කුරුන්දි බොදු උරුමයන් රකින්න පුරාවිද්‍යාව සටනට බහියි | Page 3 | සිළුමිණ

කුරුන්දි බොදු උරුමයන් රකින්න පුරාවිද්‍යාව සටනට බහියි

මුලතිව් කුරුන්දි විහාරය, එසේත් නැත්නම් කුරුඳුමලේ විහාරය අතීතයේ සිට බෞද්ධ හෙළ උරුමය කියා පෑ බෞද්ධ කේන්ද්‍රස්ථානයකි. උතුරේ රාජධානි දකුණට සංක්‍රමණය වීමත් සමඟ වනගතවූ මේ බොදු පුදබිම තිස් වසරක යුද්ධය නිසා ජනතාවගේ වන්දනා මානයෙන් තවත් ඈත් වන්නට විය. ඒ අතීත හෙළ උරුමය එක් ජාතියකට හෝ එක් ආගමකට හෝ සීමා වන්නක් නොවේ. එම නිසාත් ඓතිහාසික පුරා විද්‍යා උරුමය රැක ගත යුතු නිසාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුන්දි විහාරයේ පුරාවිද්‍යා සංවර්ධන කටයුතු ආරම්භ කරන ලදී. ඒ මීට වසර කිහිපයකට පෙරදීය. එහි සංවර්ධන වැඩකටයුතු ආරම්භ කෙරුණද පසුව මූල්‍ය ගැටලු මත එම වැඩ කටයුතු අඩපණ විය.

එහෙත් එවකට බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරය දැරූ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාලයන් විසින් එම කැණීම් සඳහා ඇස්තමේන්තුගත කළ සම්පූර්ණ මුදල පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දීමෙන් පසුව කුරින්දි විහාරයේ කැණීම් ආරම්භ කෙරිණි. පසුව කැණීම් කටයුතු නිමවා එහි සංරක්ෂණ කටයුතු සිදු කිරීමටද ලක්ෂ 60ක පමණ මුදලක් අවශ්‍ය වූ අතර ජගත් සුමතිපාලයන් විසින් එයද ලබා දෙන ලදී. ඒ පද්මාකාර හැඩයෙන් යුත් මෙරට එකම කබොක් ස්තූපය එය වන හෙයිනි. එය ජාතික වශයෙන් වැදගත් පුදබිමක් වන හෙයිනි.

කුරින්දි විහා­රය ඉදි කිරී­මට දෙමළ ජාතික තරු­ණ­යන් සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වට සහාය ලබා දුන් අයුරු

මැදවච්චියේ සිට යාපනය පාරේ ඒ 9 මාර්ගයේ ගොස් පුලියන්කුලමෙන් දකුණට හැරී නෙදුන්කර්නි හරහා මුලතිව් දක්වා ගොස් මුලතිව් - කෝකිලායි මාර්ගයේ කෝකිලායි දෙසට කිලෝ මීටර් 12 ක් අලම්පිල් දක්වා ගොස් එතැනින් දකුණට හැරී කුමුලමුනේ මාර්ගයේ කිලෝ මීටර් 13 ක් ගමන් කරන විට වනගතව කඳුමුඳුනක පිහිටා ඇති කුරුඳුමලේ පුදබිමට ළඟා විය හැකිය.

කුරුඳුමලේ හෙවත් කුරින්දි විහාරයේ සංරක්ෂණ කටයුතු සිදු කිරීමේ දී එහි ධාතු නිධානෝත්සවයක්ද සිදු කරන්නට කටයුතු යොදන ලදී. මේ සියලු කටයුතු වෙනුවෙන් එම ප්‍රදේශයේ දෙමළ ජාතික ජනතාවද මහත් භක්තියෙන් යුතුව දායකත්වය සපයන ලදී. විශේෂයෙන්ම එහි ඉදි කිරීම් සිදු කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහායට දෙමළ ජාතික තරුණයන් 14 දෙනකු සහභාගි විය. ඒ එම ප්‍රදේශයේම දෙමළ ජාතික තරුණයන්ය. ඔවුහු අව්ව වැස්ස නොබලා කටයුතු කළහ. පුද බිමේ ගරුත්වය රැක දුන්හ.

