
පිටසක්වළ ජීවීන් මෙරටට පැමිණෙන බවට කතා පැතිර ගියේ බොහෝ කලකට පෙර සිටය. විශේෂයෙන්ම 1971 වසරේ ජූලි මාසයේදී කන්ද උඩරට හේවාහැට මෙන්ම දකුණේ දෙනියාය ආශ්‍රිතව පිටසක්වළ යානා සැරිසැරූ බවට එකල පුවත්පත්වල පිටු පුරා පළ විය. එහිදී ඇසින් දුටූවන් ගේ විස්තර විමසා බැලීමේදී හෙළි වූයේ යම් අද්භූත යානාවක් දර්ශනය වූ බවයි. ජනතාවෝ දේවතා එළි ගැන අදට වඩා එකල හොඳින් අවධානය යොමු කළහ. හොඳින් දැන සිටියහ. එහෙත් දේවතා එළියට වඩා වෙනස්කම් සහිතව දර්ශනය වූ මේ යානාවන් බඳු මේ ආලෝක ධාරා ගැන සමාජයේ දැඩි කතාබහට ලක්විය.
පසුකලෙක ජිප්සීස් කණ්ඩායම විසින කුරුමිට්ටන් ගැන ගීත ගැන පවා රචනා කර ගයන්නට වූයේ ද එහෙයිනි. මේ සිදුවීම්වලින් පසුව පිටසක්වළ යානා හා එවන් අද්භූත සිදුවීම් සම්බන්ධව වරින් වර කතාබහ ඇතිවූ අතර එයින් බහුතරය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනම්පිටියෙන් ඔබ්බට වූ දිඹුලාගල, පිඹුරත්තෑව දානිගල වැනි ප්‍රදේශවලින් වාර්තා විය. එකල ත්‍රස්තවාදීන් බහුල ලෙස සැරිසැරූ තොප්පිගලට ආසන්න පෙදෙසක් වන දානිගල ගැන පර්යේෂණ කරන්නට පවා හැකියාවක් තිබුණේද නැත. අද වුවද තොප්පිගල කන්දට නුදුරින් පිහිටි නරකමුල්ල ලෙස හඳුන්වන කඳු මුඳුනට කිසිවකු නොයන්නේ එකල තිබුණු බෝම්බ අනතුරුදායක තත්ත්වයන් තවමත් ඇතැයි යන අනුමානය නිසාය.
![]() |
දානිගලට පිටසක්වළ ජීවීන් හා යානා පැමිණෙන බව සැලකෙන ස්ථානය |
මේ කතා අතර අපට අලුතින්ම පිටසක්වළ ගැන අවධානය යොමු කරන්නට වූයේ පසුගිය ජූලි මස 4 වෙනිදා දානිගල කඳු පන්තිය අවට දර්ශනය වූ ආලෝකධාරා සහිතව ආ පිටසක්වළ යානාවක් වැනි යමක් නිසාය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අවසන් මායිමට වන්නට පිහිටා ඇති දිඹුලාගල කන්දේගම ඇතුළු ගම්මානවල ජනතාව දැක ඇත්තේ දානිගල කඳුවළල්ල අවට වර්ණ ආලෝකයක් විහිදුවමින් උඩුගුවනින් අද්භූත යානාවක්ද පැමිණි බවයි. එහි පිටසක්වළ ජීවීන් පැමිණියාද එසේ නොමැති නම් අද්භූත වෙනත් යමක් සිදුවූවාද යන්න ගැටලුවකි.
![]() |
දානිගල අහස රාත්‍රී කාලයේ |
පොළොන්නරුව දිඹුලාගල, හා දානිගල, කඳුවළල්ලට කාලයක් තිස්සේ විවිධ ආලෝක ධාරාවන් ගුවනින් පතිත වනවා සේම පිටසක්වල ජීවින් නිරන්තරව එම කඳු වළලු දෙසට ගමන් කර ගල්ගුහාවන්හි සැඟව සිටින කතාවන් මීට පෙර වරින් වර අසා ඇත.
