
අපේ රටේ ජනාධිපතිවරයාට වෙන්වී ඇති නිල නිවාසය ජනාධිපති මන්දිරයයි. අගමැතිවරයාට වෙන්වී ඇත්තේ වන්නේ අරලියගහ මන්දිරයයි. මේ මන්දිර දෙක ජනාධිපතිවරු හෝ අගමැතිවරුන්ගේ පුද්ගලික බූදල නම් නොවේ. ඒවා රටේ සම්පත්ය. මේ තැන් වගේම ජනාධිපති කාර්යාලයත් අග්‍රාමාත්‍ය කාර්යාලයත් නඩත්තු කරන්නේ රට වැසියාගේ බදු මුදලිනි. ඒ තැන් ඇත්තේ ඒ අයට රාජකාරි කරන්නටය.
මේ තැන් හතරම අපේ රටේ ඇති පෞරාණික හා ඓතිහාසික උරුමයන්ය. මේ තැන්වලට ජුලි 09 වෙනිදා අරගලකරුවන් සමඟ ජනතාව රිංගුවේ ඒවා අල්ලාගෙන රටේ පාලනය ඔවුන් අතට ගන්නට නොව. දැඩි ආර්ථික ගැටලු හමුවේ පීඩාවට පත්ව සිටීම හේතුවෙන් පාලකයන්ට ඒ ගැන සිය විරෝධය දැක්වීමටය.
මෙම ස්ථාන හතරෙන් ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත්කර ගන්නේ ජුලි 09 වෙනිදාය. අග්‍රාමාත්‍ය කාර්යාලයට අරගලකරුවන් රිංගන්නේ ඊට දින හතරකට පසුවය.
මේ අතරින් අරගලකරුවන් ජනතාව පෙරටු කරගෙන මුලින්ම අත්පත්කර ගන්නේ ජනාධිපති මන්දිරයයි. ජනාධිපති ලේකම් කාර්යාලයට රිංගන්නේ ඒත් එක්කමය. අරලියගහ මන්දිරය අරගලකරුවන්ගේ ග්‍රහණයට ගන්නේ මේ දෙකම අල්ලාගත් පසුවය.
අරගලකරුවන්ට අනුව මේ තැන් ඔවුන් අල්ලාගත්තේ සංකේතාත්මකය. හැබැයි සංඛේතාත්මකව මේ තැන් ඔවුන් අල්ලාගත්තද එහි ඇති වටිනා කියන දෑ ආරක්ෂාකර ගන්න නම් අරගලයට නායකත්වය දුන් පිරිස් වෙත එතරම් පහසු වූයේ නැත. කොළඹට ඇදී ආ ලක්ෂ ගානක් ජනතාව අතර සිටි කුඩු කාරයෝ, හොරු මංකොල්ලකරුවන්ට නම් මේ ලද අවස්ථාව ලොතරැයි දිනුමක් ලැබූවා හා සමාන විය. මේ තැන්වලට රිංගූ අය අතට හසුවන සාක්කුවේ හෝ ගමන් මල්ලෙහි දමාගෙන යා හැකි සෑම දෙයක්ම පාහේ රැගෙන ගියේය. ඒ අල්මාරි සහ වීදුරු කැබිනට්ටු පවා බිඳ දමාය. ජනාධිපතිවරයා රැඳී සිටි කාමරයේ තිබී හමුවූ දෙකෝටියකට ආසන්න මුදල් ටිකත් අරගලයේ නායකයින් කිහිප දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයෙක් නොදකින්නට කට්ටිය වැඩේ දීලාය. අවසානයේදී සිදුවන්නේ එම මුදල් ටික ගණනන් කර පොලීසියට බාරදුන් සිවුදෙනා ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් කඩා වැදීමේ චෝදනාවට ඉකුත් 27 වෙනිදා අත්අඩංගුවට පත්වීමය.
