එක්ව අර­ගල කර තනිව සිරගෙයි දුක් විඳින මාතර ලක්ෂාන්ගේ කතාව | සිළුමිණ

එක්ව අර­ගල කර තනිව සිරගෙයි දුක් විඳින මාතර ලක්ෂාන්ගේ කතාව

 විරෝ­ධ­තා­වයේ අව­ස්ථා­වක්
විරෝ­ධ­තා­වයේ අව­ස්ථා­වක්

න පීඩන ගැටලු ඇතිවද්දී එයට විසඳුම් සොයා ජනතාව අරගලවලට පිවිසෙති. ඒ නිවැරදි නායකත්වයක් හා මඟපෙන්වීමක් සහිතවය. එහෙත් මෙරට පැවති ඇතැම් අරගල නායකත්වයකින් තොරව සිදුකරනා අයුරු පසුගිය කාලයේදී දක්නට ලැබුණේ අරගලයේ අරමුණු නොදත් අයගේ ක්‍රියාවන් නිසා ඇතිවූ ජන පීඩාවන් ද සමඟය. නිසි නායකත්වයක් සහිත අරගල හරි මාවතක් ඔස්සේ අරමුණු කරා ළඟාවද්දී නිවැරදි නායකත්වයකින් තොර අරගල, ගැටලු රැසක් නිර්මාණයට මඟ පෑදුවේ ලොව පුරා කතාබහක් ද ඇති කරවමිනි.

 

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව පසුගිය අප්‍රේල් මස 19 වැනිදා රටපුරා ඇතිවූ ජන විරෝධතා විශේෂත්වයක් ගෙන තිබුණේ ඒ සඳහා එක්ව සිටි ඇතැම් පුද්ගලයෙන්ගේ ක්‍රියාකරකම් ද සමඟය. ඒ අතරින් මාතර නගර මධ්‍යයේ මහානාම පාලම මත මහා මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. එයට හේතුව එම විරෝධතාව නිවැරදි නායකත්වයකින් තොරව පැවති එය, ගැටලු රැසකට මඟ පෑදු හා දරු පවුලක් අඳුරට ඇද දැමූ අවස්ථාවක් වීමය.

ලක්ෂාන් හා දරු­වන් දෙදෙනා

පසුගිය අප්‍රේල් 19 වැනිදා මාතරදී පැවති විරෝධතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවතියද එහි ආදීනව භුක්ති විඳීමට සිදුවූයේ පුද්ගලයන් කිහිප දෙනකුට පමණක් වීම විශේෂත්වයකි. ඉන් ප්‍රධානතම ගැටලුවට මුහුණදෙන්න සිදුවූයේ මාතර, මැද්දවත්ත, ජනරජ මාවතේ අංක 1/11 ලිපිනයේ පදිංචිව සිටි විවාහක දෙදරු පියකු වූ එදිරිරත්න දුරගේ නෙරංජන ලක්ෂාන්ට ය. ඒ මහජන දේපළවලට අලාභහානි සිදු කළේය යන චෝදනාව මත වසර තුනහමාරක සිරදඬුවම් විඳීමට සිදුවීම නිසාය.

ලක්ෂාන්ට සිරදඬුවම් විඳීමට සිදුවීම ඔහුගේ රෝගී පියා, බිරිය, වයස අවුරුදු එකහමාරක් වූ පුතා හා වයස අවුරුදු පහක් වූ දියණිය කබලෙන් ලිපට ඇද දැමුවා සේ විය. එම පවුලේ සිටි එකම ආරක්ෂකයා ලක්ෂාන් වීම එයට ප්‍රධාන හේතුවයි.

