මස් රාත්ත­ලම ඉල්ලන ෂයිලොක් ලීසිං­ලාගේ අලුත්ම බිල්ල | සිළුමිණ

මස් රාත්ත­ලම ඉල්ලන ෂයිලොක් ලීසිං­ලාගේ අලුත්ම බිල්ල

ජාලිය පරා­ක්‍රම මහ­තාගේ බ්ලොක් ගල් ව්‍යාපා­රය පව­ත්වා­ගෙන ගිය ස්ථානය.  ලොරි රථය නවතා තිබී ඇත්තේ මෙම ස්ථාන­යේයි.
ජාලිය පරා­ක්‍රම මහ­තාගේ බ්ලොක් ගල් ව්‍යාපා­රය පව­ත්වා­ගෙන ගිය ස්ථානය. ලොරි රථය නවතා තිබී ඇත්තේ මෙම ස්ථාන­යේයි.

මෙවර පොසොන් පොහෝ දිනයට හරියටම දින දෙකකට පෙර තිස්පස් වැනි උපන් දිනය ජාලිය සැමරුවේ මීගමවත්ත බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් සමඟය. අම්මා, තාත්තා, නංගී, මල්ලී ඇතුළු පවුලේ උදවිය සමඟ දරුවන්ට රාත්‍රි ආහාර වේල පිළියෙල කර තෑගි බෝගද රැගෙන ළමා සංවර්ධන මධ්‍යස්ථානයට ගිය ජාලිය එහි සිටි දරුවන් සමඟ ඇති පදම් සතුට බෙදා ගත්තේය.

ගමේ බාල මහලු කා අතරත් ජනප්‍රිය පුද්ගලයෙකු වූ ජාලියට තිබුණේ දුකේදී උණුවන හදවතකි. බරපතළ ලෙස කොවිඩ් ව්‍යාප්තිය සිදුවත්දී රට වසා දැමීමෙන් ජීවනෝපාය අහිමිව අසරණවූ ජනතාව සොයා ඔහු ආහාර ද්‍රව්‍ය පාර්සල් ලොරියේ දමාගෙන ගමින් ගමට ගොස් ඒවා බෙදා දුන්නේය. ගමේ කාට හෝ ලෙඩක් දුකක් සිදුවූ විට ඒ කෙනා බොහෝ විට රෝහල කරා ගෙන යන්නේ ජාලියගේ ලොරියෙනි.පොල්ගොල්ල මීගමවත්ත ප්‍රදේශයේ කාගේත් සිත් දිනා සිටි ජාලිය පසුගිය 18 වැනිදාට හිරු උදාවෙත්දී සඳහටම දෙනෙත් පියාගෙන තිබුණේ ඔහු මොහොතක් හෝ ඇසුරු කර තිබූ සැමගේ දෙනෙත් වලට කඳුළක් එක් කරමිනි.

මිය­ගිය ජාලිය පරා­ක්‍රම

ගම්වැසියෝ ජාලියගේ ගුණයහපත්කම් වර්ණනා කරන විට හිත හොඳ මිනිස්සු ඉක්මනට මේ ලෝකේ අත්හැර යන්නේ යැයි සමාජයේ පවත්නා කතාව ඇත්තක්ම දැයි සිතේ. මිය යන්නට දින කිහිපකට පෙර ඔහු මිතුරන් සමඟ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගය නරඹන්නට ගොස් තිබුණි. එහි ඡායාරූප මුහුණ පොතට එක්කර සතියක් යන්නට මත්තෙන් තම මිතුරාගේ මරණයේ දසුන් මුහුණ පොතට එක් කරන්නට ජාලියගේ මිතුරන්ට සිදුවීම හදකම්පා කරවන සිදුවීමකි.

