විදු­ලියේ හොරු නැත මාෆි­යා­ක­රු­වන් ඇත | සිළුමිණ

විදු­ලියේ හොරු නැත මාෆි­යා­ක­රු­වන් ඇත

 

දැඩි අපහසුතාවන්ට පත්ව ඇති ජනතාව කබලෙන් ළිපට ඇද දැමුවා සේ පසුගිය 8 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට විදුලි බල ඉංජිනේරුවන් ඇතුළු විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් එක්ව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් විය.

 

ඒ ඉල්ලීම් 3ක් මුල් කරගනිමින් වන අතර එහි ප්‍රධාන ඉල්ලීම් දෙක වූයේ ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් කර ඇති විදුලි බල පනතේ සංශෝධන නැවැත්වීමයි. තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය අනුගමනය නොකර දේශීය ලංසුකරුවන්ට කිසිදු සමාන අවස්ථාවක් ලබා නොදී රටේ සුළං සහ සූර්ය බලශක්ති සම්පත් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම අත්හිටුවීම ඉන් එකකි. එමෙන්ම 2009 අංක 20 දරන විදුලිබල පනත සංශෝධනය කිරීමේදී අනවශ්‍ය යෝජනා හරහා දූෂණයට මඟපාදන තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය අවලංගු කිරීම දෙවන ඉල්ලීම විය.

එහිදී විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් පවසා සිටියේ ජාතික ප්‍රතිපත්තිය පසෙක තබා ඒ වෙනුවට ඉන්දියාවේ අදානි සමාගමට වාසිදායක ලෙස විදුලිබල පනත වෙනස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තම සංගමය කටයුතු කළ බවයි. ඔහු පෙන්වා දුන්නේ විදුලිබල පනතේ ඇතුළත් විදුලිය මිලදී ගැනීමේදී අවම මිල සහතික කිරීම නව සංශෝධනය මඟින් ඉවත් කර තිබෙන බවයි. එම නිසා ඕනෑම මිලකට විදුලිය මිලදී ගැනීමට අපේ රටට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ වෙනුවෙන් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සමඟ පැවැති සාකච්ඡාවේදී සාර්ථක පිළිතුරක් නොලැබුණු බවද ඔහු පැවසීය. ඔහු පෙන්වා දුන්නේ විදුලිබල පනතට අනුව කළ යුත්තේ විවෘත වෙළෙඳපොළේ මිල ගණන් කැඳවා අවම මිලට විදුලිය ලබා ගැනීමට කටයුතු කිරීම වන නමුත් අදානි සමාගමෙන් පමණක් විදුලිය මිලදී ගැනීමෙන් පනත උල්ලංඝනය වන බවයි.

·ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදන වියදම

එමෙන්ම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමත් සමඟ විදුලි ඉංජිනේරුවන් සිය සේවා ස්ථානවලින් ඉවත් වන බවත් ඉන්පසු සිදුවන විදුලි විසන්ධි වීම් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකිව මහජනතාව අපහසුතාවට පත් වුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බවත් ඔහු පැවසීය. ඉංජිනේරුවන් වාර සේවා, විදුලි බලාගාර, බිඳවැටීම් නඩත්තු ඇතුළු සියලු සේවාවලින් ඉවත් වන බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ සුළං සහ සූර්ය බලශක්තිය ඒකාධිකාරය ශ්‍රී ලංකාව සතුව තිබිය යුතු බවත් ඉන්දියාවේ අදානි සමාගමට නීති විරෝධීව එම බලය පැවරීම වහාම නතර කළ යුතු බවත් ඔහු පැවසුවේය. එමෙන්ම විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් නිරතුරුව අඛණ්ඩ වැඩ වර්ජන කරා යොමු නොවන බවත් මෙසේ වර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ වසර 26 කට පසුව බවත් ඔහු කීවේය.

එමෙන්ම ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් ද පැවසුවේ පනතේ වගන්ති සංශෝධනය රටට අවාසි ලෙස සිදුකරන්නේ නම් තම සංගමයද වැඩ වර්ජනයක් කරා යොමු වන බවයි. මේ තත්ත්වය ගැන වාර්තා වූ සැණින් අගමැති රනිල් වික්‍රමසිංහයන් විදුලිබල වෘත්තීය සමිති වෙත දැඩි අවවාදාත්මක ඉල්ලීමක් කෙළේය.

