මම දේශ­පා­ල­න­යෙන් සමු­ගන්න තීර­ණය කළා | සිළුමිණ

මම දේශ­පා­ල­න­යෙන් සමු­ගන්න තීර­ණය කළා

මැයි 09 වැනිදා අඳුරු සඳුදාවේ රට පුරා හොල්මන් කළ ප්‍රචණ්ඩකාරීත්වයේ අවාසනාවන්ත මතක කාලයක් ගතවන තුරු ජනතාවට අමතක නොවනු ඇත. එදා එලෙස පීඩාවට ලක්වූ ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරු අතර සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ගුණපාල රත්නසේකර ද වේ. මැයි 09 වැනිදා සිදුවීම සිදුවීමට පෙර ගුණපාල රත්නසේකර මැයි 6 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූයේ අමාත්‍ය ධූරයක කටයුතු කිරීම සඳහා රටක ස්ථාවරත්වයක් පැවතිය යුතු බව පවසමිනි. කලක් ප්‍රවීණ උපකාරක පන්ති දේශකයකු මෙන්ම විශ්වවිද්‍යාල ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු වන හිටපු රාජ්‍ය ඇමති ගුණපාල රත්නසේකරගේ නිවෙස මැයි 9 වැනිදා ගිනිතබා විනාශ කරනු ලැබුවේ එවැනි පසුබිමක් තුළදීය.

 

එකී සිදුවීම ගුණපාල රත්නසේකර හිටපු

අමාත්‍යවරයාට දේශපාලන ජීවිතය එපා

කරලීමට තරම් තැවුලක් ගෙන දුන් බව සිය මුහුණුපොතේ සටහන් කර තිබුණේ මෙසේය.

කාර්යා­ලය පව­ත්වා­ගෙන ගිය මන්ත්‍රී­ව­ර­යාට අයත් නිවෙස ගිනි­බත් කර  තිබූ ආකා­රය

“මා දේශපාලනයෙන් හම්බ කරපු එක

රුපියලක්වත් නැත.

දිවා රෑ නිදි නොලබා දැනුම බෙදමින් සොයා ගත් දෑ දැන් ගිනි ගනිමින් තිබේ.

දිවි ඇති තුරා දේශපාලනයට නොඑමි !”

එතරම් කලකිරීමක්, පසුතැවීමක් ඇතිකළ ඒ සිදුවීම ගැන අදටත් ඔහුගේ සිතේ ඇත්තේ එක්තරා විමතියකි.

“මම සාමාන්‍ය යෙන් අදටත් විශ්වාස

කරනවා ජනතාව හෙව්වේ වංචා දූෂණ

නොකරන, කොමිස් නොගහන, රටට ආදරෙන් වැඩ කරන උගත් බුද්ධිමත් මහජන

නියෝජිතයන් පිරිසක් බව. මම හිතනවා මම ඒ වර්ගයේ මිනිහෙක් කියලා. නමුත් මේ වෙච්ච සිදුවීමත් එක්ක මට තියෙන ගැටලුව

ජනතාව හොයන්නේ මොන විදිහේ දේශපාලඥයෝදෝ කියන එකයි. මම දේශපාලනයට ආවේ සදාකාලිකව දේශපාලනය කරන්න නෙවෙයි. අවුරුදු පහක් රට වෙනුවෙන් සමාජ මෙහවරක යෙදෙන්න තිබුණු කැමැත්ත නිසයි. මගේ හිතේ ලොකු විශ්වාසයක් තිබුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා මේ රටේ හැරවුම් ලක්ෂ්‍යයකට ගේන නායකයා බවට. වසර 2025 වෙද්දි සංවර්ධිත රටක මෙහා

කෙළවරක හරි අපි ඉදියි කියලා මට

විශ්වාසයක් තිබුණා. ”

මැයි 09 වැනිදා ඒ විශ්වාසයට ද ගිනි

ඇවිළිණි. ඒ සියල්ල ඔහුගේ දුක් මහන්සියෙන් උපයාගත් ධනයෙන් ගොඩනැඟූ ඒවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන

කාර්යාලීය උපකරණ කිහිපය ඇරෙන්නට අනෙක් සියල්ල පෞද්ගලික වියදමින් උපයාගත් ඒවාය. ඔහු මුදල් ඉපයූ ආකාරය ගැන පැහැදිලි දැනීමක් ඇති අයකු නම් ඒ දේපළ ගිනි තබා වැනසූ අපරාධයට හවුල් වන්නේ නැත.

