දකුණේ මිනී­ම­රන ඡන්දෙටත් ඉල්ලූ කුඩු පාතා­ල­යේ කෙරු­වාව | සිළුමිණ

දකුණේ මිනී­ම­රන ඡන්දෙටත් ඉල්ලූ කුඩු පාතා­ල­යේ කෙරු­වාව

හිටි හැටියේම හිස එසවූ පාතාල අපරාධකරුවෝ පසු ගිය මාසය තුළ පමණක් දහ දොළොස් දෙනෙක්ම එක දිගටම වෙඩි තබා මරා දැමූහ. ඒ දිගු නිහැඬියාවකින් පසුව

සිදුවන පාතාලයේ නැඟී සිටීමක් සනිටුහන් කරමිනි. ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස සිදුව ඇති මේ පාතාලයේ නැගිටීම පොලීසියටද දැන් අභියෝගයක් වී හමාරය.

මේ ඝාතන සියල්ලක්ම මෙහෙයවන මහ මොළ සිටින්නේ රටින් බැහැරවය. ඒ අතර වැඩි දෙනෙක් සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළය. ඉන්දියාවේද සැලකිය යුතු පිරිසක් සිටිති. ලොකුම ඔළුව ඇත්තේ එංගලන්තයේය. ඉතාලියේත්, ප්‍රංශයේත් තවත් ඔළු ගෙඩි කිහිපයක් ඇත්තේය. සියල්ලෝම රටට පිළිලයක්වූ මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවෝය.

මේ කියන කුඩු පාතාලය සිය දඩයම අරඹන්නේ පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස්නැවතුම් පොළේදීය. ඒ මැයි 30 වෙනිදාය. එහෙත් එදා මුහුණු මාරුවී වෙඩික්කරුවාගේ ඉලක්කය බවට පත්වන්නේ යුද හමුදාවේ හිටපු කමාන්ඩෝ භටයෙකි.

කුඩු පාතාලයේ රජවරුන්ගේ ඒ වැරදුණු කුරුමාණම නිවැරදි කර ගනිමින් දෙවැනි වෙඩිල්ල පත්තු කෙරෙන්නේ අලුත්ගම මොරගොල්ලේදීය. ඒ ජුනි 03 වෙනිදාය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවෙකුගේ ප්‍රහාරයකින් එදා ඝාතනය වන්නේ ගයාන් සමින්ද නම් වූ තැඹිලි වෙළෙන්දෙකි.

බැලූ බැල්මට තැඹිලි වෙළන්දෙක් ලෙස පෙනුණත් ඔහු මහ මුහුදේ මත්කුඩු එහා මෙහා ගෙන යන කප්පිත්තෙකි. පකිස්තානයේ සිට කුඩා නෞකාවලින් රැගෙන මත්කුඩු භාරගැනීමට ජාත්‍යන්තර මුහුදු සීමාවට යන බහුදින යාත්‍රා පදවන්නේ ඔහුත් ඔහුගේ මස්සිනාත්ය.

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් 2020 මැයි 14 වෙනිදා අල්ලාගත් ආන්දෝලනයට තුඩුදුන් මත්කුඩු කිලෝ 200කට අධික ප්‍රමාණයද ගොඩබිමට රැගෙන ආවේත් ඔවුන්මය.

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉතා දක්ෂ ලෙස විමර්ශන පවත්වා ඊට ගෑවුණු සැම ජාවාරම්කරුවෙක්ම අල්ලා කූඩු කළත් තැඹිලි වෙළෙන්දාට හෝ ඔහුගේ මස්සිනාට අත තබන්නට ගියේ නැත. එම දෙමස්සිනාලා කොටුකර ගැනීමට තරම් උනන්දුවක්ද මත්ද්‍රව්‍ය කාර්යාශයට නොවීය. ඒ බව දැන සිටි ඔවුන්ද සිටියේ නිදැල්ලේය.

