ඡන්ම අංක 2 හිමි ඔබ මේ වගෙයි | සිළුමිණ

ඡන්ම අංක 2 හිමි ඔබ මේ වගෙයි

න්ම අංක දෙකෙන් උපන් අය පෘථිවියට ආසන්නතම ග්‍රහයා වන ග්‍රහ දෙව් මව ලෙස හඳුන්වන චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. සිත හා සිතුවිලි සම්බන්ධව බලපාන ග්‍රහයකු වන සඳුගේ බලපෑමට යටත් වන ඔබ ඉතාමත් හැඟීම්බර ගති ස්වභාවයන්ගෙන් යුක්ත වෙයි. ඉතාමත් සංවේදී පුද්ගලයෙක් වන ඔබ කාගෙත් සිත් නොරිදෙන පරිදි කතාබහ කරයි. චන්ද්‍රයාගේ තිබෙන සෞම්‍ය ගති ස්වභාවය මෙන් සෞම්‍ය ස්වභාවයක් ඔබ තුළින් ද දැකිය හැකිය. බොහෝ විට මෘදු ,පැහැපත්, සෞම්‍ය සිරුරකට හිමිකම් කියන ඔබ අන් අයගේ නෙත් සිත් ඇද ගැනීමට සමත් වෙයි. පහසුවෙන් ජීවත් වීමත් ප්‍රියමනාප විසිතුරු දේවල්වලට ඇලුම් කිරීමත් ඔබ තුළින් දැකිය හැකිය. ගෙදරදොර අලංකාරව තබාගැනීමට, මල් වැවීමට මෙන්ම ලස්සනට අඳින්නට පලඳින්නට ද ඔබ ප්‍රිය කරයි. සමාජය සහ ඔබ ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳ කරුණාවෙන් සහ අනුකම්පාවෙන් කටයුතු කිරීම ද ඔබේ තවත් ලක්ෂණයකි.

ජන්ම අංක දෙකෙන් උපන් ඔබගේ ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ එක සිතුවිල්ලක එක දිගට සිටීමට නොහැකි වීමයි. දෙපැත්තට වැනෙන ගතිය නිරන්තයෙන් පවති. යම් තීරණයක් ගැනීමට බොහෝ කල්පනා කරයි. කුමන තීරණයක් ගන්න ද කියා සිතා ගැනීමට බොහෝ කාලයක් ගනි. මහා සාගරය මෙන් හිතේ සිතුවිලි බොහෝ පහළ කර ගනියි. සිතිවිලිවල පමණක් නොව ඔබගේ ක්‍රියාවන් තුළ ද මේ ස්වභාවය බොහෝ විට දැකිය හැකි වෙයි. වැඩක් කරන්නට පටන් ගත් විට ප්‍රථමයෙන්ම කරන්නේ කුමන වැඩේද යන්න සිතා ගැනීමට නොහැකි ගතියක් ඇති කරයි.

ඔබගේ සිතුවිලිවල මතුපිටින් යම් චංචල ස්වභාවයක් පෙනුණද ඔබගේ යටි සිත තුළ බොහොම තැන්පත් සිතුවිලි මෙන්ම නිසසල ගතියක් තිබේ. මානසික සහ අධ්‍යාත්මික දියුණුව ඔබට පහසුවෙන් ළඟාකර ගැනීමේ හැකියාව ඇත. ඕනෑම ප්‍රශ්නයක් දෙස තර්කානුකූලව සිතා බලා කටයුතු කිරීම ඔබේ ස්වභාවයයි. තර්කානුකූලව කරුණු ගළපා කතා කිරීමට ඔබ දක්ෂ වෙයි. ආත්ම විශ්වාසය අඩු වීම මෙයට ප්‍රධාන හේතුව වෙයි. චන්ද්‍රයාට ආලෝකය ලබා ලබාගැනීමට සූර්යයා නැතිව බෑ වගේ ඔබේ ජීවිතයටත් කාගෙන් හෝ සහයෝගය හෝ උදවු ලැබේ නම් ඉතා ඉහළටම යන්නට ඔබට හැකියාව ඇත.

මනස මූලිකව ක්‍රියාත්මක වෙන අංක දෙක හිමියන් බොහෝ මානුෂීය ගතිවලින් පිරුණු අය වෙයි. යම් භාවනා ක්‍රමයක් හෝ හිත සන්සුන් කරන යම් ක්‍රමවේදයකට අනුව මනස ඒකාග්‍ර කර ගැනීම තුළින් තිබෙන සියලු දුර්වලතා මගහරවා ගෙන ජීවිතයේ සියලුම අභියෝග ජය ගැනීම සහ සාර්ථකත්වය ඇතිකර ගැනීමට ඔබට ශක්තිය ලබාගත හැකියි. අන් අයට ඔබව පහසුවෙන් ඔවුන්ගේ පැත්තට නම්මවා ගත හැකි බැවින් ඔබ අන් අය ඇසුරු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපනය ලැබීමේ වාසනාව ඔබට තිබුණත් ඔබගේ ජීවිතයේ ඉහළ තත්ත්වයකට ගමන් කරන්නට නම් ඔබ ඔබගේ හිත ශක්තිමත් කරගත යුතු අතර දැඩි අධිෂ්ඨානශීලි භාවයක් තබා ගැනීම අනිවාර්ය වේ. ප්‍රශ්න ගැටලු ඇති වෙන අවස්ථාවලදී කලබල නොවී සංසුන්ව තීරණ ගත යුතුයි. එවිට කළ යුතු දේ සහ නොකළ යුතු දේ ඔබටම වැටහෙනු ඇත.

