ගමේ මිනි­ස්සුත් එක්ක එකතු වෙලා හදපු ගේ තමයි ගිනි තියලා විනාශ කළේ | Page 2 | සිළුමිණ

ගමේ මිනි­ස්සුත් එක්ක එකතු වෙලා හදපු ගේ තමයි ගිනි තියලා විනාශ කළේ

 

දේශ­පා­ලන වශ­යෙන් ගම්පහ අඩ­පණ කරන්න මා සමඟ සම්බන්ධ ශක්ති­මත් දේශ­පා­ලන නාය­ක­ත්වය අඩ­පණ කිරීමේ අර­මු­ණින් තමයි මේ දේ කළේ. ඔවුන්ට අවශ්‍ය වුණේ ගම්ප­හින් මගේ දේශ­පා­ලන ගමන  විනාශ කර­න්නයි

ඒ ගිනි තියපු ගෙදර අපේ සීයාගේ පර­ම්ප­රාවේ  පැර­ණිම ගේ, මහ­ගෙ­දර විදි­හට තිබුණු ගෙද­රයි. 1977 ගිනි තිබ්බේ ඔය ගෙට අල්ලපු ගෙද­ර­ටයි

විනාශ වුණු දේප­ළ­වල මූල්‍ය­මය වටි­නා­ක­මට වඩා මට වටින්නේ ඒක මගේ තාත්ත­ගෙන් ලැබුණු දෙයක් නිසයි

කුත් මැයි 9 වැනිදා මෙරට දේශපාලනයට එක්වූ අඳුරු දිනයක් ලෙස ඉතිහාසගත වන්නේ සාමකාමී අරගලයට මුවා වී රට පුරා ප්‍රචණ්ඩත්වයත් භීෂණයත් පැතිරවූ කිසියම් පිරිසක් විසින් පෞද්ගලික සහ පොදු දේපළ රැසක් විනාශයට පත් කරමින් සිදු කළ විනාශය නිසාය. එසේ ගිනිබත් කළ දේපළ අතර වත්මන් රජයේ නාගරික සංවර්ධන හා නිවාස ඇමති සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ගේ ගම්පහ, උඩුගම්පල පිහිටි පෞද්ගලික නිවෙස සහ කාර්යාලය ද විය.

දිගු දේශපාලන ඉතිහාසයක් හිමි පවුලකින් පැවත එන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙවැනිම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්නේ දස හැවිරිදි කුඩා දරුවකු ලෙස සිටියදීය. ඔහුගේ පියා රෙජී රණතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පුමුඛපෙළේ දේශපාලනඥයෙකි. 1962 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණු ඔහු 1986 දී මිනුවන්ගොඩ ශ්‍රීලනිප සංවිධායක ලෙස පත් විය. 1989 පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. රෙජී රණතුංග ධම්මික, අර්ජුන, නිශාන්ත, ප්‍රසන්න, සංජීව සහ රුවන් යන පුතුන් හයදෙනාගේ පියා වන අතර, බිරිය කලක් ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරියක ලෙස කටයුතු කළ නන්දනී රණතුංග ය. රණතුංග පවුලේ දරුවන්ගෙන් අර්ජුන රණතුංග සහ සංජීව රණතුංග ක්‍රිකට් ක්‍රීඩකයන් වන අතර, ඒ අතරින් අර්ජුන රණතුංග ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකි. 1996දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ලෝක ක්‍රිකට් කුසලානය මෙරටට දිනාගැනීමට හැකිවූයේ අර්ජුන රණතුංගගේ විශිෂ්ට නායකත්වය යටතේය. පසුකලෙක අර්ජුන රණතුංග ද දේශපාලනයට එක්වූ අතර අර්ජුන සහ ප්‍රසන්න යන අයිය මලෝ දෙදෙනාගේ දේශපාලන මතය එකිනෙකට පරස්පර වුවද ඔවුන් දෙදෙනාම දේශපාලන ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිත බවට පත්වීමට තරම් වාසනාවන්ත වූහ. එහෙත් සිය පියා, රෙජී රණතුංගගේ අඩිපාරේ යමින් දේශපාලන ගමනේ දිගු ගමනක් යෑමට ප්‍රසන්න රණතුංග ට වැඩි වාසනාවක් සහ අවස්ථාවක් හිමිව ඇත.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි ප්‍රසන්න රණතුංග 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද 384,448 ක් ලබාගනිමින් වාර්තාගත ජයග්‍රහණයක් හිමිකරගත්තේය. 1993දී බස්නාහිර පළාත් සභාවට පත්වූ ඔහු, වසර 20කට ආසන්න කාලයක් බස්නාහිර පළාත් සභාවේ කටයුතු කළ අතර, බස්නාහිර පළාත් මහඇමතිවරයා ලෙස බස්නාහිර පළාතේ උපාධිධාරීන්ට රැකියා ලබාදීම, දහම් පාසල් සඳහා ආධාර ලබාදීම, ඇස් කණ්ණාඩි බෙදා දීම, නිවාස ආධාර ලබා දීම, පාසල් සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු නව වැඩසටහන් රැසක් හඳුන්වාදෙමින් ‘සුදු අලියෙක්’ ලෙස එකල හැඳින්වූ බස්නාහිර පළාත් සභාව, ජනතාව වෙනුවෙන් වැඩ කරන පළාත් සභාවක් බවට පත්කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේය.

