දාර්ශනිකත්වය සිය නිර්මාණ හා සියුම්ව බද්ධ කරන ලේඛකයා පියල් කාරියවසම් | සිළුමිණ

දාර්ශනිකත්වය සිය නිර්මාණ හා සියුම්ව බද්ධ කරන ලේඛකයා පියල් කාරියවසම්

නිර්මාණකරුවා ජීවත් වන්නේ ඔබ මම ජීවත් වෙන සමාජ වපසරියේ ම ය. ඔහු එයින් ආභාසය ලබයි. අත්දැකීම් උකහා ගනියි. ඕනෑ ම නිර්මාණකරුවකුට පාදක වන්නේ අත්දැකීම් ය. ඒවා ස්වකීය හෝ වෙනත් අයකුගේ අත්දැකීම් විය හැකිය. කිසියම්ම හෝ නිර්මාණකරුවකු අන්‍ය අත්දැකීමක් ලියන්නේ හෝ නිර්මාණය කරන‍්නේ හෝ වුව ද ඊට තම අත්දැකීම් හා අනුභූතිය එක්වන බව සත්‍යයකි.

බොහෝ නිර්මාණකරුවන් කියන්නේ මේවායේ එන දේවල් මගේ කියා විවේචනය කරන්නට හෝ මා කියවා ගන්න‍ට හෝ උත්සාහ කිරීමට යොදා නොගන්නා මෙන් ය. එය සත්‍යයකි. අත්දැකීම් කවරාකාර වුව ද ඒ අත්දැකීම් සියල්ල ම නිර්මාණකරුවාගේ යැයි කියා ඔහු වෙත පැටවීම හෝ ඔහු කියවා ගැනීමට භාවිත කිරීම අනවශ්‍ය ක්‍රියාවකි. ඒ අත්දැකීම් නිර්මාණකරුවාගේ හෝ අන් අයගේ හෝ වෙනවා මෙන් ම ඔබේ ද මගේ ද වන්නේ ය. ඒවා මතින් වෙන අය කියවා ගන්නට කරන උත්සාහය තමන් කියවා ගැනීමට යොදා ගන්නේ නම් කලාවේ අරමුණ ඉෂ්ට වන්නේ ය.

පියල් කාරියවසම් ලේඛකයා අප හඳුනා ගන්නේ ලේඛකයකු, විචාරකයකු හා නාට්‍යවේදියකු වශයෙනි. එතැනින් විශ්වවිද්‍යාල දේශක භූමිකාවට ද පණ පොවන ඔහු සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි. විවිධ ක්ෂේත්‍රවල තමා ලබා ගන්නා අත්දැකීම් හේ ස්වකීය නිර්මාණ සඳහා යොදන්නේ එකී අත්දැකීම අපට ද පොදු කරමිනි. සම්මානනීය නිර්මාණකරුවකු වශයෙන් සමාජයේ හා පාඨක සම්භාවනාවට පත් හෙතෙම තම නිර්මාණ අත්දැකීම් අප හා බෙදා ගත්තේ මෙපරිද්දෙනි.

මම‘දික්කසාදය‘ කියන කෙටිකතා සංග්‍රහය ලියන්නේ විශ්වවිද්‍යාලෙ යන කාලයේ. එහි තිබෙනවා හරන්තික කියලා කතාවක්. ඒක සද්ධර්මාලංකාරයේ එන කතාවක්. හරන්තික නම් හොරාට මළමිනියක් පිටේ බැඳගෙන යන්න සිද්ධ වුණා හොරකම් කළ නිසා. ඒ කතාව මම ප්‍රතිනිර්මාණය කළා කතා ලියන්න පුරුදු වෙන කාලේ. මම ඒ කාලේ සම්භාව්‍ය සාහිත්‍යයත් පෙරදිග හා අපරදිග සාහිත්‍යයත් අධ්‍යයනය කළා.