අපවත් වී වදාළ දිඹුලාගල නා හිමියන් වූ කිතලගම සීලාලංකාර නා හිමියන්ද දේවතා එළි දිඹුලාගල අවට සැරි සරන නමුත් ඒවා විශේෂ දේවතා එළි බවට ජනතාව කියන බව අවස්ථා කිහිපයකදීම පවසා තිබුණි.
පොළොන්නරුව පසු කර නගරයෙන් බොහෝ ඈතට වන්නට පිහිටි මාදුරුඔය රක්ෂිතය ඇතුළු ප්‍රදේශ ගැන ජනතා අවධානය යොමු වූයේ 2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසුවය. තොප්පිගල ජයගත් අවස්ථාවේදී වුවත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ගැන බියෙන් කිසිවෙක් කැලෑ වැදුණේ නැත.
විශේෂයෙන්ම මාදුරුඔය අසලම පිහිටා ඇති ධනංජය රජමහා විහාරස්ථානය මේ බොහෝ කතාවන් ගැන සොයා බලන්නට විශේෂත්වයක් ගත් පුද බිමකි.
ධනංජය රජමහා විහාරස්ථානය හා අවට ගම්වල ජනතාව පවසන්නේ බොහෝ විට බදාදා, සෙනසුරාදා හා පුර දිනවල විවිධාකාර වර්ණ ආලෝකයන් දානිගලට පැමිණෙන බවයි. එහි ආසන්නතම සිදුවීම පසුගිය 4 වෙනිදා වාර්තා විය. ඒ කුඹුරු ආරක්ෂාවට පැල් රැකීමට ගිය ගොවියන් කිහිප දෙනකු දානිගල කන්දට උඩු ගුවනෙන් විවිධ වර්ණ එළි විහිදවමින් යානා කිහිපයක් පැමිණීමයි. මීට පෙරද ඔවුන් මෙවන් යානා නිරීක්ෂණය කර තිබෙන බව දැනගන්නට ඇත. කලකට පෙර විශාල උල්කාපාතයක් වැනි යමක් දිඹුලාගල කුඹුරකට වැටෙනු දුටු බවද අපට මතකය. පසුව ඒ පිළිබඳව පරීක්ෂා කර බැලීමේදී කුඹුරක තිබූ පිලිස්සී ගිය යකඩ හෝ ඝන පාෂාණ හෝ විය හැකි බවට අනුමාන කළ හැකි කැබැල්ලක් හමු වූ අතර එය පර්යේෂණ කිරීම පිණිස රැගෙක ගියද ඒ සම්බන්ධව විධිමත් විස්තරයක් තවමත් ලැබුණේ නැත.
ඒ අතර පසුගිය ජූලි 4 වෙනදා ගොවියන් දුටු සිදුවීම කුමක්ද?
මේ සම්බන්ධයෙන් අප විමසා සිටියේ ධනංජය රජමහා විහාරාධිපති විද්‍යෝදය පිරිවෙනේ හා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කන්දේගම දීපවංශාලංකාර හිමියන්ගෙනි.
‘‘මම පැවිදි වුණේ 1995 අවුරුද්දෙ? පොඩි සාමණේරයන් වහන්සේ නමක් ලෙසින් ඉන්නකොට අපි හොඳින් දැක්කා දේවතා එළි වගේ තිරස් අතට යන එළි. සමහර එළි විහාරස්ථානයේ පැරැණි චෛත්‍යය පැත්තටත් තවත් සමහර එළි බෝධිය පැත්තටත් ගමන් කරනවා මම දැකලා තියෙනවා. ඒ වගේම තවත් සමහර එළි ඝනකම වස්තූන්ගෙන් එන ආලෝක ධාරා වගේ පෙනුණා. ඒ වස්තූන් කඳු මුඳුනේ ගුවනින් පැමිණ යානා ගොඩ බස්වන ආකාරයෙන් වේගය අඩු වී ගොස් ක්‍රමයෙන් කඳු මුඳුනට පහත් වෙනවා අපි දැකලා තියෙනවා.
