
මෙරට ජනයාගේ ප්‍රධානතම ආහාරය වන බත සපයන සහල් පිළිබඳ මේ දිනවල බොහෝ සේ කතා වෙති.
වී මෝල් හිමියන් චෝදනා කරන්නේ මේ දිනවල වී තොග මෙන්ම සහල් තොග ද මහා පරිමාණයෙන් ජාවාරම් සිදුවන බවයි. ඉකුත් ජුනි 3 වැනිදා කලෙක සිටම සිදුකර තිබූ සහල්, පොල්තෙල් ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක් දුරකථන සහ අන්තර්ජාලය ඔස්සේ කොළඹ ඇතුළු අවට පෙදෙස්වලට ඇණවුම් කර සිදු කළ මහා පරිමාණ ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට පෑලියගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයසගේ උපදෙස් මත පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් රංජිත් ලියනගේ ඇතුළු නිලධාරි කණ්ඩායම සමත් වූයේය. ඒ පැමිණිල්ල ලැබී පැය කිහිපයක් ඇතුළත් සැකකරුවන් තිදෙනකුම පොලිස් බාරයට ගනිමිනි.
ඉකුත් ජුනි මස පළමු වැනිදා කඩවත පොලිසියට සහල් ජාවාරමක් පිළිබඳ පැමිණිල්ලක් ලැබිණි. ලක්ෂ පහකට ඉහළ මූල්‍යමය වංචාවක් හෙයින් එම පැමිණිලිකරු කඩවත පොලිසිය විසින් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය වෙත යොමු කෙරිණි.
පැමිණිල්ල ඉදිරිපත් කෙරුණේ දඹදෙණියේ සහල් මෝල් ව්‍යාපාරිකයකු වන සංජීව චින්තක බාලසූරිය නමැත්තෙකුගෙනි.
“සර්...මගෙන් ඇණවුම් කරලා ගත්තු සහල් කිලෝ 10000කට පුද්ගලයෙක් මුදල් දීම පැහැර හැරියා. මැයි 20 වැනිදා සිට එක් පුද්ගලයෙක් කෝල් කරලා හාල් තොගයක් ඉල්ලුවා... ඔහු 24 වැනිදා සම්බා කිලෝ 6500ක් සහ නාඩු කිලෝ 3500ක් ඇණවුම් කළා... සහල් තොගය ලැබුණු සැණින් මුදල් ගෙවන බවටත් දැන්වූවා... කඩවත මහර දළුපිටිය ගබඩාවකට ගේන්න කිව්වේ... එතැන ලියන මහත්තයට සහල් බාර දෙන්න කීවා... මගේ ලොරියේ ආපු මනුස්සයා දළුපිටියේ ගබඩාවේ සහල් කිලෝ 3000ක් බාලා. එතැනට ආපු වෙනත් ලොරියකට ඉතුරු සහල් කිලෝ 7000 පටවලා... කාන්තාවක් එතැන ගබඩාවේ කැෂියර් ලෙස ඉඳලා තියෙන්නෙ... පස්සෙ ලොරියෙන්ම ලියන මහත්තයා නමැත්තා වත්තලට ගිහිල්ලා... ඔහු බැංකුවට ගිහින් එනකල් ඉන්න යැයි පවසා ලොරි රියැදුරාට එතැන ඉන්න කියලා. පැය ගණනක් ගියත් ඔහු ඇවිත් නැහැ.“
අනතුරුව ලොරි රියැදුරා විසින් සහල් තොගය ඇණවුම් කළ තැනැත්තාට දුරකථන ඇමැතුමක් ගැනිණි. ඔහු පවසා ඇත්තේ මුදල් පසුව එවන බවත් රියැදුරුට යන ලෙසටයි. එහෙත් රියැදුරා විසින් පොලිස් හදිසි ඇමැතුම් අංශය ඇමැතීය. අනතුරුව ඔහු පොලිස් ස්ථානයට ගිය සැණින් වෙනත් පුද්ගලයකු අත එකී මුදලාලි යැයි හැඳින්වූ තැනැත්තා විසින් රුපියල් 21,35,000ක චෙක්පත් එවීය. එහෙත් එම චෙක්පත් 2018 වසරේ අවලංගු කළ ගිණුමකට අදාළ චෙක්පතක් බව අදාළ බැංකුවෙන් හෙළි විණි.
