ආර්ථික ගැටලු ගැන ප්‍රශ්න 5ක් | සිළුමිණ

ආර්ථික ගැටලු ගැන ප්‍රශ්න 5ක්

 වගකිවයුතු අය  වගකීම් බාර අරගෙන විසඳුම් සොයන්න අවශ්‍යයි

1 ඇත්ත වශයෙන් වෙළෙඳපොළ හිඟයක් ඇතිවෙන්නේ නිෂ්පාදනයේ හිඟයක් ඇති වුණු අවස්ථාවලදීයි. මෙහිදී ගැටලුව මෙරටේ සහල් කොච්චර තොග තියනවාද කොතරම් කාලයකට සහල් ප්‍රමාණවත් වෙනවාද අතිරික්තයක් තියෙනවාද නැද්ද කියලා කිසිවෙක් දන්නේ නැහැ. හිඟයක් ගැන කිව්වාම පාරිභෝගිකයෝ කලබල වෙනවා. හැම වෙලාවෙම මාකට් එක හැසිරෙන්නේ ඉල්ලුම සහ සැපැයුම මතයි. කිසිම රජයේ ආයතනයක හෝ වෙනත් තැනකට නිවැරදි තොරතුරු තියනවාද කියලා අපි දන්නේ නැහැ. පෞද්ගලික වෙළෙදුන් සතුව, ප්‍රධාන වශයෙන් රජය සතුවන සහල් තොග පිළිබඳ කිසිදු තොරතුරක් නැහැ. මේ නිර්මාණය වෙලා තියෙන්නේ ඒ හරහා ඇති වෙලා තියෙන අර්බුදයයි. මේ පිළිබඳ එක් එක් මතවාද කියලා වැඩක් නැහැ. ඒනිසා ලොකු ගැටලුවක් සියලු දේවල් සම්බන්ධයෙන් තියනවා. ඉල්ලුම අනුව සැපැයුමක් තියෙන්න ඕන. ඇත්ත වශයෙන්ම පොහොර ගැටලුව නිසා පසුගිය යල මහ කන්නවල නිෂ්පාදන අඩුවුණා, සත්‍ය කතාව එයයි. ඒ වගකීම ගන්න අවශ්‍ය වෙන්නේ තීන්දු තීරණ ගත්ත අයයි. සහල් හිඟයක් ඇතිවෙලා තියෙනවා. එය කළමනාකරණය කරන්න පිටරටින් ගේන්න අවශ්‍යයි. රජයේ සැලසුම්වල තියෙන අසමර්ථකමයි මෙහි ගැටලුවට මුල. අවුරුද්ද පුරා කන්න සහල්, එළවළු, පලතුරු තිබුණා. යෙදවුම් අඩු වුණ නිසා නිෂ්පාදනය නැති වුණා. වගකිව යුතු අය වගකීම් බාර අරගෙන විසඳුම් සොයන්න අවශ්‍යයි.

 

2 අපේ ආර්ථිකය අද ඉතාමත් නරක තැනකයි තියෙන්නේ. ආර්ථිකය පිළිබඳ කතා කළහොත් මේ වසරේත් ඍණ ආර්ථිකයක් කරා ගමන් කරනවා. එක්පැත්තකින් නිර්යාත කරන ප්‍රමාණය ආයාත කරන ප්‍රමාණය අවශ්‍ය කරන මුදල්වලට වඩා අඩුයි. ඒ කියන්නේ අපනයනික ආදායම ආනයනිකවලට වඩා අඩු වුණාම විශාල අර්බුදයක් නිර්මාණය වෙනවා. ආනයනය කරන ප්‍රමාණයට වැය වෙන පිරිවැය වැඩියි. ඒ නිසා මේ ක්‍රමවේද වෙනස් කරන්න ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි. මේ පිළිබඳ ප්‍රමාණික දැනුම් ඇති අය මේ සඳහා ගතයුතු පියවර සහ මොන අංශවලද ප්‍රතිසංස්කරණයන් ඇති විය යුත්තේ යන්න පිළිබඳ අපි සොයා බැලිය යුතුයි. පුළුල් ආර්ථික සැලසුම් මාර්ගයක් අවශ්‍යයි. එසේ නොමැතිව මෙයට පිළිතුරක් සොයන්න අපිට බැහැ.

