
එයා කිසිම විදියකින් නරක දරුවෙක් නෙවෙයි
- කුසල්ගේ තාත්තා පළමුවරට පුවත්පතකට කියන කතාව
- අලුත උපන් දියණියගේ නම කොයිලි මෙන්ඩිස්. නම තිබ්බේ කුසල් මිෂෙල් එක්ක එකතු වෙලා
- මිෂෙල් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරියක් කියලා ජීවත් වෙන දරුවෙක් නෙමෙයි. පොළොවේ පයගහලා ජීවත් වෙන හරිම සරල දරුවෙක්. එයා එදා ඉඳලම කුසල්ට හරි ආදරෙන් හිටියා. අදත් ඒ වගේමයි
- දරුවෙක් ලැබෙන්න ඉන්නේ කියන ආරංචිය ලැබුණු මොහොතේ පටන් දරුවා ඉපදෙනකල් ඒ දෙන්නා වගේම අපිත් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා.
- තරගය අවසන් වුණාට පස්සෙ තමයි අපි පුතාට කතා කරලා කිව්වේ දුවව රෝහල් ගත කළා කියලා.
- දියණියක් ඉපදෙන්න ඉන්නේ කියලා දැනගත්තම කුසල් හරියට සතුටු වුණා
කුසල් ගිම්හාන් මෙන්ඩිස්, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්නේ 2015 වර්ෂයේදීය. එසේ ජාතික කණ්ඩායමට එකතු වෙන කුසල් ටෙස්ට් වරම් හිමි කරගන්නේ 2015 වර්ෂයේ ඔක්තෝම්බර් මස 22 වැනිදාය. ඒ, බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහි තරගයකදී. 2016 වර්ෂයේදී එංගලන්තයට එරෙහිව පන්දු වාර විස්සයි විස්ස තරග සඳහා සම්බන්ධ වූ ඔහු එම වර්ෂයේම අයර්ලන්තයට එරෙහිව එක් දින පිටියට එකතු වෙනවා. එදා සිට අද වනතුරු ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන කුසල් පසුගියදා පැවති එක් දින තරගය හොඳින් ක්‍රීඩා කරමින් ලකුණු අතරේ සිටියා.
ඕස්ට්‍රේලියා හා ශ්‍රී ලංකා තරග පහකින් යුත් එක් දින තරගාවලි ඉතිහාසයේ තරගාවලියක් තුළ වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික ක්‍රිඩකයන් අතරේ කුමාර් සංගක්කාර 250ක ලකුණු සංඛ්‍යාවක් 2004 වර්ෂයෙදී ලබා ගන්නේ ක්‍රීඩාලෝලින් අමන්දානන්දයට පත් කරමිනුයි. දිනේෂ් චන්දිමාල් ලකුණු 236ක් 2016 වර්ෂයෙදී ලබා ගනිද්දී මහේල ජයවර්ධන 2004දී ලකුණු 225ක් ලබාගෙන තිබෙනවා. එම ලැයිස්තුවේ ඊළඟට ඉන්නේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් මෙන්ඩිස්. ඒ, පසුගියදා පැවති එක්දින තරගාවලිය තුළ ලකුණු 223ක් ලබා ගනිමින්.
කුසල් එදා තරග පිටිය තුළදී පිත්තෙන් හරඹ කරද්දී ඔහුගේ ආදරණිය බිරිය මිෂෙල් ප්‍රනාන්දු, ප්‍රසූතාගාරය තුළ ආදරණීය දියණිය උපද්දවන්න වේදනා විඳිනවා. තරග තුළ ලකුණු ලබා ගද්දී අත්පොළසන් දුන් ප්‍රේක්ෂකයන්ම කුසල් පරාජය වෙද්දි ඔහුට දෝෂාරෝපණය එල්ල කළා. ක්‍රීඩාවේදී ප්‍රශංසා වගේම අපහාස උපහාසත් නුහුරු දේවල් නෙවෙයි. කුසල් ඒ බව හොඳින් අවබෝධ කරගත් ක්‍රීඩකයෙක්. ඒ කෙසේවුවත් ජීවිතයේ වටිනාම පදවිය වන පිය පදවිය ලැබූ කුසල්ගේ ආදරණීය කැදැල්ල ගැන වගේම කුසල් ගැන කතාකරන්නත් අපි කුසල්ගේ ආදරණීය පියා වන දිනේෂ් මෙන්ඩිස් සමඟ දොඩමළු වුණා.
මේ, කුසල් ගැන පියාගේ මතකාවර්ජනයයි.
ඔබේ ආදරණීය පුතුගේ පුංචි කැදැල්ල සම්පූර්ණ කරමින් පවුලට එකතු වුණ මුල්ම මිනිබිරිය ගැන ඔබට දැනෙන හැඟීම් මොන වගේද?
