
අද වෙනකොට අවුරුදු 30-40ක් පාරම්පරිකව හේන් වගා කරපු ගොවියෝ ටික වනසංරක්ෂක නිලධාරි මහත්වරු විසින් එළියට ඇදලා දාලා; එළවළු දාලා. අපි අහන්නේ වගා කරපු ගොවියොන්ට තහනම් වුණ බිම් හරක්කාරයන්ට මී හරක් අයිතිකාරයන්ට ලැබුණේ කොහොමද කියන එකයි. ඒ වගේම පාරම්පරිකව වගා කරගෙන ආපු මේ ගොවිබිමේ අයිතිය අපිට දීපල්ලා කියන අහිංසක ඉල්ලීම විතරයි අපි කරන්නේ යැයි පාරම්පරික ඉඩම් අයිතිය අහිමි වූ හේන් ගොවීහු කියති.
මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් සියඹලාණ්ඩුව, කොටියාගල, ඇතිමලේ , වෙහෙරගල, තෙනගල්ලන්ද, කහම්බාන, පහතරාව, විලඔය යන ප්‍රදේශවල ජනතාව වසර හතළිහකට වැඩි කාලයක් පාරම්පරිකව වගා කරනු ලැබූ වරාකනත්ත, දික් ගල්කන්ද, කළු දියඇල්ල, හත්ආර, එල්ලෙන ගල, රෑනත්ත ගල, කුරුලු බැද්ද යන ප්‍රදේශවල පිහිටි අක්කර 20000 කට ඔවුන්ගේ ගොවිබිම් වසරකටත් වැඩි කාලයක් කිසිදු වගා කටයුත්තකට ඇතුළුවීමට අවසර නොමැති වීම හේතුවෙන් ඔවුන් මෙසේ විරෝධතාවයේ නිරත වූහ.
![]() |
ගොවි විරෝධතාව |
වී වගාව, ඉරිඟු වගාව, වට්ටක්කා හා ධාන්‍ය වගා කරපු වගාබිම් හිටි හැටියේම තහනම් කරලා හම්බන්තොට තිස්සමහාරාම ප්‍රෙද්ශවල ඉන්න හරක් පට්ටි 174කට වැඩි ප්‍රමාණයක් හරක් මි හරක් දසදහස් ගණනක් මේ බිම්වලට ගෙනල්ලා දාලා තියෙනවා විතරක් යැයි වෙල්ලස්සේ පාරම්පරික හේන් ගොවියන්ගේ ඉඩම් සුරැකිමේ ගොවි සුබ සාධක සංවිධානයේ ගොවීහු වැඩිදුරටත් කියා සිටියහ.
තම පාරම්පරික ඉඩම් අයිතිය ඉල්ලා සිටිමින් දැවැන්ත විරෝධතාවක් ඔවුන් පසුගියදා මොනරාගල නගරයේදී ක්‍රියාත්මක කළ අතර මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය අසල හා දිස්ත්‍රික් වන සංරක්ෂණ කාර්යාලය අසලට ද විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් පාගමනින් පැමිණියහ.
තවද එම ගොවිබිම්වලින් ගොවීන් ඉවත්කර ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කොට ඇත්නම් මී හරක්කරුවන් සහ මී හරක් එම ප්‍රදේශවලට ඇතුළේ සිටින්නේ කෙසේද යන්න ගොවීහු ප්‍රශ්න කර සිටියහ.
වෙල්ලස්සේ පාරම්පරික හේන් ගොවියන්ගේ ඉඩම් සුරැකිමේ ගොවි සුබ සාධක සංවිධානයේ සභාපති ඩී. එම්. විජේරත්න පවසන්නේ මෙවැන්නකි.
‘අපි දිස්ත්‍රික් ලේකම් තුමාට සන්දේශයක් බාර දුන්නා. එතුමා කිව්වා කඩිනමින් ඉඩම් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. වනසංරක්ෂන නිලධාරීන් ගැන කිසිම විශ්වාසයක් නෑ. රක්ෂිත කියලා වෙන්කර ගත්ත ඉඩම්වල ගොවියෝ පන්නලා දාලා හරක් කාරයන්ගෙන් අල්ලස් ගන්නවා; පගාව ගන්නවා; හොර තක්කඩි ජවාරම් වැඩ ඔක්කොම කරනවා. ඒක නිසා වනසංරක්ෂණ නිලධාරින් ගැන පැහැදීමක් නෑ. අමරවීර ඇමතිතුමාට අපි කියනවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න කොට වනසංරක්ෂණ නිලධාරින් කියන දේට විතරක් ඇහුම්කන් දෙන්න එපා. එහෙම වුණොත් ඒක මහා විනාශයක්. අපි කියනවා මේ ගොවියන්ගේ හඬටත් කන්දෙන්න; ඔබතුමා එන්න මේ ඉඩම් රක්ෂිතද; වනාන්තර ද; වගාබිම්ද කියලා ඇස් දෙකෙන් දැකගන්න පුළුවන්; බලාගන්න පුළුවන්. ඒක නිසා අපි කියනවා ඇවිල්ලා බලන්න අපි කියන්නේ ඇත්තක් ද බොරුවක්ද කියලා. අපි කියන්නේ මේ බදු ඉඩම් ටික දෙන්න අපෙන් පස්සෙ අපේ දරුවන්ටත් වගා කරන්න පුළුවන් විදිහට. දිර්ඝකාලීනව ගොවියන් ලැබෙන විදිහට ක්‍රමයක් හදන්න. ඒ වගේම මේ ඉඩම් නිත්‍යානුකූල කිරීමට පෙර අපිට ගොවිබිමට යන්න ඉඩ දෙන්න කියන ඉල්ලිම විතරයි.
