
උත්සව සමයේ නිසි පරිදි දෙවියන් වැඳ පිහිට ලබාගැනීම අප කාගේත් අතිශය ගෞරවයට පාත්‍ර වූ කතරගම කඳ සුරිඳුගේ ඇසළ මංගල්‍යය දැන් අත පොවන මානයට පැමිණ ඇත. මේ සඳහා බොහෝ සැදැහැවතුන් සහභාගි වුවද එයිනුත් බොහොමයක් දෙනා අද එම අතීතයේ සිට පැවත එන ඒ උත්සවයට සහ පිරිවර සමඟ සුවපහසුව ඇතිව පෙරහර නැරඹීමට යනවා මිසක එහි ඇති වටිනාකම එයට සහභාගි වීමෙන් ලැබෙන දෙවියන්ගේ ආශිර්වාදය, පිහිට ආරක්ෂාව ගැන අල්ප මාත්‍රයකවත් තැකීමක් නැත.
මෙම උත්සව සමයේ දෙවියන් කතරගම අඩවියේ වැඩවසන බව බොහෝ දෙනකු අත්දැකීමෙන්ම දන්නවා ඇත. එවන් අවස්ථාවක ඒ ආශිර්වාදය ලබා ගැනීමට අප මුලින්ම සිතට ගත යුතුය.
දෙවියන් වන්දනාමාන කිරීම යනු පිහිට ආශිර්වාදය ලබා ගැනීම සඳහා එක්තරා ආකාරයක විශේෂිත වැඩ පිළිවෙළක් බව දැනගත යුතුය.
මුලින්ම අප එම උත්සව සමයේ දෙවියන් වැඳ පුදා ගැනීමට ප්‍රථම ඒ සඳහා පෙර සුදානම් විය යුතුය. විශේෂයෙන්ම මස් මාංශ අනුභවයෙන් අවම වශයෙන් සතියක්වත් අත් මිදිය යුතුය. මෙයට ප්‍රධාන හේතුව වන්නේ, අප මස් මාංශ අනුභව කර එවැනි ස්ථානයක් වැද පුදා ගැනීමට යෑමේදී ආහාරයට ගත් මස් මාංශවල ගන්ධය දහඩිය සමඟ මිශ්‍ර වීමෙන් පිළිගන්ධයක් ඇතිවීමයි. මහ දෙවොල වන්දනා කරන විට එම තත්ත්වය කුයිලය වශයෙන් හඳුන්වනු ලබයි. දෙවියන් එම තත්ත්වයට ප්‍රිය තත්ත්වයක් දක්වන්නේ නැත. ඒ නිසා පිරිසුදු වී යෑම යනු අපගේ ශරීරයෙන් නික්මෙන ගන්ධය පිරිසුදුව තබා ගැනීම ප්‍රධාන වේ. අප දෙවොලට යෑමට පෙර දෙවරක් ස්නානය කළත් මොන ආකාරයක සුවඳ විලවුන් සිරුරේ ගැල්වුවත් එම තත්ත්වය අපට නොදැනුණාට දෙවියන්ට හොඳින්ම ආඝ්‍රහණය වේ. දෙවියන්ගේ පිහිට පැතීමේදී පිරිසුදුව යා යුතු බව කියන්නේ ඒ නිසාය.
අප එම ශුද්ධ භූමියේ වන්දනාමාන කිරීමට ප්‍රථමයෙන් කිරිවෙහෙර වැඳ පුදා ගත යුතුමය. පෙරහර සමයේ එම ස්ථානයේ බොහෝ අය පැමිණියද එයින් නියම ප්‍රතිඵල ලැබෙනුයේ සිතින් ගතින් එසේ පිරිසිදුව සිටින අයට පමණකි.
එසේම අප දෙවියන් සඳහා පලතුරු වට්ටියක් සකස් කරන්නේ නම් එය පූජා කිරීම සඳහා හිස මත තබාගෙන ගියද එම පලතුරුවල පිරිසුදු භාවය සහ නැවුම් භාවය පිළිබඳ අපට විශ්වාසයක් තැබිය නොහැක. ඉතාමත් භක්තියෙන් ඔබට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබාගැනීමට මෙම පලතුරු පූජාව අත්‍යවශ්‍ය නැත. ඉහත ආකාරයට පේ වීමෙන් පසු සුදු පිච්චමල් වට්ටියක් පුජා කළ හැකිය. ඔබට අවශ්‍යම නම් පිරිසුදු රත් කෙසෙල් ඇවරියක්, පිරිසුදු අඹ සහ පොල් ගෙඩියක් ඔබට පූජා කළ හැකිය. ඔබ බැති සිතින් විශ්වාසයෙන් යුතුව පූජා කරන දේ දෙවියන් විසින් පිළිගන්නවා ඇත.
ඒ සමඟ පිරිසුදු සුදු තල තෙල් මහ දෙවොලේ ඇති පහනකට දැමීමට කපු මහතාට බාරදෙන්න. එය බොහෝ විට ඇතුළත ඇති පහන්වලට යොදනු ඇත. එයින් ලැබෙන සුගන්ධය මුළු දෙවොල පුරාම පැතිරී යනු ඇත. දෙවියන් ආඝ්‍රාහනය කරනුයේ එම සුගන්ධයයි. පලතුරු පූජාවකදී ද දෙවියන් ආඝ්‍රහනය කරන්නේ ඒ සුගන්ධයයි. මේ සමඟ දෙවොල ඉදිරිපිට තබා ඇති කපුරු සහ සුවඳ හඳුන්කූරු දැල්වීමට තබා ඇති භාජනවල කපුරු, හඳුන්කූරු දල්වා සුවඳ පතුරුවාලිය හැකිය. ඉන්පසු පිරිසුදු සිතින් භක්තියෙන් යුතුව ඔබ මෙතෙක් කරන ලද යහපත් දේ ගැන මෙනෙහිකර දෙවියන් සඳහා ඔබ දන්නේ නම් ස්තෝත්‍ර ගායනා කර, නැතහොත් ඒ භක්තියෙන් විශ්වාසයෙන් තමන්ගේ සිතින් දෙවියන්ගේ මේ සඳහා කරණීය මෙත්ත සූත්‍රය අවම වශයෙන් තුන් වරක් සඡ්ජායනය කර ඉන් පසුව දෙවියන්ට පින්දෙන්න.
මේ ආකාරයෙන් කටයුතු සිදු කළ හැකි නම් නියත වශයෙන්ම ඔබට කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනු ඇත. මෙය සත්‍යයකි. අත්දුටු දෙයකි. ඒ නිසා නිසි වත් පිළිවෙත් සිදු කර පිහිට ලබා ගන්න.
අගස්ති ප්‍රනාන්දු