මන්ත්‍රි අතු­කෝ­රළ ඝාතක සැක­ක­රු­වන් කොටු කළ සී අයි ඩී මෙහෙ­යුම | සිළුමිණ

මන්ත්‍රි අතු­කෝ­රළ ඝාතක සැක­ක­රු­වන් කොටු කළ සී අයි ඩී මෙහෙ­යුම

 

මැයි මාසයේ 9 වැනිදා රට පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා කිසිවකුට තවමත් අමතක කළ නොහැකිය. ගාලු මුවදොරින් පටන්ගත් ප්‍රචණ්ඩත්වය රට පුරා පැතිර යන්නේ නිවාස දේපොළ යාන වාහන ගිනි ජාලාවන්ට මැදි කරමිනි. මේ ව්‍යසනකාරී සිඳුවීම්වලදී මිය පරලොව ගිය ගණන දහයකි. හාරසිය පනහකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. සිදු වූ දේපොල වටිනාකම රුපියල් කෝටි ගණනකි. ඒවායේ නියම ඇස්තමේන්තු තවමත් නැත.

මැයි නවය දා මුළු රටම ඇවිළෙද්දී සිදු වූ අති අමානුෂික සිදුවීම වූයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන ඇමති ආරක්ෂක අංශයේ සැරයන් ජයන්ත ගුණවර්ධන නිට්ටඹුව නගරයේදී ඉතා සාහසික ලෙස ඝාතනය කිරීමයි. මේ සිද්ධියේදී වෙඩි පහරකින් බරපතළ තුවාල ලැබූ ඉහළ ගමගේ හර්ෂ නදිෂාන් ජයවීර නමැති ව්‍යපාරිකයකු ද ජීවිතක්ෂයට පත්විය.

මන්ත්‍රී අතුකෝරළ ඔහුගේ ඇමති ආරක්ෂක සැරයන්වරයා සමඟ නිට්ටඹුව නගරයේ සුඛෝපභෝගී ජීප් රථයෙන් ගමන් කරමින් සිටියදී එය වාහන තදබදයකට හසු වූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියාට මේ ඛේදනීය ඉරණමට මුහුණ දීමට සිදු වූයේ ඒ වනවිටත් කිසියම් සංවිධානාත්මක පිරිසක් නිට්ටඹුව නගරය ඔස්සේ නුවර පාරේ ගමන්කරමින් තිබුණු වාහන පරික්ෂාකරමින් ගාලු මුවදොර අරගලකරුවන්ට පහර දී පලායන පුද්ගලයන් ගැන සෙවිල්ලෙන් පසු වූ බැවිනි.

මන්ත්‍රී අතුකෝරළගේ සුඛෝපභෝගී ජීප් රථය අදාළ සංවිධානත්මක පිරිස විසින් නවතා පරික්ෂා කිරීමට තැත් කරද්දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. ඒ අතර සිටි ව්‍යාපාරික නදිෂාන් ජයවීර ජීවිතක්ෂයට පත් විය.

මේ සිද්ධියෙන් අනතුරුව තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා පලා යමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී සැරයන් ජයන්ත ගුණවර්ධන ඝාතනය කරනු ලබන්නේ ඉතා මිලේච්ඡ ලෙසටය.

නිට්ටඹුව මූලස්ථාන පොලිසිය සිදු කරන ලද විමර්ශන රහස් පොලිසියේ සංවිධානාත්මක අපරාධ සහ මිනිමැරුම් විමර්ශන ඒකකයට බාර දෙන්නේ ඉන් අනතුරුවය.

අදාළ ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තගේ උපදෙස් සහ මඟ පෙන්වීම අනුව පොලිස් කණ්ඩායමක් නිට්ටඹුවට ගොස් මේ ඝාතන ගැන විමර්ශන ආරම්භ කරන්නේ සිද්ධියෙන් දින දෙක තුනකට පමණ පසුවය. පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ, සැරයන් ජයන්ත ගුණවර්ධන සහ ව්‍යාපාරික නදිෂාන් ජයවීර ඝාතන සහ එදින නගරයේදී සිදු වූ සිදුවීම් ගැන විමර්ශනය කරන බව රහස් පොලිස් නිලධාරින් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන්නේ ඒ ගැන ප්‍රගතිය ද වාර්තා කරමිනි.

