ජනා­ධි­පති පුටුවේ ඉර­ණම තීන්දු වෙන්නේ මෙහෙ­මයි | සිළුමිණ

ජනා­ධි­පති පුටුවේ ඉර­ණම තීන්දු වෙන්නේ මෙහෙ­මයි

 

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ අරගලයක් හේතුවෙන් හෝ වෙනයම් හේතුවකින් ජනාධිපතිවරයෙකු සිය ධූරයෙන් නෙරපීමක් හෝ ඉල්ලා අස්වීමක් සිදුවී නැත. 1993 වසරේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාසගේ මරණයෙන් ජනාධිපති පුටුව හිස්වීම අතිතයේ මීට සබැඳි එක් අවස්ථාවකි. එම අවස්ථාවේ එවකට අගමැති වූ ඩී. බි. විජේතුංග ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මරණයෙන් පසු නිතරගයෙන් වැඩ බලන ජනාධිපතිවරයා බවට පත් වූ අතර, ඉතිරි ධූර කාලය සඳහා පාර්ලිමේන්තුවේ නිතරගයෙන් ජනාධිපති පුටුවට පත් වූයේද ඩී. බි. විජේතුංගය.

 

එහෙත් ජූලි 9 වැනිදා අරගලයෙන් ඇතිවූ තත්ත්වය මත අරගලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම්ක් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ඉවත් වීම මෙන්ම ජනාධිපති මන්දිරය හා එම කාර්යාලයට අත්පත් කර ගැනීමෙන් අනතරුව ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කළ අතර, ඔහු ප්‍රකාශ කළේ එදින පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව ලබා දෙන තීන්දුවට හිස නමන බවකි. පක්ෂ නායක තීන්දුවේදිද ජනපති හා අගමැති ඉවත් වීම සඵත වූ අතර හිටපු ජනාධිපතිවරයා පසුගිය 13 වැනිදා ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. එහෙත් ඒ වන විට ඔහු මාලදිවයින හරහා සිංගප්පූරුවට යාමට සූදානම්ව සිටියද පැවැති විරෝධතා හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ ගමන ප්‍රමාද විය. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ගමනාන්තය අවසානයේ එවනවායැයි සඳහන් වූ ඔහුගේ ඉල්ලා අස්විමේ ලියමන කථානායකවරයා වෙත එවූයේ පසුගිය 14 වැනිදා වන අතර එහි නීතිමය තත්ත්වය පිරික්සීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38-1 ආ වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම 2022 ජූලි මස 14 වැනි දින සිදුවන බව කථානායකරයා විසින් නිල වශයෙන් නිවේදනය කළේ පසුගිය 15 වැනිදා උදය වරුවේය. ඒ අනුව වැඩ බලන ජනාධිපති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන්නේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවේ නිල වශයෙන් නිවේදනය කිරීමට යෙදි තිබුනේ 15 වැනි සිකුරාදාය. එහෙත් ලිපිය ලැබීමට දිනයකින් පමණ වූ ප්‍රමාදයෙන් පාර්ලිමේන්තු කටයුතු 16 වැනි සෙනසුරාදාට යොදා ගැනුණි. ඒ අනුව ව්‍යවස්ථාපිතව මීළඟ ජනාධිපති තේරීමේ මුල්ම පියවර වන නව ජනාධිපතිවරයෙකු සඳහා නාම යෝජනා භාර ගැනීමට එළඹෙන ජූලි මස 19 වැනිදා පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය. ජූලි 20 වැනිදා 1981 අංක 2 දරන ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනතට අනුකූලව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හරහා තෝරා පත් කර ගැනීමට නියමිතය. ඒ සඳහා සුදුසුකම් ඇති මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගන්නා අතර, තේරී පත් වන්නා හිටපු නිල කාලය අවසන්ව මහ මැතිවරණයක් පැවැත්වෙන තෙක් රැඳිය යුතුයි.

16 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වූ බව මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙන අතර, ඔහු විසින් නාමයෝජනා භාර ගන්නා දිනයක් සහ වේලාවක් නියම වෙයි. මේ වන විට එම දින නියම වී ඇත. ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ 225 දෙනා අතරින් රහස් ඡන්දයක් පැවැත්වෙන අතර මහ ලේකම්වරයා එහි තේරීම් භාර නිලධාරියා ලෙස කටයුතු කෙරෙයි. පනතට අනුව එක් සාමාජිකයකු පමණක් එසේ යෝජනා කර ජනාධිපති ධූරයට පත් කරනු ලැබුවහොත්, ඔහු එම තනතුරට තේරී පත් වූ බව මහලේකම් විසින් ප්‍රකාශ කළ යුතු අතර, එක් මන්ත්‍රීවරයකුට වැඩි සංඛ්‍යාවක් එසේ යෝජනා කර ස්ථිර කරනු ලැබුවහොත්, පාර්ලිමේන්තුව, 3 වැනි වගන්තියේ (2) උපවගන්තියට යටත්ව, මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් සහ වේලාවක් නියම කළ යුතුය. එම දිනය එම දිනයෙන් පැය හතළිස් අටකට නොවැඩි දිනයක් විය යුතුය.

“ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට අනුව ජනාධිපතිවරයකු ඉල්ලා අස්වේනම් අත්සන් සහිත ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට භාරදිය යුතුයි. ඒ අවස්ථාවේ සිටයි, ජනාධිපති ධූරය සඳහා පුරප්පාඩුවක් ඇති වන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය පුරප්පාඩු වූ පසු අගමැතිවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වෙනවා. අගමැතිවරයාට එසේ කළ නොහැකි නම් කථානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා බවට පත්වේ. එසේ පත්වී මාසයක් තුළ තමන්ගේ සුදුසුකම් සහිත මන්ත්‍රිවරයෙකුව අනු ප්‍රාප්තික ජනාධිපතිවරයෙකු සේ පත් කිරීමේ බලතල පාර්ලිමේන්තුව සතුවෙනවා. 1993 මැයි පළමුවැනිදා හිටපු ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාසගේ වියෝවත් සමඟම මුල් වරට ජනාධිපති පුටුව හිස් වීමෙන් අනතුරුව මෙවැනිම තත්ත්වයක් උදා වුණා. මේ අවස්ථාවේ එවකට අගමැති ඩී. බි. විජේතුංග වැඩ බලන ජනාධිපති වීමෙන් අනතුරුව සතියක කාලයකින් එනම් මැයි 7 වැනිදා නව ජනාධිපති ලෙස ඔහුම පත්වුණා. ඡන්දයක් පවතීනම් 50% ක් එනම් 113 ක බහුතරයක් ඡන්දය ලබා දිය යුතුයි. ඉතා වැදගත් කරුණ නම් ප්‍රමාදයකින් තොරව මෙම පත් කිරිම් සිදු කළ යුතු වීමයි. ඉන්ධන, ආහාර හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය තීන්දු තීරණ ගැනීමේදි මේ ප්‍රමාදය විශේෂයෙන් බලපානවා. ශ්‍රි ලංකා නීනීඥ සංගමය කථානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා ඉවත් වූ සැණින් ඉතිරි කටයුතු හැකි ඉක්මනින් සිදු කරන ලෙසයි. එසේම සියලු දේශපාලන පක්ෂවලට පිළිගත හැකි අගමැතිවරයකු පත් කිරීම පත්වන නව ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතුයි. ඒ පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය පළ කරන්නාට. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කිරීම සිදු කරන්නේ ජනාධිපතිවරණ (විශේෂ විධි විධාන) පනතට අනුවය. එම පනතට අනුව ඡන්ද දායකයන් වන්නේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්. එක් මන්ත්‍රිවරයෙකු පමණක් නාම යෝජනා ලබා දෙන්නේ නම් ඔහු නිතරගයෙන් ජනාධිපතිවරයා ලෙස පත් වේ. කිහිප දෙනෙක් ඉල්ලන්නේ නම් 1,2 හා 3 වශයෙන් මනාප ලකුණු කිරිමේ අවස්ථාව උදා වෙයි. මුලින්ම බලන්නේ යම් අපේක්ෂකයෙකුට 50% කට වැඩිය මානප ලබා ගෙන ඇත්ද යන්නයි. එසේ ලබා ගෙන ඇත්නම් ඔහු ජනාධිපතිවරයා බවට පත්වෙනවා. නැතිනම් පහළින්ම මනාප ගත් අය ඉවත් කර ඔවුන්ගේ දෙවැනි මනාප අනිකුත් අයට එකතු කරනවා. ඒ අනුව 50% ගැනීම මත ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරනවා. එසේ නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37.2 වගන්තියට අනුව අගවිනිසුරුවරයාට හා කතානායකවරයාට එම බලතල හිමි වීමේ ප්‍රතිපාදනද පවතිනවා“ ඒ ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ය.