එකී පැමිණිල්ල ලැබීමත් සමඟ එම වංචා සිදු කළ තැනැත්තාට එරෙහිව තවත් පැමිණිලි ගණනාවක්ම එම ඒකකය ලැබෙන්නට වූයේ රටේ විවිධ පළාත්වල පුද්ගලයන්ගෙනි.
අනතුරුව එම පැමිණිලි පිළිබඳ පෑලියගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඍජු අධීක්ෂණයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපුල් රංජිත් ඇතුළු කණ්ඩායම ඉකුත් 3 වැනිදා රාත්‍රියේ එකී වංචාකරු සොයා සූක්ෂ්ම විමර්ශනයක් ඇරැඹීය. විමර්ශනයෙන් පැය කිහිපයක් ගතවෙද්දී එනම් 3 වැනිදා රාත්‍රියේ සහල් තොගය පටවාගත් ලොරි රථය මහනුවර ප්‍රදේශයේ සැරිසරන බවට අනාවරණය කර ගැනිණි.
විමර්ශන නිලධාරීහු සැණින් නුවර බලා ගියහ. එහිදී කඩුගන්නාවේ වෙළෙඳසලක් පිළිබඳව අනාවරණය විණි. එකී වෙළෙඳසල් හිමියාගෙන් ප්‍රශ්න කරද්දී විමර්ශන නිලධාරින් විසින් අදාළ ලාංඡනය සහිත සහල් මලු වෙළෙඳසලේ ගබඩා කාමරයේ තිබී සොයා ගැනිණි. ඉන් පොලිස් නිලධාරින්ට ගම්‍ය වූයේ අදාළ සහල් තොග එම වෙළෙඳසලටද ලබාදී ඇති බවයි. අනතුරුව දිගින් දිගටම වෙළෙඳසල් හිමියාගෙන් ප්‍රශ්න කරද්දී පොලිසියට බොහෝ කරුණු අනාවරණය වූයේ,
එම වෙළෙඳසල් හිමියා 2006 වසරේ සිටම අදාළ සහල් වංචාව සිදුකළ පුද්ගලයා හඳුනාගෙන සිටි බවත් සහල්වලට අමතරව පොල්තෙල් ආදි නොයෙක් ද්‍රව්‍යද ඔහු වෙත එකී වංචනිකයා විසින් ලබාදී ඇති බවත් සැල වේ. විමර්ශන නිලධාරිහු වෙළෙඳසල් හිමියාගේ හෝඩුවාව අනුව රැකවල්ලා සිටියේ මුදල් ලබා ගැනීමට එකී පුද්ගලයන් පැමිණෙන තෙක්ය. ගතවූයේ නිමේෂයකි.
දළුපිටියේදී සිදුකළ සහල් වංචාවට අදාළ සැකකරුවන් දෙදෙනෙක් කුලී මෝටර් රථයකින් වෙළෙඳසලට පැමිණියේ කිසිවක් නොදැනයි. ඒ සමඟම දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත් වූයේ සහල් තොගයක් ලබාගෙන සිදුකළ වංචාව නිසාවෙනි.
පෑලියගොඩ විශේෂ විමර්ශන අංශයට පැමිණිල්ල ලැබී පැය හතරක් වැනි කෙටි කාලයකදී වංචාවට අදාළ සැකකරුවන් දෙදෙනා සමඟ වෙළෙඳසල් හිමියාද අත්අඩංගුවට ගැනීමට 3 වැනිදා රාත්‍රියේ සමත් වූයේ ලක්ෂ 35කට අධික සහල් ඇතුළු පොල්තෙල්, රටකජු වැනි වංචනික භාණ්ඩ සහ ලොරි රථ 3ක්ද සමඟිනි.