 

3 ඇත්ත වශයෙන්ම පසුගිය කාලය පුරා ම ජල විදුලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබුණා. දැනටමත් කුඩා ජල විදුලි බලාගාර ගණනාවක් තියෙනවා. නිවෙස්වලට සෝලා තාක්ෂණය පාවිච්චි කිරීමට අවකාශ ලබාදිය යුතුයි. මෙය අවුරුදු ගාණක් සැලසුම් කරනවා පමණයි. රජයක ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් විට කඹ ඇඳීමක් නැතිව එය යම් ආයතනයක් විසින් ක්‍රියාත්මක නොකරන්නේ නම් කුමක්ද කියලා රජය තීරණය කරන්න අවශ්‍යයි. මේ වැනි දේවල් පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ප්‍රතිපත්තිමය තීන්දු ගතයුතු වන්නේ රජයයි; රජය ගතයුතු පියවරයන් ආයතනවල නිලධාරීන්ට පවරලා ප්‍රතිඵලයක් ගන්න බැහැ. ඒ තීන්දු ක්‍රියාවට නඟන්නේ නැතිනම් කරන්නේ මොකක්ද කියන දේ සම්බන්ධයෙන් රජය මැදිහත් විය යුතුයි. මේ දේශපාලනීකරණ වූ ආයතනවල ව්‍යුහාත්මක වෙනසකට යා යුතුමයි. නිලධාරීන්ට ඕන විදිහට ආයතන ගෙනියන්න දිලා ආණ්ඩුවක් බලාගෙන ඉඳලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ.

 

4 රටේ අර්බුද රැසක් නිර්මාණය වෙලා ති‍ෙයනවා. රුපියලට සාපේක්ෂව ඩොලරය වැඩිවෙලා තෙල්මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ අනුව ලංකාවට ආනයනයක කරන සෑම භාණ්ඩයකම මිල ඉහළ ගිහින් තියෙනවා. ලංකාවේ තෙල් මිල ගෑස්මිල වැඩිවෙලා තියෙනවා. තෙල්මිල නිසා ප්‍රවාහනය ගාස්තු වැඩිවෙලා තියෙනවා. ඒ හරහා ප්‍රවාහනය වන සියලුු භාණ්ඩ මිල ඉහළ යනවා. ගෑස්මිල තිරිඟුපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව ආහාර ද්‍රව්‍ය මිල වැඩිවෙලා තියෙනවා. මේ නිසා විශාල උද්ධමනකාරී ප්‍රවේගයක් අපේ රටේ ති‍ෙයනවා. ලෝකයේ අනෙක් රටවලට සාපෙක්ෂව දරුණු තත්ත්වයක් අපේ රටේ තියෙනවා. නිෂ්චිත ආහාර මල්ලක් නිශ්චිත මුදලකට පුද්ගලයන්ට ලබා දීමේ ක්‍රමවේදයක් හදන්න අවශ්‍යයි. යම්කිසි ප්‍රමාණයක් එවැනි සමාජයේ පහළ අදායම් ලබන පිරිසට ලැබෙන ආකාරයට සකස් කළ යුතුයි. එසේ නැතුව වෙනත් විකල්ප නැහැ.