පඬුවස්නුවර ආසනයේ බණ්ඩාර කොස්වත්ත මහා විද්‍යාලයෙන් 9 ශ්‍රේණිය දක්වා(එකල එය සා.පෙළ කඩ ඉමයි) උගත් ගුණපාල

රත්නසේකර, හෙට්ටිපොල මහා විද්‍යාලයට ඇතුළත් වන්නේ උසස්පෙළ හැදෑරීමටය. එම විද්‍යාලයේ උසස්පෙළ පළමු වාණිජ පන්තියෙන් සරසවි වරම් ලැබූ ප්‍රථම සිසුවා වීමේ භාග්‍යය ද ඔහු සතු විය. ඔහුට සහෝදර සහෝදරියන් පස් දෙනකි.

“ අපි දුප්පත් ගොවි පවුලක් නිසා ආර්ථික දුෂ්කරතා අඩු නැතිව තිබුණා. නමුත් අපි ජීවත් වුණා, ඉගෙන ගත්තා. 1981 ඔක්තෝබර් 5 වැනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා කළමනාකරණ විශේෂ උපාධිය හැදෑරුවා. ඊටපස්සේ වරලත් ගණකාධිකරණ ආයතනයේ පාඨමාලාවත් හැදෑරුවා. 1985 විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණු ගමන් පෞද්ගලික විගණන සමාගමකට බැඳිලා මාස කිහිපයක් ප්‍රායෝගික පුහුණුව ලැබුවා. ඉන්පසු රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරීක්ෂවරයෙක් ලෙස පත්වීම් ලැබුවා. ටික කාලයක් එහි සේවය කළාට පසු රජයේ ගණකාධිකරණ සේවයේ ගණකාධිකාරවරයෙක් ලෙස පත්වීම් ලැබුවා. ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ

ගණකාධිකාරවරයා ලෙසත් ටික කලක් කටයුතු කළා. 1989 සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ

කළමනාකරණ පීඨයේ රාජ්‍ය කළමනාකරණ අංශයේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කළා. ”

ඒ අතරතුර ශිෂ්‍යත්වයක් ලැබී විදෙස්

ගතවන ගුණපාල රත්නසේකර යළි මවුබිමට පැමිණෙන්නේ පශ්චාත් උපාධිය ද සම්පූර්ණ කරගෙනය. නැවත ඔහු ජයවර්ධනපුර

විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන්නේ එහි

ගණකාධිකරණ අංශයේ ජ්‍යේෂ්ඨ

ආචාර්යවරයෙක් ලෙසටය. එතැන් සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වන අවස්ථාව වන විට ගුණපාල රත්නසේකර විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස වසර 30ක කාලයක් සපුරා තිබිණ. විශ්වවිද්‍යාලයේ ඉන්නකොට මම ඒ කටයුතුවලට බාධාවක් නොවන පරිදි ව්‍යාපාර කටයුතුවල නිරත වුණා. දුප්පත් භාවයෙන් මිදෙන්න ක්‍රියාමාර්ග රැසක් ගත්තා. අධ්‍යාපන ආයතනය ආරම්භ කළෙත් ඒ අරමුණින්. ඒ සඳහා බැංකු කිහිපයක්ම සහාය වුණා. ඒ අතර

චිත්‍රපට කිහිපයකුත් නිෂ්පාදන කළා. කලක් ඉදිකිරීම් ක්ෂේත්‍රයෙත් නිරත වුණා. ඒ සියල්ල තුළින් මම ආර්ථික වශයෙන් යම් ශක්තිමත් භාවයක් ලැබුවා. ඒ වගේම රට වෙනුවෙනුත් යමක් කළ යුතුයි කියන හැඟීමෙනුයි මම වියත්මඟට සම්බන්ධ වුණේ. මට පෞද්ගලිකව ලබාගන්න දෙයක් තිබුණේ නැහැ. මේ දක්වා මට සමාජයෙන් ආසාධාරණයක් වෙලා නැහැ. ඒ නිසා සමාජයට යමක් දෙන්නයි මට ඕන වුණේ. වියත්මඟට සම්බන්ධ වෙලා ඉන්නකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මට කිව්වා මොන විදිහකින් හරි නාමයෝජනා ඉල්ලගෙන පාර්ලිමේන්තුවට එන්න කියලා. ඒ වෙද්දි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පඬුවස්නුවරට සංවිධායකවරයෙක් හිටියේ නැහැ. පොදු ජන පෙරමුණු මුහුණ දුන් පළමු