අරගලකරුවන් කඩාවැදී අත්පත් කරගත් ස්ථාන හතරෙන් වැඩිම හානිය සිදුව ඇත්තේ පුරා විද්‍යාත්මක ස්මාරකයක් ලෙස නම්කර ඇති ජනාධිපති මන්දිරයටය. ඉංග්‍රීසීන් මෙරට පාලනය කරන කාලයේ ආණ්ඩුකාරවරු රැසකගේම නිවහන වූයේ මෙතැනය. මෙම නිවසේ සෑම බිම් අගලකම ඇත්තේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකි. ඒ බව නොදත් අරගලයට මුවාවී මෙහි රිංගූ සුද්දෝදනලා මිල කළ නොහැකි ඓතිහාසික වටිනාකම් ඇති බොහෝ දේපොළ සොරා ගත්තේය. ඒ අතර ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ පාලන කාලයේ සිට මෙරට භාවිත කළ රාජ්‍ය නායක ධජ ද ගොන්නකි. ඇතැම් ධජ තිබුණේ ජනාධිපති මන්දිරයේ පමණි. ඒ ධජ වල වටිනාකම් නොදත් ඇතැම් පිරිස් ඒවා සොරාගෙන ගොස් තිබුණේ කුමන අරමුණක් වෙනුවෙන්දැයි අපැහැදිලිය. අරලකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වදින විට රටේ රාජ්‍ය නායකවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අයත් ජනපති ධජ නම් රාශියක් ජනාධිපති මන්දිරයේ තිබුණේය. එම ධජ ඇතැම් පුද්ගලයන් ඇද ඇතිරිලි ලෙස දමා ඒ තුළ වැතිරී සමාජ මාධ්‍ය වලට වීඩියෝ දර්ශන පවා නිකුත් කළේය. ඒ එම ධජය පුළුස්සා දමන බවද කියමිනි. එපමණක් නොව, එක් පුද්ගලයෙක් ජනාධිපති ධජය ඉනවටා ඔතාගෙන ජනපති මන්දිරයෙන් පිටව යව අයුරුද එදා දක්නට ලැබුණේය. යතුරු පැදි හිස් ආවරණයක් පැලැඳි ඔහු මේ වනවිටත් පොලීසීය විසින් හඳුනාගෙන හමාරය. එසේම ජනපති ධජය ඇද ඇතිරිල්ල කරගත් පුද්ගලයාව අත්අඩංගුවටද ගත්තේය. ඔහු වරාය ආරක්ෂක අංශයේ සේවකයෙකි. දේශපාලන පක්ෂයකට සම්බන්ධ වරාය වෘත්තීය සමිතයක හිටපු නායකයෙකි. මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නේ නීතීඥවරයෙක් මගින් වේල්ලවීදිය පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුවය.
ජනාධිපති මන්දිරය අත්පත්කර ගැනීමෙන් පසු, දින කිහිපයක්ම අරගලයට සම්බන්ධ වූවෝ මෙන්ම රට වටෙන්ම ඇදී ආ දහස් ගණනක් ජනතාව ජනාධිපති මන්දිරයේ නිතරම ගැවසුණේය. ඇතැම් පිරිස් රැය පහන් කළේ ජනාධිපති මන්දිරය තුළය. ඇතැමුන් ජනාධිපති මන්දිරයේ කබඩ් තුළ තිබුණු ඇඳුම් පැළඳුම් ද ඒ කාලය තුළ භාවිතා කර තිබුණේය. එපමණක් නොව, ඇතැමුන් සරම් ලෙස භාවිතා කර තිබුණේ යැයි කියන්නේ අර ඓතිහාසික ධජය. ඒවාට දැන් සිදු වූ දෙයක් සොයා ගන්නට නැත. ජනාධිපති මන්දිරයේ මුළුතැන්ගෙය තමන්ගේ නිවසේ මුළුතැන් ගෙය බවට ඇතැම් අය පත්කර ගත්තේය. ඒ අතර මුළුතැන් ගෙයි බඩු භාණ්ඩද අතපත ගා ගෙන ගිය අයද නැතුවාම නොවේ. එසේ මුළුතැන්ගෙයි තිබුණු පිහි කිහිපයක් සොරාගත් කුඩ්ඩෙක්වද ඉකුත් සතියේදී පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ලියාපදිංචි අපරාධකරුවෙක් වූ ඔහු ජීවත්වූයේ කොළඹය. හරිහැටි ඉන්න හිටින්න තැනක් නොමැතිව කුළී නිවාස වල ජීවත්වන ඔහු සිය බිරිය සමඟ පසුගිය මාස දෙකක පමණ කාලයක්ම රැඳ සිට ඇත්තේ අරගල භූමියේ කූඩාරමකය.