 

5 වසර දහයක් පහළොවක් තිස්සේ මේ ගැන කතා කරනවා පමණයි. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. නමුත් එය වෙලා නැහැ. මේ ගැන මහජනතාව සහ අවශ්‍ය පාර්ශ්ව සහ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න අවශ්‍යයි. මේවා ධනෝපායන මාර්ගයෙන් මේ ගැන තීරණයන් ගත යුතුයි. ගුවන් තොටුපොළ වරාය වැනි ආයතන ප්‍රධාන ආදායම් මාර්ග උපයන තැන් බවට පත් කරගත යුතුයි; මේ දේවල් වෙනස් කළ යුතුයි. විදුලි බල මණ්ඩලය වැනි තැන් කොහොමද අලාභ නොවන තත්ත්වයට පත් කරන්නෙ කියලා නව ක්‍රමවේදයන්,කළමනාකරණ ක්‍රමවේදයන් හඳුන්වා දෙන්න අවශ්‍යයි. ජනතාවගේ බදුමුදලින් අලාභ වහන තත්ත්වයකට පත් කිරීම වැරදියි. අද වෙලා තියෙන්නේ එවැනි තත්ත්වයක්. මේ රටේ ආර්ථික කළමනාකරණය කිරීමේදී වෙනස් තැනකට අපි යායුතුයි. එසේ නොකළහොත් විශාල පිරිසකට රැකියා නැති වෙලා ඒ රටට බරක් වෙන තත්ත්වයකට පත්වෙනවා. ජනතාවට අසහනයක් ඇතිවිය හැකියි. ඊට පෙර ගතයුතු ක්‍රියාමාර්ග ගත යුතුයි. සේවකයන් සහ ආයතන ද ආරක්ෂා කළ යුතුයි. එවැනි වෙනසකට ජනතාව හෝ සේවකයන් විරුද්ධ වෙයි කියලා මම හිතන්නේ නැහැ;. ඒ ක්‍රියාමාර්ග කුමක්ද උපාය මාර්ග කුමක්ද කියලා රජය තීන්දු කළ යුතුයි. කතා කරකර ඉන්න වෙලාවක් නොවෙයි; අපි ක්‍රියාත්මක විය යුතු තැනක ඉන්නේ.

 

ඛේදවාචකයෙන්  ගැලවෙන්න සක්‍රීිය  වැඩපිළිවෙළක් ඕනෑ

1 එයට හේතුව ඉතා පැහැදිලි පොහොර වල්නාශක පිටරටින් එන බීජ වර්ග තහනම් කළා. කාබනික පොහොර ගොවි තැනකට රට සහ ගොවියා හුරු කරනවා කිව්වා. ඒ සම්පූර්ණ ගොවිතැනම අසාර්ථක වුණා. ගොවියෝ වගා කරන්නේ කොහොමද; දැන් සියලු දේවල් වගේම හාල්ටිකත් පිට රටින් ගෙන්වන තත්ත්වයට වැටුණා. පොහොර සහ වල් නාශක ගෙන්වීමට වෙනදට වඩා කිහිප ගුණයක් දැන් වැය කරන්න වෙලා තියෙනවා; රටින් ගේන හාල්වලට. එමෙන්ම රටට ඩොලර් එන කුරුදු, තේ, රබර් වගාව සම්පූර්ණයෙන්ම අඩාළ වෙලා ඒ ක්ෂේත්‍රත් කඩා වැටිලා. ඩීසල් ප්‍රශ්නය නිසා කර්මාන්ත කඩා වැටිලා. බිත්තර කුකුල්මස්, ඉස්සෝ මාළු හැමදෙයක් ම ඇණ හිටලා තියෙන්නේ. වගා කරන්න වී ටික හාල් ටික ප්‍රවාහනය කරන්න වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා සියලු දේවල් ඇණ හිටලා තියෙන්නේ. ප්‍රවාහන ප්‍රශ්නය නිසා තියෙන එළවළු, සහල් මිලත් ඉහළ ගිහින්.

