විවාහය ඉක්මන් කරන නොවරදින වත්පිළිවෙත් | Page 2 | සිළුමිණ

විවාහය ඉක්මන් කරන නොවරදින වත්පිළිවෙත්

“කුජ - සිකුරු” යෝගය හිමි අය විවාහය ගැන තීන්දු ගත යුත්තේ කල්පනාවෙන්

ර්තමානයේ මෙරට ඇතැම් තරුණ තරුණියන් විවාහ නොවී සිටීමට ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇති බව නිරීක්ෂණය වෙමින් තිබේ. එය ඔවුන්ගේ පෞද්ගලික මතය බැවින් ඒ පිළිබඳ ගැටලුවක් නැතිවුවද විවාහයක් කරගැනීමට දැඩි වුවමනාවකින් සහ කැමැත්තකින් සිටින අයට විවාහය ප්‍රමාද වීම නම් බරපතළ ගැටලුවකි.එය එකී තරුණ තරුණියන්ට මෙන්ම ඔවුන්ගේ මවුපියන්ට ද දැඩි මානසික පීඩාවකි. එසේ විවාහය ප්‍රමාද වීමට ජ්‍යොතිෂ්‍ය සාධකය ද යම් තරමකට හෝ තීරණාත්මක ලෙස බලපාන බව අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදු වේ.

මගේ අදහස නම්, විවාහයක් නොකැඩී අඛණ්ඩව පැවතීමට විවාහ වන දෙදෙනාගේ පොරොන්දම් ගැළපීමට වඩා තීරණාත්මක වන්නේ විවාහ වන දෙදෙනාගේ කේන්ද්‍ර සටහන් තුළ නිදන්ගත විවාහ දෝෂ නොමැති වීමය. එනම්, දෙදෙනාගේ කේන්ද්‍ර සටහන්වල පොරොන්දම් ඉතා විශිෂ්ට ලෙස ගැළපුණද එම දෙදෙනාගෙන් එක් අයකුට හෝ නිදන්ගත විවාහ දෝෂ නොමැති නම් යම් යම් බාධක මධ්‍යයේ වුවද එම විවාහය අඛණ්ඩව පැවතීමේ ඉඩකඩ වැඩිය. ඒ නිසා විවාහ වන දෙපළ විසින් තම කේන්ද්‍ර සටහන්වලට අදාළ පොරොන්දම් පිළිබඳව පරීක්ෂා කරනවාට වඩා තීරණාත්මක වන්නේ කේන්ද්‍ර සටහන් දෙකට අදාළව නිදන්ගත විවාහ දෝෂ ඇත්දැයි පරීක්ෂා කිරීමය.

