
සමාජයක ශිෂ්ටත්වය තීන්දු කරන ලෝක සම්මත සංස්කෘතික නිර්ණායකයක් තිබේ. ඒ එම සමූහයේ දරුපැටවුන්ට සහ කාන්තාවන් විෂයෙහි සමාජය හැසිරෙන ස්වරූපය ය. අප ජීවත්වන්නේ මොන ජාතියේ රටකදැයි තේරුම් ගන්නට හැකි ඇඟ කිළිපොළා යන දත්ත සමුච්ඡයක් පසුගිය වසර තුළ ප්‍රකාශයට පත් විය. 2021 වසර තුළ දිනකට ළමා අපචාර 33ක් මේ රටෙන් වාර්තා වී තිබිණි.
එනම් පැයකට ළමා අපචාර එකකට වඩා වාර්තා වන රටකි. පසුගිය වසරේ මුල් දින 333 තුළ ජාතික ළමාරක්ෂණ අධිකාරියටට වාර්තා වූ අපචාර 10,713 න් සියයට 40ක් වයස අවරුදු 10ට අඩු කටේ කිරි සුවඳ නොගිය කිරි සප්පයන්ට සිදුවී තිබීණි.
මේ අපරාධය තිරිසන් භාවයෙන් ඔබ්බෙහි ඇති විකෘතියක් වූයේ සත්ව සමාජයක පවා ලිංගිකව මුහුකුරා නොගිය සත්ත්වයෙක් විෂයෙහි ලිංගික බලපෑම් එල්ල නොවීම පිළිබඳ සලකා බැලීමේ දී ය.
එහෙත් සමාජ ඛේදවාචකය වන්නේ මේ අපරාධය අපරාධ ලෙස ගෙන දූෂකයා නිශ්චිත දණ්ඩනය ට යොමු වීම ප්‍රතිශතයක් ලෙස අතිශය අල්ප වීමය. සමාජ අපවාදය, අපාචාරයට ලක් වූ නොදරුවන් මේ ක්‍රමය තුළ උසාවිවලදී යළි යළිත් මානසිකව අපාචාරයට ලක් වීම, නඩුවක් ඇසීමට ගත වන දීර්ඝ කාලය හේතුවෙන් වින්දිතයා කෙරෙහි ඇතිවන පීඩනය දරා ගත නොහැකි වීම වැනි සමාජීය කාරණා ගණනාවක් මේ තත්ත්වයට හේතු වී ඇත.
එහෙත් සමස්ත සමාජ පීඩනය දරාගෙන තමන්ගේ ළමා අවදිය කුඩු පට්ටම් කර දමා යෞවනය අපායක් කරමින් පියකු නොමැති දරුවෙක් සමඟ ලෝකයේ තනි කර දැමූ සල්ලාලයෙක් නීතිය හමුවට රැගෙන විත් වසර 18කට පසු යුක්තිය ඉටු කරගැනීමට සමත් වූ යුවතියක් පිළිබඳ පසුගිය දා වාර්තා වුණේය. ඒ කොළඹ මහාධිකරණ අංක 05නි.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරිපිට අවසන් වරට නඩුව විභාග වෙමින් පැවතිණි. අවුරුදු 12ක් වයස කටේ කිරි සුවඳ නොගිය ළදැරියක්ව සිටිය දී 27 වියැති විවාහකයකුගේ රැවටීමට නතුව යළි යළිත් දූෂණය වී මහා ජීවිත ව්‍යසනයකට පත්වුණු දැරියකට 18 වසකරට පසු සාධාරණය ඉටු කරමින් නඩුවේ තීන්දුව ප්‍රකාශ විය.
නඩුවේ තීන්දුව ප්‍රකාශ වනවිට ඇය තිස් වයස් කාන්තාවකි. දූෂිතයා 45 හැවිරිදි දෙදරු පියෙක්ව සිටියේය.
