
දෙදහස් විස්ස වසරේ ජනවාරි 09 වැනිදා රාත්‍රියේ ආසියානු මහද්වීපයට අයත් ඉරානයට යාබදව පිහිටි අසර්බයිජානයෙන් මෙරට වැසියන්ගේ හද කම්පා කරවන පුවතක් සැල වූයේය. ඒ, අසර්බයිජානයේ බකු අගනුවර පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගනිමින් සිටි පිළියන්දල, බෝකුන්දර එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් සහ කඩුවෙල තරුණියක අවාසනාවන්ත ලෙස මිය යෑමේ පුවතයි.
ඔවුන් තිදෙනා මියගොස් සිටියේ එරට නවාතැන්ගෙන සිටි මහල් නිවෙසේ පහළ මහලක විදුලි කාන්දුවක් නිසා හටගත් විෂ දුමක් ආඝ්‍රාණය වීමෙනි. එම තරුණියන් තිදෙනාගේ අවාසනාවන්ත ඉරණම් ගමන සිහිපත් කරනා ආකාරයේ ශෝචනීය කඳුළු කතාවක් ඉකුත් 25 වැනිදා රාත්‍රියේ කහතුඩුව පොලිස් වසමට අයත් දොළේකඩේ හන්දියේ සිට මීටර් කිහිපයක් හෝමාගම දෙසට වන්නට මාර්ගය යාබද නිවෙසකින් වාර්තා විය.
නොම්මර 347/02 ලිපිනයේ පිහිටි එකී දෙමහල් නිවෙසේ පහළ මහලේ ඉදිරිපස කාමරයෙන් ඉකුත් 25 වැනිදා රාත්‍රී 8.30ට පමණ සිදුවූ එම ගින්නෙන් ජීවිත තුනක් මෙලොව හැර ගියේ ප්‍රදේශයේ සැමගේ හදවත් කම්පා කරවමිනි.
ගින්න හටගත් වර්ග අඩි 120ක් පමණ වන එම කාමරයේ ඒ වන විට සිට ඇත්තේ නිවෙසේ පදිංචිව සිටි 47 හැවිරිදි ලසන්ත බුද්ධික රණසිංහ ඔහුගේ බිරිය 35 හැවිරිදි නාලිකා දේවි, බුද්ධිකගේ වැඩිමහල් දියණිය 19 හැවිරිදි කාවින්දි රණසිංහ සහ සය හැවිරිදි කුඩා දියණියයි.
සිදු වූයේ කුමක් ද යන්න නිවෙසේ වෙනත් කාමරයක නින්දට ගොස් සිටි බුද්ධිකගේ වයෝවෘද්ධ මව කිසිවක් දැන සිට නැත. ඇය මාධ්‍යයට කීවේ, “මං කිසිම දෙයක් දන්නෙ නෑ. මම කාමරේ නිදාගෙන හිටියේ. රාත්‍රී 7.30ට විතර මම බත් කාලා කාමරේට ගියා නිදාගන්න. කාමරේට ගිහින් දොර වහගත්තම කිසි ශබ්දයක් ඇහුණේ නෑ. ළමයා අඬන සද්දෙනම් ඇහුණා. සාමාන්‍ය යෙන් හැමදාම වගේ ළමයා අඬනවා. ඒක නිසා මං ගණන් ගත්තේ නෑ. නිදාගත්තා. ඊට පස්සෙ අපේ ඥාතියෙක් වන ප්‍රියන්ත ඇවිල්ලා, ‘නැන්දේ... නැන්දේ. කියලා කතා කළා. මං ඇහුවා ‘කෝ ලසන්ත...‘ ‘ලසන්ත ඉස්පිරිතාලේ ගෙනිච්චා‘ කීවා. එතකොට ළමයි, ‘ඒ අයත් ඉස්පිරිතාලේ කිව්වා... එයා එනකොටත් ඒ පිරිස දොරවල් කඩාගෙන ඉස්පිරිතාලෙට අරගෙන ගිහිල්ලා කිව්වා... මේ ගින්න වුණේ කොහොමද කියලා හිතාගන්න බෑ. ලොකු දුව අපේ කාමරේ ඉන්නෙ. එයා රෑට කාල කොණ්ඩෙ පීරගන්න තමයි එළියෙ කාමරේට ගියෙ. මට මේක දරාගන්න බෑ.” මේ දරුවන්ට මොකක් වුණාද කියලා මට හිතාගන්න බෑ.“ ඇය හඬා වැළපෙමින් පවසන්නට වූවාය.