එම වැටලීමෙන් වැඩි කලක් යන්නට මත්තෙන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට චෝදනාවක් එල්ල වන්නේ එදා ඒ අල්ලාගත් මත්තුඩු තොගයෙන් කොටසක් හොර පාරෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්කර ඇති බවටය. අතයට ගනුදෙනු ගැනද ඒත් එක්කම කියැවෙන්නට ගත්තේය. ඒ බව හෙළිකර ගන්නේද මත්ද්‍රව්‍ය කාර්යාංශයේම වෙනත් කණ්ඩායමක් වීම විශේෂත්වයකි. අවසානයේදී මේ ගැන වැඩි යමක් සොයා බැලීමේ වගකීම පැවරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය.

එය දීර්ඝ වූත් සංකීර්ණ වූත් විමර්ශනයකි. අවසානයේදී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වන්නේ එම විමර්ශනයේදී හෙළිවූ තොරතුරු මතය. එතෙක් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අල්ලාගන්නට බැරිවූ බෝට්ටුකරුවන් පිරිසක්ද පහසුවෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. තැඹිලි වෙළෙන්දාත් ඔහුගේ මස්සිනා වූ ජනකත් ඒ අතර සිටියේය. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව අල්ලන්නට උනන්දුවක් නොදැක්වූ හේතුව එළියට එන්නේ එවිටය. බැලින්නම් ආන්දෝලනයට තුඩුදුන් මත්කුඩු තොගය අල්ලන්නට ඔත්තුකරුවන් වී ඇත්තේ ඔවුන් වූ බැවිනි. තැඹිලි වෙළෙන්දාට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන්නේ ඒ නිසාය.

එදා පිටකොටුව බැස්ටියන් මාවතේදී පත්තු වූ වෙඩිල්ලේ වැරදුණු ඉලක්කය ද වෙන කිසිවෙක් නොව මේ කියන තැඹිලි වෙළෙන්දාගේ මස්සිනාය.

මේ අලුත්ම ඝාතන රැල්ලේ තෙවැනි වෙඩිල්ල පත්තුවන්නේත් එදාමය. ඒ පානදුර උයන්කැලේ පැත්තෙනි. ඊට ගොදුරු වන්නේද මත්කුඩු ඡාවාරම හා බැඳුණු චරිතයකි. පානදුරේ කුඩු සළිඳුගේ මත්කුඩු ජාලයේ පුරුකක් වූ ඔහු තැඹිලි වෙළෙන්දාට ඥාතිකම්ද කීවේය.

කුඩු පාතාලයේ සිව් වැනි ඝාතනය සිදුවන්නේ අහංගමිනි. ඒ ජුනි 04 වෙනිදාය. එවර ඝාතනය වන්නේ 2020 වසරේ ජුනි මාසයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අල්ලාගත් හෙරොයින් කිලෝ 219ක් ගොඩබිමට රැගෙන ආ බහුදින යාත්‍රාවක හිමිකරුවෙකි.

මෙසේ වෙඩි පිට වෙඩි හතර අතේ පත්තුවන්නට ගත්තේ එක පෙළටය. ඒ පොලීසිය පවා අසරණ කරමිනි. සිදුවන්නේ කුමක්දැයි පොලීසියට හිතා ගන්නටත් බැරි තරම්ය. ඒ දිගින් දිගටම මෙසේ වෙඩික්කරුවන්ගේ ගොදුරු බවට පත්වන්නට වූයේ පොලිස් ඔත්තුකරුවන් වූ බැවිනි. ඒ අය එසේ මෙසේ ඔත්තුකරුවන් නොවීය. ඔවුන් තොරතුරු දුන්නේ බෝට්ටු පිටින් මත්කුඩු අල්ලන්නටය. එය මෙරට මත්කුඩු ජාවාරම්කරුවන්ට පමණක් නොව,අපේ රටට මත්කුඩු තොග පිටින් එවන පකිස්තානු ජාවාරම්කරුවන්ටද දැඩිව බලපෑවේය. එකිනෙකා මරාගනිමින් සිටි ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෝ සංධානගතවෙමින් පාවාදෙන්නන් දඩයම් කිරීමේ සම්මුතියකට එළඹෙන්නේ ඒත් සමඟිනි.

