මල්වානේ නඩු­වෙන් බැසිල් නිදොස් කොට නිද­හස් වුණු හැටි | Page 2 | සිළුමිණ

මල්වානේ නඩු­වෙන් බැසිල් නිදොස් කොට නිද­හස් වුණු හැටි

 

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය 9වැනිදා පාර්ලිමේන්තුව හැර ගියේය. සිය නික්ම යෑම ප්‍රකාශ කරමින් පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේ දී වර්ෂ 2015 දී මෙරටට යළි පැමිණීමේ මුඛ්‍ය පරමාර්ථ දෙකක් ඔහු කීවේය. පළමුවැන්න තමන් නිසා අගතියට පත් වූ බවට ඇතැමුන් චෝදනා කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි ගෞරවනීය තැනකට රැගෙන ඒමය. දෙවැන්න තමන්ට එදිරිව ඇති නඩුවලට මුහුණ දී තමන් නිදොස් වීමය. ඒ ආකරයෙන්ම බැසිල් රාජපක්ෂ අධිකරණය හමුවේ තමන්ට එදිරිව ඇති නඩුවට මුහුණ දී නිදොස් වී නිදහස් වුණේය. නීති විරෝධීව උපයාගත් ධනයෙන් ගත් බවට චෝදනා එල්ල කළ මල්වානේ නිවෙස පිළිබඳ කතාවට දැන් අධිකරණයෙන් පිළිතුරු ලැබී ඇත.

 

ආන්දෝලනාත්මක මල්වාන දේපළ නඩුවෙන් බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේසන් නිදොස්කොට නිදහස් කරමින් ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර ජුනි 03 දා ගම්පහ මහාධිකරණයේ දී සිය තීන්දුව ප්‍රකාශ කළේය. එදින නඩුවේ විත්තිකරුවන් මහාධිකරණය ඉදිරියේ පෙනී සිටියහ. ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුවන් වන ජී.ඒ.පී. වීරත්න, නවීන් මාරපන, සාලිය පීරිස් ඇතුළු මඬුල්ලක් පෙනී සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ක්‍රිසංකා ප්‍රනාන්දු පෙනී සිටියාය.

 

මල්වානේ කතාව

නඩු අංකය HC 26/17 යටතේ ගම්පහ මහාධිකරණයේ නඩුව ගොනු වන්නේ බැසිල් රෝහණ රාජපක්ෂට සහ තිරුකුමාර් නඩේසන්ට එරෙහිවය. අක්කර 16ක ඉඩමක් මිලදීගෙන එහි සුවිසල් නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා වලට නීතිපතිවරයා විසින් අධි චෝදනා තුනක් යටතේ මෙම නඩුව පවරා තිබිණි.

 

අධිචෝදනා

චෝදනා එල්ල වූයේ වර්ෂ 2010 නොවැම්බර් මස 25 දින සහ 2015 ජූනි මස 17 අතර කාලය තුළ මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වූ තිරුකුමාර් නඩේසන් නාමිකව ඉදිරිපත් කර පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂ විසින් අල්ලස් පනතේ 19 (ඇ), 23(A) සහ 70 වගන්ති යටතේ වැරදි එකක් හෝ කීපයක් කර නීති විරෝධීව උපයාගත් ධනයෙන් රුපියල් මිලියන 250ක් වැයකොට ගම්පහ අධිකරණ බල සීමාව තුළ පිහිටි මල්වානේ ඉඩමක් මිලදී ගෙන සුඛෝපභෝගී නිවෙසක්, පිහිනුම් තටාංගයක්, ගොවිපළක් පිහිටුවා සංවර්ධනය කිරීම සම්බන්ධවය.

නීති විරෝධීව උපයාගත් එම මුදල ලංකාවේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සඳහා කුමන්ත්‍රණය කිරීම සහ එම වරද සිදුකිරීම සම්බන්ධව 2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3(2) සහ 3(1) වගන්ති යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවට බැසිල් රාජපක්ෂට චෝදනා නැඟී තිබිණි. එමෙන්ම එම වරදට අනුබල දීම සම්බන්ධව තිරු කුමාර් නඩේසන් ඉහත පනතේ එම වගන්ති ප්‍රකාරවම චෝදනා ලැබීය.