දාගැබේ සංරක්ෂණ කටයුතු සිදු කරන අතර අම්පාර දීඝවාපි සෑයේ මෙන්ම මෙහිද ධාතු නිධානෝත්සවයක් පසුගිය පොසොන් පොහෝ දිනට යොදා ගෙන තිබුණි. ඒ මහා සංඝරත්නයේ ආශිර්වාද මැදය.

එහෙත් කිසිවකු නොසිතූ විරූ ලෙසින් එයට දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලකයන් කිහිප දෙනකු විසින් බාධා පමුණුවන ලදී. විරෝධතා පුවරු සහිතව එහි පැමිණ බාධා කළ අය එම ප්‍රදේශයේ අය නොවන අතර ඔවුන් යාපනයේ සිට පැමිණි අය බව කුරින්දි විහාරාධිපති ගල්ගමුවේ ශාන්තබෝධි හිමියෝ පවසති.

ධාතු නිදානෝත්සවයෙන් බලාපොරොත්තු වූයේ වැළලී ගිය හෙළ උරුමය යළි ගොඩ නැංවීමය. එය එක් ජාතියකට හෝ ආගමකට සීමා නොවේ. යාපනයේ කන්දරෝදේ රහතුන් වහන්සේගේ ධාතු නිධන්කොට තැනූ කදුරුගොඩ විහාරයද එක් ජාතියකට ආගමකට සීමා වූ පුදබිමක් නොවේ. එසේම නල්ලූර් කෝවිලද එසේ එක් ආගමකට ජාතියකට සීමා වී නැත. ආගමික වශයෙන් වන්දනා මාන කරන්නේ එක් ආගමිකයන් පිරිසක් වුවද එම ස්ථානය රැක ගැනීම සියලු ජාතිකයන්ගේම වගකීමක් වන්නේය.

එහෙත් දෙමළ ජාතික සංධානයේ දේශපාලකයන් විසින් ජනතාව උසි ගන්වා සිදු කරන ලද්දේ හුදෙක් ජාතිවාදී ක්‍රියාවකි. මේ සම්බන්ධයෙන් උතුරු නැඟෙනහිර බහුතර යාපනයේ පළ වන පුවත් පත් කිහිපයකම දක්වා තිබුණේ ජාතික සමඟිය උල්ලංඝනය නොකර කටයුතු කළ යුතු බවකි. එයට හොඳම උදාහරණය ලෙස නාගදීප විහාරය බවද එම පුවත්පත් වලින් වාර්තා කර තිබුණි.

දෙමළ ජාතික සන්ධා­නයේ පිරිස් පොසොන් පොහෝ දින ධාතු නිධා­නො­ත්ස­ව­යට බාධා කළ අයුරු

දෙමළ ජාතික සංධානයේ මුලතිව් දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් ඇතුළු පිරිසක් විසින් මෙම විරෝධතාව මෙහෙයවන ලදී. ඔවුන් පැවසුවේ කුරුන්දි විහාරය විහාරස්ථානයක් නොව තම නිජභූමියේ පවතින කෝවිලක් බවයි. එහි බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීම හෝ පුද පූජා පැවැත්වීමට තමන් දැඩි ලෙස විරුද්ධ බවත් මෙහිදී දෙමළ ජාතික සංධාන දේශපාලන නියෝජිතයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් විරෝධතාව පළ කරමින් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවේ ඇති වූ දැඩි උණුසුම් තත්ත්වය මත පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග විසින් අදාළ පින්කම නවත්වා දැමීමට කටයුතු කරන ලදී.

වැරදි මතයක් ජනතාවට යොමු කරමින් ඉතිහාසය පවා විකෘති කරන්නට මේ දේශපාලකයෝ කටයුතු කළහ. ඔවුන් එයින් නැවතුණේ නැත. මීට පෙර මුලතිව් අධිකරණයේ ගොනු කළ නඩුවක් යළි කරළියට ගන්නා ලදී. එහිදී පසුගිය 14 වෙනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ආර්. සරවනරාජා විසින් පැමිණිලිකාර පාර්ශ්වය විසින් ගෙන හැර දැක්වූ කරුණු අනුව නියෝග කරන ලද්දේ කුරුන්දි හෙවත් කුරුඳුමලේ විහාරයේ අලුතින් ඉදි කරන ලද සියලු ඉදිකිරීම් ඩෝසර් කර දමන ලෙසයි.

