එදා විසාලා මහනුවර තුන් බිය දුරලූ මහානුභාව සම්පන්න රතන සූත්‍රයේ පිහිට ඔබටත් | සිළුමිණ

එදා විසාලා මහනුවර තුන් බිය දුරලූ මහානුභාව සම්පන්න රතන සූත්‍රයේ පිහිට ඔබටත්

වාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී, ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි මෙවර සිළුමිණ පාඨක පින්වත් ඔබට ඉදිරිපත් කරන්නේ, අයහපත් තත්ත්වයන් හමුවේ දිනපතා භාවිත කිරීමෙන් අපමණ ප්‍රතිඵල ලබා ගත හැකි මහානුභාව සම්පන්න රතන සූත්‍රාන්ත දේශනාවයි.

"වර්තමානයේ සමස්ත ලෝකය පත්ව ඇත්තේ අතිශයින්ම භයානක පීඩාකාරී වසංගත තත්ත්වයකටයි.

මේ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ද යම් ප්‍රමාණයකින් ඉහළ යමින් පවතිනවා.

එවන් අවස්ථාවක ඔබ මෙන්ම ඔබේ පවුලේ සැමටත් ඔබේ සමීපතමයන්ටත් පොදුවේ සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවටත් ආරක්ෂාව, නිරෝගී භාවය සැලසෙන සෞභාග්‍යය උදාවන රතන සූත්‍රාන්ත දේශනාව තරම් අත්දුටු මහානුභාව සම්පන්න වෙනත් පූජාවක් වෙන නැහැ.

තිසරණය තමයි අපේ එකම පිහිට.

භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ එදා සෞභාග්‍යයෙන් පිරුණු විසාලා මහ නුවරට බලාපොරොත්තු නොවූ මහා ව්‍යසනයකට මුහුණ දෙන්න සිදු වුණා.

නිසි කලට වැසි නොලැබීමෙන් මහා නියඟයකට මුහුණ දෙන්න සිදු වුණා. මුළු විසාලාවම මහා කාන්තාරයක් බවට පත්වුණා. ඒ සමඟම වසංගත රෝග පැතිරෙන්න සුදුසු පරිසරයක් ගොඩ නැඟුණා. දස දහස් ගණනින් මිනිසුන් තැන තැන මැරී වැටෙන්නට පටන් ගත්තා.

මේ යක්ෂ,ප්‍රේත, භූත ආදී අමනුෂ්‍ය බලවේගවලට සතුට ගෙනඑන අවස්ථාවක්. මෙන්න මේ ආකාරයටයි එදා විසාලා මහනුවර තුන්බිය ඇතිවුණේ.

විසාලාවට ඇතිවූ මේ මහා විනාශය වීදාගම මෛත්‍රිය මාහිමිපාණන් වහන්සේ විස්තර කර ඇත්තේ මෙහෙමයි.

" ගොඩ ගොඩ ඇට සැකිලි

තැන තැන තිබූ බළි බිළි

මඟැ මඟැ රෙදි වැරළි

එපුර සැම තැන බලන් පිළිකුලි

දොර දොර මිනී බෙර

ගෙයි ගෙයි හඬය බියකර

පිළැ පිළැ අදින මර

දුගී ගිලනුන්ගෙන් නැතුව සර”

"ආභස්සර" නමින් දිව්‍ය ලෝකයක් පිළිබඳ දහමේ දැක්වෙනවා.මේ දිව්‍ය ලෝකයේ සිටින දෙවිවරු ප්‍රීතිය සහ සතුට අනුභව කරමින් දිවි ගෙවන බව සඳහන් වෙනවා.

" පීති භක්ඛා භවිස්සතී " යන බුද්ධ වචනයෙන් එය විද්‍යාමාන වෙනවා.

ප්‍රීතිය අනුභව කරන පින් ඇති දෙවිවරු සේම මිනිසුන්ගේ දුක,වේදනාව, ශෝකය,කඳුළ, පීඩාව සහ විලාපය සතුටින් අනුභව කරන ඉතා පහත් පෙළේ භූත, අමනුෂ්‍ය සහ ප්‍රේත බලවේග ඉමහත් සතුටින් මෙවැනි පීඩාකාරී කාලවලදී බලවත් වෙනවා.