අපරාධය සිදු වූ ස්ථානය වේලාව ඒ අවස්ථාවට සහභාගී වූ පුද්ගලයන් ගැන වැදගත් තොරතුරු රැසක් මේ ගැන විමර්ශනය කරන රහස් පොලිසියේ සංවිධානාත්මක අපරාධ සහ මිනීමැරුම් විමර්ශන ඒකකයේ නිලධාරීන් සොයාගෙන තිබුණේ සතියකට ආසන්න කාලයක් ඇතුළත දීය. සී.සී.ටි.වි. කැමරා දර්ශන ද පුද්ගලයන්ගේ ප්‍රකාශ ද ඒ සඳහා උපයෝගි කැර ගැණිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකිර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි සැරයන් ජයන්ත ගුණවර්ධන සාහසිකයන් පිරිසගෙන් බේරි දිවි ගලවා ගැනීම සඳහා නිට්ටඹුව නගරයේ පදික වේදිකාව මතින් දිව එන ආකාරයත් ඒ පසු පසින් සංවිධානාත්මක පිරිස හඹා එන ආකාරය සහ මන්ත්‍රිවරයා සහ ආරක්ෂක නිලධාරියා සිය ජීවිත බේරා ගැනීම සඳහා නිට්ටඹුව නගරයේ පිහිටි නිහාල් ෆැෂන් ආයතනයට ඇතුළු වී එහි විදුලි සෝපානයට ප්‍රවිට්ඨවන ආකාරය සඳහන් සී.සී.ටි.වි. දර්ශන රහස් පොලිස් කණ්ඩායම ඒ වන විට සොයා ගෙන තිබිණි.

මන්ත්‍රිවරයා සහ ආරක්ෂක සැරයන් ඝාතනය ඉතා සාහසික අන්දමට සිදු කර ඇති බවද රහස් පොලිස් කණ්ඩායම හෙළි කරගන්නේ මේ දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ සිදු කරන ලද අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවට අනුවය.

වතුපිටිවල රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්නගේ වාර්තාවට අනුව මන්ත්‍රි ප්‍රේමකීර්ති අතුකෝරළ ඝාතනය කර තිබුණේ අධික ලෙස පහර දිමෙනි. එම පහරදීම් වලින් ඔහුගේ අස්ථි බිඳී රුධිරය වහනය වී තිබුණු අතර ඔහුගේ සිරුරේ බහුවිධ තුවාල රැසක් වූ බවද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් විය. මන්ත්‍රි අතුකෝරළගේ ආරක්ෂක සැරයන් අහංගම විතානගේ ජයන්ත ගුණවර්ධන මිය ගොස් ඇත්තේ ඔහුගේ පපු ප්‍රදේශයට එල්ල කරන ලද වෙඩි පහරක් පෙනහල්ල පසාරු කරගෙන ගමන් කිරීම නිසා සහ පහර දීමෙන් හිස් කබල කැඩී මොලයට රුධිරය වහනය වීමෙන් බවද වතුපිටිවල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්නගේ වාර්තාවේ සඳහන් විය.

විමර්ශන කණ්ඩායම් ඉන් අනතුරුව මේ ඝාතනවලට සම්බන්ධ පුද්ගලයන් සොයා සිදු කරන ලද පරික්ෂණ වලදී නිට්ටඹුවේ පදිංචි ධනුෂ්ක ලක්ෂාන් සහ රෝෂාන් නමැති පුද්ගලයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නේ ලැබුණු තොරතුරු සහ සාක්ෂි අනුවය. ඉන් අනතුරුව තවත් පුද්ගලයන් දෙදෙනකුද රහස් පොලිසියේ අත් අඩංගුවට පත්වන්නේ විමර්ශනවලදී ලද තොරතුරු වලට අනුවය. මැයි මාසයේ නව වැනිදා නිට්ටඹුව නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ඝාතන සම්බන්ධයෙන් ඒ දෙදෙනා අත්අඩංගුවට ගැණිනි.