![]() |
කාමරය ගිනිගෙන තිබූ ආකාරය |
කෙසේ හෝ බුද්ධික ඇතුළු දරු පවුල කාමරය තුළ පිලිස්සෙමින් සිටියදී කාමරයෙන් පිටතට ගෙන රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණේ අසල්වාසීන් විසිනි. ඒ පිළිබඳ අසල්වාසියකු පවසන්නට වූයේ, “කාමරය ඇතුළේ සම්පූර්ණයෙන්ම ගිනි ජාලාවක් තිබුණා. ජනේලය කඩාගෙන කාමරය ඇතුළට ගිහින් කට්ටියම එළියට ගත්තා...“
අනතුරුව පිලිස්සි සිටි සිවුදෙනාම විනාඩි ගණනක් තුළ රැගෙන ගොස් තිබුණේ හෝමාගම රෝහලටයි. ඒ වන විට ලසන්ත, බිරිය සහ වැඩිමහල් දියණිය ගින්නට හසුවීමෙන් බරපතළ ලෙස පිලිස්සී සිටියහ. මූලික ප්රතිකාරවලින් පසු බරපතළ තත්ත්වයේ පසුවූ තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරෙද්දී කකුල් පමණක් පිලිස්සෙමින් එතරම් පිලිස්සුම් තුවාල නොමැතිව සිටි සය හැවිරිදි කුඩා දියණිය රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කෙරුණාය. ඇය එලෙස සුළු සේ පිලිස්සීමට හේතු වී ඇත්තේ වැඩිමහල් දියණිය විසින් ඇය කාමරයෙන් පිටතට විසි කිරීම නිසා බවට රෝහල් ආරංචි මාර්ගවලින් සැලවිණි.
බරපතළ තත්ත්වයේ සිටි ලසන්තගේ ජීවිතය ගලවාගත නොහැකි හෙයින් ජාතික රෝහලෙන් නැවත හෝමාගම රෝහල වෙත මාරු කෙරුණත් ඔහු රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් සිටියේය. ලසන්තගේ බිරියද පසුදා එනම් 26 දා පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේදී මිය ගියාය. ඉකුත් 28 වැනිදා බුද්ධික ලසන්තගේ සහ නාලිකා දේවිගේ මුද්‍රා තැබූ දේහයන් දියගම මල් ශාලාවක තබා අවසන් කටයුතු සිදු කිරීමට සූදානම් වෙද්දී දුක් සෝ සුසුම් හෙළමින් සිටි සැමගේ හදවත් තවත් කම්පාවට පත් කරමින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි බුද්ධිකගේ 19 හැවිරිදි දියණිය කාවින්දි රණසිංහද මෙලොව හැර ගියාය.
එම අවාසනාවන්ත ගින්න පිළිබඳ හෝමාගම රෝහල් පොලිසිය වෙතින් කහතුඩුව පොලිසිය දැනුවත් කිරීමත් සමඟ කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අමිත් ප්රියශාන්තගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අතුල හේරත් ප්රමුඛ කණ්ඩායමක් විමර්ශන ආරම්භ කෙරිණි.
පොලිස් විමර්ශන කණ්ඩායම් ගින්න ඇතිවූ කාමරය පරීක්ෂා කිරීමේදී දැක තිබුණේ කාමරයේ විදුලි ස්වීචය උණු වී ගොස් තිබූ ආකාරයකි. එසේම කාමරයේ ඉන්ධන බෝතලයක්ද තිබී ඇති ආකාරයක් දිස් විණි.