ජනාධිපති මන්දිරයේ සිදුවූ මෙවැනි සුළු සොරකම් බොහෝය. තවමත් ඒවා නිෂ්චිත ලෙස ගණනය කර නැති තරම්ය. ඒ ඇතැම් ගණනය කිරීම් සහ තක්සේරු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේද සහය අවශ්‍යව ඇති බැවිණි. මේ දිනවල පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලහි ලහියේ එම තක්සේරුවේ නිරතව සිටින්නේ හානිය ගණනය කරමිනි.
ජනාධිපති මන්දිරය ඇතුළේ තිබුණු වෛද්‍ය මධ්‍යස්ථානයද ජනාධිපති මැදුරට රිංගූ පිරිස් කඩා බිඳ එහි තිබුණු වෛද්‍ය උපකරණ සහ ඹෟෂධ කොල්ලකා තිබුණේය. එහි වූ උපකරණ සහ ඖෂධවල වටිනාකම ලක්ෂ 10 කට අධිකය. ඒ ගැනත් විමර්ශන මේ වන විට සිදුවන්නේ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කරමිනි.
ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වීමෙන් පසු සිදුවූ හානි සම්බන්ධයෙන් අපරාධමය විමර්ශන සිදුවන්නේ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගිනි. එම නිලධාරීන් විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ ජනාධිපති මන්දිරයට සිදුව ඇති විශාලතම හානිය වී ඇත්තේ තරප්පු පෙළට බවය. එය මේ වන විට ඇත්තේ කඩා වැටීමේ අවධානමකට ලක්වය. තරප්පු පෙළ නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් වැය වෙතැයි අපේක්ෂාකර ඇති මුදල රුපියල් කෝටි 10කට වැඩිය. ඒ යැයි කියා සල්ලි තිබුණු පළියට එම තරප්පු පෙළ අලුත්වැඩියා කරන්නට බැරිය. ජනාධිපති මැදුර පුරා විද්‍යා ස්මාරකයක් බැවින් පුරා විද්‍යාවේ අධික්ෂණයෙන් නැවත එම තරප්පු පෙල ප්‍රති නිර්මාණය කිරීමට සිදුව තිබෙන බැවිණි.
ජනාධිපති මැදුරට සිදුව ඇති හානිය දෙස බැලීමේදී බොහෝ දේවල් දැන් කරන්නට සිදුව ඇත්තේ ප්‍රති නිර්මාණය කිරීම්ය. ඒ බව කියන්නේ අප නොව. ජනාධිපති මැදුරට යමින් එමින් එහි සිදුව ඇති හානි ගැන විමර්ශන පවත්වන විවිධ කණ්ඩායම් ය.
එම කණ්ඩායම් පවසන ආකාරයට අනුව ජනාධිපති මන්දිරයේ බිත්තිවල එල්ලා ඇති ඓතිහාසික සිතුවම් රැසකට හානි සිදුව ඇත්තේ අරගලකරුවන් සමඟ කඩා වැදුණු විවිධ පුද්ගලයින් විසින් ඒවායේ වටිනාකම් ගැන නිසි අවබෝධයකින් තොරව කර ඇති කුරුටු ගෑම් නිසාය. ඇතැමුන් එහි අත්සන් තබා ඇත්තේ හරියට සීගිරියේ කුරුටු ගී වල සටහන් තබා කර ඇති විනාශයේ තරමට නොදැවෙනි ලෙසටය. කෙසේ වෙතත් එම සිතුවම් අතර ඇති දැවැන්තම සහ ඓතිහාසිකම සිතුවමක් රැකී ඇත්තේ ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට සිටි නිලධාරීන් කිහිප දෙනෙකු නිසාය. ජනාධිපති මන්දිරයේ ඇති තෙල් නැව් කිහිපයක් ගැනීමට හැකි කරම් වටිනාකමක් ඇති සිතුවමක් ගැන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍යට කීවේ එම සිතුවම ගැනය.
