
ගෙලිඔය පාසල ආසන්නයේ පිහිටි තාමත් වැඩ නිම නොකළ තෙමහල් නිවස කවුරුත් හඳුන්වන්නේ බලු ගෙදර නමිනි. කොන්ක්‍රීට් කණු වලින් මහල් තුනක් දක්වා දිවෙන ගොඩනැගිල්ලේ පළමු හා දෙවන මහල් වල කාමර බ්ලොක් ගල් වලින් වෙන්කර තිබුණත් ඒවා තාමත් කපරාරුවක සේයාවක් හෝ දැක නැත. බිත්ති බැඳ කාමර වෙන් නොකළ තෙවැනි මහළ පවතින්නේ ශාලාවක් පරිද්දෙනි.
නිවසට ඇතුළු වනවාත් සමඟම අප වෙත කඩා පැන්නේ සුනඛ රංචුවකි. ඒ එකෙක් දෙන්නෙක් නොව ලොකු කුඩා සැමගෙන් සමන්විත කණ්ඩායමකි. ඒ වනවිටත් අප පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් සිටි රෝෂිණි එ්යි දරුවනේ කියා පවසනවාත් සමඟ බලු රෑන නැවතුණේ ඉද්ද ගැසුවක් මෙනි. පිටත කලබලය දැනී තවත් සුනඛයන් එකා දෙන්නා නිවසින් පිටතට ආහ. සුනඛයන් ඔක්කොම කී දෙනෙක් ඉන්නවාද කියා ඇසූ පැනයට 69 ක් කියා පිළිතුරු දුන්නේ රෝෂිණිගේ එකම දියණය වන සඳුනිය. රෝෂිණිගේ සැමියා දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණ ශිල්පයකු ලෙස සේවය කරන රුවන් රත්නායක යි.රෝෂිණිට හා රුවන්ට එක් දියණියක් සිටියත් ඔවුන් කියන්නේ අපිට දරුවන් 70 ක් ඉන්නවා කියාය.ඒ නිවසේ දරුවන් මෙන් හැදී වැඩෙන සුනඛ දරුවන් 69 දෙනාද සමඟය.
![]() |
රෝෂීණී සිය සැමියා සහ දියණිය සමඟ |
වසර 12 ක පමණ කාලයක් තමන්ගේ මුදල් වැයකර සුනඛයන්ට සත්කාර කළ මේ පවුල අද පත්ව සිටින්නේ දැඩි අසරණ තත්ත්වයකටය. ඒ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් නිවසේ සිටින සුනඛයන්ට අහාර පාන ලබා දීමට නොහැකි වාතාවරණයක් ක්‍රමයෙන් ගොඩනැඟෙමින් තිබීම නිසාය. රෝෂිණී හා කතාබහ කරමින් සිටින විට තවත් සුනඛයන් පස් හය දෙනෙකු මාර්ගය දෙස සිට නිවසේ ගේට්ටුව ආසන්නයට පැමිණියේය. මම හැමදාම පාරේ ඉන්න සුනඛ දරුවෝ 30 දෙනෙකුට විතර උදේට කෑම ගිහින් දෙනවා. මම අද පරක්කු නිසා එයාලා මාව හොයාගෙන ඇවිත්. කෑම දෙනකල් යන්නේ නැහැ. තව ටික වෙලාවක් ගියොත් තවත් කට්ටිය එනවා. රෝෂිණි ප්‍රකාශ කළේ ඒ පැමිණි සුනඛයන් සම්බන්ධයෙන් අප තුළ මතුවූ කුහුල මකා දමමිනි.
