
භාග්‍යවත් වූ තිලොවට තිලක වූ අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය නිවැරදිව පරිශීලනය කිරීමෙන් අපමණ පිහිට ලබා ගත හැකි සරල පුද පූජා විධි පිළිබඳ පින්වත් සිළුමිණ පාඨක ඔබ මනාව දැනුම්වත් කරන ලිපි මාලාවක ආරම්භක ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.
වාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරි නේපාලයේ ලුම්බිණි නුවර නේපාල - ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන්වහන්සේ (කොළඹගම පොඩි හාමුදුරුවෝ ) සමඟ සාකච්ඡා කොට සකස් කරන මෙම ලිපි මාලාව මේ විපත්තිදායක සමයේ ඔබට මහත් සැනසිල්ලක් ගෙන දෙනු ඇත.
“අප බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ කාල විපත්ති දේශ විපත්ති ආදී වශයෙන් අපට මුහුණ දීමට සිදුවන විවිධ විපත්ති පිළිබඳව මනාව සඳහන් වෙනවා.
මේ එවැනි විපත්තිදායක කාල වකවානුවක්. අප නොසිතූ නොපැතූ ආකාරයට මේ විපත්ති අප වෙත ළඟා වෙන්නේ. මිනිස් වර්ගයා ධර්මයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න මේ පීඩාකාරී තත්ත්වයන් අප සොයා එනවා. ලෝ සත වෙත පතල මහා කරුණාවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය හැර වෙනත් පිහිටක් පිළිසරණක් අපට නැහැ.
අද මම මේ ලිපි පෙළ ආරම්භ කරමින් මා අද පින්වත් සිළුමිණ පාඨක ඔබ වෙත කරුණාවෙන් ලබා දෙන්නේ අප බුදු පියාණන් වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේට මුහුණ දීමට සිදුවූ විවිධ අභියෝග, බාධක, විපත්ති අවස්ථා ජයග්‍රහණය කළ අවස්ථාවන් දැක්වෙන මහා ජයමංගල ගාථා නිතර භාවිතා කිරීමෙන් අපමණ පිහිට ලබා ගන්නා ආකාරය පිළිබඳවයි.
අපි යම් සුබ කටයුත්තක් ආරම්භයේ දී නව යුවළක් පෝරු මස්ථකාරූඪ කරලා චාරිත්‍රානුකූල විවාහයක් සිදු කරන අවස්ථාවලදී පමණක් භාවිත කරන ජයමංගල ගාථා එම බොහෝ අවස්ථාවලදීත් සම්පූර්ණයෙන්ම භාවිතා නොකර ගාථා තුනකට පමණක් සීමා කරමින් කාලය කළමනාකරණය කර ගන්නා අවස්ථා තමයි අපට නිතර දකින්නට ලැබෙන්නේ. නමුත් මේ ප්‍රබල මහානුභාව සම්පන්න ගාථා රත්නයන් අට සජ්ඣායනය කරන්න ගතවන ඉතා සුළු කාලය භක්තියෙන් විශ්වාසයෙන් සහ නිවැරදිව යොදාගෙන භාවිතයෙන් ඔබ නොසිතූ ආකාරයේ පිහිටක්, ආරක්ෂාවක් ඔබට ලබා ගත හැකි බව මා පවසන්නේ ඉන් අපමණ පිහිට ලබාදුන් අවස්ථා පිළිබඳ අත්දැකීම් සමඟයි.
ඒ නිසයි මේ ලිපි පෙළේ ආරම්භක ලිපිය තුළින් මහානුභාව සම්පන්න ජයමංගල ගාථා භාවිතයෙන් අපමණ පිහිට ලබා ගන්නා ආකාරය මේ විදිහට ඔබට ලබා දීමට අදහස් කළේ
මිනිසුන් විසින් කරන ලද අකුසල කර්මයන් විපාක දෙන මෙවැනි විපත්තිදායක අවස්ථාවලදී මහා බලවත් දෙවි දේවතාවුන්ට පවා මිනිසුන්ට පිහිට වෙන්න බැරිව යන අවස්ථා තියනවා.
තම තමන් විසින් සිදු කරගත් අතීත අකුසල සංස්කාරයන් තදංග වශයෙන් ඒ ඒ මොහොතට හෝ යටපත් කර ගන්න, එම විපාකවලින් අත්මිදිලා රැකවරණය ලබා ගන්න නම් තෙරුවන් කෙරෙහි ගෞරවය උපදවාගෙන ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මහා ගුණයන් සිහිපත් කිරීම හැර වෙනත් පිහිටක් අපට නැහැ.
මෙහෙම දිගින් දිගට කටයුතු කරන කොට මේ අකුසල් අහෝසි නොවුණත් යටපත් වෙනවා.
අන්න එවැනි අවස්ථාවලදී දෙවියන්ගේ සිත් පැහැදෙනවා.
දෙවියන්ගේ රැකවරණය අපට ලැබෙනවා.මේ ගැන අනවබෝධයෙන් කටයුතු කරන සමහර අය ධර්මය අමතක කරලා දෙවියන්ගේ පිහිට පතා නොයෙකුත් පුද පූජා දෙවියන් වෙනුවෙන් පවත්වනවා. භාරහාර වෙනවා. නමුත් පිහිටක් ලැබෙන්නෙ නැහැ. මොකද ඉන් දෙව් සිත් පැහැදෙන්නෙ නැහැ.
ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා ප්‍රමුඛ සම්‍යයක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ප්‍රිය කරනවා.
එම ධර්මය පරිහරණය කරන අය කෙරේ දෙව් සිත් පැහැදෙනවා. එසේ පැහැදෙන දෙවියන්ගේ පිහිට අපට ලැබෙනවා.
දෙවියන්ට අවශ්‍ය පූජා වට්ටි නොවේ, පින්. ඒ බව හොඳින් අවබෝධ කරගෙනයි අප පුද පූජා වත්පිළිවෙත් ඉටු කළ යුත්තේ.
පූජාව පවත්වන ආකාරය
අපි දැන් මහා බලගතු ජයමංගල ගාථා භාවිතයෙන් සරල පූජාවක් පවත්වන්නේ කොහොමද කියලා විමසා බලමු.
ඔබ දැනට ඔබේ නිවෙසේ, ව්‍යාපාරික ස්ථානයේ පවත්වාගෙන යන සුපුරුදු පුද පූජා විධි මේ පූජාව වෙනුවෙන් වෙනස් කළ යුතු නැහැ. කළ යුත්තේ එම පූජා විධිවලට ජයමංගල ගාථා එකතු කර ගැනීම පමණයි.
තිසරණ සහිත පංච ශීලය සමාදන් වෙලා තෙරුවන් වන්දනා කරලා ඔබ කරන සුපුරුදු පුද පූජාවල තබන මල් පහන්, සුවඳ දුම්, දැහැත්, ගිලන්පස, පැන්, ආහාර වැනි පූජාවන් අතරින් ඔබ දැනට පවත්වාගෙන යන පුද පූජා කරගෙන කරන්න. ඉන්පසු මේ මහානුභාව සම්පන්න ජයමංගල ගාථා රත්න අට එක් වතාවක් සජ්ඣායනය කරන්න.
ඔබගේ සියලු අපල උපද්‍රව, යක්ෂ, ප්‍රේත, අමනුෂ්‍ය ආදී පහත් පෙළේ බලවේගවලින් සිදුවන විපත් ආදී සියලු විපත් මඟහැරී යහපත සලසා දෙන ලෙස සත්‍ය ක්‍රියා කරන්න.
ශ්‍රී ලංකා ද්වීපයත් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා ප්‍රධාන සම්‍යයක් දෘෂ්ටික දෙවි දේවතාවුන්ට ගම්බාර, ප්‍රදේශ බාර, පළත් බාර දෙවි දේවතාවුන්ට පින් අනුමෝදන් කර පූජාව හමාර කරන්න.
මෙම පූජාව උදේ සවස දිනපතා කළ යුතුයි. ජයමංගල ගාථා මෙච්චර වාර ගණනක් කිව යුතුයි වැනි කොන්දේසි මේ සඳහා අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් වෙලාවට ඔබට පුළුවන් වාර ගණනක් මේ ගාථා සජ්ඣායනා කරමින් නිදහසේ සැනසිල්ලේ මේ පූජාව කරගෙන යන්න.
අධිෂ්ඨානයෙන් යුක්තව අඛණ්ඩව දිනපතා ටික දවසක් මෙම පූජාව කරගෙන යනකොට ඔබ නොසිතූ නොපැතූ ආකාරයට ඔබේ බොහෝ ප්‍රශ්න විසඳෙන ආකාරය ඔබටම දැක ගත හැකි වේවි.
තමන් වෙනුවෙන් භාවිතයේ දී තං තේජසා භවතු තේ ජයමංගලානී වෙනුවට තං තේජසා භවතු මේ ජයමංගලානී යනුවෙන් භාවිතා කිරීමට සැලකිලිමත් වන්න.
සකස් කළේ, සුනිල් පොරමඬල
වාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරි ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි
ජයමංගල ගාථා
බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං
ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං
දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
මාරාතිරේක මභියුජ් ජිත සබ්බ රත්තිං
ඝෝරම්පනාලවක මක්ඛ මථද්ධ යක්ඛං
ඛන්තී සුදන්ත විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං
ධාවග්ගි චක්‌ක මසනීව සුදාරුණන්තං
මෙත්තංබුසේක විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
උක් ඛිත්ත බග්ග මතිහත්ත සුදාරුනන්තං
ධාවං තියෝජන පථං ගුලිමාල වන්තං
ඉද්ධීහිසංඛත මනො ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
කත්වාන කට්‌ඨ මුදරං ඉව ගබ්භීනියා
චිඤ්චාය දුට්‌ඨ වචනං ජනකාය මඡ්ඣෙ
සන්තේන සෝම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
සච්චං විභාය මති සච්චක වාද කෙතුං
වාදාභිරොපිතමනං අති අන්ධභූතං
පඤ්ඤාපදීප ජලිතො ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
නන්දොපනන්ද භුජගං විබුධං මහිද්ධිං
පුත්තෙන ථෙර භුජගෙන දමාපයන්තෝ
ඉද්ධූප දෙස විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
දුග්ගාහ දිට්‌ඨ භුජගෙන සුදට්‌ඨ හත්ථං
බ්‍රහ්මං විසුද්ධි ජුති මිද්ධි බකාභිධානං
ඤාණා ගධෙන විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
ඒතා පි බුද්ධ ජය මංගල අට්ඨ ගාථා
යෝ වාචකෝ දිනදිනේ සරතෙ මතන්දී
හිත්‍වාන නේක විවිධානි-ඡුපද්දවානි
මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරෝ සපංඥෝ