එම සම්මුතියෙන් පසු සිදුවන කුඩු පාතාලයේ පස්වෙනි බිල්ල ගැනෙන්නේ තංගල්ල මොරකැටිආරේදීය. ඒ ඉකුත් ජුනි 05 වෙනිදා කැබ් රථයකින් ගමන් කරමින් සිටි කුඩාවැල්ලේ අසේලව දඩයම් කරමිනි.

අසේලගේ බල ව්‍යාප්තිය රැඳී තිබුණේ කුඩාවැල්ල ධිවර වරාය ආශ්‍රීතවය. හරක් කටාගේ ඇණවුම්වලට අනුව පකිස්තානුවන් කුඩා නෞකාවලින් රැගෙන එන මත්කුඩු කිලෝ දෙතුන්සීයේ පාර්සල් ජාත්‍යන්තර මුහුදට ගොස් මාළු බෝට්ටුවල පටවාගෙන කුඩා වැල්ලට රැගෙන එන්නේ ඔහුය. ඒ හරක් කටාගේ හයිහත්තියද ඇතිවය. ඒ නිසා කුඩා වැල්ලේ අණසක පැවතියේ අසේල අතේය.

ඒ වන විට හරක්කටාට සිටි විශ්වාසවන්තයන් අතර අසේල සිටියේ ඉහළිනි. පකිස්තානයේ සිට කුඩා නෞකාවලින් දකුණේ ජාත්‍යන්තර මුහුදු සීමාවට රැගෙන එන මත්කුඩු බාරගෙන ගොඩබිමට රැගෙන ඒමේ කටයුත්ත අසේලටම ඔහු භාරදෙන්නේ එබැවිණි. එකී විශ්වාසය පළුදු වන්නේ 2019 වසරේදී නාවික හමුදාව විසින් මහා මුහුදේ කළ වැටලීමක් සමඟිනි. අසේලට බාරදීමට තිබුණු හෙරොයින් කිලෝ 280ක් සමඟ අයිස් කිලෝ 115ක්ද නාවික හමුදාවට හසුවන්නේ පකිස්තානුවන්ද සමඟිනි. ඒ ගැන යම් සැකයක් හරක්කටාට ඇතිවූවත් අසේලගෙන් එවැනි වරදක් සිදුවෙතැයි ඔහු සිහිනෙකින් වත් සිතුවේ නැත. එම සැකය වඩාත් තීව්‍ර වන්නේ දිගින් නාවික හමුදාවත් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් මහා මුහුදේදී හරක් කටාගේ බඩු එක දිගට අල්ලන්නට පටන් ගැනීමත් සමඟිනි. අසේලගේ ඉරණම මෙතරම් ඉක්මනින් විසඳෙන්නේ ඒ නිසාමය.

ඒ අනුව වජිර ඉන්ද්‍රජිත් ප්‍රමුඛ විමර්ශකයෝ වැඩ අල්ලන්නේ වෙඩික්කරුවා පළා ගිය යතුරුපැදිය ඔස්සේය. ඒ වන විටත් එම යතුරුපැදිය තිබුණේ දේද්දුවාවල පැත්තේ පාරක් අයිනක අතහැර දමා ගොසිනි. එහි සවිකර තිබුණේ ග්‍රෑන්පාස් පැත්තේ තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිරිපිට නතරකර තිබුණු යතුරු පැදියකින් සොරාගත් අංක තහඩුවකි. එම අංක තහඩුව ඔස්සේ ඝාතකයා හඹායාම නිෂ්ඵල කටයුත්තක් බව විමර්ශකයෝ කල්තියාම වටහා ගත්හ. ඒ අනුව විමර්ශකයන්ගේ වැඩි අවධානයක් යොමුවන්නට වූයේ යතුරුපැදිය මහ මඟ දමා වෙඩික්කරුවා පලා ගියේ කෙසේදැයි සොයන්නටය.