වෙල්ලස්සේ පාරම්පරික හේන් ගොවියන්ගේ ඉඩම් සුරැකීමේ ගොවි සුබ සාධක සංවිධානයේ ලේකම් නිමල් සමරසුන්දර මෙසේ අදහස් දැක්වීය.
අපේ ගොවිබිම් අහිමි වීම සම්බන්ධව සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් මොනරාගල දිස්ත්‍රික් ලේකම් මොනරාගල වන රක්ෂණ නිලධාරීවරුන් මේ පිළිබඳව දැනුම්වත් කළ ද ඒ සඳහා කිසිදු සාර්ථක විසඳුමක් නොලැබුණු නිසා තමයි අපි නැවත වාරයක් මේ විදිහට විරෝධතාවක් සිදු කළේ. ඒ වගේම අපිට වගා බිමිවලට යන්න බැරි ඇයි කියලා අපි අහනවා. හරක් අයිතිකරුවන්ට තවත් නීතියක්; ගොවීන්ට තවත් නීතියක් ක්‍රියාත්මක වන්නේ. අපිට තියෙන ප්‍රශ්නය ඒකයි. කන්න තුන හතරක් අපිට අහිමි වුණා. රටට ධන්‍ය ඇතුළු කෘෂි නිෂ්පාදන කිලෝ ටොන් ලක්ෂ ගණනක් මේ අර්බුදය නිසා අහිමි වුණා. අපි කියන්නේ ඉඩම් නිත්‍යානුකූල කරලා ගැටලුව විසඳෙනකම් අපිට වගාකරන්න දෙන්න කියලා.
මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහගෙන් අප කළ විමසීමකදි ඔහු මෙසේ කියා සිටියේය.
මේ ගැටලුව ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. 1895 වසරේ ඉඳලා ගොවින් වගා කළ බව කියනවා. මේ වන විට වසරකට අධික කාලයක සිට ඔවුන්ට වගා කරන්නට අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ වගේම කොවිඩ් වසංගතය පොහොර අර්බුදය එක්ක මහා පරිමාණයෙන් බඩඉරිඟු වගා කළ ගොවින්ගේ අස්වනු වෙළදපොළට ඒම 50%කින් පමණ අඩු වුණා. මේ කාරණා එක්ක ගොවීන් දිගින් දිගටම විරෝධතා කළා. මා සමඟ සාකච්ඡාවකට පැමිණි ගොවි නියොජිතයන් පිරිසක් මෙම ගැටලුව සම්බන්ධයෙන් දිර්ඝ සාකච්ඡාවක් සිදු කළා. ඔවුන්ගේ ගැටලුව සංවේදී කාරණයක්. දීර්ඝ කාලයක සිට වගා කළ ඉඩම් නොලැබීම නිසා ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටී ඇති බව පැවසුවා.
