
රාජකීය විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා, කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ 1970 වසරේ මැද භාගයේදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය. පසුව ඔහු බියගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත්විය. 1977දී පාර්ලිමේන්තුවට තේරී පත්වන හෙතෙම වයස අවුරුදු 28 දී විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා විය. පසුව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ ළාබාලතම ඇමතිවරයා ලෙස තරුණ කටයුතු සහ රැකීරක්ෂා ඇමති ධුරය දැරීය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසු 1993 මැයි 7 වැනිදා පළමුවරට අගමැති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මේ වන විට හය වරක් මෙරට අගමැති ධුරය දරා ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමා රටින් බැහැරව සිටින බැවින් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබු ඉකුත් 13 වැනිදාය.
ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ධුරයෙන් ඉවත් වෙන ලෙස බලකරමින් ඉකුත් 9 වැනිදා කොළඹ පැවති විරෝධතා හේතුවෙන් ඇතිවූ නොසන්සුන් තත්ත්වය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ නිවේදනය කළේ, සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව ඇතුළු රජය අඛණ්ඩව පවත්වාගෙන යෑම සහතික කිරීම සඳහා සර්ව පාක්ෂික රජයකට පහසුකම් සැලසීම සඳහා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත් එකී ආණ්ඩුව පත්කරන තෙක් තමා අගමැති ධුරයේ රැඳී සිටින බවත්ය. එකී ප්රජාතන්ත්රවාදී ප්‍රකාශය නිකුත් කර පැය කිහිපයකට පසු අරගලකරුවන් යැයි කියාගන්නා පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහට අයත් කොළඹ කොල්ලුපිටියේ පස්වැනි පටුමඟේ පිහිටි අංක 117 දරන පෞද්ගලික නිවෙස අසල මාර්ග බාධක බිඳගෙන නිවෙසට ඇතුළු වීමට උත්සාහ දැරීය. එහිදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය තුළ අගමැතිවරයාගේ නිවෙස ගිනිතබන්නට ප්රචණ්ඩකාරීහු කටයුතු කළහ.
“9 වැනිදා හවස්වරුවේ මට පොලිසියෙන් පණිවිඩයක් ලැබුණා, අරගලයට සහභාගි වෙලා මගේ ගෙදර පහුකරගෙන යන පිරිස් කලහකාරී ලෙස හැසිරෙන්න පුළුවන්, ඒ නිසා ගෙදරින් පිටවෙලා යන්න කියලා. ඒ නිසා එදා හවස මමත් බිරියත් පිටවෙලා ගියා. මේ මට තිබුණු එකම ගෙදර. ලංකාවෙත් පිටරටත් මට තිබුණු එකම ගෙදර. මේ විනාශ කරලා තියෙන්නෙ මගේ ලොකුම වස්තුව, ධනය වුණු පුස්තකාලය. එහි පොත් 2,500ක් තිබුණා. ඒවා හැමදාම මට තියාගන්න බැහැ. මමයි මෛත්‍රියි එකඟ වෙලා තිබුණේ ඒ පොත් රාජකීය විද්‍යාලයට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහ කොළඹ විශ්වවිද්‍යාලයට දෙන්නයි. ඕලන්ද කාලේ පොත් වගේම පෝල් ඊ පීරිස්ගේ පොතුත් තිබුණා. මට තියෙන එකම කනගාටුව අනාගත පරම්පරාවට උරුම වෙන්න තිබුණ වටිනා ඓතිහාසික පොත්පත් විනාශ වෙච්ච එක ගැනයි.