එම නියෝගය ලැබුණු සැණින් රවිහරන් ඇතුළු දෙමළ ජාතික සංධානයේ විවිධ දේශපාලකයන් ඇතුළු පිරිස් ප්‍රීතිඝෝෂා නඟමින් පිටව ගියහ.

ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ ‘හමුදාව උතුරෙන් යා යුතුයි‘ යනුවෙන් හඬ නැඟීමෙන් හා ‘හමුදාව සතු ඉඩම් සාමාන්‍ය දෙමළ ජනයාට ලබා දිය යුතුයි‘ යන්නෙන් පමණි. එමෙන්ම උතුරු නැඟෙනහිර වනගත වූ මෙන්ම යුද සමයේ කැඩී බිදී ගිය විහාරස්ථානවලට එරෙහිවීමද ඔවුන්ගේ පැවැත්මේ එක් කොටසක් වී ඇත.

මීට පෙර මුලතිව් ගුරුකන්ද විහාරය සම්බන්ධයෙන්ද ආරවුලක් ඇති කර ගැන්මට ඔවුහු කටයුතු කළහ. ගුරුකන්ද විහාරයේ සියලු බෞද්ධාගමික ලක්ෂණ ඉපැරැණි දැගැබ් සියල්ල ඇතත් එයද කෝවිලක් යනුවෙන් තර්ක කරමින් ඔවුහු කටයුතු කළහ. එහි විහාරාධිපති හිමියන් අපවත් වූ අවස්ථාවේ දේහය විහාරස්ථ භූමියේ ආදාහනය කරන්නට ඉඩ නොදී අධිකරණ නියෝග ලබා ගන්නට තරම් මේ පිරිස් කුරිරු වූහ. ඔවුහු එතැනින් නොනැවතුණහ.

බිදී ගිය ජාතික සමගිය රැක ගන්නට ආගමික නායකයන් විසින් මෙන්ම සමාජ විද්‍යාඥයන් විසින් කටයුතු කරද්දී සුළු පිරිසක් විසින් මෙසේ ජාතිවාදය ආගම්වාදය ඇදගෙන තම පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම සැබැවින්ම කනගාටුදායකය.

අධිකරණ නියෝගයට අනුව වසර දහස් ගණනක් පැරැණි කුරින්දි විහාරය මේ සතියේ ඩෝසර් කළ යුතුව තිබුණි. එහෙත් පසුගිය සඳුදා පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් අනුර මනතුංග නීතිපතිවරයා හමු වී සිදුවීම පැහැදිලි කිරීමෙන් පසුව පසුගිය බදාදා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් අනුර මනතුංග ඇතුළු පිරිසක් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කුරින්දි විහාරයේ පුරාවිද්‍යාත්මක කරුණු ගෙන හැර දක්වන ලදී. අදාළ කරුණු ගෙන හැර දැක්වීමෙන් පසුව මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සරවනරාජා විසින් තීරණය කෙළේ අදාළ ඉදිකිරීම් පරීක්ෂා කළ යුතු බවයි.

පසුව බදාදා පස්වරුවේ අධිකරණ කටයුතු නවතා කුරින්දි රජමහා විහාරයේ ඉදිකිරීම් පරීක්ෂා කිරීම පිණිස විනිසුරුවරයා එහි ගමන් කෙළේ පුරාවිද්‍යා නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සමඟිනි. එම අවස්ථාවේදී මේ පුරාවිදු බිමට එරෙහිව කටයුතු කළ රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක්ද ඔවුන්ගේ පෞද්ගලික වාහනවලින් කුරින්දි කරා ගමන් ගත්හ. කුරුන්දි පුරාවිද්‍යා සංරක්ෂණ වැඩබිම හා අවට පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා විසින් පසුව එහි ඇති නටබුන් මෙන්ම අනෙකුත් පුරාවිද්‍යා ස්මාරකද පරීක්ෂා කරන ලදී.

