
ජූනි 22වැනිදාව ඇෆ්ගන් වැසියන්ට කිසිසේත් සතුටුදායක දිනයක් වූයේ නැත. ඒයට හේතුව වූයේ ඒදින දුගී බවෙන්, බිඳ වැටෙමින් පවතින ආර්ථිකයෙන් පීඩාවට පත්වෙමින් සිටි ඇෆ්ගන් වැසියන්ගේ හිස මතට ඔවුන්ගේම වහළ කඩා වැටීමයි. එසේත් නැතහොත් මැග්නිටියුඩ් ඒ්කක 6.2ක භූමිකම්පාවක් ඇෆ්ගන් භූමියෙන් වාර්තා වීමයි.
දැනට විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ දශක ගණනාවක් තුළ ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වූ බිහිසුණුම භූමිකම්පාව මෙය බවය. ඇෆ්ගන් වේලාවෙන් සවස 2.24ට ඇෆ්ගනිස්ථාන සහ පකිස්තාන දේශසීමාවට ආසන්නයෙන් පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරෙන් සිදුවූ මේ භූමිකම්පාව මේ වන විට ඇෆ්ගන් වැසියන් 1000කට අධික සංඛ්‍යාවක් පණ පිටින් මහ පොළොවේ මිහිදන් කිරීමට සමත් වූ බව වාර්තා වී තිබේ.
මේ භූමි කම්පාවේ ප්‍රබලත්වය කිලෝමීටර් 500ක පමණ විශ්කම්භයකින් යුතු ප්‍රදේශයකට පැහැදිලිව දැනී ඇති අතර මේ ප්‍රදේශයේ මිලියන 119ක පමණ ජනතාවක් ජීවත් වන බව ප්‍රකාශිතය. මේ භූමිකම්පාව ඉන්දියාවේ උතුරු ප්‍රදේශයට, පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට මෙන්ම ඉරානයටද දැනී තිබේ.
මේ වන විට ඇෆ්ගන් බලධාරීන් තහවුරු කර ඇත්තේ මේ භූමිකම්පාවෙන් පුද්ගලයන් 1500කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි. ඒ් අතරින් 1000කගේ පමණ සිරුරු කිසිදා හමු නොවීමේ ඉඩක්ද පවතින බවයි. දැනට 2000කට අධික පිරිසක් තුවාල ලබා සිටින අතර මේ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම තවදුරටත් ඉහළ යෑමට නියමිතය. භූමිකම්පාව හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ ගම්මාන 26ක් සම්පූර්ණයෙන්ම බිමට සමතලා වී තිබේ. ඒමෙන්ම මේ ප්‍රදේශය කඳුවලින් ගහන බැවින් භූමිකම්පාවෙන් පසු සිදුවූ නායයෑම් හේතුවෙන් තවත් පුද්ගලයන් විශාල පිරිසක් අනතුරට ලක්වන්නට ඇති බව සැලකේ.
මේ වන විට ඇෆ්ගන් රජය විපතට පත්වූවන් වෙත මානුෂීය ආධාර ලබා දෙමින් සිටින අතර ඇමරිකාවද ඇතුළු ලොව පුරා රටවල්වලින් ද ඇෆ්ගනිස්ථානය වෙත ආධාර ලැබෙමින් තිබේ.
ඇෆ්ගනිස්තානය පසුගිය දශකයක කාලය සැලකුවහොත් භූමිකම්පා රැසකටම මුහුණ දී ඇති බව පෙනේ. එයට හේතුව වන්නේ ඒරට දකුණු ආසියානු භූ තැටියේ මායිමට ආසන්නව පිහිටා තිබීමයි.
පසුගිය වසර දහයක කාලය සැලකුවහොත් ඇෆ්ගන් වැසියන් 7000ක් පමණ භූමිකම්පාවන් හේතුවෙන් මියගොස් තිබේ. ඇමරිකානු භූ විද්‍යා ඒ්කකය දක්වන්නේ මෙය සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයන් 560ක සාමාන්‍යයක් බවයි. 1998,2002, 2008 සහ 2015 යන වසරවලදී ඇෆ්ගනිස්තානයෙන් බිහිසුණු භූමිකම්පා වාර්තා වී තිබේ. ඇෆ්ගන් වැසියන් මැටි සහ ලී භවිත කරමින් නිවෙස් සාදා ගන්නා අතර මේ නිවෙස් භූමිකම්පාවකට කිසිසේත් ඔරොත්තු නොදේ.
එමෙන්ම ඇමරිකාව විසින් ඇෆ්ගනිස්තානය අත්හැරීමෙන් පසුව තලේබාන් සංවිධානය විසින් අත්පත් කරගත්තා වූ ඇෆ්ගනිස්තානයේ ආර්ථිකයද තිබුණේ පණ අදිමිනි. ඒබැවින් රෝහල් පහසුකම් හෝ නිසි පරිදි නොතිබෙන අවස්ථාවක දැනටමත් රෝහල් ධාරිතාවන්ට ඔරොත්තු නොදෙන තරම් රෝගීන්ගේ පැමිණීම සහ බිමටම සමතලා වූ ගම්මාන සැබවින්ම අපායට හෙණ ගැසීමක් බඳුය. ඒහෙත් ඇතැම් විටමේ සමඟ ඇෆ්ගනිස්ථානයට ගලා ඒමින් පවතින මානුෂීය ආධාර නිසි පරිදි කළමනාකරණය කර ගතහොත් වැටෙමින් පවතින ඇෆ්ගනිස්ථාන ආර්ථිකයට වුවද මුක්කුවක් තබා ගැනීමට තලේබාන් පාලනාධිකාරියට හැකියාවක් ලැබෙනු ඇත.