ඉකුත් මැයි 9 වැනිදා ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබුවේ ඔහුගේ පෞද්ගලික ජීවිතයටත් වඩා දේශපාලන ජීවිතයට ඉතා වැදගත් වූ නිවෙස සහ කාර්යාලයයි.

“ඒ ගිනි තියපු ගෙදර අපේ සීයාගේ පරම්පරාවේ පැරණිම ගේ, මහගෙදර විදිහට තිබුණු ගෙදරයි. 1977 ගිනි තිබ්බේ ඔය ගෙට අල්ලපු ගෙදරටයි. ඒක මගේ තාත්තගේ ගෙදර. මේක මගේ තාත්තලාගේ මහගෙදර. මේ ගෙදර ඉස්සරහ කොටසක් තාත්තා ඉන්න කාලේ තැපැල් කාර්යාලයක් කරගෙන යන්න කුලියට දීලා තිබුණා. මම විවාහ වෙන කාලේ තැපැල් කාර්යාලය වෙන තැනකට ගෙනියලා ගෙදර වහලා දාලා තිබුණේ. විවාහයෙන් පස්සේ තාත්තා ඒ නිවෙස මට දුන්නා. ඒ වෙද්දි එහි හොඳ තත්ත්වයෙන් තිබුණේ අර ඉස්සරහ තිබුණු කොටස විතරයි. අනිත් සේරම බිත්ති බොල්වෙලා තිබුණේ. ඒ නිසා ඒ කොටස් ඉවත් කරලා ඉස්සරහ කොටසේ තමයි මමයි බිරිදයි දරුවෝ තුන්දෙනයි ජීවත් වුණේ. ඔහොම ඉන්නකොට දේශපාලන වැඩ නිසා නිතර පිරිස එන යන නිසාත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට පහසුවක් වෙන්නත් එක්ක බිරිය දරුවොත් එක්ක කොළඹ පදිංචියට ආවා. ඒ අතරේ බිරිය නිතර කියපු දෙයක් තමයි ගැහැනු දරුවොම තුන්දෙනකුත් ඉන්න නිසා ගමේ ආවම ඉන්න පුංචියට හරි ගේ හදමු කියලා. ඒ විදිහට තමයි එතැන ගේ හදන්න පටන් ගත්තේ. ඒත් ලොකුවට හැදුවේ නැහැ. ඉස්කෝලේ බිල්ඩිමක් වගේ එක දිගට පළල අඩි 50ක් වගේ කොටසක් අලුතින් හැදුවා. නමුත් අපි නිදාගත්තේ, කෑම කාමරේ විදිහට පාවිච්චි කළේ අර මුලින් තිබුණු ඉස්සරහ කොටසෙම තමයි. ඔහොම ටිකින් ටික සල්ලි තියෙන විදිහට ස්ලැබ් එක දාලා ගේ හැදුවා. ඒකේ ආකිටෙක් වුණෙත් මමම තමයි.