මට ඒක ලියන්න හේතු වුණේ 80 ගණන්වල විශාල වශයෙන් භීෂණය යුගය. එදා ඒ සමාජයේ තනි පුද්ගලයා බොහෝ හුදෙකලා වුණා. ආහාර හිඟය, භීෂණය, නීතිය වල් වැදීම වගේ කාරණා බලවත් වෙලා තිබුණා. මම

දේශපාලනය ආශ්‍රිත පොතපත කියවන නිසා කතාවක් ලියන කෙනෙක් විදියට උත්සාහ කරනවා, නිදහස් මානුෂවාදී අභ්‍යාසයක කතාව පවත්වන්නේ නැතිව සමාජයට ප්‍රතිමුඛ වෙන්න. සමහරු එය ආයාසයෙන් කරනවා; සමහරු නිරායාසයෙන් කරනවා. අද ලෝකයේ හුඟක් අය දැනුම්වත් ව සංකල්පීය ලෝකයේ ගොඩනැඟීම සඳහා කතා කලාව ගොඩනඟා ගන්නවා. එක්තරා ආකාරයකට සංඝ සමාජය මුල ඉඳල ම අපේ සමාජයේ එක්තරා භූමිකාවකට පණ පොවනවා. අපේ අවිඥානය සහ සමාජය ඇතුළේ සමහර ගතිකත්ව පාලනය කිරීම සඳහා මේ සමාජය ක්‍රියා කරනවා. එහිදී මම හරන්තික කියන හොරා පිළිබඳ යම්කිසි අර්ථකථනයක් දෙන්න උත්සාහ කළා. ඒ මගේ පළවෙනි පොතේ තියෙන කතා බොහොමයක් ඒ වගේ පර්යේෂණ කරමින් තමයි ලිව්වෙ. ඒක කාලානුරූපයි‘

කාලානුරූප බව එසේත් නැත්නම් සමරූපී බව ආදේශ කළ හැකි ක්‍රම තිබේ. එකක් වන්නේ තේමාත්වක ව ගැනීමයි. සාහිත්‍ය කෘතිවලට සමරූපී බව අනෙක් සාහිත්‍යාංගවලට වඩා ආදේශ කරගත හැකිය. මේවා දෘෂ්ටිවාදාත්මක ව වෙනස් විය හැකිය. මේ වැනි ප්‍රවේශ සඳහා පුරාතන හා නූතන දෑ අධ්‍යයනය කිරීම වැදගත් ය.

තමන් විවිධාකාරයෙන් අධ්‍යයනය කරන දෑ එක ප්‍රවේශයකට ගොනු වන්නේ සිය කැමැත්තේ පරිමාව අනුව ය. ඒවා පර්යේෂණාත්මක ස්වරූපයෙන් හෝ වෙනත් ස්වරූපයකින් ගොඩනැඟිය හැකිය.

‘දිවුල් ගහේ කොළ සුළඟේ විසිර යද්දි‘ කතාව කෙටි චිත්‍රපට දෙකකටත් වරක් නැඟුණා. ගොවියන්ගේ ප්‍රශ්නය ගැනයි මෙහි කතා කරන්නේ. එයත් සදාකාලික ප්‍රශ්නයක්. මගේ මාමා කෙනෙක් සමාජයේ ඇති වුණු ප්‍රශ්න කිහිපයක් නිසා සිය දිවි නසා ගත්තා. ඔහු ගොවි පවුලකින් පැවත එන කෙනෙක්. ඒකෙන් මට විශාල කම්පනයක් ඇති වුණා. හුඟක් වෙලාවට මම කතා ලියන්න උත්සාහ කරන කෙනෙක් හැටියට අවුරුදු ගණන් මේවා හිතේ තියාගෙන ඉන්නවා. ඒවා මගේ තියෙන්නෙ රූප හැටියට. සමහර වෙලාවට මට ඒක සාධාරණීකරණය කරන්න මේ ගොවි සමාජ ඇතුළෙ තියෙන සමහර ප්‍රශ්න රූප විදියට යොදා ගන්න සිදු වෙනවා. සිනමාවට, ගුවන්විදුලියට හා නාට්‍යයට තියෙන කැමැත්ත හා ශික්ෂණයත් එයට බලපාන්න ඇති.