පසුගිය මැයි 19 දා සිය තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ දූෂක සල්ලාලයාට වසර 45ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් පැනවීමට තීන්දු කළේය.
වසර 18කට පෙර එනම් 2004 වසරේදී දැරියට වූ අගතියට රුපියල් ලක්ෂ නවයක වන්දියක් හා රුපියල් 75,000ක දඩයක් ගෙවන ලෙස ද එම දඩය නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිරදඬුවම් දිය යුතු බව ද විනිසුරුවරයා තීන්දු කළේය.
අපරාධ අතීතය
වර්ෂය 2004 ය. මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි මධ්‍යම පාන්තික පවුලකි. ගැහැනු දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලේ දෙවැනියා ඇය ය. මව පාසල් ගුරුවරියකි. ඒ වනවිට මේ ළපටි දියණිය හත වසරේ අධ්‍යාපනය ලබිමින් සිටියාය.
මේ ජීවිතය තොරමින් සිටින අවදිය ය. නිවෙසට යාබද බෝඩිමකට තරුණයෙක් පැමිණෙන්නේය. වඩාත් ආකර්ෂණීයව උනන්දු සහගතව දැරිය සම්බන්ධව හැසිරෙන මේ පුද්ගලයා දැරියට ප්‍රේමාරධනාවක් කරන්නේ ඇයගේ සිතට වඩාත් සමීප වූ පසුවය. ඒ වනවිට විචිත්‍ර ලෝකයක් මවමින් ඇයට ලිපි ලියමින් ඇය තමන් වෙත සමීප කරගන්නා මේ පුද්ගලයා තමන් හඳුන්වා ගන්නේ සහන් නමිනි. ලෝකයේ දිග පළල නොදත් මේ දැරිය මෙම පුද්ගලයාට ආශක්ත වන්නේය.
සැබෑ අනන්‍යතාව සඟවා දැරිය සමඟ සම්බන්ධතාව ගොඩනඟා ගන්නා පුද්ගලයා ඒ වනවිටත් විසිහත් හැවිරිදි වියේ පසු වූ විවාහකයෙකි. තමන් මේ පොලඹවා ගන්නේ පාසලේ හත වසරේ අධ්‍යාපනය ලබන 12 හැවිරිදි දැරියක බව දැන දැන මේ සල්ලාල තරුණයා සම්පූර්ණ ව්‍යාජ චිත්‍රයක් මවමින් දැරිය ඇගේ මාපියන්ගෙන් අපහරණය කරන්නේය. අනතුරුව ඇයව දූෂණය කරන්නේය. හත වසරේ අධ්‍යාපනය ලබන මේ දැරිය එතැන් සිට මේ බෝඩිංකාර සල්ලාලයාගේ කාම පිපාසය සන්සිඳුවන ගොදුරක් බවට පත්වන්නේය.
දැරියව නිරන්තර දූෂණයට ලක් කරන මෙම පුද්ගලයා අප්‍රමාදව විදේශගත වන්නේය. වසර කීපයකට පසු ඔහු යළි රටට එනවිට දැරිය අවුරුදු 15ක් පසුකර සිටින නව යෞවනියකි. විදේශයේ සිට පැමිණෙන ඔහු යළිත් ඇය සොයා එන්නේය.
තමන්ගේ විවාහයේ ස්වරූපය සහ සියලු අනන්‍යතා සඟවා දිගින් දිගටම ඇයව ලිංගිකව අපහරණය කරන්නේය. මේ වනවිට ඇයගේ ලෝකයේ ඇය දකින ගැලවුම්කරුවා මේ පුද්ගලයාය. ඇය සිය නිවෙසත් නොමග යවා විශාල මුදල් ප්‍රමාණයක් මෙන්ම තමන්ට තම මාපියන් දුන් රන් භාණ්ඩ ද මෙම පුද්ගලයා වෙත ලබා දෙන්නේය.