පසුව යළිත් මහේස්ත්‍රාත්වරයා අධිකරණය වෙත ගොස් පූර්ණ ලෙසින් විමර්ශනය කිරීමෙන් පසුව පස්වරු 6.00න් ද පසුව ඇඳිරි වැටීගෙන එන වේලාවේ තමන් විසින් පෙර නිකුත් කර තිබූ කුරුන්දි විහාරයේ ඉදිකිරීම් නවතා එය කඩා ඉවත් කිරීමේ නියෝගය බලරහිත කළේය.

එය ප්‍රකාශ කිරීමත් සමඟ පෙර සතියේ ප්‍රීතිඝෝෂා නඟමින් පිටව ගිය රවිහරන් ඇතුළු පිරිස අධිකරණ භූමියෙන් පිටත තරමක් නොසන්සුන් ලෙසින් හැසිරුණද එය කිසිවකුගේ අවධානය ලබා ගන්නට තරම් සමත් වූවක් නොවේ.

අධිකරණ තීන්දුව ලැබුණේ ඉදිරි පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු නිසි ලෙසින් කරගෙන යාමට හැකිවන පරිදිය. ඒ අනුව කුරුන්දි ‍ඓතිහාසික උරුමය සමස්ත ජනතාවට උරුම කර දීමට හැකි වනු ඇත.

සිළුමිණ මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංගගෙන් විමසන ලදී.

‘‘කුරුඳුමලේ විහාරයේ සංවර්ධන කටයුතුවල තවත් අංගයක් ලෙසින් එහි ධාතු නිධානෝත්සවයක් පොසොන් පොහෝ දින පවත්වන්නට කටයුතු කළා. නමුත් පිරිසක් එයට බාධා කළ නිසා අපට එය නවතා දමන්නට අපට සිදු වුණා.

පසුව අදාළ පිරිස් විසින් මීට පෙර ගොනු කළ නඩුවකට අනුව එහි ඉදිකිරීම් ඉවත් කරන්නට අධිකරණ නියෝගයක් ලැබුණා. අප කටයුතු කරන්නේ පුරාවිද්‍යා පනතට අනුවයි. ඒ අනුව මම නීතිපතිවරයාට මේ සම්බන්ධව දැනුම් දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුලතිව් මහේස්ත්‍රාත්වරයාට ගෙන හැර දැක්වූ කරුණු අනුව මහේස්ත්‍රාත්වරයා අදාළ ක්ෂේත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව තමන් විසින් ලබා දුන් නියෝගය ඉවත් කරනු ලැබුවා.

පුරාවිද්‍යා සංවර්ධන කටයුතු අපි නවත්වන්නේ නැහැ. මොන බාධා ආවත් පුරා විද්‍යා පනතට අනුවයි අප කටයුතු කරන්නේ. ‘‘

පසු­ගිය බදාදා කුරින්දි විහාර භූමි­යට ගොස් මුල­තිව් මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඉදි­කි­රීම් නිරී­ක්ෂ­ණය කළ අව­ස්ථාව

කුරුදුමලේ විහාරයට වැඩි දායකත්වයක් ලබා දුන් බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල ද පැවසුවේ සමස්ත ජාතියම වෙනුවෙන් යළි පණ ගන්වන්නට කටයුතු කළ කුරුඳුමලේ විහාරයට බාධා කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවයි.

‘‘ඇත්තෙන්ම එය ඉතාම කනගාටුදායක අවස්ථාවක් වුණා. කුරුන්දි විහාරය කියන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අනන්‍යතාවයක්. ඒ නිසයි මමත් මේ වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දෙන්නේ. ඉදිරියේදී මේ කටයුතු වෙනුවෙන් විශේෂ අවධානයක් අදාළ අංශ යොමු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

අධිකරණය විසින් ලබා දුන් තීන්දුව වෙනස් කළේත් පුරාවිද්‍යා පනතට අනුව සියලු ඉදිකිරීම් කර තිබූ නිසයි. ඉදිරියටත් අප කටයුතු කරන්නේ සමස්ත ජනතාව වෙනුවෙන්මයි. කුරුන්දි විහාරයේ ඉදිකිරීම් කටයුතු තවමත් සිදු කෙරෙන නිසා එය ඉදිකිරීමෙන් පසුව සැමට වන්දනා පිණිස විවෘත කෙරෙනවා. තවමත් එය වන්දනා කිරීමේ මට්ටමක නැහැ.