මොරකැටිආර පැත්තේ එදා රෑ කැරකැවෙමින් තිබුණු සැකකටයුතු මෝටර් රථයක් ගැන තොරතුරක් විමර්ශකයන්ට ලැබෙන්නේ ඔය අතරතුරදීය. ඒ ආරක්ෂක කැමරා දත්ත පරීක්ෂාකරමින් කෙරුනු වෙහෙසකර විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි. එහිදී විමර්ශකයන්ට පෙනී යන්නේ දික්වැල්ලේ නිවාඩු නිකේතන භුමියක මෝටර් රථය එදා ගාල්කර තිබී ඇති බවකි. එම මෝටර් රථයෙන් පෙරදින නිවාඩු නිකේතනයට පැමිණි වෙඩික්කරුවා රැය පහන් කරන්නේද එහි කාමරයක් කුලියට ගෙන බව විමර්ශකයන්ට පෙනී ගියේය.

කුඩාවැල්ලේ රාලහාමි වැඩ තහනම් වූ පොලිස් කොස්තාපල්වරයෙකි. වැඩ තහනමට ලක්වන්නේ නිල ඇදුම ඇඟලාගෙන පාතාලයේ කොන්ත්‍රාත්තුවකට

මිනීමරන්නට ගොසිනි. දැන් ඔහු සිටින්නේ පාතාලයේ පූර්ණ කාලීනව සාමාජිකත්වය ලබාගෙනය. ඔහු සිහින දුටුවේ කුඩාවැල්ල ධීවර වරායේ අණසක සියතට ගැනීමටය. ඒ සඳහා ඔහුට වූ එකම බාධකය වූයේ

අසේලය. මොරකැටිආරේදී අසේලගේ කතාවේ නිමාවක් දකින්නේ ඒ නිසා බවට වූ සැකයක් ද විමර්ශකයන්ට

මතුවන්නට ගත්තේය. කුලි ඝාතකයෙක් ගෙන්වාගෙන රාලහාමි මෙම අපරාධය කරන්නට ඇතැයි විමර්ශකයෝ විශ්වාස කළෝය. එහෙත් එය එසේම නොවන බව පෙනී යන්නේ මෝටර් රථය පසු පස තවදුරටත් හඹා යාමත් සමඟිනි.

එම මෝටර් රථය බෙන්තර පැත්තේ ඇති කුලියට වාහන සපයන ආයතනයක් සතු එකක් විය. එම රථය අවසානයට කුලියට ගත් පුද්ගලයා ගැන කිසිදු සටහනක් එහි නොවීය. විමර්ශකයෝ ඒ ගැන දිගින් දිගටම වාහන කුලි ආයතනයේ හිමිකරුගෙන් ප්‍රශ්න කළෝය. හරක්කටාගේ ප්‍රධාන ගෝලයා ලෙස සැලකෙන ශෂිප්‍රභා ගේ රියදුරුට එම වාහනය එසේ ලබාදී ඇතැයි හෙළි වන්නේ එවිටය.

අනන්‍යතාව ගැන කිසිදු සටහනක් නොමැතිව එම මෝටර් රථය ඔහුට ලබාදීමට මැදිහත්වී තිබුණේ එම වාහන කුලියට සපයන ආයතනයේ

හිමිකරුගේ නැගණියයි. ඇය නීතීඥවරියකි. ඊට ඇය මැදිහත්වන්නේ සිය පාසල් මිතුරකු ඇගෙන් කළ ඉල්ලීමකට අනුවය. එම මිතුරා සමීර මධුස්ක ය. ඔහු ඉඳුරුව පැත්තේ පදිංචිකාරයෙකි. හරක් කටාගේ තවත් ගෝලයෙකි. ඒ පැත්තේ බොහෝ අය ඔහුව දැන සිටියේ සුරතලා යැයි කීවිටය.