කේන්ද්‍ර සටහනක් තුළ ඇති නිදන්ගත විවාහ දෝෂ ලෙස හඳුන්වන්නේ එක් කේන්ද්‍ර සටහනක කුජ ග්‍රහයා 1, 2, 4, 7, 8, 12 යන භාවයක තැම්පත්ව ඇති විට අනෙක් කේන්ද්‍රී සටහනෙහි ද කුජ ග්‍රහයා එම භාවවලින් එකක තැම්පත් නොවීම නිසා ඇති වන "කුජ භෞම" දෝෂය යැයි කෙනකුට සිතෙන්නට පුළුවනි. සැබවින්ම අප නිදන්ගත විවාහ දෝෂය ලෙස අදහස් කළේ එම කුජ භෞම දෝෂය නොවේ. ප්‍රායෝගිකව එම භෞම දෝෂවල සැලකිය යුතු බලපෑමක් නොමැති බව අප විසින් නිරීක්ෂණය කර ඇත. කෙසේ වෙතත් උත්පත්ති කේන්ද්‍ර සටහනේ කුජ ග්‍රහයා 7 වන භාවයේ තැම්පත් වීම බලගතු නිදන්ගත විවාහ දෝෂයක් ලෙස අප විසින් හඳුනා ගෙන ඇත. ඒ අනුව දරුවාට මංගල යෝජනාවක් ලැබුණු විට පොරොන්දම් ඉහළින්ම ගැළපුනද අදාළ කේන්ද්‍ර සටහනේ කුජ ග්‍රහයා 7 වැනි භාවයෙහි තැම්පත්ව ඇතිනම් තීරණය ගැනීමට පෙර දෙවරක් සිතීම සුදුසු වේ. එමෙන්ම කිසියම් යෝජිත සටහනක කුමන හෝ භාවයක "කුජ - සිකුරු" යෝගයක් ඇතිනම් එය ද නිදන්ගත විවාහ දෝෂයකි. එවැනි පිහිටීම් ඇති අයට විවාහය සිදු නොවීම හෝ විවාහය ප්‍රමාද වීම හෝ විවාහය සම්බන්ධව නොකළ වැරදිවලට අභූත චෝදනා එල්ල වීම ආදිය සිදු විය හැකිය. එවැනි පිහිටීම් ඇති අයට විවාහය පිළිබඳ කුතුහලය උපරිම වන අතර කුමක් හෝ හේතුවක් නිසා විවාහ සැප ඇතුළු අනෙකුත් ලෞකික සැප විඳින්නට ඇති අවස්ථා අවම වී යයි. කෙසේ වෙතත් මේ ආකාරයට "කුජ - සිකුරු" යෝගයක් ඇති අයට විවාහය පිළිබඳ සමාජ විද්‍යාත්මක පර්යේෂණ නම් සාර්ථක කර ගත හැකි වනු ඇත. අප අත්දැක ඇති ආකාරයට "කුජ - සිකුරු" යෝගය අතිධාවන භව යෝගයක් ලෙස හඳුන්වා දී ඇති සිද්ධාන්තය පිළිබඳව ප්‍රායෝගිකව කිසිසේත්ම එකඟ විය නොහැකිය. කෙසේ වෙතත් යෝජිත සටහනක "කුජ - සිකුරු" යෝගයක් ඇත්නම්, එය නිදන්ගත විවාහ දෝෂයක් නිසා විවාහය සම්බන්ධව අවසාන තීන්දුව ගැනීමට පෙර දෙතුන් වරක් සිතීම නුවණට හුරුය. කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක රාහු සහ කේතුගෙන් එක් පසෙක පමණක් ග්‍රහයන් ඇත්නම් නොහොත් "කාල සර්ප" යෝගයක් ඇත්නම් එය ද නිදන්ගත විවාහ දෝෂයකි. යෝජිත සටහනෙහි නිදන්ගත විවාහ දෝෂයක් ලෙස "කාල සර්ප" යෝගයක් ඇත්නම් විවාහය සිදු කිරීමට අදාළ තීරණය ගැනීමට පෙර දෙවරක් සිතීම නුවණට හුරු වේ. කිසියම් කේන්ද්‍ර සටහනක ග්‍රහයන් අංශක වශයෙන් පෙළ ගැස්වූ විට සිකුරුට යාබදව රාහු ඇත්නම් එය විවාහය සම්බන්ධයෙන් මත ගැටුම් ඇති විය හැකි පිහිටීමකි.

කේන්ද්‍ර සටහන්වල පවතින මෙම නිදන්ගත විවාහ දෝෂ සම්පූර්ණයෙන් ඉවත් කිරීම අපහසු වුවද විවාහයට පෙර විශ්වාසවන්ත ස්ථාන 5කට පමණ විවාහ විවාහය සතුටින්, සමාදානයෙන්, අඛණ්ඩව ගත වේවා යැයි බාර වී එම බාර විවාහ වී පළමු මාස 3 තුළ දෙදෙනා එක්ක ගොස් ඔප්පු කිරීම මඟිනුත්, වාසනාවන්ත විවාහයක් අඛණ්ඩව ගත වන ලෙස සිතා විශ්වාසවන්ත සහ පහසු තැනකට බාරයක් වසරින් වසර අලුත් කිරීම මඟිනුත් දෝෂය අවම කර ගත හැකි වනු ඇත.

උත්පත්ති කේන්ද්‍ර සටහන්වල දෝෂ නිසා පමණක් නොව භූමි දෝෂ නිසා ද සමහර අවස්ථා වලදී විවාහය ප්‍රමාද වීම හෝ විවාහය සිදු නොවීම සිදු විය හැකිය.

මේ, ඉක්මනින් විවාහයක් කර ගැනීම වෙනුවෙන් කළ හැකි වත්පිළිවෙත් කිහිපයකි.