යම් හෙයකින් ජනාධිපතිවරයා නීත්‍යාණූකූලව ඉවත් නොවූයේ නම් පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙකු පත් කිරීමේ කටයුතු සිදු වන්නේ නැත. එහිදි ක්‍රියාත්මක වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37- 1 වගන්තිය යටතේ වූ ජනාධිපති විදෙස් ගතවීමේ හෝ අසනීපවීමේ ක්‍රමවේදයය.

“ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37-1 වගන්තියට අනුව ජනාධිපතිවරයකු අසනීප වීම, විදෙස්ගත වීම වැනි කරුණකදී අගම­ැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කෙරෙන අතර, අගම­ැතිවරයාගේ වැඩ ආවරණය කිරීම සඳහා කැබිනට් ඇමැතිවරයෙකු පත් කෙරෙනවා. අගමැතිවරයා එය භාර නොගන්නේ නම් කථානායක වැඩ බලන ජනාධිපති ධූරයේ කටයුතු කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වගන්තියේ 1 උප වගන්තියට අනුව ජනාධිපති පුරප්පාඩුව ක්‍රම කිහිපකට අනුව සිදුවිය යුතුයි. මරණය, ඉල්ලා අස්වීම, ශ්‍රි ලාංකික පුරවැසිබව නැතිවීම, ජනාධිපති ධූරයට පත්වී සති දෙකක් යනතුරු ධූරය භාර නොගැනීම, දෝෂාභියෝගය හා ඡන්ද පෙත්සමක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හරහා ජනාධිපති ධූරය පුරප්පාඩු වූ විට 1981 අංක 2 දරන ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනතට අනුකූලව ජනාධිපතිවරයා පත් කර ගැනීම සිදු කෙරෙනවා. ජනාධිපති ධූරය පුරප්පාඩු වී ඇත්නම් පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ඡන්දයකින් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්විය යුතුයි. මෙය ක්‍රියාත්මක කිරිම් සිදුවන්නේ ජනාධිපතිවරණ (විශේෂ විධි විධාන) පනතට අනුවයි.

නව ජනාධිපතිවරයා පත් කිරීමෙන් අනතුරුව ඔහු කටයුතු කළ යුත්තේ හිටපු ජනාධිපතිගේ ඉතුරු ධූර කාලය සඳහා පමණයි. නව අගමැතිවරයා පත් කරන්නේද නව ජනධිපතිවරයා විසිනුයි“ ඒ මානව හිමිකම් කොමිසම් සභාවේ හිටපු සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගමය.

ජනාධිපති ධූරය පුරප්පාඩු වී ඇත්නම් ඉදිරි 20 වැනිදා පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ ඡන්දයේදී සෑම සාමාජිකයෙකුටම එක් ඡන්දයක් හිමිවෙයි. යම් අපේක්ෂකයෙකුට වලංගු ඡන්දවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්නම්, තේරීම් භාර නිලධාරියා විසින් එවැනි අපේක්ෂකයෙකු ජනාධිපති ධූරයට තේරී පත් වූ බව ප්‍රකාශ කළ යුතුය.

කිසිදු අපේක්ෂකයකුට වලංගු ඡන්දවලින් අඩකට වඩා ලැබී නොමැති නම්, තේරීම් භාර නිලධාරියා අඩුම ඡන්ද සංඛ්‍යාව ලැබූ අපේක්ෂකයා සහ ඡන්දය දුන් එක් එක් සාමාජිකයාගේ දෙවැනි මනාපය තරගයෙන් ඉවත් කළ යුතුය. තරගයෙන් ඉවත් කරන ලද අපේක්ෂකයා එවැනි මනාප සටහන් කර ඇති අපේක්ෂකයාගේ ඡන්දයක් ලෙස ගණන් ගත යුතු අතර ඔහුට පක්ෂව දැනටමත් ගණන් කර ඇති ඡන්දවලට එකතු කළ යුතුය. කිසිදු අපේක්ෂකයකු වලංගු ඡන්දවලින් අඩකට වඩා ලබාගෙන නොමැති නම්, තේරීම් භාර නිලධාරියා එම ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා ප්‍රකාශ කළ යුතුය.

“ ජනාධිපතිවරයා ඉල්ලා වූ පසු ඒ දැනුම් දීම කථානායවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. එදින පාර්ලිමේන්තුව රැස්වී 20 වැනි බඳාදා ඡන්දයක් පවත්වන බව කථානායවරයා විසින් දැනුම් දීමක් කරනවා. ඒ සඳහා ඕනෑම මන්ත්‍ර­ීවරයෙකුගේ නම යෝජනා කිරීම හෝ ස්ථීර කිරීම කළ හැකියි. ඒ සඳහා අපේක්ෂකයාගේ අනුමැතිය තිබීම අත්‍යාවශයයි. එක් අයකුට වඩා සිටිනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඡන්දයක් තිබිය යුතුයි. එය රහස් ඡන්දයක් වන අතර 113 ක වැඩි මනාප ලබා ගැනීම අවශ්‍යයි. මේ සියලු කටයුතු සිදුවන්නේ පාර්ලිමේන්තු මහ ලේකම් අතින්. .....“ ඒ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් නිහාල් සෙනෙවිරත්නය.