 

2 ඇත්තටම ජනතාවට බොරු පොරොන්දු දෙන්න හොඳ නැහැ. රටේ වාහන පනස් හතර ලක්ෂයකට තෙල් දෙන්න බැරි බව කියන්න අවශ්‍යයි. රටේ විදුලිය 64 ලක්ෂයකට දෙන්න බැහැ. හැබැයි මේ අත්‍යවශ්‍ය සේවා හා ජනතා කණ්ඩායම් ආරක්ෂා කරගන්න අපි සැලසුමක් ඇතිකර ගන්න ඕන. එසේ නොවන්න ආර්ථිකය ශීඝ්‍රයෙන් හැකිළෙනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැකියා නැතුව පාරට වැටෙනවා. ඒ වගේම දස දහස් ගාණක් ව්‍යාපාරිකයෝ බංකොලොත් වෙනවා. ඊළඟට දසලක්ෂ සංඛ්‍යාත පිරිස කුසගින්නට ලක්වෙනවා. දරුවෝ, වැඩිහිටියෝ, මව්වරු අදටත් බඩගින්නේ ඉන්නවා. මේ ඛේදවාචකයෙන් ගලවගන්න සක්‍රිය වැඩපිළිවෙළක් හා සැලසුමක් අවශ්‍යයි. කවර ක්ෂේත්‍රවලටද ප්‍රමුඛත්වයෙන් යුතුව තෙල් ලබාදිය යුත්තේ, කවර ක්ෂෙත්‍ර වලටත් ප්‍රමුඛතත්වයෙන් යුතුව විදුලිය ලබාදිය යුත්තේ, කවර ක්ෂේත්‍රවලින්ද අපනයන ක්ෂේත්‍රය දිරිගන්වල ඩොලර් සොයාගත යුත්තේ කියලා වැඩපිළිවෙළක් හැදෙන්න ඕනෙ. අයාලේ හැමදේම කරන්න ගිහින් භයානක ඛේදවාචකයකට රට යොමු කරලා තියෙනවා. රටේ මොකුත් අද වැඩක් කෙ‍ෙරන්නේ නැහැ. රටට මුකුත් වැඩක් වෙන්නෙත් නැහැ. රට තුළ අභ්‍යන්තර දෙයක්වත් සිදුවන්නේ නැහැ. ආර්ථිකය සියයට සෘණ හතකින් අඩුවෙයි කියලා හිතුවත්; මම හිතන්නෙ ඒ වගේ කිහිප ගුණයකින් අඩුවෙයි කියලා.

 

3අනිවාර්යෙන්ම දැනට තියෙන තත්ත්වය යටතේ ලොකු ආයතනවලට සහ ඉහළ ඝනයේ විදුලි පරිභෝජනයන්ට තමන්ගේම වූ විදුලි ප්‍රභව සොයාගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම සූර්ය බලය මුලික වශයෙන් වැදගත් වෙනවා. එයට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය රජය අමාරුවෙන් හෝ ලබාදෙන්න ඕන. ලබාදීලා ඒගොල්ලන් ස්වයං විදුලි ජනක බවට පරිවර්තනය කරන්න ඕන. දැනට ගොඩනැඟීමට ආරම්භ කර නීතීමය ප්‍රශ්න නිසා අඩක් වැඩ කර තියෙන සියලුම පුනර්ජනනීය ප්‍රභව ඉක්මනින් මේ රටේ විදුලි පද්ධතියට එකතු කරන්න ඕන.

 