මේ කටයුත්තට අකුල් හෙළන්නේ ඒ ප්‍රදේශයේ ජනතාව නෙමෙයි. ඒ ජනතාව අපිත් එක්ක ඉතා සුහදව කටයුතු කරනවා. වෙන එකක් තියා අපෙන් කළ ඉල්ලීමකට අනුව මුලතිව් කෝකිලායි මාර්ගය අයිනේම අපි ඔවුන් වෙනුවෙන් ප්‍රජාශාලාවක් පවා ඉදි කර දුන්නා. ඔවුන් ඒ තරම් අපත් සමඟ එකමුතුයි. මේ ක්‍රියාව පසුපස ඉන්නේ ජාතික සමගිය අගය නොකරන අයයි. ඒ අයගේ මෙවන් ක්‍රියාවන් වෙනුවෙන් රටේ නීතිය නිසි ලෙසින් ක්‍රියාත්මක විය යුතුයි.

කුරුන්දි විහාරය කියන්නෙ කාගේවත් පෞද්ගලික ආරාමයක් ස්ථානයක් නෙමෙයි. පුරාවිද්‍යා රක්ෂිතයක්. එම ස්ථානයේ කාටවත් තමන්ට අවශ්‍ය පරිදි වැඩ කටයුතු කරන්න බැහැ. ඒ බව දැන දැනත් මේ පිරිස් කටයුතු කිරීම කනගාටුදායකයි‘‘

කුරින්දි රජමහා විහාරාධිපති ගලිගමුවේ ශාන්තබෝධි හිමියන්ගෙන්ද අපි කරුණු විමසුවෙමු.

‘‘කුරින්දි කියන්නේ සමස්ත ජනතාවගේම උරුමයක්. එයට සිංහලද දෙමළද මුස්ලිම්ද කියා වෙනසක් නැහැ. මෙරට එකම කබොස් ස්තූපය අප හැමගේ උරුමයක්. යාපනයේ නල්ලූර් කෝවිල වන්දනා කරන්නේ දෙමළ ජාතිකයන්. ඒත් එයට අපි හැමෝම යනවා. එය අගය කරනවා. ඒ නල්ලූර් කෝවිල කියන්නේ ජාතික උරුමයක් නිසයි. ඒ වගේම තමයි කුරින්දි විහාරයේ පුරාවිද්‍යා වටිනාකම රැක ගැනීමට අප සියලු දෙනා කටයුතු කළ යුතුයි.

ඒ වගේම මේ ස්ථානය තනි නොකර ඉදිකිරීමෙන් පසුව එය වන්දනා මාන කිරීමට එන්න කියලා මම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන්ම ඉල්ලා සිටිනවා. ‘‘

කුරින්දි විහාරයට පසුගිය 14 වැනිදා ලැබුණු අධිකරණ තීන්දුවට එරෙහිව කරුණු දැක්වීමෙන් පසු එම තීන්දුව වෙනස් විය. අපට අධිකරණ තීන්දු විවේචනය කිරීමට හැකියාවක් නැත. මේ නඩු තීන්දුවට අදාළ නොවුණත් පුරාවිද්‍යාව සම්බන්ධ කරුණුවලදී අධිකරණයක් කටයුතු කරනා ආකාරයක් තිබේ. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමය. පුරාවිද්‍යා ස්මාරක සම්බන්ධව විශේෂඥ කරුණු විමර්ශනය කිරීමය. පුරාවිද්‍යා පනතට අනුව කටයුතු කිරීමය. එහෙත් මේ තීන්දුවේදී ඒ සම්බන්ධව අවධානය යොමු වූවාද නැද්ද යන්න ගැන අපි කරුණු සාකච්ඡා නොකරමු.