මටත් වඩා ඔය ගේ හදන්න මහන්සි වුණේ ගමේ මිනිස්සු. ඊට පස්සේ එතැන කාර්යාලය හදද්දිත් ගමේ මිනිස්සු තමයි වැඩිපුරම ශ්‍රම දායකත්වය දුන්නේ. ඒක හැදුවේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න තැනක් ඕන නිසයි. ඒ එක්කම තට්ටු දෙකේ ඒ කාර්යාල ගොඩනැඟිල්ලට පිටිපස්සෙන් තව විවෘත ශාලාවක් හැදුවා. තාත්තා ඒ කාලේ ඒ ශාලාවේ රෙජී රණතුංග ශිෂ්‍යත්ව අරමුදල යටතේ දරුවන්ට නොමිලේ ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය පෙළ පන්ති පවත්වන වැඩසටහනක් කළා.

අදටත් සතියේ දවස්වලට ඒ ශාලාව පාවිච්චි වෙන්නේ පොදු වැඩවලටයි. ගුරුවරු ඇවිත් ආසනයේ ඉන්න දුර්වල පාසල් දරුවන් විභාගවලට සූදානම් කරන්න නොමිලේ පන්ති පවත්වනවා. ඉස්කෝලේ ඇරිලා ඇවිත් ළමයි එතන ඉගෙන ගන්නවා. උදේ වරුවට වෘත්තිය පුහුණු කටයුතු සිදුවෙන්නෙත් ඒ ගොඩනැඟිල්ලේ. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පමණයි මම ඒ ස්ථානය පාවිච්චි කරන්නේ. ඒ මහජන දිනය වෙනුවෙන් සහ රජයේ නිලධාරින් සඳහා රැස්වීම් පැවැත්වීමට. මහජන දිනය දවසට දහසක පමණ පිරිසක් එතැනට රැස්වෙනවා. ඔය විදිහට බලද්දි ගිනි තියලා විනාශ කරපු ගොඩනැඟිලියි ඉඩමයි සම්පූර්ණයෙන් කැපවෙලා තිබුණේ මහජනතාව වෙනුවෙන්. ”

ඇමති ප්‍රසන්න රණතුංග එසේ කීවේ ප්‍රචණ්ඩකාරීන් විසින් සිදු කළ විනාශය පිළිබඳ සිහි කරමිනි.

“ඒ විනාශ වුණු දේපළවල මූල්‍යමය වටිනාකමට වඩා මට වටින්නේ ඒක මගේ තාත්තගෙන් ලැබුණු දෙයක් නිසයි. ගේ ඉදිරිපස කොටස කඩන්නෙ නැතුව ඒ විදිහටම තිබුණෙත් ඒ නිසයි. ඒත් ගින්නෙන් ඒ සේරම විනාශ වුණා. මේක මගේ දරුවන්ගේ මහගෙදර. එයාලත් මේ ගෙදරට ගොඩක් ආදරේ කළා මොකද මේක එයාලට සීයාගෙන් ලැබුණු දෙයක් නිසා. අපි අලුත් අවුරුදු චාරිත්‍ර කරන්නෙත් ඒ ගෙදරයි. මේ අවුරුද්දෙත් අපි අලුත් අවුරුද්ද සැමරුවේ එතැන. මගේ දුවලා වගේම මිනිබිරිත් එයාගේ පළවැනි අලුත් අවුරුද්ද සැමරුවේ ඒ ගෙදර. මගේ තාත්තාට ගොඩක්ම සමීපවෙලා හිටියේ මගේ ලොකු දුව. එයාගේ විවාහ උත්සවය පවත්වන්න නියමිතව තිබුණේ පහුගිය මැයි 11 වැනිදා. ඒ ගෙදර ලොකු දුවට දෙන්නයි මම සූදානමින් හිටියේ. නමුත් මැයි 9 වැනිදා ඇතිවුණ සිද්ධියෙන් දුවගේ විවාහ උත්සවය කරගන්න ලැබුණෙත් නැහැ. එයාට දෙන්න තිබුණු සීයාගෙන් ලැබුණු ගේත් විනාශ වුණා. මේක මටත් මගේ දරුවන්ටත් පවුලේ හැමෝටමත් ලොකු හිත් වේදනාවක්. ඒ වේදනාව මුදලින් තක්සේරු කරන්න බැහැ.”

මැයි 9 වැනිදා රට පුරා සිදුවූ ගිනිතැබීම් අතරින් වැඩිම සංඛ්‍යාවක් සිදුව තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේය. එයිනුත් මිනුවන්ගොඩ ආසනයේ පමණක් දේශපාලඥයන්ගේ නිවෙස් 10ක් පමණ විනාශ කර ඇති බව වාර්තා විය.