රහස් පොලිසියේ විමර්ශන එසේ සිදු කරන අතරතුර නිට්ටඹුව නම්බාදළුව සහ පොල්ගහවෙල ප්‍රදේශවල පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් 22 හැවිරිදි තරුණයන් වෙති. අදාළ සිද්ධිය වන අවස්ථාවේදි මේ දෙදෙනා ඇඳ සිටි ඇඳුම් සහ අපරාධයට යොදා ගත් බවට සැක කරන පිහියක්ද සොයා ගැනීමට රහස් පොලිසියට හැකි විය.

මේ දෙදෙනාගෙන් එක් අයකු අබලි බඩු එකතු කරන වෙළෙඳසලක සේවකයෙකි. ඔහු තදින්ම මත් කුඩුවලට ඇබ්බැහි වූ අයෙකි.

මේ විමර්ශන මෙසේ සිදු කරගෙන යන අතරතුරදී අපරාධ විමර්ශකයන් විශේෂයෙන් සොයා බලන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ ආරක්ෂක නිලධාරියා වූ සැරයන් ජයන්ත ගුණවර්ධනගේ රාජකාරි පිස්තෝලය ගැනය එම පිස්තෝලය, දෙදෙනා ඝාතනය වීමත් සමග අස්ථාන ගත වී තිබිණි. රහස් පොලිස් විමර්ශන මේ පිස්තෝලය සොයා ගැනීම සඳහා යොමු වූ අවස්ථාවේදී හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට පත්වන්නේ පිස්තෝලය ගැන තොරතුරු රැසක් අනාවරණය කරමිනි.

සැරයන්ගෙන් පැහැරගත් රාජකාරි පිස්තෝලය සහ මැගසිනය මේ සැකකරු විසින් නිට්ටඹුව මුලස්ථාන පොලිසියට නුදුරු ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීමට රහස් පොලිස් නිලධරයන්ට හැකි විය.

සැකකාර හිටපු සෙබළා කුලියාපිටිය වළබඩගම පදිංචිකරුවෙකි.

නිට්ටඹුවේ සුපිරි රෙදි වෙළෙඳ සලක සේවකයකු සහ නිට්ටඹුවේ පදිංචි තරුණයකු රහස් පොලිස් අත්අඩංගුවට ඉන් අනතුරුව පත්වන්නේ සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වූ සාක්ෂිවලට අනුවය.

මන්ත්‍රි අතුකෝරළ සහ සැරයන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු රහස් පොලිසිය අත්අඩංගුවට ගන්නේ ඔය අතරය. විසිනව හැවිරිදි සැකකරු බස් රියදුරෙකි. රහස් පොලිසිය මේ ඝාතන ගැන විමර්ශන ආරම්භ කරනවාත් සමඟ ඔහු ප්‍රදේශය හැර පළා ගොස් සිටියේය.

මේ සැකකරු සිය පියාට අයත් බසයක රියැදුරු ලෙස සේවය කර ඇති බව විමර්ශන වලදී හෙළි විය.

ඉකුත් 9 වැනිදා නිට්ටඹුව නගරයේදී ඇති වූ කලහකාරී සිද්ධියේදී අතුකෝරළ මන්ත්‍රිවරයා ගමන් කළ සුඛෝපභෝගී වාහනය නවතා එය පරික්ෂාකර එහි ගමන් කළ මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා වාහනයෙන් බස්සවා ඇති බවට සැක කරන්නේ මේ සැකකරුය.