ජනාධිපති මන්දිරයේ දේපොළ කොල්ලකෑවේ ඊට රිංගූ කුඩු කාරයෝ හොරු මංකොල්ලකාරයේ පමණක් නොව සමාජයේ වැදගත් යැයි කියන රැකියාවල නිරතව සිටින පිරිස්ද සිහි වටන ලෙස අතට අසුවන දෑ රැගෙන ගොස් ඇත. ඒ බව පෙනී යන්නේ දැන් එම සොරකම් ගැන සොයන්නට කෙරෙන පොලිස් විමර්ශන වලිනි. එක් පුද්ගලයෙක් ජනාධිපති මන්දිරයේ තිබුණු විදුලි ස්ත්‍රික්කය පවා සොරාගෙන ගියේය. කොළඹ 13 පදිංචිකරුවෙක් වන ඒ පුද්ගලයාව පොලීසිය ස්ත්‍රික්කය ද සමඟ පොලීසිය අල්ලාගත්තේ ඉකුත් සතියේදීය. ජනාධිපති මන්දිරයේ ජනේල් තිර රෙදි රැඳවීමට යොදාගෙන තිබුණු පිත්තල බෝල ද කුඩු කාරයෝ සොරාගෙන ගොස් තිබුණේය. එම පිත්ත බෝල පෞරාණික පෙනුමැතිය. ඒ නිසාම ඒවා සොරාගත් රාජගිරිය ඕබේසේකරපුර පැත්තේ පදිංචිව සිටි කුඩු කාරයන් තිදෙනෙක් පෞරාණික භාණ්ඩ මිලදී ගන්නන් දෙතුන් දෙනෙක් හමුවට ගොස් තිබුණේ කීයකට හරි විකුණා දමන්නටය. ඔවුන් අත පිත්තල බෝල 40ක් තිබුණේය. හැබැයි ඒවාට පෞරාණික පෙනුමක් තිබුණාට පෞරාණික වටිනාකමක් නොවීය. ඒ නිසා ඔවුන්ගේ උත්සාහය අපතේ ගියේය. ඒ නිසාම ඔවුන් ඒවා තලා පරණ යකඩ බඩු වෙෙළන්දෙක් ළඟට රැගෙන යන්නේ පිත්තල බරට විකුණන්නටය. එහිදී ඔවුන් තිදෙනා වැලිකඩ පොලීසියට හසුවන්නේ ජනපති මැදුරෙන් භාණ්ඩ සොරා ගැනීමකට හසුවන පළමු සැකකරුවන් කණ්ඩායම ලෙසිණි.
පෙනී යන්නේ මේ අය අරගල භුමියේ ද නිතර ගැවසුණු උදවිය බවය. ඔවුන් සැබෑ අරගලකරුවන්ද නැතිනම් සුද්දෝදනලාදැයි දන්නේ ඔවුන් සහ ඔවුන් ගැන විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරීන් පමණි. ජනාධිපති මන්දිරය අත්පත්කර ගන්නා දින ඔවුන්ද ඒ කණ්ඩායමේ සිට ඇති බවද කියති. එදා ඔවුන් රැය ගතකර ඇත්තේද ජනාධිපති මන්දිරයේය. ජනාධිපති මන්දිරයේ තිර රෙදි එල්ලා ඇති පොලුවල සවිකර ඇති පිත්තල බෝල වලට ඔවුන්ගේ හිත යන්නේ එහි ගැවසෙන විටදීය. ඒවා ඔවුන් සොරා ගන්නේ 10 වෙනිදා අලුයම් කාලයේදීය. ඒ වන විට අරගලකරුවන් ඇතුළු ජනාධිපති මන්දිරයේ රැදී සිටි පිරිස් තැන තැන වැටී සිට ඇත්තේ දිගු නින්දකට වැටීය. ආරක්ෂක අංශ නිලධාරීන්ද ඒ පැත්ත පළාතේ දකින්නට නොවූ බැවින් ඔවුන් ඒ පිත්තල බෝල ටික ගලවාගෙන උදෑසනින්ම එතැනින් පිටවන්නේ කිසිවෙකුගේත් සැකයකට ලක් නොවීය.
ජනාධිපති මන්දිරයෙන් මේ වන විට අතුරුදන්ව ඇති භාණ්ඩ අතර බ්‍රිතාන්‍යයන් විසින් මෙරට පාලනය කරන සමයේ සිට රාජ්‍ය නායකයන්ට ත්‍යාග ලෙස ලද විවිධ සිහිවටන බොහෝය. මූල්‍යමය අගයක් නොමැති එහෙත් සිහිවටන වටිනාකම් ඇති භාණ්ඩද ඒ අතර විය. මෙරට සංචාරයේ නිරත රාජ්‍ය නායකයින්ගෙන් මෙන්ම විදේශ සංචාරයන්හීදී රාජ්‍ය නායකයින්ට ලද සිහිවටනද ඒ අතර ඇත්තේය. මෙවැනි සිහිවටන නැවත රැස් කරන්නට නොහැකිය. ඒවා නැවත සොයා ගත යුතුව ඇත. පොලීසිය වෙහෙසෙන්නේ ඒවා සොයා ගැනීමටය.