“මෙය සාමකාමී අරගලයක් කළ මිනිස්සුන්ව ඉස්සරහට දාලා සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ දෙයක් බව පැහැදිලියි. පහුගිය කාලේ මැතිවරණවලදි ලංකාවේ වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් දිනුවේ ගම්පහ දිස්ත්‍රික්කයයි. ගම්පහ මැතිවරණ ප්‍රතිඵලය රටටම බලපාන ප්‍රතිඵලයක්. තුන්ලක්ෂ පනස් දාහකට වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ගම්පහ දිනවන්න මම මූලික වුණා. මේ තත්ත්වය අධ්‍යයනය කළ යම් යම් දේශපාලන පක්ෂ නායකයන් දේශපාලන වශයෙන් ගම්පහ අඩපණ කරන්න නම් මම ඇතුළු මා සමඟ සම්බන්ධ ශක්තිමත් දේශපාලන නායකත්වය අඩපණ කිරීමේ අරමුණින් තමයි මේ දේ කළේ. ඔවුන්ට අවශ්‍ය වුණේ ගම්පහින් මගේ දේශපාලන ගමන විනාශ කරන්නයි. අනිත් කාරණේ, මම හැමදාමත් මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාලයට විරුද්ධ වුණ කෙනෙක්. ලංකාවේ ලොකුම මත්ද්‍රව්‍ය ජාලය වගේම ඒකට සම්බන්ධ පොලිසියේ අයත් ඇල්ලුවේ මගේ මැදිහත්වීමෙන්. ඒ නිසා එවැනි පුද්ගලයන්ට මාව තර්ජනයක් වුණා. ඒක වාසියක් කරගත්ත ඇතැම් දේශපාලඥයෝ මත්කුඩු සහ පාතාලයට සම්බන්ධ පුද්ගලයන් යොදවලා මේ විනාශය සිදු කළා. ඒ වගේම විශ්වවිද්‍යාලවලට සම්බන්ධ මහාචාර්යවරු, ඇතැම් ක්‍රිස්තියානි පූජකවරු පවා මේ සිද්ධිය පිටුපස සිටියා.”

ප්‍රචණ්ඩකාරීන් විසින් එදා ඇමතිවරයාගේ නිවෙසට ගිනි තබන අවස්ථාවේ ඔවුන් පලවා හැරීම සඳහා පොලිසිය විසින් කිසිදු මැදිහත්වීමක් නොකළ බව ද වාර්තා විය.

“පොලිසිය විසින් මිනිස්සුන්ට වෙඩි තැබීම මම කිසිසේත් අනුමත කරන්නෙ නැහැ. නමුත් පොලිසියට ඔවුන් පලවා හරින්න අවම බලයවත් පාවිච්චි කරන්න තිබුණා. එහෙම කිසිදු උත්සාහයවක් හෝ නොදැරීමට හේතුව මොකක්ද කියලා මම දන්නෙ නැහැ. මම මේ ගැන පොලිසිය භාර ඇමතිවරයාටත් ලේකම් වරයාටත් දන්වා තියෙනවා. ඒ වගේම මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරලා තියෙනවා. මගේ කාර්යාලයේ තිබුණු උපකරණ සියල්ල රාජ්‍ය දේපළ. කාර්යාල භූමියේ තිබුණු රජයෙන් දීපු වාහන දෙකකුත් ගිනි තබා විනාශ කර තිබුණා. ඒ විදිහට රාජ්‍ය දේපළ විනාශ කරපු පුද්ගලයන්ට පවා ඇප ලැබුණේ කොහොමද කියන එකත් මට ප්‍රශ්නයක්. මේක නරක පූර්වාදර්ශයක්. මේ වගේ සිදුවීම් නිසා හොර මැරකම් කරන රස්තියාදුකාරයන් නීතියට තියෙන බය නැතිවෙනවා. මේ දේපළ ගිනි තැබීමෙන් වැඩිම පාඩුව වුණේ ඒ විනාශ වූ දේවල්වලින් ප්‍රයෝජන ගත්ත මහජනතාවටයි. ඔය සිද්ධියෙන් පස්සේ මම තාම ගමට ගියේ දෙපාරයි. ගිහින් මට ඉන්න තැනක් නැහැ. මගේ ඥාතීන් මට ඔවුන්ගේ ගෙවල්වල කාර්යාලය පටන් ගන්න කියනවා. නමුත් මේ රටේ පවතින තත්ත්වය තුළ ඔවුන්ගේ දේපළත් මම නිසා විනාශ වුණොත් ඒ අයත් අපහසුතාවට පත්වෙන නිසා මම ඒකට කැමති නැහැ.”

