රුපි­යල් සිය­යක් නොදුන් වර­දට ජීවි­ත­යෙන් වන්දි ගෙවූ ඇල­පාත මයෝ­නිකා | Page 2 | සිළුමිණ

රුපි­යල් සිය­යක් නොදුන් වර­දට ජීවි­ත­යෙන් වන්දි ගෙවූ ඇල­පාත මයෝ­නිකා

මිය­ගිය මයෝ­නිකා
මිය­ගිය මයෝ­නිකා

 

පුද්ගලික අංශයේ රැකියාවක ට ගොස් පසුගිය 31 දා සැන්දෑවේ ආපසු නිවසට පැමිණෙමින් සිටිය දී මත්ලෝලියකුගේ අමානුෂික පිහිපහරවල් කිහිපයකින් ජීවිතයට සමු දෙන ඇය හේමරත්න මුදියන්සේලාගේ මයෝනිකා ප්‍රශිලානි රණසිංහ නැමති තරුණියකි. ඇය විසිහය හැවිරිදි වියේ පසු වූ අතර ඝාතනය වූදා වනවිට විවාහ දිවියට ඇතුළත් ව මාස දෙකක්වත් ඉක්ම ගොස් නොතිබුණි. ඇලපාත කෙහෙල්ඹ්විටිගම මහිරාගල ජීවත් වූ ඇය හා ඇගේ සැමියා සේවය කළේ එකම පුද්ගලික ආයතනයකයි.

 

සිද්ධියේ සුලමුල සොයා පළමු ව අප මුණ ගැසුණේ මීට මාස කිහිපයකට පෙර ස්ථාපිත කළ ඇලපාත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද ජයවීර ය.

මයෝ­නිකා මීට මාස දෙක­කට පමණ
ඉහත දී විවාහ වූ අව­ස්ථාව

අදාළ සැකකරු කෙහෙල්ඹ්විටිගම නිහාල්කඩේ බඩු කිරමින් සිටි තැනැත්තෙකි. ඔහු සිය පවුල දෙදරා ගිය, මාපිය සෙනෙහස අහිමි වී ඇති දේශීය මත්ද්‍රව්‍යයන්ට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අයෙකි. පසුගිය තිස්එක් වැනිදා හොර මත්පැන් තිප්පොළක දී ඔහුට ලොක්කා නැමැත්තකු පහර දී තිබෙනවා. ගුටි කෑ සැකකරු පහර දුන් පුද්ගලයා කැපීමේ චේතනාවෙන් නිහාල් කඩේ වට්ටක්කා කපන පිහිය රැගෙන ගොස් බෝක්කුවක් මත රැඳී සිට තිබෙනවා.

ඒ වෙලාවෙ බස් රථයෙන් බැසයන තරුණිය දැක රුපියල් සියයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඇය මුදල් දීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඔහු ඇගේ අතේ තිබූ අත්බෑගය උදුරා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. ඒ අතර අතේ තිබූ පිහියෙන් ඇයගේ කොන්දට පහරක් එල්ල කර ඇති අතර ඇය දිව යද්දි මුහුණට සහ පාදයටත් පිහි පහර කීපයක් ගසා ඇති බව අනාවරණය වුණා. පහර කෑ ස්ථානයේ සිට මීටර් සියයකට එහායින් පිහිටි නිවසක පිල මත වැටී සිටිය දී සැමියා ඇතුළු පිරිසක් රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විට තරුණිය මියගොස් සිටි බව රෝහල ප්‍රකාශ කළා. අපි පැය විසි හතරක් යන්නට මත්තෙන් අපරාධකරු වන විසි එක් හැවිරිදි කෙහෙල්ඹ්විටිගම ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත්තා.

ඇලපාත පොලිසිය ස්ථාපිත කර දැනට මාස කීපයක් ගතවෙනවා. දැඩි ලෙස නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම භාවිත කරන්නන් බහුලව සිටින ප්‍රදේශයක්. මෙම ශෝචනීය සිද්ධියත් සමඟ ගමේ ජනතාව ගේ ආරක්ෂාව සඳහා පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා.

මයොනිකා නිවසේ සිට සේවයට ආ ගිය අතර රත්නපුර ඇලපාත හරහා කරවිට මාර්ගයේ කෙහෙල්ඹ්විටිගමින් බැස මාහිරාගල නම් වූ ගමට යාමට මීට පන්සීයක් පමණ පයින් යා යුතුය. මෙම මාර්ගය දෙපස ගස් කොළන් ගහණය.දැඩි අඳුරු ස්වරූපයක් දහවල් කාලයේ ද පවතී.