කුසල් පුතයි මිෂෙල් දුවයි විවාහ වෙලා දැන් වසර දෙකක් වෙනවා. විවාහයෙන් පස්සේ හැම අම්මා තාත්තා කෙනෙක් වගේම මගේ පුතත් එයාගේ පවුලට දරුවෙක් ලැබෙනකල් නොඉවසිල්ලෙන් හිටියේ. දරුවෙක් ලැබෙන්න ඉන්නේ කියන ආරංචිය ලැබුණු මොහොතේ පටන් දරුවා ඉපදෙනකල් ඒ දෙන්නා වගේම අපිත් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා. ඒ සුබ දවස උදාවුණේ පසුගිය 20 වැනිදා. දරුවත් කුසල්ගේ බිරියත් නිරෝගී සුවයෙන් ඉන්නවා. ඒ දෙන්නව විසිදෙවැනිදා ගෙදර එක්කගෙන ආවා. පුතාගේ ජීවිතේ සම්පූර්ණ වුණා වගේම මමත් මගේ බිරියත් ඉන්නේ ආච්චි, සීයා වීම ගැන ලොකු සතුටකින්.
කුසල් බලාපොරොත්තුවෙන් හිටියේ දියණියක් ද..?
එහෙම නැහැ. දරුවෙක් ජිවිතයට එකතු වීම තමයි වැදගත් කියන තැන හිටියේ. කොහොම නමුත් දියණියක් ඉපදෙන්න ඉන්නේ කියලා දැනගත්තම හරියට සතුටු වුණා. කුසල් කවදත් නිහඬ දරුවෙක්. මුරණ්ඩු නැහැ . දඟ නැහැ. දරුවා ගැන අසීමිත විදිහට සතුටු වුණා. අනිත් එක පවුලට මුලින්ම දියණියක් ඉපදෙනවා කියන්නේ වාසනාව ගෙන එනවා කියලනේ කියන්නේ.
ඔහුගේ බිරිය රෝහල්ගත කරද්දි කුසල් හිටියේ තරග බිමේ. ඔහු ඒ ගැන දැනගෙනද තරග කළේ?
19 වැනිදා හවස එකට විතර ප්‍රසව වේදනාව ආව නිසා දුවව රෝහල්ගත කළා. අපි පුතාට ඒ ගැන කිව්වේ නැහැ. ඊට සුළු මොහොතකින් තරගය ආරම්භ කරන නිසා ඔහු කලබල වෙයි කියලා හිතුණා. තරගය අවසන් වුණාට පස්සෙ තමයි අපි පුතාට කතා කරලා කිව්වේ දුවව රෝහල් ගත කළා කියලා. දුවට අමාරුවක් නැහැ නේද එයා හොඳින් නේද කියලා ඇහුවා. පහුවදා උදේ පුංචි දුව ඉපදුණා. පුතාත් රෝහලට ආවා ඒ දෙන්නව බලන්න. තාත්තා කියන හැඟීම දරුවා අතට ගත්ත මොහොතේ පුතාට දැනෙන්න ඇති.
කුසල්ගේ බිරිය මිෂෙල් රෝහල් ගත කළ දිනයේ ක්‍රීඩාලෝලින් සතුටු කරමින් කුසල් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා නේද?
අපේ මිනිබිරියගේ වාසනාව තමයි. පුතා එදා ලකුණු 87ක් ලබා ගත්තා. ශතකයක් ලබා ගන්න තිබ්බ අවස්ථාවක් මගහරවා ගත්තත් කණ්ඩායම වෙනුවෙන් ඔහු ඒ වගේ ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්ත එක ලොකු දෙයක්. මිෂෙල් දුවව රෝහල් ගත කළත් එයත් එදා ටීවී එකෙන් තරගය නරඹලා තිබ්බා. එයාටත් බිරිය විදිහට පුතා ගැන ලොකු සතුටක් තියෙනවා.
අලුත උපන් දියණියට නම තැබුවේ කවුද..?
නමක් තිබ්බා, අලුත උපන් දියණියගේ නම කොයිලි මෙන්ඩිස්. නම තිබ්බේ කුසල් එයාගේ වයිෆ් මිෂෙල් එක්ක එකතු වෙලා. ආගම අනුව තමයි ඒ නම දැම්මේ.
ඔබත් බිරියත් කුසල් වැනි රටට වැඩදායක දරුවෙක් බිහිකිරීම ගැන සතුටු වෙනවා වගේම ඔහු වැනි අයකු විවාහ කරගන්න ලැබීම ඔහුගේ බිරිය මිෂෙල්ටත් සතුටක් වෙන්න ඇති..?
