රස ලොව රජ කළ රස­වතා නික්ම යයි | Page 2 | සිළුමිණ

රස ලොව රජ කළ රස­වතා නික්ම යයි

විශිෂ්ටතමයෙක් නික්ම ගොස්ය. යුගයක් රන්ජනය කළ පුරාවෘතයක් බඳු මේ මනුෂ්‍යයා සුද්දන්ගේ විස්කෝතුවල ලාංකේය රසය ලෝකයට ගෙන ගිය අපට සිටි ආදර්ශවත් ජීවමාන ව්‍යවසායකයන් අතළොස්සේ ප්‍රමුඛයෙකි. ලෝකයට කන්න දුන් මනුස්සයෙක් රටට කුසගින්නේ වේදනාව දැනෙන මොහොතක නික්ම යෑම දෛවෝපගතය.

 

මිනේක වික්‍රමසිංහ ගැන මේ සටහන තබන්නට සිදුවන්නේ ඒ අඳුරු සංවේදනා මැදය. CBL කිව්වාට අපේ අය ඒ තරම් දන්නේ නැත. කටවහරෙන් කියනවා නම් “මන්චී කොම්පැනියේ “ නිර්මාපකයා මේ විශිෂ්ට මිනිසාය. Ceylon Biscuits Limited (CBL) බිහි කර ලෝකයේ රටවල් 52කට ශ්‍රී ලංකේය අභිමානය සහිත සන්නාමයක් යටතේ බිස්කට් අපනයනය කිරීමේ ගෞරවනීය ව්‍යාපාරය බිහි කළේ ඔහුය. දේශීය වෙළෙඳපොළේ බිස්කට් වෙළඳාමේ සියයට 60ක භාරය ඔහුගේ සමාගම සතු විය. මේ කර්මාන්තය ආශ්‍රිතව පන් දහසක් පමණ රැකියාව කළහ.

සන්නාමයක් නිර්මාණය කිරීම අතිශය වෙහෙසකර කටයුත්තකි. ඒ සන්නාමය සියලු ප්‍රමිතිගත නිර්ණායක පූර්ණ කර අන්තර්ජාතික වෙළෙඳපොළට රැගෙනවිත් විදේශ විනියම ගෙන ඒම අතිශය සුවිශේෂී ප්‍රයාමයකි. මිනේක වික්‍රමසිංහ ජාතිය වෙනුවෙන් ඒ ව්‍යාපෘතිය සිදු කළේය.

මිනිසුන්ගේ සාර්ථකත්වයේ රහස සුදුසු කල සුදුසු තීන්දු ගැනීමය. වික්‍රමසිංහ එවැන්නෙකි. ඔහු පසුගිය 16 වැනිදා උදෑසන දිවි සැරියෙන් සමුගන්නා විට පිරුණු 86 වියැති ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි. විශ්‍රාම ජීවිතය සැහැල්ලුවෙන් වින්දනය කළ මිනිසෙකි. දැවැන්ත වෘක්ෂයක් බඳු මහා ව්‍යාපාරයක් ගොඩනඟා රටේම ප්‍රමුඛයා කර, ජාත්‍යාන්තරයට මං විවර කරදීමෙන් අනතුරුව ඔහු සිය අනුප්‍රාප්තිකයාට වගකීම් බාර දී විශ්‍රාම ගොස් තිබිණි. ඒ මීට හත් වසකරට පෙරය. වර්ෂ 2015 දී ය. මිනේක වික්‍රමසිංහගේ ජීවන වෘතය විමසිය යුතු වන්නේ එය මේ මොහොතේ මේ සමාජය කියවිය යුතුම කතාවක් බැවිනි.

මිනේක වික්‍රමසිංහ සිය පවුලේ අය සමඟ

මිනේක වික්‍රමසිංහ Ceylon Biscuits Limited (CBL) ව ගොඩනඟනු ලැබුවේ ඔහුගේ පවුලේ සම්ප්‍රදායික ව්‍යාපාර පදනම මතය. මිනේකගේ පියා නීතිඥවරයෙක්. ඔහු සයිමන් ආතර් වික්‍රමසිංහය. සයිමන් ආතර් වික්‍රමසිංහ වෙනස් ආකාරයක ව්‍යාපාරික ඥානයක් සහිත පැණවතෙකි. සාම්ප්‍රදායික නීතිඥවරයෙක් ලෙස වෘත්තියේ යෙදෙනවා වෙනුවට ඔහු ඒ වනවිට ආර්ථිකව අස්ථාවරව පැවති විස්කෝතු ෆැක්ටරියක් වූ කොලොන්නාවේ විලියම් බිස්කට් ආයතනය හිමිකරුගෙන් මිලදී ගත්තේය. අනතුරුව සේවකයින් 10 දෙනෙක් සහිතව Williams Confectionary Limited ලෙස වර්ෂ 1939 දී සිය ව්‍යාපාරය දෙහිවල දී ආරම්භ කළේය.