තුන්වැනි ලෝකයේ තියෙන දරුණු ප්‍රශ්නයක් තමයි, වගා බිම් විශාල වශයෙන් ඇති කළාට ඒවයෙ වවන දේවල් විකුණාගන්න ආධිපත්‍ය ගොවියාගෙන් ඉවත් කිරීම. මේ කතාවෙ තියෙන්නෙ මිරිස් විකුණාගන්න බැරිව එහෙම ඛේදවාචකයකට ලක් වෙන අවස්ථාවක්. මම මේ යථාර්ථය රූපණය කරන්නයි උත්සාහ කළේ. මගේ මාමාගේ සිද්ධිය තමයි මට මේක ලියන්න බලපෑවේ. එයා ගොවියෙක් සහ සුළු වෙළෙන්දෙක්. නමුත් ගොවිතැන සම්බන්ධ ගැටලුවකට නොවෙයි එයා සිය දිවි නසා ගත්තෙ. හැබැයි ඒ සිද්ධිය වටපිටාවෙ තිබුණු දේවල් බැලුවම ඒකත් එක්තරා බලපෑමක් කළ සිද්ධියක්. නූගත් කම, ගොවියාගේ තියෙන පීඩනය, ලිංගිකත්වය වැනි ප්‍රශ්න ගණනාවක් මම මේ සිද්ධිය නිසා දුටුවා‘

පියල් ලේඛකයාගේ අත්විඳීම් පරාසය පුළුල් වූවකි. ඔහුගේ හිතවතුන් අතර ගොවි කම්කරු ජනතාව මෙන් ම ඉහළ මධ්‍යම පාන්තිකයන් ද වෙයි. ප්‍රාමාණික උගත්තු මෙන් ම දිළිඳු නූගත් ජනයා ද ඒ අතර ඇත. ඒ අය සමඟ කාලාන්තරයක් ජීවත්වීමෙන් ලද පන්නරයක් ඔහු සතු ය. ඒනිසා මේ චරිත කියවා ගැන්ම ඔහුට එක් අතකින් පහසු ය.

මුළු මහත් ජීවිතය ම අත්දැකීමකි. ජීවිතයේ සෑම කාල පරිච්ඡේදයක්මත්, සෑම චලනයක්මත් අත්දැකීමක් ය. ජීවිතයේ සමහර කාලපරිච්ඡේද වෛවර්ණිත ය; සමහර කාල අඳුරු ය; සමහර කාල අහස වැනි ය, නිරන්තර වෙනස්වන සුලු ය. මේ ඕනෑම වර්ණයකින් ගොඩනැඟෙන්නේ අත්දැකීමක් ය. අත්දැකීම් ග්‍රහණය වන්නේ විවිධ අයුරිනි. ඔබට, මට අත්දැකීම් ලැබුණ ද ඒවා යොදා ගන්නේ හෝ ඒවායෙන් පැනෙන නව අර්ථ ග්‍රහණය කර ගන්නේ කෙසේදැයි නොතේරෙන්නට ඉඩ තිබේ. එහෙත් කවියන්, දාර්ශනිකයන්, නවකතාකරුවන් අපට වඩා බෙහෙවින් වෙනස් ය. ඔවුහු සෑම අත්දැකීමක් ම පිට නොපිට පෙරළා ඒවායෙහි සියුම් තැන් ග්‍රහණය කර ගැනීමේ ලා සමත් ය. අත්දැකීම පිටුපස හෝ අත්දැකීම ඉක්මවා පවතින යමක් ආවරණය කිරීමේ ලා ඔවුහු සමත්කම් පාති. දාර්ශනිකයන්, කවියන් අතර මේවා සැමවිට ම විවිධ හැඩතල ගන්නේ ය.

පියල් ලියන තවත් කෙටිකතා සංග්‍රහයක් වන්නේ කුරිරු සුරංගනා කතාවක් යන්නයි. එහි එන කෙටිකතාවක අත්දැකීම ඔහු පාඨක සහෘදයා හා බෙදා ගත්තේ මෙලෙසිනි.