මගේ ලොකු පුතා තමයි කුසල් මෙන්ඩිස්. එයාට බාල සහෝදරියක් සහ සහෝදරයෙක් ඉන්නවා. පොඩි පුතත් මේ වෙද්දි ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මට දියණියක් හිටියත් මිෂෙල් කියන්නේ මගේ ලේලී නෙමෙයි. මට දුවෙක්. මගේ බිරියට දුවෙක්. පුතාගේ දක්ෂතා ගැන අපිට පස්සෙ වැඩිපුරම සතුටු වෙන කෙනා තමයි මිෂෙල් දුව. එයාට පුතා දක්ෂතා අතරේ ඉන්න එක තරම් තවත් සතුටක් නැතුව ඇති. නමුත් මිෂෙල් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරියක් කියලා ජීවත් වෙන දරුවෙක් නෙමෙයි. පොළොවේ පයගහලා ජීවත් වෙන හරිම සරල දරුවෙක්. එයා එදා ඉඳලම කුසල්ට හරි ආදරෙන් හිටියා. අදත් ඒ වගේමයි. එයාට ඉතින් කුසල් කියන්නේ එයාගේ සැමියා මිසක් ජනප්‍රිය චරිතයක් නෙමෙයි. ඒ දරුවගේ ඒ නිහතමානිකමට අපි හරි ආදරෙයි.
අලුත උපන් දියණියගේ වැඩකටයුතු තනියම මිෂෙල්ට කරගන්න පුළුවන්ද..?
තාම බැහැ. මගේ බිරිය තමයි දරුවගේ වැඩකටයුතු ටික බලලා මිෂෙල්ට උදවු කරන්නේ.
තවම ඇය මිෂෙල් ප්‍රනාන්දු? වාසගම මෙන්ඩිස් විදිහට වෙනස් වුණේ නැහැ නේද..?
විවාහ වුණාට පස්සේ මෙන්ඩිස් කියන නම එයාගේ නමට එකතු කරගත්තේ නැහැ. මම හිතන්නේ මිෂෙල් දුව ඒ ගැන වැඩිය හිතුවේ නැහැ.
විවාහයට කලින් තිබුණු ආදර සම්බන්ධතා ගැන එහෙම කුසල් ඔබත් එක්ක කෙළින් කතා කරලා තිබෙනවද..?
පාසල් යන කාලේ කොලුකමට සම්බන්ධයක් දෙකක් තිබ්බා. නමුත් ඒවා දුරදිග අරගෙන ගියේ නැහැ. මිෂෙල් එක්ක අවුරුදු අටක ආදර සම්බන්ධයකින් පස්සේ තමයි ඒ දෙන්නා විවාහ වෙන්නේ. එතකොට කුසල්ගේ වයස අවුරුදු 18ක්. මිෂෙල්ට ආදරේ කරන්නේ අවංකවම. ඒ නිසා එයා එක්ක විවාහ වෙන්න කුසල්ට අවශ්‍ය වුණා. දෙන්නා යාළුවෙලා ටික දවසක් ගියාට පස්සේ කිව්වා මෙහෙම සම්බන්ධ ක් තියෙනවා මොකද කරන්නේ කියලා. ඒ වෙද්දි කුසල් හොඳට ක්‍රිඩා කරනවා. මම කිව්වා අපි කාලෙත් එක්ක බලමු ඉස්සරවෙලා සෙල්ලම් කරලා ඉන්න කියලා. ඔය අතරේ මිෂෙල් හොඳ දරුවෙක් කියලා අපිත් තේරුම් ගත්තා. ඊට පස්සේ ඒ දෙන්නගේ සම්බන්ධයට අවසර දුන්නා. පස්සෙ විවාහ වුණා. විවාහයට එයාගේ තේරීම හොඳ තේරීමක් කියලා මම හිතනවා.
කුසල් කුඩා කාලේ දඟ වැඩ කළා කියලා පාසලෙන් පැමිණිලි ඇවිත් නැද්ද.?
කුසල් කවදටත් එයාගේ පාඩුවේ වැඩ කරගෙන හිටපු ළමයෙක්. ඔහු ඉගෙනගත් වේල්ස් කුමාර විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් අපිට කවදාවත් පැමිණිලි ඇවිත් නැහැ. එයා දඟ වැඩ කළා කියලා. එයා කවදත් ඉගෙන ගන්න ආස කරපු දරුවෙක් නෙමෙයි. මම කුසල්ගේ ක්‍රිකට් දක්ෂතා හඳුන ගත්තේ එයාට වයස අවුරුදු 10දී. ඒ නිසා මම එයාව ඒ පැත්තට තමයි ෆෝකස් කළේ. සාමාන්‍ය පෙළ විභාගයට හරියට මුහුණ දෙන්න ඕන නිසා විභාගයට අන්තිම මාස තුනේ මම ගෙදරට ගුරුවරු ගෙන්නලා එයාගේ සිලබස් කවර් කළා. සාමාන්‍ය පෙළ හොඳට සමත් වුණත් උසස්පෙළ කරද්දි එයා එංගලන්ත සංචාරයකට සම්බන්ධ වෙලා හිටියා. විභාගය කළේ නැහැ. මම නම් දැනගෙන හිටියා පුතා කවදා හරි ක්‍රිකට්වලින් හොඳ තැනකට එනවා කියලා. ඒ නිසා මම ඉගෙනීමට උනන්දු කළෙත් නැහැ.
