නිරිත දිශාවේ නිදන කාමරයෙන් ගෘහ මූලිකයා බලවත් වෙන හැටි | සිළුමිණ

නිරිත දිශාවේ නිදන කාමරයෙන් ගෘහ මූලිකයා බලවත් වෙන හැටි

වාස්තු ශාස්ත්‍රය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් නොමැති අය අතර දිශා කෙරෙහි ඇත්තේ නිවැරදි දැනුමක් නොවේ. බොහෝ අය ජ්‍යොතිර්වේදය වරදවා නොගැඹුරු ලෙස වටහා ගැනීමෙන් ඊශානය පොදුවේ ශුභ දිශාවක් යන අදහස වරදවා යොදා ගනිමින් ප්‍රධාන නිදන කාමරය හෙවත් ගෘහ මූලිකයාගේ නිදන කාමරය ඊශානයේ පිහිටුවීමට නිර්දේශ කරන අවස්ථා අප දැක ඇත. එසේ වුවත් මෙසේ ඊශානය යොදා ගැනීම නිසා දුර්වල පෞරුෂයකින් හෙබි, වගකීමක් දැරිය නොහැකි නාමික ගෘහ මූලිකයකු ගොඩනැඟීමේ අභාග්‍යයට සමස්ත පවුලටම මුහුණදීමට සිදු වනු නියතය.

එසේ වන්නේ ඇයි? 

සමස්ත නූතන වාස්තු විද්‍යාවේ පදනම බවටම පත්ව ඇති ශක්ති විශේෂ ගණනාවක් පවතී. මේවායෙන් ප්‍රධානතම ඒවා වන්නේ අන්තරීක්ෂ(cosmic) ශක්තිය, භූ (earth) ශක්තිය හා චුම්භක (magnetic) ශක්තිය ප්‍රධාන වන බව කිය යුතුයි. අන්තරීක්ෂ ශක්තිය ඊශාන දිශාවෙන් අප වෙත ගලා එන බවක් කියැවේ. එය අර්ධ සත්‍යයකි. නිවැරදිව කියන්නේ නම් සාපේක්ෂ සත්‍යයකි. මෙසේ ඊශානයෙන් අප වෙත කිසියම් ශක්ති විශේෂයක් ගලා ඒමක් අපට නිරීක්ෂණය කළ හැකි වන්නේ පොළොවේ සිදු වන චලන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන් මිස ඊශානයෙන් පිහිටි අන්තරීක්ෂ ශක්තිය ගලා එන ශක්ති ප්‍රභවයක විශේෂ පිහිටීමක් නිසා නොවේ. එසේ වුවත් සාමාන්‍ය ජනතාවට වටහා ගැනීමේ පහසුව පිණිස දැනට ඊශානයෙන් අන්තරීක්ෂ ශක්තිය ගලා එන්නේය යන අදහස පිළිගැනීම වාස්තු සිද්ධාන්ත ගොඩනැඟීමෙහිලා අතිශයින් ඵලදායී වන බව මෙහිලා අවධාරණය කළ යුතු වෙයි.

එසේම “භූ ශක්තිය ලෙස පොළොවෙන් ඉහළට නිකුත් වන ශක්ති විශේෂයක් පැවතීම අප විස්තර කරන්නේ කෙසේද?” හා “එවැනි ශක්තියක් නිකුත් වීමෙන් පොළෝ ගැබෙහි එසේ පවත්නා ශක්තිය ක්ෂය නොවන්නේ ඇයි?” වැනි ප්‍රශ්නවලට ද අප විසඳුම් ඉදිරිපත් කළ යුතුයි. එසේ නොකරනතාක් වාස්තු විද්‍යාව විද්‍යාවක් නොව මිථ්‍යාවක් යැයි ප්‍රකාශ කරන්නනට නිසි ප්‍රතිචාරයක් දැක්වීමට තරම් හැකියාවක් කිසිවිට ගොඩනොනැඟෙනු ඇත.

ඒ අනුව භූ ශක්තිය යනු අන්තරීක්ෂ ශක්තියේම වෙනත් ස්වරූපයක්ම පමණක් බව කීමෙන් යම් අයකු විමතියක් පළ කළ හැකියි. එහෙත් සැබෑව නම් එයයි. වසර ලක්ෂ ගණනක් තිස්සේ අප වෙත (සාපේක්ෂව) ගලා එන අන්තරීක්ෂ ශක්තියෙන් පොළොව සංතෘප්ත (saturate) වූ විට හෙවත් පොළොවට දරාගත හැකි උපරිම ශක්තිය ලද විට සිදුවන්නේ, පොළොවේ එසේ ඇතිවන අමතර ශක්තිය මෙසේ ඉවතට යෑමයි. එසේ ඉවතට යන ශක්තිය අපි භූ ශක්තිය ලෙස විශේෂයෙන් නම් කර ඇත්තෙමු. 