වයස අවුරුදු පහේදී සිය මවගේ වෙන්වීම ලක්ෂාන්ට දරාගත නොහැකි වේදනාවක් මෙන්ම පාඩුවක් වුවද පියාගේ නොබිඳුණු ආදරය සහ රැකවරණය ලක්ෂාන් තුළ මහා ශක්තියක් ගොඩනඟන්නට සමත්ව තිබුණි. තම රැකියාවත් එකම පුතුගේ රැකවරණයත් පටලවා නොගත් ලක්ෂාන්ගේ පියා වූ ඊ. ඩී. ලක්ෂ්මන් ඒ සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කළේ අසීමිත කැපකිරීමක් කරමිනි. ඒ නිසාම ලක්ෂාන් තම පියාට බොහෝ සේ ආදරය කළේය.

මාතර රෝහණ මහා විද්‍යාලයේ අ.පො.ස. (සා.පෙළ) දක්වා අධ්‍යාපනය හැදෑරූ ලක්ෂාන් කුඩා කල සිට අති දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු විය. පාසල් කාලය හමාරකිරීමෙන් පසු ලක්ෂාන් ක්‍රීඩා සමාජවලට බැඳී තම දක්ෂතා උපරිමයෙන් පෙන්වමින් නමක් හදාගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ අනාගතය ශක්තිමත් කර ගන්නා රැකියා වරමක් ද හිමිවීමය. ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුණු ලක්ෂාන්ට එහි පාපන්දු කණ්ඩායමේ සාමාජිකයකු වන්නට අවස්ථාව ලැබිණි.

යුධ හමුදා කණ්ඩායමේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු ලෙස නමක් හදාගත් ලක්ෂාන්ට දික්වැල්ලේ හෂාරා මල්ෂානි හමුවන්නේ 2013 වසරේ අගෝස්තු මාසයේදීය. ඒ, දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ සල්පිල් භුමියේදීය. පළමු හමුවීමෙන් පසු ආදරවන්තයන් බවට පත්වන ඔවුන් වසර දෙකක ප්‍රේම සබඳතාවකින් පසු එක වහලක් යටට එක්වන්නේ දහසක් බලාපොරොත්තු ද සමඟිනි. මවු සෙනෙහස අහිමිව සිටි ලක්ෂාන්ට මල්ෂානිගේ සෙනෙහස මහමෙරක් සේ දැණුණි. ඒ වන විටත් රෝගී තත්ත්වයට පත්ව සිටි ලක්ෂාන්ගේ පියාට ද මල්ෂානිගේ පැමිණීම මහා සහනයක් විය.

“අපි හඳුනාගත් දවසේ ඉඳලා හරි සතුටින් හිටියේ. ලක්ෂාන් මට හරි ආදරෙයි. තාත්තටත් හරි ආදරෙයි. අපි විවාහවෙලා වසර තුනකට පසු 2017දී අපිට දුවෙක් ලැබුණා. එයා ඒ ගැන හරි සතුටෙන් හිටියේ. පසුව තාත්තාගේ හෘද රෝගී තත්වය වැඩිවූ නිසා තාත්තා රැකබලාගන්න ළඟ ඉන්න ඕන නිසා එයා යුධ හමුදාවෙන් අයින්වෙලා ත්‍රිරෝද රථ රැකියාව පටන්ගත්තා. 2018 දී අපේම කියා ත්‍රිරෝද රථයක් ගත්තා. ඒ කල්බදු ක්‍රමය මතයි. මාසිකව එයට ගෙවන්න සිදුවුණා. ඒ එක්කම යුධ හමුදාවේ ඉන්න කාලේ ගේ හදන්න බැංකු ණයකුත් අරන් තිබුණා. මේ ඔක්කොම වාරික ගෙවූයේ ත්‍රීවිල් රක්ෂාවෙන්. ඒත් අපි සතුටින් සිටියා” ලක්ෂාන්ගේ බිරිය හසාරා ලක්ෂානි පැවසුවාය.