අවිවාහකයකු වන ජාලිය පරාක්‍රම පවුලේ වැඩිමලා ලෙස උපත ලබා ඇත්තේ 1987 ජූනි මස 12 වැනිදාය. ඔහුගේ සහෝදරිය හා සහෝදරයා විවාහකය. ජාලිය පියා සමඟ එක්ව බ්ලොක් ගල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණේ මෙයට වසර නවයකට පමණ ඉහතදීය. ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණු වෙත්දී ගල්,වැලි සහ බ්ලොක් ගල් ප්‍රවාහනය කිරීම පිණිස ජාලිය මෙයට වසර

හතරකට පමණ ඉහතදී ලොරියක් මිලට ගෙන ඇත්තේ ලීසිං සමාගමක සහය ලබා ගනිමිනි. තමන්ගේ ව්‍යාපාරයේ දියුණුව සඳහා මඟ පාදමින් ලොරි රථය මිලට ගැනීමට සහය දැක්වූ ලීසිං සමාගම මුදල් නිසා තමන්ගේ ජීවිතය උදුරා ගන්නට තරම් සැහැසි වේයැයි ජාලිය සිහිනෙන්වත් නොසිතන්නට ඇත.

ජාලිය ගේ පියා වන නිමල් පරාක්‍රම මහතා සිද්ධිය පිළිබඳ මෙසේ විස්තර කළේය

‘පුතා බ්ලොක් ගල් ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා. ඒකට අවශ්‍යය වැලි, ගල් ප්‍රවාහනය කරන්න එයා ලොරියක් ගත්තා. අතේ ලොකු මුදලක් නොතිබුණු නිසා මහනුවර මහයියාවේ කල්බදු සමාගමකින් ලීසිං කරලා තමයි ලොරිය ගත්තේ. පසුගිය කොරෝනා කාලේ වාරික කිහිපයක් ගෙවන්න බැරිවුණා. ඊට පස්සේ විටින් විට එ් සමාගමෙන් වාරික ගෙවන ලෙස පුතාට බලපෑම් කළා. ආදායමක් නැතුව කොහොමද ගෙවන්නේ කියලා පුතා කිව්වා. මම ලොරිය පදවාගෙන යන වෙලාවක ඒ සමාගමේ සීසර්ලා ඇවිත් මටත් පහරදීලා ලොරිය අරන් ගියා. ඒ පහර දීමෙන් මගේ ඇහි බැම්මට ඉහළින් සහ පහළින් මැහුම් අටක් දැම්මා. පුතා ලීසිං සමාගමේ අය සමඟ කතා කරලා ලොරිය ආපහු ගන්න උත්සහ කළා. ලොරිය පැහැර ගත්ත එකට අපි පොලීසියේ දාපු පැමිණිල්ල අයින් කරගන්න කියලා ඒ අය කිව්වා. අපි ඒකට එකඟ වෙලා පැමිණිල්ල අයින් කරගත්තට පස්සේ ලොරිය අපිට දුන්නා. දැන් රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ව්‍යාපාර කරන්න අමාරුයි.

ඒක ඕන කෙනකුට තේරෙනවා. වාරික කීපයක් ආයෙත් ගෙවන්න බැරි වුණා. ලොරිය ආයෙත් උස්සන්න උත්සහ කරනවා කියලා ලැබුණු ආරංචිත් එක්ක පුතා පහුගිය 09 වැනිදා

සමාගමට ගිහින් කතා කරලා තිබුණා. ඒ අය ලක්ෂ 65 ක් ගෙවන්න තියෙනවා කියලා කිව්වලු. අපි ලක්ෂ 48 ක් විතර දැන් ගෙවලා තියෙන නිසා ලක්ෂ 50 ක් ගෙවලා වැඩේ ක්ලියර් කරමු කියලා පුතා කියලා තියෙනවා. ඒකට ඒ මහත්තුරු එකඟ වෙලා නැහැ. සිද්ධිය වුණු දවසේ පාන්දර 2.00 ට විතර ලොරිය ස්ටාර්ට් කරනවා ඇහිලා පුතා කෑගහගෙන ගෙයින් එළියට ගියා. පුතා ලොරිය නවත්තලා තිබුණු තැන ඉඳන් මීටර තුන්සීයක් විතර දුරින් වැටිලා හිටියා. එයා කතා කළේ නැහැ. වීල් එකකින් පුතාව කටුගස්තොට රෝහලට අරන් ගියා. රෝහලට ඇතුළත් කරනකොටත් පුතා මිය ගිහින් ඉඳලා තියෙන්නේ.