මේ පොතේ තියෙනවා සියඹලා සහ පරාල ඇණ කියලා කතාවක්. ඇඹිලිපිටියේ සිට තණමල්විල හරහා බස් එකේ මම ගමේ යනවිට සියඹලා ගස් වැවුණු පාළු පදාස, වියළී ගිය තෘණ පත් කලාප පසු කරනවා. ඒ පහු කරන් යන අඩවියේ තමයි ශිෂ්‍ය ව්‍යාපාරේ නායකයෙක් වුණු ත්‍රීමා විතාරණ ඝාතනය කරලා ගහක එල්ලලා තිබුණේ. ලෙනාඩ් වුල්ෆ්ගෙ පොත්වල තියෙන පරිසරය තමයි ඒ වටපිටාවෙ තිබුණෙ. ඇත්තටම ලෙනාඩ් වුල්ෆ් අශ්වයා පිටේ මේ පරිසරයෙ නිතර ගමන් කරලා තිබුණා. මේ ප්‍රදේශය පහු කරද්දි මට නිතරම හිතෙනවා මේ ගැන ලියැවුණේ නැහැ නේද කියලා. අද ත්‍රීමා නැහැ. හැබැයි ශිෂ්‍ය ව්‍යාපාරෙ තියෙනවා. ඒ කාලෙ ශිෂ්‍ය ව්‍යාපාරෙ හිටපු අය දැන් කථිකාචාරයවරු; මහාචාර්යවරු; පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආදී විවිධ තනතුරු දරනවා. ඒ දේශපාලනේ ඒ විදියට ම කරගෙන යන අයත් ඉන්නවා. මේ සියලු ප්‍රශ්න මට දැනෙනවා. මම ත්‍රීමා දැකලවත්, ආශ්‍රය කරලවත් නෑ. හැබැයි මට මේ කතාව කියවපු අය කිව්වා ඒක හරියට ම ස්ථානගත කරලා තියෙනවා කියලා.

පරිකල්පනය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. එය සිද්ධ වෙන්නෙත් දෘෂ්ටිවාදාත්මක ශක්‍යතාව එක්ක කියලයි මම විශ්වාස කරන්නෙ. ඉතින් මම ත්‍රීමා වෙනුවෙන් කතාවක් ගොඩනැඟුවා. ඒ කාලෙ ගොඩක් ශිෂ්‍යයන් නැති වුණා. ඒ සියල්ලත් මගේ සිතේ තියෙන්න ඇති. මට ඒ අයට සාධරණයක් කරන්න ඕන කියලා හිතේ තිබුණා. කොහොමද මගේ භාවිතය ඇතුළෙ මම ඒක කරන්නෙ කියලා මම හිතමින් සිටියා. සාහිත්‍ය ඇතුළෙ ත්‍රීමා ඇතුළු පිරිසගේ මුද්‍රාව සටහන් කරන්න ඕන කියලා මට හැඟීමක් තිබුණා. හැබැයි ඇත්තටම මට ඒවැනි දෙයක් ලියන්න ඕන කියලා බලපාන ප්‍රධාන සාධකය වුණේ බස් එකේ යද්දි අර මම දැකපු පරිසරය‘

අත්දැකීම තීව්‍ර කිරීම හෝ මොට කිරීම නිර්මාණකරුවාගේ ප්‍රතිභාව මත රඳා පවතින්නකි. කුරිරු, අඳුරු අත්දැකීමකින් අර්ථවත්, සජීවී අර්ථකථනයක් මතු වීමේ ප්‍රතිභාව කලාකරුවාගේ නිපුණතාව මත තීරණය වේ. කලාව කියන්නේ ම ඒකට ය. ජීවිතය එහි කොන්දේසි සමඟ ම තේරුම් ගෙන, ඒවා රසවත් සහ උත්කෘෂ්ට සංරචන බවට පෙරළීමට දෙනු ලබන නාමය කලාව යැයි සමහරු යෝජනා කරන්නේ ඒ නිසා ය. මේවා අඩුවැඩි වශයෙන් නිර්මාණකරුවන් භාවිත කරන්නේ ඒ සත්‍යය ගැන ඔවුන්ට වෙන දැනීම හේතුවෙනි. කලාව, ආදරය හා සම්බන්ධ වන්නේ මේ වැනි තැන්හිදී ය. ආදරය සියලු අඩුලුහුඩුකම් අඳුනන බවත්; ඒ අඩුලුහුඩුකම් සියල්ලත් සමඟින් ආදරය කරනා බවත් ' කොලරා කාලේ ආලේ' ලියමින් කියන්නේ ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් ය. ආදරය, කලාව එක්තැන් වන්නේ මේ වැනි තැන්වලදී ය.

පියල් කාරියවසම් ලේඛකයාගේ නිර්මාණ කාර්යය ඇතුළේ අපට හමුවෙන විශේෂත්වයක් වන්නේ දාර්ශනික කාරණා නිර්මාණ ඇතුළත ස්ථානගත කරන්නට දක්වන වෑයමයි. ඔහු ඒ පිළිබඳ පෙරඅපර දෙදිග නිර්මාණ කාර්යය අධ්‍යයනය කරන්නේ ය. ඒවා අත්හදා බලන්නේ ය.