දැරිය ගැබ් ගන්නේ මේ අතරය. තම ළමා කාලයත් නව යෞවනයත් වැනසූ තැනැත්තා විවාහකයෙක් බවත් සියලු අනන්‍යතා තමාගෙන් සැඟවූ බොරු කාරයෙක් බවත් ඇය දැනගන්නේ සිදුවිය යුතු සියල්ල සිදුවී හමාර වූ පසුය.
අවුරුදු 34ක් තිස්සේ දරුවන්ගේ ණැනස පාදමින් සිටිනා සමාජ ආදර්ශයක් වූ ගුරුවරියකගේ දියණියක් මේ තත්ත්වයට පත්වීම තත්ත්වය තවත් බරපතළය. ඒ කුණු රසය වින්දනය කිරීමේ ආශ්වාදය රටේ ලෝකයේ මිනිස්සු ඕනෑවටත් අරගෙන තිබිණි. පියකු නැති දරුවෙක් හා ජීවත් වීමට තරුණියකට සිදුවීම තරම් අභාග්‍යයක් මේ වැනි වටපිටාවක නැත. එහෙත් ඇය දරුවා විනාශ කළේ නැත. කිරිකැටියාව හදා ගත්තාය. නිවෙස තුළත් නිවෙස පිටතත් ඇයට අපායකි. ඇයගේ මවුපියන්ට එල්ල වූ සමාජ අපවාදය අසීමිත විය. මේ දැරියගේ ළමා කාලය මෙන්ම අනාගත යෞවනයත් විනාශ කළ තැනැත්තා ඇගේ මවුපියන්ටත් බලපෑම් කරන්නේ මේ අතරය.
අධිකරණයට
සිද්ධිය අධිකරණයට යන්නේ මේ පසුබිමේ දීය. ඒ, වර්ෂ 2019 දීය. ඒ වනවිට දැරිය දූෂණය වී වසර 15ක් ගතවී තිබිණි. ඇගේ වයස ඒ වනවිට අවුරුදු 27ක් වූයේය. ඇය සිටියේ තරුණ කාලයේය. ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණයක් යටතේ චූදිතට අධි චෝදනා තුනකින් යුතුව නඩු අංක HC513/2019 යටතේ නඩුව ගොනු විණි.
සිද්ධිය වී වසර 16කට පසු සාක්ෂියක් දෙන්නට පැමිණ ඇය ඇයට සිදුවූ විනාශය සාක්ෂි සහිතව උසාවිය හමුවේ කියන්නීය. මේ පුද්ගලයා තමන් සමඟ ප්‍රේම සම්බන්ධය ගොඩනගා ගත් ආකාරය ගැන අධිකරණයට කරුණු දක්වන්නීය. තමන්ට සිදුවිය යුතු සියල්ල සිදු වූ බව උසාවියට පවසා සිටි ඇය ඒ වනවිට ඇය විවාහයක් කරගත නොහැකි තත්ත්වයක පසුවූ බවය. තම දරුවා ජීවත්වන තැනවත් හෙළි කිරීමට ඇය අකමැති වන්නීය.
නඩු තීන්දුවේදී සැලකුණු කරුණු
ඇගේ මව ඒ වනවිට ජීවිතයේ සැඳෑ සමය ගතකරන ජ්‍යෙෂ්ඨ පුරවැසි කාන්තාවකි. පුරා 34 වසරක් ගුරුවෘත්තියේ යෙදුණු ඇය උසාවිය ඉදිරියේ හඬා වැටෙමින් කියන්නී වස ටිකක් කා මිය යනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොතිබුණු අවස්ථා පසුකර පැමිණි බවය.
පැමිණිල්ලේ නීතිඥවරු කරුණු ගෙනහැර පෑවේ ස්ථාවර නෛතික පදනමක් මත පවතිමිනි. බාල වයස්කාර දැරියක සමඟ දැරියගේ කැමැත්තෙන් සංසර්ගයේ යෙදීමත් අපරාධයකි. 1995 අංක 22 දරන දණ්ඩනීති සංග්‍රහයේ සංශෝධිත පනතේ 364(2)(ඉ) වගන්තිය ප්‍රකාරව එවැනි වැරදි ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයන්ය. දැරියක් බාල වයස්කාරියක් වූ විට එම සංසර්ගය අවස්ථාව සඳහා වින්දිත තැනැත්තියගේ කැමැත්ත අකමැත්ත කිසිසේත් අදාළ වන්නේ නැත.