මෙසේ වටහා ගැනීමෙන් චුම්භක ශක්තියේ අපට ඇති බලපෑම නම් පැහැදිලි කර ගැනීම අපට අපහසු නොවේ. එයට හේතුව පාසල් සමයේ පවා කාන්දම් බලය පිළිබඳ අප ඉගෙනගෙන ඇති බැවිනි. ඒ අනුව පොළොවේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා ඇති රේඛාවන් ඔස්සේ මෙකී චුම්භක බලය ක්‍රියාත්මක වන බව අප විසින් වටහා ගත යුතු වේ. එසේම අපගේ ශරීරයේ බොහෝ ක්‍රියාකාරිත්වයන් (විශේෂයෙන් ස්නායු ක්‍රියාකාරිත්වය) උදෙසා මෙකී චුම්භක බලපෑමක් ඇති බව පෙන්වා දී ඇත.

නූතන බටහිර විද්‍යාවෙන් නැවතත් අපි නූතන වාස්තු විද්‍යාව වෙත පිවිසෙමු. අප පෙර කී අන්තරීක්ෂ ශක්තිය ඊශානයෙන් ඇතුළු වී නිරිත දිශාව දක්වා නිවසේ මධ්‍යය හරහා ගමන් කරන බව දැන් කාහටත් වටහා ගැනීම අපහසු නැත. මෙසේ හෙයින් ඊශානයෙන් ගලා ආ ශක්ති ධාරාව ගබඩා වන්නේ නිරිත දිශාවෙහිය. කෙමෙන් කෙමෙන් මෙසේ ගබඩා වන ශක්තියෙන් ඊශානය පිරී යනුයේ පසුවය. මේ නිසා යම් ගෘහයක අභ්‍යන්තරයේ ඇති ශක්තිය (ශක්ති තීව්‍රතාව -intensity) වැඩි වන්නේ ඊශානයේ නොව නිරිතේය. මෙසේ නිරිතේ ගබඩා වන අන්තරීක්ෂ ශක්තියෙන් වැඩි ප්‍රයෝජනයක් ගැනීමට නම් ඒ අනුව ගෘහ මූලිකයා රැඳී සිටිය යුතු වන්නේ නිරිත දිශාවේ මිස ඊශාන දිශාවේ නොවේ. එබැවින් ප්‍රධාන නිදන කාමරය පිහිටුවිය යුත්තේ නිරිතෙහි බව ඉතා පැහැදිලිය. මෙහිදී ප්‍රධාන නිදන කාමරය යනු නාමික ගෘහ මූලිකයා නොව කුටුම්භයේ බර දරන ඒ වෙනුයෙන් කැපවන පුද්ගලයායි. විටෙක ඔහු පවුලේ පියා නොව දරුවකු වුව විය හැකියි. මෙහිදී නිර්ණායකය වන්නේ පවුලේ පවත්නා සාමාජිකත්වයේ ස්වභාවය නොව ඔහු පවුලේ නිරූපණය කරන භූමිකාවයි. 

මෙහිදී අවධානයට ලක් කළ යුතු අනෙක් වැදගත්ම කරුණ වන්නේ ප්‍රධාන නිදන කාමරයේ වුවත් නිදාගැනීමේදී හිස දකුණට දැමිය යුතු වීමයි. එය පැහැදිලි කිරීමටත් භූ (පොළොවේ) චුම්භක ක්‍රියාකාරීත්වය අපට යොදා ගත හැකියි. (මෙහිදී සමාන චුම්භක අග්‍ර විකර්ෂණය වීම පිළිබඳ භෞතික විද්‍යාවේ එන සිද්ධාන්තය අපට යොදා ගැනීම අපහසු නොවේ.) නොඑසේව උතුරට හිස දමා නිදා ගැනීමෙන් බරපතළ ස්නායු ආබාධ හා ශීර්ෂ රෝග ආදී බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදු විය හැකියි. උතුරට හිස දැමීම කළ යුතු එකම අවස්ථාව වන්නේ නිශ්චිතව මරණාසන්න රෝගියකු පමණි. එවිට රෝගියාගේ ස්නායු ක්‍රියාකාරිත්වය දුර්වල වීමෙන් මරණයේ වේදනාව අඩුවෙන් දැනීමට පුළුවන. මෙහිදී “මහා පරිනිබ්බාණ සූත්‍රයේ” අනන්ද හිමියනට පිරිනිවන පිණිස සයනය හිස උතුරට දමා පිහිටුවීමට කරන නිර්දේශය අපගේ මතකයට එයි.

ප්‍රියන්ත දයාරත්න 
සිවිල් ඉංජිනේරු, විද්‍යාත්මක වාස්තු පර්යේෂණ 
ආයතනයේ ප්‍රධාන පර්යේෂක

Comments