අගමැතිවරයා පැවසුවේ රට අඳුරේ නොතබන ලෙසයි. වෘත්තීය සංගම්වලට අවවාදාත්මකව මේ බව ඔහු පැවසුවේ 8 වෙනිදා පාර්ලිමේන්තුවේදීය.

‘ රට අඳුරේ තබා පසුව ඉන්දියාවෙන් තෙල් ඉල්ලන්නැයි තමන්ට නොපවසන ලෙස‘ අගමැතිවරයා කීවේය.

‘ මම එකක් කියන්න කැමති යි. ඒ වගේම අවවාද කරනවා. මේ රටේ blackout එකක් ඇති කරල ඊට පස්සේ මට කියන්න එපා ගිහින් ඉන්දියාවෙන් අරව මේවා ලබා ගන්න කියලා. අපිට හදිසියක් නැත්නම් ඇයි ඒ අය අපිට දෙන්නේ? හැම වෙලේ ම අපිට කියන්නේ, ප්‍රශ්න විසඳගන්න, පාරේ යන්න බෝඩ් අල්ලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. Blackout කරන්න එපා. Blackout කළොත් මීට පස්සේ අපිට වගකියන්න බැහැ. ඉන්දියාව දෙයි කියලා.

ඉන්දියාවටත් ඕනේ තෙල්. අපිට දෙන එකට ඉන්දියාවේ සමහර අයත් විරුද්ධයි.”

මේ සම්බන්ධයෙන් 8 වෙනිදා රාත්‍රියේ විදුලිබල වෘත්තීය සමිති වෙත ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා දැනුම් දී ඇත්තේ දුන්නේ යෝජිත විදුලි සංශෝධන පනතට ඉංජිනේරුවන් ගේ යෝජනා කාරක සභා අවස්ථාවේ ගෙන ඒමට කටයුතු සලසන බවයි. ඒ අනුව විදුලි බල සංගම් විසින් යෝජිත වැඩ වර්ජනය අත් හිටුවන ලද බව ඔවුහු පැවසූහ.

ඒ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

ජනතාවෝ ඒ ගැන උදම් ඇනූහ. කෙසේ වෙතත් 9 වෙනිදා අලුයම් කාලයේ පළාත් රැසක විදුලිය විසන්ධි වී තිබුණි. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ඇතුළු පළාත් කිහිපයක් හා කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව, රත්මලාන, ගල්කිස්ස, පිළියන්දල, හා මහනුවර, අනුරාධපුර, ත්‍රිකුණාමලය, කෑගල්ල වැනි දිස්ත්‍රික්ක රැසක බ්‍රහස්පතින්දා දහවල් වන තෙක් විදුලිය යළි සැපයුම් කර නොතිබුණි.

මේ සම්බන්ධයෙන් පසුගිය 9 වෙනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විදුලි බල හා බලශක්ති ඇමැතිවරයා පැවසුවේ රන්දෙනිගල හා රන්ටැඹේ ඇතුළු ජලාශ කිහිපයක සොරොව් විවෘත කර එහි ජලය මුදා හැර ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කර ඇති බවයි. ඒ ඔස්සේ ජල විදුලිය නිපැයුමට බාධා එල්ල වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම ඔහු වැඩි දුරටත් සඳහන් කෙළේ බොහෝ පුනර්ජනනීය බලශක්තිය, අඩු වියදම් බල සැපයුම සහ අඛණ්ඩ විදුලි සැපයුමේ අයිතිය අහිමි කර ඇති වෘත්තීය සමිති අවශ්‍ය ප්‍රතිසංස්කරණ අවහිර කිරීමට විරෝධතා ඇති කරන බවයි. එසේම විදුලි ඉංජිනේරු සංගමයට දින 14ක් යන තෙක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයෙන් ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමේ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙස දන්වමින් කොළඹ දිසා අධිකරණය ජූනි 9දා වාරණ නියෝගයක් නිකුත් කරන ලදී. ඒ, ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ය. කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම විසින් මේ නියෝගය නිකුත් කරන ලදී.