ඇමති ප්‍රසන්න රණතුංග එසේ කීවේ උපේක්ෂා සහගතවය. දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙවැනි තාඩන පීඩන ඔහුට අරුමයක් නොවේ. 1977 මැතිවරණයෙන් පසු විරුද්ධවාදීන් රෙජී රණතුංගයන්ගේ නිවෙස ගිනි තබා විනාශ කරද්දී ප්‍රසන්න ඇතුළු දරුවන් කුඩාවුන්ය. ඒ අමිහිරි අත්දැකීම ඇමති ප්‍රසන්න රණතුංග මෙසේ වචනවලට පෙරළීය.

“එදා ඒ මිනිස්සු අපේ ගෙදරට කඩාපැන්නම තාත්තා ගෙදර ඉස්සරහ දොර ඇරගෙන එළියට ගියා මට මතකයි. එතකොට කෙනෙක් තාත්තට පිහියෙන් ඇන්නා. ඒ එක්කම තාත්තගේ සහෝදරයෙක් තාත්තව ගේ ඇතුළට අරන් ගියා. ගෙදර පිටිපස්සෙ දොර කඩාගෙන තවත් කට්ටියක් ගේ ඇතුළට ආවා. ඔවුන් කලබලකාරී විදිහට හැසිරුණත් ඒ කාටවත් වෙඩි තියන්න අම්මා තාත්තට ඉඩ දුන්නෙ නැහැ. තාත්තා තුවක්කුව අරන් උඩට වෙඩි තිබ්බම ආපු අය පැනලා දිවුවා. පස්සේ අපි ගෙදරින් පිටවෙලා කැලෑව පැත්තෙන් එළියට බැහැලා ගිහින් තමයි ජීවිතේ බේරගත්තේ.”

එදා නොදරුවන්ව සිටි කාලයේ විඳි ඒ මානසික පීඩාව අද ද ඔහුගේ සිතට දැනෙන්නා සේය. ඇඳිවත පිටින් දරුවන් හයදෙනා සමඟ නිවෙසින් පිටවූ රෙජී රණතුංගත් බිරිය නන්දනීත් නැවතී ඇත්තේ කොළඹ ඥාතී නිවෙසකය.

“අපි කිසිදෙයක් අරගෙන ආවේ නැහැ. අපි අන්ත අසරණ වෙලා හිටියෙ. ඒත් තාත්තා තිගැස්ම පෙන්නුවෙ නෑ. අම්මාත් හැමදේම දරාගෙන හිටියා වගේ පෙනුණා. මාමගෙ ගෙදර ඉන්නකොට තමයි තාත්තාට පණිවිඩේ ලැබිලා තිබුණේ අපේ ගෙට ගිනි තියලා කියලා. ඒ ගින්නෙන් අපේ හැමදේම විනාශ වෙලා. අපේ වාහනෙත් පිච්චිලා තිබුණා. ඒ වෙලාවේ තාත්තගෙ ඇස්වලින් කඳුළු බේරුණා. තාත්තා ගොඩාක් දේවල් දරා ගත්තු කෙනෙක් වුණත් එදා මම මගෙ තාත්තගෙ ඇස්වල කඳුළු දැක්කා. හැබැයි එදත් අපේ අම්මාට හිතේ හයිය තිබුණා “ඔය හැම දෙයක්ම අපිට ආපහු හදා ගන්න පුළුවන් ” වගේ දෙයක් අම්මා තාත්තට කිවුවා වගේ මට මතකයි.”