මෙකී ජාවාරම්කරු 43 හැවිරිදි මහනුවර, තලාතුඔය, කොලඹිස්සෙ පදිංචි චමින්ද හේමන්ත නමැත්තෙකි. එහෙත් ඔහු ජාවාරම සිදු කරනුයේ කොළඹ සහ අවට පෙදෙස් වන වත්තල, කඩවත ප්‍රදේශවල සැරිසරමිනි. අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ විමර්ශන නිලධාරින් විසින් එකී ජාවාරම්කරුවන් කලෙක සිටම සිදුකර ඇති ජාවාරමද අනාවරණය කරගැනීමට සමත් වූයේය. ප්‍රධාන සැකකරුගේ සහායකයා වූයේ මහනුවර, කටුගස්තොට පදිංචි 45 හැවිරිදි සුදත් රනිල් නමැත්තෙකි. මෙකී වංචාකරුවෝ ප්‍රථමයෙන් සහල් මෝල් හිමියන් ඇතුළු ව්‍යාපාරිකයන්ට දුරකථන ඔස්සේ අමතා විශ්වාසය තහවුරු කරගනිති. අනතුරුව එම ව්‍යාපාරිකයන්ගෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක් අත්පිට මුදලට මිලදී ගනී. එලෙස කිහිප වරක් මුදල් දී භාණ්ඩ මිලදී ගෙන ව්‍යාපාරිකයන් සමඟ කූට ලෙස විශ්වාසය ගොඩනඟා ගැනීමට සමත් වේ.
ඒ ඔස්සේ සහල් ව්‍යාපාරිකයන්ද එකවර සහල් කිලෝ හැට, හැත්තෑ දහස බැගින් මෙකී පුද්ගලයන් කියනා ස්ථානවලට යවන්නේ මුදල් පිළිබඳ එතරම් තැකීමක් නොකරමිනි. අනතුරුව මුදල් ගෙවීම් පැහැර හැරීමත් එකී වංචාවට හසුවූ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක්ම පසුගිය කාලය පුරාවටම නීතියේ සහාය පතමින් පොලිස් ස්ථාන කරා ගොස් ඇත. වංචනිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු වංචා කළ මුදල් ගෙවීමට නියම වෙද්දී එක් ව්‍යාපාරිකයකුට සිදුකළ වංචාව පියවීමට තවත් ව්‍යාපාරිකයකුගෙන් මෙලෙස සහල් ඇතුළු භාණ්ඩ තොගයක් ඇණවුම්කර තවත් වංචාවක් සිදු කරමින් පළමු ව්‍යාපාරිකයාගේ මුදල පියවා ඇත.
මෙය දීර්ඝ කාලයක සිට සිදුවී ඇති මහා පරිමාණ වංචාවක් බව පොලිසිය පවසයි. ඒ අනුව සැකකරුවන් විසින් ඉකුත් සමය තුළදී සිදුකළ වංචාවන්ට අදාළව ලැබුණු පැමිණිලිවලින් හෙළිවූ ආකාරයට ඔවුන් සිදුකළ වංචාවේ මූල්‍යමය වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවද විමර්ශන නිලධාරීහු පැවැසූහ.
මෙකී ජාවාරමට සහාය දුන් දළුපිටියේ ගබඩාවේ කැෂියර් ලෙස පෙනී සිටි කාන්තාව පිටස්තර පළාතක කතකි. ඇයට එක් ජාවාරමක ‘රංගනයක්‘ උදෙසා රුපියල් පනස් දහසක පමණ මුදලක් ගෙවා තිබුණාය.
අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඇතුළු කඩුගන්නාවේ වෙළෙඳසල් හිමියා පසුගිය හයවැනිදා මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වෙළෙඳසල් හිමියාට ඇප ලැබෙද්දී වංචනිකයන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
වංචාවට සහාය දුන් කාන්තාව ඇතුළු තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව විමර්ශන නිලධාරීහු පවසති.
මෙකී ප්‍රධාන සැකකරුට එරෙහිව මෙවැනි වංචා සිදු කිරීම නිසා අධිකරණවලින් නිකුත් කළ වරෙන්තු හතක් පමණ තිබියදීත් ඔහු නිදැල්ලේ සැරිසැරීමත් ප්‍රශ්නාර්ථයකි.
මේ පිළිබඳ විමර්ශන කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්ගේ උපදෙස් මත පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපුල් රංජිත් ලියනගේ ඇතුළු උපපොලිස් පරීක්ෂකවරු වන සරත්, ලියනගේ, පොලිස් සැරයන් බණ්ඩාර හේරත්, මහේෂ් ඇතුළු නිලධාරීහු සිදු කළහ.
ඡායාරූප සහ පසුබිම් තොරතුරු
රාගම සමූහ - කේ.එස්. හැන්නදි