4 මේ ආණ්ඩුව සහ ජනාධිපති ඇත්ත වශයෙන්ම වැඩ පටන් ගන්න ඕන මෝඩ උපදේශකවරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරලයි. මේ රටේ ලක්ෂ 220 ක්‌ මිනිස්සුන්ව බඩගින්නේ තිබ්බේ ඒ අයයි. හැබැයි ගැටලුව තියෙන්නේ දැන් ඒවාට කතාකරලා වැඩක් නැහැ. සියල්ල වෙලා ඉවරයි. ඒ නිසා අඩුම තරමින් ගෙවතු විසි ලක්ෂයක්වත් ඇති කරන්න විධිමත් වැඩ පිළිවෙළකට අපි යායුතුයි. ඒ වගේම ගොවියාට බීජ දෙන්න පොහොර දෙන්න අවශ්‍ය වැඩ කටයුතු අපි ආරම්භ කරන්න ඕන. එය ඉතාමත් අත්‍යවශ්‍යයි. අපේ ප්‍රමුඛතාව වෙන්න ඕන මේ අහාර අහේනියෙන් ගැලවෙන එක. බෙහෙත්වලට අපිට ඉන්දියාවෙන් හා ලෝක බැංකුවෙන් ලැබුණු මුදල් විධිමත්ව වියදම් කරනවා නම් එය ප්‍රමාණවත් වෙනවා. ඒ නිසා අපේ ඊළඟ ඉලක්කය බීජ ගෙනල්ලා ජනතාවගේ ප්‍රශ්නය විසඳන්න කටයුතු කිරීමයි. දැනුත් මේ යල කන්නය ඉවරයි. දැන් යුරියා ගෙනල්ල වැඩක් නැහැ. යුරියා තව පොඩි ප්‍රමාණයයි පාවිච්චි කරන්න අවශ්‍ය. ඊළඟ මහ කන්නයටවත් යුරියා සහ අනෙකුත් අවශ්‍ය දේ ලබාදිය යුතුයි.

 

5 මූලිකව රාජ්‍ය ආයතන කළමනාකරණ විගණනයකට ලක් කරන්න ඕන. අනවශ්‍ය ආයතන ප්‍රමාණයක් තියෙනවා; ඒවා අපි එක ක්ෂේත්‍රයකට එකයි කියල සැලසුම් කළ යුතුයි. උදාහරණයකට පොල් සංවර්ධනයට තියෙනවා ආයතන තුනක්. ඉංජිනේරු සේවා සඳහා තියෙනවා ආයතන පහක්. ඒවා ඔක්කොම එක ක්ෂේත්‍රයකට එකයි කියන සංකල්පය ඇති කළ යුතුයි. මේ ආයතන එකතු කළ යුතුයි; සේවකයන් ඉවත් නොකර. ඊට පස්සේ අපිට පුළුවන් ඒ කළමනාකරණ ප්‍රශ්නය විසඳන්න. පාඩු ලබන ඒවා අතරින් ප්‍රධාන එක තමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම. එය අනිවාර්යෙන්ම ආයෝජකයකුට පවරන්න ක්‍රමවේදයක් සකස් කරන්න අවශ්‍යයි.

 