ලීසිං සමාගමේ නියෝජිත පිරිස ලොරිය පැහැර ගෙන යද්දී ජාලිය එහි එල්ලී එය නතර කර ගැනීමට උත්සාහ කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි. වේගයෙන් ලොරිය ඉදිරියට ධාවනය වෙත්දී ඉන් බිමිට ඇද වැටුණු ජාලිය ලොරි රථයට යට වෙන්නට ඇති බවට තවත් සැකයක් පවතී. වාහනය රැගෙන යාමට පැමිණි කණ්ඩායම පැමිණි වෑන් රථයක් ලොරිය පසුපසින් ධාවනය වී තිබෙන බවට ද සැක කරන පොලීසිය ලොරියෙන් වැටුණු ජාලිය එම වෑන් රථයට යටවූවාද යන්න සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වයි. මේ සියල්ල මැද ජාලියගේ ඥාතීන් පවසන්නේ වාහනය රැගෙන යාමට පැමිණි

පුද්ගලයන් සිදුකළ පහර දීමක් නිසා ඔහු මරණයට පත්වන්නට ඇති බවයි.

ජාලියගේ සහෝදරයකු වන නිශාන්ත ජීවන් පරාක්‍රම මෙසේ පැවසුවේය. අයියා හැමෝටම උදව් කරගෙන කා එක්කත් හොඳින් හිටපු කෙනෙක්. අයියාගේ උපන්දිනේට ළමා සංවර්ධන

මධ්‍යස්ථානයේ දරුවන්ට කෑම දුන්න නිසා මමත් කොළඹ ඉඳන් ඒකට සම්බන්ධ වෙන්න ආවා. මම ආපහු පොසොන් පෝය දවසේ කොළඹ ගියා. සිද්ධිය වෙච්ච දවසේ අයියා නුගවෙල ෂෙඩ් එකට ගිහින් තියෙනවා ලොරියට තෙල් ගහන්න. පැය ගානක් පෝලිමේ ඉඳලා එයා ගෙදර ඇවිත් තියෙන්නේ රෑ 11.00 ට විතර. ඒ තෙල් ගහලා ගෙනාපු ලොරිය තමයි සීසර්ලා අරන් ගිහින් තියෙන්නේ. එයා ලීසිං වාරික ගෙවන එක හිතලා පැහැර හැරියේ නැහැ. මේ වෙනකොටත් ලක්ෂ ගානක් ගෙවලා තියෙනවා. අද රටේ තියෙන තත්ත්වයත් එක්ක කුඩා ව්‍යාපාර කරන හැමෝම අදායම් නැතුව අසරණ වෙලා ඉන්නේ. එහෙම තියෙත්දී වාරික කීපයක් නොගෙව්වා කියලා වාහනයක් අරන් යන එක මොන තරම් අසාධාරණද? අයියාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටුවිය යුතුයි. ගෙදර නිදාගෙන හිටපු කෙනා තමයි අද මේ විදිහට මියගිහින් තියෙන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ජාලියගේ වම් පැත්තේ ඉල ඇට කූරු හතක්ද දකුණු පැත්තේ එක් ඉළ ඇට කූරක්ද බිඳී ගොස් ඇත. එමඟින් ඇතිවූ

අභ්‍යන්තර රුධිර වහනය නිසා මරණය සිදුව තිබෙන බවත් මෙය තදබල පහරක් හෝ ගැටීමක් නිසා සිදුවිය හැකි බවද එහි සඳහන් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වත්තේගම පොලීසිය ජාලියගේ මරණයෙන් පැය 24 ක් ගත වන්නට මත්තෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු හා සීස් කරන ලද ලොරි රථය සොයා ගනු ලැබීය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගසේකර මහතා මෙසේ කීවේය. ටිපර් රථය ගලගෙදර පොලීසිය ආසන්නයේ මාර්ගය අයිනේ දාලා ගිහින් තිබිලා අපි හොයා ගත්තා.ඒක පදවාගෙන ගිය පුද්ගලයා සමඟ තවත් දෙදෙනෙක් මේවන විට අත් අඩංගුවට ගෙන තිබෙනවා. ලොරිය පැහැර ගනිත්දී මියගිය පුද්ගලයා එහි එල්ලී මඳ දුරක් යත්දී ඉන් ඇද වැටුණාද නැත්නම් වාහනය රැගෙන යාමට පැමිණි පුද්ගලයින් එයාට පහර දුන්නද කියන කාරනා සම්බන්ධයෙන් තාමත්

සිද්ධි­යට මුල්වූ ලොරිය.