සහල්, කුකුළු මස් හා පෙට් ෆුඩ් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා තම සුනඛ දරුවන්ට කෑම වේල පිළියෙල කරදීමේ අභියෝගයකට රෝෂිණි අද මුහුණ දී සිටී. කොවිඩ් ව්‍යසනය පැමිණීමට පෙර මාසයකට රුපියල් 40000 ක පමණ මුදලක් වැයකර සුනඛයන්ට ඇය ආහාර පිළියෙළ කර දී තිබුණේ කිසිවකු ගෙන් හෝ ආධාර මුදලක් ලබා නොගනිමිනි. මේවන විට එම මුදල රුපියල් 140000 ක් පමණ දක්වා ඉහළ යෑමත් සමඟ සැමියාගේ වැටුපෙන් නිවස ඉදි කිරීම සඳහා ලබාගත් ණය මුදලේ වාරිකය වන රුපියල් 25000 ද ගෙවා දමමින් සුනඛයින් 99 දෙනෙකුට ආහාර පිළියෙල කර දෙන්නට ඇයට නොහැකි වී තිබේ.
මට දැන් අවුරුදු 43 යි. මම ඉපදුණේ බණ්ඩාරවෙල. තාත්තා වැඩ කළේ මහාමාර්ග දෙපාර්තමේන්තුවේ. අක්කලා තුන් දෙනයි අයියලා තුන් දෙනයි මට ඉන්නවා. මම පවුලේ බාලයා. තාත්තට මාරුවීමක් ලැබුණු නිසා අපි කුඩා කාලේ නාවලපිටියට ආවා. සාමාන්‍ය පෙළ කරලා නිතීඥ මහත්තයෙක් ළඟ ටයිපින් ෂෝට් හෑන්ඩ් කළා. විවාහ වුණේ 95 දී. ඊට වසරකට පස්සේ දුව ඉපදුණා. මහත්තයාට නුවරඑළිය නානුඔය ස්ටේෂන් එකට මාරු වීමක් ලැබුණා. ඒ යනකොට අපේ අයියලාගේ ගෙදර හිටපු බුෂි කියන බල්ලා අපි අරන් ගියා. එයා අපිත් එක්ක එකට ඇඳේ නිදා ගත්තේ. අවුරුදු දෙකකට විතර පස්සේ මහත්තයාට කටුගස්තොට ස්ටේෂන් එකට මාරුවීමක් දුන්නා. එතනින් පේරාදෙණියට ආවා. එහේ ඉන්න කොට අපි ගෙලිඔය පැත්තේ ගෙයක් කුලියට ගන්න හෙව්වා. අපි ගෙයක් හොයන්න යනකොට ඇස්වත් ඇරලා නැති බලු පැටියෙක් ලී මඩුවක හිටියා. එයා අරන් ඇවිත් අපි පැංචු කියලා නම දැම්මා.
ඒ අතර දුවගේ යාළුවෙක් කෝල් කරලා බලු පැටියෙක් ඉන්නවා ඕනද කියලා ඇහුවා. අපි එයාව අරන් සුදු නෝනා කියලා නම දැම්මා. දැන් බුෂි යි පැංචු යි මැරිලා. සුදු නෝනා තාම ඉන්නවා. ටවුමේ මම දන්න රෙදි මහන අක්කා කෙනෙක් ඉන්නවා. එයා කතා කරලා ඇහුවා නංගී ගෙදරක බලු පැටව් දෙන්නෙක් ඉන්නවා; ගෙදර ළමයි හරියට වද දෙනවා; මම හොරකම් කරලා හරි ඔයාට ගෙනත් දෙන්නද කියලා. ඒ දෙන්න අරන් ඇවිත් මෙලී නෝනා යි බොන්සි නෝන යි කියලා නම් තිබ්බා. මේ වෙනකොට අපේ ගෙදර හිටියේ සුනඛ දරුවන් පස් දෙනයි. මගේ අයියා කෙනෙක් ඉන්නවා අතුරුගිරියේ. අපි එහේ යනකොට දැක්කා පාළු පාරක ගලක් ළඟ පැටව් හත් දෙනෙක් ඉන්නවා. දොළුවේ ඉන්නවා සුනඛයන්ට ආදරය කරන ජර්මන් නෝනා කෙනෙක්. මම ඒ පැටව් හත්දෙනා එයාට දෙන්නම් කියලා හිතලා ගෙනාවා. ඒ නෝනා බාර ගන්න බෑ කිව්ව නිසා මම එයාලවත් ගෙදර ගෙනත් හැදුවා. මම ටවුමට ගියත් බිස්කට් පැකට් එකක් යෝගට් තුන හතරක් අරන් බල්ලන්ට දෙනවා. බල්ලෝ මාව දැක්කම පස්සෙන් එනවා. ගෙලිඔය පැත්තේ හැමෝම