කෙසේ වෙතත් වෘත්තීය සමිති හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මධ්‍යයේ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත ජූනි 09 පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සංශෝධන රහිතව සම්මත විය. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඊට පක්ෂව ඡන්ද 120ක්ද විපක්ෂව ඡන්ද 36 ක්ද හිමිවිය. මන්ත්‍රීවරු 13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මේ අනුව දෙවන වර කියවීමද වැඩි ඡන්ද 84 කින් සම්මත විය.

අනතුරුව කාරක සභා අවස්ථාවේදී 4 වැනි වගන්තියට බලශක්ති අමාත්‍යවරයා ගෙනා සංශෝධනයට විපක්ෂය විරුද්ධත්වය පළ කළ බැවින් ආණ්ඩු පක්ෂයේ සංශෝධනය ඉල්ලා අස්කරගැනීම සිදුවිය.

ඒ අනුව විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා 4 වැනි වගන්තියට සංශෝධනයක් ඉදිරිපත් කළ අතර එම සංශෝධනය බලශක්ති අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමඟ විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. එහිදී විපක්ෂයේ සංශෝධනය වැඩි ඡන්ද 64 කින් ප්‍රතික්ෂේප විය. එහිදී ඊට පක්ෂව ඡන්ද 51 ක්ද විපක්ෂව ඡන්ද 115 ක්ද හිමි විය.

ඉන්පසු සම්පූර්ණ 4 වැනි වගන්තියට ඡන්ද විමසීමක් විපක්ෂය ඉල්ලා සිටි අතර එහිදී ඊට පක්ෂව ඡන්ද 116 ක්ද විරුද්ධව ඡන්ද 46 ක් ද ලෙස වැඩි ඡන්ද 70 කින් සම්මත විය.

මේ අනුව යම් තැනැත්තකුට උත්පාදන ධාරිතාව මෙගාවොට් 25 ඉක්මවා සහ අබිබවා විදුලිබලය උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට මෙතෙක් පැවති සීමාව ඉවත් කෙරේ. මීට අමතරව උත්පාදන ධාරිතාව පිළිබඳ යම් සීමා නියම කිරීමකින් තොරව ඕනෑම තැනැත්තකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවසර ලබාදීම ද මෙම සංශෝධනය මඟින් සිදුවනු ඇත.

කෙසේ වෙතත් රනිදෙනිගල, රන්ටැඹේ ජලාශවලට අමතරව ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේද ජලය අනුමැතියකින් තොරව මුදා හැර ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මහජන උපයෝගිතා කොමිසමට පැමිණිලි කර තිබේ. එම ජලාශවල ජලය මුදා හැරීමට අමතරව ලක්ෂපාන, කැනියොන්, විමලසූරේන්ද්‍ර හා පොල්පිටිය විදුලි බලාගාරද පසුගිය 9 වෙනි බ්‍රහස්පතින්දා උදෑසන වන විට අක්‍රිය වී තිබුණි. ඒ සම්බන්ධයෙන් මේ වන විට අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් පැවැත්වේ.

පසුගිය 9 වෙනිදා අලුයම් කාලයේ වූ විදුලිය විසන්ධි වීමට හේතුව මේ අක්‍රිය වීම් බව මේ වන වට තහවුරු වී තිබේ. එසේ අක්‍රිය වීම සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගොස් සිදු වූවක් බව මේ වන වට ඉතා පැහැදිලිය. එහෙත් අමාත්‍යාංශයෙන් කරනු ලබන පරීක්ෂණයද පුස්ස බින්දාක් හා සමාන වනු ඇත. ඒ විදුලි බල මණ්ඩලය යනු සම්පූර්ණයෙන්ම ඉංජිනේරු මාෆියාවෙන් යුක්ත ආයතනයක් බැවිනි. තමන්ට යම් අවාසියක් වන්නේද ඉංජිනේරුවෝ හඬ අවදි කරති. එසේම තමන්ගේ පොකැට්ටුවට යමක් වැටෙන්නේද ඔවුහු රටට හෙන ගැහුවත් සොයා නොබලති. අන්ධයන් ගොළුවන් සේ හැසිරෙති. ඔවුන්ගේ වැටුප් ගැන ඇසුවහොත් පුදුම සහගතය. එය එක් අතකින් ලැජ්ජා සහගතය.