ඔවුනට රිසි සේ අනුභව කළ හැකි දේවල් ලෝකය පුරා ගොඩනැඟෙමින් පවතින මේ වකවානුවේ ශ්‍රී ලංකාව තුළත් එවැනි තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා.

මේ මහා භයානක විපතක්. මේ විපතින් ශ්‍රී ලංකාවාසී අහිංසක ජනතාව මුදවා ගැනීම සඳහා මේ මොහොතේ කළයුතු කළහැකි වටිනාම සහ එකම ආධ්‍යාත්මික සත්‍ය ක්‍රියාව වන්නේ කෙළ ලක්ෂයක් සක්වල තුළ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මහා බුදුබලය බලගන්වා දේශනාකොට වදාළ උතුම් රතන සූත්‍රාන්ත දේශනාව තම තමන්ගේ නිවෙස්වල, ආයතනවල, ආගමික මධ්‍යස්ථානවල සඡ්ඣායනා කර ගැනීමයි.

" පිරිත "යන වචනයෙහි තේරුම සෑම පැත්තෙන්ම ආරක්ෂාව සැලසීම යන්නයි.

" පරිසමන්ත තෝ තායතී

රක්ඛති තී පරිත්තං " යනුවෙන් දහම තුළ එය අර්ථ ගන්වනවා.

රතන සූත්‍රාන්ත දේශනාවෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට නම් මෙම දේශනාව පවත්වන පින්වත් ඔබ සහ ඔබේ ආශ්‍රිතයන් ඉතා සැලකිල්ලෙන් ඒ සඳහා සූදානම් විය යුතුයි.

පංචශීලය සමාදන් වී ඉතා සැලකිල්ලෙන් එම ශික්ෂාපද පහ ආරක්ෂා කරගැනීම මෙම විපත්ති බහුල මොහොතේ ඔබ විසින් සිදුකළ යුතුමයි.

සමාදන් වීම නොව සමාදන් වූ මෙම සිල් පද පහ ආරක්ෂා කර ගැනීම ම ආනුභාව සම්පන්නයි.

පළමු ශික්ෂාපදයට අදාළව ප්‍රාණඝාතය මෙන්ම සත්ත්ව හිංසාවෙන් වැළකී, මස්මාංශ අනුභවයෙන් වැළකී සිටීමට ඔබට හැකි නම් එයම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ප්‍රසාදයට හේතු වෙනවා.

ඒ නිසා මේ උතුම් රතන සූත්‍රාන්ත සත්‍ය ක්‍රියාව සිදු කිරීමට පෙර පංචශීලය සමාදන්ව එය ආරක්ෂා කර ගනිමින් තෙරුවන් වන්දනා කොට ඔබ ඔබේ නිවෙසේ, ආයතනයේ එදිනෙදා බුදු පියාණන් වහන්සේ උදෙසා පවත්වන මල් පහන්, සුවඳ දුම්, ගිලන්පස,ආහාර ආදී පූජාවන් පවත්වන්නේ නම් එම පූජාවන් ද පවත්වා තෙරුවන් ක්ෂමා කර ගැනීමෙන් අනතුරුව එදා විසාලා මහනුවර තුන්බිය දුරු කිරීම සඳහා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කළ මෙම උතුම් රතන සූත්‍රාන්ත දේශනාව හෙවත් රුවන් පිරිත ශ්‍රවණය කිරීමට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා වඩිත්වා යි අධිෂ්ඨාන කරගෙන එක්වරක් දෙවරක් තුන් වරක් හැකිනම්, ඊටත් වඩා වැඩි උපරිම වාර ගණනක් රතන සූත්‍රාන්ත දේශනාව පවත්වන්න.

හැකිනම් ඔබට වඩාත් මානසික සුවයක්, සැහැල්ලුවක්, සිතේ ඒකාග්‍ර බවක් දැනෙන උදෑසන හෝ සවස් වරුවේ හෝ උදේ සවස දෙකේම මෙම උතුම් රතන සූත්‍රාන්ත දේශනාව සිදු කරන්න.

බලි යාගයක යකදුරන් මන්ත්‍ර ජප කරන ආකාරයට වේගවත්ව නොව, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිකරගෙන ශාන්ත ස්වරයෙන් මෙම උතුම් සූත්‍ර දේශනාව නිතිපතා සඡ්ඣායනා කිරීම තුළ ඔබට ඔබ නොසිතූ විරූ ආශ්චර්යමත් ආනුභාවයක් සැලසෙන බව ඒකාන්තයි.