![]() |
රක්ෂිත ප්‍රෙද්ශවල ගවගාල් සකස්කර ඇති අයුරු |
කැලේ දිගින් දිගටම වගාකරන්න දෙන්න බෑ; වනය රැකිය යුතු වගේම සංරක්ෂණය කළ යුතු ප්‍රදේශයක්. ඒ වගේ මේ බිම්වල වගාකරපු ගොවීන්ට ආදායම් මාර්ගයක් එන ක්‍රමයක් හැදෙන්නත් ඕනේ. අක්කර 25000ක් අපි නිදහස් කර ගත්තා; අක්කර පහ ගානේ බෙදලා දෙන්න සැලසුමක් හැදුවා. ඒ අතර පරිසර සංවිධනයක් නඩුවක් ගොනු කරලා තියෙනවා. ඒ නිසා අධිකරණ නියෝගයක් අනුව ඒ ඉඩම් බෙදාදීම නතර වෙලා තියෙනවා. කෙසේ නමුත් මෙම ඉඩම් බදු ක්‍රමයකට හරි බෙදා දෙන්න යෝජනාවක් දාලා තියෙනවා. ඒ වගේම වන ශාක වගා කරලා පරිසර සංරක්ෂණ කටයුත්තක් සිදුකරන ගමන් යටි වගාවක් ලෙස ආහාර බෝග වගා කරන්නත් සැලැස්මක් තියෙනවා. ඒ වගේම ගොවි සංවිධානවල කැමැත්තත් තියෙනවා. මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් මම දැනුම් දියයුතු සියලු තැන්වල යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මම ඇමතිතුමා එක්ක කතා කළා. ඇමතිතුමා කිව්වෙ එතුමට තනි තීරණයක් දෙන්න බෑ ජනාධිපතිතුමා අගමැතිතුමා එක්ක කතාකරලා පිළිතුරක් දෙන්නම් කියලා. සුදුසු තීරණයක් අරගෙන දුන්නොත් ඒ අනුව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මොණරාගල දිසා වන නිලධාරි භාරත දිසානායකගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය.
ගිය අවුරුද්දේ විසඳුමක් දුන්නා. අපි අක්කර 25000ක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට නිදහස් කළා. ඒකේ මැනුම් කටයුතුත් කළා. ඒ තිරණයට ආවේ සියලු බලධාරීන්, දේශපාලන නායකයන්, රාජ්‍ය ආයතන, ගොවි සංවිධාන නියෝජිතයන් සියලුදෙනාගේ සහභාගීත්වයෙන්. සාකච්ඡා වට කිහිපයක අවසන් තීරණයක් විදිහට අක්කර 25000ක් නිදහස් කළා. ගොවීන්ට රක්ෂිත ඇතුළෙ වගා කරන්න එපා කිව්වා. ගොවියකුට අක්කර පහ ගානේ මැනලා බෙදලා දෙන්න තීරණය වුණා. මැනුම් කටයුතු කරගෙන යන අතරතුර පරිසර සංවිධානයක් චක්‍රලේඛයට විරුද්ධව අධිකරණයෙන් වාරණ නියෝගයක් අරගෙන තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මැනුම් කටයුතු නතර වුණා. ඒකත් එක්ක ගොවින්ට වගා කරන්න ඉඩම් නෑ; ගොවීන්ට පීඩනයක් තියෙනවා; ගැටලුවක් මතුවෙලා තියෙනවා. දැන් පවතින තත්ත්වය තුළ අපිට අපේ මට්ටමින් තීරණයක් ගන්න බෑ. අපිට පුළුවන් ඉහළින් එන උපදෙස් ක්‍රියාත්මක කිරිමක් කරන්න පමණයි. නැවත සියලු පාර්ශ්ව එකතු වෙලා කඩිනමින් විසඳුමක් ලබාදිය යුතුයි කියන තැන අපි ඉන්නේ.
රටකට වන වැස්මක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. මේ හෙක්ටයාර 8000ක් වන වගාවට එකතු වුණොත් ඒකෙන් විශාල වටිනාකමක් රක්ෂිතයට එකතු වෙනවා. මේ විදිහට ගියොත් කැබිලිත්ත රක්ෂිතයත් අහිමි වෙන්න පුළුවන්. තව කිලොමීටර් පහක් විතරයි තියෙන්නේ; දේවාලය තියෙන සීමාවට. ඒ නිසා අපි කියන්නේ ගොවීන්ට වගා කරන්න භුමිය ලැබෙනවා සේම රක්ෂිත ආරක්ෂා වෙන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුමයි.
අවසානයේ කියන්නට ඇත්තේ වෙල්ලස්සේ පාරම්පරික ගොවීන් තම දිවි පරදුවට තබා සටන් කරනුයේ මෙම අසාධාරණයට එරෙහිවය. ඔවුන් සටන් වදින්නේ මෙම පාරම්පරික හේන් ගොවිතැනනේ අයිතිය ඉල්ලාගෙනය. වත්තේගම හා කැබිලිත්ත රක්ෂිත ප්‍රදේශවලට සිදුවන හානිය සියැසින් දැකබලා ගොවිබිම්වලට පැමිණ සත්‍ය වටහා ගන්නා ලෙස ගොවීන් බල කරන්නේ ඒ නිසාය. සමස්තයක් ලෙස ජනතාවත් දිස්ත්‍රික්කයත් රටත් දරිද්‍රතාවේ පහළටම ඇද වැටී ඇති මෙවන් අවස්ථාවක එයින් ගොඩ ඒමට ඔවුන්ට යළි තම බිම් වගා කිරීමට ලබා දෙන අයිතිය ලබාදෙන ලෙස කරන කාරුණික ආයාචනයක් පමණයි.