විදුලි බල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත්ගේ මාසික වැටුප රුපියල් 9,19,435.00ක් බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් අතිවිශාල වැටුප් ලබා ගනිති. E විශේෂ ශ්‍රේණියේ විදුලි ඉංජිනේරුවකුගේ මූලක වැටුප රුපියල් 533895.00කි. එයට රුපියල් 266,947.50ක දීමනාවකි. වාහන දීමනාව රුපියල් 250,000.00කි ඉන්ධන දීමනාව රුපියල් 75,000.00කි. ඒ අනුව සමස්ත එකතුව රුපියල් 919432.50කි. එම ශ්‍රේණියේ වැටුප් ලබන්නන් සංඛ්‍යාව 10කි.

එමෙන්ම E 1 ශ්‍රේණියේ ඉංජිනේරුවන් 100කි. E 2 ශ්‍රේණියේ ඉංජිනේරුවන් 150කි. E 3 ශ්‍රේණියේ ඉංජිනේරුවන් 400කි. E 4 ශ්‍රේණියේ ඉංජිනේරුවන් 500කි. මේ ඉංජිනේරුවන් 1,160ක් වෙනුවෙන් මාසිකව වැය කළ යුතු මුදල රුපියල් 555,266,450.00ක් හෙවත් මිලියන 555.3කි. ජනතාවගේ විදුලි බිල ඉහළ දමන්නට සැරසෙන ආණ්ඩුවද මේ ගැන අවධානය යොමු කළ යුතුය.

මක්නිසාද විදුලිබල ඉංජිනේරුවන්ගේ මාෆියාවේ ඍජු බලපෑම එන්නේ ආණ්ඩුවකට වන නිසාය. ඒ හරහා අවසානයේ ජනතාව පීඩාවට පත් වේ. එහි දෝෂාරෝපණය එන්නේ ආණ්ඩුවටය. මේ දක්වා නිවාස දහස් ගණනක් සූර්ය බල පද්ධති ස්ථාපිත කර ජාතික විදුලි බල පද්ධතියට විදුලිය ලබා දීමට කටයුතු කරමින් සිටින නමුත් ඒවා ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ගැනීමේ දැඩි අලස බවක් පවතී.

ජාතික වදුලිබල පද්ධතියට සූර්ය බලය හෝ වෙනත් පුනර්ජනනීය බලශක්තිය ලබා දුනහොත් විදුලි බල මාෆියාකරුවන්ට තමන් දන්නා අඳුනන කොමිස් ලැබෙන පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට නොහැකි වනු ඇත. එම නිසා ඒ සියල්ල වළක්වා ගෙන රට විකුණා දැමීමට හෝ ඔවුහු කටයුතු කරති.

එමෙන්ම ජල විදුලිය නිපදවීමට බාධා එල්ල කරමින් නිකරුණේ ජලය මුදා හැරීමේ පළ විපාකය හෙට දිනයේ අපට විඳින්නට සිදු වනු ඇත.

ඩීසල් හා දැවි තෙල් ඇසුරින් විදුලිබලය නිපදවීමට වැය වන මුදල අතිවිශාලය.

උදාහරණයක් වශයෙන් මැයි මස මුලදී ඩීසල් මිල ඉහළ යාමට පෙර උතුරු ජනනී විදුලි බලාගාරයෙන් විදුලි ඒකකයක් නිපදවීමට වැය වූ මුදල රුපියල් 65.52කි. කැලණිතිස්ස GT 7 තාප බලාගාරයෙන් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 137.60ක් වැය වේ. එමෙන්ම කැලණිතිස්ස frame VGT තාප බලාගාරයෙන් විදුලි ඒකකයක් නිපදවීමට වැය වූ මුදල රුපියල් 182.80කි. විදුලි ඉංජනේරුවන් කටයුතු කරන්නේ රට අඳුරේ තබන්නට හදන්නේ මේ බව නොදැනද? එමෙන්ම ජලය මුදා හැරි කඩාකප්පල්කාරීන් කටයුතු කෙළේ මේ බව නොදැනද?

 

 

Comments