මම සුනඛයන්ට ආදරෙයි කියලා දන්නවා. දර මඩුවක සුනඛ මවක් පැටව් දාලා හිටියා. මමයි දුවයි එයාලටත් කන්න ගිහින් දුන්නා. මීට අවුරුදු හයකට විතර කලින් වැස්සට ගෙළිඔය නගරය යට වුණා. බලු පැටව් ටික සිහිවෙලා මමයි දුවයි රෑ 12 ට විතර එතන්ට ගියා. වැස්සට තෙමි තෙමී හිටපු අම්මයි පැටව් තුන් දෙනයි අපි අරන් ආවා. එතකොට අපි කුලියට හිටියේ ගෙළිඔය පාහිම්ගමුවේ. ඒ ගෙදර ළඟට පොහොර උරයක දාලා බලු පැටව් 09 දෙනෙක් ගෙනත් දාලා තිබුණා. මේ අය ඔක්කොම මම බලා ගත්තා.මේ විදිහට මගේ සුනඛ දරුවෝ දවසින් දවස වැඩි වුණා. රෝෂීණි ගුණරත්න පවසන්නීය.
![]() |
රෝෂීණී සැමියා දියණිය නිවසේදී සුනඛයින්ට ආහාර ලබාදෙන අයුරු. |
මහ මඟ අත්හැර දමා යන සුනඛයන් විඳින දුක් ඉවසා ගත නොහැකිවූ රෝෂීණි සුනඛයන් වන්ධ්‍යාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ ඊවා පද්මා නැමැති සුදු ජාතික කාන්තාව හා එක්වය. ඊවා පද්මා මහත්මිය ජර්මන් අධාර මුදලක් යොදා ගනිමින් මෙම සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ පශු වෛද්‍ය අරුණිගේ සහය ලබා ගනිමින් වන අතර ඊට රෝෂිණි සම්බන්ධ වන්නේ පශු වෛද්‍ය සහායිකාවක ලෙසිනි. ඖෂධ හා ඉන්ධන හිඟය හේතුවෙන් මේවන විට එම වැඩසටහන ඇණහිට තිබේ.
ගෙදර හදා ගන්න පිරිමි සතෙක් අරන් ගියත් ගැහැනු සතෙක් අරන් යන්න ගොඩක් අය කැමැති නැහැ. මේ නිසා පාරවල් වල ගොඩක් අතරමං කරලා යන්නේ ගැහුණු සතුන්වයි. සුනඛයන් මේ විදිහට දුක් විඳින එක වළක්වන්න නම් ගැහුනු සතුන් වන්ධ්‍යාකරණය කිරීම තමයි හොඳම දේ. අපි රටේ සෑම ප්‍රදේශයකටම ගිහින් නොමිලේ බැල්ලියන් සහ බැළලියන් ඔපරේෂන් කළා. මම මේ වනකොට සත්තු 5000 ක් විතර වන්ධ්‍යාකරණය කරන්න දොස්තරට සහය වෙලා තියෙනවා. එයාලා එක්ක වැඩ කරලා මටත් දැන් සත්තුන්ට බෙහෙත් කරන්න දැනුමක් තියෙනවා. අසනීප වුණු සත්තු අල්ලන්න ගියාම හපා කනවා. මාව බල්ලෝ දහ දොළොස් දෙනෙක් විතර කාලා තියෙනවා. තාම නම් මුකුත් වෙලා නැහැ. අපි ණයක් අරන් මේ ගෙදර හදාගෙන දැන් අවුරුදු හතරක් විතර වෙනවා.පර්චස් 10 ක ඉඩමේ තමයි බල්ලෝ 69 යි මායි,මහත්තයායි,දුවයි ඉන්නේ. පාරේ ඇක්සිඩන්ට් වෙලා ඉන්න බල්ලෝ ගෙනල්ලා මම ගෙදර තියාගෙන වෙදකම් කරනවා.කුෂ්ඨ රෝග හැදුනම සමහරු තමන්ගේ බල්ලව මහ පාරට දාන්න තරම් අකාරුණිකයි. මම ඒ වගේ සත්තු ගෙදර ගෙනල්ලා තියාගෙන ප්‍රතිකාර ලබා දෙනවා. සමහරු අරන් එනකොට තුවාල වලින් පණුවෝ වැටෙනවා. මේ වෙනකොට සුනඛයන් 40 ක් විතර මිය ගිහින් තියෙනවා. ඒ සත්තු හැමෝම වළ දලා තියෙන්නේ මේ ඉඩමේ. රෝෂණී එසේ පවසත්දී ඇගේ සුනඛ දරුවන් ඇයට ළෙන්ගතුකම් පාන්නේ උඩු බුරලමිනි...