ප්‍රාදේශීය සභා මැතිවරණයේදී මම

පඬුවස්නුවර ආසනයට

සැලකිය යුතු වැඩ කොටසක් කළා. ජනාධිපතිවරණයේදීත් හැකි උපරිමය කළා. ඒත්

දේශපාලනයට ඒමේ අදහසක් තිබුනණ් නැහැ. ”

එහෙත් අවසානයේ දෛවය ඔහුව නතර කළේ එතැනය. කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවගේ වැඩිම මනාප ලැබූ තෙවැන්නා ලෙස හෙතෙම පාර්ලිමේන්තුවට තේරී පත්විය. කොවිඩ් සමයේදී ඔහුට හිමිවූ කුරුණෑගල දිස්ත්‍රික්

සංවර්ධන කමිටු සභාපති ධුරය ද අභියෝගාත්මක එකක් විය.

“ඒ කාලේ මට පැවරුණු ලොකුම වගකීම

කොවිඩ්වලින් මිනිස්සු මියයෑම වළක්වාගැනීමයි. කමිටුව හරහා දිස්ත්‍රික්කය පුරා එන්නත්කරණ වැඩසටහන් කළා. කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 9ක් හැදුවා. අවුරුද්දක් විතර මුළුමනින්ම වෙන කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව කොවිඩ් මර්දනය වෙනුවෙන්ම

වෙහෙසෙන්න සිදු වුණා.කොවිඩ් මර්දනය කරගෙන සංවර්ධන වැඩ ගැන

අවධානය යොමු කරන්න හදනකොටම තමයි මේ ආර්ථික ව්‍යවසනයට මුහුණ දෙන්න සිදු වුණේ. නමුත් අවාසනාවකට වගේ

වියත්මඟ විදිහට අපිට ආර්ථිකය ගැන තීරණ ගැනීම සම්බන්ධයෙන් කිසිම තීරණයක් ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලදි අපේ

අදහස් කිව්වට ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. මම මගේ පෞද්ගලික අදහස් අනුව මේ

ආර්ථිකය ගොඩගන්න සැලසුම් හදලා දුන්නා. නමුත් ඒ යෝජනා අවසන් වාර්තාවට ඇතුළත් වෙලා තිබුණෙත් නැහැ. මීට අවුරුද්දකට විතර කලින් පාර්ලිමේන්තුවේදී අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න වෙයි කියලා කිව්ව ආණ්ඩු පක්ෂයේ එකම මන්ත්‍රීවරයා මමයි. නමුත් එදා හිටපු මුදල් ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයා මට බොහොම සුහදව කතාකරලා කිව්වා, ඒක රජයේ ප්‍රතිපත්තිය නෙවෙයි, ආයේ එහෙම කියන්න එපා කියලා. නමුත් හෘද සාක්ෂියට එකඟව හරි දේ කීම නිසා යම් යම් දේශපාලන අර්බුද ටිකක් ඇතිවුණා.”

ඉකුත් මැයි 9 වැනිදා වන විට පැවතියේ එවැනි පසුබිමකි. එදා සිදුවීම ගැන අප

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකරගේ මතකය අවදි කළෙමු.

“ එදා අරලියගහ මන්දිරයට කැඳවලා තිබුණු පිරිස සහ එහි නායකත්වය දැරූ පුද්ගලයන් කියන කරුණු ගැන හිතද්දි යම් ප්‍රශ්නයක්

ඇතිවෙයි කියලා මගේ හිතේ සැකයක් තිබුණා. ඒ නිසා මම එදා එහේ ගියේවත් එහෙට පිරිසක් කැඳෙව්වෙවත් නැහැ. නමුත් අපේ ආසනයේ යම් කිසි පිරිසක් ඇවිත් තිබුණා. ඔවුන් ආවේ මගේ මෙහෙයවීමෙන් නොවන බව පැහැදිලිවම කිව යුතුයි. ඔවුන් ස්ව කැමැත්තෙන් සහ වෙනත් අයගේ මෙහෙයවීමෙන් කැඳවූ අය. මට දැනගන්න ලැබුණා. ඔවුන් ලොකු