සුද්දන්ගේ කෑමක් වූ විස්කෝතු නිෂ්පාදනය අමුතුම වැඩක් වී තිබිණි. බිස්කට් සෑදුවේ අතිනි. පිටි ගුලි අතින් අනා රෝල් කර හැඩයට කපා ගිනි උඳුනක පුලුස්සා සිසිල් කරගැනීමෙන් සයිමන් වික්‍රමසිංහලා බිස්කට් සැදූහ. රවුම් පියනක් සහිත ටින්වල අසුරා බිස්කට් දේශීය වෙළෙඳපළට පැමිණියේය.

වික්‍රමසිංහලා ඉපදෙන විට ඔහුගේ තාත්තා මිනේ විලියම් විස්කෝතු කර්මාන්තය පවත්වාගෙන ගියේ එසේය. මිනේක පිරිමි දරුවන් සිවු දෙනකුගෙන් යුතු පවුලේ තුන්වැන්නාය. ඔහුගේ ලොකු අයියා පාවුල් වික්‍රමසිංහය. ඔහු පේරාදෙණිය විශ්විද්‍යාලයේ පළමු උපාධිධාරී කණ්ඩායමේ සාමාජිකයෙකි. දෙවැනි අයියා රන්ජිත් වික්‍රමසිංහ ඉංජිනේරුවෙකි. රම්‍ය වික්‍රමසිංහ බාලයාය. ඔහු ආහාර විද්‍යාව හා තාක්ෂණය හැදැරූවේය. ව්‍යාපාරික ඥානයක් සහිතව පියාගේ අඩිපාරේ ගියේ මිනේකය. මිනේකට කිව්වේ මිකී කියාය.

යටත්විජිතවාදී ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දුන් බිස්කට් නමැති මේ සම්ප්‍රදායික නොවන කෙටි කෑම විශේෂය එවකට පැවති සමාජයේ නිෂ්පාදන කර්මාන්තයක් ලෙස පුළුල් කිරීමට සයිමන් වික්‍රමසිංහගේ අභිප්‍රාය විය. ඔහු ඉලක්ක කළේ වඩා හොඳ බිස්කට් සෑදීමය.

ඒ සඳහා ඔහු එය කළේ එවකට පැවති අධිතාක්ෂණික නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර මෙරටට හඳුන්වා දීමය.

CBL ආරම්භක අවධියේ දී පැවැති උත්සවයක් අතරතුර

මේ කාලය තුළ රටේ අග්‍රාමාත්‍යවරයා වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ය. ආර්ථිකයේ වැරදි ලෙස හැසිරවීම නිසා එකල ආනයනය අභියෝගාත්මක විය. බිස්කට් ආනයනය තහනම් වී තිබිණි. 1954 දී විවෘත කරන ලද මැලිබන් ආයතනයටත් සයිමන් වික්‍රමසිංහගේ විලියම්ස් ආයතනයටත් දේශීය බිස්කට් ඉල්ලුම සපුරාලීමට සහ වෙළඳපළ තෘප්ත කිරීමේ වගකීම භාර විය.

වර්ෂ 1957 දී විලියම්ස් ආයතනය නව යන්ත්‍රෝපකරණයන්ගෙන් යුතුව එවකට ලංකාවේ ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක විසින් විවෘත කළේය. එවකට එහි බ්‍රිතාන්‍ය ජාතිකයෝත් සේවය කළහ. වර්ෂ 1961 දී සයිමන් වික්‍රමසිංහ මිය ගිය පසු මේ සිවු සොයුරෝ ව්‍යාපාරය හැසරවීම අතට ගත්හ. සයිමන් වික්‍රමසිංහගේ පවුලේ ව්‍යාපාරය යළි උපදින්නේ මන්චී නමිනි. එහි යළි ඉපදීම සිදුවන්නේ මිනේක වික්‍රමසිංහ අතිනි. මිනේක සහ රම්‍ය වික්‍රමසිංහ සොයුරන්ගේ අභිප්‍රාය වූයේ කර්මාන්තය පුළුල් කිරීමය. ඒ සඳහා තවදුරටත් වැඩි දියුණු කළ යන්ත්‍රෝපකරණ අවශ්‍ය විය. ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතුව තිබිණි. නමුත් ඒ වකවානුවේ රාජ්‍ය ප්‍රතිපත්තිය වූයේ පෞද්ගලික අංශයේ කර්මාන්ත දිරි ගැන්වීම නොවේ. මේ තත්ත්වය තුළ විලියම්ස් ආයතනයට සිය කර්මාන්තය පුළුල් කරගැනීම සඳහා අපනයන අවස්ථා පෙන්වීමට සිදුවුණේය.