![]() |
සුනඛ වන්ධ්‍යාකරණ සැත්කමක් සිදුකරන අතර |
චිකන් ලිවර් කිලෝ එකක් රුපියල් 1200 ක් වෙනවා. ඒ හින්දා දැන් සුනඛයන්ට ඒවා දෙන්න නැහැ. බත් උයලා පෙට් ෆුඩ් එක්ක මේ අයට කන්න දෙන්න දවසකට රුපියල් 5000 ක් විතර යනවා. මේ මුදල දරන්න බැරි නිසා මමයි දුවයි හෝටල්වලට ගිහින් කුණු බක්කි අවුස්සලා ඉතුරු වෙන ඉඳුල් අරන් එනවා. මගේ සුනඛ දරුවෝ බඩ ගින්නේ තියන්න බැහැ. එයාලා දන්නවා මම කොහොම හරි කන්න දෙනවා කියලා. මේ නිසා මම හොඳටම අසරණ වුණා. සුනඛ දරු පැටව් මහ මඟ අත්හැරලා යන්න එපා, අපි සුනඛ අම්මලාව නොමිලේ ඔපරේෂන් කරලා දෙන්නම් කියලා රුපියල් 6000 ක් වියදම් කරලා මම බැනර් එකක් හැදුවා. ඒක මුදල් ගෙවලවත් ගෙළිඔය බස් නැවතුමේ ප්‍රදර්ශනය කරන්න උඩුනුවර ප්‍රාදේශීය සභාව අවසර දෙන්නේ නැහැ. බල්ලෝ බුරන එක හිරිහැරයක් කියලා මට විරුද්ධව අසල්වැසියෝ දෙන්නෙක් පේරාදෙණිය පොලීසියට පැමිණිලි දෙකක් කරලා තියෙනවා. මහජන පරීක්ෂකවරයා ඇවිත් කිව්වා දවස් 14 කින් සත්තු ටික අයින් කරගන්න කියලා.මමත් ඒ සම්බන්ධයෙන් දවුලගල පොලීසියට පැමිණිල්ලක් කළා. දැන් මට මහජන පීඩා පනත යටතේ නඩුවක් පවරලා තියෙනවා. රෝෂීණි පවසන්නේ දෙනෙතේ කඳුළු පිසදමමිනි.
රෝෂීණි සිය පවුල සමඟ කරන්නාවූ මෙහෙවරට සහය වීමට කැමැති අයකු වේ නම් 076 372 1226 දුරකතන අංකය ඔස්සේ ඇය ඇමතීමට පුළුවන. ඔවුන් සුනඛයන් වෙනුවෙන් කරනු ලබන මෙහෙවර දක්වෙන ෆේස් බුක් ගිණුමට Roshi Roshi ඔස්සේ පිවිසිය හැකිය.
ඡායාරූප - රුවන් මීගම්මන