සුරතලා මෙන්ම ශෂිප්‍රභාද ඉකුත් මහා මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයට ඉදිරිපත්වූ අපේක්ෂකයන් දෙදෙනෙකි. පාතාලයේ අපරාධකරුවන් දෙදෙනෙක් වූ මොවුන්ට ඡන්දය ඉල්ලන්නට අපේක්ෂකත්වය දෙන දේශපාලන පක්ෂයේ නායකයා සම්බන්ධයෙන්ද ඇත්තේ හොඳ ප්‍රතිරූපයක් නම් නොවේ. ඔහුගේ නම ඉදිරියේද ලියැවී ඇති අපරාධ බොහෝය. ඒ යැයි කියා අධිකරණයක් හමුවේ ඔහු මෙතෙක් ඒ කිසිදු අපරාධයකට වරදකරුවෙක් බවට පත්වී ඇති බවක් සොයාගන්නට නැත. ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙක් වන්නට පවා ඔහුට පාර කැපෙන්නේ ඒ නිසාය. දේශපාලන පක්ෂයක් මිලට ගෙන එම පක්ෂයෙන් ඔහු ජනාධිපති අපේක්ෂකයෙක් වන්නේ ජනපති වන්නට නොව, තමාට හි‍තෛෂී ප්‍රබල දේශපාලනඥයෙක් ජනපතිකරන්නට තල්ලුවක් දෙන්නටය.

සිය අපේක්ෂාවන් එතැනින් හමාර වන්නේ නැත. මහා මැතිවරණයටද ඔහු සිය පක්ෂයෙන් මුළු රටට සිය අපේක්ෂකයන් ඉදිරිපත් කළේය. ප්‍රකට හිමිවරු කිහිප දෙනෙක්ද ඉකුත් මහා මැතිවරණයට ඉදිරිපත් වූයේ මෙම පක්ෂයෙනි. පාරිලිමේන්තුවේ එක් නියෝජනයක්ද ඇති එම පක්ෂය වඩාත් කතාබවට ලක්වන හා ලක්වෙමින් ඇති දේශපාලන සංවිධානයකි. මෙහි නායකයා මහ ලේකම්වරයාය. සංචාරක මඟ පෙන්වන්නෙක් ලෙස ජීවිකාව ඇරඹූ අද ඔහු ප්‍රකෝටිපතියෙකි. දකුණේ පාතාලයේ ප්‍රබලයෙක් වන කොස්ගොඩ සුජී ඔහුගේ ප්‍රබල ප්‍රතිවාදියාය. කොස්ගොඩ සුජී ඔහුව මරා දැමීමට උත්සහ ගත්තේද වරක් දෙවරක් නොව. කිහිප විටක්ම සුජීගේ කල්ලියේ වෙඩි පහරවල්වලට ඔහු ලක්විය. වරක් ඔහුට තැබූ වෙඩිල්ලක් වදින්නේ විදේශිකයකුටය. හැබැයි අද ඔහුට වෙඩි තියන්නට ජගතෙක් නැති තරම්ය. ඒ තරමට ඔහු

බලවත්ය. සිංහල සංවිධාන කිහිපයකටම පසුගිය කාලයේ අරමුදල් සපයන ලද්දේත් පෝෂණය කළේත් ඔහු බවට වූ තොරතුරුද බුද්ධි අංශ සතුය.