ඒ එළි ගැන ඒතරම් සැලකිල්ලක් නොදැක්වුවත් මීට අවුරුද්දකට විතර කලින් දැකපු සිදුවීමක් නිසා මේ එළි හා පෙනෙන ඒ වස්තූන් ගැන අපිට ලොකු ප්‍රශ්නයක් මතුවුණා.
එදා පෝය දවසක්. අඳුර වැටීගෙන එන වෙලාව. හවස 6.30ට විතර ඇති. මම දැක්කා මාදුරුඔය ජලාශය පැත්තෙ ඉදලා ලොකු එළියක් දානිගල කඳු මුඳුනට පහත් වෙනවා. මම විතරක් නෙමෙයි අපේ විහාරස්ථානයේ පොඩි උන්නාන්සේලාත් තැන් තැන්වල ඉදල ඒ සිදුවීම දැකලා තියෙනවා. එදා රෑ ඒ ගැන කට්ටිය කතා වුණා.
අපි සාමාන්‍යයෙන් උදෑසන අවදි වී අලුයම 5.30ට විතර බුදු ගෙට වඩිනවා. උදේ 5.15ට විතර පොඩි උන්නාන්සෙලා දුවගෙන ඇවිත් කිව්වා ඊයේ රෑ දැකපු එළිය ආයෙත් කන්දෙන් ඉහළට ඇවිත් පෙර ආපු මාර්ගයේම ඉහළට ගමන් කරා කියලා. කුඹුරුවල පැල් රැකපු අයත් මේ විදිහටම ඒ සිදුවීම දැකල තියෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් කිව්වනම් යම් සිදුවීමක් කතාවක් විශ්වාස කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒත් මේ සිදුවීම ගැන අපට හොඳ විශ්වාසයක් තහවුරුවක් තියෙනවා. අපි විද්‍යාඥයන් නොවුණත් යම් සැකයක් අපට මතුවුණා, කලින් දවසෙ ආපු යානාවක් හෝ පිටසක්වළ ජීවීන් රාත්‍රිය ගත කරල පහුවදා උදෑසනම ආපහු ගියාද කියන එක ගැන.
මේ වගේ විවිධ අවස්ථාවලදී ගම්මානවල අය එළි වගේම විවිධාකාර වස්තූන් කඳු මුඳුනට පහත් වෙනවා දැකලා තියෙනවා.
මීට පෙර මම දැකලා තියෙනවා කෙහෙල් මුවක් වගේ වස්තුවක් එළියක් විහිදුවා කන්ද පැත්තට යනවා. මම කලින් කිව්වා වගේම මේ වගේ වස්තූන් යන එනවා ගම්මානවල අය දැකලා තියෙනවා. ඒ විහාරස්ථානයට ආසන්න ගම්වල අය විතරක් නෙමෙයි. සමහර විට නන්නාඳුන අය බස් වල යන ගමන් කතාවෙනවා. එතකොට ඒ කතාවට අනෙක් අයත් එකතුවෙනවා අපිත් ඕක ඊයෙ රෑ දැක්කනෙ කියලා. මම පුංචි කාලෙ ඉදල ගමේත් පන්සලේත් හිටපු හින්ද දේවතා එළි වගේම මේ පෙනෙන එළිවල වෙනස අපට පේනවා. ඒ එළි බොහෝවිට කහ, රතු, නිල් පාට වගේ තමයි මේ එළි පේන්නෙ. බොහෝ එළි වේගයෙන් ඇදිලා යනවා. තවත් කෙනෙකුට කතා කරල පෙන්වන්න වෙලාවක් නැහැ.
සමහර වෙලාවට සීසීටීවී කැමරාවල ඈතින් යන එළි සටහන් වෙලා තියෙනවා. රෑ නිසා ඒ එළි වස්තූන් ගැන පැහැදිලි පෙනීමක් නැහැ.