ලංකා දේශපාලන ඉතිහාසයේ එකම අවස්ථාව වූ 1993 මැයි මස 1 වැනිදා ජනාධිපති ධූරය හිස් වීමේදී පාර්ලිමේන්තු මහ ලේකම් වශයෙන් කටයුතු කළේ නිහාල් සෙනෙවිරත්නය. ඒ අවස්ථාවේ වැඩබලන ජනාධිපති වශයෙන් පත්වූ හිටපු අගමැති ඩී. බී . විජේතුංගට පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිදු අභියෝගයක් නොතිබූ අතර ඔහු එකම අපේකෂකයා විය. එහෙයින් ඡනද විමසීමක් එදා නොවිණි. මෙවර එළඹෙන ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපති පත් කිරීමේ සුවිශේෂි දිනය උදාවන්නේය.

මේ වන විට අරගලයක් තුළින් මතු වූ දේශපාලන විපර්යාසය නව ව්‍යවස්ථාවක් හරහා අර්ථ නිරූපණය විය යුතු බව බොහෝ දෙනාගේ අදහසයි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසන්නේ ජනතාවගේ අභිලාෂයන්ට යටත් ආණ්ඩුවක් සකස් විය යුතු බවකි.

“ ජනාධිපති ඉල්ලා අස් වී ධූරයේ පුරප්පාඩුවක් ඇති වූවිට නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගත හැක්කේ ඉතිරි වූ ධූර කාලයට පමණයි. නව ජනාධිපති සිය ධූරයේ වැඩ භාර ගන්නා තෙක් අගමැතිවරයා එම ධුරයේ වැඩ ආවරණය කළ යුතුයි. අගමැතිවරයාගේ වැඩ ආවරණයට කැබිනට් ඇමැතිවරයෙකු පත් කළ හැකියි. කෙසේ වෙතත් ජනාධිපතිගේ ඉවත් වීම නිල වශයෙන් සිදුවිය යුතුයි. එය මේ වන විට සිදුකර අවසන්. රටේ අරගල ඇති වූ අවස්ථාවක පක්ෂ නායකයින් එක්වී තීන්දු තීරණ ගැනීම වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. ලංකා ඉතිහාසයේ රාජ්‍ය නායකයෙකු ඉල්ලා අස්වීමක් සිදුවී නැහැ. මේ අවස්ථාවේ ජනතාව ඉල්ලන්නේ අන්තර්වාර පාලනයක්. සර්ව පාක්ෂික රජයක්.

වර්තමාන දේශපාලන පක්ෂ තුළින් ජනමතය නියෝජනය නොවන බව අරගලයෙන් පෙන්නුම් කරනවා. අරගලයේ ඉල්ලීම් පාර්ලිමේන්තුව තුළින් ඉටුකර ගැනීමේ ක්‍රමවේදයක් ඇති කර ගත යුතුයි. ජනතා අභිලාෂයන් නියෝජනය වන නායකයින් බිහිවිය යුතුයි. අද දේශපාලඥයෝ වගකියනවාද? නැතිනම් වග­‍ෙවනවාද යන්න බරපතළ ප්‍රශ්නයක්. ඒ නිසා නව ව්‍යවස්ථාවක් හරහා හෝ පරමාධිපත්‍ය අර්ථ නිරූපණය විය යුතුයි“ ඒ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් ය.

මේ වන විට ඉදිරියේදී සිදුවන සිදුවීම් පිළිබඳ අවිනිශ්චිතතාව පිළිබඳ ගැටලුව බොහෝ දෙනෙකු තුළ ඇත. අරගල වලදි අත්පත් කර ගත් දෑ මේ වන විට යළි ලබා දී අවසන්ව ඇත. බොහෝ දේ පිළිබඳ විවිධ අය විවිධ දෑ අර්ථ නිරූපණ කරති.

එහෙත් සැවෝම පවසන්නේ සියල්ල රටේ නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදුවිය යුතු බවකි. එහෙයින් ඉදිරි සතිය ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ බොහෝ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇත.

 

Comments