ප්‍රදේශයේ සියලු දෙනාට ඕනෑම අවශ්‍යතාවකදී හැකි සෑම උදවු උපකාරයක්ම සිදුකරමින් සිටි ලක්ෂාන්ගේ කැදැල්ලට පසුගිය 2020 වසරේදි තවත් පුතකු එක්වූයේ වගකීම් තව තවත් වැඩි කරමිනි. ඒ නිසාම ලක්ෂාන් වෙනදාටත් වඩා වැඩියෙන් කාලය යොදවා වැඩියෙන් යමක් උපයන්නට උත්සාහ ගනිමින් සිටියේය. එහෙත් හදිසියේ විටින් විට ඉන්ධන මිල ඉහළ යෑම එම උත්සාහයට ප්‍රබල බලපෑමක් එල්ල කළේ ලැබෙමින් තිබූ ආදායම ද පහතට වැටීම නිසාය.

“මහත්තයා 19 වැනිදා විරෝධතාවට සම්බන්ධවෙලා තියෙන්නෙ අහම්බෙන්. එයා උදේ පොල්හේනට විදේශිකයන් කණ්ඩායමක් අරගෙන හයර් එකක් ගියා. ඒ ගිහින් එනකොට තමයි බස් දාල පාලම වහල විරෝධය පටන් අරන් තියෙන්නේ. ඉතින් එතනින් මෙහාට එන්න බැරි නිසා සහ තිබුණු අමාරුකම් නිසා මහත්තයත් උද්ඝෝෂණයට එකතුවෙලා තියෙනවා. ඔය පොලීසියේ ත්‍රීවීල් එකට අපේ මහත්තයා ගැහුවා කියන කතාව බොරුවක්. කණ්ඩායමක් අතරින් මහත්තයා විතරක් තෝරාගත්තේ කොහොමද? ඒ ගහන වීඩියෝ තියෙනවා කියා පොලීසිය කිව්වහම ඒවා පෙන්නන්න කියා අපි කිව්වත් පොලීසිය අපිට ඒවා පෙන්නුවේ නෑ. ත්‍රීවීල් එක හදාගන්න පොඩි වන්දියක් ගෙවන්න වෙයි. ඊට පස්සේ ගෙදර යන්න පුළුවන් කියා වරද පිළිගන්න කිව්වා.

ඇප ලබාගෙ ඉක්මනට එන්න ඕන නිසා පොලීසිය කියපු දේට මහත්තයා කැමති වුණා. ඒත් දෙවියනේ මහත්තයා හිරේ ගියා. පොලීසිය අපි අමාරුවේ දැම්මා” ලක්ෂාන්ගේ බිරිය පැවසුවේ කඳුළු සලමිනි.

අප්‍රේල් 19 වැනි දින එකී සිදුවීම සිදු වුවද පොලිස් නිලධාරියකු නිවෙසට පැමිණ ලක්ෂාන්ට පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දෙන්නේ අප්‍රේල් 22 වැනිදාය. ඒ අනුව 23 වැනිදා පෙරවරුවේ මාතර මූලස්ථාන පොලීසියට යන ලක්ෂාන් පොලිස් අත්අඩංගුවට පත්වන අතර, එදින රාත්‍රියේ පොලීසියේ තබාගෙන ප්‍රශ්න කර 24 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