ආර්ථික වශයෙන් ඔබේ ජීවිතය තුළ ස්ථාවරත්වයක් ගොඩ නැඟීමට පටන් ගන්නේ මැදි වයස ආරම්භ වන විටයි. ස්ව උත්සහයෙන් දියුණු වීමේ වාසනාව ඇති ඔබ වසර 37 පසු වෙන විට තමන්ගේම දේපළ ඉඩකඩම්වලට හිමිකම් කීමේ භාග්‍යය උදාකර ගනී. මුදල් ඔබ අතට ලැබෙනවා සේම අනිත් පැත්තට වියදම් වීම ද සිදුවෙයි. මුදල් සම්බන්ධ එක ස්ථාවරත්වයක් නොපවතින අතර උස් පහත් වීම විටින්විට සිදුවෙයි. එහෙත් අවශ්‍ය දෙයට කෙසේ හෝ මුදල් ලැබීමේ වාසනාව තිබේ. විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවිය, ඇඟලුම් රෙදිපිළි කර්මාන්ත ආශ්‍රිත රැකියා ව්‍යාපාර, ආපෝ ධාතුව හෙවත් ජලය හා සම්බන්ධ රැකියා ව්‍යාපාර ද යහපත්ය. උදාහරණ ලෙස සුවඳ විලවුන් ආශ්‍රිත රැකියා, කිරි නිෂ්පාදනය ආශ්‍රිත රැකියා, තීන්ත වර්ග ආශ්‍රිත රැකියා ව්‍යාපාර, විශේෂයෙන් ස්ත්‍රීන් හා සම්බන්ධ විසිතුරු ආභරණ හා සම්බන්ධ රැකියා, මනාලියන් හැඩගැන්වීම මල් ආශ්‍රිත රැකියා ව්‍යාපාර, බියුටි සැලොන්, අධ්‍යාපන ක්ෂේත්‍රය හා ගුරු වෘත්තිය ආශ්‍රිත රැකියා, ගායනය සංගීතය වැනි කලා ක්ෂේත්‍රයට අදාළ රැකියා ව්‍යාපාර, පොත් පුවත්පත් ආදී ලේඛන කලාව ආශ්‍රිත රැකියා, එළවළු පලතුරු හා සාමාන්‍ය භාණ්ඩ වෙළෙඳාම ද ගැළපේ. ඔබගේ ව්‍යාපාරය සඳහා අනිත් අයගේ සහයෝගය ලබා ලබාගැනීමේදී ජන්ම අංක 2, 3, 4, 6, 7, 9 අංක හිමියන් සම්බන්ධ කර ගැනීමෙන් වඩාත් හොඳින් සහයෝගය ලබාගෙන සාර්ථකත්වය ඇති කරගත හැකිය.

ආදරය සහ ප්‍රේමය සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේදී ඉතා දුර දිග සිතා බලා තීරණ ගැනීමට සිතාගත යුතු අතර කලකිරීම් සහ පසුතැවීම් වළක්වා ගැනීමට එය හේතු වෙයි. ස්ත්‍රී ග්‍රහයකු වන චන්ද්‍රයාගේ ආකර්ෂණය ඇති නිසා මොවුන්ට ස්ත්‍රීන් සමඟ කටයුතු කිරීම ඉතාම පහසු වෙයි. ඔවුන්ගේ විශ්වාසය ඉක්මනින් දිනා දිනා ගැනීමේ හැකියාව ඇත. යම් හේතුවක් මත තම පෙම්වතා හෝ පෙම්වතිය හැර යාමෙන් ඇතිවෙන විරහ වේදනාවකදී ඔබට එය දරා ගැනීම ඉතාමත් අසීරු දෙයක් විය හැකි අතර, එවැනි අවස්ථාවල ආවේගශීලීව ක්ෂණික තීරණවලට එළඹ ජීවිතයට පවා හානි කර ගැනීමට පෙලඹෙන අවස්ථා අංක දෙකෙන් උපන් අය තුළ බොහෝ විට දැකිය හැකිය. ජන්ම අංක දෙකෙන් උපන් බොහෝ අය විවාහයට පත් වෙන්නේ ප්‍රේම සබඳතා මූලික කරගෙන වීමද විශේෂත්වයක් වන අතර දෙදෙනා අතර බොහෝ මත ගැටුම් ප්‍රශ්න ඇතිවීමට මූලික හේතුව වන්නේ ඔබගේ සිතුවිලිවල තිබෙන වේගවත් වෙනස් වීම සහ චංචල භාවය නිසා ඔබව හරිහැටි තේරුම් ගැනීමට පෙම්වතාට හෝ පෙම්වතියට නොහැකිවීම නිසයි. ඔබේ පෙම්වතා පෙම්වතිය හෝ විවාහ සහකරු ලෙස තෝරා ගැනීමට ඔබට වඩාත් සුදුසු වන්නේ ජන්ම අංක 1, 2, 7, හිමියන් වේ. කොහොම වුණත් ඉතාමත් යහපත් ගතිගුණ ඇති බුද්ධිමත් ප්‍රියමනාප සංවේදී සිතක් හිමි සහකරුවකු හෝ සහකාරියක ඔබට හිමිවේ.

ඔබගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීම් සිදුවිය හැකි ජයග්‍රාහි වාසනාවන්ත දින වන්නේ ඕනෑම මාසයක 1, 2, 7, 10, 11, 13, 16, 19, 20, 22, 25, 28, 29 යන දිනයන්ය. එමෙන්ම ජුනි මාසයේ 15 සිට ජූලි මාසය අවසානය දක්වා කාලය තුළ කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබීමේ හැකියාව තිබේ. එමෙන්ම ජනවාරි පෙබරවාරි සහ දෙසැම්බර් මාස ඔබගේ විශේෂ සුබ කටයුතු සඳහා යොදා ගැනීම සුදුසු නොවන අතර ඵල හීන කරයි. ඔබට වාසනාවන්ත ජයග්‍රාහී දිනය වන්නේ සඳුදා දිනයයි. ඉරිදා සහ සිකුරාදා දිනයන් ද සුබ ඵල ලබා ගත හැකි දිනයන් වේ. මෙම සුබ දවසක් සහ සුබ දිනයක් යන දෙකම එක දවසක යෙදේ නම් වඩාත් සුබපල ලබාගත හැකිය.

ඔබට වාසනාව ගෙනදෙන ගැළපෙන වර්ණ වන්නේ සුදු , ළා නිල් සහ ළා කොළපාට ය. මෙම වර්ණ හැකි සෑම අවස්ථාවකම වැඩි වශයෙන් භාවිතයට ගැනීමෙන් කායික, මානසික සෞඛ්‍යය සතුට ප්‍රබෝධය නිරන්තයෙන් රඳවා ගැනීමේ හැකියාව ඇති කරන අතර අඳුරු, සෘණාත්මක සිතුවිලි පාලනය කර ගැනීමට හැකිය. විශේෂයෙන්ම දොරජනෙල් රෙදි, කොට්ට උර, ලේන්සු, කාර්යාල මේස රෙදි ආදිය සඳහා ඔබට මේ වර්ණ භාවිත කළ හැකිය. එමෙන්ම තද කළු, තද දම්, රතු සහ කොළ වර්ණ සහිත ඇඳුම් ඔබට අයහපත් ඵල දීමට හේතු වේ. එම වර්ණ භාවිත කිරීම හැකි තරම් අවම කරන්න.

ඔබට ජීවිතයේ වඩාත් සුවිශේෂී සිදුවීම් සිදුවිය හැකි සහ සාර්ථකත්වය ලබා ගත හැකි වර්ෂ වන්නේ 1, 10,19, 28, 37, 46, 55, 64, 71.යන වර්ෂයන්ය. එමෙන්ම 5, 14, 23, 32, 41, 50, 59, 68, 77 යන වර්ෂය අයහපත් වර්ස ලෙස හඳුන්වා දිය හැකි අතර මෙම කාලවල සුබ කටයුතු යොදා ගැනීම හැකි තරම් අවම කර ගැනීම කළ යුතු අතර ප්‍රවේශම් වීමද වැදගත්. ඔබට සුබපල ගෙන එන වාසනාවන්ත ලෝහය වන්නේ රිදී ලෝහයයි. රත්තරන් ද ඔබට සුබපල උදාකරයි. එම ලෝහවලින් සාදන ලද ආභරණ පැලඳීම හිතකර වේ. ඔබ වාහනයක් මිලදී ගන්නවා නම් වාහනයේ අංකය තනි අංකයක් ලෙස එකතු කළ පසු අංක 2 යෙදේ නම් ඉතාමත් සුබ පල උදාකරන අතර ඔබට ආරක්ෂාවක් සැලසේ. අපල කරදර සහ ගැටලුකාරී තත්ත්වයන් දුරු කරගෙන මානසික සහනය සතුට උදා කර ගැනීම සඳහා සඳුදා දිනවල ආගමික වතාවත් සිදුකර චන්ද්‍ර ස්ත්‍රෝත්‍රය හෝ චන්ද්‍ර පිරිත සජ්ජායනා කරන්න.

ඕනෑම මාසයක 3, 12, 21, 30 උපන් අයගේ පලාපල මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ඒ. ජේ. දීපාලෝක 
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී , පාඨශාලාචාර්ය, ඉසිවර සහන ජෝතිෂ්‍ය ආයතනය

Comments