පසුගිය 4 වැනිදා රාත්‍රියේදී ගොවීන් දැකල තියෙන්නෙ මහා ලොකු එළියක් එක්ක දානිගලට යමක් පැමිණි බවයි. පැති කිහිපයකින් එළි කිහිපයක් ඇවිල්ල තියෙන බවයි ඒ අය කියන්නෙ.
එක එක ආකාරයේ හැඩතල ඇති වස්තූන් මේ විදිහට කන්දට පාත්වෙනවා ගම්වාසීන් දැකලා තියෙනවා. සමහර වෙලාවට හතරැස් පෙට්ටියක් වගේ වස්තූන් දැකලා තියෙනවා.
ඒ වගේම මේ කන්දෙ ප්‍රාකෘතික ශෛලමය සිතුවම් තියෙනවා චිත්‍රාක්ෂරවලින්. සමහර ඒවා ගල්පර්වත පුරාම තියෙනවා. ඒ චිත්‍රාක්ෂර බහුතරයක් කන්දේ සිට බලන්න අමාරුයි. ඒවා ආකාශයේ සිට බැලීමයි පහසු වෙන්නෙ. ඒ නිසා යම් ආකාරයක පිටසක්වළ ජීවීන්ට ලබා දෙන සන්නිවේදනයක් ද කියලා හිතන්න පුළුවන්.
ලෝකයේ මේ වගේ ප්‍රකෘත ශෛලමය ලේඛන සහිත ගල් පර්වත තියෙන ස්ථාන දෙකයි තියෙන්නේ.එකක් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ, අනික තමයි කන්දේගම දානිගල තියෙන මේ ස්ථානය. ඉන්දියාවේ ස්ථානය යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් කරල තියෙන්නෙ. නමුත් අපේ ස්ථානය ගැන අවධානයක් නැහැ.
දානිගලත් ඒ වගේ සංස්කෘතික උරුමයක් කළ යුතුමයි. එසේ නොකළහොත් මේ ස්ථානයේ පෞරාණික බව රැක ගැනීමත් පිටසක්වළ ජීවීන් යම් ආකාරයක සම්බන්ධයක් තියෙනවනම් ඒ මොකක්ද කියල හොයන එකත් කරන්න බැරි වෙනවා.
සමහර තැන්වල රහස් උමං මාර්ග තියෙනවා. කිලෝමීටර් දෙකක් විතර ඒවායේ ගමන් කරන්න පුළුවන්. සමහර තැන්වල යහන් ලෙස සකස් කළ ගල් ඇදන් තියෙනවා.
දානිගල විතරක් නෙමෙයි මෙතැන් සිට මහියංගණය දක්වාම අතීතයේ යක්ෂ ගෝත්‍රිකයන් වාසය කළ බවට ඉතිහාසයේ දැක්වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කළ අවදියේ යක්ෂ ගෝත්‍රිකයන් මහියංගණයේ සිටි බව අප දන්නවා. ඒ වගේම යක්කුරේ වැනි ආසන්න ගම් යක්ෂයන්ගේ වාසභූමි ලෙස හඳුන්වා තියෙනවා. මාදුරුඔය සොරොව්ව මුලින්ම හදලා තියෙන්නෙ යක්ෂ ගෝත්‍රිකයො කියලා මේ වෙනකොට පුරාවිද්‍යාවත් පිළිඅරන් තියෙනවා.