මේ අර්බුදය  පවතින ක්‍රමය මඟින්ම නිර්මාණය වූවක් අධි පරිභෝජන  අර්බුදයක්

1 මෙය හඳුන්වන්නේ අපදා ධනවාදී තත්ත්වයක් ලෙසයි. මෙය ධනවාදය ආපදාවට ලක්වුණ අවස්ථාවක්. පවතින මෙම ක්‍රමය අර්බුදයකට ගිය අවස්ථාවක්. එවැනි අවස්ථාවක සාමාන්‍ය ජනතාව ඉන්නේ ඉතාමත් බියට පත්වෙලා. මුලින්ම ඇමතිවරු අනවශ්‍ය කතා නොකියා ඉන්න ඕන. ජනතාවට නිතර අත්‍යවශ්‍ය ආහාර විශේෂයෙන් සහල් වැනි දේවල් නැහැ කියලා කියන්නේ පාලකයෝම තමයි. පුංචි දෙකින් වුණත් ජනතාවගේ කුතුහලය ඇතිවෙනවා ඒ කුතුහලය විසින් විපත්තියක් විය හැකියි. අපදාවල ස්වභාවය සහ ධනවාදයේ ස්වභාවය එයයි. සාමාන්‍ය ජනවාදයේදී ඉල්ලුම සැපයුමට මිල තීරණය වුණාට අපදා ධනවාදයේදී කටකතාවලදී මිල තීරණය වෙන්නේ. හාල්වලට වෙලා තියෙන්නේ එයයි. කවුරු හරි කිව්වොතින් හාල් දැන් කොහෙවත් නැහැ කියලා ජනතාව ඒවෙලාවේ ඉදලා හාල් එකතු කරනවා. වී එකතු කරනවා. දැන් කවුරු හරි මේකට අනවශ්‍ය කතාවක් එකතු කළොත්; තව මේ තත්ත්වය පැතිරෙනවා. තෙල්වලටත් එහෙමයි වෙලා තියෙන්නේ. කොහෙට හරි බවුසරයක් ආවා, කිව්වොත් මිනිස්සු ඔක්කොම එතනට පෙළ ගැහෙනවා. පෝලිම ලොකු වෙනවා. ජනතාව කලබලයට පත්වෙනවා. එතකොට කළු කඩේ නිර්මාණය වෙනවා. හිතාමතාම භාණ්ඩ හිඟය ඇති කරනවා; ඇතිවෙනවා නෙවෙයි. අයුතු වාසි ලබා ගන්නවා. ඒ විදිහට පත්වූ සමාජයක් දැන් තියෙන්නේ. මිල පාලනයක් නැහැ; ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුවක් තිබුණට ඇමතිවරු ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා මුලින්ම කරන්න ඕන, ආණ්ඩුව දැනගන්න අවශ්‍යයි අනවශ්‍ය දේවල් කතා නොකර සිටීමට. ආණ්ඩුව මෙයට වග කියන්න ඕන. මේ පොහොර ටික නොදුන්න නිසා මේ ප්‍රශ්න නිර්මාණය වී තියෙන්නේ. මේ ගැටලුවලට උත්තරත් නැහැ. මේවා පවතින ක්‍රමය විසින්ම නිර්මාණය කරපු අර්බුදයි. මේ දේවල්වලට පාලකයන්ගේ මෝඩකම හා උද්ධච්ඡකම එකතු වුණාම ප්‍රශ්න දෙගුණ වෙනවා.

 

2මේ අර්බුදය නිර්මාණය වුණේ මූලික සාධක පහක් නිසා. මාසික අදායමට වඩා වියදම තුන් ගුණයක් වැඩියි. වෙළෙඳ ශේෂ අර්බුදය සහ ඩොලර් අර්බුදය වැනි කරුණු නිසා නිර්මාණය වන ණය අර්බුදය එමෙන්ම සාධාරණ බෙදී යාමක් නැතිකම, නිෂ්පාදනය කඩා වැටීම වැනි සාධක බලපානු ලබනවා.

ආණ්ඩුවේ ආදායම වැඩිවෙන්නෙත් සහ ඩොලර් අර්බුදයට පිළිතුරු ලැබෙන්නෙත් නිෂ්පාදනය වැඩිකිරීමෙන්. මේ අර්බුදයට විසඳුම වෙන්නෙත් ඔක්කොටම විසඳුම් හොයන්න වෙන්නෙත් නිෂ්පාදනය දියුණු කිරීමෙන්. නිෂ්පාදනය වැඩිවෙන්න ඕන, ඒවගේම වියදම පාලනය වෙන්න ඕන. ආර්ථිකය නැවත සකස් කරගන්න බැහැ; ජීවිතය නැවත සකස් කරගන්නේ නැතුව.

අපි 77 විවෘත ආර්ථිකයේ ඉඳන් මේ වෙනකම්ම අධි පරිභෝජනවාදී සංස්කෘතියකට හුරු කරපු මිනිස්සු. එතකොට එහි වැඩි පංගුව තියෙන්නේ ජනතාවගේ අතේ නෙවෙයි පාලකයන්ගේ අතේ.පාලකයෝ ජනතාව මෙහෙයවල තියෙන්නේ අධි පරිභෝජනයට. සාමාන්‍ය පරිභෝජන රටාවකට නෙවෙයි; එයින් ගැලවෙන්න ඕන. මේ අර්බුදය ඇත්තටම අධි පරිභෝජන අර්බුදයක්. හැබැයි එයට පාලකයන්ගෙන් ආදර්ශයක් නැහැ.