ඒ වගේම අවුරුදු දෙසීයක් විතර පැරණි චිත්‍ර එකතුවක් තිබුණා. ඒ චිත්රවලින් එකම විත්රයයි ඉතුරු වෙලා තියෙන්නෙ. සියලු දේම ගින්නෙන් විනාශ වෙලා. 1932දී හිට්ලර් පොත් පුච්චලා තමයි ගමන ආරම්භ කළේ. මේකටත් පසුබිමක් තියෙනවා. එදා හවස තිබුණු පක්ෂ නායක රැස්වීමේදී සූම් එකෙන් මම කළ ප්‍රකාශය ඇතැම් මාධ්‍ය විකෘති කරලා ප්‍රචාරය කළා. ”
ඉකුත් 11 වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ එසේ කීවේය. අගමැතිවරයාගේ නිවෙස ගිනිතැබීමත් සමඟ අරගලයේ වූ සාමකාමී බවද ගිනිබත් වූ බව බොහෝ දෙනාගේ අදහසයි. මිනිසකුට මිල මුදල් හම්බකරගත හැකිවුවත් ඔහු එකුතු කරගත් දේ නැවත ලබා ගැනීමට නොහැකි බව රනිල් වික්‍රමසිංහ පැවසුවේය. ඔහු මෙවැනි අත්දැකීමකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවේ. පියා දේශපාලනය කරන කාලයේදී වරක් ඔහුගේ මහගෙදරට ද බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත.
ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනිබත් කළ නිවෙස පිහිටි ඉඩම රනිල් වික්‍රමසිංහගේ මව, නාලනී වික්‍රමසිංහට ඇයගේ පියා වන දොන් රිචඩ් විජයවර්ධන හෙවත් ඩී.ආර්. විජයවර්ධනයන් විසින් ලබා දුන්නකි. රටම දන්නා විජයර්ධන පරපුර පැවත එන්නේ සීතාවක රජුගේ ප්‍රධාන සෙන්පතියකු වූ තුඩුගල මද්දුමරාලගෙනි. විජයවර්ධන නාමය ඔහුගේ රණ ශූරත්වයට ලැබුණු අපූරු උරුමයකි. පසුව ඔවුහු කොළඹ ඉඩම් හිමි වැවිලිකරුවෝ බවට පත්වූහ. කොල්ලුපිටිය පස්වැනි පටුමඟේ පිහිටි අක්කරයක පමණ භූමිය මිලදී ගන්නේ තුඩුගල ඩෙප් විජයවර්ධන විසිනි. වැවගේ සොෆියා ඩෙප් වීරසිංහ යනු ඩී. ආර්. විජයවර්ධනයන්ගේ මෑණියන්ය. ඇය විසින් සේදවත්ත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන වලව්වක් ඉදි කළේය. ඩී.ආර් විජයවර්ධනයන් ලේක්හවුස් ආයතනය ආරම්භ කරද්දී ඊට නම යොදන්නේ ද වැවගේ යන වාසගම මූලික කරගනිමිනි. වැවගේ ලේක්හවුස් බවට පත්වන්නේ එසේය.
පරපුරෙන් පරපුරට පැවත ආ පස්වැනි පටුමඟේ ඉඩමෙන් පර්චස් 80ක් ඩී.ආර් විජයවර්ධනයන් විසින් සිය වැඩිමල් දියණිය වූ නාලනී වික්‍රමසිංහට පවරා දෙන්නේ 1944 වසරේ ඔක්තෝබර් 19 වැනිදාය. ඒ වන විට ඒ ඉඩමේ තක්සේරු වටිනාකම රුපියල් 60,000කි.
සේදවත්ත වලව්වේ විසු ඩී.ආර් විජයවර්ධන පසුව කොල්ලුපිටිය ශ්‍රී රම්‍යා නිවෙස සමඟ වෙරළ තීරයත් මිලදී ගැනීමත් සමඟ ඔහු පෞද්ගලික වෙරළක් හිමි එකම ශ්‍රීලාංකිකයා බවට පත්විය. ශ්‍රී රම්‍යා නිවෙස පසුව ඇමරිකානු මධ්‍යස්ථානයට විකුණා කොළඹ 02 බේබෘක් පෙදෙසේ පදිංචියට පැමිණ ඇත. ඩී.ආර් විජයවර්ධනයන් සිය දේපළ බෙදා දීමේදී සිය වැඩිමහල් දියණිය නාලනී වික්‍රමසිංහට පවරන්නේ කොල්ලුපිටිය 05 වැනි පටුමඟේ පිහිටි ඉඩමය. එම නිවෙස ඩී.ආර් විජයවර්ධන විසින් සිය දියණිය වෙනුවෙන් ඉදිකර දෙන ලද්දකි.