දූෂණය සිදුවන විට දැරියගේ වයස අවුරුදු 12කි. ඇයට සමාජය සහ පුද්ගලයන් පිළිබඳ සංකීර්ණ තත්ත්වාබෝධයක් නැත. එමෙන්ම මේ දූෂණය සිදුවන විට දැරිය සහ පුද්ගලයාගේ වයස් පරතරය දෙගුණයකට වැඩි බව අධිකරණය නිරීක්ෂණය කළේය. එසේනම් මෙම පුද්ගලයා මේ අපරාධය කරන්නේ දරුවාගේ අනාගතයට විය හැකි සියලුම හානි දැනගෙන බව අධිකරණයේ නිගමනය විය.
චූදිත වෙනුවෙන් සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ තර්කය වූයේ මේ සිද්ධිය සිදුවන්නේ මීට වසර 18කට පෙර බවය. දැන් චූදිතයාගේ වයස අවුරුදු 45ක් බව කීවේය. මේ වනවිට මේ චූදිතයාට 16 හැවිරිදි සහ 13 හැවිරිදි දරුවන් දෙදෙනෙක් සිටින බවත් පවුලේ එකම ආදායම් උපදවන්නා ඔහු බැවින් දඬුවම් නියම කරද්දී ඒ ගැන සලකා බලන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. චූදිතට පෙර වැරදි නැති බව ද පෙන්වා දුන්නේය.
එහෙත් මෙම තැනැත්තා ළමා දූෂණය සිදු කරන්නේත්, එම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය අඛණ්ඩව කරගෙන යන්නේත් විවාහකයෙක් වශයෙන් සිටිමින් බව වින්දිත පාර්ශ්වයේ නීතිඥවරු පෙන්වා දුන්හ. එම අපරාධය පවත්වා ගන්නා අතරම ඇතිවන ඔහුගේ විවාහ ජීවිතයේ සංසිද්ධීන් මෙම අපරාධය විෂයෙහි සහනයක් ලබා ගැනීමට බලපෑ සාධක නොවන බව ද ඔවුහු කීහ.
මේ තත්ත්ව දීර්ඝ ලෙස විශ්ලේෂණය කළ කොළඹ අංක 05 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සිය තීන්දුවට අදාළ සියලු සාධනීය නෛතික කරුණු සම්පිණ්ඩනය කරමින් ප්‍රකාශ කළේ සිද්ධිය වී වසර 18ක් ගතවීම යන කරුණ අබිබවා වරදෙහි බරපතළ ස්වරූපයත්, වින්දිත පාර්ශ්වයට සිදු වූ අගතියත් මතු වී ඇති බවය; චූදිත විවාහ වීම සහ දරුවන්ගේ වයස අවුරුදු 13 හා 16 වීම යන කරුණ සලකා බලා චූදිතට ලිහිල්ව කටයුතු කළහොත් එය සමස්ත කාන්තා සංහතියටම කරන අගතියක් බවය.
වින්දිත තැනැත්තිය අගතියට පත් වන විට ඇය ළමයෙකි. ළමයකුගේ ඉහළ බාරකාරිත්වය පැවරෙන්නේ අධිකරණයටය. අධිකරණයට ඒ භාරධූර වගකීම පසෙක ලා කටයුතු කළ නොහැකි බව විනිසුරුවරයා කීවේය.
අධිකරණයට දිය හැකි උපරිම දණ්ඩනය කෙරෙහි අවධානය ලක් කළද චුදිතට පෙර වැරදි නොතිබීම මෙන්ම 45ක් වූ ඔහුගේ වයස සැලකිල්ලට ගෙන උපරිම දඬුවම් නියම නොකරන බවත් විනිසුරුවරයා පැවසුවේය.