‘ආචාරි සීයා දුටු දිලුලන අන්ධකාරය‘ කෙටිකතා සංග්‍රහයේ කේ චන්ද්‍රසිරිගේ එක්තරා ගමනාන්තයක් කියන කෙටිකතාවේ අත්දැකීම ගැන කතා කරන්නත් මම කැමැතියි. මම විශ්වවිද්‍යාලෙ අවසන් වසරේ ඉන්න කොට මගේ අම්මාගේ ගර්භාෂය ඉවත් කරන්නට සිදු වුණා. අපේ ගෙදර ඉන්නෙ මායි මල්ලියි විතරයි. අම්මගේ මේ සැත්කම කරන්න ගොඩක් මගේ යාළුවො මට උදව් කළා. මේ සැත්කම ඉවර වෙලා බොහොම නිරුපද්‍රිත ව මගේ අම්මව ගෙදර එක්ක යන්න මට පුළුවන් වුණා. නමුත් මට කල්පනා වුණා, මේ ශක්‍යතාව නැති කෙනෙක් මේකට මුහුණ දෙන්නෙ කොහොමද කියලා.

මම ඒ කාලෙ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න ගමන්, වෙළෙඳ දැන්වීම් ආයතනයකත් වැඩ කරන ගමන් හිටියෙ. හැබැයි මේ කිසි දෙයක් නැති කෙනෙක් කොහොමද මේකට මූණ දෙන්නෙ කියලා මට දෙගිඩියාවක් තිබුණා. සමාජ විෂමතාව ගැන මට තිබුණා හැඟීමක්. එහෙම කිසිම පහසුකමක් නැති මනුස්සයෙක් තමන්ගෙ අම්මා බෝඩිමක තියන් ඉඳලා නැවත දුර ඈත ගමකට අරන් යනකොට අම්මගෙ මැහුම් කැඩිලා ඇති වෙන ඛේදය මම පරිකල්පනය කළා. මට වුණු දේහි විරුද්ධාර්ථයයි මම ලිව්වෙ. සමාජ අර්බුදයයි මම ලියන්න උත්සාහ කළේ‘

ලේඛකයන් කියන්නේ එවන් හෘදය සංවේදී සිත් ඇත්තන්ට ය. ඔවුහු සමාජ විෂමතා සිය ජීවිතයට ගන්නේ රිදුණු සිතැති ව ය. ඒවායෙන් රිදෙන නිර්මාණකරුවෝ මේ අත්දැකීම් ලියන්නේ සියල්ලන් වෙනුවෙනි.

‘ඔර්හාන් පාමුක් ලේඛකයා කියනවා හැමදාම අපි මතක තියාගන්න ඕන කාරණය තමයි; තමන්ගෙ කතා අනුන්ගෙ කතා විදියටත්, අනුන්ගෙ කතා තමන්ගෙ කතා විදියටත් ලියන්න ඕන කියන එක. අපි අත්දැකීමට සමීප වෙද්දි විවේචනාත්මක වුණේ නැත්නම් හොඳ කතාවක් එන්නෙ නැහැ‘

කලාකරුවන් කලාවේ නිමග්න වෙන ක්‍රමවේද සහ එහි ස්වභාව එකිනෙකට වෙනස් ය. ඒ සියල්ලට පාදක වෙන අත්දැකීම් එකකි; ඒ අත්දැකීම් සංවේදනය වන ආකාරය පමණක් වෙනස් වේ. කුලීන කුලහීන බව, ස්පර්ශිත අස්පර්ශිත බව, පාවාදීම මේ සියල්ල ම ඔබත්, මමත් අත්දකින දෑ ය. ඒ සියල්ල ම හදවත වේදනාවට පත් කරමින්, කොනිති ගසමින්, කීතු කීතු කර ඉරා දමමින් කියූවෝ අරුන්දතීලා, කමලා දාස්ලා, ශේක්ස්පියර්ලා එවැන්නෝ ය. මේ අත්දැකීම් සියුම් ආදරයෙන් පොඟවා පිරිමදිමින් කියා දෙන අනෙක් ක්‍රමවේදයේ නියුතු වන්නන් අතර අයිත්මාතව්, කොයියෝ වැන්නන් ඉදිරියෙන් ම සිටිති. පියල් කාරියවසම් මේ සියලු ක්‍රමවේද තම නිර්මාණකරණයට පාදක කරගනී. ඒ සිය වස්තු විෂයය ඉල්ලා සිටින පිළිවෙළට ය. කෙසේ වුවත් පවතින සමාජයේ විවිධ දෑ නිසා හේ කම්පනයට පත් වෙයි. එය හැඟීමක් පමණක් නොකර භාවිතයේ දී තවත් බොහෝ දෙනකුට ජීවිත පරිඥානය වෙනුවෙන් හේ ලියා තබයි. අප මේ කතා කළේ එවන් වූ නිර්මාණ කිහිපයක අත්දැකීම් පිළිබඳ ව ය.