අපහසුතාවන්ට මුහුණ දුන් බව. අපේ ප්‍ර ෙද්ශයෙන් ආව බස් රථයකුත් බේරේ වැවට දමලා තිබුණා. ඒ බස්රියේ හිමිකරු අහිංසක අසරණ කෙනෙක්. ඔහු ඇවිත් තිබුණේ හයර් එකට. ඒ සිදුවීම නිසා ඔහුට තිබුණු එකම

දේපළත් විනාශ වෙලා. බස් එක හදාගන්න අමතර කොටස් නැතිව ඔහුට ජීවිකාව කරගෙන යන්න විදිහක් නැහැ. මගේ ගේ විනාශ වුණාට වැඩි කනගාටුවක් මට ඔහු ගැන දැනෙනවා.”

ප්‍රචණ්ඩකාරීහු මන්ත්‍රී නිවෙස් ගිනිතබමින් රට පුරා කලබල කරද්දී එදා ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයා සිටියේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ මාදිවෙල මන්ත්‍රී නිවෙසකය.

“තත්ත්වය දරුණු වේගෙන එන බව ආරංචි වුණ නිසා මම සුරක්ෂිතව මහරගම මගේ

නිවසෙට පැමිණියා. හවස ආරංචි වුණා යම් පිරිසක් හෙට්ටිපොළ නගරයට ඇවිත් කලබල කරනවා කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයාට කතාකරලා කිව්වා ගෙදර ගැන බලන්න කියලා. ඔහු කිව්වා ඒ වෙලාවේ පොලිසියේ ඉන්න නිලධාරින් සංඛ්‍යාව මදි. ඒ නිසා තත්ත්වය පාලනය කරන්න අපහසුයි කියලා. ඊටපස්සේ මටත් කරන්න දෙයක් තිබුණේ නැහැ. මම කොළඹට වෙලා හිටියා. පසුව ආරංචි වුණා යම් යම් සිදුවීම් සිදුවෙන බව. නමුත් ඒ වෙනකම් මට විශ්වාසයක් තිබුණා, අපි කිසි කෙනෙකුට වරදක් කරලා නැති නිසා

කවුරුත් අපිට එරෙහි වෙන එකක් නැහැ කියලා. නමුත් සිද්ධිය වුණාට පස්සේ මට තේරුණා මේ සිදුවීම් තල්ලු වෙන්නේ වෙනමම දිශාවකට කියලා. 88-89 කාලේ වගේ යම් කුමන්ත්‍රණකාරී පිරිසක් සැලසුම් සහගතව කළ දෙයක් මට වැටහුණා. එදා ඒ

ප්‍රචණ්ඩකාරී ක්‍රියා පැය කිහිපයක් තුළ ඉතා වේගයෙන් රට පුරා පැතිරුණේ ඒ නිසයි. මම මේ ගැන පොලිසියට පැමිණිලි කළා. නමුත් කිසිම කෙනෙක්

අත්අඩංගුවට ගන්න කියලවත් ඔවුන්ව නිදහස් කරන්න කියලවත් කිව්වේ නැහැ.

පොලිසිය ඔවුන්ගේ රාජකාරිය කරයි කියන හැඟීමෙන් ඉන්නවා. ”එදා ප්‍රචණ්ඩකාරී පිරිස් ගිනි තැබුවේ නගරයට ආසන්නයේ පිහිටා තිබූ ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයාට අයත් පක්ෂ කාර්යාලය

පවත්වාගෙන ගිය නිවෙසටය. එහි කොටසක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. නිවෙසට යාබදව මහජනතාවට රැස්වීම තබා ඉදිකර තිබූ ස්ථානය ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. කාර්යාල උපකරණ කොටසක් නිවෙස තුළත් කොටසක් ඉන් පිටතත් ගිනි තබා ඇති අතර තවත් කොටසක් පැමිණි පිරිස් විසින් ගෙන යන්නට ඇතැයි සැක කෙරේ. මේ සියලු විනාශ සිදුකර ඇත්තේ ආරක්ෂිත කැමරා

පද්ධතිය සම්පූර්ණයෙන් අක්‍රිය කරදමාය.