රතන සූත්‍ර දේශනාවේ

" යානීධ භූතානි සමාගතානී

තස්මාහි භූතා නිසාමේථ....

යනාදී වශයෙන් පටන් ගැනෙන ගාථා එදා විසාලා මහනුවරට රැස්ව සිටි අමනුෂ්‍යයන් අමතා කරන ලද අනුශාසනාවක් වගේම විධානයක්.

" නිසාමේථ" " මෙත්තං කරෝථ" යන වචනවලින් භූතයන් කෙරෙහි අණ කිරීමක්, බුද්ධ ආඥාවක් පැතිරවීමක් සිදුවෙනවා. මේ සත්‍ය ක්‍රියාව නියම වශයෙන්ම පටන් ගැනෙන්නේ

"යං කිංචි විත්ත්තං ඉද වා හුරං වා "යන ගාථාවෙන් ආරම්භ වන මේ සත්‍ය ක්‍රියාව අවසන් වන්නේ

"ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං " යන ගාථාවෙන්.

එම ගාථා 12 සඡ්ඣායනා කිරීම හමාර කිරීමත් සමඟම විසාලා මහනුවරට සිදුව තිබූ සියලු විපත් පහව ගොස් ඇති වූ සෙත ශාන්තිය අපටත් මේ මොහොතේ පිහිටට එනවා ඒකාන්තයි.

"යානීධ භූතානි සමගතානී" යනුවෙන් සූත්‍රයෙහි අවසානයේ දැක්වෙන ගාථාව සඡ්ඣායනා කළේ සියලුම අමනුෂ්‍යයන් අමතමින්.

"තථාගතයන් වහන්සේ දෙවියන්ගෙන් සහ මිනිසුන්ගෙන් අනන්ත පූජා ලබා ඇත. අපිත් උන්වහන්සේටත්, ධර්මයටත්,සංඝයාටත් නමස්කාර කරමු " යන්න එම ගාථාවේ සරල සිංහල තේරුමයි.

බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන විසාලාවෙහි සැරිසරමින් රතන සූත්‍රය දේශනා කළ බවයි.

එහෙත් සිදුවූ සත්‍යම සිදුවීම ආනන්ද මහා තෙරුන් වහන්සේට පළමුව රතන සූත්‍රය උගන්වා ආනන්ද මහ තෙරුන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා ලවා පිරිත සඡ්ඣායනා කරමවමින් පිරිත් පැන් ඉසීමට සැලැස්වීමයි. කෙසේ වෙතත් රතන සූත්‍රය ඒ ආකාරයට සඡ්ඣායනා කළේ බුදු පියාණන් වහන්සේ ද ආනන්ද මහ තෙරුවන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා ද යන්න අප ගැටලුවක් කරගත යුතු නැහැ. වැදගත් වන්නේ මේ රතන සූත්‍රාන්ත දේශනාවේ ඇති මහානුභාව සම්පන්න බවයි.

රතන සූත්‍රාන්ත දේශනාව පැවැත්වීම සඳහා සුබ නැකැත් සුබ දිසා අවශ්‍ය වන්නේ නැහැ.

විසාලාව පුරා ගොඩ ගැසී තිබුණු මල කඳන් මතින් පැන පැන යමින් දේශනා කරමින් පිරිත් පැන් ඉස්ස රතන සූත්‍රාන්ත දේශනාවට කිළි කුණු නැහැ. අවශ්‍ය වන්නේ තිසරණ පන්සිල්හි පිහිටා එම ශීලයන් ආරක්ෂා කරගෙන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්,භක්තියෙන්, විශ්වාසයෙන් යුතුව රතන සූත්‍රාන්ත දේශනාව පැවැත්වීමයි.

පෙරා පිරිසිදු කරගත් පැන් බඳුනක් සූදානම් කරගෙන හැකිතාක් පිරිතෙන් බල ගන්වා නිවෙස, ආයතනය ,නිවෙසින් ආයතනයෙන් පිටත ඉසීම මෙන්ම පානය කිරීමත් මහත් ප්‍රතිඵලදායකයි.

ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි 
වාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී,

Comments