මේ අතර සිය බිරියගේ අකල්වියෝවින් දැඩි කම්පාවට පත්ව සිටි සැමියා වජිර ලක්මාල් රුවන් කුමාර (29) අප හා සිය ශෝකය බෙදා ගත්තේ මෙලෙසිනි.

‘මමත් ඇයත් පර්ල් ආයතනයේ සේවයට ගිහින් අවුරුදු දහයකට වැඩියි. එයා වැඩ සුපවයිසර් වරියක්. මම කළේ රියදුරු රැකියාව. අපි අවුරුදු හය හමාරක් ආදරය කරලා පසුගිය පෙබරවාරි 16 විවාහ ගිවිස ගත්තා. පසුගිය මාර්තු 03 දා තමයි මංගලෝත්සවය තිබුණේ.

මැයි 31 හවස 6.00 බස් එකෙන් බැහැලා බිරිය මට කෝල් කළා එක්ක යන්න එන්න කියලා. වැස්ස නිසා මම ප්‍රධාන පාරට පයින් එමින් හිටියෙ. යාළුවෙක් කෑ ගහලා කිව්වා නංගි ට කරදරයක් කියලා. මම දුවගෙන ආවා. ඇය පාර අයිනේ ගෙදරක ඉස්තෝප්පුවේ වැටිලා හිටියා. එතකොටත් කතා කළේ නෑ.

මම ඉස්පිරිතාලෙ අරන් ගියා එතකොටත් එයා මිය ගිහින්. අවුරුදු ගානක් කඩේ බඩු කිරපු කොල්ලා තමයි මේ වැඩේ කරලා තියෙන්නෙ. අපේ ආත්ම ගණනාවක ප්‍රාර්ථනාවක් තමයි මේ සුනුවිසුනු කර දැම්මෙ.

දරුවෙක් හදාගෙන හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න පෙරුම් පුරාගෙන හිටියෙ. වෙඩින් එකේ ඇල්බම් එකවත් දකින්න ඇයට ඉඩක් දුන්නෙ නෑ. මේ වගේ පාපතරයන් අපේ ගමේ මීට පෙර කවදාවත් අහන්නවත් සිටියෙ නෑ. මේ අපරාධකරු නියම දඬුවම් ලැබිය යුතුයි. මම හිතනවා බලධාරීන් ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කරයි කියලා.

මියගිය මයෝනිකාගේ මව ඉහළ පල්ලෙගේ සුමනාවතී (53) හැඩූ කඳුළින් මෙසේ පැවසීය.

මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා. මේ ලොකු දුව. දරුවො තුන් දෙනා ලොකු මහත් කරගත්තේ දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ තියාගෙන. මගේ ලෝකයට කඩා ගෙන වැටුණා. ඇයි දෙයියනේ මේ වගේ අපරාධ වෙන්නෙ. මේ වගේ අපරාධ කරන එවුන්ට නීතිය හරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න. නැත්නම් තවත් අම්ම කෙනකුට මේ වේදනාව විඳවන්න වෙනවා. ගමේ කවදාවත් මේ වගේ දෙයක් වෙලා නෑ.

මයෝනිකා ගේ අවමංගල උත්සවය අවසානයේ ගම්වාසීන් තීරණය කර ඇත්තේ සිය ගමට පැමිණෙන මාර්ගයේ අඳුරු කොටස සම්පූර්ණයෙන් ම සුද්ධ පවිත්‍ර කොට ආරක්ෂාව තහවුරු කිරීමටත් නැවත මෙවැනි සිද්ධියක් ඇති නොවීමට වගබලා ගැනීමටත් එකමුතුව වැඩ කළ යුතු බවටයි.

ඒ අනුව එම මාර්ගයේ දෙපස තිබූ විශාල ගස් කපා ⁣සුද්ධ පවිත්‍ර කරනු ලැබීය.

රත්නපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරී සේනක වීරසිංහ, සහකාර පොලිස් අධිකාරී අජිත් කුමාර, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ යන අයගේ උපදෙස් පරිදි ඇලපාත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. ආනන්ද ජයවීර අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර රණසිංහ ඇතුළු පිරිස පරීක්ෂණ ක්‍රියාත්මක කරන ලදී.

ඡායාරූප - තුෂාර හෙට්ටිආරච්චි

 

 

Comments