1960 ගණන්වල අධ්‍යාපන අමාත්‍යාංශය, එක්සත් ජනපදය පදනම් කරගත් CARE සංවිධානයේ සහාය ඇතිව පාසල් දරුවන්ට ඔවුන්ගේ දහවල් ආහාර වේලට පෝෂණ අතිරේකයක් ලෙස කිරි කෝප්පයක් සහ බනිස් වර්ගයක් ලබා දුන්නේය. කෙසේ වෙතත්, බනිස් වල ගුණාත්මක භාවය පවත්වා ගැනීමට නොහැකි වීම නිසා, CARE විකල්ප තක්සේරු කිරීමට පටන් ගත් අතර අවසානයේ පෝෂණ විස්කෝතුවක් ලබාදීම ඔවුහු නිශ්චිත කළහ. මිනේක වික්‍රමසිංහ එම කොන්ත්‍රාත්තුව සාර්ථකව හිමි කරගැනීමට හැකිවීම මෙම ව්‍යාපාරයේ වැදගත්ම හැරවුමක් වූයේය.

දෙහිවල පැවති කර්මාන්තශාලාවෙහි එහි ධාරිතාව සීමා කර තිබූ හෙයින් සමාගම 1968 ජූලි මාසයේදී CARE සඳහා අධි ප්‍රෝටීන් බිස්කට් නිෂ්පාදනය කිරීමට පන්නිපිටියේ නව බිස්කට් කම්හලක් විවෘත කරගන්නට උත්සුක වන්නේය. විලියම්ස් ආයතනයේ අනුබද්ධිත සමාගමක් ලෙස Ceylon Biscuits Limited පිහිටුවා මෙම කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක කළේය.

මේ අතර CBL විසින් ජර්මනියෙන් බිස්කට් නිෂ්පාදන ක්‍රමවේද දෙකක් ආනයනය කළේය. එකක් පෝෂණ බිස්කට් සඳහාය. අනෙක පාරිභෝගික බිස්කට් නිෂ්පාදනය සඳහාය.

අනතුරුව සමාගම දෙවන ව්‍යාපාරික ප්‍රවේශය ලෙස Munchee සන්නාමය යටතේ විස්කෝතු පෙළක් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. මේවාට තමන්ගේම නවෝත්පාදන දෙකක්වූ, හවායි කුකීස් සහ මිල්ක් ෂෝට් කේක්, ඇතුළත් විය. ඉඟුරු සහ රට ඉඳි බිස්කට් ද ඒ අතර විය.

1997 දී CBL එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව වෙත නිත්‍ය අපනයන ආරම්භ කළ අතර 2000 වන විට රටවල් 52ක් දක්වා සිය නිෂ්පාදන අපනයනය ව්‍යාප්ත කිරීමට මිනේක වික්‍රමසිංහගේ නායකත්වයෙන් CBLට හැකි විය.

CBL අපේ මිනිස්සු හැඳින්වූයේ මන්චී කොම්පැණිය ලෙසය. මන්චී බිස්කට් රටට ඩොලර් ගෙනාවේය. වර්ෂ 2003 සිට අපනයන සම්මාන දිනා ගනිමින්, ජාතික අපනයන මණ්ඩලය සහ ජනාධිපති අපනයන සම්මාන ඇතුළු සම්මාන ගණනාවක් ආයතනය දිනා ගත්තේය.

දිවයිනේ ප්‍රමුඛතම ව්‍යාපාරයකට ලෙස පුරා 48 වසරක් තිස්සේ නායකත්වය දුන් මිනේක වික්‍රමසිංහ වර්ෂ 2015 ජූනි 24 සමාගමේ සභාපති ධුරයෙන් විශ්‍රාම ගත්තේය. එතුවක් කල් උප සභාපති ලෙස කටයුතු කළ මිනේකගේ සොයුරු රම්‍ය වික්‍රමසිංහ CBL මෙහෙයුම භාර ගත්තේය. එතැන් සිට පැහැබර විශ්‍රාමික දිවියක් ගත කළ මිනේක ආයතන සමූහයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය.

පසුගිය 16 වැනිදා උදෑසන ඔහු දැයෙන් සමුගත්තේය. පසුගිය 17වැනිදා සැඳැවේ බොරැල්ල සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු විය. මිනිස්සු භෞතිකව වෙන්වන බව සැබෑය. එහෙත් විශිෂ්ට මිනිස්සු ඔවුන් ඉතිරිකර ගිය දේ සමඟ සදාකල්හිම ජීවත් වෙති. මිනේක නික්ම යන්නේ මේ රට ලෝකයට විවර කළ කර්මාන්තයක් බිහි කරය. ඒ කර්මාන්තය හා බැඳුණු කම්කරුවාගේ සිට පාරිභෝගිකයා දක්වා වූ සියලු දෙනාටම සාධාරණය ඉටුකරන පෙළගැස්මක් ඉතිරිකරමිනි.

 

Comments