නාලනී විජයවර්ධන විවාහ වන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහ සමඟය. වික්‍රමසිංහ පරම්පරාව පැවැත එන්නේ සීතාවක රාජසිංහ රජ සමයේ ඉතා දක්ෂ සටන්කාමියකු වූ වික්‍රමසිංහ සෙනවියා අයත් විජයබාහු රජ පරපුරෙනි. එම පරපුරෙන් පැමිණි වික්‍රමසිංහ පවුලෙන් දේශපාලනයට සම්බන්ධ වෙන්නේ සී.එල් වික්‍රමසිංහ ය. ලංකාවේ පළමු දිසාපතිවරයා වන ඔහු ඩී. එස් සේනානායක අගමැතිවරයා සමඟ එක්ව ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කළේය. එස්මන්ඩ්, සී.එල්. වික්‍රමසිංහගේ පුතුය.
එස්මන්ඩ්- නාලනී යුවළ විවාහයෙන් පසු පදිංචියට යන්නේ තිඹිරිගස්යාය කස්සප පාරේ පිහිටි නිවෙසටය. ටික කලකට පසුව ඔවුන් නාලනීට සිය පියාගෙන් ලැබුණු ඉඩමේ නිවෙසක් තැනීමට සැලසුම් කරන අතර, එය බාර දෙන්නේ එඩ්වඩ් රීඩ් ඇන්ඩ් බෙග් (Edward Reid and Begg) ගොඩනැඟිලි නිර්මාණ සමාගම වෙතය. ජෙෆ්රි බාවා ද ඒ වන විට එහි ආධුනිකයකු ලෙස සේවය කරමින් සිටියේය.
ශාන් වික්‍රමසිංහ, රනිල් වික්‍රමසිංහ උපත ලබන්නේ කස්සප පාරේ නිවෙසේදීය. නිරාජ් වික්‍රමසිංහ, ක්ෂනිකා වික්‍රමසිංහ හා චන්න වික්‍රමසිංහ උපත ලබන්නේ අලුතින් ඉදිකළ පස්වැනි පටුමඟේ නිවෙසේදීය. නාලනී හා එස්මන්ඩ් යුවළ 1972 ඔක්තෝබර් මස 22 වැනිදා සිය දේපළ දරුවන්ට පවරා දීමට කටයුතු කළහ. ශාන් වික්‍රමසිංහ කොළඹ පදිංචියට අකමැති වූවෙන් ඔහුට රත්මලාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක් පවරා දුන්නේය. නිරාජ්ට හා රනිල්ට පර්චස් 20 බැගින් ඉඩම් කොටස් දෙකක් පවරා දුන්නේය.
විජයවර්ධන පවුල සතුව තිබූ ලේක්හවුස් ආයතනය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් පවරා ගත්තේ මේ කාලයේදීය. පසුව බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ලේක්හවුස් ආයතනය නැවත විජයවර්ධන පවුල වෙත පවරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළද එවැන්නක් සිදු නොවීය. එහෙත් නාලනී - එස්මන්ඩ් යුවළ තම උරුමය වෙනුවෙන් දිගටම සටන් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස රජය විසින් තක්සේරු කරන ලද වන්දි මුදලක් හා මහාභාරකරු වෙත පැවරූ කොටසින් මුදලක් නාලනී වික්‍රමසිංහට ගෙවීමට රජය එකඟ වීය.
නාලනී වික්‍රමසිංහ පුතු රනිල්ට පැවරූ ඉඩමේ නිවෙසක් ඉදි වී නොතිබුණු අතර එය පැවතියේ රුක් ගොමුවක් ලෙසටය. 70 – 77 කාලයේ මෙරට ආහාර සීමා කළ යුගයක් වූයෙන් රනිල්ගේ එකී ඉඩම අල,බතල, මඤ්ඤොක්කා හා එළවළු වගා බිමක් වී තිබුණු අතර, වතුර ලබා ගැනීම වෙනුවෙන් තැනූ පොකුණක් ද එහි විය. කෙසේවෙතත් නාලනී වික්‍රමසිංහ 1980 දශකයේ මුල් භාගයේදී ඒ ඉඩමේ නිවෙසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන්නේ ලේක්හවුසිය රජයට පවරා ගැනීම වෙනුවෙන් ඇයට ලැබුණු වන්දි මුදල යොදවමිනි. ලෝරන්ස් තුඩාවේ සමාගමේ ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පී රංජිත් සමරසිංහ ට එහි ඉදිකිරීම් කටයුතු පැවරිණි. ඉදිකිරීම් අවසානයේ රනිල් වික්‍රමසිංහ ඒ නිවසේ පදිංචියට යන්නේ තම මවුපිය උරුමයෙන් ලද පෞරාණික ගෘහ භාණ්ඩ ද රැගෙනය.