එම ඉන්ධන වාෂ්ප වී කාමරය පුරා පැවැති වාතලයට එක්වීමෙන් විදුලි ස්වීචය ක්‍රියාත්මක කිරීමේදී වූ විදුලි කාන්දුවත් සමඟ ගින්න හටගන්නට ඇතැයි විමර්ශන නිලධාරින්ගේ සැකයට භාජනය විය. එහෙත් එය කිසියම් කෙනකු විසින් සැලැසුම් සහගත ලෙස සිදුකර ඇද්ද යන්නත් පොලිස් විමර්ශන සිදුවන බවයි. ගින්නට හසුවී මියගිය ලසන්තගේ ඇතැම් කල්ක්රියාවන් ගැනත් නොයෙක් කතා ඇසෙන්නට විය.
මියගිය 47 හැවිරිදි ලසන්ත විදුලි කාර්මික ශිල්පියෙක් ලෙස කටයුතු කරමින් සිටි අයෙකි. ඔහු ජීවත් වූයේ 35 හැවිරිදි දෙවැනි විවාහක බිරිය දමිළ ජාතික නාලිකා දේවි සමඟිනි. ඇය නුවරඑළිය අඹේවෙල ප්‍රදේශයේ කතකි. ලසන්ත දමිළ ජාතික කතක් හා දෙවැනි විවාහය සිදු කරගැනීම පිළිබඳව ඔහුගේ ඇතැම් ඥාතින්ද එතරම් මනාපයක් දක්වා නැත. ගින්නෙන් මරණයට පත් 19 හැවිරිදි දියණිය ලසන්තගේ පළමු විවාහයේ දරුවෙකි.
ගින්න හටගත් නිවෙසේ ඉහළ මහල කුලියට දී ඇති බවකි. රජයේ රස පරීක්ෂක ක්‍රිෂාන් ප්‍රනාන්දු මහතා විසින් ගින්න සිදුවූ ස්ථානය පරීක්ෂා කළ අතර කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මියද එම ස්ථානයේ ස්ථානීය පරික්ෂාවක් සිදු කළාය.
මියගිය බුද්ධික සහ නාලිකා දෙදෙනාගේ සිරුරුද ගින්නෙන් සියයට අසූවකට වඩා පිලිස්සි තිබූ බවත් සිදුකළ මරණ පරික්ෂණයෙන් හෙළි විණි. මියගිය දියණිය කාවින්දිගේ සිරුරෙහිද ගෙළ ප්‍රදේශයෙන් පහළ මුළු සිරුරම පාහේ පිලිස්සී තිබුණාය. ඒ අනුව තිදෙනාගේම මරණවලට හේතුව ගින්න නිසා ඇතිවූ දැඩි පිලිස්සුම් තුවාල බවත් එම ගින්න හටගත්තේ කුමනාකාරයෙන්ද යන්න වැඩිදුරටත් විමර්ශන
![]() |
මියගිය ලසන්තගේ සහ නාලිකාදේවිගේ මුද්‍රා තැබූ දේහයන් |
සිදුකරන බවත් පොලිසිය විසින් ඥාතින්ට දන්වා තිබිණි. මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගින්නට හේතුව එම කාමරයේ තිබූ ඉන්ධන වර්ගයක් කාන්දු වීමෙන් සිදුවූවක් විය හැකි බවයි. එම නිසා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ දිනවල එක්රැස් කරගන්නා ඉන්ධන තොග නිවෙස්හි ගබඩාකර නොගන්නා ලෙසයි. විශේෂයෙන්ම නිවෙස්හි දොර ජනෙල් රාත්‍රී කාලයේ වසා තැබීමත් සමඟ එවැනි ඉන්ධන ගබඩා කරන බෝතලයකින් හෝ කෑනයකින් ඉන්ධන කාන්දුවක් සිදුවී වාෂ්ප ලෙස වාතලයට ඉන්ධන එක්වූ සැණින් එය භයානක අනතුරකට අත වනන බවයි.
මේ පිළිබඳ විමර්ශන ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණියගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලිගේ අධීක්ෂණයෙන් කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිත් ප්රියශාන්තගේ මෙහෙයවීමෙන් කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අතුල හේරත් ප්රමුඛ උපපොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, පොලිස් සැරයන්වරුන් වන 61972 දිනේෂ්, 60674 සරත්, පොලිස් කොස්තාපල්වරුන් වන 8436 ප්‍රියංකර සහ 78693 ජයවර්ධන යන නිලධාරිහු එක් වූහ.