ලක්ෂාන් ජීවත් වූ නිවෙස

“සිදුවූ දේ ගැන අපි පොලීසියෙන් විමසද්දි පොලීසිය දිගින් දිගටම කීවේ කරදරයක් වෙන්නේ නෑ වන්දියක් ගෙවන්න වෙයි කියලයි. ඒ අනුව 25 වැනිදා නඩුව කැඳවා ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැරියා. මැයි මස හයවැනිදා වන්දි ගෙවන්න සූදානම්ව එන්න කීවා. ඒත් හයවැනිදා අපි නොසිතූ විදියට මහත්තයාට හිරේට යන්න වුණා. අපි හිතුවේ පොලීසිය කියපු විදියට ත්‍රීවීල් එකේ අලාභය විදියට කීයක්හරි ගෙවන්න වෙයි කියලයි. පොලීසිය අපිට උදවු කරන්නම් කිව්වා. අපි දෙපාරක්ම පොලීසියට රැවටුනා. අතේ තිබුණු සල්ලිත් නැතිකරගත්තා. කණ්ඩායමක් එක්ක පොදු දේකට අරගල කරලා මහත්තයාට විතරක් අවුරුදු තුනහමාරක් හිරේට යන්න සිදුවුණා. මේක පුදුම අසාධාරණයක්. අපේ උදවුවට උද්ඝෝෂකයන් කවුරුවත් ආවේ නෑ. අපි තනි වුණා. අන්ත අසරණ තත්වයට ඇද වැටුණා. දරුවො දෙන්නයි ලෙඩවෙච්ච තාත්තයි මම කොහොම බලාගන්නද?” මල්ෂානි පුංචි පුතු ද තුරුලු කරගෙන විමසුවේ හැඬුම අතරිනි.

ලක්ෂාන්ගේ සිඟිති දියණිය පියා තමා පෙරපාසල් ගෙනයෑමට එනතෙක් බලා සිටින්නීය. දරුවන් දෙදෙනා තාත්තා කෝ කියා විමසද්දී ඊට පිළිතුරක් දීමට නොහැකිව ලක්ෂානිගේ ළය නිරතුරු ගින්නෙන් දැවේ. හෘද රෝගයෙන් පෙ‍ෙළන පියා හදිසියේ යළි රෝගීවුවහොත් කුමක් කරන්නේද? යන්න තවත් බරපතළම ගැටලුවකි.

“මහත්තයාට සිදුවූ දේ මාතර ගෝඨාගෝගම කණ්ඩායමට දුරකථනයෙන් දැනුම් දුන්නත් මේ දක්වා කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. උද්ඝෝෂණයේ එකට හිටපු කවුරුවත් බලන්නේ නෑ. ත්‍රීවීල් එක ගන්න ගත්තු ණයයි, නිවාස ණයයි ඇරියස් වෙලා. මම ඒවා කොහොම ගෙවන්නද? දිනපතා මහත්තයා හොයාගන්නා සල්ලිවලින් තමයි අපි හැමදෙයක්ම කර ගත්තේ. අද හැම දෙයක්ම නෑ. සමහර අය අපිට උදවු කරනවා. ඒත් අවුරුදු තුනහමාරක් එහෙම එක දිගට උදවු කරන්න පුළුවන්ද? අද කාලයේ හැටියට එහෙම කරන්න පුළුවන්ද? අපිට සිදුවුණේ මහ අපරාධයක්. පොලීසිය කියපු නිසා වරද පිළිගත් නිසයි මෙහෙම වුණේ. අරගලයට ආපු ඔක්කොම මේ ගැන බලන්න ඕන. හොඳ නීතීඥ මහත්වරු යොදවලා මහත්තයා බේරාගන්න අපිට විදියක් නෑ. දේශපාලනඥයන් ලොකු වැරදි කළත් දවසින් දෙකෙන් එළියට එද්දි රටේ හැමෝම වෙනුවෙන් ඉදිරිපත් වූ මහත්තයාට විතරක් ඇයි මේ වගේ දඬුවමක්. මම ඉල්ලන්නේ අපිට සිදුවුන අසාධාරණයෙන් මහත්තයා බේරාගන්න අපිට උදවු කරන්න කියලයි. එහෙම නොවුනොත් රටේ මේ තියෙන තත්ත්වය අනුව අපිට ඉදිරියේදී මොනවා වෙයිද කියලා දෙවියො තමයි දන්නේ”

ලක්ෂාන්ගේ බිරිය මල්ෂානි කඳුළු සහ සුසුම් අතරින් එසේ කීවේ අවිනිශ්චිත අනාගතයක බියකරු බව දකිමිනි.

 

Comments