 

පැමිණිල්ලේ සාක්ෂිකරුවෝ

පැමිණිල්ල නඩුව ඇරඹුණේ නඩුවට විෂයගත දේපළෙහි ඔප්පුව ලියා සහතික කළ නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස් නිහාල් විජේසේකර රාජකරුණා මඟිනි. දේපළ විකුණුම්කාරියන් ලෙස කටයුතු කළ හිමාලි චම්පිකා සේනාධිර, සන්ධ්‍යා ලාලනී සේනාධීර, තනුෂා ප්‍රියදර්ශනී සේනාධීර, අජන්තා ශ්‍යාමලී සේනාධීර අනතුරුව සාක්ෂි සඳහා කැඳවා තිබිණි.

දේපළ විකිණුම්කරණය සම්බන්ධීකරණය කළ බ්‍රෝකර්වරයා පැමිණිල්ලේ ඊළඟ සාක්ෂිය ය. ඔහු පාලිත විජේරත්න නමැති අයෙකි. අනෙක් සාක්ෂිකරු ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධනය. ඉඩමේ ජ්‍යොතිෂ කටයුතු කර තිබුණේ ඔහුය. මෙම දේපළේ ගොවිපළ සංවර්ධනය කර තිබුණේ සී.අයි.සී සමාගමෙනි. නඩුවේ ප්‍රධාන වශයෙන් දීර්ඝ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් සාක්ෂි දී තිබුණේ මෙම දේපළේ ගෘහ නිර්මාණ ශිල්පියා මෙන්ම මෙම වත්කම් සම්බන්ධව ප්‍රධාන සම්බන්ධීකරණ භූමිකාව ඉටු කළ බව කියන මුදිත ජයකොඩි නමැති වාස්තු විද්‍යාඥයා ය. මෙම අපරාධ නඩුවේ සමස්ත නඩුකරයේ පැමිණිලි කරු හෙවත් මුල් පැමිණිලිකරු ලෙස දක්වා තිබුණේ මෙම දේපළ සම්බන්ධව කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කළ උපුල් කුමාර රාමවික්‍රම නමැත්තෙකි.

 

නඩුව ගොනු වූ ආකාරය

මුලින් කී ලෙස නඩුව පවත්වාගෙන යන්නේ මෙම නඩුවේ මූලික විත්තිකරුවන් වූ බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන්ට එරෙහි අපරාධ චෝදනා ඔප්පු කරන්නටය. පැමිණිල්ල සාක්ෂි කැඳවන්නේ ඒ පදනමිනි.

ගොනු කළ චෝදනා ප්‍රකාරව මෙම ඉඩම මිලදී ගත් බව කියැවුනේ තිරුකුමාර් නඩේසන් නමිනි. සාක්ෂි විමසද්දී නොතාරිස්වරයා මුලින්ම තිරුකුමාර් නිඩේසන් හඳුනන බවත් කලින් සිට දන්නා බවත් කීවේය. කොළඹදී හමුවු බවත් කතා කළ බවත් කීවේය. එහෙත් සාක්ෂි මෙහෙයවීමේ දී ඔහු කියා සිටියේ “ගැනුම්කරු අවස්ථාවක හෝ දෙකක දී හමුවූ බව මතකයි. නමුත් ඔහු මතක නෑ ‘ ලෙසය. මූලික සාක්ෂියේ විශ්වාසනීයත්වය බිඳ වැටී ඇති ආකාරය අධිකරණය නිරීක්ෂණය කළේය. බැසිල් රාජපක්ෂ ගැන ඒ සාක්ෂියෙන් කියැවුණේම නැත. එමෙන්ම ඉඩම් විකිණුම්කරුවන් ඊළඟ සාක්ෂිය. ඔවුන් අධිකරණයට පවසා තිබුණේ තමන් ඉඩම විකිණුවේ තිරුකුමාර් නඩේසන්ට නොව මුදිත නමැත්තකුට බවය.

