේ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර ය.

"දුම්වැටි සහ මද්‍යසාර ගැන කතා කරන විට මේ දෙක වෙන වෙනම සාකච්ඡා කළ යුතුයි. මොකද මද්‍යසාර නිෂ්පාදන සමාගම් කීපයක් තිබුණත් දුම්වැටි නිෂ්පාදනයේ දකින්න ලැබෙන්නේ ඒකාධිකාරයක්. ලංකා දුම්කොළ සමාගමේ 84% ක අයිතිය තිබෙන්නේ විදේශීය සමාගමකට. දුම්වැටි මිල වැඩි කළාම රජයේ බදු මුදල් ගෙවලා ඉතිරි ලාභය අරන් යන්නේ මේ සමාගම. අද වන විට හාල් මිල 109% ක ප්‍රතිශතයකින් වැඩිවෙලා තියෙනවා. පරිප්පු මිල 201% කින් වැඩිවෙලා තියෙනවා. පැට්‍රල් මිල 250% කින් වැඩිවෙලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඒ විදිහට ඉහළ යද්දී සිගරට් මිල වැඩි වී තිබෙන්නේ 8% ක් වැනි පුංචි ප්‍රතිශතයකින්. එහෙම වුණාම සිගරට් ලාභ භාණ්ඩයක් බවට පත් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ ADIC ආයතනය එකතු වෙලා දුම්වැටි සහ මද්‍යසාර ගැන අධ්‍යයනයක් කළා. එහිදී අනාවරණය වුණේ දුම්වැටියක මිල රු. 20කින් වත් වැඩි විය යුතු බව. සිගරට්ටුවක් රු. 20,00 කින් මිල ඉහළ දාලා සුරා බද්ද වැඩි කළා නම් ආණ්ඩුවට රු. බිලියන 5ක් උපයන්න පුළුවන්. රටට සල්ලි නැති වෙලාවේ ඒ විදිහේ පියවරක් නොගෙන ඉන්නේ ඇයි කියලා අපිට නම් ප්‍රශ්නයක්." මුදල් අමාත්‍යාංශය විසින් සුරා බද්ද නියමාකාරව ස්ථානගත නොකිරීමෙන් රජයට එකතු විය යුතු මුදල් අහිමි වන බව පෙන්වා දෙන පුබුදු සුමනසේකර, ඒකාධිකාරි සමාගම් විසින් සිදු කරනු ලබන බලපෑම් ඊට හේතුව බව සඳහන් කළේය.

"කොහොමටත් දුම්කොළ සමාගම්වල ඒකාධිකාරියක් තිබෙනවා. සිගරට් මිල10% කින් වැඩි කළොත් පරිභෝජනය 4% කින් 5% කින් අඩු වෙනවා. ඒත් එය රජයට හෝ සමාගමට පාඩුවක් වෙන්නේ නැහැ. සිගරට් නිෂ්පාදනය ගැන කතා කළොත් අවුරුදු 10ක් තුළ නිෂ්පාදනය 50% කින් අඩු වෙලා තිබෙනවා. එහෙම නම් ඒ කර්මාන්තයේ ආදායම අඩු විය යුතුයි. ඒත් ඒ සමාගම්වල ශුද්ධ ලාභය 121% කින් වැඩි වී තිබෙනවා. එයින්ම පැහැදිලි වෙනවා නේද මේ කර්මාන්තයේ කොයි තරම් විකෘතියක් තිබෙනවාද කියලා. ඒ නිසයි අපි අපේ රටට ගැළපෙන දුම්කොළ පිළිබඳ මිල සුත්‍රයක් හැදුවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර යටතේ රටේ පවතින උද්ධමනය, දළ දේශීය නිෂ්පාදනය වැනි සාධක සැලකිල්ලට ගනිමින් තමයි මෙම මිල සූත්‍රය සකස් කරන්නේ. මෙය විනිවිදභාවයකින් සිදු කරන දෙයක්. ඒ නිසා ඕනෑම කෙනෙකුට මිල සුත්‍රයට අනුව සිගරට්ටුවක මිල වැඩි වන ආකාරය ගණනය කරන්න පුළුවන්. ඒත් අපි ඉදිරිපත් කළ දුම්කොළ මිල සූත්‍රය ක්‍රියාත්මක කළා නම් සිගරට් මිල දී ගැනීමේ හැකියාව 1%කින් අඩු වුණත් රාජ්‍ය ආදායම 6% කින් වැඩි වෙනවා. මිල සූත්‍රය කැබිනට් එකටවත් දාන්නේ නැතිව මිලි මීටර් 60 ට අඩු සිගරට්ටුවක මිල රු. 20,00 සිට 10,00 දක්වා අඩු කළා. ඒක අපිට දීපු තද කනේ පහරක්. ඇත්තටම අපි එකතුවෙලා කරපු වැඩසටහන් නිසා සමස්ත දුම් බොන ප්‍රමාණය 15% සිට 9% දක්වා අඩු කර ගන්න පුළුවන් වුණා. තත්ත්වය එසේ තිබියදී මිලි මීටර් 60 ට අඩු සිගරට්ටුවක මිල රු. 10 දක්වා අඩු කළාම ටොෆියක් කන ළමයින් පවා රුපියල් 10,00 ට සිගරට්ටුවක් මිල දී ගෙන දුම්පානයට පෙලඹෙනවා." යනුවෙන් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ විස්තර කළේය.