දානිගල මුඳුනේ විශාල රවුමක හැඩයෙන් යුක්ත ගුවන් පථයක් තිබූ බවට සාක්ෂ්‍ය තිබෙනවා. රාත්‍රී කාලයේ දකින එළි හෝ වස්තූන් පහත් වන්නේ ඒ පථයටයි. ඒ ධාවන පථයේ උතුරුමැද පළාතට ආවේණික නොවන තිරිවානා ගල් දක්නට තිබෙනවා. ඒවා හඳ එළියටත් විශාල වශයෙන් දිලිසෙනවා.ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයට ආවේණික නොවන දේශගුණයකුත් මෙතන තිබෙනවා. වියළි කලාපයට අයත් මෙහි උල්පත් වතුර සැලකිය යුතු ලෙසින් තියෙනවා. අදත් අපේ විහාරස්ථානයේ උල්පත් වතුර භාවිතයට ගන්නවා. ඒ වගේම කන්ද මුඳුනේ විශාල කිතුල් වගාවක් තියෙනවා. පැරණි පලතුරු වත්තකුත් තිබෙනවා. මේවා කුමන කාර්යයන් උදෙසා කළ ඒවාද යන්න ගැන සඳහනක් නැහැ.
ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ ස්ථානය බොහෝ අනුහස් තියෙන තැනක් කවුරු හරි නරක අදහසකින් මොනයම් හෝ ක්‍රියාවක් කරන්න උත්සාහ කළොත් අසාමාන්‍ය ගැටලුවලට මුහුණ දෙන්න වෙලා මේ ස්ථානයෙන් යන්න සිදුවෙනවා. ඒ නිසා අපිත් මස් මාංශයෙන් පවා දුරස්වෙලයි කටයුතු කරන්නෙ.
දානිගල විහාරවාසී කන්දේගම කමලවංශාලංකාර හිමියන් පවසන්නේද රාත්‍රී කාලයේ එළි දකින්නට ලැබීම ගැන ජනතාව විවිධ මත පළ කරන බවයි.
‘‘පන්සල අවට ගම් රැසක ජනතාව රාත්‍රී කාලයේ විවිධ එළි දැකල තියෙනවා. බොහෝ ඒවා දේවතා එළි කියල තමයි ජනතාව කියන්නෙ. ඒ වුණත් මේ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.
![]() |
දානිගල කඳු පන්තිය |
අතීතයේ කාලරක්ඛිත කියලා හඳුන්වපු කඳු පන්තිය තමයි පසුව ගිරිගම කියලා හඳුන්වලා තියෙන්නෙ. පසුව දානිගල නමින් හඳුන්වා තියෙනවා. මේ ගැන විවිධ කතාවන් ජනතාව කියනවා. හොඳම දේ තමයි මේ ගැන අදාළ අංශ සොයා බලා නිසි පියවරක් ගන්න එක. මොකද මේ පැත්තෙ ජනතාවට ඇත්තටම තියෙන්නෙ අලි ප්‍රශ්න, වගා ප්‍රශ්න ඒ අය ඒකෙන් මිරිකිලා නිසා කොයිතරම් වැදගත් දෙයක් වුණත් වෙනත් ඒවා ගැන හොයන්න එයාලට හැකියාවක් නැහැ.
දානිගල කියන්නෙ පුදුමාකාර වැදගත් ස්ථානයක්. කඳු පන්තියක් විතරක් නෙමෙයි සංචාරකයන්ට හඳුන්වා දෙන්න ඕන තැනක්. මාදුරුඔය, එන්.ඩී.කේ. වැව වගේම ඕමුණුගල කන්ද වැනි ස්ථාන හරිම සුන්දරයි. ඒ ගැනත් අවධානය යොමු කළ යුතු වෙනවා. ‘‘
දානිගල කඳු වළල්ලට පතිත වන්නේ උල්කාපාතයන්ද? දේවතා එළිද එසේත් නැත්නම් පිටසක්වල ජීවීන් රැගත් යානා ද යන්න ගැන වහාම විමර්ශනයක් කළ යුතුය. ඒවා හුදෙක් ජනප්‍රවාද හෝ කටකතා යන්න ලෙසින් බැහැර කළ හැකි තත්ත්වයකට එහා ගිය ප්‍රවණතාවයක් මේ කරුණු අනුව අපට වටහා ගත හැකිය.