ජනාධිපති මන්දිරයේ ඇති සෑම භාණ්ඩයක්ම පාහේ රජයේ දේපොළ වන බැවින් ඒ සියල්ලක්ම ඇත්තේ ලේඛනගතවය. ඒ සෑම භාණ්ඩයක්ම ඇත්තේද වර්ගීකරණය කරමිණි. ඒ එක් භාණ්ඩ වර්ග ලේඛනගත කරමින් පවත්වාගෙන යන භාරකරුවෙක්ද සිටින බව සඳහන්ය. ඒ අය ජනාධිපති මන්දිරයේ ඇති සෑම භාණ්ඩයක්ම ලේඛනගතකර ඇත්තේ එම භාණ්ඩයේ ඡායාරූපයක්ද සමඟිනි. ඒ නිසාම ජනාධිපති මන්දිරයෙන් මේ වන විට අතුරුදන්ව ඇති භාණ්ඩ මොනවාදැයි පැහැදිලිවම හඳුනා ගැනීමට පොලීසියට හැකිය. පොලිස් විමර්ශන මේ වන විට සිදුවන්නේ එම ලේඛන භාරකරුවන්ගේ සහයද ඇතිවය.
ඊට අමතරව ජනාධිපති මන්දිරයේ වාහන අංගණයේ තිබුණු වාහන රැසකටද හානි සිදුව තිබුණි. ඒ තළා පොඩිකර ගිනි තබා නොව. එම වාහනවල ඇති වටිනා කියන කොටස් ගලවා ගෙනය. හැබැයි ඒ ලොකු කෑලි නොව අතේ ගෙන යා හැකි කුඩා කොටස්ය.
ජනාධිපති මන්දිරය අරගලකරුවන් භාරයේ තිබුණු දින කිහිපය තුළ ජනාධිපති මන්දිරයේ පුටු මේස, ඇදන් ඇතුළු ලීබඩු ද, වැසිකිළි ටිකද විනාශ වී තිබුණේය. නාන කාමරවල කොටස් කැඩී බිදී ගොස් තිබුණේ ඒවා පරිහරණය කිරීමට නොදන්නා කම නිසා වන්නට ඇත. පොලීසිය නම් පවසන්නේ තවමත් ඒ හානි ගැන පරීක්ෂාකරමින් සටහන් තබමින් සිටින බවය.
හැබැයි අරලියගහ මන්දිරයට නම් ජනාධිපති මන්දිරයට සිදුවී ඇති හානියේ තරම් විශාල හානියක් සිදුවී ඇති බවක් නම් වාර්තා වන්නේ නැත. ඒ ඇතැම් විට ජනාධිපති මන්දිරයට තරම් විශාල පිරිසක් අරලියගහ මන්දිරයට කඩා වැදුනේ නැති නිසා වන්නට හැකිය. අරලියගහ මන්දිරයට කඩාවැදුණු පිරිස අතර වැඩි දෙනෙක් සිටියේ ඒ අවට වතුවල තරුණ තරුණියන්ය. ඒ අරගලයේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට අමතරවය.
අරලියගහ මන්දිරයට සිදුවූ හානි ගැන විමර්ශන පවත්වන්නේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසිනි. ඊට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයේද සහය විටෙන් විට මේ සඳහා ලැබෙන බව සඳහන්ය. අරලියගහ මන්දිරයට හානි වීම් ගැන මුලින්ම පැමිණිල්ල කොල්ලුපිටිය පොලීසියට ලැබී ඇත්තේ ඉකුත් 11 වෙනිදාය. ඒ කාර්යාල දේපොළ වලට හානි කිරීම් සම්බන්ධයෙනි. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ කැමරා උපකරණ රැසක් සොරා ගැනීමක්ද ඒ අතර විය. ඇතැම් උපකරණ පොලොවේ ගසා විනාශකර ද තිබුණේය. අනතුරුව අරලියගහ මන්දිරයේ සේවයේ නිතර රාජ්‍ය නිලධාරීගෙන් පැමිණිලි රැසක්ම එහි සිදුව ඇති හානි සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියට ලැබී තිබුණේය. ඒ අතර අරලියගහ මන්දිරයේ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරා ගැනීමක්ද විය. එම රූපවාහිනී යන්ත්‍ර දෙක පැහැරගත් සොරා ඉකුත් සතියේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේය. ඒ සොරාගත් රූපවාහිනී යන්ත්‍ර දෙකද සමඟිනි. එම සොරා කොළඹ 13නේ පදිංචිකරුවෙකි.