විමර්ශන සිදු වෙනවා.පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මඟින් වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ තද බල පහරක් වැදීම නිසා පපුවේ ඉල ඇට කූරු බිඳී ගොස් තිබෙන බවයි. එය සිදුවුණේ කොහොමද කියන කාරණය පිළිබඳව විමර්ශන අවසන් වනතෙක් නිශ්චිත අදහසක් ප්‍රකාශ කරන්න බැහැ. ලොරිය සීස් කළ අය පැමිණි වාහනය සොයා පරීක්ෂණ සිදු කරනවා.

ජාලියගේ මරණය හේතුවෙන් සමස්ත ලංකා ලීසිං ණය ගෙවන්නන්ගේ සංගමය මඟින් මහයියාවේ පිහිටි අදාළ ලීසිං සමාගම ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. එම සංගමයේ කැඳවුම්කරු සංජය මහවත්ත එහිදී මෙසේ පැවසුවේය.

‘ලීසිං මාෆියාව හේතුවෙන් සිදුවූ මරණ ගණනාවක් මේවන විට වාර්තා වී තිබෙනවා. ජාලියගේ මරණය මේ ලීසිං මාෆියාවේ අවසන් ගොදුරු නොවෙයි. ඉදිරියටත් සිදුවිය හැකි මෙවැනි මරණ වළක්වා ගැනීමට රජය

පියවර ගත යුතුයි. කොළඹ ලීසිං ආයතනයක් තුළදී

මිය­ගිය ජාලිය පරා­ක්‍රම

පහරදීලා පුද්ගලයකු ඝාතනය කළා. ලීසිං පනත මඟින් පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වෙනවා. රජය හඳුන්වා දී තිබෙන කුලී සින්නක්කර පනත උපයෝගි කරගෙන පාරිභෝගිකයන් සූරා කන ලීසිං සමාගම් දවසින් දවස ධනවත් වෙනවා. මේවායේ සේවය ලබාගන්න යන මිනිස්සුන්ට උන්හිටිතැන් තබා ජීවිත පවා අහිමි වෙන තත්ත්වයක් ඇති වෙලා. ජාලිය පරාක්‍රම තමයි මේකේ ආසන්නතම බිල්ල. සමස්ත ලීසිං සහ ණය වාරික ගෙවන්නන් වෙනුවෙන් ජාලිය පරාක්‍රමට සාධාරණය ඉටුවිය යුතුයි. මිනිසුන්ගේ දේපොළ මංකොල්ල කන්න ජීවිත උදුර ගන්න පාර කපන මෙවැනි කුරිරු පනත් වහාම අහෝසි කරන්න ඕන.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ලීසිං සමාගමේ කළමනාකාර ආර්.ඒ.ආර් එම්.නිශ්ශංක බණ්ඩාර අමුණුගම සහ ලොරිය රැගෙන යාමට පැමිණි බව කියන වත්තේගම යටිරාවන පදංචි සංජීව සෙනෙවිරත්න , පේරාදෙණිය ඒදඬුවාවේ පදිංචි ටී.එම් වික්‍රමරත්න යන අය තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි මස 04 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරි එම්. බී. පලිහවඩන මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති රණවීර මහතාගේ අධීක්ෂණය යටතේ වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගසේකරගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත ජයසේකර ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .

ඡායා­රූප-රුවන් මීග­ම්මන

ලීසිං ආය­ත­නය ඉදි­රි­පිට පැවැත්වූ විරෝ­ධ­තාව
ජාලිය වැටී සිටි ස්ථානය.


 

 

 

Comments