නිවෙසේ "වයඹ" දිශාවෙහි පිහිටි කාමරයක පදිංචි වීම තුළින් විවාහය ඉක්මන් කර ගැනීම සඳහා යම් මට්ටමකින් අවස්ථා ලැබෙනු ඇත. තවද නිදන කාමරයෙහි ඇති තනි පිංතූර සහ මියගිය අයගේ ඡායාරූප වෙනත් වැදගත් ස්ථානයකින් තබා යුගල පින්තූර පමණක් නිදන කාමරය තුළ තබා ගත යුතුය. බ්‍රහස්පතින්දා දිනවල නිර්මාංශව සිටිමින් එම පුණ්‍ය කර්මය තුළින් වාසනාවන්ත විවාහයක් සිදු වන ලෙස ප්‍රාර්ථනා කළ යුතුය. තවද බ්‍රහස්පතින්දා දිනවල උදෑසන 6.00ත් උදෑසන 10.00ත් අතර කාල සීමාව තුළ උපවාසයේ යෙදී එම අධිෂ්ඨාන ශක්තිය තුළින් වාසනාවන්ත විවාහයක් සිදු වන ලෙස ප්‍රාර්ථනා කිරීම සුදුසුය. බ්‍රහස්පතින්දා දිනවල පැරණි බෝධියක් ළඟ බෝධි පූජා තබා රැස් කර ගත් පින් බෝධිය අවට වැඩ වෙසෙන දෙවිවරුන්ට අනුමෝදන් කර, වාසනාවන්ත විවාහයක් වෙනුවෙන් එම දෙවිවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සුදුසුය. තවද බ්‍රහස්පතින්දා දින 7ක් පැරණි බෝධියක් අසල ඉර පායන්නට පෙර ගොස් කිරිපිඬු පූජාවක් තබා බෝධියට අධිගෘහිත දේවතාවාට කිරිපිඬු පිළිගන්වා සාමාන්‍ය විදියට බෝධි පූජාවක් පවත්වා රැස් කර ගත් පිං බෝධියට අධිගෘහිත දේවතාවාට සහ අනෙකුත් දෙවිවරුන්ට අනුමෝදන් කර සාර්ථක විවාහයක් වෙනුවෙන් එම දෙවිවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සුදුසුය. මේ ආකාරයටම බ්‍රහස්පතින්දා දිනයක ශ්‍රී මහා බෝධිය අසල ද කිරිපිඬු පූජාවක් පවත්වා සාර්ථක විවාහයක් වෙනුවෙන් දෙවිවරුන්ගේ ආශිර්වාදය ලබා ගත යුතු අතර ශ්‍රී මහා බෝධියට පහළින් ඇති ප්‍රාර්ථනා බෝධිය අසලට ගොස් බාරයක් ගැට ගසා විවාහය වෙනුවෙන් ප්‍රාර්ථනාවක් සිදු කිරීම සුදුසුය.

මේ ආකාරයට බ්‍රහස්පතින්දා දිනයක සෝමාවතී චෛත්‍යය අසල බෝධි පූජාවක් පවත්වා රැස් කර ගත් පින් බෝධිය අවට වැඩ වෙසෙන දෙවිවරුන්ට අනුමෝදන් කර වාසනාවන්ත අඛණ්ඩ විවාහයක් සඳහා එම දෙවිවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සුදුසුය. විවාහ ගිවිස ගෙන සිටින, ආර්ථික වශයෙන් දුර්වල යුවළකට විවාහ ඇඳුම් පරිත්‍යාග කිරීම මඟින් ද, ස්වාමීන් වහන්සේ නමක් ගෙදරට වැඩම කරවා අට පිරිකරක් පූජා කර ඒ පිනෙන් සාර්ථක විවාහයක් සිදු වන ලෙස සිතින් සිතීම මඟින් ද විවාහ බලාපොරොත්තු ඉටු කර ගත හැකි වනු ඇත.

විශේෂයෙන් කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහන්වල ගුරු ග්‍රහයා 7 වන භාවය තුළ ගමන් කිරීම අනුව ද, වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහන් තුළ ගුරු ග්‍රහයා 5 වන භාවය තුළ ගමන් කිරීම අනුව ද මිථුන සහ මකර ලග්න හිමියන්ට වගකීම් වැඩි වන යෝගයක් තිබීම අනුව ද එම ලග්න හිමියන්ට වඩාත් පහසුවෙන් ප්‍රමාද වී ඇති විවාහ බලාපොරොත්තු ඉටුකර ගත හැකි අතර ඉහත වත් පිළිවෙත් සිදු කිරීමෙන් සෑම ලග්න හිමියකුටම තම බලාපොරොත්තු යම් පමණකට හෝ ඉටු කර ගත හැකි වනු ඇත.

Comments