තුන්වැනි සාක්ෂිකාරිය අධිකරණයට කී ආකාරයට තිරු කුමාර් නඩේසන් ගැන ඇය අසා තිබුණේත් නැත. ඔහුව දැක තිබුණේත් නැත. විශේෂත්වය වන්නේ පැමිණිල්ලේ 03වැනි සාක්ෂිකාරියගේ සිට 09 වැනි සාක්ෂිකරුවා දක්වා කිසිවකු පළමු සහ දෙවැනි චූදිතයන් නොදැන සිටීමය. සාක්ෂි සඳහා කැඳවූ සී.අයි.සී.සමාගමේ ගොවිපළට සම්බන්ධ වූවන්ගේ සාක්ෂිවලින් ද පළමු හා දෙවන චූදිතයන් ගැන කිසිවක් හෙළි වන්නේ නැත

මෙම දේපළ සංවර්ධන කටයුතුවලදී සියලුම ජ්‍යොතිෂ කටයුතු සුමනදාස අබේගුණවර්ධන සිදුකළ බව කියා තිබිණි. බැසිල් රාජපක්ෂගේ ඔරුතොට කාර්යාලයට නැකැත් සදා තිබුණේ සුමනදාස අබේගුණවර්ධනය. ඔහුම ප්‍රශ්නගත දේපළ සඳහා ජොතිෂ්‍ය කටයුතු කිරීම මෙම නඩුවට අදාළ කාරණයක් නොවන බව අධිකරණය කීවේය. මේ සෑම සාක්ෂියක්ම නඩුවට අදාළ නොවන සුළඟේ ගිය සාක්ෂිය.

 

ආණ්ඩුවෙන් කළ බලපෑම

බැසිල් රාජපක්ෂගේ ගම්පහ ඔරුතොට කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයෙක් ලෙස කටයුතු කළ කසුන් ප්‍රියංග නමැත්තකුගේ සාක්ෂිය අධිකරණයේ විශේෂ අවධානයට යොමු වී තිබිණි. ඔහු එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ තාවකාලික කාර්යාල කාර්ය සහායකයෙක් ලෙස වැඩ කළ පුද්ගලයෙකි. ඔහුව දෙදිනක් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙන්වා තිබිණි.

ඔහු අධිකරණයට පවසා තිබුණේ ජීවත් වීම සඳහා තමන් රස්සාවට අමතරව වෙනත් සුළු රැකියා කරන බවය. ඒ අනුව මෙම දේපළේ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩිගේ වැඩ කිරීමට 2014 මාර්තු සහ අප්‍රේල් මාසවලදී ඔහු එම දේපළ පිහිටි ස්ථානයට ගිය බවය. ඔහු බැසිල් රාජපක්ෂ ගැන හෝ තිරු නඩේසන් ගැන කිසිවක් අධිකරණයට කියා තිබුණේ නැත.

එහෙත් මූලික සාක්ෂි විභාගයේ දී ඔහු අධිකරණයට පවසා තිබුණේ ඔහුව මූල්‍ය අපරාධ විමර්ශන අංශයට ගෙන්වා පොලිස් සාජන්වරයෙක් “බැසිල් ට අයත් ඉඩමක් තිබේදැයි“ ඇසූ බවය. එවැනි දෙයක් නොදන්නා බව කී විට තමන්ට මේ පොලිස් සාජන්වරයා පහර දුන් බව සාක්ෂිකරු අධිකරණයට කීවේය.