ආනන්දීයන් බොහෝ දෙනකුට ආදරණීය ඇඳුරුතුමියක වූ නන්දනී රණතුංග මාතාව එදා සිය සැමියාටත් දරුවන්ටත් විසල් තුරුහිසක් වෙමින් රැකවරණ සලසා ඇත්තේ මවුවත්කමේ අසිරිය විදහාපාමිනි. ඒ අතීතය සිහිපත් කරමින් ප්‍රසන්න රණතුංගගේ සෙහොයුරු සංජීව රණතුංග වරක් සිළුමිණට පැවසූ යමක් ද මෙහිදී සිහිපත් වේ.

“77 සිද්ධිය වෙලා දවස් දෙකකින් අපිට රෝයල් එකත් එක්ක මැච් එකක් තිබුණා. මමයි අර්ජුණයි දෙන්නම ඒ මැච් එකට සෙල්ලම් කරන්න හිටියේ. ක්‍රිකට් බඩු තියා ඉස්කෝලෙ ඇඳන් යන්න ඇඳුමක්වත් අපිට තිබුණෙ නෑ. අම්මා අලුතින් සුදු යුනිෆෝම් මස්සවලා අපි දෙන්නව මැච් එකට යැව්වා. අභියෝග ඉස්සරහ ජීවිතේ අත්හරින්න එපා,ඉස්සරහටම යන්න කියලා අම්මා ඒ වෙලාවේ අපිට නොකියා කියලා දුන්නා. මිනිස්සුන්ට අවශ්‍ය විදිහට අපව වට්ටන්න දෙන්න එපා කියන එකත් ඒත්තු ගැන්නුවා"

ඒ දිරිමත් හදවතක් සහිත අම්මාගේ සහ දේශපාලනයේදී කිසිදා නොසැලුණු රෙජී රණතුංග නම් පියාගේ පුතකු වන ප්‍රසන්න රණතුංග ද අභියෝග, බාධක හමුවේ නොසැලෙන චරිතයකි.

“අද ඇතිවී තිබෙන දේශපාලන ව්‍යූහය සමාජය තුළ මතයක් ගොඩනඟන්න උත්සාහ කරනවා,දේශපාලඥයන් සියලුදෙනා හොරු කියලා..ඒ හරහා ජනතාව තුළ වෛරයක් ඇතිකරලා රට පුරා මේ සිදුවීම් මාලාව ක්‍රියාත්මක කරන්න කටයුතු කරපු පිරිසක් ඉන්නවා. නමුත් ඒ අයගේ දරුවො ඉගෙන ගන්නෙ පිටරටවල. ඔවුන්ගෙ ගෙවල් තියෙන්නෙත් පිටරට. ඒත් ඔවුන් මේ රටට, ජනතාවට පෙන්නන්නෙ වෙන මුහුණුවරක්.. ඒවට රැවටෙන්නෙ නැතුව ඇත්ත මොකක්ද කියල හොයන්න කියල ජනතාවට කියනවා. අපි සල්ලි හොයලා තියෙන්නෙ කොහොමද, අපේ ව්‍යාපාර මොනවද මේවා ගැන හොයන්න. එහෙම නැතිව මේ වගේ දේපළ හානි කරමින් වෛරක්කාරී විදිහට හැසිරිලා මේ රට විනාශ කරන්න උදවු කරන්න එපා කියලා හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

රටේ පවතින වත්මන් තත්ත්වයට මේ දක්වා මේ රටේ තිබුණු හැම ආණ්ඩුවක්ම, දේශපාලන පක්ෂයක්ම වගකිව යුතුයි. කාටවත් සුදනෝ වෙලා ඒ වගකීමෙන් මිදෙන්න බැහැ. අවාසනාවකට වගේ මේ ආර්ථිකයේ පිපිරීම වුණේ අපේ ආණ්ඩු කාලයේදී. දේශපාලඥයන් වගේම මේ විනාශයට ඇතැම් රජයේ නිලධාරිනුත් වගකිව යුතුයි. ඔවුන් ගැනත් සෙවිය යුතුයි. මේ විනාශකාරී දේශපාලනය දිගින් දිගටම ගෙනයෑමෙන් රට තවත් විනාශ වෙනවා. රටේ හැම පුරවැසියකුම ඒ බව තේරුම් ගෙන කටයුතු කළ යුතුයි˝

අවසාන වශයෙන් හෙතෙම එසේ පැවසුවේ මේ අවස්ථාවේදී සියලු පුරවැසියන්ගේ වගකීම සිහිපත් කරමිනි.

 

Comments