කුසල් පාසලේදී වෙනත් ක්‍රීඩාවලටත් සම්බන්ධ වුණාද?
එයා පාසලේදී මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, වොලිබෝල් වගේ ක්‍රීඩා කළා. ඒත් මම ඒ සඳහා වැඩිය සම්බන්ධ කරන්න කැමති වුණේ නැහැ, ඒකෙන් ඔහුගේ ක්‍රිකට් දක්ෂතා මගහැරෙයි කියලා.
පසුගිය කාලේ කුසල්ට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර යමින් චෝදනා එල්ල වුණා. කුසල් ගෝ හෝම් කියල කිව්වා ක්‍රීඩා ලෝලින් හිටියා. ඒ වගේ තත්ත්වයකදී කුසල් මානසිකව වැටුණද..?
ක්‍රීඩකයන්ට හැමදාමත් එක දිගට දක්ෂතා අතරේ ඉන්න බැහැ. මොකක් හෝ හේතුවකට කුසල්ට තරග දෙක තුනකදි ලකුණු අතරට එන්න බැරි වුණා. ඒත් ඔහුගේ ලකුණු දර්ශක දිහා බලන කෙනෙකුට හොඳටම තෙරෙන්න ඕන කුසල් ලකුණු අතරේ ඉන්න කෙනෙක් කියලා. එහෙම නැතුව තරගයක් දෙකක් බලලා ඒ තරගවලදි ලකුණු නොගෙන ඉද්දි එහෙම චෝදනා කරන්න හොඳ නැහැ කියලයි මම නම් කියන්නේ. කුසල් වගේම එයාගේ බිරියත් මානසිකව වැටුණු අවස්ථා තියෙනවා. නමුත් ඔය චෝදනාවලට කුසල් පිත්තෙන්ම උත්තර දුන්නා කියලා මම හිතනවා.
එංගලන්ත තරග සංචාරයකදී කුසල්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ජෛව ආරක්ෂිත බුබුළේ නිතී රීතී උල්ලංඝනය කිරීම නිසා මාස හයක තරග තහනමකට ලක් වුණා. පියා හැටියට ඒ වැරැද්ද ඔබ අනුමත කරනවද..?
ජෛව ආරක්ෂිත බුබුළේ නීතී රීතී උල්ලංඝනය කිරීම මම නම් කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඒක වැරදියි. හිතාමතා කරපු දෙයක් නොවුණත් ඒ කරපු දේ මම අනුමත කරන්නේ නැහැ .
ඒත් කුසල්ගේ තාත්තා හැටියට මම හොඳටම දන්නවා මගේ පුතා සිගරට්වලට අබ්බැහි වෙලා හිටපු කෙනෙක් නෙමෙයි. එයා යාළුවෝ එක්ක එකතු වුණා ම කොලුකමට කරපු දෙයක්. ඒක විඩියෝ කරලා සමාජ මධ්‍යයට මුදා හැරිය කෙනා කවුරු වුණත් හොඳ දෙයක් නෙමෙයි කරලා තියෙන්නේ. ඊර්ෂ්‍යාවට කරපු දෙයක් හැටියට මම දකින්නේ. වැරැද්ද පෙන්නලා දීලා අවවාද කරන්න තිබ්බා.
ඒ සිදුවීම ගැන කුසල්ගේ බිරිය උරණ වුණේ නැද්ද?
එවැනි පටු මානසික මට්ටමක මිෂෙල් දුව හිටියේ නැහැ. එයා කුසල්ට මොකුත් කිව්වේ නැහැ. මොකද ඊට වඩා වැරදි කරන විනයක් නැති අය ඕන තරම් ඉන්නවා. කුසල් එහෙම නරක දරුවෙක් නෙමෙයි.
ඔබේ අදහස අනුව එක් දින තරග, පන්දු වාර විස්සයි විස්ස තරග සහ ටෙස්ට් තරග අතරින් කුසල් වඩාත් දක්ෂ කුමන තරගවලටද?
පුතාගේ පිත්තේ වේගය තියෙන්නේ එක්දින තරග සඳහා බව මගේ පෞද්ගලික අදහසයි. එක්දින තරගවලදි පුතා බය නැතුව පිත්ත හසුරවනවා. වැඩිපුරම ලකුණු අරගෙන තියෙන්නෙත් එක්දින තරගවල තමයි.