“ මාව උඩ තට්ටුවට ගෙන ගොස් ජනේලයෙන් පහළට තල්ලුකර මරා දමලා ජනේලෙන් පැන මැරුණු බවට දන්වනවා කියා තර්ජනය කළා. “ බලපෑම් කරමින් ලේඛනවලට අත්සන් ගැනීම ගැන, කාමරයකට තබා වසා තැබීම ගැන, සිරගත කරන බව කියමින් බැණ වැදීම ගැන ඔහු අධිකරණය හමුවේ හෙළි කළේය. “ ඉඩම බැසිල්ගෙද කියලා දිගින් දිගටම ඇහුවා. නොදන්නා බව කී විට කමිසයෙන් අල්ලා පහර දුන්නා...“

මේ සාක්ෂිකරු වැඩිදුරටත් කීවේ පොලිසිය තම ප්‍රකාශය සටහන් කරගනිද්දී තමන් කියන දේ නොව ඔවුන්ට අවශ්‍ය දේ ලියා ගත් බවය. ඒ පිළිබඳ පොලිස් නිලධාරියාට දැන්වූ විට ඒවා වෙනස් නොකළ බව දන්වා දැඩි කලබලයකින් තමන්ගේ අත්සන ගත්තේ තමන් නොකී බොහෝ දේ ඇතුළත් කරමින් බවත් සාක්ෂිකරු හෙළි කළේය. මෙම සාක්ෂිකරු සම්බන්ධව සිය මතය ඉදිරිපත් කරමින් අධිකරණය කීවේ පොලිසීය පක්ෂග්‍රාහීව පළමු චූදිතගේ වරදකාරීත්වය ඉස්මතු කිරීමේ අරමුණින් සාක්ෂිකරුට බලපෑම් කර ඇති බවය. සාක්ෂිකරුගෙන් හෙළි වන්නේ පළමු හා දෙවැනි චූදිතයන් ගැන නොව පොලිසියේ අනීතික හැසිරීම ගැන බව අධිකරණය කීවේය.

 

මුල් සාක්ෂිය

නඩුවේ මුල් සාක්ෂිකරු ලෙස පැමිණිල්ල ඉදිරිපත් කළ බව කීවේ උපුල් කුමාර රාමවික්‍රම නමැති කොන්ත්‍රාත්කරුය. අපරාධ නඩුවක මුල් සාක්ෂිකරු වන්නේ නඩුව ගොනු කිරීම සඳහා පළමු වරට පැමිණිල්ල දමන්නාය. නඩුව පදනම් වන්නේ ඔහුගේ පැමිණිල්ල මතය. නඩුවේ පදනම සහ හරය එයය. එහෙත් පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවා ගෙන යන අතරමැද මෙම සාක්ෂිකරු ප්‍රකාශ කළේ ඔහු කිසිවිටෙකත් මෙම නඩුවට අදාළව පැමිණිල්ලක් නොකළ බවය. ඔහුට ගැටලුව තිබී ඇත්තේ මුදිත ජයකොඩි සමඟය. ඔහුට කොන්ත්‍රාතුව ලබා දී ඇත්තේ මුදිත ජයකොඩිය. මුදිත ජයකොඩි කොන්ත්‍රාත්කරු වෙත රුපියල් මිලියන 30ක මුදලක් ගෙවීම් පැහැර හැර තිබිණි.

මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානී ලෙස එවකට කටයුතු කළ නිලධාරියා “සල්ලි අරන් දෙන්නම්” යැයි පොරොන්දු වී ඔහුගෙන් යමකට අත්සන් ලබා ගත් බව ඔහු කීවේය. අත්සන් ලබා ගත්තාට එහි මොනවා ලිව්වාදැයි තමන් නොදන්නා බවත් තමන්ගේ ප්‍රකාශය බැලීමට අවකාශ නොලැබුණු බවත් ඔහු අධිකරණයේ දී සඳහන් කළේය.