![]() |
මාදුරුඔය ජලාශය |
කන්දේගම ධනංජය රජමහා විහාරස්ථානයේ සිට මාදුරුඔය ජලාශය අතර අරාවේ හෙල හා ගුරු හෙල කඳු අතරින් කිලෝමීටර් 5ක් පමණ පර්වත මුඳුනට නැඟ, දකුණු පසට ගමන් කර නැවත වම් පසට මීටර් 150ක් පමණ ගමන්කළ විට පර්වත මුඳුනෙ තැනි තලා භූමියකි. එහි සිතා ගැන්මටත් නොහැකි ලෙස අක්කරයකට වඩා ප්‍රදේශයක් පුරා පැතිරී ගිය පිරිසිදු ජලය සහිත වැවකි. මෙම කඳු පන්තියේ කුමන විශාල ගල් කුළකට නැඟුණත් මෙම වැව නොපෙනෙන අතර අරාවේ හෙළට නැඟුණහොත් පමණක් එය දැකබලා ගත හැකිය.
වැවේ සිට මීටර් 200ක් පමණ දකුණු දෙසට වන්නට පූජා භූමියකි. එය අක්කර 5ක පමණ වපසරියක පිහිටා ඇත.
බොහෝ විට කැටයම් රහිත නිර්මාණය. ඉපැරැණි චෛත්‍යයක නටබුන්ය. එය වටා ඇති සිරිපතුල් ගල් කිහිපයක් දක්නට ඇත. එසේම එහි ඇති එක් මුරගලක නෙළුම් මලක් යැයි සැක කළ හැකි රේඛා සටහන්ද දැකිය හැකි ය.
කවර රජකු මෙය ඉදිකරන ලද්දේදැයි තවමත් නිශ්චිත සොයා ගැනීමක් නොමැත. බොහෝ අයගේ මතය නම් මෙහි ඇති ලක්ෂණ අනුරාධපුර මුල් යුගයේ ලක්ෂණ හා සමානවන බවකි.
![]() |
එන්. ඩී. කේ. ජලාශය |
කෙසේ වෙතත් දානිගල යනු හුදෙක් පුරා විද්‍යා ස්මාරක හෝ පුරාවිද්‍යා නටබුන් සහිතව සංචාරකයන්ගේ අවධානය යොමු කළ යුතු ප්‍රදේශයක් පමණක් නොවේ. දානිගල යනු දෙස් විදෙස් සංචාරකයන්ට පර්යේෂණාත්මක තෝතැන්නක් ඇති කළ හැකි ප්‍රදේශයකි. වන අලි නැරැඹීමට මෙන්ම විවිධ වෘක්ෂලතාවන්ගෙන් සමන්විත සොබා සෞන්දර්යයෙන් යුක්ත පරිසර පද්ධතියක් ඊට අයත්ය. දානිගලට නුදුරින් පිහිටි මාදුරුඔයද අප පෙර කී ලෙස අතීතයේ යක්ෂ ගෝත්‍රිකයන් හා සබැඳි මහා වාරි ක්‍රමයකි. එමෙන්ම ජනතාව එන්. ඩී. කේ වැව නමින් හඳුන්වන වැව හා මේ මිරිදිය වාරි ක්‍රම ආශ්‍රිතව සිදු කෙරෙන ධීවර කටයුතු මෙන්ම ඔරු කර්මාන්තය ආශ්‍රිතව ඇති කළ හැකි සංචාරක පද්ධතීන්ද බොහෝය. ඒගැනද අවධානය යොමු කළ යුතුය. දානිගල කඳු පන්තියේ ඕමුනුගල කන්ද ඇතුළු කඳු හා සබැඳි යක්ෂ ගෝත්‍රයන් මෙන්ම පිටසක්වළ ජීවීන් හා සබැඳි තවත් බොහෝ දේ හෙළි කර ගත හැකි වන්නේ ඒ ගැන කඩිනම් සොයා බැලීම් කරන්නේ නම් පමණි.
ඡායාරූප - නිමල් ජයරත්න