ගෘහණියට වින කරන ළිපේ දෝෂ | සිළුමිණ

ගෘහණියට වින කරන ළිපේ දෝෂ

ප්‍රියන්ත දයාරත්න 
සිවිල් ඉංජිනේරු, විශ්වවිද්‍යාල බාහිර 
කථිකාචාර්ය, විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයේ සතුරු ධාතූන් එක ළඟ පිහිටුවීම නොකළ යුතු යැයි කියැවේ. මෙහිදී සතුරු ධාතූන් ලෙස ආපෝ හෙවත් වැගිරෙන සුලු ගුණයත් තේජෝ හෙවත් උණුසුම සිසිල දනවන ගුණයත් නිදසුන් කොට දක්වන අවස්ථාවන් දක්නට ලැබේ. ඒ අනුව ගින්දර හා ජලය ආසන්නව පිහිටුවීම දෝෂ සහිත වන බව අපට අවබෝධ කර ගත හැකි වේ. මෙවැනි තත්ත්වයන් මත මානසික වියවුල් හට ගන්නා බවත් ඒවායෙන් නොසිතූවිරූ අපහසුතාව ඇති වන බවත් විස්තර වන අයුරු ද එලෙසම අපි දැක ඇත්තෙමු.

මෙහිදී සිදු වන්නේ කුමක්ද?

මෙහිදී මූලිකව දැන ගත යුතු කරුණු කීපයක් ඇත. ඒවා නම්, අන්තරීක්ෂ ශක්තිය අප වෙත ලැබෙන්නේ රේඛීයව බවත් එය කැලඹීමෙන් අපගේ භෞතික ශරීරය වටා ඒ ඇසුරේ පවත්නා ශක්ති ශරීරයට අයහපත් බලපෑමක් ඇති කරන බවත් ප්‍රධාන වේ. එහිදී අපගේ ශක්ති ශරීරයේ විවිධ ස්ථානයන්හි ඇති වන ශක්ති ඌණතා හා ශක්තිමය තදබදයන් නිසා අපගේ ශක්ති ශරීරයේ පවත්නා චක්‍ර නම් ද්වාර සමඟ සම්බන්ධ වන අන්තරාසර්ග (නිර්නාල) ග්‍රන්ථිවලට ද ඒ ඔස්සේ අපගේ භෞතික ශරීරයට ද බලපෑම් ඇති වන බව පෙන්වා දිය හැකිය.

දැන් අපි බොහෝ නිවෙස්වල දක්නට ලැබෙන අවස්ථා කීපයක් පිළිබඳ අපගේ අවධානය යොමු කරමු.

මුළුතැන්ගෙයි ඇති පෝරණුව හෙවත් චිමිනිය පිහිටා ඇත්තේ නිවෙසක ඉතා ඉහළ මට්ටමකිනි. එබැවින් ඉහළ ජල ටැංකිය පිහිටුවීම සඳහා බොහෝවිට ළිපේ චිමිනිය මත ඉඩක් යොදා ගැනීම සුලභ ක්‍රමයක්ව තිබේ. එසේම එය වෙනත් කටයුත්තක් සඳහා භාවිත නොකරන බැවින් මෙය නුවණැති වැඩක් ලෙස පෙනෙන්නට ද තිබේ. එහිදීද පෙර කී සතුරු ධාතූන් එක්ව පිහිටීම සිදු වන බව කිය යුතුය. මෙහිදී පෝරණුව හා ඒ මත ඇති වතුර ටැංකිය ආසන්නයේ සිදු වන ශක්ති ක්‍රියාවලිය පිළිබඳ මඳක් විමසා බලමු.