ඔහුට අවශ්‍ය වී තිබුණේ මුදිත ජයකොඩිගෙන් මුදල් ලබා ගැනීම මිස වෙනත් කිසිදු පැමිණිල්ලක් කිරීමට නොවන බව ඔහු අධිකරණයට කීවේය. සාක්ෂිකරු තවත් කතාවක් අධිකරණයේ දී හෙළි කළේය. ඒ තමන් මූල්‍ය අපරාධ විමර්ශන අංශයට දුන්නේ තනි පිටුවක ඉතා කෙටි ප්‍රකාශයක් බවය. එහෙත් අධිකරණය ඔහුට පෙන්වා සිටින්නේ පිටු හතරක පහක පමණ දීර්ඝ ප්‍රකාශයක් බවය. ඔහුගේ දැනීමේ හැටියට මෙවැනි දිගු ප්‍රකාශයක් නොකළ බව සාක්ෂිකරු සහතික වුණේය.

අනෙක් කාරණය අත්සනය. සාක්ෂිකරු කියා සිටියේ මෙම අත්සන තමන්ගේ සාමාන්‍ය අත්සනට සමාන වුවත් සියයට සීයයක් එය තමාගේ අත්සන නොවන බවය. පැමිණිල්ල පුද්ගලයෙක් නොමඟ යවා ඔහු මුල් පැමිණිලිකරුවා ලෙස ඉදිරිපත් කළා පමණක් නොව, ඔහු නොකළ ප්‍රකාශයක් පැමිණිල්ල ලෙස ඉදිරිපත් කර ඔහුගේ අත්සනත් හොරට යොදා ඇති ආකාරය අධිකරණයේදී හෙළිදරවු වුණේය.

 

මුදිත ජයකොඩි ගේ සාක්ෂියේ අවිශ්වාසනීයත්වය

එක් සංකීර්ණ සාක්ෂියක් ඉදිරිපත් වී තිබිණි. ඒ මෙම දේපළ සම්බන්ධව ප්‍රබල භූමිකාවක් රඟ දැක්වූ බව පෙනුණ වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩිගේය. ඔහු අධිකරණයේ දී මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට අසත්‍ය ප්‍රකාශ කළ බව පිළිගත්, ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි රාජකාරීමය වශයෙන් කටයුතු කළ නිලධාරීන්ට පැහැදිලි ලෙසම අසත්‍ය ප්‍රකාශ සිදු කළ සාක්ෂිකරුවෙකි. මෙම සාක්ෂිකරු ඉතා දැන උගත් වෘත්තීමය ඥානයක් සහිත පුද්ගලයෙක් බැවින් එවැනි පුද්ගලයෙක් තමන්ගේ අසත්‍යවාදීබව අධිකරණය ඉදිරියේ පිළිගැනීම බරපතළ කාරණාවක් සේ අධිකරණය දුටුවේය. සත්‍ය අසත්‍ය කාරණා එකිනෙකට අනන්‍ය ලෙස මිශ්‍ර වී ඇති නම් එම සාක්ෂිය සහමුලින්ම නොසලකා හැරිය යුතු බව නීතියේ පිළිගැනීම වේ. අධිකරණය මුදිත ජයකොඩිගේ සාක්ෂිය විමසන්නේ ඒ අවබෝධය ද සහිතවය.

බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත මෙම ඉඩම තිරු නඩේසන්ගේ නමින් ගැනීමට කටයතු කරන ආකාරය, බැසිල් රාජපක්ෂගේ අදහස අනුව 2011 වසරේ දී සී.අයි. සී සමාගම හා සම්බන්ධ වී ආදර්ශ ගොවිපළක් නිර්මාණය කරන ආකාරය, 2013 දී බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම මත නිවෙසක් ඉදිකිරීම ආරම්භ කළ ආකාරය ඔහු අධිකරණයට කීවේය.

ඔහු කීවේ චූදිතයන් සමඟ හෝ කොන්ත්‍රාත්කරු සමඟ කිසිම ගිවිසුමකට නොපැමිණි බව ය. පසු කාලයේ දී කොන්ත්‍රාත්කරු සහ තමන් අතර ගැටුමක් ඇති වූ බවය. සාක්ෂිකරු සාක්ෂි ලබා දීමේදී ඇති වී තිබුණු දැඩි පරස්පරතාව අධිකරණය නිරීක්ෂණය කළේය. ඔහුගේ සාක්ෂියේ ඇති අවිශ්වාසනීය ස්වරූපය පැහැදිලි කිරීමට පිටු තිහකට වැඩි ප්‍රමාණයක් නඩු වාර්තාවේ වෙන් වී තිබිණි.