ජූලි 14 වෙනිදා ලබා දුන් තීන්දුව ඒ මහේස්ත්‍රාත්වරයා විසින්ම බල රහිත කිරීම විශේෂිතය. ඒ පුරාවිද්‍යාවන්ට සම්බන්ධව එවන් අධිකරණ තීන්දු ඇත්නම් ඒ ඉතා අතළොස්සක් වන නිසාය.

කුරුන්දි විහාරය අප රැක ගත යුත්තේ ඇයි?

එය මෙරටින් මීට පෙර හමුව නැති පද්මාකාර හැඩයෙන් යුත් කබොක් ගලින් නිමකරන ලද කුරුඳු විහාරයීය දාගැබ අක්කර 75ක වන භූමියක ස්ථාපිතය.

ජනප්‍රවාදවලට අනුව බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය වූ නාගදීපයට වැඩම කළ අවස්ථාවේදී කුරුඳුමලේ විහාරය පිහිටි කඳු සහිත භූමියට වැඩම කොට ඇත. ඛල්ලාටනාග රජු විසින් ක්‍රි.ව. 100 -103 අතර කාලයේදී කුරුන්දවාශෝක විහාරය තනා ඇති බවට පුරාවිද්‍යා සාක්ෂ්‍ය තිබෙන බව පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

කුරුන්දාවශෝක විහාරය කුරුන්දපාසක විහාරය නමින්ද මහා වංශයේ මෙය සඳහන් වන බවත් පසුකලෙක පළවන අග්බෝ රජු හා පළවෙනි විජයබාහු රජු එහි සංවර්ධන කටයුතු සිදු කර ඇති බවත් උන් වහන්සේ පවසති.

අඩි 68ක් දිගකින් හා අඩි 64ක් පළනින් යුක්ත ප්‍රාකාරයකින් වට වූ ස්තූපයේ උස අඩි 45කි. එහි විෂ්කම්භය අඩි 42කි. මේ සිද්ධස්ථානයට පිළිම ගෙයක්, උපෝසථාගාරයක්, සඳකඩපහණ ආදිය ඇතුළත් වන අතර ජල අවශ්‍යතා සපුරා ගැනීම පිණිස පහළින් පිහිටි වැවට අමතරව කඳු මුඳුනේ විශාල පොකුණක්ද ඉදි කර තිබේ.

සිවුවන උදය රජතුමා විසින් මේ සම්බන්ධව සොයා බැලූ බවට පැරැණි සාධක තිබෙන අතර ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ක්‍රිස්තු වර්ෂ 10 හෝ 11 පමණ දක්වා සංවර්ධනය වෙමින් පැවති ආගමික ස්ථානයක් ලෙස කුරින්දි විහාරය හඳුන්වා දිය හැකිය.

මේධානන්ද හිමියන්ගේ මතයට අනුව අටුවා ලියන සමයේ කුරින්දි අටුවාව ලියූ ස්ථානය කුරින්දි විහාරය ලෙසින් හඳුන්වා ඇත. මෙහි රහතන් වහන්සේ මෙන්ම ත්‍රිපිටකධර ස්වාමීන් වහන්සේ වැට සිටි ස්ථානයක් බවට බොහෝ සාධක ඇති බවද උන් වහන්සේ පවසති.

මෙවන් සාධක රැසකින් යුත් කුරුන්දි විහාරය ඉතා සුළු පිරිසකගේ උසි ගැන්වීම මත අකර්මණ‍ය වීමට සැලැස්වීම කිස්සෙත්ම සුදුසු නොවේ. ඉදිරියේදී පුරාවිද්‍යා පනතට අනුව එම භූමියේ සංරක්ෂණ කටයුතු වලට බාධා කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළ යුතුම කාර්යයකි. එසේ නොවුණහොත් ඉදිරියේදී මේ ජාතිවාදී දේශපාලකයන් විසින් තම තමන්ට අවශ්‍ය පරිදි ඉතිහාසය ද වෙනස් කරමින් ජනතාව අතර වෛරය පැතිරවීමට කටයුතු කරනු ඇත. එය නැවත ජනතා අසමඟියක් ඇති කරවන්නක් විය හැකිය.

 

 

Comments