“හොඳ වෙලාවට කලහකාරී පිරිස

එනවෙලාවේ කාර්යාලයේ හිටපු අය එතැනින් ඉවත්වෙලා තිබුණ නිසා ජීවිත හානි කිසිවක් නැහැ. පොලිසියේ මැදිහත්වීමකුත් නොතිබුණ නිසා ආව අය තමන්ට ඕන විදිහට ඒ දේවල් විනාශ කරලා ගිහින් තිබුණා. මේ විනාශය කරන්න ආව අය අතර විවිධ පක්ෂවල අය ඉඳලා තියෙන බව දැනගන්න ලැබුණා. නමුත් මම ඒ ගැන සොයන්න ගියේ නැහැ. අඩුම තරමේ මම නඩුවටවත් ගියේ නැහැ. මේ දේපළ හානිය ලක්ෂ 56ක් කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒ පිරිවැය මිල පමණයි. වර්තමාන මිල අනුව බලද්දි ඊට වඩා විශාල පාඩුවක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට පත්වුණාට පස්සේ මම විශ්වවිද්‍යාල ඉගැන්වීම් කටයුතු කළේ නැහැ. අපේ අධ්‍යාපන ආයතනයේ ඉගැන්වීම් කටයුතු මේ දක්වාම කළා.පාර්ලිමේන්තුවෙන් ලැබුණු කාර්යාලීය උපකරණ ටිකක් හැරෙන්නට ගිනි ගත් නිවෙසේ තිබූ සියලු දේවල් මගේ පෞද්ගලික වියදමින් ලබාගත් දේවල්. මම කිසි කෙනෙකුගෙන් සල්ලි එකතු කරලා මැතිවරණ අරමුදල් හදලා

දේශපාලනය කළ කෙනෙක් නෙවෙයි. එහෙම තත්ත්වයක් තුළ අපි තවදුරටත් සමාජ

මෙහෙවරේ යෙදෙන්නේ කොහොමද කියන උභතේගියකය තුළයි මම දැන් ජීවත් වෙන්නේ. ඉදිරියේදී අපට දේශපාලනය තුළ නියැළෙන්න තරම් පසුබිමක් රට තුළ නැහැ කියලයි මට හිතෙන්නේ”

ඔහුගේ කතාව තුළ ඇත්තේ පසුතැවීමකි. දිරියෙන් ජීවිතය ගොඩනඟාගත් අයකු වන ඔහුගේ බිරිය දරුවන් කුඩා කාලයේදී රැකියාවට සමුදෙන්නේ දරුවන්ගේ කටයුතුවලට වැඩි ඉඩක් දීමේ අපේක්ෂාවෙනි. දියණිය සෙව්වන්දි දර්ශිකා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරියකි. උපාධිධාරියකු වන පුතු පසිඳු ලක්ෂාන් ව්‍යාපාර කටයුතුවල නියැළී සිටී. බාල පුතු දමිදු ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.

”බිරිය වගේම දුවත් කියන්නේ දැන්

දේශපාලනයෙන් ඉවත් වෙන්න කියලා. පොඩි පුතා නම් තරයේම කියනවා දේශපාලනය කරන්න එපා කියලා. ඔහු හැමදාම දවසකට සැරයක් අහනවා ඉල්ලා අස්වීමේ ලිපිය දුන්නද කියලා. පවුලේ අය කියන්නේ අපි මහන්සිවෙලා ජීවිතේ ගොඩනඟගෙන තවත් දේශපාලනය නිසා දුක් විඳින්න අවශ්‍ය නැහැ කියලයි. මමත් තීරණයක් අරගෙන ඉන්නවා දේශපාලනයෙන් ඉවත් වෙන්න. එකම කාරණය යම් යම් ඉල්ලීම් කිහිපයක් තියෙනවා. අනිත් කාරණේ මම අයින් වුණත් එතැනට තව කෙනෙක් එනවා. එතකොට ඒ එන්නේ ජනතාව කැමති කෙනෙක්මද කියන ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා මැතිවරණයක් පවත්වලා ආණ්ඩුවක් වෙනස් කරන තෙක් මන්ත්‍රී ධුරයේ රැඳී ඉන්නවා. ”

 

 

Comments