 

තීන්දුව

පැමිණිල්ලේ සාක්ෂිවලින් කිසිම සාධනීය තහවුරු කිරීමක් විත්තිකරුවන්ට එරෙහිව සිදුවන්නේ නැත. මුල් සාක්ෂිය දෙදරා ගියේය. මුල් සාක්ෂිකරුවෙක් නොමැතිව අපරාධ නඩුවක් පවත්වා ගැනීමේ පදනමක් නැත. මේ තත්ත්වය තුළ පැමිණිල්ල මෙහෙයවනු ලැබූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මුල් සාක්ෂිකරුගේ සාක්ෂි තවදුරටත් මෙහෙය වන්නේ නැති බවත්, ඉදිරියට ලැයිස්තුගත කර ඇති සාක්ෂිකරුවන් ද තවදුරටත් මෙහෙයවීමක් නොකරන පැමිණිල්ල අවසන් කරන බවත්ය.

පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැමිණිල්ල අවසන් බව අධිකරණයට දැක්වීම සමඟ විත්තිය අධිකරණයට දන්වා සිටියේ සාක්ෂි ගණනාවක් මෙහෙයවා පැමිණිල්ල අවසන් කර ඇති බැවින් විත්තියේ වාචිකය කැඳවන්නේ ද නැද්ද යන්න අධිකරණය විසින් නිගමනය කර නියෝග ලබා දිය යුතු බවය.

පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තවදුරටත් පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීමක් සිදු නොකරන බවට දන්වා පැමිණිල්ල අවසන් බව අධිකරණයට දැක්වීමත් සමඟ අධිකරණය විසින් සලකා බැලිය යුතුව තිබුණේ පැමිණිල්ලේ වගකීම වන ඔප්පු කිරීමේ භාරය මෙහෙයවා ඇති සාක්ෂි මඟින් ඉටු කර තිබේද නැද්ද යන්නය. එනම් පළවෙනි චූදිත බැසිල් රාජපක්ෂ විසින් ව්‍යාජ ලෙස උපයාගත් මුදල යොදවා දෙවන චූදිත වන තිරු නඩේසන් නමින් ඉඩම මිලදී ගෙන නිවාසය ඉදිකර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ උල්ලංඝනය කළ බව ඔප්පු වී තිබේද යන්නය.

මෙම නඩුවේ චෝදනාව පදනම් වන්නේ අපරාධයක් මතය. අපරාධමය වගකීම පැවරීමට නම් එය අපරාධ නීතියේ මූලධර්මවලට අනුව ඔප්පු කළ යුතුය. එය දණ්ඩ නීති සංග්‍රහයට පමණක් නොව, වෙනත් ඕනෑම ව්‍යවස්ථාපිත පනතකට අදාළ වන නීතියේ මූලික පදනමය. එමෙන්ම එය සාධාරණ සැකයේ සීමාවෙන් ඔබ්බට ගොස් ඔප්පු කළ යුතුය.

අධිකරණයේ සමස්ත විශ්ලේෂණය වූයේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චූදිතයන්ට විරුද්ධව නඟා ඇති චෝදනාවන්ට වරදකරුවන්කොට අපරාධ වගකීම පැවරීමට තරම් සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බවය.

“ තවදුරටත් මෙම නඩුවේ විත්ති වාචිකය කැඳවීමට අවශ්‍ය වන්නේ නැත. එසේ හෙයින් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 200(1) යටතේ කටයුතු කරමින් චූදිතයන් මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරමි.“ ගම්පහ මහඅධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කළේය.

(මහාධිකරණ නඩු වාර්තාව ඇසුරෙනි)

 

Comments