ඒ අනුව ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය යටතේ මෙම පුද්ගලයාට එල්ල වුණු අධිචෝදනා තුනටම ඔහු වරදකරු කළ විනිසුරුවරයා එක් එක් චෝදනාවට වසර 15 බැගින් වසර 45ක් බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කළේය. එහෙත් සිද්ධිය සිදුවී වසර 15ක් ගතවී ඇති නිසාත් වින්දිත තැනැත්තිය නඩු කාලය අතරතුරදී වෙනත් විවාහයකට ගොස් සිටින නිසාත් යන කරුණු සලකා බලා චෝදනා තුනටම අදාළ ප්‍රධාන සිර දඬුවම එක්වර ගෙවී යා යුතු බව නියෝග කළේය.
එමෙන්ම වරද තුනටම අදාළව රුපියල් ලක්ෂ 03 බැගින් ලක්ෂ 09ක වන්දියක් සහ රුපියල් හැත්තෑපන් දහසක දඩයක් වින්දිත තැනැත්තියට ගෙවීමට අධිකරණය නියම කළේය. එම දඩ මුදල් හෝ වන්දි නොගෙවන්නේ නම් එක් එක් වන්දියට හා දඩයට අදාළ ව වසරක සිර දඬුවමක් ද, එක්ව ගෙවා දැමීමට නියෝග කර වසර 15කට ලඝු කළ සිර දඬුවම වෙන් වෙන්ව ගෙවා දැමීමට ද නියෝග කළේය.
ළමා අපචාරක ස්ත්‍රී දූෂකයකුට ලබා දිය හැකි දණ්ඩනය පිළිබඳ සමාජාදර්ශයක් වූ මෙම නඩු තීන්දුව සම්බන්ධව මේ සමාජය බරපතළ ලෙස දැනුම්වත් විය යුතු බව අපි විශ්වාස කරමු. මක්නිසා ද යත් මුලින් කී ලෙසම අප ජීවත් වන්නේ සෑම දෙපැයකටම වරක් අඩුම තරමින් ළමා අපචාර තුනක්වත් සිදුවන සමාජයක බැවිනි.
ගැහැනියකට අතවරයක් නොවී කෝච්චියක බස් රථයකවත් යෑමට නොහැකි කාමාවේශ අශිෂ්ට අපරාධකරුවන් පිරුණ සමාජයක ඒ සල්ලාලයන්ගේ මදය ඉහට ගහන්නට පෙර සියොළඟ හිරි වට්ටන දණ්ඩනයක් සම්බන්ධ සන්නිවේදනයක් විය යුතු බැවිනි.
එමෙන්ම ළමා අපචාරයක් , ස්ත්‍රී දූෂණයක් සිදුවන විට අර්ධ ම්ලේච්ඡ සමාජයේ විස කතාවලට බියෙන් නිහඬව ඒ පීඩාව තමන්ම දරාගත යුතු නැති බව මේ සමාජයේ ගැහැනිය ද සිහි කර දිය යුතු බැවිනි. අපරාධකරුවා දූෂකයා මිස තමන් නොවන බව වින්දිත කාන්තාවන්ට කියා දිය යුතු බැවිනි.
මෙම නඩුවේ වින්දිත තරුණිය පසුගිය මැයි 19 දා නඩුවේ තීන්දුව පැමිණෙන විට විවාහකව සිටියාය. ඇය එම විවාහයෙන් එක් දරු මවක් වී ජීවිතය ආරම්භ කර තිබුණාය. අපව ආරක්ෂා කරගැනීමට නීතියක් තිබේ. ගැහැනියකට අවශ්‍ය වන්නේ ඒ නීතිය අබියසට යෑමට අවශ්‍ය පෞරුෂය ය. ඇය අපට එය කියා දුන්නාය.