අරලියගහ මන්දිරයෙන් සොරාගත් භාණ්ඩ අතර උද්‍යාන අලංකරණ අංශයේ තිබුණු උපකරණ රැසකි. නියන් 05ක් අත්පොරොවක්, සෙකට්‍රියර් 06ක්, වැට කපන කතුරු 04ක්, ප්ලාස්ටික් මිල් බාද්දි 02ක්, බූට්ස් ජොඩ් 02ක්, මුකුණුවැන්න කපන කතුරු 02ක්, කප්පාදු කියත් 02ක්, වතුර විදින මල් 09ක්,උදළු තල 02ක් ඒ අතර විය. මෙම භාණ්ඩ සොරා ගත්තේ කවුරුන්දැයි පැහැදිලි නැතත් අරගලකරුවන් කඩාවැදීමෙන් පසු අරලියගහ මන්දිරයේ සිදුවූ සොරකමකට මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ මගලේගොඩ පදිංචි තරුණයෙකි. ඒ ජනාධිපති මන්දිරය ඇතුළත ගිනි නිවීමේ සිලින්ඩර් දෙකක් සොරාගැනීමක් සම්බන්ධයෙනි. එම සිලින්ඩර් දෙක රැගෙන යන විට ඔහුව අත්අඩංගුවට ගන්නේද ජුලි 09 වෙනිදා රාත්‍රියේදීමය.
ජනාධිපති මන්දිරයේ මෙන්ම අරලියගහ මන්දිරයේද ඇති වැසිකිළි සහ නානකාමර වලට සිදුව ඇති හානිය බොහෝය. එසේම ඇතුළත තිබුණු භාණ්ඩ රැසක්ද අතුරුදන්ව ඇත. ඒවා සම්බන්දයෙන් ගණනය කිරීම් තවමත් ඇත්තේ සිදුවෙමිනි. අරලියගහ මන්දිරයද පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථානයකි එ බැවින් පුරා විද්‍යාත්මක හානි තක්සේරුවක්ද සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි. අරලියගහ මන්දිරයට කඩා වැදී හානි කළ අය අල්ලන්නට මෙහෙයුම් දියත් කිරීමට පොලීසිය සූදානමින් සිටින්නේ එම හානි තක්සේරුවෙන් අනතුරුවය. එම විමර්ශන කටයුතු භාරව ඇත්තේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයටය.
ජනාධිපති ලේකම්කාර්යාලයද වැඩි කාලයක් අරගලකරුවන් ග්‍රහණයේ පැවති ස්ථානයකි. අරගලකරුවන්ගේ ග්‍රහණයේ පැවති ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය අරගලකරුවන් විසින් ආරක්ෂක අංශ වෙත භාරදී ඉවත් වූවත් ජනාධිපති ලේකම් කාර්යාලය එසේ භාරදෙන තුරු ආරක්ෂක අංශ බලා සිටියේ නැත. එය ආරක්ෂක අංශ විසින් දියත් කළ මෙහෙයුමකින් අල්ලාගත්තේ අරගලකරුවන් එම ස්ථානයෙන් පළවා හරිමිනි. හැබැයි අරගලකරුවන් අත්පත්කරගෙන සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කුඩා සම්මන්ත්‍රණ ශාලාව පිහිටි ගාලු මුවදොර පැත්තට මුහුණ ලා ඇති කොටස පමණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යාල පරීශ්‍රයට ඇතුළුවීමට කිසිවෙකුටත් ආරක්ෂක අංශ වලින් ඉඩක් නොලැබුණු බැවින් ඒ පැත්තට කිසිදු හානියක් නොවීය. අල්ලාගත් කොටසේ පවා අරගලකරුවන් පවත්වාගෙන ගියේ පුස්තකාලය පමණි. සංඛේතාත්මකව ජනාධිපති ලේකම්කාර්යාලය ඔවුන් අත්පත්කරගෙන සිටියත් ඇතැම් පුද්ගලයින්ගේ නොහොබිනා ක්‍රියා හේතුවෙන් නාන කාමර වලට නම් සිදුවී තිබුණේ දැඩි හානි කිරීම්ය. දොරවල් කිහිපයකකටද හානි වී තිබුණේය. ජනාධිපති මන්දිරයට සිදුවී ඇති හානියේ තරම සැලකීමේදී ජනාධිපති ලේකම් කාර්යාලයට සිදුවී ඇති හානිය තැකීමට නොහැකි තරම්ය. එහෙත් පොලීසිය පවසන්නේ එම හානියට වගකිව යුතු පුද්ගලයන් 55 දෙනෙක් හඳුනාගෙන ඇති බවය. ඒ ආරක්ෂක කැමරා දත්ත පරීක්ෂාවකිනි.