නිෂ්පාදනයේ අර්බුදයක් තියෙනවා. ඒවා වෙනස් වෙන්න ඕන. සාමාන්‍ය ජන ජීවිතයක් අවුල් කරගෙන ආර්ථිකයක් දියුණු කරන්න බැහැ. මිනිස්සු රැකියා කරන වෙලාව අඩු කරලා, කෑම බීම ටික වෙනස් කරලා රටක් හදන්න බැහැ. දැන් ආණ්ඩුවේ උත්තරය මොකක්ද? කන ටික අඩු කරන්න. දෙවේලක් කන්න. ඇවිදින්නේ නැතුව ඉන්න. ලෙඩ වෙන්නේ නැතුව ඉන්න. එහෙම කොහොමද රටක් හදන්නේ. මේ තත්ත්වය විශේෂ තත්ත්වයක්.

 

3මේවා දැන් බොහොම සංකීර්ණ ගැටලු වෙලා තියෙන්නේ. ස්වභාව ධර්මයෙන්ම ලැබුණ විකල්ප බලශක්ති තියෙන රටක් අපේ රට. ලෝකේ වෙන රටකට නැති දේවල් අපිට තියෙනවා. අපිට ස්වාභාවිකවම සුළං ජලය සූර්ය වැනි හුඟාක් දේවල් තියෙනවා. අපිට ගෑස් නැති වුවත් ඉන්ධන නැති බව වුවත් මුහුදු රළ තියෙනවා. අපිට සුළං බල ශක්තිය හොඳට තියෙනවා.අපි සමකයේ පිහිටලා තියෙන නිසා සූර්යා හැමදාම ඉහළින් තියෙන රටක්. ඒ විශේෂ වාසිය අපිට තියෙනවා. ඊට පස්සේ අපිට ගොම ටික තියෙනවා, පොහොර ටික ගන්න. මේවායෙන් ප්‍රයෝජන ගත්තේ නැති රටක අපි ඉන්නේ. අපි වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගත්තොත් අපිට ජල විදුලිය ප්‍රශ්නයක් නෙවෙයි. අපි වනාන්තර කපපු නිසා ජල විදුලිය ප්‍රශ්නයක් වුණේ.

 

4මිල පාලනයක් අවශ්‍යයි. ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ ඒකට. ආණ්ඩුවක් නැතුව මිල පාලනය කරන්න බැහැ. දැන් ආණ්ඩුවක් නැහැ. ඉස්සෙල්ලම ජනතාව ආණ්ඩුවක් හදාගන්න ඕනෙ. ජනතාවට ආණ්ඩුවක් නැතුව මොකුත් කරන්න බැහැ.

 

5ඒ ආයතන පාඩු ලබන තත්ත්වයට පත් කළ දේශපාලනය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. ඒ දේශපාලනය තියාගෙන මේ දේවල්වලට පිළිතුරු සොයන්න බැහැ. දේශපාලනය ප්‍රතිවුහගත කිරීමෙන් පසුව බලන්න ඕන මේ ආයතන. ශුද්ධ පවිත්‍ර කරන්න ඕන කියලා. දේශපාලනඥයන්ට තීරණය කරන්න බැහැ. ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍ය ආකාරය දේශපාලඥයාට තීරණය කරන්න බැහැ. ඒ පිළිබඳ ප්‍රවීණත්වයක්‌ සහිත පළපුරුද්ද සහිත නිලධාරීන් මේ දේවල් තීරණය කරන්න ඕන. සමීක්ෂණයක් කරලා ඒ වාර්තා මතයි ඒ වෙනස්කම් කළ යුතු වන්නේ. වාර්තා දත්ත මත කළ යුතු දෙයක්. අපි නම් හිතන්නේ එහෙමයි.

 

 

 

Comments