‘ මම ගොඩක් කල් ගන්නවා කතා සංග්‍රහයක් ඉදිරිපත් කරන්න. කතාවත් එක්ක මම ගොඩක් හැප්පෙනවා. මම සාහිත්‍යයේදී එක ප්‍රභේදයක් නොවෙයි ඇසුරු කරන්නේ. උදාහරණයක් විදියට මම විද්‍යා ප්‍රබන්ධ කියවන්න ගොඩක් ආසයි. ලෝකයේ ගොඩක් විද්‍යා ප්‍රබන්ධ මම ළඟ තියෙනවා. වෙනත් විෂයයන් කියවන්න ඇසුරු කරන්නත් ගොඩක් කැමතියි. වෛද්‍ය විද්‍යාවට අදාළ රහස් පරීක්ෂක කතා, දේශපාලන රහස් පරීක්ෂක කතා ඒ අතර තියෙනවා. කතාකාරයකුට අවස්ථා තුනක් තියෙනවා. එකක් ප්‍රශ්නයත් එක්ක එකට එකතු වීම; දෙවැන්න ප්‍රශ්නයට ඇතුළු නොවී මුහුණ දීම; තෙවැන්න තමයි කතාවත් සමඟ තමනුත් අතුරුදන් වෙලා යන එක. ඔය තුන ම විවිධ ආකාරයට භාවිත කරන්න මම උත්සාහ කරනවා‘

ජීවන පරිඥානයෙන් තොර ලේඛකයන්ගේ කතාවක් හෝ නිර්මාණයක් කියැවූ විට, රස විඳි විට නිර්මාණකරුවා විසින් හඳුන්වා දෙන චරිත කරන නොවැදගත්, රළු ක්‍රියාදාම නිසා පාඨක මනසේ ඉතිරි වන්නේ චිත්ත පීඩාවක් පමණි. ඉතා දුක සේ අප ඒ චරිත හඳුනාගන්නට, කියවා ගන්නට උත්සාහ කළත් ඒ චරිත අභ්‍යන්තරයට සැබෑ මිනිස් ලක්ෂණ ඇතුළත් කරන්නට ලේඛකයා අසමත් වී ඇති බැවින් පාඨක සහෘදයන්ට ඉන් ආනන්දයක් ලැබෙන්නේ නැත. වත්මනෙහි වත්මන් ජීවිතය පසු කරගනිමින් ලියැවෙන බොහෝ කෘති, ඒ කෘතියෙන් කියැවෙන අදහසට අවතීර්ණ වන්නේ ‍බලෙනි.

එයට මූලික හේතුව වන්නේ ලේඛකයාගේ භාවමය නොගැඹුර පමණක් ම නො වේ; නිර්මාණකරණයේ දී අවැසි ම වන සියුම් නිරීක්ෂණ ද ඔහු අතින් ගිලිහී ගොස් ඇති බැවිනි. එසේ නොවන්නට නම් පියල් කාරියවසම් ලේඛකයා පෙර කියූ පරිදි ම මේ කතා සමඟ විවිධ ලෙස බද්ධ විය යුතුය. එය සිය ආත්මයෙන් කළ යුත්තකි. එවිට නිර්මාණය අකාලික නිර්මාණයක් ව නිර්මාණකරුවා අමරණීය පුද්ගලයකු බවට පත් කරන්නේ ය. පියල් කාරියවසම් ලේඛකයා මේ කරමින් සිටින්නේ එවන් ව්‍යායාමයකි.

Comments