එම නිසාම ඒ නිවෙසේ ඉතා වටිනා පෞරාණික භාණ්ඩ රැසක් විය. ඒ අතර, හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසින් 1900 දී පමණ මිලදී ගත් පියානෝවක් මෙන්ම තුඩුගල විජයවර්ධන පරපුරෙන් ලැබුණු වසර 200 ක් පමණ පැරණි ඇඳක් ද විය. තවත් වසර 100 ක් පමණ පැරණි කළුවර ඇදි පුටු දෙකක් ද එහි තිබූ අතර, ඉන් එක් පුටුවක් ඊ. ඩබ්ලිව්. ජයවර්ධන, ඩි. බී ජයතිලක, ඩී. එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග වැනි රාජ්‍ය නායකයන් රැසක් අසුන් ගත් ඓතිහාසික වටිනාකමක් හිමි එකක් බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය. ඒ පුටු කට්ටලය ඔහුට ලැබී ඇත්තේ සීයා වන ඩී. ආර්. විජයවර්ධනයන්ගෙනි. අත් වාරුව බිඳී අබලන්ව තිබූ ඒ පුටුවට අලුත් අත්වැටක් යෙදිය යුතු බව වඩු බාස් කෙනකු පැවසුවද එහි පෞරාණිකත්වයට හානියක් සිදුවන බැවින් අලුත්වැඩියාව පමණක් කරගත් බව රනිල් වික්‍රමසිංහයන්ගේ නිවෙසේ සේවකයකු අපට කීවේය.
ගින්නෙන් විනාශ වූ පොත් කන්දරාව ගැන අවංක සිතින් කනගාටු වන්නෝ බොහෝය. ඒ ගැන වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ මෙවැන්නකි.
“නීතිය හා සමාජය පිළිබඳ පොත් ගණනාවක් තිබුණා. ඒ වගේ පරණ පොත්පත් හුඟක් තිබුණා. අලුත් ඒවාත් තියෙනවා. සමහර පොත්වල එම පොත ලියූ අයගේ අත්සන සහිත සටහනුත් තිබුණා. රූස්වෙල්ට ජනාධිපතිතුමාගේ පොත් තුනේම ඔහු අත්සන් කරලා තිබුණා. කී සින්ගර් ජනාධිපතිතුමා අත්සන් කර දුන් පොත් තියෙනවා. 1902 සිට වැදගත් තොරතුරුවල විස්තර ඇතුළත් කරන ලද සී.ඩී 200 ක් පමණ තිබුණා. මියුසික් සී.ඩි හා ඩී.වී.ඩී ගණනාවක් තිබුණා. 1912 සිට අද දක්වා එක එක විදිහේ ගීත හා සංගීතය පටිගත කරන ලද වසර 100 ක් පමණ ඉපැරණි සංගීතය ඇතුළත් සී.ඩි ගණනාවක් තිබුණා. සිංහල, හින්දි, බටහිර සංගිත තැටි මේ අතර විය. පැරණි වීඩියෝ පටත් තිබුණා. 1977 දේශපාලනයට පැමිණි කාලයේ සිට මැතිවරණය වෙනුවෙන් ලබාගත් ඡයාරූප ඇතුළත් සී.ඩී පටත් ඒ අතර තිබුණා.