මුළු ලෝකයේම සෞඛ්‍ය ගැටලු සඳහා බලපානු ලබන ප්‍රධාන සාධකය ලෙස හඳුනාගෙන තිබෙන්නේ දුම්කොළ භාවිතයයි. දුම්කොළ නිසා ලෝක ජනගහනයෙන් මිලියන 8ක් වාර්ෂිකව මිය යන බව මේ වන විට අනාවරණය වී තීබේ. දුම්කොළ නිසා ලංකාවේ වසරකට මිය යන සංඛ්‍යාව 20,000කි. ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 70ට අඩු අයගෙන් දිනකට 60ක් මිය යන්නේ දුම්කොළ නිසාය. ලෝක ජනගහනයෙන් වසරකට මිලියන 1.2ක් අක්‍රීය දුම්පානයට ගොදුරු වෙති. දුම්කොළ නිසා රෝගි වන ජනතාවට ප්‍රතිකාර කිරීම සඳහා නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති අපේ රටේ කරන වියදම් සුළුපටු නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ කළ අධ්‍යයනයකට අනුව 2016 වර්ෂයේ දුම්කොළ නිසා රෝගී වූ අයගේ ප්‍රතිකාර වෙනුවෙන් වැය කළ මුදල රුපියල් බිලියන 214 කි. එහෙත් 2016 වර්ෂයේ සුරා බද්දෙන් රජය ලැබූ ආදායම රුපියල් බිලියන 93කි.

"ආණ්ඩුව සුරාබද්දෙන් ලැබෙන ආදායමට වඩා වැඩි වියදමක් රෝගීන් වෙනුවෙන් දරන නිසා මේක පාඩු ලබන බිස්නස් එකක් හැටියටයි ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ දැක්වූවේ. ඒ නිසා ඒකාධිකාරි බලයක් හිමි භාණ්ඩයට උපරිම බද්දක් පැනවිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළා. ඔවුන් පෙන්වා දුන්නේ දුම්වැටියේ වෙ‍ෙළඳපළ මිලෙන් 75% ක් බදු විය යුතු බව. නමුත් ලංකාවේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය වාසි 2ක් පෙන්වා දුන්නා. එකක් රජයේ ආදායම වැඩි කර ගැනීමට හැකි වීම. දෙවැනි වාසිය තමයි භාවිතය අඩු වීම නිසා රෝගින් වෙනුවෙන් දරන සෞඛ්‍ය වියදම්, මරණයට පත්වන අයගේ අසරණ වන පවුල්වලට පිරිනැමීමට සිදු වන සහනාධාර වැනි රජය දැරිය යුතු වියදම් අඩු කරගත හැකි වීමේ වාසිය. කොයි තරම් පැහැදිලි කරලා තිබුණත් රජය බදු වැඩි කරන්නේ නැහැ." යනුවෙන් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ, පුබුදු සුමනසේකර තවදුරටත් විස්තර කළේය.

ඒ අතරවාරයේදී දුම්කොළ උවදුර පිටුදැකීම සඳහා පැවැත් වූ සාකච්ඡාවකට මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.ජී. එස්. එල්. ප්‍රකාශ්ට සහභාගි වීමට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආනල්ඩ් විසින් අවසර නොදීමේ පුවතක් අපට වාර්තා විය. මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව දුම්කොළ උවදුර පිටුදැකීම සඳහා විවිධ පර්යේෂණ සිදු කරමින් දෙස් විදෙස් සමුළුවලට සහභාගී වූ අත්දැකීම් සහිත අයෙකි. ඔහු දිවයින පුරා දුම්කොළවලින් තොර කලාප නිර්මාණය සඳහා සක්‍රීයව දායක වී ඇත. එවැනි අත්දැකීම් සහිත මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී. ජී. ඒස්. එල්. ප්‍රකාශ්ට දුම්කොළ උවදුර පිටුදැකීම සඳහා පැවැත්වූ සාකච්ඡාවට සහභාගි නොවීමට අවසර නොදීම පිටුපස දුම්කොළ උවදුර පිටුදැකීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ අකර්මන්‍ය කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළක් තිබේදැයි ඔහු ප්‍රශ්න කර සිටියි. ඔහුට එවැනි සැකයක් මතු වී තිබෙන්නේ වර්තමානයේ විදේශීය දුම්කොළ සමාගම් මගින් බිලි බා ගැනීම් වැනි විවිධ මගඩි සිදු කෙරෙන බවට චෝදනා ඇති නිසාය.

"සිගරට් මිල වැඩි කරනවා කියපු ගමන්ම සමාගම් පතුරුවන කතාවක් තියෙනවා. ඒ තමයි නීති විරෝධි සිගරට් රට තුළට එනවා කියන කතාව සහ ජනතාව බීඩි පරිභෝජනය සඳහා යොමු වනවා කියන එක. මද්‍යසාරවල මිල වැඩිවීමත් සමඟ කසිප්පු භාවිතයට හුරු වෙනවා කියනවා. සිගරට් එකක් බීපු කෙනෙක් ආපසු බීඩි බොන්නේ නැහැ. අරක්කු බීමට හුරු වුණ අය කසිප්පුවලට ඇබ්බැහි වෙන්නේ නැහැ. ඒ සියල්ල අසත්‍ය බව අපට සාක්ෂි ඇතිව ඔප්පු කරන්න පුළුවන්. ලෝකයේම නිර්ණායකයක් තිබෙනවා. කසිප්පු භාවිතය අඩු වැඩි වෙන්නේ නීතිය ක්‍රියාත්මක වීම මත මිස මද්‍යසාර මිල වැඩිවීම මත නොවෙයි කියලා. අද පැණි බීම බෝතලයක මිලටම බියර් කෑන් එකක් ගන්න පුළුවන්. මද්‍යසාර මිලට සම්මතයක් නැහැ. ඒ නිසා මද්‍යසාර අඩංගු පානයක් අලෙවි කළ යුතු අවම මිල රජය විසින් තීරණය කළ යුතුයි." යනුවෙන් පැවසුවේ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ, පුබුදු සුමනසේකර ය.

 

Comments