මේ පුද්ගලයා මන්ත්‍රි අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක සැරයන්වරයා වාහනයෙන් ඉවතට ගෙන සැරයන්වරයාට පොලු පහර එල්ල කර ඇතැයි සැකකෙරෙන අතර සැරයන් එම ප්‍රහාරයෙන් බිම ඇද වැටුණු පසු මන්ත්‍රි අතුකෝරළ මාර්ගයේ අයිනට ඇදගෙන ගොස් ඔහුගේ අතට පොලු පහර කිහිපයක්ම එල්ල කර ඇති බවට සැක කරන අතර එම සිද්ධිය වීඩියෝ දර්ශනවලින්ද තහවුරු වී ඇත.

මේ අතර මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළගේ ආරක්ෂක නිලධාරි සැරයන් ජයවර්ධනට ඔහුගේම රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තැබී යැයි කියන පුද්ගලයාද රහස් පොලිසියේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ සිදු කළ විමර්ශනවලදී ය. කොල්ලකරු පිස්තෝලය සන්තකයේ තබා ගැනීමද ඔහුට විරුද්ධ තවත් චෝදනාවකි.

මේ පුද්ගලයා මන්ත්‍රිවරයාට සහ ආරක්ෂක සැරයන්ට පහරදී සැරයන්ට වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක කරයි.

මේ සාහසික පිරිස මන්ත්‍රීවරයාට සහ ආරක්ෂක නිලධාරියාට පහර දීමට ප්‍රධාන හේතුව එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී එදින පැවැති ජනතා නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු රැස්වීමෙන් අනතුරුව එහි සිටි පිරිසක් ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දුන් සිද්ධියයි.

තමන් අරලිය ගහ මන්දිරයේ පැවැති රැස්වීමට සහභාගී නොවූ බවද පොල්හේන්ගොඩ මිතුරකු හමු වී යමින් සිටින බවද මන්ත්‍රි ප්‍රේමකිර්ති අතුකෝරළ සාහසිකයන්ට පවසා ඇතත් ඔවුන් එය විශ්වාස නොකර මන්ත්‍රිවරයාට සහ ආරක්ෂක නිලධාරීයාට පහරදී ඇති බව මේ වන විට හෙළි වී ඇත.

රහස් පොලිසියේ සංවිධානාත්මක අපරාධ සහ මිනිමැරුම් විමර්ශන ඒකකය සිදු කරන දීර්ඝ විමර්ශනයේදී මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 32 කි.

පුද්ගලික බස් රථ රියැදුරකු, අබලි භාණ්ඩ එකතු කරන වෙළෙඳසලක සේවකයකුද, ත්‍රිරෝද රථ රියැදුරන්, මත්ලෝලින්, ගරාජ් සේවකයෙක්, වඩු කාර්මිකයන්, ඇඳුම් කඩ සේවකයෙක්, හිටපු හමුදා සෙබළුන් සහ කිසිම වෘත්තියක නිරත නොවන පුද්ගලයන් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති. මූලික මහේස්ත්‍රාත් විභාගය පැවැත්වෙන්නේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදීය.

මේ අතර මේ ඝාතනවලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක නිලධාරියකුද රහස් පොලිසියේ අත්අඩංගුවට පත්වන්නේ පසුගිය 16 වැනිදාය. ඔහු නිට්ටඹුව එල්ලක්කල පදිංචි කරුවෙකි. මැයි නව වැනිදා රට පුරා සිදු වුණු ප්‍රචණ්ඩකාරි ක්‍රියා 859ක් සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවේ පසුවන පිරිස 2,814කි. ඉන් පුද්ගලයෝ 1,092කු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.

මේ සාහසික අපරාධ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර සංඝයාවහන්සේ, විශ්වවිද්‍යාල සිසුන්, මත්ලෝලින්, අපරාධකරුවන් , වරෙන්තුකරුවන්, ත්‍රිරෝද රථ රියැදුරන් සහ විවිධ වෘත්තීන්වල නිරත අය සිටිති.

 

Comments