ජනාධිපති මන්දිරයටද හානි කිරීම් සහ අනවසරයෙන් ඇතුළු වීම් සම්බන්ධයෙන් 100කට වැඩි පිරිසක් විමර්ශන කණ්ඩායම් හඳුනාගෙන සිටිති. ඒ ආරක්ෂක කැමරා දත්ත පරීක්ෂා කිරීම් සහ විමර්ශන තොරතුරු ඔස්සේය. අරලියගහ මන්දිරයට කඩා වැදුණු පිරිස්ද මේ ආකාරයටම හඳුනාගෙන සිටින්නේ ආරක්ෂක කැමරා දත්ත විමර්ශන ඔස්සේය. එම පිරිසද 30 කට වැඩිය.
අඩුම හානියක් සිදුව ඇත්තේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයටය. එහි ඇතුළත හානියක් වී නැති තරම්ය. හානි වී ඇත්තේ ඉදිරිපස දැල් ආවරණ සහ ගේට්ටුවටය. ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධික්ෂණයෙනි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පෞරාණික දේපොළවලට හානියක් සිදු නොවන්නේ අරගලකරුවන් කඩා වදින විට එහි ආරක්ෂාවට සිටි නිලධාරීන් උපක්‍රමශීලීව අරගලකරුවන්ව පාලනය කිරීමට සමත් වූ බැවිනි. අවසානයේදී පැය කිහිපයකින් පසු අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඉවත්වීම හේතුවෙන් පෞරාණික දේවල්වලය හානියක් නොවීය. ඒ යැයි කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකම්ම ඉන්නේ නැත. බලහත්කාරයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයට කඩා වැදුණු පිරිස් ගැන සොයා බලමින් සිටින්නේ ඔවුන් අපරාධමය වරදක් සිදුවී ඇතැයිදැයි කියාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව ආරක්ෂක කැමරා දත්ත මගින් දැනට හඳුනාගෙන සිටින්නේ දහයක් පහළොවක් වැනි සුළු ප්‍රමාණයක් පමණි. ඒ බලහත්කාරයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළුවීමට නායකත්වය දුන් අය පමණි.
කුමන විමර්ශන කණ්ඩායමක් මේ සිව් තැනේ හානි සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූවත් ඒ සෑම ස්ථානයක්ම අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ගේත් ඇගිලි සලකුණු විශේෂඥයන්ගේත් පරික්ෂාවට ලක්ව ඇත. අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් හානි සිදුවූ ඇති සෑම ස්ථානයක්ම පරීක්ෂාවට ලක්කර ඒ තැන් ඡායාරූපයට නගා ගොනු සකස්කරන විට ඇගිලි සලකුණු විශේෂඥයන් ඇගිලි සටහන් පරීක්ෂාකර ලබාගෙන ලේඛනගතකර ඇත්තේ මේ තැන්වල ගැවසී දේපොළවලට හානිකළ පුද්ගලයන් හඳුනා ගන්නටය. එසේ ඒ තැන්වලින් රැස්කරගෙන ඇති ඇඟිලි සලකුණු ගණන 1000කට වැඩිය. පොලීසිය පවසන්නේ ඒ ස්ථානවලින් සොයාගත් ඇගිලි සලකුණු අපරාධ ලේඛනාගාරයේ ඇති ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලේඛන සමඟ මේ වනන විට සසඳමින් ඇති බවය. ඒ මේ තැන්වලට රිංගූ අය අතර සිටින අපරාධකරුවන් හඳුනා ගන්නටය.