අන්තරීක්ෂ ශක්තිය ගලා ඒමේදී චිමිනිය නිසා ශක්තිය ඉහළට යෑමටත් විසිර යෑමටත් පටන් ගනී. එසේම ඊට බාධා කරමින් ජල ටැංකිය විසින් අන්තරීක්ෂ ශක්තිය පහළට නමා උරා ගන්නට වන බැවින් ශක්ති ක්‍රියාවලියේ වියවුල් සහගත තත්ත්වයක් ඇති වන බව පෙනේ. මෙසේ අන්තරීක්ෂ ශක්තියේ පවත්නා රේඛීය ස්වභාවය වියවුල් වීමෙන් අවට අවකාශය ද කෙමෙන් ශක්තිමය වියවුලකට පත් වේ. මෙය අපේ ශක්ති ශරීරයට යම් පමණකින් බලපෑ හැකි බව වටහා ගැනීම අසීරු නැත.

එසේම මුළුතැන්ගෙයක අත්‍යවශ්‍යම අංගයන් දෙකක් වන්නේ ළිප හා සේදුම් බේසමයි. මෙහිදී ආහාර සකස් කරන විට ඒවා සේදීම සඳහා භාවිත කරන සේදුම් බේසම නිරතුරු ජලය ආශ්‍රිතව ක්‍රියාකිරීම සාමාන්‍ය දෙයකි. එවිට සිදු වන්නේ අන්තරීක්ෂ ශක්තිය පෙර කී පරිදි පහතට නැවී ඒමයි. එසේ වුවත් ළිප ආසන්නයේදී මෙකී ශක්තිය ඉහළට නැමීමට පටන් ගනී. මෙසේ ළිප ආසන්නයේදී ශක්තිය ඉහළ නැඟීමත් සේදුම් බේසම ආසන්නයේදී ශක්තිය පහළට බැසීමත් සිදු වේ. මෙසේ වීමේදී ළිපට ආසන්න ඉහළින් ශක්ති රික්තයක් ඇති වේ. එසේම සේදුම් බේසම ඉහළින් ශක්තිය පහළට ඒම නිසා ඉහළ කොටසේ ද පෙර කී ශක්ති රික්තකය ඇති වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සේදුම් බේසම ආසන්නයේ වැඩි වූ ශක්තිය ළිප ආසන්නයේ වූ ශක්ති රික්තය වෙත තිරස්ව ඇදී ඒමට පටන් ගනී. එසේම ළිපේ ඉහළ කොටසට ගොනු වූ ශක්තිය සේදුම් බේසම ඉහළින් පිහිටි ශක්ති රික්තකය වෙත තිරස්ව ඇදී එයි. මේ අනුව සමස්තයක් වශයෙන් සිදු වන්නේ කුමක්ද? ළිප ඉහළින් සේදුම් බේසමේ ඉහළට තිරස්වත් සේදුම් බේසමේ ඉහළ සිට පහළටත් සේදුම් බේසමේ පහළ සිට ළිපේ පහළ කොටසට තිරස්වත් ළිපේ ආසන්නයේ සිට ඉහළටත් ශක්තිය ගමන් කරමින් හා සුමට ලෙස නැමී ක්‍රියාකිරීමෙන් සේදුම් බේසමත් ළිපත් අතර ශක්ති සුළියක් හට ගනියි. මෙකී චක්‍රාකාර ශක්ති සුළියට මැදි වීමෙන් ගෘහණිය හෝ සේවිකාව ලෙස බරපතළ ලෙස මානසික වියවුලකට පත් විය හැකියාව ඇත.

මෙසේ හෙයින් චිමිනිය මත වතුර ටැංකිය පිහිටුවීමත් සේදුම් බේසම හා ළිප ආසන්න නොකිරීමත් කළ යුතු වෙයි. කෙසේ වෙතත් මේ තත්ත්වය වඩ වඩාත් උග්‍රවීමෙන් මානසික ආතතිය, විෂාදය වැනි තත්ත්වයන්ට ද ගෘහණිය පත්වීම පහසුවෙන් වැළකිය නොහැකියි. එසේ වුවත් පිරමීඩ මෙවලම් භාවිතයෙන් ද මෙකී අශුභවාදී ගැටලුව පහසුවෙන් සමනය කිරීමට සිදුවේ.

Comments