නිවෙසේ පහළ කොටසේ බුදු පිළිම 15 ක් පමණ තිබුණා. ඉහළ මාලයේ බුද්ධ ප්‍රතිමා 20 ක් පමණ තිබුණා. ත්‍රිපිටකය, ධම්ම පදය සිංහල ඉංග්‍රිසි භාෂා දෙකෙන්ම පොත් තිබුණා. වැදගත් තොරතුරු ඇතුළත් ලිපි ගොනු ගණනාවක් තිබුණා. පරිශීලනය සඳහා ගෙනාපු ලිපි ගොනුත් තිබුණා. ඉතිහාසය ගැන තොරතුරු ඇතුළත් ලිපි ගොනුත් ගණනාවක් තිබුණා. ඒ ඔක්කොම දැන් විනාශයි. ඡායාරූප වගේම චිත්‍ර රාශියක් තිබුණා. පස්වග මහනුන් නිරූපණය කෙරෙන රෙද්දෙන් වියපු ඉපැරණි සංරක්ෂිත පින්තූරයක් තිබුණා. මේ ගෙදර අලුතින් ගත්ත දේවල් තිබුණේ ස්වල්පයයි. අනෙක් සියලු දේ මට පරම්පරාවෙන් ලැබුණු දේවල්. මේවා කෞතුකාගාරයකට පවරන්න තිබුණ භාණ්ඩ.”
2020 මහ මැතිවරණය පරාජයත් සමඟ රනිල් වික්‍රමසිංහ අග්නිදිග ආසියාවේ දේශපාලන හැසිරීම යන මැයෙන් පොතක් ලිවීමට පටන් ගත් අතර, එහි අත්පිටපත ද 9 වැනිදා ගින්නෙන් විනාශ වී ඇත. වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ද ලබා නොගත් ඔහු දේශපාලනයෙන් උපයාගත් දෙයක් නැත. ජීවත් වූ නිවෙස ද තමාගෙන් පසු රාජකීය විද්‍යාලයට අයිති වීම ඔහුගේ කැමැත්තයි.
නිවෙසේ ගින්නට මැදිවූ‘ බෘෘනෝ’ නම් සුනඛ සුරතලාගේ දිවි ගැලවී ඇත්තේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර සේලයින් සහ ඔක්සිජන් ලබාදීම නිසාය. වෛද්‍යවරයා පවසා ඇත්තේ තවත් අඩපැයක පමණ කාලයක් ප්‍රමාද වී නම් සුනඛයාගේ ජීවිතය නැතිවන්නට තිබූ බවයි. නිවෙස ගිනිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.
තනතුරු කිරුළක් කර නොගත්, නින්දා, අපහාස හමුවේ නොසැලෙන විසල් ආත්ම ශක්තියකින් හා උපේක්ෂාව මනාව ප්‍රගුණ කළ අයකු වන රනිල් වික්‍රමසිංහ ඉකුත් 12 වැනිදා හවස ප්‍රචණ්ඩකාරීන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබූ සිය බාල සොහොයුරු චන්න නලින් වික්‍රමසිංහගේ නිවෙසට ගියේය. ඒ නිවෙස පිහිටා ඇත්තේ අගමැතිවරයාගේ නිවෙස අසලය. ප්‍රචණ්ඩකාරීන් විසින් එම නිවසේ තිබූ රන් භාණ්ඩ සහ වටිනා අත්ඔරලෝසු ආදිය සොරාගෙන ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ ඇතුළු දේපළ රැසක් විනාශ කර ඇති අතර, ඉඳගැනීමට පුටුවක්වත් ඉතිරි නොවන ලෙස ප්‍රචණ්ඩකාරීන් විසින් එම නිවෙසට අලාබ හානි කර ඇත. සොහොයුරාගේ නිවෙසේ පඩිපෙලක් මත හිඳගෙන වැඩබලන ජනාධිපති,රනිල් වික්‍රමසිංහ කීවේ මෙවැන්නකි.
“මිනිස්සු බඩගින්නේ මෙච්චර අඬද්දි පුච්චපු දේ ගැන අපි මොකටද කනගාටු වෙන්නෙ?”
තමා සතු සියල්ල සැණෙකින් අහිමි වී ගිය මොහොතකදී පවා එවැනි නොසිඳෙන උපේක්ෂාවක් මේ අපූරු මිනිසා සතුය. ඔහුගේ බිරිය මෛත්‍රී වික්‍රමසිංහ ද ඔවුන්ගේ නිවෙසට සිදුවූ විනාශය ගැන කම්පා වන සිය හිතවතුන්ට පවසා තිබුණේ “අපි නම් හිත හදාගත්තා. ඔයාලත් ශක්තිමත් වෙන්න”කියාය.