මේ කියන පක්ෂ නායකයා කෙරෙහි විමර්ශකයන්ගේ විශේෂ අවධානයක් යොමු වන්නේ ඔහුගේ පක්ෂයෙන් පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් මහා මැතිවරණයට තරග කිරීම නිසා නොව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සුරතලාව සඟවාගෙන සිටින්නේ ඔහු බවට තොරතුරු ලැබෙන්නට ගත් බැවිනි.

විමර්ශකයෝ ඔහු පස්සේ පන්නන්නට ගන්නේ එතැන් සිටය. කුරුණෑගල පැත්තේ ඇති ඔහුට අයත් නිවසක සුරතලා රැඳී සිටින බවට තොරතුරු ලැබෙන්නට වූයේ ද ඒ අතරය. පොලීසිය තමාට ඉව අල්ලන බව

වටහාගත් නිසාදෝ මේ කියන පක්ෂ නායකයා සුරතලාව සිය රැකවරණයෙන් මුදා හැරියේය. ඒත් එක්කම සුරතලාගේ දෑතට විලංගු වැටෙන්නේ අසේලගේ ඝාතනයට කොටුකරගත් පළමු සැකකරු බවට පත්වෙමිනි.

අනතුරුව විමර්ශකයන්ගේ විශේෂ අවධානය යොමුවන්නේ රාලහාමි වෙතටය. වැඩිකාලයක් රාලහාමිට නිදහසේ ඉන්නට ඉඩක් නොවීය. රාලහාමිවද කොටුකර ගන්නේ දික්වැල්ලේ නිවාඩු නිකේතනයට ඔහු සමඟ එදා ආව ගිය ගෝලයින් දෙතුන් දෙනෙක් සමඟිනි. අසේලව මරා දමන්නට පෙර ඔහු යන එන තැන් ගැන ඔත්තු බලා තිබුනේ රාලහාමි ඇතුළු ඒ ගෝලබාලයින්ය. වෙඩික්කරුට මඟ පෙන්වන්නට යතුරුපැදිය පදවාගෙන යන්නේද රාලහාමිගේ ගෝලයෙකි. මේ දේවල්වලට ඔහු සම්බන්ධ වන්නේ ශෂිප්‍රභාගේ ඉල්ලීමටය. අසේලගෙන් පසු කුඩාවැල්ලේ තනි බලය ලැබෙන්නේ තමාට බව දැන සිටි නිසා රාලහාමි ඊට කැමැත්ත දක්වන්නේ එකපයින්මය. වෙඩිල්ල වැරදුනොත් බෝම්බ ගසා අසේලව මරා දැමීමටද ඒ අතර රාලහාමි සැලසුම් කළේය. ඒ සඳහා සූදානම් කරගෙන සිටි බෝම්බයද විමර්ශකයෝ සොයා ගත්හ.

දික්වැල්ලේ හෝටලයට වෙඩික්කරුවා රැගෙන එන්නේ බෙන්තරින් කුලියට ගත් මෝටර් රථයේ නංවාගෙනය. ඒ ජුනි 04 වෙනිදාය. එම වෙඩික්කරු කවුරුන්දැයි කියන්නට රාලහාමි දැන සිටියේ නැත. ඒ ගැන දැන සිටි එකම පුද්ගලයා වූයේ ශෂි ප්‍රභා පමණි. රාලහාමි කළේ වෙඩික්කරුවාට පහසුකම් සපයමින් සිය ගෝලබාලයින් යොදා අසේලගේ ගමන් බිමන් ගැන ඔත්තු බැලීම පමණි. අඩුම තරමින් වෙඩික්කරුවාගේ අනන්‍යතාව නිවාඩු නිකේතනයේ පොත්පත්වල පවා

සටහන්කර ගැනීමට ඉඩක් දුන්නේ නැත. හැම පැත්තකින්ම ඔහුව ආරක්ෂාකරන්නට රාලහාමි වගබලා ගත්තේය. එහෙත් වජිර ඉන්ද්‍රජිත් ප්‍රමුඛ විමර්ශන කණ්ඩායමෙන් වෙඩික්කරුවාට ගැලවිල්ලක් නොවීය. ඉතා සියුම් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස

වෙඩික්කරුවාව හඳුනා ගත්තේය. කඩවත වෑබඩ උතුරේ පදිංචිකරුවෙක් වූ වෙඩික්කරුවා යුද හමුදා විශේෂ බළකායෙන් පලාවිත් සිටි සෙබළෙකි. අවුරුදු 51ක් වයසැති ඔහු වසර 12ක්ම හමුදා සේවයේ නිරතව සිටියෙකි. යුද හමුදාවේ සිටි දක්ෂතම වෙඩික්කරුවෙක් වූ ඔහු පාතාලයේ කුලී ඝාතකයෙකි. ඒ වන විටත් අපරාධ ගොන්නකටම වගකිව යුතු චරිතයක් වූ මේ අභිරහස් ඝාතකයා සිටියේ උන්හිටිතැන්වලින් අතුරුදන්වය.

විමර්ශකයෝ කොළඹ පැත්තේ ඔහු කරක් ගසන්නේ යැයි අනුමාන කළ බොහෝ තැන් දින ගණනාවක් තිස්සේ රැක්කේය. අවසානයේදී

පාතාලයේ අභිරහස් වෙඩික්කරුවා වූ අසේලගේ මාරයා කොටුවන්නේ වැලිවේරිය පැත්තේදීය. ඒ සිය අනියම් අඹුව හමුවන්න එන අතරතුරදීය.

වෙඩික්කරුවා අත්අඩංගුවේ සිටියදීත් ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියාත්මකව තැබීමට විමර්ශකයෝ වගබලා ගත්හ. ඒ ඔහු එම ජංගම දුරකතනයට ලැබෙන ඇමතුම් ඉදිරි විමර්ශන සඳහා පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂාවෙනි. විමර්ශකයන් ගත් ඒ පියවර ඉතා නිවැරදි තීන්දුවක් බව පසක් වන්නේ ශෂිප්‍රභාගෙන් වෙඩික්කරුවාට ලැබුණු දුරකතන ඇමතුමක් හේතුවෙනි. එම ඇමතුම ඔහු දෙන්නේ චන්ද්‍රිකා දුරකතනයක් ඔස්සේය. ඒ වන විටත් ශෂිප්‍රභා මුල සිටම වෙඩික්කරු සහ රාලහාමි සමඟ සම්බන්ධකම් පෑවේ එම දුරකතනයෙනි. ඒ යම් විටක වැඩේ වැරදුණහොත් තමා පස්සේ දුරකතනය ඔස්සේ ලුහුබදිමින් පොලීසියට ඉඩනොදීය.

අදටත් ශෂිප්‍රභා නිදැල්ලේ ඉන්නේ එබැවිනි. ශෂිප්‍රභා පළමුව වෙඩික්කරුවාගෙන් විමසන්නේ ඔහු හොදින් සිටීදැයි කියාය. මරණ බියෙන් සලිත වී සිටි වෙඩික්කරුවා තමා හොඳින් සිටින්නේ යැයි කියන්නේ විමර්ශකයන්ගේ ඉගැන්නුම් බහටය. ඒත් එක්කම ශෂිප්‍රභා ඔහුට පවරන්නේ තවත් කොන්ත්‍රාත්තුවකි. ඒ ඌරුබොක්කේ අයෙක්ව මරා දමන්නටය. එම කොන්ත්‍රාත්තුවත් ඔහු බාරගත්තේය. එහෙත් එය ඉටුකිරීමට ඉඩක් ඔහුට නොවීය. ඒ නිසාම එම ඝාතනය වැළකී ගියේය. එසේ නොවන්නට මේ ඝාතන රැල්ලට ඌරු බොක්කෙන්ද තවත් ඝාතනයක් එක්වීමට තිබුණු ඉඩ බොහෝය.

 

Comments